පුවත්
අධිකරණයට අපහාස කරලා : සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් නිතීඥ විජිත කුමාර අභියාචනාධිකරණයට අද (30) පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් පෙත්සම්කාර නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසය.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දක්වනු ලැබූ බවත් මෙමගින් සමස්ථ අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
මීට පෙරද අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ .
එම පෙත්සම ඉදිරිපත්කර සිටියේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන ය.
ජොනීට අධි චෝදනා !
සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ අද (30) අධිචෝදනා භාරදී ඇත .
2012 වසරේදි කළ බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් තිදෙනා මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝම්බර් මස විසි එක් වෙනිදා පැවැත්වීමට දින නියම කළේය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් ය .
2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
18+ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න !
බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වයස අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින් අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව පැවසූවේ මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) අතුරු අයවැය පිළිබඳ කතාව සිදු කරමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බදු අනුකූලතාවය වැඩිකිරීමටත් බදු ගෙවීම පැහැරහැරීම වැලැක්වීමටත් බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවය.
ඒ අනුව දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා මෙම තීරණය ගත් බවද ජනපතිවරයා පැවසීය.
2025 වසර වනවිට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරන බවත්, වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ආදායම් වැඩිකිරීමේ නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
එමෙන්ම එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළ දමා ඇති අතර රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 200ක් වෙන් කල බවද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමටත් රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසිය.
ගංවතුර නිවේදන නිකුත් වෙයි !
අද (30) රාත්‍රියේ සිට ඉදිරි දින දෙකකට අදාළ වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .
ලංකාවට ණය දුන් රටවලට : ජපානයෙන් කැඳවීමක් !
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා එය ඉතා වැදගත් බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත .
ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ජපානය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇතැයි ද ඔහු පවසයි .
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික සහ සමාජීය තත්ත්වය පිළිබඳ ජපානය කණසල්ලට පත්ව ඇති බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා සිදුකරන සාකච්ඡා කඩිනම් කළ යුතු බවත් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ද්වි පාර්ශ්වික ණය ලබා දුන් රටවල් ණය ප්රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
පවතින අර්බුදය විසඳන : ආර්ථික රටාව වෙනස් කරන : අතුරු අය වැය පාර්ලිමේන්තුවට !
පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන 2022 අතුරු අය වැය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස ජනාධිපතිවරයා එම අය වැය හඳුන්වා දුන් අතර ලබන වසරේ (2023) අය වැය මගින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
“මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමයි.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්නට කැමතියි.
“රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි”. මෙන්න මේ අයුරින් අලුත් ලෝකයේ අලුත් ප්රවණතාවයන්ට අනුව, අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්න හැකිනම්, අපට ආර්ථික අර්බුදය විසඳා ගන්න පුළුවන්”
2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටත් ජාතියත් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේදී ශ්‍රී ලංකාව සියවන නිදහස් සංවත්සරය සමරන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වීමට හැකියාවක් ඇති බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ අතුරු අය වැය කතවේ සාරාංශය පහත දැක් වේ.
- වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම. පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක්
- මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 - 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම
පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම - ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරිම සඳහා රුපියල් බිලියන 133ක්
- කුඩා ධිවර යාත්‍රා හිමියන් සඳහා සහ වතුකර ප්‍රදේශයන්හි ජනතාවට භූමිතෙල් සහනාධාර
- ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීම
- ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව, රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීම
- රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම
- නව නීති මඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණවීම
- රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම (National Agency For Public Private Partnership)
- ජාතික ණය කළමනාකරණ ආයතනක් පිහිටුවීම (National Debt Management Agency)
- රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරිමට (Comptroller General) කොම්ප්ට්‍රෝලර් ජනරල්වරයෙක්
- රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරිමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම
- රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම
- මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම
- ආරක්ෂක අංශවල දැනුම හා හැකියාවන් දියුණු කිරිම සඳහා ‘ජාතික ආරක්ෂාව 2030‘ ආරක්ෂක උපායමාර්ග සමාලෝචනයක් සිදු කිරීම
- රාජ්‍ය සේවයේ කාර්යන් සඳහා විදුලිය මඟින් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගැනීම
- 2022 වසර අවසන්විමට පෙර සියළුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
- මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරිම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ලබාදීම
- රාජ්‍ය වියදම් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරණ, අමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධීක්ෂණ ජනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
- සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම
- උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම.
- 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළගා කර ගැනීම
- 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2% සිට 15% දක්වා වැඩි කිරීම
- මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීමට ඇමරිකන් ඩොලර් මිලියන 110ක් වෙන් කිරිම සහ වගාවට අවශ්‍ය යූරියා පොහොර සැපයීම සහතික කිරීම
- ඉදිරියේදී හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීම
- ආර්ථික ස්ථායිතාව ඇති කිරිම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමට සංශෝධන හා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වාදීම
- ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත (TEWA) වෙනුවට තාත්වික යාන්ත්‍රණයක් හඳුන්වාදීම
- කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම
- යොවුන් කෘෂිකාර්මික සමාගම් (Youth Agricultural Companies) යෞවන සමාජ 331ක ක්‍රියාත්මක කිරීම
- දේශීය කෘෂිකාර්මික සංවර්ධන අගය දාම වැඩසටහන ශක්තිමත් කිරීම
- දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම
- රජයේ ඉඩම් ඵලදායීව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීමට වැඩපිළිවෙළක්
ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩිදියුණු කිරීමට පියවර
දේශීය විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල සහාය ඇතිව පර්යේෂණ හා සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජකරණය සඳහා යාන්ත්‍රණයක්
කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගැනීම සහ අළෙවි කර ගැනීම සඳහා ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර - ආහාර ඇසුරුම් කිරීමට උසස් තාක්ෂණය සහිත උපකරණ ආනයනය කිරීමට බදු සහන
- ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් (High-end tourists) ආකර්ශණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්
- දේශගුණික බලපෑම අවම කර ගැනීමට පරිසර අමාත්‍යාංශය හරහා පහසුකම්
- විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන් වේ.
- තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම්
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීම
නිපුණතා පදනම්ව නව රැකියා ලබා ගැනීමට පහසුකම් සැලසීම
රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සේවකයින්ට NVQ සහතික
ක්ෂුද්‍ර පරිමාණයේ ස්වයං රැකියාවල නියැලී සිටින ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම
සැපයුම් දාම කාර්යක්ෂම කිරීමේ මූලික පියවරක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා සැලසුම්සහගතව දුම්රිය යොදා ගැනීම. එහි ආරම්භක පියවරක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවළු, පළතුරු හා අනෙකුත් නිෂ්පදාන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් යෙදවීම
දුම්රිය සේවයේ ගුණාත්මක භාවය හා ආරක්ෂාව වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීම. එහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැළණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීම
අපනයන සහ අපනයන අරමුණ කරගත් ඝෘජු විදේශ ආයෝජන වැඩි කිරීමට කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට අවධානය
වෙළෙඳ බාධක ක්‍රමානුකූලව ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත හා සේවකයන්ට සහාය වීම සඳහා වෙළෙඳපොළ ගැළපුම් වැඩසටහනක් හඳුන්වාදීම
අඩු පිරිවැයෙන් විදුලි උත්පාදනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කිරීම
ඉඩම්වලට සින්නක්කර ඔප්පු ක්‍රමයක්
එතෙර ශ්‍රි ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් පිහිටුවීම
විදුලි පාපැදි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. අවශ්‍ය ආනයනික කොටස්වලට බදු සහන
ආයතනික පාලනය ශක්තිමත් කිරීම හා දුෂණයට එරෙහිව කටයුතු කිරීමට පුළුල් නෛතික රාමුවක් සකස් කිරීම
අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස්
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.
කඳුළුගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් යළිත් ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
එජාපයේ 76 සංවත්සරය සංවිධානය : රුවන්ගේ මූලිකත්වයෙන් !
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධනගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.
පක්ෂ සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 04 දා දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකම සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද නියමිත බවත් වාර්තා වෙයි .
ආබාධිත ප්‍රජාවට ලබන අයවැයෙන් සහන : සාගල කියයි !
ආබාධිත ප්‍රජාවට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම සඳහා 2023 අයවැය මගින් සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.
ජාතික සහකම්පන පෙරමුණ හා අබාධිත ප්‍රජාව සමග ජනාධිපති කාර්යාලයේ අද (29) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
ආබාධිත ප්‍රජාව සඳහා මෙවර අයවැයෙන් සහන ලබාදීමට නොහැකි වූවද, ආබාධිත ප්‍රජාවට සහන සලසාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට නව වැඩපිළිවෙළක් යටතේ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආබාධිත ප්‍රජාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.
තමන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම පිළිබඳ ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ආබාධිත ප්‍රජාව මෙහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙතින් ඉල්ලා සිටි අතර ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වූ පනත් කෙටුම්පත සහ සංඥා භාෂාව පිළිබඳ වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා සම්මත කර දෙන ලෙස ද ඉල්ලා සිටියහ.
ජාතික සහකම්පන පෙරමුණේ සභාපති ඩබ්.එම්.පී.කේ. වික්‍රමසිංහ, ලේකම් පී.ආර්. කුරුප්පු ඇතුළු නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
රටේ ප්‍රශ්න විසඳීමට : ජාතික එකඟතාවක් අවශ්‍යයි - කරූ
රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය ප්‍රකාශ කළේය.
එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්රජාතන්ත්රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීම වහාම කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය
"යහපත් රටක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" තේමාවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් හමුවට එක්වෙමින් හිටපු කතානායක මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය හිටපු කතානායක මෙසේද කීවේය.
"අද අප මුහුණ පා සිටින්නේ මෙරට ඉතිහාසයේ කිසිදා සිදු නොවූ ජාතික අර්බුද රැසකටයි. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් දැනටමත් අන්තර්ජාතිකව නම් වී ඇත. ආර්ථිකය මුළුමනින්ම විනාශ වී ඇත. විදුලි කප්පාදුව, අධික ජීවන වියදම හා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතී.
මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණි. අවාසනාවකට එය තවමත් එය සිදුවී නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ගමනාගමන දුර්වලතා ආදී බොහෝ ගැටලු සඳහා රජය විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීම අපි අගය කරමු.
ජාතික ව්‍යාපාරයක් වශයෙන් අපි සෑම විටම යෝජනා කළේ දේශපාලන භේදයෙන් තොරව සියලුම ජාතික නායකයන් එක්ව විසඳුමක් පාර්ලිමේන්තුව තුළින් ගෙන එන ලෙසයි. එවිට ජනතාව මුළු පාර්ලිමේන්තුවටම චෝදනා කරන්නේ නැහැ. එවිට දේශපාලන නායකයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් හා ජනතාවගේ ආශිර්වාදයෙන් වාද - භේද වලින් තොරව අප රට නැවතත් ගොඩ නැගිය හැක.
පැය 24 ම විදුලිය ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන සැපයුමත්, ඇති කර ගතහොත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනු ඇත. කර්මාන්ත හා අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වනු ඇත. යුරෝපියානු සීත සෘතුවේ දී අපට මෙය ඉහළ නැංවිය හැකියි.
මින් පසු සිදු විය යුත්තේ කෘෂිකර්මය දියුණු කිරීමයි. අවශ්‍ය බීජ පොහොර හා කෘමිනාශක අවශ්‍යතා සාධාරණ මිලක් ගොවියාට ලබාදුනහොත්, අපට වාර්තා වාර්තාගත වන මහ කන්නයක් බලාපොරොත්තු විය හැකි බව කෘෂිකර්ම විද්වතුන් දැනටමත් අපට පෙන්වා දී ඇත.
මේ දිනවල සිදුවන වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවභාවිතා කිරීම පි පිළිබඳවත්, අපගේ විරෝධය පළ කර ඇත.
එසේ නම් වහා සිදුවිය යුත්තේ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් අවුරුද්දක් සමගියෙන් වැඩ කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමයි. එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්රජාතන්ත්රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීමයි. ඉන්පසු පුරවැසියන්ට තමන්ට කැමති නායකයෙක් දේශපාලන පක්ෂයක් හා තම ප්‍රදේශය නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු පත්කර ගත හැකියි.
මෙම අවස්ථාවට ආගමික නායකයන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, වෘත්තීය සමිති නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සනත් කට වරද්දා ගත්තද ? අධිකරණයට අපහාස කළ බවට පෙත්සමක් !
අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි .
එම පෙත්සම ඉදිරිපත්කර ඇත්තේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන ය.
පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ අධිකරණයට අපහාස ගෙන දෙන ප්‍රකාශයක් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පමුණුවන ලෙසය.
සරත්ට බැරි වුණ දේ : ටිරාන් දින 100 න් කරලා !
රට අරාජික නොවී ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කර පවත්වා ගෙන යාමට සිදුකළ මැදිහත්වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැරුණකොට මේවනවිට අරගලයේ නියුතු විරෝධතාකරුවන්ගේ වැඩිම විරෝධයට එල්ලවී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත එල්ලවී ඇති බව දේශපාලන විචාරකයන් පවසයි .
ඔවුන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය විමර්ශනය කිරීමේදී මේ බව තහවුරු වන බවයි.
මේ වන විට අරගල භූමියෙන් විරෝධතාකරුවන් ඉවත්කිරීමේ සිට විරෝධතාවයේ නිරත හඹා යමින් පොලිසිය විසින් සිදුකරනු ලබන දැවැන්ත මෙහෙයුම සම්බන්ධයෙන් සහ ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි හෙයින්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයින් ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබේ.
එසේම, ඔහු විසින් පාතාලය මර්ධනය කිරීමට පොලිසිය වෙත ලබාදී ඇති ඇතැම් නියෝග අතිශයින් බරපතල බව මානව හිමිකම් ක්‍රියාකාරීන් දැන්තියාම ප්‍රකාශයට පත්කර ඇත.
විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ස්වාධින පක්ෂ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ටිරාන් අලස්ව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.
ඒ, පසුගිය මැයි මස 20 වෙනිදා ය. එසේ ඔහු පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී ඊයේ (28) දිනට හරියටම දින 100කි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුවද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කරනු ලැබුවේ ටිරාන් අලස්වයි.
පසුගිය දිනවල සිදුවූ පොලිස් මැදිහත්වීම් සම්බන්ධයෙන් කොතරම් විවේචන එල්ල වුවද විෂයබාර අමාත්‍යවරයා ලෙස ඔහු මෙතෙක් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෝ මාධ්‍ය ඔස්සේ හෝ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති වීම විශේෂ කාරණයකි.
පසුගියදා ඒ සම්බන්ධයෙන් පොලිසිය බාර හිටපු අමාත්‍යවරයකු සිය පාර්ලිමේන්තු සගයින්ට පවසා තිබුනේ ''මම කතාකරන්න ගිහින් ඇන ගත්තා... ඔන්න ටිරාන් කිසිම කතාවක් නැතුව වැඩේ දීගෙන යනවා'' කියයි.
ටිරාන් අලස් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස පසුගිය මාස කිහිපයේ කුමක් කර තිබේදැයි අප කල විමසීමකදී ඔහුගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩල මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිවරයා ප්‍රතිචාර දැක්වුයේ, ''දින 100ක වැඩ මෙන්නැයි'' පවසමින් ඊ තැපෑල හරහා දීර්ග සටහනක් යොමුකරමිනි.
එම සටහනේ පළවූ කරුණු සංක්ෂිප්තව පහත පළකර ඇත.
පොලිසියේ ගෙවුනු දින 100 :
01- පොලීසියේ අණ හා බලය යලි පිහිටුවීම:
පසුගිය කාලයේදී සිදුවූ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමි ව තිබූ පොලිසියේ බලය හා අණට කීකරුවීම යලි ස්ථාපිත කිරීමට පොලිසියේ මානසික මට්ටම ආත්මවිශ්වාසය ඔසවා තැබීම, අවශය පහසුකම් සැලසීම, වගවීම හා වගකීම තහවුරු කිරීම.
02 - පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව (බටා) වැඩි කිරීම :
පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කටයුතු කිරීම.
03- පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම :
පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කල කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
පොලිස්පති ප්රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී ප්රවීනජනාධිපති නීතිඥ මඩුල්ලක සහාය වුවද ලබාගත හැකිය.
04- සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට වාහන පහසුකම් :
සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කරනු ලැබිය.
තවද වසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.
05 - පොලිස් රෝහලේ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කිරිම :
අමාත්‍යවරයා, වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කළේය.
06- දේශපාලන නිර්දේශය මත පොලිස් ස්තානාධිපතිවරුන් පත්කිරීම වෙනුවට නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයකට ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම.
මෙහිදී ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් සැපිරූ නිලධාරීන්ගේ අයදුම්පත් කැඳවීම් කොට සම්මුඛ පරීක්ෂණ පවත්වා දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් පාරදෘශ්‍ය ක්‍රමවේදයකින් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට කටයුතු යොදා ඇත.
07- පොලිස් ස්ථාන නවීකරණය කිරීම.
මෙහිදී දිවයිනපුරා පිහිටා ඇති සෑම පොලිස් කොට්ටාශයකින්ම එක පොලිස් ස්ථානයක් තෝරාගෙන නවීකරණය කිරීම.
මේ අනුව පලමු අදියරෙදී පොලිස් කොට්ටාශ 45 න් පොලිස් ස්ථාන 45 ක් තෝරාගෙන නවීකරණය කිරීම.
08- නව පොලිස් වෙබ් අඩවියක් හඳුන්වාදීම.
මෙහිදී යල්පැන ගිය පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් නවීකරණය කර ළඟදීම එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
එම වෙබ් අඩවිය පොලිස් දිනය යෙදෙන සැප්තැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිතය.
09-පොලිස් මාධ්‍ය ඒකකය හා තොරතුරු හා පරිගණක ඒකක සවිබල නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා මැදිහත් වීම.
10. පොලිස් කාන්තාවන් සවිබල ගැන්වීම.
11. පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් දියත් කිරීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දීම.
12 - දරුවන් හා කාන්තාවන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ව පීඩාවට පත්ව ඇති අවස්ථාවලදී ඔවුන්ගේ අනන්‍යතාවය (නම් - ගම් , ඡායාරූප හෝ වීඩියෝ ප්‍රසිද්ධ නොකරන ලෙස) ආරක්ෂාකරන ලෙස පොලිසියට උපදෙස් දීම.
මෙහිදී චූදිතයන්ට දඬුවම් ලැබුනද සමාජය හමුවේ වින්දිතයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමත් ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගොඩ නගාගැනීමටත් මහත් පිටුවහලක් වීම මෙහි මූලික අරමුණයි.
විමල්ගේ නඩුවක් කල් යයි !
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් ශෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන දෙසැම්බර් 12 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර ඇත .
ඒ අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේ ය.
මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මේ නියෝගය නිකුත්කර ඇත .
ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවන් වෙයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන : ආණ්ඩුව තීන්දුවක් අරගෙන !
ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්රදානය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% එක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවත් පැවසීය .
කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.
මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් එක්ව සිටියහ.
ආණ්ඩුවට එරෙහිව : පෙරටුගාමීන් සහ සජබ එක්සත් ක්‍රියාමාර්ගයක ! ඩයස්පෝරාවෙන් වැඩ අල්ලයි !
අරගලයෙන් පසුව සමගි ජනබලවේගය පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්සත් ක්‍රියාමාර්ගයක් වෙත එළඹ කටයුතු කරමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ අද (28) ජිනීවා හී සංවිධානය කර ඇති උද්ඝෝෂණය විසින් ඒ බව තහවුරු කරන බවයි.
මෙහිදී නිල ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ලියවිල්ලක් නොමැති වුවත් පසුගිය සමයේ මෙරට දේශපාලනය තුළත් දෙපාර්ශවය අප්රකාශිත පොදු එකඟතාවක් තුළ කටයුතු කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .
එසේම විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව නියෝජනය කරන පාර්ශ්ව අතර සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් එක්සත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම තුළ දේශපාලනයට එහා ගිය පෞද්ගලික අපේක්ෂා ඇති බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.
ඒ බව දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , විදෙස් ගත පිරිස් වෙත දේශපාලන සරණාගත බව ලබාගන්නට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වැදගත් වන බවය.
එහිදී එක් පසෙකින් වීසා කාලය අවසන් වූවන්ට තමන් දරන දේශපාලන මතය සහ පවතින ලංකා ආණ්ඩුවේ දේශපාලනය අතර පරස්පරයක් පෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. එසේම තමන් දරන දේශපාලන ස්ථාවරය ආණ්ඩු විරෝධී බැවින් තම පවුලේ සාමාජිකයන් ලංකාව තුළ අනාරක්ෂිත බව පෙන්වා ඔවුන් ගෙන්වා ගැනීමට අවස්ථාවක් ගැනීමත් මේ තුළ වෙයි.
පසුගිය සමයේ මෙරට දියත් වූ අරගලය අවස්ථාවේ එහි ප්රමුඛ ක්‍රියාකාරීන් ලෙස සඳහන් 6000 කට ආසන්න පිරිසක් යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක දේශපාලන සරණාගත භාවය ලැබීමට ඉල්ලුම් කර ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
දේශපාලන වාර්තාකරු
අසීරුම අවස්ථාවේ ලංකාවට අවශ්‍ය : සහයෝගය මිස පීඩනය නොවේ ! ඉන්දියාව චීනයට දන්වයි !
මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහයෝගය මිස තවත් පාර්ශවයක න්‍යාය පත්රයකට අනුව වැඩ කිරිම වෙනුවෙන් එල්ල කරන පීඩනය හෝ මතභේදකාරී තත්ත්වයක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි .
ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.
ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ චීන තානාපතිවරයාගේ අදහස් දැක්වීම මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීමේ පුද්ගලික ලක්ෂණයක් හෝ විශාල ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව පිළිබඳ චීන තානාපතිවරයාගේ අදහස් ඔහුගේ රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතැයි සිතන බවත්, ඉන්දියාව එයට වඩා බොහෝ සෙයින් වෙනස් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
විනිවිද නොපෙනෙන සුළු ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට කුඩා රටවලට විශාල අභියෝගයක් බව ද ඉන්දීය මහ කොමාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
එජාපයට 76 යි : සැප්තැම්බර් 06 එක්වෙමු !
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය, “එක්වෙමු“ යන තේමාව යටතේ, ලබන සැප්තැම්බර් 06 වෙනිදා , කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට සූදානම් බව වාර්තා වෙයි.
ඒ, එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.
මෙවර සමුළුවේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ, එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ, වසර 28 කට පසුව වීමය..
එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ, සංවත්සර සමුළුවක් අවසන් වරට පවත්වා ඇත්තේ , 1993 දීය. ඊට පසුව පක්ෂ සංවත්සරයක් ජනාධිපතිවරයකු යටතේ පවත්වන්නේ මෙවර ය..
එසේම මෙවර සමුළුවේ සංවිධාන කටයුතු අමාත්‍ය හරින් ප්රන්නන්දුට බාරදී ඇති බවත් වාර්තා වෙයි ...
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට එක්සත් ජාතික පක්ෂයේ ඉහලම තනතුරක් ලැබෙන බවට මේ තුළ පැහැදිලි ඉඟියක් පළවී ඇති බවය.
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට අදාළ සමුළුවට 5000 ක පිරිසක් ගෙන ඒමට සංවිධානය කර ඇත . ඒ තුළ අපේක්ෂාව වී ඇත්තේ , එක්සත් ජාතික පක්ෂයේ නව ප්රබෝධයක් ඇතිකර වැඩි ජනතා ආකර්ෂණයක් ගැනීම බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විටත් සමගි ජනබලවේගය පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු වල නිරතවීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අවබෝධයක් ඇතිකර ගෙන ඇති බවත් වාර්තා වෙයි .
පුංචි ජන්දයේ දින නියමය දෙසැම්බර්වල !
කල් දමා තිබෙන පළාත් පාලන ඡන්දයට දින නියම කිරීම ලබන දෙසැම්බරයේදී සිදුකෙරෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.
පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව ලබන වසරේ මාර්තු මස 25 දින දක්වා පළාත් පාලන ඡන්දය කල් දමා තිබේ.
එහෙත් ඊට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඊට දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ.
ඒ අනුව මෙම වසරේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ නාමලේඛනය ඔක්තෝබර් මස සහතික කොට නියමිත ඡන්ද ලැයිස්තු ප්‍රකාශයට පත් කළ විට ලබන දෙසැම්බරයෙන් පසු ඕනෑම මොහොතක ඡන්දය පැවැත්වීමේ හැකියාව ඇතැයි මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
අලුතින් මෙවර ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් ලක්ෂ 2 ½ කට පමණ සාධාරණය ඉටුකළ යුතු බැවින් මේ වසරේ ඡන්ද ලැයිස්තු විධිමත් ලෙස සැකසෙන තෙක් ඡන්දය පැවැත්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මෙවරද පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මිශ්‍ර අනුපාත ක්‍රමයට බව පැවසූ සභාපතිවරයා එහිදී පළාත් පාලන කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීන් 60% ක්ද සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීන් 40% ක්ද තෝරාගැනෙන බව සඳහන් කළේය.
- deshaya
Page 263 of 440