පුවත්
ජාති ආගම් දේශපාලන පක්ෂවල ලයිෂන් කැන්සල් ?
ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි .
පක්ෂවලට රිංගවා ඇති ජාති ආගම් කුලභේද බොහෝ ගැටළු වලට හේතුවක් බවද ඔහු සඳහන් කර ඇත .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මැතිවරණ කොමිසමේ මේ උත්සාහය කාලෝචිත මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති කටයුත්තක් බවය.
ජාතිවාදය සහ ආගමික කල්ලි වාදය මෙරට දේශපාලන ආර්ථික සහ සමාජීය ව්‍යසනයේ තීරණාත්මක සාධකය වූ බවත් එකී ප්රවේශයන්ට දේශපාලන බලය ලැබීම අහිමි කිරීම ප්රජාතන්ත්රවාදයේ සහ ශිෂ්ට සමාජයේ ජයග්‍රහණයක් වනු ඇති බවත් ඔවුන් පවසයි .
ඩීසල් භූමිතෙල් මිල ඉහළට : නොවැම්බරයේ නැවත මිල ඉහළ දැමීමක් නෑ !
ඩීසල් ලීටරයක් රුපියල් 15.00 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.
නව මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430.00 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365. 00ක් ද, වන බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.
සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පැරණි මිල යටතේ පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව පවසන අතර නොවැම්බර් මස තුළ නැවත ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා නොකරන බව ද පවසයි .
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (නොවැ. 12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිති.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ (Federico Salas Lotfe) , ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් (Rinchen Kuentsyl) , ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ (Fleming Raul Duatre), ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ (Kwaku Asomah Cheremeh) , ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් (Peggy Frantzen) , රුසියා නව තානාපති ලෙස ලෙවාන් Zගාරියන් (Levan Dzhagaryan), නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්රැන්කෝ පැක්ටේ Jean-Francois Pactet මහතාත් කටයතු කරනු ඇත.
https://casite-1385010.cloudaccess.net/news?start=4158#sigProId3d2b733c5c
කැබිනට් එකෙන් පත්කළ කමිටුවට සරත් රිංගුවේ කොහොමද ?
කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට, සරත් වීරසේකර රිංගුවේ කොහොමද? ගැසට් එකට පිටින් ගිහින් , බිත්තරයක් 05කින් වැඩි කරන්න, තීන්දු කළේ කාගෙන් අහලද? වීරසේකර මෙහෙම වැඩ කරන්නේ, කාගේ හයිය අතට අරන්ද?
ඔන්න සරත් වීරසේකරට ආයෙත් දේශපාලන බාල්දියක්..
කැබිනට් අනුමැතිය මත පත් කරපු , ආහාර ප්‍රතිපත්ති කමිටුවේ,, සාකච්ජාවලට , සරත් වීරසේකර මන්ත්‍රී තුමත් සහභාගී වෙලා ලු.. සහභාගී වෙලා විතරක් නෙමෙයි , පාලන මිලත් ඉක්මවා යන ආකාරයට, බිත්තරයක මිල රුපියල් 5කින් වැඩි කරන්න කියලත් උපදෙසුත් දීල ලු..
ඔය කියන ආහාර ප්‍රතිපත්ති කමිටුව පත්කරලා තියෙන්නේ , කැබිනට් එකෙන්.... ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරුන් තමයි, ඔය කමිටුව නියෝජනය කරනවයි කියන්නේ. ඒ කමිටුවේ ප්‍රධානීයා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක..
ඒ විදියට ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට ගිහින් , සරත් විරසේකර ,මේවගේ සංවේදී තීරණයක් ගත්තේ කොහොමද ? වෙළඳ ඇමැතිටත් ප්‍රශ්නයක් ලු..
රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, දරුවන්ගේ පැත්ත නොගෙන,, සරත් වීරසේකර , බිත්තර නිෂ්පාදකයින්ගේ පැත්ත ගත්තු එක ගැන, සමහර අමාත්‍යංශ ලේකම්වරුන් පවා, අප්‍රසාදය පළකරලා කියල තමයි වාර්තා වෙන්නේ..
ජනාධිපතිවරයා ප්රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා - සාගල
ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පසුගියදා පැවති විශේෂ පෝෂණ වැඩසටහනකට එක් වෙමිනි.
රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග පීඩිත පංතිය වැඩිවීමට පටන්ගත් නිසා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීමට රජය මෙවන් වැඩසටහන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙන බවද ඔහු පැවසීය.
ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පසුගියදා ආරම්භ කළ ආහාර සුරක්ෂිතා සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන මෙහිදී මහගු ශක්තියක් බව පෙන්වා දුන් ඒ මහතා පෞද්ගලික මට්ටමින් මෙවන් පෝෂණ වැඩසටහන් සංවිධානය කිරීම ද ඇගයීමට ලක් කළේය.
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ අනුව මේ රට ඉදිරියේ දී දියුණු රටක් බවට පත්කළ හැකි බවත්, ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් සාගල රත්නායක පැවසීය.
නිසි දැක්මක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙන යාමට නම් වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගත යුතු බවත් අවශ්‍යතාවය අනුව එය නීතිගත කර ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත් ඒ වැඩිදුරටත් පැවසීය.
කොළඹ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල්, නාගරික මන්ත්‍රීවරුන් වන එම්. සරෆ්ඩීන්, කලීල් රහුමාන්, ඒ.ආර්.එම්. සෆාන් යන මහත්වරු සහ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ විදුහල්පති ප්‍රසාද් සමරතුංග ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විශ්‍රාම වැටුපේ ප්‍රමාදය අවසන් !
විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ආර්ථික අර්බුදය මත භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.
මේ වනවිට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති අතර ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.
රාජිත ආණ්ඩුවට එනවා !
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
පවතින තත්ත්වය මත මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදු ඇති බවද පැවසූ ඔහු ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ඇතුළු ක්ෂෙත්ර කළමනාකරණය කළ යුතුව ඇති බව ද සඳහන් කළේය.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ සාධනීය හැඟීමක් බව ද පැවසූ ඔහු ජනාධිපතිවරයා ගැන පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එක් වීමට කැමැත්තෙන් සිටියද ඒ තරම් ප්‍රමාණයකට වගකීම් දීගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද කියා සිටියේය.
හිමි ඥානසාර නඩුවකින් නිදහස් !
රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල අද (11) නියෝග කළේය.
ඒ මෙම සිද්ධියට අදාළ නඩුවේ පැමිණීලිකරු නඩු විභාගයට දිගින් දිගටම පෙනී නොසිටිම හේතුවෙන්ය.
මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබූවේ ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනිදාය. එහිදී එම චෝදනාවට තමන් නිවැරදිකරු බව ඥාණසාර හිමි පවසා තිබිණ.
ජනපති මැදුරේ තිබු මුදල් ගැන ගෝඨාගෙන් ප්‍රකාශයක් ගන්න නියෝගයක් !
අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසිය වෙත මෙම නියෝගය සිදුකර ඇත.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර සිටියේ අදාළ මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.
එතනෝල් ආනයන බද්ද යළි ඉහළට
එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
කොවිඩ්-19 වසංගත සමයේදී විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම හේතුවෙන් එතනෝල් ආනයන බද්ද පහත දමා තිබිණි.
බද්ද යළි ඉහළ දැමීමත් සමග රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරයි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු අතර ඊට යොදා ගැනුණු එතනෝල් බද්ද 2020 අප්‍රේල් 30 සහ ජූනි 9 යන දිනවලදී අවස්ථා දෙකකදී පහත දමා තිබිණි.
මේ අතර, රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25ක සුරා බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඉකුත් ජනවාරි මාසයේදී එය රුපියල් 25ක් දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් යළි බද්ද පෙර පැවති මට්ටමට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මියට ලබන 17 වැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම වාරණ නියෝගය නිකුත් කළේ , ගුණරත්න වන්නිනායක ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර මෝසමක් මගින් නඩුව කැඳවා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ වන විට ඩයනා ගමගේ ගේ විදෙස් ගමන් බලපත්රව සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින බැවින් ඇය විදෙස් ගතවීමේ තර්ජනයක් පවතින බව එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට පෙන්වා දුන්නේ ය.
තිළිණිගේ කතාවේ හොඳම ටික ඉස්සරහට !
තිලිණිලගේ කතාවේ ඉවරයක් නෑ . දවසින් දවස කොටස් විදියට තමයි, එලියට දාන්නේ.. ඔය හඬපට ලීක් වෙන්නෙත් සිස්ටම් එකකට.. .
පෙරේදා ජීවන් ටයි, එයාගේ නෝනා ෂෙරින් ටයි, සංගීත ටයි, නිව් මිඩියා වල, ලොකු ඉඩක් වෙන්කරලා තිබුනා. සමහර වෙබ් වල තිබුනේ , ''ප්‍රියමාලිගෙන් නළු නිලි වැල ඕපන් '' කියලා.
ඒ කිව්වත් වගේ , ඔන්න CID එක , ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග සහ, එයාගේ නෝනා මහත්තයා, රංගන ශිල්පිනි , මාෂි සිරිවර්ධන ගෙනුයි , ප්‍රශ්න කරන්න ලු යන්නේ..
බිලියන ගණනක මුදල් වංචා චෝදනා මත, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න, තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ලු, ඒ දෙන්නගෙන් ප්‍රශ්න කරන්න හදන්නේ..
ආරංචිමාර්ග කියන විදියට, කොළඹ ශැංග්‍රිලා හෝටලයේ තිබිච්ච, ' මායා' චිත්‍රපටයේ මුහුරත් උළෙලට, තිලිණි මුදල් දීපු එක ගැන ලු , ඔය ප්‍රශ්න කරන්න යනවයි කියන්නේ..
මේ වෙනකොට, තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් , සේමිණි ඉද්දමල්ගොඩ, ජීවන් කුමාරතුංග, ශෙරින් කුමාරතුංග, පූර්ණිකා පීරිස් සහ පේශල මනෝජ් ඇතුළු සැහෙන කට්ටියකගෙන්, CID එක ප්‍රකාශ සටහන් කරගෙන...
ඒ අතරේ, තවත් එක් ප්‍රවීණ රංගන ශිල්පිනියක්, CID එක මඟ හරිමින් ඉන්නවා කියලත් ,ආරංචියි.. බලන් ඉමු එයා ගැනත් හෙට අනිද්දා වෙනකොට ලීක් වෙයි..
දේශපාලන වාර්තාකරු
සාගර - ප්‍රසන්න මරාගෙන : මහින්ද නිහඬයි !
පොහොට්ටුව ඇතුලේ මේවෙනකොට, ලොකු ලොකු ආරවුල් තියන පාටක් නම්, පැහැදිලිව පේන්න තියනවා..
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්, පෙරේදා තිබිච්ච ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් අතර, උණුසුම් තත්ත්වයක් ඇතිවුනා කියල ආරංචියි..
ඒ වෙලාවේ ප්‍රසන්න රණවීර , සාගර කාරියවසම් ගේ මුනටම, කුණුහරුපයෙන් බැන වැදුනා කියලයි, කියන්නේ.
මහින්ද ලොක්කා, මූලාසනේ ඉන්දෙද්දී, මේවගේ සිදුවීමක් සිදුවෙලා තියෙන්නේ , පලවෙනි වතාවට.
මොකක්ද මේ ප්‍රසන්න රණවීරගෙයි, සාගර කාරියවසම්ගෙයි, වලිය කියල, කට්ටිය අහන්න පටන් අරන්..
පෙරේදත් කණ්ඩායම් රැස්වීම අස්සෙ, දෙන්න ප්‍රසිද්ධියේම පැටලුණාලු.
මේ දවස්වල බලන හැමවෙලාවෙම, රණවීර ඉන්නෙ මල පැනල.
ඒකට විශේෂම හේතුවකුත් නෑ. කොයි වෙලාවෙත් හු යන්න කියාගත්ත ගමන්ලු ඉන්නෙ.
දැන් ඔය දවසකට දෙකකට ඉස්සෙල්ල, රණවීර ඇමතිතුමා , සාගර එක්ක වලියක පැටලීලා ..
ප්‍රශ්නෙට හේතුව, කෝපා කමිටුවේ රණවීරගෙ නම කපපු එකලු
රණවීර පහුගිය කෝපා කමිටුවේ හිටියා . ඉතින් මේ පාර මගෙ නම නැත්තෙ ඇයි කියලා , රණවීර සාගරගෙන් ගේම ඉල්ලනව. පෙරේදත් උණේ ඒකමයි..
මේ සගර කෝ මගෙ නම, තාම නෑනෙ කෝපා ඒකේ. කයනු පයනු එහෙට මෙහෙට දාල, රණවීර සද්දෙන්, සාගරගෙන් අහලා තියෙන්නේ , කණ්ඩායම් රැස්වීම ඉවර වෙලා යද්දී අහලා.
ඒ වෙලාවේ , කතාවට මැදිහත් වෙලා තියෙන්නේ , සංජීව එදිරිමාන්න .
''අයියෙ , මේ ඔයා ඔය විදිහට කතා කරන්න එපා. හැම මනුස්සයෙක්ටම ආත්ම ගෞරවයත් තියෙනවා .කරුණාකරල ඒකට ගරු කරන්න....''
සංජීව එදිරිමාන්න එහෙම කියද්දි , රණවීර කතාව නතර කරලා .
ඊට පස්සෙ සාගර , රණවීරට මෙහෙම කියල . ''මම තමුන්ගෙ නම කෝපා එකෙන් අයින් කලේ නෑ .බොරුනම් ගිහින් අහනව අගමැතිතුමාගෙන්.''
''සර්..සමාවෙන්න , කරුණාකරල වෙච්ච ඇත්ත දේ, මෙතුමාට කියල, මේ ප්රශ්නය ඉවර කරල දෙන්න.'' සංජීව එදිරිමාන්න එතන හිටපු, අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කරලා.
''හරි ..සාගර කාගෙවත් නමක් කැපුවෙ නෑ එච්චරයි . මට හදිසි මීටින් එකක් තියෙනවා , මම ගිහින් ඇවිත් කතා කරන්නම්'' අගමැති දිනේෂ් , හදිසි රැස්වීමකට යනවා කියලා , හිමින් සැරේ මාරුවෙලා ගිහින්..
ඇත්තටම රණවීරගෙ නම කෝපා එකෙන් හැලුණෙ කොහොමද ?
මෙන්න මේකයි වෙලා තියෙන්නෙ .
ජනාධිපතියි - අගමැතියි තීරණය කරල තියෙනවා, ආණ්ඩුවෙ ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නැති මන්ත්රීවරුන්ව, ප්‍රධාන කාරක සභාවල, සාමාජිකයන් විදිහට පත්කරන්න. ඉතින් ප්‍රසන්න රණවීරට රාජ්‍ය ඇමතිකමක් තියෙන නිසා, කෝපා වැනි ප්‍රධානම කමිටුවකටත් නම්, කරන්න අවශ්‍ය නෑ කියල, තීරණය කරල. ඒක පොදු තීරණයක්ඔ ලු..
ඔන්න ඕකලු කතාව .නැතුව රණවීරට කැපිල්ලක් නෙවෙයිලු.
ඒත් ඉතින් මේ හාදය මේක කනකටවත් ගන්නෙ නැතුව, සාගර එක්ක හිතෙන හිතෙන වෙලාවට වලියක් ඇදගන්නවලු.
රණවීරත් ඉතින්, මර්වින් සිල්වා එක්කත් හැප්පුණු මිනිහනෙ..ඒ නිසා රණවීර ලොක්කට, ගෝරියක් නැතුව, ගෝ එකක් නෑ වගේද මන්ද..
දේශපාලන වාර්තාකරු
අයවැය කතාව නිසා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් !
එළැඹෙන සඳුදා (14) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 වර්ෂය සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය .
ඊට අනුව, 2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල , මෙදින ආරක්ෂක අංශ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරෙන 14 වැනි දින මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ඇත .
පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරන අතර, මෙදින පාර්ලිමේන්තුවට පැමිණීමේදී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙසද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවනු ලබන බවද කථානායකවරයා දන්වා සිටියේය.
මීට අමතරව, මෙදින රථ වාහන පොලීසිය සහ අවට පොලිස් ස්ථාන මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.එසේම ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද කථානායකවරයා පැවසීය .
සජිත් ඩලස් විමල්ලා ඊළඟ ජන්දයට කඳවුරු බඳිති !
තිලිනි ල, ජානකී ල, සංගීත ල, සේමණි ල, විතරක් නෙමෙයි, ධනුෂ්ක ල, මේ වෙනකොට, එකදිගටම නිව්ස් මේකස්ලා විදියට , හිට් වෙලා තියන වෙලාවේ, දේශපාලන ෆීල්ඩ් එකත්, රත්වෙන්න පටන් අරන්.. මොකද ඡන්දයක් එනවා කියන කතාවට..
වැඩේ කියන්නේ, ආණ්ඩුව ඡන්දයක් තියන පාටක්වත් පේන්න නැති වුනාට මොකද , ජෙප්පොයි - සජබේ කට්ටියයි, ඡන්දයක් එනවා කියනවා. ඡන්දයක් ඕන කියනවා.
ඒ කට්ටිය ඡන්දය ඉල්ල ඉල්ල, වොයිස් කට් දෙන ගමන් , බැරිවෙලාවත් රනිල් ඡන්දයක් කැදෙව්වොත්, මොකද කරන්නේ කියල තමයි ලු, දැන් කට්ටිය කකා -බීබී කයිවාරු ගහනවයි කියන්නේ..
ආණ්ඩුව, පලාත් පාලන මැතිවරණය කල දාගන්න, 'සීමා නීර්ණ කමිටුවක්' ඉස්සරහට දාගෙන, ලොකු උප්පර වැට්ටියකට ලැස්ස්ති වෙද්දී , එන අවුරුද්දේ මොකක් හෝ මැතිවරණයක් ආවොත්, මුහුණ දෙන්නේ කොහොමද කියල, විපක්ෂය ඇතුලේ, වාද විවාද ගොඩයි...
විමල්ලා රතනලා ගේ, උත්තර ලංකා එක, කොහොම හරි , වෙන කාට හරි ජැක් එකක් ගහන්න උත්සාහ කලාට , තාම කවුරුවත් එයාලව, සීරියස් ගත්තු පාටක් පෙන්න නං නෑ කියලා තමයි, ආරංචිය.
පහුගිය දවසක, මේ පක්ෂයේ කිහිපදෙනෙක්, නාවල තියන නිදහස සභාව, ඔෆිස් එකටත් ගිහින්.... හැබැයි එතනදී චරිතයි , ඩලසුයි දෙන්නම, උත්තර ලංකා සභාගෙ කට්ටියට නුහුරට ම කතා කලා කියල තමයි , රතන සාදු තැන් තැන් වල ආඩපාලි කියලා තියෙන්නේ.
ඔය අස්සේ , ''නිදහස සභාවට එක්කෝ එන්න නැත්නම් වෙන අතක් බලා ගන්න" කියලා, සජබෙනුත් රතු එලියක් ඇවිල්ල ලු.
සජබ හා නිදහස සභාව එකතුකරන්න, ලොකු උත්සාහයක් ගන්න , කුරුනෑගල පැත්තේ සජබ මංත්රීතුමෙක්, මේ ලඟදී මන්ත්‍රී සගයෝ දෙනෙක් එක්ක, කොල්ලුපිටියේ කැප්රි එකට ගිහින් ... හීනියට දෙකක් දාගන්න ගමන් , ලොකු කයියක් ගහලා.
" අනුර යාපා කන්ඩායමයි, ජී එල්ලාගේ කන්ඩායමයි, අපිට එකතු වෙනවා නම්, අපේ නායක තුමා හරිම කැමතියි. මොකද එතන මංත්‍රීවරු 20 ක් විතර ඉන්නවා. ඔක්කොම නැතත් වැඩිහරිය කොලිටි බඩු. ඒ අය ආවොත් අපිට වෙන කාව වත් ඕනේ නෑ. මෛත්රීලා ගත්තොත් අපිට කතෝලික චන්ද නැති වෙනවා. විමල්ලාගේ කට්ටියට තනියම ඉල්ලුවොත් ඊලඟ පාර ඇපත් නෑ. චම්පික දැනටම යටින්, රනිල් එක්ක වැඩ. එක පාරක් අපිව දාල ගිය මිනිහා, ගන්නේ මොකටද. ඒ නිසා මේ 20 දෙනා තමයි අපට හොඳටම ගැල පෙන්නේ." කුරුණාගල මංත්‍රී තුමා කියල තියෙන්නේ එහෙම ලු.
ඒ අතරේ ඔය 20 දෙනා අතරේ අනුරගේ කන්ඩායමේ ඉන්න, දකුණු පලාතේ මංත්රීමෙකුත් මේ කසාදේ කරන්න තදටම වැඩලු. හැබැයි ඩලස්ලා චරිතල නාලකලා චන්නලා තාම වැනෙනවා කියලා, මෙතුමා කට්ටිය සෙට් වෙච්ච වෙලාවක , සජබ මංත්රීතුමාල පිරිසක් එක්ක, හිතේ අමාරුවෙන් කතා කරලා තියෙනවා.
ඒ කතාවෙදී කොළඹ නියෝජනය කරණ සජබ මංත්‍රී තුමෙක්, මෙහෙම විග්‍රයක් කරලා තියෙනවා.
" මටත් තේරෙන්නේ නෑ ඔයාල මොනවා කරනවද කියලා. නායක තුමත් දැන් ටිකක් අවුල්. දැන් බලන්න ඉදිරි මැතිවරණයක්දි, අනිවාර්යයෙන්ම පොහොට්ටුවයි, රනිල්ලයි එකට තරඟ කරනවා. පොහොට්ටුවට රනිල් නැතුව බෑ. එතකොට ඔබ තුමලා අපිත් එක්ක සංධාන ගත උනොත් අපිට කාටත් ලොකු හයියක්. කුරුණෑගලින් අනිවාර්යයෙනම, අපේ නලින් බන්ඩාර, අසෝකා අබේසිංහ වගේම ඔයාලගේ අනුර යාපා, චරිත හේරත් එහෙම උඩින්ම එනවා. ගාල්ලෙන් ගයන්තයි චන්දිමයි දෙන්නම අනිවාර්යයෙනම දිනනවා . මාතර ගත්තොත් අපේ බුද්දික පතිරන උඩින්ම එනවා ඊලඟට ඩලස් ශුවර්. ගම්පහ අපේ ෆීල්ඩ් මර්ෂල්, හර්ෂණ රාජකරුනා , කාවින්ද ජයවර්ධන එක්ක ඔයාලගේ නාලක ගොඩහේවයි, සුදර්ශිණියි දිනන්නෙ නැද්ද ? අනුරාධපුරේ මුස්ලිම් චන්ද වලින්, ඉෂාක් එනකොට චන්න ජයසුමන ඔයාලගෙන් උඩින්ම එනවා. නුවරින් අපේ ලක්ෂමන් කිරිඇල්ල එනකොට ඔයාලගේ ටියුශන් මාස්ටර්, යාපා බන්ඩාර දිනනවා. පුත්තලමේ අපේ හෙක්ටර් ඔයාලගේ ප්‍රියන්කර දෙන්නම දිනනවනේ. කලුතරත් අපේ රාජිත රනිල් ගාවට ගියොත්, සජබ චන්දත් ඇරන් ඔයාලගේ ලලිත් එල්ලාවලට දිනන්න පුලුවන්" ඔන්න ඔය විදියට ලු කොළඹ මංත්‍රී තුමා චන්ද ප්‍රතිපල ගැන අනාවැකි කිව්වයි කියන්නේ..
''එතකොට කොළඹ ගැන මොකද නොකිව්වේ '' කියලා අනික් මංත්‍රීතුමා හිනා වෙලා ඇහුවලු.
" මචන් කොළඹ නම් ඉතින් අපේ රාජ්‍යයනේ. බඩු ශුවර් නෑ. එන පාර හෙන සෙට් එකක්, අපෙන් ඉල්ලනවා. ඔයාලගේ ජී එල් ලොක්කා වුනත් චන්දේ ඉල්ලනවට වඩා ජාතික ලැයිතුවෙන් එන එක තමයි ඇඟට ගුණ" ඔන්න ඔහොමලු කොළඹ මංත්‍රී තුමා උත්තර දීලා තියන්නේ..
ඒ උනාට අනික් මංත්‍රී සගයා එකතාවට එකඟ වෙලා නෑ.
" මල්ලී ජී එල් එකපාරක් ඡන්දේ ඉල්ලලා කොළඹින් 1 ට ආපු මිනිහෙක්. ඒ නිසා මගේ මතයනම් මේ පාර එකට එකතුවෙලා ඉල්ලුවොත් සජිත් ගාවට චන්දේ ගන්නවා"
ඊට පස්සේ එයා මෙහෙමත් කිව්වලු.
" ප්‍රශ්ණේ තියෙන්නෙ ඉස්සෙල්ල එන්නෙ මහ මැතිවරණයද , පලාත් පාලනද කියන එකනේ. මහ මැතිවරණයකදී නම් , ඔය කතා ඔක්කොම වලංගුයි. ඒත් මේ කට්ටිය වැනෙන්නෙ, පලාත් පාලන මැතිවරණයක් ආවොත්, මොකද කරන්නේ කියල. මට බය පලාත් පාලනේට සංධාන ගහන්න ගිහින් ,වැඩේ වකුරු වෙයිද කියලයි" .
කොහොම කොහොම හරි එතැනින් පස්සෙ සාකච්චාව පැත්තක දාලා කට්ටිය බෝතලේට සෙට් උනාලු.
දේශපාලන වාර්තාකරු
මුදලිගේගේ පෙත්සම විභාගයට අවසර !
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවනේ ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත .
එසේම ඔහුව මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත් , අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා ලෙසත් එම නියෝගයේ සදහන් කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමටද අධිකරණය අවසර ලබාදී ඇති අතර පෙත්සම ජනවාරි 31 වැනිදා කැදවීමට ද නියෝග කර ඇත .
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් !
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද (10) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි .
ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන පළමු ගුවන් යානය අද දහවල් 12.20 ට ස්විට්සර්ලන්තයේ සුරීච් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් සේවය සතියකට වරක් මෙතැන් සිට ස්විට්සර්ලන්තයේ සුරීච් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
Page 232 of 440