පුවත්
වතු කම්කරුවන්ට විශේෂ දීමනාවක් !
සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට සහභාගී වෙමින් ය.
වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙම දීමනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
රනිල් - ජවිපෙ එකඟතාව ක් !
කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ මවගේ මරණ ගෙදරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වෙලා. මාකඳුරේ ගෙදර තමයි දේහය තැම්පත් කරලා තියන්නේ. අවසන් කටයුතු තියන්නේ අද (11) හවස මාතරදී .
ජනාධිපති රනිල් මාකඳුරේ ගෙදරට යනකොටත් , රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ඇතුළු පිරිසක් ඇවිත් ඉඳලා,
ඔය අතරේ තවත් කෙනෙක් ආවා. ඒ තමයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති .
හඳුන්නෙත්තිත් , ජනාධිපති ඇතුළු විශේෂ ප්‍රභූන් ඉන්න කාමරේට ආවා. ජනාධිපතිවත් හම්බුණා. හම්බෙලා කොහොමද කියලා අහපු, ගමන් හඳුන්නෙත්ති මතක් කළා, අතුරු අයවැය කතාව වෙලාවේ , ජනාධිපතිතුමා හඳුන්නෙත්තිව උපුටා දක්වමින් කරපු ප්‍රකාශය.
ඒ ප්‍රකාශයෙන් කියවුනේ , රජය කරන්න ඕන ප්‍රතිපත්ති සම්පාදනය විතරයි . රජය ව්‍යාපාර කටයුතු කරන්න ඕන නෑ කියලා .
හඳුන්නෙත්ති ජනාධිපතිට කිව්වේ, " අන්න ඔබතුමා පාර්ලිමේන්තුවේදී මගේ නම කියලා , ඒ ටිකේ මට මීඩියා වලින් ගැලවිල්ලක් නැතිවුණා, මාර අමාරුවක දැම්මේ "කියලා.
සුපුරුදු හිනාව දාලා , ජනාධිපතිතුමා ඊට පස්සේ හඳුන් එක්ක චැට් එක කකන්ටිනිව් කරලා.
එතනදි ජනාධිපති රනිල් කියලා තියෙනවා බිංගිරිය කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පුරයේ වැඩ අවසන් කරලා , ආයෝජකයන් කැඳවන වැඩේ ඉක්මන් කරනවා කියලා . ඒ වගේම ආයෝජකයන් ඉල්ලන්නේ අක්කර 1000 ට වැඩි ඉඩම්, ඒ ප්‍රමාණයට ඉඩම් තියෙන්නේ කුරුණෑගල සහ හම්බන්තොට විතරක් බවත් ජනාධිපති කියලා . ඒ වගේම තමයි ඉදිරි කාලයේ ඉක්මනින් හැදෙන්නේ බස්නාහිර සිට දකුණට ඇති කළාපය බවත් ජනාධිපති රනිල් කියලා .
ඔය වෙලාවේ හඳුන් ඇහුවලු ජනාධිපති ගෙන් දැන් සංචාරක කර්මාන්තය නංවන වැඩේ මොකද කියලා
ජනාධිපති උදාහරණ එක්කලු දුන්නේ . මුලින්ම අරගෙන තියෙන්නේ ගාල්ලේ කොටුවේ පොලිසිය . පොලිසිය වෙන තැනකට යොමුකරලා, ඒ තැන සංචාරක කර්මාන්තයේ වැඩකට ගන්න ඕන කියලා ජනාධිපති කියලා තියෙන්නේ .
ඒ වගේම තමයි , අනුරාධපුර දුම්රිය බංගලා ටික. සුද්දන්ගේ කාලේ හැදුවේ . මේවා සංචාරක කර්මාන්තයේ ආයෝජන වලට දීලා , ඉඩම් රෙන්ට් කරන්න පුළුවන් කියලා ජනාධිපති කිව්වලු.
ඒ විතරක් නෙවෙයි , කොටුවේ ජනාධිපති මන්දිරය තියෙන්නේ . ඒක ආර්ට් ගැලරියක් කරලා, සංචාරක ආකර්ශනය අදින අමුතුම වැඩක් දාන්න පුළුවන් තැනක් කියලා ජනාධිපති කියනකොට හඳුනුත් ඒක අනුමත කරලා . ඒ වගේම තමයි , නාවික හමුදා , ගුවන් හමුදා මූලස්ථානත් යුද හමුදා මූලස්ථානය තියෙන තැනට දාලා , පොලිස් මූලස්ථානය ගුවන් හමුදාවේ දැන් මූලස්ථානය තියෙන තැනට ගේන්නත්, කොළඹ කොටුවේ තියෙන ඓතිහාසික වටිනාකමක් ඇති ගොඩනැගිලි වෙනම සංචාරක ආකර්ශනය අදින කළාපයක් කරන්න ඕන කියලත් ජනාධිපති කිව්වලු.
ආරංචි විදිහට හඳුන් ඒකත් අනුමත කරලා.ඒ විතරක් නෙවෙයි , ජනාධිපති මන්දිරය ආර්ට් ගැලරියක් කරනවා නම්, රොස්මිඩ් බංගලාව වගේ , මුදල් ගෙවලා මිනිසුන්ට නවතින්න දෙන්නත්, ඒ හරහා තවදුරටත් ආදායම් උපයන්න පුළුවන් කියලාත් හඳුන්නෙත්ති යෝජනා කරලා.
සුනිල් හඳුන්නෙත්ති තවත් යෝජනාවක් කරමින් කිව්වලු, ගොඩක් නගරවල තියෙන තැපැල් කන්තෝරු ඉපැරැණි ගොඩනැගිලි වල විශාල ඉඩක් එක්ක තියෙන්නේ . නමුත් දැන් තැපෑල වැඩ කරන විදියට ඒ ගොඩනැගිලි හොඳ රෙපයාර් එකක් දීලා ගත්තොත් ඒවත් සංචාරක ආයෝජන වලට මරු කියලා. ඒ විතරක් නෙවෙයි , සමහර නගරවල තියෙන ටෙලිකොම් එකේ ගොඩනැගිලිත් එහෙමයි කියලා හඳුන් කියලා .
හඳුන්ගේ යෝජනා ගැන සිනාමුසුව පිළිගත්ත ජනාධිපති කිව්වලු, යෝජනා කරා වගේ නෙවෙයි , වැඩ කරනකොටත්, සේරටම විරුද්ධයි ගාන්නේ නැතුව සහය දෙන්න කියලා. විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම ජවිපෙ ලෙසත් ජාජබ ලෙසත් ප්‍රතික්ෂේප කිරීමත් මතක් කරලමලු ජනාධිපති එහෙම කිව්වේ. ඒ වෙලාවේ හඳුන් කිව්වලු, හරි හරි ඔබතුමන්ලා හොඳ දේවල් කරන්න , අපි සහය දෙන්නම් කියලා .
කොහොම හරි ඔය කතා අන්තිමේ , එතන හිටපු පොහොට්ටු මැති ඇමතිලත් කතා වුනාලු, " මාර වැඩක් නේ, ජනාධිපතිගේ යෝජනා වලට හඳුනා එකඟයි . හඳුනගේ යෝජනා වලට ජනාධිපති එකඟයි ", දැන් නම් ටිකක් කැරකැවිල්ලත් වගේ කියලා .
දේශපාලන වාර්තාකරු
එළිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දක්වන්න : ජනාධිපති බ්‍රිතාන්‍යයට !
දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය බවත් වාර්තා වෙයි .
එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළකර තිබිණ .
එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර ඇත .
1952සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනය.
ගොවි ගැටලු යට ගහන : ආණ්ඩුවේ බහිරවයෙක් ගැන ඇමති හෙළිකරයි !
වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නමුත් ඒ කටයුතු කඩාකප්පල් කරන අයකු ආණ්ඩුවේ සිටින බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (12)කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර අනිද්දා (13)දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව කී අමාත්‍ය මහින්ද අමරවීර එහිදී තමා ගොවි ගැටලු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් එහිදී ද විසඳුමක් නොලැබුණ හොත් ගොවි ගැටලු විසඳීමට කර අරින ආණ්ඩුවේ ප්රබලයාගේ නම හෙළි කරන බවත් සඳහන් කළේය.
22 ට පස්සේ කැබිනට් එකත් 30 ක් වෙයි
ඔන්න ඒපාර අලුතින් කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් කරන්න තීරණය කරල කියල ආරංචියි.
ඉන් දහ දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතයි කියලයි කියන්නේ..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස්එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනෙක් නම් යෝජනා වෙලා ලු..
ඒත් නාමල් කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ කියල ජනාධිපති රනිල්ට කියලා .
දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමන් , ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්ෂ වලින් යෝජනා වෙලා.
දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙක් ඉන්නවා. ඔය කියන විදියට තව 12ක් එකතුවෙනවා.
කොහොම වුනත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියන්නේ 22 ව්‍යවස්ථා සංශෝධනෙට ඉස්සෙල්ල නම් කැබිනට් සංශෝධනයක් කරන්න ජනාධිපති රනිල්ගේ අදහසක් නැහැයි කියලා ...
ළහිරු ඇප මත නිදහස් !
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ.
රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.
මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදීය .
ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.
කෙසේවෙතත් ලහිරු වීරසේකරගේ ගෙල ප්‍රදේශය සිරකර ඇති බවට ඔහුගේ නීතීඥවරුන් චෝදනා කරන අතර ඒ හේතුවෙන් ඔහුව මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
ඇඟලුම් ක්ෂේත්රය රැකගන්න : ජනාධිපති ලේකම්ගෙන් උපදෙස් !
රටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත .
ඇඟලුම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්ෂේත්රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්රය ප්රමුඛස්ථානයක් ගන්නා අතර ක්ෂේත්රයේ මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති ලේකම්වරයා පැහැදිළි කළේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්රිත ගැටලු ක්ෂේත්රයේ කටයුතුවලට බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.
රට මුහුණදී ඇති අභියෝගකාරී අවස්ථාවේ ඇඟලුම් ක්ෂේත්රය ආරක්ෂා කර ගනිමින් එහි උන්නතියට ගත හැකි සියලු පියවර ගැනීමට කැපවන බවට ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය අංශ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.
මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ද පැවසීය.
මානව හිමිකම් සැසිය අමතන්න : පෙරටුගාමී බෝපගේ ජිනීවා යයි !
ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ අද(10) ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත .
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කරන ආකාරයට , වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇත.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති බවත් පැවසෙයි .
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි.
මහින්ද අරගලකරුවන් සමග සම්මුතියක !
ගෝල් ෆේස් අරගලකරුවන් ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, අරගලකරුවන් සමග සාකච්ඡා කර එම අරගලකරුවන් තම පක්ෂය සමග එක්කර ගැනීමට හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඉහළ නායකයන්ට උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති නිසා එහි මූලික කාරණාවක් ලෙස අරගලකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට එම පක්ෂයේ බලගැන්වීම් කටයුතු දීපව්‍යාප්තව ආරම්භ කර තිබේ.
ඒ අනුව, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ සංවිධාන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.
මෙහි මූලික පියවරක් ලෙස පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති අතර ගම් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු කිරීම පිළිබඳ සහ පාක්ෂිකයන් තවත් වැඩි කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔවුන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව, එළැඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සංවිධාන කටයුතු කිහිපයක් ම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින අතර පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සහ පක්ෂයේ ඉහළ නායකයන් රැසකට මේ වනවිට එම කටයුතු කිරීමට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.
- mawbima
ක්‍රීඩාවයි ආර්ථිකයයි එකට ගොඩදාන : 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය ලංකාවේ !
දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්‍රධාන තරගාවලියක් වන 17න් පහළ SAFF පාපන්දු ශූරතාවය මේ වන විට කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙයි.
එහි සත්කාරකත්වය ලංකාවට ලැබී ඇත්තේ ප්‍රථම වතාවට වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් ඇතුළු නිලධාරී මණ්ඩලයට ගෞරවය පිරිණමන බව මෙරට පාපන්දු ක්ශේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ශකයන් පවසයි .
ලංකාව සමග දකුණු ආසියානු කළාපය නියෝජනය කරන ඉන්දියාව , මාලදිවයින , බංග්ලාදේශය , භූතානය, නේපාලය මෙවර තරගාවලිය නියෝජනය කරයි.
සැප්තැම්බර් 05 වනදා ඇරඹි මෙම තරගාවලිය සැප්තැම්බර් 14 පැවැත්වෙන අවසන් මහ තරගයෙන් අවසන් වීමට නියමිතය.
මේ ආකාරයට දකුණු ආසියානු යොවුන් පාපන්දු පිටියේ ප්‍රධාන තරගාවලියක් වන 17න් පහළ SAFF පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසන්නේ , මෙරට ඇති සමාජ ආර්ථික දුෂ්කරතා සමනය කරගන්න සහයෝගය දැක්වීමක් ලෙස එය සිදුකළ බවයි.
මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් පමණක් මෙරට ආර්ථිකයට ලක්ෂ 4-5ක් (රුපියල් මිලියන 150ක් පමණ ) වැනි මුදලක් එක්වූ බවත් වක්‍ර ලෙස ඩොලර් ලක්ෂයක් පමණ ,(රුපියල් මිලියන 35ක් පමණ ) එක්වූ බවත් සම්මේලනය පවසයි .
එසේම හෝටල් කාමර 1800ක් පමණ සංචාරකන් ලෙස භාවිතා කිරීම හේතුවෙන් සංචාරක කර්මාන්තය ට දායකත්වය සැපයීමට හැකිවූ බවත් තරගාවලිය පුරා #visitsrilanka සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට සහයෝගය උපරිමයෙන් ලබාදුන් බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි .
මේ ආකාරයට ලංකාවට පැමිණෙන්න කියා ලෝකයට පණිවිඩයක් යැවීමට ලොව ජනප්‍රියම ක්‍රීඩාවක් ලෙස පාපන්දු වට විශේෂ වැඩකොටසක් සිදුකළ හැකි බවත් රට තුළ පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන අතර , රටේ ආර්ථික සමාජ තත්ත්වය ඉහළ දැමීමට සහය දැක්වීම සිය අභිප්‍රාය බවත් ඔවුන් පවසයි .
සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ !
සති අන්තයේ (10 සහ 11) විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි .
එහෙත් සඳුදා (12), ABCDEFGHIJKLPQRSTUVW යන කාණ්ඩ සඳහා සවස 6.00 සිට 9.00 අතර පැය 1 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවත් එම කොමිසම පවසයි .
ආර්ථික අර්බුදයේ චෝදනාවලින් ගැලවෙන්න රාණි ට ඉඩනෑ !
ශ්‍රී ලංකා මහ බැංකුවේ රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් විශාල මුදලක් දීමනාවක් ලෙස ලබාගෙන ඇති මුදල් මණ්ඩල සාමාජික රාණි ජයමහ ට වත්මන් ආර්ථික අර්බුදය සඳහා තමන්ගේ කිසිඳු මැදිහත්වීමක් නැතැයි පවසා එකී චෝදනාවලින් ගැලවීමට කිසිඳු සදාචාරාත්ම අයිතියක් නැතැයි මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු එබව පැවසුයේ, පසුගිය මැයි මස 25 දා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) දී රාණි ජයමහ විසින් සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඒ සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන කිහිපයක් ද ඔහු විසින් ලබාදෙනු ලැබිය.
පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමි වීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මැයි 25 පැවති කෝප් කමිටුවේ දී විමසන ලදී.
මේ පිළිබඳ බලය ඇත්තේ, මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ පැවසුවේ, මහ බැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන එය ලිඛිතව දැනුම් දුන් බව ය.
නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එක ම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවත් මෙහිදී අනාවරණය විය.
බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහ බැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව විසින් අවධාරණය කරන ලදී.
වත්මන් ආර්ථික අර්බුදය සඳහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) එවකට සභාපති මහාචාර්ය චරිත හේරත් එදින (මැයි 25) නිර්දේශ කළේ ය.
රටේ විනිමය අර්බුදයකට හේතුවූ රුපියල පා කිරීම වැනි තීන්දු තීරණ වලට තමාගේ කිසිඳු දායකත්වයක් නැති බව කියන ආචාර්ය රානී ජයමහ, මහ බැංකුවේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රවීන ආර්ථික විශේෂඥවරියෙකි.
ආචාර්ය රානී ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මුදල් මණ්ඩල සාමාජිකත්වයට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ හි මුදල් මණ්ඩල අනු කමිටුවලද මුලිකත්ව ගෙන කටයුතු කර තිබේ.
2020-01-01 සිට 2022-06-30 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් ආචාර්ය රාණි ජයමහ රුපියල් 3,225,000.00 ක මුදලක් ලබාගෙන ඇතිබව ද අනාවරණය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ එක් එක් සාමාජිකයින්ට මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හි මුදල් මණ්ඩල අනු කමිටු සඳහා සහභාගීවීම වෙනුවෙන් 2020-01-01 සිට 2022-06-30 දක්වා කාලය තුලදී කරන ලද ගෙවීම් පිලිබඳ සටහන පහත පළවේ.
ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට චෝදනාවක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුදැනුමක් නොමැතිව බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .
විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත .
මේ ආකාරයට අමාත්‍ය ධූර පිරිණැමීම තුළ ආණ්ඩුව පෙන්වා ඇත්තේ තම පක්ෂය යෝජනා කළ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කළ අදාළ නිවේදනය පහත දැක්වෙයි
දේශපාලන කටයුතු නාමල්ට : බැසිල් ගෙදරට !
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (9) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ වගකීම් දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත පවරා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
පසුගිය ජූලි 9 වැනි දින සිදු වූ මහජන නැගිටීම් හමුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටව යාමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී ගුවන්තොටුපලේ මගීන්ගෙන් සහ ආගමන විගමන අංශවලින් මතුවූ බාධාවන් හමුවේ ඔහුට නැවත හැරී යන්නට සිදු විය.
නමුත් අද උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර ඇත .
රාජ්‍ය අමාත්‍ය වියදම සීමා කරයි !
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත අද (සැප්තැම්බර් 09) ලිඛිත උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කළ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු සිදු කරගෙන යාමේදී එම නියමයන්ට අනුව පහසුකම් සැලැස්විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.
වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
ඒ අනුව,
1- රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් කෙරෙන්නේ නැත. එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයෙකු පත් නොකරන අතර එක් එක් විෂය පථයට ගැනෙන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කටයුතු පහසු කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු අතරින් ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවිය යුතුය. එම අතිරේක ලේකම්වරයාට සහාය වීම පිණිස දැනට අමාත්‍යාංශයේ සිටින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු පුර්ණකාලීනව යෙදවිය යුතුය.
2- අදාළ රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යාංශයට දැනට අනුමත කාර්ය මණ්ඩලයෙන්ම කාර්ය මණ්ඩල අවශ්‍යතා සපුරාදිය යුතුය. ඒ වෙනුවෙන් නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකළ යුතුය.
3- කාර්යාල පවත්වාගෙන යාම සඳහා දැනට අදාළ කැබිනට් අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන කාර්යාල පරිශ්‍රය තුළම පහසුකම් සලසාගත යුතුය.
4- රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්වරයා වෙත පමණක් නිල වාහනයක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබන අතර, පෞද්ගලික ලේකම්ගේ නිල රියදුරුගේ අතිකාල හා සංයුක්ත දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
5- සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරින් සඳහා පොදු වාහන 02ක් පමණක් වෙන් කර දිය යුතුය. අමාත්‍යාංශය සතු වෙනත් සංචිත වාහන එකී නිලධාරීන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළ යුතු වේ.
6- කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක සහ රියදුරු ස්ථීර රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අතරින් පමණක් තෝරාගත යුතු වේ. එම රියදුරන්ට මාසික අතිකාල දීමනා ලැබිය හැක්කේ පැය 150ක උපරිමයකට යටත්ව වන අතර ඔවුන්ගේ මාසික සංයුක්ත දීමනාව උපරිම දින 08කට හිමිකම් ලබයි.
7- පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී සඳහා අනුමත උපරිම සීමාවට යටත්ව සන්නිවේදන දීමනාව ලබාදිය යුතු අතර, එම සන්නිවේදන දීමනාවට දත්ත භාවිතා කිරීම, ජාත්‍යන්තර දුරකථන ගාස්තු, මාසික ස්ථාවර ගාස්තු, බදු මුදල් හා අනෙකුත් ගාස්තු අයත් වේ.
8- සහාය කාර්ය මණ්ඩල සඳහා රජයේ වියදමින් ජංගම දුරකථන ලබා නොදිය යුතුය.
ඒ අනුව සීඒ/1/17/1 සහ 2010 මැයි මස 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කර ඇති ලිපි සහ ඊට වරින් වර සිදු කරන ලද සංශෝධන සහිත ලිපිවල සඳහන් විධිවිධාන නැවත සංශෝධනය කරමින් මෙම නියෝගය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
සංවර්ධන ව්‍යාපෘතිවලට බාධා වන චක්‍රලේක සංශෝධනයට !
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාව සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් ද සහභාගී විය.
ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.
පසුගිය රජයන් විසින් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ලහිරු වීරසේකර අත්අඩංගුවට !
අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ ලහිරු ලහිරු විරසේකර ව මරදාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(09) අත්අඩංගුවට ගෙන ඇත .
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පසුගිය තිස් වෙනිදා පැවති විරෝධතාවක් අතර තුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
එම සිදුවීමට අදාළ තවත් විසිදෙනකු පමණ ඡායාරූප මගින් හඳුනා ගැනීමට නියමිතව ඇති බවද පොලීසිය කියයි.
බැසිල් ඇමෙරිකාව බලා පිටත් වෙයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද(09) උදෑසන අමෙරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව, කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේ ය.
ඔහු සඳහන් කළේ, උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
බැසිල් රාජපක්ෂ වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
Page 258 of 440