පුවත්
අසූචි පොහොර එවූ චීන සමාගම අසාධූ ලේඛනයට : කෝටි 138 පාඩුවට නඩු !
ආන්දෝලනාත්මක චීන පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් එකසිය තිස්අට කෝටි විසි ලක්ෂයක් පාඩුවී ඇති බව හෙළිකරන විගණකාධිපතිවරයා අදාළ ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට නඩු පවරා එම පාඩුව පියවාගෙන චීන කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ලංකාව තුළ අසාධූ ලේඛනගත කරන්නැයි නිර්දේශ කර තිබේ.
පසුගිය මහ කන්නයේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාඕ සමාගමෙන් ආනයනය කිරීමේ ගනුදෙනුව පිළිබඳ සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් විගණකාධිපතිවරයා මෙම නිර්දේශය සිදුකර ඇත.
රසායනික පොහොර රට තුළ තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය රජය චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බැවින් ශ්‍රී ලංකාවට නොගැළපෙන පොහොර බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ විශේෂ කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති අයුරු විගණනය වාර්තාව පෙන්වා දෙයි.
අනතුරුව ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර, ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් 75%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව, මෙම ගනුදෙනුව හරහා රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.
lankasara
සජිත් අගමැති ධූරය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වෙයි !
අරගලය අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සිදුකළ ආරාධනය ප්‍රතිකේෂ්ප කළ හේතුව සංශෝධනය වී ඇත.
ඒ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ සංශෝධනය කළ හේතුව දක්වා තිබේ.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ , "තමන්ට අගමැති ධූරය බාරගන්න ආරාධනා කොට එම කණ්ඩායම බලාපොරොත්තු වුනේ දින කිහිපයකින් පසු විශ්වාසභංගයක් ගෙන විත් තම දේශපාලන ජීවිතය අවසන් කර දැමීම" බවය.
තමන් මේ බව තේරුම් නොගැනීමට තරම් දේශපාලනය අපරිණත අයෙකු නොවන බවත් එවන් ලොසිංජර වලට තමන් නොරැවටෙන බවත් විපක්ෂ නායකවරයා පවසයි .
ආණ්ඩුවට වැඩක් කරන්නට නොහැකි බව ප්රත්යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසට බවත් ඔහු පවසයි .
පුරවැසියන් විසින් දියත් කළ අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බවත් ඒ වෙනුවට උපක්රමශීලීව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින බවද විපක්ෂනායකවරයා තව දුරටත් කියා ඇත .
හොරු එක්ක හිටගන්න බෑ !
කෙසේ වුවත් මීට පෙර විපක්ෂ නායකවරයා පවසා සිටියේ හොරු සමග හිටගන්න ඇති බලවත් අකමැත්ත නිසා අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවය.
පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගල නායිකාවක් ලෙස පෙනීසිටි රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ද ඒ බව තහවුරු කළාය.
කෙසේ වුවත් මේ වන විට එකී ස්ථාවරය සංශෝධනය වී තිබේ.
මේ හමුවේ ඉතිරිවන ප්රශ්නය නම් , අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම්දීමට සූදානම් වන බව දැනගෙන තමන්ද අගමැති ධූරය ලබාගන්නට සූදානම් බව දැනුම්දීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නියෝජිතයන් යවනු ලැබුවේ, විශ්වාසභංගයෙන් පරාජය කිරීමේ සූදානම ගැන නොදැනද යන්නයි.
ලංකා IOC සමාගමත් පෙට්‍රල් මිල පහළ දමයි !
ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව එහි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා පවසයි .
ඒ අනුව, ලංකා IOC සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410.00 ක් ලෙස සඳහන් වෙයි.
එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරටයක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රු. 510.00 ක් වෙයි.
සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවත් ලංකා IOC සමාගම පවසයි .
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් මිල පහත දැමූ ලෙස ලංකා IOC සමාගමත් කටයුතු කර ඇත .
පෙට්‍රල් මිල පහළට !
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් හා පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 410.00 ක් වශයෙනි .
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරටයක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 510.00 ක් වශයෙනි .
ඩීසල් හා සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනස් වීමක් සිදුව නැත.
මීට අදාළ නිවේදනය පහත දැක්වෙයි .
කොසු මිටි ප්‍රහාරය ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී
විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ.
ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන බවයි.
නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට විදුහල්පති විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු සිසුවිය සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ශාවිත්‍රි ශර්මා පවසයි.
පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් ," සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ලග වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්," යි කී අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට පන්න පන්නා අමානුෂික ලෙස කොසු මිටකින් පහර දුන් බව සිසුවිය පවසා තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ රටේ පවතින ආර්ථික තත්වය හමුවේ ඇතැම් ගුරුවරුන් තම නිවසින් ආහාර ගෙනවිත් පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කටයුතු කරන මොහොතක ඉහත විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැලලක් ඇති කිරීමට හේතු වු බවයි.
පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම් සිදු කළ නොහැකි බවට චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් රජය සිසුන්ගෙන් මුදල් අය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඉල්ලා සිටින්නේ, පාසල් සිසුන්ගෙන් මුදල් අයකරගැනීමට කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
පාසල් දරුවන්ට ශාරීරික හා මානසික දඩුවම් පැමිණවීම සිදු නොකළ යුතු බවට නිකුත් කර තිබෙන චක්‍රලේඛ පවා නොතකා හරිමින් සිදු කරන මෙවැනි පහරදීම් සංගමයක් වශයෙන් දැඩි ලෙස හෙළා දකින බවයි ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පවසයි.
රටේ පාසල්වල විදුහල්පතිවරුන් මීට වඩා ඉදිරිගාමීව කටයුතු කළ යුතු බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් අවධාරණය කරයි.
දරුවන්ට සහ වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර..
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (01) දිනයේ ළමුන්ට හා වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වී විනෝද වීමට අවස්ථාව සලසන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි.
සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබේ.
වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී බව අමාත්‍යයා වැඩිදුරටත් පවසා සිටී.
ගෝඨාභය යළිත් ජනාධිපති කරන්න : ජවිපෙ වසන්තගෙන් තර්කයක් !
අරගලය වැරදි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත්ව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ජනාධිපති විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.
එමෙන්ම දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කල යුතු බවද ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ අදහස් දක්වා සිටියේ අනුරාධපුර පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
එහිදී ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියේ අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් සත්‍ය වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් බවත්ය.
ඔක්තෝබර් අග දේශපාලන සුනාමියක් : හිරුණිකාගෙන් අනාවැකියක් !
මෙම ඔක්තොබර් මස අවසාන වන විට දේශපාලන සුනාමියක් නැවත පැමිණෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.
එම ජන සුනාමිය විසින් දූෂිත දේශපාලඥයන් මුලිනුපුටා දමනු ඇතැයි ද ඇය සඳහන් කරයි.
හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අත්වූ ඉරණම ජන සුනාමිය විසින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහටත් අත්වනු ඇතැයිද ඇය පැවසුවාය.
පැවැති අරගලයට පාරට බැස්සේ මධ්‍යම පාන්තික ජනතාව වුවත් ඊළඟ අදියරේ පෙරමුණ ගන්නේ දුප්පත් ජනතාව බවද ඇය සදහන් කලාය.
ජාතික කාලගුණික සැලැස්ම සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් !
ජාතික කාලගුණික සැලැස්ම මෙරට සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
“කාලගුණික අවදානම් සංසදයේ” උපදේශිකාවන් වන සාරා ජේන් අහම්ඩ් (Sara jane ahmed) සහ මිනියෙට් ෆැබ්බිනා (Miniyat fabbiha) ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී ඊට අදාළ දළ සැලැස්ම ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරිණි.
පරිසර අමාත්‍යාංශය මූලික කරගනිමින්, වාරිමාර්ග හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර මෙන්ම මේ සඳහා බලපාන සියලුම ක්ෂේත්රවල විභවතාවයන් හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන සැලසුම්වලට ජාතික දේශගුණික සැලැස්ම ද දායක කර ගෙන ව්‍යාපෘතී සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.
ලංකාවේ ණය අර්බුදය විසඳාගැනීමට පූර්ණ සහය : ජපාන මුදල් ඇමතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක් !
ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට ජපානය පාර්ශවයෙන් සහාය ලබා දීමට සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව ජපාන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ මහ බැංකු අධිපතිවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජපාන මුදල් අමාත්‍යවරයාගේ මේ අදහස් දැක්වීම ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වීමත් විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තා වල තවදුරටත් සඳහන්ට වන්නේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමත්ව ඇති බවය,
කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීම ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.
එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි අවධාරණය කර ඇත.
හිටපු ජනපතිගෙන් රීට් පෙත්සමක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.
ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.
ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කළේ ඉකුත් 16 වැනිදාය.
මෝදි - රනිල් හමුවක් ජපානයේදී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.
හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු බවත් වාර්තා වේ.
එහිදී නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව ද සුබ පැතුම් පළ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.
ආගමික ස්ථාන විදුලි බිල සහනය සෝලාවලින් විතරයි !
ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල භාවිතයෙන් විදුලිය ලබා දීම ට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී පිරිවෙන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්දියානු නව ණය ක්‍රමයක් මගින් යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට ආගමික කටයුතු අමාත්‍යාංශය තෝරා ගැනීම මත ආගමික සිද්ධස්ථාන ද ඇතුලත් කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත .
එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති බවද පවසන අමාත්‍යවරයා විදුලි බිල සංශෝධනයේදී පාදක වූ කරුණු සහ එය සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම ද එහිදී සිදු කර තිබේ.
සජිත්ගේ මාරුව වැරදිලා : කිරිඇල්ල ජාතික සභාවට ගිහින් !
රට මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදය ඇතුළු සෙසු ප්‍රශ්න විසඳීම සඳහා පත් කෙරුණු ජාතික සභාව කමිටුවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පැවැත්වුණු අතර එම රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.
ජාතික සභාව රැස්වීම වර්ජනය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උත්සාහ කළත් පක්ෂ අභ්‍යන්තරයේ බලපෑමක් හේතුවෙන් ඊට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහභාගි වූ බවත් වාර්තා වෙයි .
එහිදී කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ විපක්ෂ නායකවරයා වෙනත් හදිසි කටයුත්තක නියැලී සිටි හෙයින් තමාට එම රැස්වීමට සහභාගී වන්නැයි ඔහු දැනුම් දුන් බව ය.
මෙයට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු හවුල්කාර පක්ෂවල නායකයන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ,රිෂාඩ් බදුර්දීන් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයාද ජාතික සභාවට සහභාගි වූහ.
මේ අතර ‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ අනුකමිටු දෙකක් පිහිටුවීමට තීරණය කෙරිණ.
කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීමට මෙම අනුකමිටු පිහිටවනු ලැබේ.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසංක නවරත්න, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද සහභාගිවූහ.
ජාතික සභාවේ පළමු රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගිවූ බවයි.
මෙම සභාව ජනතාව හා පාර්ලිමේන්තුව අතර ඇති විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා විවෘත කෙරුණු අලුත් දොරටුවක් බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ජාතික සභාව හමුවේ කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටු වල බලය විපක්ෂයට හිමිවිය යුතු බවයි.
මෙම කමිටුවල බලය විපක්ෂයට ලබා නොදුනහොත් ජාතික සභාවේ ඉදිරි රැස්වීම්වලට සහභාගී වීමේදි දෙවරක් සිතීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය
ජාතික සභාව සෑම පාර්ලිමේන්තු සතියකම බ්‍රහස්පතින්දා රැස්වීමටද මෙහිදී තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .
ප්‍රසන්න පුත්‍රයාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය ගැන පැමිණිල්ලක් !
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුතා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත .
අදාළ පැමිණිල්ල අද (29) සිදුකර ඇත .
රාජ්‍ය දේපළක් වන අමාත්‍යංශ වාහනයක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට මෙවැනි දෙයකට පාවිච්චි කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් නිරාෂාන් විතානගේ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
මහනුවරටත් සති අග සුඛෝපභෝගි දුම්රියක් !
කොළඹ කොටුව සිට මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් පළවෙනිදා (1) සිට ධාවනය වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි .
කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය අඛණ්ඩව මහ නුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරිම” යන මැයෙන් අද (29)පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9. 18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහුනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.
මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ආසනයකට රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500 කටත් මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
ඉදිරියේ දී අනුරාධපුරයටද සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත්, අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
ගෝලීය දේශපාලන ප්රවණතා ආර්ථික අර්බුදය : තවදුරටත් උග්‍ර කරලා ජනපති පවසයි !
කෝවිඩ් වසංගතය මෙන්ම යුක්රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
ගෝලීය දේශපාලන ප්රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි අද (29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.
එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හොඹවනු ලැබීය. පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.
ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වනදා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා පැවැත්වෙයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය .
ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ සභාපතිවරයා ලෙස අද ඔබ ඇමතීමට ලැබීම මගේ භාග්‍යයක්. අද, ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජික රටවල්, වසර තුනකට පසු, ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික රැස්වීමේ දෙවන අදියර සඳහා මෙම ක්‍රියාශීලී නගරය වන මැනිලාහිදී, රැස්වී සිටිනවා.
පළමුවෙන්ම, මෙම ගෞරවනීය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට (ADB) සහ පිලිපීන රජයට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වාර්ෂික රැස්වීමේ දෙවන අදියර කොළඹදී පැවැත්වීමේ අවස්ථාව අපට මගහැරී ගියා. කෙසේ වෙතත්, නුදුරු අනාගතයේ දී ඔබ සැම කොළඹට පිළිගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
ආසියානු සංවර්ධන බැංකුව ඉතා ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර, එය මුළු කලාපයටම ගැඹුරින් දැනෙනවා. 2021 දී, ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට ඩොලර් බිලියන 22.8 ක් ලබා දී ඇති අතර, තවත් අනෙකුත් ප්‍රභවයන් සමඟ හවුල්කාරීත්වය හරහා සම-මූල්‍යකරණය සඳහා අතිරේක ඩොලර් බිලියන 12.9ක් ලබාදී තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවෙහි “උපායමාර්ගය 2030” මගින් දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත්, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇතුළු ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරන අතරම ඩිජිටල් ආර්ථිකයේ අවස්ථා වැලඳ ගැනීම, තිරසාර බලශක්තිය සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට උත්තේජනය කරයි. මේ අනුව, ආසියා සහ පැසිෆික් කලාපය පුරා සිටින ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කරන ප්‍රතිපත්ති හැඩගැස්වීමට සහ මූල්‍යකරණයට උපකාර කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුවට තීරණාත්මක කාර්යභාරයක් ඇත.
කෝවිඩ් වසංගතය විසින් නිර්මාණය කරන ලද සැපයුම්දාම දෙදෙරා ගියා සේම යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රධාන වශයෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේය. ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය හැකිලීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව අතර තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙනවා.
මෙම කම්පනවල ප්‍රතිඵලයක් වශයෙන්, නැගී එන වෙළෙඳපොල හරහා ස්වෛරී ණය බරතාවයෙහි ඉහළ යාමක් සිදුවී ඇත. නැඟෙනහිර ආසියාවේ සහ දකුණු ආසියාවේ වර්ධන ඉලක්ක පහළට වැටී තිබෙනවා. මෙය වහා විසඳා නොගත හොත්, එය සියලු ආර්ථිකයන් හරහා වර්ධනයට සහ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන ණය බරතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවධානමක් ඇති කරනවා.
ශ්‍රීලංකාව ඇතුළුව පෙර පැවති ආර්ථික අවධානම් සහිත රටවල් වඩාත් බලපෑමට ලක්ව තිබෙනවා. එබැවින්, කලාපය පුරා සහ ඇත්ත වශයෙන්ම ලෝකය පුරා ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණයහිමියන් සහ ණයගැති ජාතීන් සමානාත්මතාවයෙන් සාමූහිකව කටයුතු කළ යුතුයි.
ගෝලීය වේදිකාවේ වර්ධනය ශ්‍රී ලංකාවේ ස්වයං-ප්‍රේරක ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු වෙනසක් ඇති කිරීමට තුඩු දුන් දේශපාලන පිපිරීමක් ද සිදු වුණා. අද අපි ආර්ථිකය ස්ථාවර කර ඇති අතර බොහෝ රටවල් සහ පාර්ශ්වකරුවන් මෙම අර්බුදය විසඳා ගන්නේ කෙසේද යන්න දැඩි ලෙස නිරීක්ෂණය කරනවා. මෙම අර්බුදය විසඳීම සඳහා අප සියලු පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි බැලීමට බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවේ වර්ධනයන් දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ විකාශනයට දේශීය ප්‍රතිපත්තිමය අංග මෙන්ම බාහිර අර්බුදකාරී තත්ත්වයන්ද ඇතුළත් බව අපි හොඳින් දන්නවා. ඒ කියන්නේ, අර්බුදය විසඳීම සඳහා දේශීය උත්සාහයන් සහ බාහිර හවුල්කරුවන්ගේ සහයෝගය ද අවශ්‍ය බවයි. සහයෝගිතා සහ සද්භාවයෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වෛරී ණය ප්‍රශ්න සඳහා තිරසර සහ සාධාරණ විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක් තැබීම ශ්‍රී ලංකාවේ සහ අපගේ ණයහිමියන්, හවුල්කරුවන් වෙත පැවරී තිබෙනවා.
මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දියත් කර තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බව ඔබට මම සතුටින් දන්වා සිටිමට කැමැතියි. මෙම වැඩසටහන පෙළගැසී තිබෙන්නේ, ආණ්ඩුවේ කැපවීම සමඟ අපගේ රාජ්‍ය මූල්‍යවල තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට, බාහිර අසමතුලිතතා ආමන්ත්‍රණය කිරීමට විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාවට නැංවීමටයි.
විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ කැපවීමේ කොටසක් ලෙස පෙර නොවූ විරූ මූල්‍ය ප්රයත්නයක් දරනවා. අපගේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්රයත්න සඳහා ශ්‍රී ලංකාවේ ණයහිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් අපට සහාය දක්වනු ඇති බව අපගේ බලාපොරොත්තුව සහ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව මෙම ගැඹුරු සහ බොහෝ විට දරාගත නොහැකි පීඩාකාරී ප්‍රතිසංස්කරණයන් සිදු කරන අතරම, ඉහළ යන විරැකියාව සහ පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අපි අත්විඳිමින් සිටිනවා. සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ රජය දැනුවත්. ඒ අනුව, සමාජ ආරක්ෂණය සඳහා ඉලක්කගත සහාය සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් වෙන් කිරීමට සෑම උත්සාහයක්ම ගෙන තිබෙනවා. මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පියවර ගෙන තිබෙනවා.
වත්මන් ගෝලීය ආර්ථික අර්බුදය ජය ගැනීමට ආසියාවට තවමත් හැකියාව තිබෙනවා. 2008 මූල්‍ය අර්බුදය මෙන් නොව, මෙම අවස්ථාවෙහිදී, ගෝලීය ආර්ථිකය යථාවත් කර ගැනීම උත්තේජනය කිරීමට ආර්ථික ලීවර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රධාන අර්බුදය අවධාරණය කරන සාධක ආර්ථික සම්භවය පමණක් නොව විකාශනය වන භූ දේශපාලනයේ ප්‍රතිවිපාක ද තිබෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ පෙර පැවති අර්බුදය මෙන් නොව G20 අතර සහයෝගීතාවක් නොමැති වීමයි.
එක් පැත්තකින් යුක්රේන යුද්ධය සහ අනෙක් පැත්තෙන් මිලිටරි, වෙළෙඳ හා දේශපාලන මතභේද මගින් අවුලුවාලූ එක්සත් ජනපද-චීන එදිරිවාදිකම්, සහයෝගීතාවයේ මෙම බිඳවැටීමට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙනවා. ආසියාවේ තවමත් පවතින නියඟ, ගංවතුර සහ වසංගත මෙම භූ දේශපාලනික එදිරිවාදිකම්වලට තාමත් බලපෑම් කරනවා. මේ සියලු අභියෝග ගෝලීය නායකත්වයක් නොමැතිකම නිසා සංකීර්ණ වී තිබෙනවා. මෙම ගෝලීය එදිරිවාදිකම් 2050 වන විට නව ගෝලීය බල තුලනයක් තීරණය කරන නව සීතල යුද්ධයක් දක්වා තීව්ර විය හැකි අතර, අර්බුදය අවම කිරීම සඳහා නායකත්වය දීමට ප්‍රධාන රටවලට ඇති නොහැකියාව වඩාත් පැහැදිලිව ඉස්මතු විය හැකියි.
සංවර්ධනය වෙමින් පවතින ආසියාව අඳුරු අනාගතයකට මුහුණ දී සිටිනවා. උද්ධමනය වැඩිවීම, දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, යුරෝපීය නිමැවුමේ පහත වැටීම, අපනයන දුර්වල වීම අපගේ 'Asia Development Outlook 2022' හි ඉස්මතු කර ඇති පරිදි දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ දුර්වල ආර්ථිකයට හේතු වෙනවා. තවද, භූ දේශපාලනික එදිරිවාදිකම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා නව සන්ධාන දකින්නට ලැබෙනවා.
අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා පොදු ප්‍රවේශයක් නොමැතිකම තවදුරටත් ඉස්මතු වෙනවා.
ශතවර්ෂයේ මැද භාගය වන විට ආසියානු බල තුලනයේ සමෝච්ඡයන් තීරණය කිරීමට ඇති භූ දේශපාලනික එදිරිවාදිකම් මේ කලාපයේ සමෘද්ධියට තර්ජනයක් වනවා. එම අර්බුද ජය ගැනීමට නායකත්වය දීමට ප්‍රධාන රටවලට නොහැකි වී තිබෙනවා.
මෙම ප්‍රධාන ආර්ථික හා පාරිසරික ගැටලු විසඳීම අවාසනාවන්ත ලෙස ගෝලීය භූ දේශපාලන අර්බුදය සමඟ බැඳී තිබෙනවා. කියමනක් තිබෙනවා අලි රණ්ඩු වන විට තැළෙන්නේ තණකොළ කියලා. මෙය අපේ සාමාජික රටවල් බොහොමයක ඇති අර්බුදකාරී තත්ත්වයයි. එබැවින්, අපගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන ආමන්ත්‍රණය කිරීම සඳහා භූ දේශපාලන එදිරිවාදිකම් ජය ගත යුතුයි. එසේ නොවුහොත්, පළමු ලෝක සංග්රාමයෙන් පසු යුරෝපය වුවා සේ අපගේ කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇත. අනෙක් අතට, මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට ඇති හැකියාව, අපගේ සාමාජික රටවල ආර්ථිකයේ වර්ධනය සහ අපගේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ කැපී පෙනෙන දායකත්වයක් සපයනු ඇත.
මගේ කතාව අවසන් කිරීමට පෙර, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම සංවිධානය කිරීමේදී ඉහළ ආගන්තුක සත්කාරයක් පිරිනැමීම වෙනුවෙන් පිලිපීනයේ ජනාධිපති මාකෝස් සහ එරට ජනතාවට මාගේ අවංක කෘතඥතාව පළ කරමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමට සහභාගීවී සිටින සාමාජික රටවල මහබැංකු අධිපතිවරු වෙනුවෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්.මාකෝස්-කණිෂ්ඨ මහතා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයට ද විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
ජනපති, පිලිපීන ජනපති අතර ද්විපාර්ශවික සාකච්ඡා
පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් හමුවී ද්විපාර්ෂවික සාකච්ජා පැවැත්වී ය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.
Page 250 of 440