නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් "කැට" දේශපාලනය !
නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීම ප්‍රතිපත්තිය , මෙරට තුළ දෛනික සටන් පාඨයකි. ශිෂ්‍ය ව්‍යාපාරවල මුක්තිය ලියාගත් පාර්ශ්ව උදේ හවස ඒ වෙනුවෙන් උද්ඝෝෂණ සිදුකරයි. පෝස්ටර් ඇතුළු විවිධ ප්‍රකාශන බෙදයි. ඒ වෙනුවෙන් කියා " කැට" හොලවයි.
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල්වීම යන්න සම්බන්ධ කරුණේදී ඔවුන් නියෝජනය කරන්නේ , මෙරට පසුගාමී වාමාංශික පක්ෂ වල ස්ථාවරයයි. ඒ අධ්‍යාපනය රාජ්‍ය විසින් නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතු බවයි. මේ ස්ථාවරය දශක ගණනක් තිස්සේ දකින්නට හැකි නමුත් , ලබාගත් ප්‍රතිඵලයක් තිබේද යන්න ගැටලුවකි.
උසස් අධ්‍යාපනයේ ඛේදවාචකය !
මේ බව යළි යළිත් තහවුරු කරන ආසන්නතම උදාහරණය වන්නේ පසුගියදා නිකුත්වූ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵලයයි.
2021 වසරට අදාළ විභාගය සඳහා පෙනීසිටි සිසුන් ප්‍රමාණය 272,682කි. එයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රමාණය 171,497කි. ප්‍රතිශතයක් ලෙස 62.9% ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර , එය සැලකිය යුතු තත්ත්වයකි.
කෙසේ වුවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ මෙවර විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා ප්‍රමාණය 42519ක් පමණක් බවය. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා විභාගය සමත් වුවත් , ඊට ඇතුළත් වීමට අවස්ථාව අහිමිවන ප්‍රමාණය 128,682කි.
මෙය 2021 උසස් පෙළ විභාගයට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේය. මෙය පරම්පරා කිහිපයක් ලද ඛේදවාචී ඉරණමකි. පරම්පරාවක් මේ ඛේදවාචී ඉරණම භුක්ති විඳින අතරේ, උසස් පෙළ අසමත් පදනමින්ද ශ්‍රම බලකායේ ජවසම්පන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා විරහිත තත්ත්වයට පත්වෙයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් ප්‍රමාණයත් සැලකීමේදී තත්ත්වය තවත් බරපතළ වෙයි.
අධ්‍යාපනය සඳහා අවස්ථා පුළුල් කිරීම !
එක් පසෙකින් අලුත් විශ්ව විද්‍යාල සහ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන ප්‍රමාණය කාළීනව වැඩි කිරීමට රජයට ප්‍රාග්ධන ප්‍රශ්නයක් ඇත. අප වැනි ආර්ථිකයක් ඇති රටක මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. අනෙක් පසින් ලෝකයේ දියුණු කිසිම රටක් රාජ්‍ය මත අධ්‍යාපන සීමා ඇතිවීමට ඉඩදීද නැත.
ඔවුන්ගේ ඊට අදාළ උපායමාර්ගික එළඹුම වී ඇත්තේ , අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය ඇති කිරීමය. ඒ තුළ එක් එක් රටවල් ශිෂ්‍යත්ව , ආධාර , සහන ණය ඇතුළු විවිධ සහයන් ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කර ඇත.
ජනාධිපති රනිල්ගේ අතුරු අයවැය තුළ යෝජනාව !
කෙසේ වුවත් ශිෂ්‍ය ව්‍යාපාරය සින්නක්කරව ලියාගත් සංවිධාන සහ පසුගාමී වාමාංශික පක්ෂ කණ්ඩායම් වල ප්‍රොපගැන්ඩා හේතුවෙන් මෙරට පත්වූ බොහෝ ආණ්ඩු, අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වන මෙම උපායමාර්ගික එළඹුමට අත තැබුවේ නැත. එනිසා පරම්පරා ගණනාවක් සටන් පාඨයක් මත ජීවිතය දියකර ගත්තේය.
දැන් ප්‍රශ්නය වන්නේ මේ අවාසනාවට තිතක් තියන්න තවත් කොතරම් වන්දියක් ගෙවීමට අවශ්‍යද යන්නයි. සටන් පාඨ කරේ තබාගත් උදවියගේ නායකයන් , හීන් සැරේ තම දරුවන් මෙරට තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ විදෙස් අධ්‍යාපනය සඳහා යොමුකරන බවටත් ඕනෑ තරම් උදාහරණ ඇත.
2022 අතුරු අයවැය තුළ උසස් අධ්‍යාපනයට අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගතයුතුව ඇත්තේ එවැනි පසුබිමක ය.
අතුරු අයවැය ගෙනෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ , උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය ඇති කරන බවය.
විදෙස් සිසුන් ලංකාවට අකැපද ?
මෙකී යෝජනාව වැදගත් වන්නේ , උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන සිසුන් මෙරට තුළ රඳවා ගෙන විදෙස් විනිමය ඉතුරු කිරීම වැනි සරල තර්කයක් තුළ නොවේ. මෙකී යෝජනාව වැදගත් වන්නේ විදෙස් සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවර කිරීම හරහා විදෙස් සංචිතයට සැළකිය යුතු ආදායමක් ලැබීමට පැහැදිලි ඉඩක් ඇති නිසාය. ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය අතුරු අයවැය කතාව තුළ අවධාරණය කර සිටියේය.
එසේම මේ වන විට දකුණු ආසියානු කළාපය තුළ බංග්ලාදේශය , ඉන්දියාව , නේපාලය වැනි රටවල් මේ සඳහා යොමුව ඇත බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී වැදගත් වන්නේ ,විදෙස් සිසුන් මෙරටට කැඳවීම සඳහා දකුණු ආසියාවේ මෙම රටවල් සමග තරග කිරීමට අපට ඇති අවස්ථා තේරුම් ගැනීමය.
ඉන්දියාව සමාජීය වශයෙන් අර්බුද රැසක් ඇති රටක් වන අතර , දීර්ඝ කාලයක් රැඳී සිටීමට සුදුසු රටක් ලෙස ප්‍රසිද්ධ නැත. එසේම විවිධ අතවර සහ හිංසනයන් ඇතුළත් සංස්කෘතික බාධා රැසක් එහි පවතී. බංග්ලාදේශය සහ පකිස්ථානය සැලකීමේදී ද ආගමික සීමා ඇතුළත් සංස්කෘතික සීමා රැසක් එහි පවතී.
මේ කිසිවක් එකී රටවල තරම් මෙරට නොමැති අතර , ඇකඩමියාව පැත්තෙන් සැලකුවද පැහැදිලිව එම රටවලට තරගයක් දීමට හැකියාවක් ලංකාව සතුවෙයි. එසේම දේශගුණික තත්ත්වය අනුවත් ලංකාවේ තත්ත්වය මේ කලාපයේ අනෙක් සෑම රටකටම වඩා යහපත් ය.
ඒ අර්ථයෙන් ජාත්‍යන්තර කීර්තිමත් සහ ප්‍රමිතිගත විශ්ව විද්‍යාල වල කේන්ද්‍රයක් බවට ලංකාව පත්කිරීමේ පැහැදිලි ඉඩප්‍රස්ථා අපට ඇත. එසේ නම් මෙරට අධ්‍යාපන අවස්ථාව විදෙස් සිසුන් වෙත අකැප විය යුතුද යන්න සිතා බැලිය යුතු තත්ත්වයකි.
එසේම එම විශ්ව විද්‍යාල විදෙස් සිසුන්ට පමණක් නොව, මෙරට සිසුන්ටද අවස්ථාව හිමිවෙයි.
විදෙස් සිසුන් ආවොත් අපිට නැති වෙන්නේ මොනවද ?
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ යහපාලන සමයේ, රාජ්‍ය විශ්ව විද්‍යාල අවස්ථාව අහිමිවූ සිසුන් සඳහා උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට හඳුන්වාදුන් සහන ණය ක්‍රමය ඔබට මතකද ? ඊට අනුව අදාළ සිසුන්ට තමන් කැමති ක්ෂේත්‍රයේ උපාධියක් ලැබීමට අවස්ථාව හිමිවිය. ඒ වෙනුවෙන් වන ණය මුදල ගෙවිය යුතු වන්නේ , වසර 5කට පසුව , රැකියාවක් කරන අවස්ථාවේ ය. එයත් පොළි රහිතව ය.
මෙවැනි ක්‍රම හඳුන්වාදීම මෙරට උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවන සිසුන් වෙත කොතරම් වැදගත් ද ? ලෝකයේ දියුණු රටවල පවා එවැනි ක්‍රම ඇති අතර , එරටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාමට එවැනි ක්‍රම දායක වූ බව ප්‍රතිකේෂ්ප කළ නොහැකිය.
ඒ අර්ථයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව සැලසීම , උසස් අධ්‍යාපනය වෙනුවෙන් වන අවස්ථා පුලුල් කිරීමක් මිස අපට තිබෙන දෙයක් නැති කරන්නක් නොවේ.
එක ගලෙන් කුරුල්ලන් කිහිපයක් !
2022 අතුරු අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ , විද්‍යාව, තාක්ෂණය , ඉංජිනේරු විද්‍යාව, ගණිතය (STEM Subjects ), මූල්‍යකරණය, තොරතුරු තාක්ෂණය , වෛද්‍ය විද්‍යාව මූලික කරගනිමින්, ශාඛා විශ්ව විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම් සැලසීම ය.
ඒ තුළ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල ශාඛා මෙරටට පැමිණීම සිදුවෙයි. විදෙස් සිසුන් ද ඒ වෙත පැමිණෙන අතර , ඒ හරහා මෙකී විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව පවා වෙනම ආර්ථික බිහිවෙයි. එසේම විදෙස් සිසුන්ගේ ඥාතීන් මෙරට සංචාරය කිරීමත් සිදුවෙයි. ඒ තුළ සංචාරක ව්‍යාපාරයටද වෙනම ආදායම් එක්වීමක් සිදුවෙයි.
මේ සමස්ථය විග්‍රහ කරගැනීමේදී නවීන ලෝකයට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුළ බිහි කිරීමටත් මෙකී යෝජනාව පැහැදිලි බලපෑමක් සිදුකරයි.
ඒ කියන්නේ යල්පිනූ මෙරට අධ්‍යාපනය ගුණාත්මක පිම්මක් ලබන්නටත් මේ හේතුවනු ඇති බවය.
දැන් අපි අහන්නේ, " අප පසුකර ලෝකය දිවයන විට, අධ්‍යාපනය එකතැන කැරකිය යුතුද ?" කියාය.
කල්ප අනුත්තර