පුවත්
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයාගෙන් පණිවුඩයක් !
ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්රජාතන්ත්රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය බවයි.
ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් විශේෂයෙන්ම වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වසය පළ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධවීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ප්රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සහ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වර්තමානයේ හැකිවනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.
සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ප්රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රි ලංකා රජයට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් පාර්ශවයන්ට මෙම ගැටළු සම්බන්ධයෙන් සැබෑ සහ ප්රත්යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීම අවශ්‍ය බවත් එම සුබපැතුම් පණිවුඩයේ සඳහන්ය.
මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය පිළිබඳ සිහිපත් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙමගින් එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයෙන් ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද සඳහන් කර තිබේ.
දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කරගනිමින් ඉදිරියට යන විට, වෙළෙඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීමට තවත් අවස්ථා සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ හවුල් අභිලාෂයන් පිළිබඳ නායකයින් දෙදෙනා මැයි මාසයේදී කළ සංවාදය සිහිපත් කරමින් හරිත මූල්‍ය සහ පුනර්ජනනීය බලශක්තිය සමඟ එක්සත් රාජධානියේ සහාය සඳහා ශක්තිමත් අවස්ථා ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන විට දෙරට අතර වඩා ගැඹුරු සහ ශක්තිමත් හවුල්කාරිත්වයක් තවදුරටත් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා සබඳතාවලට ප්‍රමුඛත්වය දීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නය ද අගය කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්රයත්නය උපරිමයෙන් සාර්ථක කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සුභාශීංශන එක් කර තිබේ.
නව ලංකා නිදහස් පක්ෂයෙන් දිගු දුර මෙහෙයුමක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 71 සංවත්සරය සමරන අතරේ ඔන්න නව ලංකා නිදහස් පක්ෂයත් වැඩේට බැහැලා.
සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම,... නියෝජ්‍ය සභාපති ජීවන් කුමාරණතුංග ... ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී තිලක් වරාගොඩ ...
නව ලංකා නිදහස් පක්සේ කියන්නෙත් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක්..
ඔන්න දැන් සැප්තැම්බර් 05 වෙනිදා, බත්තරමුල්ල තට්ටු තුනේ බිල්ඩිමක, අලුත් කාර්යාලේ පටන් ගන්න ලු යන්නේ..
ප්‍රධාන ආරාධිත අමුත්තිය CBK .. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග..
කට්ටිය කියන්නේ, මේක මැඩම් ගේ වැඩක් කියල.. ඒකෙ ඇත්ත නැත්ත කොහොම වුනත්, වමත් - දකුණත් පොලිටිකල් විදියට කෙලවාගෙන ඉන්න වෙලාවේ, මැද මාවතකට පාර කපා ගන්නලු, නව ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ප්ලෑන් කරලා තියන්නේ..
බණ්ඩාරනායක උන්නැහේගේ මැද මාවතෙම යන්න කියලු, මැඩම් මෙයාලට උපදෙස් දීලා තියනවයි කියන්නේ..
මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ස්වාධිනවෙලා ඉන්න අනුරලා කණ්ඩායමේ 6 දෙනාත්, වැඩේට සෙට් වෙන්න නියමිතයි කියලයි, ආරංචි වෙන්නේ.. ඒ ආරංචියේ හැටියට චම්පික එක්කත් කතා බහ කරලලු තියෙන්නේ ..
ඊළඟ මහා මැතිවරණයේදී මැද මාවතේ පුළුල්ම සන්ධානේ හදන්න ලු, වෙල්ගමලා - අනුරයාපාලා චම්පිකලත් එක්ක මේ ට්‍රයි එක දෙන්නේ..
විපක්ෂයට ගිය 13 නේ රෙදි ටිකෙන් : බුකියේ මහජන ප්‍රදර්ශනයක් !
පොහොට්ටුවේ 13ක් කඩාගෙන ගියපු එකට පොහොට්ටු නඩේ ගේම අතෑරලා නෑ.
දැඩි බැසිල්වාදියෙකු වෙච්ච, මහින්ද පතිරණ පුවත්පත් මණ්ඩල සභාපති තුමා, එයාගේ ෆේස්බුක් එකේ දාල තියන පෝස්ට් එකක තියන්නේ මෙහෙම..
" වැඩ බැරි ජී එල් සහ ඩලස් ඇතුළු පිරිසක් ගෝඨාභය ෆේල් කළ වියත්මග මානසිකත්වය සහිත තවත් කීප දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙලාලු. සියතින් ගෙල සිඳ ගන්නව කියන්නෙ මේවට.
චන්න ගැන නම් දුකයි. පාර්ලිමේන්තුවට ආපු නවකයෙක් විදියට කැබිනට් ඇමතිකමකුත් ලැබුණා. මම හොඳට ම දන්නවා ඒක නිර්දේශ කළේ පක්ෂය කියල.
චරිත ගැන දුක නැහැ තරහයි. කුරුණෑගලින් නාමයෝජනා ලැයිස්තුවට එන්න බැරිව හිටිය චරිතවත් දන්නෙ නැහැ, ඔහුට ජාතික ලැයිස්තුව දෙන්න මම පුද්ගලික ව කරපු කැපකිරීම. අදත් පක්ෂයේ ලියවිලිවල තියෙන්නෙ මගෙ නිර්දේශය මත දුන්න කියල. එහෙම කරනකොට මම හිතුවේ පක්ෂයේ බුද්ධිමය තලය නියෝජනය කරමින් වැඩක් කරයි කියල.
ඒත් ඔහුට ආපු දවසේ ඉඳල හැකි ඉක්මනින් තනතුරු ඕන වුනා. තමන් ආවේ ඇයි කියල අමතක වුනා. අපි ජාතික ලැයිස්තුවට උගතුන් දැම්මේ පක්ෂයේ මතවාදය හදන්න මිසක් තනතුරු අරගෙන විනාශ වෙන්න නෙමෙයි.
දැන් මේ පිරිස එක්පයර්ඩ්. මේ කණ්ඩායම අවසන් වරට දේශපාලනිකව විනාශ වුනේ දිරපු ළනු මෝල් පිටින් කාලා ඩලස් ජනාධිපති කරන්න ගිහිං. එදා විමල්, ගම්මන්පිල, සජිත් පිළ හා දෙමළ ජාතික සංධානය එක්ක එකතු වෙලා සිඟිත ආතල් එකක් ගත්තා. දේශපාලනය හැසිරෙන්නෙ කොහොමද කියල තඹ දොයිතුවක ප්‍රායෝගික දැනුමක් නැහැ. තොර තෝංචියක් නැතුව කියවනව හැර රටට වැඩක් කරනව තියා හිතන්නනත් බැහැ. ලංකාවේ බොහෝ උගතුන්ගේ ස්වභාවය ඕක.'' ඔන්න ඔහොම තමයි මහින්ද පතිරණ දීලා ඇදලා තියෙන්නේ ..
බැසිල්ගේ උපදේශකතුමා එහෙම ගහද්දී, , හිටපු ජනාධිපති ගෝඨා ගේ උපදේශක, එරන්ද ගිනිගේ නිකන් ඉඳලා නැහැ.. එරන්ද කියල තියන්නේ මේ විදියට.
''නාලක, චන්න, චරිත වැන්නවුන්, තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්නා මිනිසුන්ය. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ උගත්කම වැනි සුදුසුකම් නිසා , ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමි විය යුතු බවයි. එය එන්ටයිටල්මන්ට් මානසිකත්වයයි.
ඔවුන් වැඩ කරන්නේ, ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට මිස, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොවේ. ඔවුන්ගේ ජීවිත අතෘප්තිකරය. ඒ නිසා ඔවුන්ට ඉවසීම නැත.
ඔවුන්ගේ පුද්ගලික ජයග්‍රහණ වෙනුවෙන්, ඕනෑම දෙයක් කිරීමට ඔවුන් පෙළඹේ. එවැනි අය සමග සාමූහිකව ගමනක් යෑම අපහසුය. අභියෝගයක් පැමිණි වහාම කණ්ඩායමේ අන් අය පාවා දී, සතුරාට එකතු වී ගොඩ යෑමට උත්සාහ කරයි. එවැනි ආත්මාර්ථකාමී අයගෙන් මිදීම මංගල කාරණයකි.'' ඔන්න ඔහොම කියන එරන්ද එයාගේ සටහන අවසන් කරන්නේ ධර්මය අපට මග වේවා!'' කියා ගෙන ..
පේනවා නේද , බැසිල්ගේ කට්ටියටයි, ගෝඨා ගේ කට්ටියටයි රිදිලා තියන රිදිල්ල..වැඩේ කියන්නේ නාමල්වත් එයාගේ යාලු මන්ත්‍රීලවත් හ්ම් නෑ .
-දේශපාලන වාර්තාකරු
ඉන්ධන මිලට වෙනදේ : ඇමති කාංචන කියයි !
ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
ඉන්ධන ආනයනික පිරිවැය අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් වීමේ අවස්ථාව නොමැති බව පැවසූ කංචන විජේසේකර අමාත්‍යවරයා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ පසු මිල සංශෝධනය විය හැකි බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් IMF නියෝජිතයන්ට කියපු දේ !
ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer) මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.
“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොළොත්බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළගාකරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”
අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරිම සහ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරා ගමන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට දියුණු විය හැකි අවස්ථාව ළගා කර ගැනීම මෙම ණය පහසුකමේ අරමුණ වේ.
• මූල්‍ය විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් දූෂණය අවම කිරීම, රාජ්‍ය පාලනය ගැඹුරු ලෙස විනිශ්චය කරමින් ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හඳුන්වා දීම
• සමාජ සුබ සාධනය සඳහා වන වියදම් ඉහළ නැංවීම මගින් දුප්පත් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් මත ඇතිව තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිලාභීන් නිවැරදි ලෙස හඳුනා ගැනීම
• රාජ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ආදායම් ඉහළ නැංවීම, පුද්ගලික ආදායම් බදු වඩා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, ආයතනික ආදායම් බදු සහ වැට් බද්දට අදාළ පරාසය පුළුල් කිරීම, මෙම බදු ප්‍රතිසංස්කරණ තුළින් 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම.
• රාජ්‍ය සතු ව්‍යවසායයෙහි වැඩි වන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිපූර්ණය කළ හැකි මිල යාන්ත්‍රණයක් ඉන්ධන සහ විදුලි බලය සඳහා හඳුන්වා දීම.
ඉන්ධන, ගෑස් හා වී ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්න - සාගල
රට තුළ පවතින තෙල්, ගෑස් හා වී ක්ෂේත්රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .
ඒ අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී බවත් වාර්තා වෙයි .
ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද අතර එහිදී ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙසත් හෙතෙම උපදෙස් ලබාදී ඇත.
භූමිතෙල් සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසද ජනාධිපති උපදේශක සාගල රත්නායක උපදෙස් ලබාදුන් බවත් වාර්තා වෙයි .
සහල් මිල ඉහල යාම, වී ගොවියාට සහතික මිලක් ලබාදීම, සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය. වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි.
වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගැණුන බවත් වාර්තා වෙයි .
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග මෙන්ම තෙල්, ගෑස් හා වී ක්ෂේත්රවල රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා බැංකු ප්‍රධානීන් පිරිසක් එක්ව සිට ඇත.
නෝනව දාලා වියත්තු විපක්ෂයට ගිහිල්ලා !
සමගියේ බිත්තරේ මගේ කූඩුවේ : ඩයනාගෙන් හර්ෂට ප්‍රතිචාර !
සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ පවසයි.
ඇය අද (01) පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කර සිටියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (31) ප්‍රකාශ කළේ ‘‘රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ‘‘ බවයි.
‘‘කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් ‘‘ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බව කී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සදහන් කළාය.
සමගි ජන බලවේගය කර තිබෙන්නේ ‘‘මගේ කූඩුවට‘‘ පැමිණ බිත්තර දැමීම යැයි ද, ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබතුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයි ද ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එහිදී පැවසුවාය.
වසර 04 කදී IMF වෙතින් : ලංකාවට ඩොලර් බිලියන 2.9ක් !
ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (01) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එම මුදල විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අවුරුදු 04ක කාලයක් තුළ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසීය.
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණය හිමියන්ගෙන් ණය සහන මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බවත් ඔවුන් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කරන බවට ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහයක් ගැනීම ඉතා වැදගත් බව මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට සියල්ල ඇතුළත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ලබා දීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට ඉකුත් 24 වෙනිදා සිට අද (01) දක්වා පීටර් බෘවර් සහ මසහිරෝ නොසාකිගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට,ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනොපායන් ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථිකය නැවත පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
දැඩි ප්‍රතිපත්ති මත රජයේ අදායම ඉහළ නංවා ගැනීම,ඉන්ධන සහ විදුලිය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්ට වැය කරන මුදලට සරිලන මුදලක් අය කර ගනිමින් එම රාජ්‍ය ව්‍යවසායන් ඇති කර ඇති අවදානම අවම කිරීම,මිල ස්ථාවරත්වය ඇති කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම,වත්මන් ආර්ථික අර්බුදයෙන් දැඩි අවදානමට ලක් වූ සහ දුප්පත් පවුල්වලට එල්ල වන බලපෑම අවම කිරීම,නම්‍යශීලි විනිමය අනුපාත මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීම,දුෂණය අවම කිරීම හරහා තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ මූලික අංග ලෙස හඳුන්වා දිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.
රජයේ අදායම ඉහළ නැංවීම සඳහා ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.එහිදී අදායම් බදු පුද්ගලයාගේ ධනය මත පදනම් විය යුතු බවත් ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔවුහූ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව ඇති වී තිබෙන වත්මන් අර්බුදයට ඉක්මණින් සහාය අවශ්‍ය බවත් සහාය ඉක්මණින් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ මානුෂීය අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් අරමුදලේ නියෝජිතයින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියන 2.9 ක මුදල ලබා දීම ආරම්භ වන කාලය කිව නොහැකි බවත් එය තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය මත සහ ණය තිරසරභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ණය හිමියන් ලබා දෙන සහතිකය මත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
අතීතයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දුන් රටවල් අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත් අවස්ථාද තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ,අරමුදල් වැඩසටහනක් ක්‍රියාත්මක වන රටකට අනෙක් බහු පාර්ශ්වික හවුල් කරුවන්ද ණය ලබා දීමට ඉදිරිපත් වන බැවින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදල ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රමාණවත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් තිබීම වැදගත් බව අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළේය.ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ සහතිකයක් ලබා දීමට එකඟ නොවූහොත් වත්මන් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සහ ණය හිමියන් අතර පැවැත්වීමට නියමිත ණය ප්‍රතිව්‍යූගත කිරීමේ සාකච්ඡාවලට මැදිහත් නොවන බවත් එම අරමුදලේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු කාර්ය මණ්ඩල ගිවිසුම විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන බව එම නියෝජිතයෝ පැවසූහ.
දුම්වැටි මිළ ඉහළට !
දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
12%ක් ලෙස පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇති බවත් වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අද (01) සිට මෙම මිළ වැඩි වීම සිදුව තිබේ.
2015 ඉඳලා ආයෙත් පටන් ගන්න වෙලා : එදා අගමැති අද ජනාධිපති !
"අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම්, දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි, ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි. සමහරක් විට හැබැයි ඒකෙන් තමයි ජීවත් වෙන්න පුළුවන් වන්නේ කියලා. දැන් කෝකද අපි තෝරාගන්නේ. මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. මට තියෙන දුක අවුරුදු 5කට පස්සේ නැවත 2017 වෙනකන් මේක ගිහිල්ලා, නැවත ඒ තත්ත්වයම උද්ගතවී නැවත එතැනටම ඇවිල්ල තියෙනවා. මේක තමයි අපේ රටේ හැම විටම සිද්ධවෙන්නේ." යයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (සැප්තැම්බර් 01 ) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
"2015 ත් ආර්ථිකය කඩා වැටිලා ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය 8.2% තුනට වගේ තිබුණ වකවානුවක තමයි අපිට පුළුවන් වුණේ මාස 33 කින් ඒක %15කට වැඩි කරන්න. මතක් කරන්න අවශ්‍යයි එදා හිටියෙත් අද ඉන්න ජනාධිපති, අගමැති වශයෙන් බව. එතුමා අපට හුඟක් උපදෙස් දුන්නා. හිටපු ලේකම් අද ජනාධිපති කාර්යාලය ආර්ථික දැක්මක් සහිත වැඩකරන සමරතුංග මැතිතුමා සහ එදා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා තමයි අද මහ බැංකු අධිපති ලෙස ඉන්නේ. ඉතින් එදා හිටිය ඒ කණ්ඩායම වශයෙන්ම අද ඒකට උත්තර දෙන්න තත්වයක් නැවත ඇති වෙලා තියෙනවා කියන එක ගැන මම හිතන්නේ දෛවය විසින් දුන්න අවස්ථාවක් ලෙසයි." යයිද හිටපු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.
අවුරුදු ගණනාවක් රටක් සංවර්ධනය වෙන්න මම හිතන විදිහට, මීට පෙර කියලා තියනවා වගේ, වනාන්තරයක් වගා කරන්න අවුරුදු ගණනාවක් යනවා. නමුත් එක ගිනිකූරකින් මුළු වනාන්තරයම නැති කරන්න පුළුවන් ඒ වගේ තත්වයක් තමයි ලංකාවට වෙලා තියෙන්නෙ.
ඉතින් අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අපි අනුන්ට බැනලා වැඩක් නැහැ. වෙලා තියෙන දේ ගැන අඬලා වැඩක් නෑ. නමුත් අපිට පුළුවන් නම් කොරියාව වගේ වෙන්න. බලන්න ලංකාවේ කිහිප තැනක්ම තියෙනවා, කොරියාව වගේ කියලා කියන, නමුත් බලන්න දැන් කොරියාව කොතරම් උදාහරණ අරගෙන, වැඩ කරලා තියෙනවද? ඒ නිසා මේ වුන දේවල් පැත්තකට දාලා හැම කොනකම මේකේ විරෝධතා එල්ලගෙන කරන බෝඩ් ලෑලි අල්ලගෙන කරන ඒවා කරන්නෙ නැතුව, තරුණ තරුණියන්ගේ කොච්චර හොඳ අදහස් තියෙනවද? ඒ අදහස් එකතු කරගෙන ඒ ඔක්කොම රටක් විදිහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකට එන්න ඕන. අපි ඔය බෝඩ් ලෑලි අල්ලන්න අවශ්‍යවන්නේ ප්‍රශ්නට පැය 24 කින් උත්තර නොදුන්නොත් විතරයි. මෙහෙම උනාම කොහොමද විදේශිකයන් මේ රටට ගෙන්න ගන්නේ.
හොඳම උදාහරණය රටේ ඉතිරිකිරීම් තියෙනවා නම් ඒක ආයෝජනයකට දාන්න පුළුවන්. ආයෝජනය නැත්නම් අපි අපේම ධෛර්යමත් භාවයෙන්, බැංකු තුළින් ඒ ව්‍යවසායකයන් ඇති කරන්න ඕන. මේ දෙකම නැත්නම්, අපි උඩ බල බල ඉන්නෙ නැතුව ආයෝජකයෝ ගෙන්නගෙන රටට සෙතක් වෙන වැඩක් කරන්න ඕන. රටේ හැම නගරෙකම හැම කොනකම බෝඩ් ලෑලි අල්ලගෙන ඉන්නකොට කොයි ආයෝජකයාට ද මේ රටට එන්න පුළුවන්. සුද්දෝ එන්නම අවශ්‍ය නෑ, අපේ ව්‍යවසායකයන් ඒ දේ කරේ නැත්නම් තමයි, ඒ අවස්ථාව විදේශිකයන්ට විවෘත කර දෙන්නේ.
මේක අංගසම්පූර්ණ අය-වැයක් ලෙස මට පෙනෙන්නේ නැති වුණාට හොඳ දේවල් තියෙනවා. නමුත් අඩුපාඩුත් ඒ ආකාරයෙන්ම තියෙනවා. අපිට මෙතැන වන්දිභට්ටයෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙ ඉදිරිපත් කරලා තියෙන දුර්වලතාවයන් සහ මේකේ තිබෙන ශක්තිය ගැන කතා කළ යුතුයි.
පේන්නේ මෙයින් ආදායම් බොහොමයක් වැඩිකර තිබෙනවා. එය බොහොම හොඳයි අපි එදා 15% ක බද්දක් ගහනකොට කොතරම් අපි බැනුම් ඇහුවද. ඒ බැනුම් ඇහුවට අද කීදෙනෙක් කියනවද එදා ක්‍රමය ගෙනිච්චා නම් , මේ ප්රශ්නය ඇති වන්නේ නැහැ කියලා. අපි එදා කරේ 2019 වෙනකොට සියයට දහනමයක් විස්සක් වෙන තත්ත්වයකට ඇති කරන්න තමයි.
ඒත් 2019 ජනතාවට වෙනසක් ඕන කියල, අපට රටක් ඕනේ බඩක් ඕනෙ නැහැ කියලා, අන්තිමට ඇවිල්ලා ආදායම මිලියන හයසීයක් විතර විසිකරලා, නිකරුනේ අපි ආර්ථික ප්‍රපාතයකට තල්ලු කරා.
ජාත්‍යන්තර අරමුදලෙන් මෙි ගමන කිව්වේ ඔබලා, අපෙන් අහන්න ඕනෙ නැහැ. දෙදහස් පහළොවේ දාසයේ දාහතේ කරපු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම්, මෙවන් තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ කියලා. මොනදේ උනත් අපිට මේකෙන් ගොඩ එන්න විදිහක් තියෙනවා. වියදම අඩු කරන්න ඕන කියන එක, අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වියදම අඩු කරන එක අමාරුයි තමයි. මොකද ආදායම අඩු වෙලා ආර්ථිකය කඩා වැටිලා නිසා.
සමෘද්ධිය ගෙනාවා. කෝටි 8500 ක් සහ පරිපාලන වියදම කෝටි 2300ක් වියදම් කරලා කොහෙටද මේක ගිහින් තියෙන්නේ. මේක අද නැති අයට ලැබෙන්නේ නැහැ. තියන අයටයි ලැබෙන්නේ. මේක හංගන්න දෙයක් නැහැ. මේවට තමයි අපි ඉලක්ක ගත කරලා වැඩ කරන්න ඕන. මෙන්න මේවට තමයි බෝඩ් ලෑලි අල්ලන්න තියෙන්නෙ. මම මෙවැනි දේවල් කියන්න හදන්නෙ රටට තියෙන ආදරයට. මොකද හැම කෙනාම බනින්නෙ වැරදි තැනට මිසක් හරි තැනට නෙමෙයි. නෙමෙයි මේක අපි එකතුවෙලා ඒකරාශී කරගෙන අත්වැල් බැඳගෙන කරුණාකරලා අවුරුදු එකහමාරකින් දෙකකින් අපේ රට යථා තත්ත්වයට පත් කරන්න බැරි වෙන්නේ නැහැ ඕන කමක් තියෙනවනම්. ඉතින් වියදම ඒ ආකාරයෙන්ම කරන්න අවශ්‍යයි. අපි දෙදහස් පහළොවේ අවට පස්සෙ අපි පෙන්ෂන් එක ගැන කතා කරා.
දැන් මෙතන ලක්ෂ 17 ක් ඉන්නවා හැම එක්කෙනාම කියනවා, හැම පක්ෂයකින් ම කියනවා, අද බෝඩ් ලෑලි අල්ලන අයත් කියනවා, මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ ලැජ්ජා වෙනවා, බයයි යමක් කියන්න ඇත්ත තත්ත්වය ගැන. බය නැතුව හරි කොන්දක් තියාගෙන කතා කරන්න මේ තියෙන රජය සේවකයන් මෙතනින් ඉදිරියට එන අයට, දැන් වැඩ කරන අයට, කිසිම හානියක් නැහැ. ඉදිරියට එන අයට අලුත් ආකාරයකින් මේක සකසන්න ඕනේ. අද ආදායම බිලියන 1500ක් ලැබෙන එකට ආදායමෙන් බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයටද මෙතනින් ඉදිරියට යන්නේ. මේක තව වැඩිවෙන්න වැඩිවෙන්න රටේ බංකොලොත් භාවය වැඩි වෙනවා.
අපි ඒක බලාගෙන ඉන්නවද? අන්න ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ල කියන්නේ උඹලට හිතන්න බැරිනම් හරියාකාරව අපි කොහොමද මේක තල්ලු කරලා දෙන්නම් හරියට හිතන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපට හිතන්න බැරි නිසා එයාල බයයි ක්‍රියාත්මක කරන්න නමුත් ක්‍රියාත්මක කරානම් අද සතුටුදායක තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි මම කියන්නේ අපි යම් විදියකින් දේශපාලනය කරන්න අවශ්‍ය වන්නේ, හරි දේ ජනතාවට දෙන්න මිසක් ජනප්‍රිය දෙයක් දෙන්න නොවෙයි. මෙන්න මේක තමයි, අපි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. මම දැක්කා පොහොර වලට කෝටි 3650 ක් වෙන් කරලා තිබෙනවා. නමුත් මම හිතන විදියට මේක එහෙම දෙන්නෙ නැතිව, එදා වගේ සාර්ථක මට්ටමකින් වවුචර් ක්‍රමය ගෙනිච්චා නම්, මම අනිවාර්යෙන් හිතෙනවා ගොවිතැනේ ඵලදායිතාවයත් වැඩි වෙනවා. මම මේ කියන්නේ ප්‍රායෝගික අත්දැකීමක් තුලින්.
ඒ වගේම තමයි අධ්‍යාපනය. මම හිතන විදිහට හරි මාර්ගයට ඇවිල්ල තියෙනව. විශ්වවිද්‍යාල ඇති කිරීම බොහොම හොඳ දෙයක් කියල හැමෝම කතා කරලා තියනවා. ඩොලර් මිලියන 2500 ක් අපේ සිසු පරම්පරාවට රටින් පිට යන්න වියදම් කරනවා නම් ඇයි මේ වගේ ලස්සන රටක, විශ්ව විද්‍යාල හය හත අටක් ඉදි කරන්න බැරි. මට මේ මෑතක දැනගන්න ලැබුණ තොරතුරක් තමයි, අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලෝකේ තියෙන ලස්සනම විශ්වවිද්‍යාල වලින් එකක්. ඒක හෙක්ටයාර්1200ක් විතර තියෙනවා. ඒ කියන්නේ අක්කර 2000 ක් විතර තියන තැනක්. මේකේ US ඩොලර් මිලියයක විතර ආදායමක් තිබෙනවා. ඒ වගේ වත්කමක් යටපත් වෙලා තියෙන තැනක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඉතිං මේ වගේ මුදල් ප්‍රමාණයක් යටපත් කරගෙන ඉදීමෙන්, ඒකෙ ඵලදායි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඒකෙ ඵලදායීතාවය හරි වටිනාකමට ලැබිලා නැහැ. මේ දේවල් කියන්න මේ අවස්ථාවක යොදාගන්න ඕනි කියලා මම හිතුවා."
මම ජනාධිපතිගේ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි : හර්ෂ ප්‍රසිද්ධියේ කියයි !
'මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි " යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර් ෂ ද සිල්වා පවසයි.
ඔහු මේ අදහස් දක්වා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (30) ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය .
''රනිල් වික්‍රමසිංහ මහතා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මේ පාර විතරක් නෙවෙයි. ඔහු හැමදාම ඉදිරිපත් කළේ පුද්ගලික අංශයට මුල්තැන දෙන, ලෝකය සමග එකතුවුණු, තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.
හැබැයි, ඔහුට ඒක කරන්න කවදාවත් මහින්ද රාජපක්ෂ ප්රමුඛ ලිංමැඩි ආර්ථික කල්ලිය ඉඩ දුන්නෙ නෑ. ඉතිං, මේ සැරේ ඒක කරන්න ඉඩ දේවිද? මම නම් හිතන්නේ මේ පාරත් ඔවුන් ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. කොහාට කූඩුවක් නෑ.
කොහා කාක්කාගේ කූඩුවේ ගිහින් බිත්තර දානවා. පොඩිකාලේ කොහාගේ පැටව්ත් කාක් පැටව් වගේ. හැබැයි, ටික ටික ලොකු වෙනකොට කොහා පැටව් කාක්කට අඳුරගන්න පුලුවන්. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා.
රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්රතිපත්තියත් කාක් කූඩුවේ දාපු කොහා පැටව් වගේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියන දේශපාලන තත්ත්වයත් එක්ක ක්‍රියාත්මක කරන්න අමාරුයි.
IMF සාකච්ඡා සාර්ථකයි : නිල නිවේදනය හෙට එයි : රොයිටර් ලෝකයටම කියයි !
ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මූලික එකඟතාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය හෙට (01) සිදු කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට මූලික එකඟතාවයක් ඇති කර ගත් පසු එය විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන අතර විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන් පසු එම රටට ලබා දෙන ණය මුදල නිදහස් කිරීම ආරම්භ කරයි.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී තවමත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අවසන් නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය එක් දිනකින් දීර්ඝ කළ බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.
- Lankadeepa
විපක්ෂය අයවැයටත් ආසයි බයයි - ඇමති නිමල් !
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය ආසයි බයයි ප්රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .
අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ අද (31) පාර්ලිමේන්තුවේ දී පැවති අතුරු අයවැය විවාදයට එක්වෙමින්ය .
ආචාර්ය හර්ෂ ද සිල්වා අයවැය යෝජනා ගැන දැක්වූ අදහස් අනුව එතුමාට ජනපතිගේ අතුරු අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය .
හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි පැවසූ අමාත්‍යවරයා එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ පැමිණ අභියෝගයට බෙල්ල දුන් බවද සිහිපත් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් දිනයට වඩා අද දිනය වන විට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
" ආසයි බයයි " ප්‍රකාශය විපක්ෂය අරඹයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේ , අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කළ අවස්ථාවේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ හැසිරීම විග්රහ කරමින් ය.
අත්අඩංගුවටගත් සිසුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට : ත්‍රස්ත මර්දන පනත යොදාගන්නේ නෑ - අගමැති
කිසිවකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් රටේ පවත්වාගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවත් කොළඹදී ඊයේ (30) පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන පවසයි. .
අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (31) මෙසේ සඳහන් කර සිටියේ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.
අත්අඩංගුවට ගනුලැබූ මේ පිරිස සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සාමාන්‍ය නීතිය යටතේ බවත් අගමැති පැවසීය .
ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා ආර්ථික මූල්‍ය ප්‍රශ්න සර්ව පාක්ෂික එකඟතාවයකින් විසඳා රට ගොඩනැඟීමට උදව් වන ලෙස සියලු පාර්ශවයන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.
" ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසය යළිත් සිහි ගන්වන්නෙත් නෑ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි කවුරු කවුරුත් අවධානය යොමුකළ යුතුයි.
විරුද්ධ පක්ෂයේ නායකතුමා තමන්ගේ ආසනයේ හිඳගෙන ඉන්නවා නම් වඩා හොඳයි. එතුමා ඇහුවේ හදිසි ප්‍රශ්නයක් නම් එතුමා තමන්ගේ ආසනයේ ඉන්න ඕන . මොකද මගෙන් හදිසි පිළිතුරක් බලාපොරොත්තු වුණ නිසා.
ශිෂ්‍ය ව්‍යාපාරය කලින් ඒ රැස්වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැනුම් දී තිබුණේ නෑ. ගිය ආණ්ඩු කාලේ, ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම කළ යුතුයි කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තියක්.
එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි .අනිත් ජීවත් වන සියලු දෙනාගෙත් අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොවන ආකාරයේ, කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනවා.
ඒ නිසා යම්කිසි කෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම්, ඒ අරගෙන තිබෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙනකොට අපට දන්වලා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. මොකද, අපි සියලු දෙනාම නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මඟින් බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම හිතනවා, කලබල වෙන්න දෙයක් නැහැ ප්රශ්නය අහපු එක හොඳයි.
අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙකු එහා පැත්තේ එහාට මෙහාට ඇවිදිනවා. මේ පැත්තෙත් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මම අවුරුදු තිහකට එහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා.එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්තුවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා, වැඩ කරගෙන යනවා.
ඒ නිසා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා.පෙරේදාත් මම සාකච්ඡාවක් කළා. කතානායකතුමනි, මේ සර්ව පාක්ෂික එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන. එයට ප්‍රමුඛත්වය දී මේ අපි මුහුණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්රශ්නය හමුවේ එකඟතාවයෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
අකුරු සිරකළ යදම් බිඳලමු : උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමු !
රත්නපුරට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමගයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් වඩාත් විමසිල්ලෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් බස්නාහිර , දකුණු , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි හැකි බව කාලගුණ අනාවැකි සදහන් කරයි.
මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි !
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.
මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මේ බව සඳහන් කළේය.
විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන භාවිතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.
ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.
එම තීරණයෙහි කිසිදු වෙනසක් නැති බවත් ඔහු සඳහන් කළේය.
මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද ? යන්න පිළිබඳ මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලබන වසරේ පෙබරවාරි මස 23දා මෙම පෙත්සම් නැවත කැඳවීමට නියම කළේය.
මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් හතර දෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තැබීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ ජුනි මස 26 වනදා ප්‍රකාශයක් කර තිබුණි .
ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය,සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කෙරිණ.
එවකට සිටි ජනාධිපතිවරයාගේ එම තීරණය මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි බවට එම පෙත්සම් මගින් චෝදනා කර තිබුණි. එසේම එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන්ට පටහැනි බව ද අයුක්ති සහ අසාධාරණ බව ද පෙත්සම්කරුවන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
එබැවින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම තීරණය බල රහිත කරන නියෝගක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
Page 262 of 440