V2025

පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ‘ඉමාම් කමිටු වාර්තාව’ ජනගත කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලිම සඳහා පත් කෙරුණු ‘ඉමාම් කමිටු වාර්තාව’ අද (2024 ඔක්තෝම්බර් 28) දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් ජනගත කරන ලදී.

මතු දැක්වෙන්නේ අදාළ වාර්තාව ජනගත කරන අවස්ථාවේ දී උදය ගම්මන්පිල කළ සම්පූර්ණ කතාව ය.

 විජිත හේරත් ඇමතිතුමාටත් චෝදනා තියෙනවා

‘‘අද දින අපි ජනගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙදහස් විසිතුනේ සැප්තැම්බර් පස්වන දින එක්සත් රාජධානියේ චැනල් ෆෝ නාලිකාව විසින් විකාශනය කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩසටහන පිළිබඳ විමර්ශනයට පත් කරපු ඉමාම් කමිටු වාර්තාවයි. මෙම වැඩසටහනෙන් මතු වුණු කාරණාවල ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා විමර්ශන කමිටුවක් පත් කළ යුතුයි කියලා වඩාත් හඬ නැගුවේ කාදිනල්තුමා. ඒ වගේම මේ කමිටුව පත් කරපු අවස්ථාවේ මාලිමා නායකයින් හෝ කාදිනල්තුමන් හෝ වෙනත් පාර්ශවයක් හෝ මේ කමිටු සාමාජිකයන්ගේ හැකියාව හෝ අපක්ෂපාතිත්වය කිසිම අයුරකින් අභියෝගයට ලක් කරේ නෑ කියන එක විශේෂයෙන් කියන්න ඕනි.

පසුගිය විසි එක්වන සඳුදා අපි ජනගත කරපු වාර්තාව සකස් කරපු අල්විස් කමිටුවේ සභාපතිතුමියට විෂමාචාර චෝදනා තිබුණා කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකු ගැන චෝදනා නගන්න පුළුවන්. විජිත හේරත් ඇමතිතුමාටත් බීමතින් රිය පදවලා අනතුරක් කිරීම පිළිබඳ චෝදනාවක් තිබෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් හැදුවේ කොහොමද කියල චෝදනාවක් තිබෙනවා. චෝදනා නම් කාට නගන්න බැරිද? මේ විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වී නෑ. පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කරා. ඒ නිසා හෙට කැබිනට් මාධ්‍ය හමුවේ දී අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයට වැරදිකරු වුණු බවට එතුමාට තිබෙන සාක්ෂි ජනගත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 කමිටුව ආගම් තුන ම නියෝජනය කළේ ඇයි...?

කමිටුව සොයා ගත්තු කරුණුවලට ප්‍රතිචාර දැක්වීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනෙ කියල අපි කල්පනා කරා. මේ විමර්ශන කමිටුවේ සභාපති ධූරය දැරුවේ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයෙකු වන එස්. අයි. ඉමාම් මැතිතුමා. දෙවන සාමාජිකයා වෙන්නේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් වයිස් මාර්ෂල් ජයලත් වීරක්කොඩි මැතිතුමා. හමුදා ක්‍රියාකාරිත්වය පිළිබඳ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ඇති නිසා හමුදා නිලධාරියෙකු කමිටුවේ සිටීම අත්‍යාවශ්‍ය යි. තුන්වන සාමාජිකයා වෙන්නේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු වන හර්ෂ සෝසා මැතිතුමා.

මේ තුන්දෙනා කීර්තිමත් පුද්ගලයින් වෙනවා පමණක් නොවෙයි කිසිවෙකු මේ අය පත් කරන අවස්ථාවේ ඒ පත්වීම් අභියෝගයට ලක් කරේ නෑ. ඒ වගේම කමිටු සභාපති විනිසුරු ඉමාම් මහතා ඉස්ලාම් බැතිමතෙක්. හිටපු ගුවන් හමුදාපති වීරක්කොඩි මහතා බෞද්ධයෙක්. ඒ වගේම ජනාධිපති නීතිඥ සෝසා මහතා කතෝලිකයෙක්. බෞද්ධ නායකයෙකු බලයට ගේන්න ඉස්ලාම් තරුණයන් පිරිසක් කතෝලික පල්ලිවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා කියන චෝදනාව චැනල් ෆෝ නාලිකාව නගන නිසා මේ කමිටුවේ ඒ ආගම තුනම නියෝජනය කරන අය සාමාජිකයින් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්න ඇති.

දේශ ප්‍රේමින්ගේ යුතුකම සහ වගකීම

දෙදහස් විසිතුනේ සැප්තැම්බර් පස්වෙනි දා චැනල් ෆෝ නාලිකාව විකාශනය කරපු Sri Lanka’s Easter Bombings –Dispatches කියන වැඩසටහනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ඒමේ අරමුණින් පාස්කු ප්‍රහාරය කරේ අපේ හමුදා බුද්ධි අංශවලින් කියලා බරපතළ චෝදනාවක් නගනවා. චැනල් ෆෝ කියන්නේ ඉතිහාසය පුරාම කොටි ත්‍රස්තවාදයට පක්ෂව කටයුතු කරපු අපේ රටට යුද අපරාධ චෝදනා එල්ල කරන්න පුරෝගාමි කාර්යභාරයක් සිදු කරපු ශ්‍රී ලංකා විරෝධි ස්ථාවරයක දිගට ම හිටිය එක්සත් රාජධානියේ රූපවාහිනි නාලිකාවක්. යුද්ධය අවසන් සමයේ කොටි නායක වේළුපිල්ලේ පිරබාහරන් බේරා ගන්න සටන් විරාමයක් ඉල්ලලා අපේ ආණ්ඩුවට බල කරපු නාලිකාවක්.

ඒ වැඩසටහනේ බුද්ධි නිලධාරින්ට අමතරව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ බරපතළ චෝදනා ගණනාවක් නගනවා. ඒවා අපට වැඩක් නෑ. ගෝඨාභය ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දුන්නා ම වැරදි තීන්දුවලට එරෙහිව දූෂණයට එරෙහිව අපි සටන් කරා ම එතුමා කරේ මාවත් විමල් වීරවංශ ඇමතිතුමාවත් ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීම; ඊට පස්සේ පොතක් ලියලා අපට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම. ඒ නිසා එතුමා බේරා ගන්න අපට කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒවාට උත්තර දීම එතුමාගේ වැඩක්. නමුත් බුද්ධි අංශවලට පදනම් විරහිත චෝදනා එල්ල වෙනවා නම් ඒවා හෙළිදරව් කිරීම සෑම දේශප්‍රේමියෙකු ම සතු යුතුකමක්; වගකීමක්.

එඩිතර විපක්ෂයක භූමිකාව

ඒ වගේම රටේ ජනාධිපතිවරයා යම් වාර්තාවක් තමන්ට අවාසියි කියලා දැක්කාම ඒක සඟවනවා නම්, ඒ තක්කඩිකම කරන්නේ තමන් පත්වෙලා මාසයක් ගත වෙන්නත් කලින් නම්, ජීවිතය පරදුවට තබා හරි ජනාධිපතිවරයාගේ වංකකම හෙළිදරව් කිරීම සෑම විපක්ෂයේ දේශපාලකයෙකුගේ ම වගකීමක්. ජනාධිපතිගේ සිට කුලියට මඩ ගසන සමාජ මාධ්‍යකරුවන් දක්වා සිටින සියලු ම දෙනාගේ අවලාද විඳිමින් අපහාස දරමින් මේ ඉටු කරන්නේ එඩිතර විපක්ෂයක භූමිකාව. බුද්ධි අංශ කියන්නේ රටක ඇස් සහ කන්. අනතුරක් කලින් දැකලා ආරක්ෂක අංශ ඒ පිළිබඳ දැනුම්වත් කරන්නේ බුද්ධි අංශ. බුද්ධි අංශ විනාශ කරනවා කියන්නේ සියතින් ඇස් අන්ධ කර ගන්නවා කියන එකයි; බුද්ධි අංශ විනාශ කරනවා කියන්නේ සියතින් කන් බිහිරි කර ගන්නවා කියන එකයි.

නාවික හමුදාවේ බුද්ධි බලකායේ තනතුරු එක්දහස් දෙසීයක් තිබුණත් අද ඉන්නේ පන්සිය දහඅටයි. පසුගිය කාලයේ බෙදුම්වාදින්ගේ මනදොළ පුරවන්න බුද්ධි අංශ තළා දැම්ම නිසා බුද්ධි අංශවලට බැඳෙන්න කවුරුවත් කැමැති නෑ. බුද්ධි අංශ දුර්වල නිසා තමයි පාස්කු ප්‍රහාරය ගැන විදේශීය බුද්ධි අංශ කියන තුරු අපේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ; බුද්ධි අංශ දුර්වල නිසා තමයි අරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය විදේශීය බුද්ධි අංශ කියන තුරු අපේ බුද්ධි අංශ දැනගෙන හිටියේ නැත්තේ.

 අසාඩ් මවුලානාගේ චෝදනා

අද මේ විධියට අඩපණ වෙලා තිබෙන බුද්ධි අංශම තමයි එදා දෙදහස් නමයෙ අගොස්තු මස කොටි සංවිධානයේ නායකත්වයට කුමාරන් පද්මනාදන් පත් වෙලා මාස තුනක් ගත වෙන්න කලින් මැලේසියාවටත් හොරෙන් මැලේසියාවේ සිට ලංකාවට කුදලාගෙන ආවේ. මේ අඩපණ වෙලා තිබෙන බුද්ධි අංශම තමයි එදා කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් ගුවන් බෝම්බයකින් මරා දාන්න කාර්යාලය තිබෙන තැන සහ කාර්යාලයේ ඉන්න වෙලාව හරියට ම සොයා ගත්තේ. ඒ නිසා බුද්ධි අංශවලට එල්ල වන පදනම් විරහිත චෝදනා හෙළිදරව් කරලා බුද්ධි අංශ අඩපණ කිරීමට බොරු ගොතන ජාතියේ සතුරන් හෙළිදරව් කිරීම අපේ යුතුකමක්.

මේ චැනල් ෆෝ වැඩසටහනේ දී අසාඩ් මවුලානා කියන පුද්ගලයා බුද්ධි අංශවලට චෝදනා ගණනාවක් නගනවා. ප්‍රධානම චෝදනාව තමයි දෙදහස දහඅටේ පෙබරවාරි මාසයේ දී අපේ බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පුත්තලම වනාතවිල්ලුවෙ දි හසීම් සහරාන් ඇතුළු ත්‍රස්තවාදින් හමු වෙලා පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම පිළිබඳ පැය තුනක් පමණ සාකච්ඡා කරා කියන එක. අසාඩ් මවුලානා කියන විධියට මේ හමුව සංවිධානය කරේ මවුලානා. ඒක පොල් ඉඩමක්. එතැන නිවාසයක් තිබෙනවා. ඒක තමයි සහරාන්ලා පුපුරණ ද්‍රව්‍ය හංගලා තියෙද්දි සීඅයිඩිය විසින් දෙදහස් දහනමයෙ ජනවාරි මාසයේ දී සොයා ගත් වනාතවිල්ලුව පොල් ඉඩම. ඒක සහරාන්ලාට අයිති ඉඩමක් තමයි. ඒ පොල් වත්තේ තිබෙන නිවසේ දී තමයි දෙදහස් දහඅටේ පෙබරවාරි මාසසෙ දි සුරේෂ් සලේ මහතා සහරාන් ඇතුළු ත්‍රස්තවාදින් සමග පාස්කු ප්‍රහාරය සැලසුම් කරා කියන්නේ.

සලේ මැජික්කාරයෙක් ද...?

මේ කමිටුවේ විමර්ශනයෙන් අපූරු දෙයක් හෙළි වෙනවා. මේ ඉඩමේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් අවස්ථාවේ දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඉන් එක් අයෙක් වන හනීෆා මුෆීස්ගේ සාක්ෂියෙ දි ඔහු කියනවා පොල් ඉඩමේ මේ නිවස ඉදි කරන්නේ දෙදහස් දහඅටේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී කියලා. එහෙම නම් මවුලානා කියන විධියට සුරේෂ් සලේ මහතාට සහරාන් හමු වෙලා සාකච්ඡා කරන්න දෙදහස් දහඅටේ පෙබරවාරි මාසෙ දි මේ පොල් ඉඩමේ ගෙයක් තිබිලා නෑ. මවුලානා කියන්නේ බොරුවක් බව ඒකෙන්ම ඔප්පු වෙනවා.

ඒ වගේම දෙදහස් දහසයේ නොවැම්බර් සිට දෙදහස් දහඅටේ දෙසැම්බර් දක්වා සලේ මහතා රාජකාරි කරන්නේ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. ඔහු ඒ කාලය තුළ ලංකාවට පැමිණ තිබෙන්නේ දෙදහස් දාහතේ නොවැම්බර් මාසයේ දී විතරයි. දෙදහස් දහඅටේ පෙබරවාරි මාසෙ දි ඔහු මැලේසියා තානාපති කාර්යාලයේ වැඩ කරන අතරේ ලංකාවෙත් පෙනී සිටින්න නම් ඔහුට ඔහු වගේම පෙනුම, දැනුම දෙකම තිබෙන නිවුන් සහෝදරයෙක් ඉන්න ඕනි. එහෙම නැතිනම් හාස්කම් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනි. මේ දෙකෙන් එකක් වත් ඔප්පු වෙලා නෑ.

ඒ වගේම 2018 පෙබරවාරි මාසය තුළ දී සහරාන් ඇතුළු කණ්ඩායම නැගෙනහිර පළාතෙන් පිටතට නොගිය බවත් පුත්තලමට කිසිසේත්ම නොගිය බවත් ඔවුන්ගේ දුරකතනවලින් ගත් ඇමතුම් සම්බන්ධ වුණු දුරකතන කුලුණු හරහා ඔප්පු වී තිබෙනවා. එදා අපේ පක්ෂයේ මධුමාධව අරවින්දට මිනුවන්ගොඩ ජාතිවාදී කලහකාරී සිදුවීම් ගැන බොරු චෝදනා ඉදිරිපත් වෙද්දී අපි ඔහුගේ සන්නිවේදන කුලුණු වාර්තා ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා බොරු චෝදනා බව පෙන්වා දුන්නා.

සැඟවුණ අමුත්තා

මේ කමිටු වාර්තාව අනුව සහරාන්ලාට උදව් කරලා තියෙන්නේ අපේ බුද්ධි අංශ නොවේ. බුද්ධි අංශවලට චෝදනා නගන අසාඩ් මවුලානා. බෝම්බයක් අත්හදා බැලීමේ දී සහරාන්ගේ මල්ලි රිල්වාන් තුවාල ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මවුලානා පදිංචි දෙහිවල දී මෙන්ම තමන්ගේ ගම වන මරතමුනෙයි පුද්ගලයෙකු වන සෆ්රාස් කියන වෛද්‍යවරයෙක්. මේ නිසා කමිටුවේ නිගමනය නම් මවුලානාට සහරාන් සමග සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මවුලානා ලංකාවෙන් පිටත ජීවත් වෙන්න උත්සාහ කරේ. ඔහු එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්ගේ රැකියාවකුත් ලබා ගත් බව කොමිසමට හෙළි වෙනවා.

ඒ වගේම කමිටුවේ නිගමනය වෙන්නේ ස්විට්සර්ලන්තයේ සරණාගතයෙකු බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න අසාඩ් මවුලානා තමන් උපන් රට අපකීර්තියකට පත් කරන මේ බොරුව චැනල් ෆෝ නාලිකාවේ වැපුරුවා කියල යි. කමිටුවේ විෂය පථය වුණේ චැනල් ෆෝ නාලිකාව ලංකාවේ බුද්ධි අංශවලට නැගූ චෝදනාවල ඇත්ත නැත්ත සෙවීම මිස ලංකාව අපකීර්තියට පත් කරන්න චැනල් ෆෝ නාලිකාවට උදව් කළ පිරිස සොයන්න නොවේ.

මෙම වැඩසටහනේ මුහුණ බොඳ කරලා කටහඬ වෙනස් කරලා බුද්ධි අංශවලට එරෙහිව කතා කරන විශ්‍රාමික ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු ලෙස තමන්ව හඳුන්වා ගන්න පුද්ගලයෙකු ඉන්නවා. මේ පුද්ගලයා කතා කරන්නේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දෘෂ්ටිකෝණයෙන්. ඔහුගේ පෙනුම, කටහඬ සහ පාවිච්චි කරපු වචන අනුව මේ අහවලාය කියන අනුමානයක් වැඩසටහන බැලූ අයට තිබුණා. එයා සී අයිඩියේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්.

ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින්ම ඉන්දියාවට ලැබුණ විදිය

ඒ දේශද්‍රෝහී නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළ ම තණතුරක් දී තිබෙනවා. ඒක අනුමානයක් මිස තාක්ෂණය ඔස්සේ තහවුරු කර ගත් කරුණක් නොවන නිසා මම ඒ පුද්ගලයා නම් කිරීම අසාධාරණයි. නමුත් දේශපාලන වගේ ම නිලධාරි ක්ෂේත්‍රවල කිසිම සැකයකින් තොරව ඔය හිටියේ අහවලානෙ කියන කතාව පැතිරුණා. අදත් ඒ කතාව නිලධාරීන් සහ දේශපාලකයන් අතර පැතිරෙනවා. මේ මුහුණ සඟවා ගත් නිලධාරියා කියනවා බුද්ධි අංශ සහ ත්‍රස්තවාදින් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා කියලා. මේකට උත්තරේ සුනන්ද දේශප්‍රිය මහතා මෑතක දී පළ කරපු “පාස්කු ඉරිදා ප්‍රහාරය” නමැති පොතේ විසිතුන විසි හතර පිටුවල තිබෙනවා. ඉන්දීය බුද්ධි අංශ අබු හින්ද් කියන ආරූඩ නමින් මුස්ලිම් අන්තවාදින්ගේ සමාජ ජාල සමූහවලට බුද්ධි නිලධාරියෙකු රිංගවලා රිල්වාන් සමග මිතුරු වෙලා ඔහු හරහා සහරාන් මිතුරු කර ගත් නිසා තමයි අපේ බුද්ධි අංශවලට නොලැබුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු කලින්ම ඉන්දියාවට ලැබුණේ කියන එක එහි සඳහන් වෙනවා.

ඒ වගේම ලංකාවේ බුද්ධි අංශ විසින් අන්තවාදින්ගේ සමූහවලට රිංගවූ ලංකාවේ බුද්ධි නිලධාරින් ඉන්නවා. පොලිසියට වගේ නිල ඇඳුම් ඇඳගෙන ගිහින් බුද්ධි අංශවලට රාජකාරි කරන්න බෑ. ඒ අය කරන්නේ ඔත්තු බලන එක; රහස් සොයන එක. ත්‍රස්තවාදින් අතරෙ දි ත්‍රස්තවාදියෙකු ලෙස හැසිරුණේ නැතිනම් බුද්ධි නිලධාරින්ට රහස් සොයා ගන්න බෑ.

මාලිමාව ජනතාවට කියපු බොරුව...?

මේ වාර්තාවේ දහතුන්වන පිටුවේ කියන විධියට අපේ බුද්ධි අංශ සහරාන් ගැන බුද්ධි වාර්තා දෙසීයකට ආසන්න ගණනක් පොලිසිය ඇතුළු අදාළ බලධාරින්ට ලබා දීලා තිබෙනවා. දෙදහස් දහනමයෙ ජනවාරි පළවෙනිද ඉඳල අප්‍රේල් විස්ස දක්වා පමණක් එවැනි වාර්තා දාහතක් ජාතික බුද්ධි සේවාව විසින් සීඅයිඩියට යවා තිබෙනවා. මෙවැනි වාර්තා සකස් කරන්නේ රහසිගතව අන්තවාදි කණ්ඩායම් තුළට රිංගා ගෙන සිටින බුද්ධි නිලධාරින් දෙන තොරතුරු මත. ඒ අයගේ අනන්‍යතාවය පොලිසියටවත් හෙළි කරන්න බෑ. ඒක මිනීමැරුමකට පාර කැපීමක් විතරක් නොවේ ත්‍රස්තවාදින් පිළිබඳ තොරතුරු ලැබෙන හොඳ ම මාර්ග සදහටම වසා දැමීමක්. මේ කමිටුව විසින් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙන්න එන්න කියලා චැනල් ෆෝ නාලිකාවට වගේ ම මේ චෝදනාව පිළිබඳ විමර්ශනය කරපු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයටත් ආරාධනා කරා. නමුත් ඒ දෙපාර්ශ්වය ම සහභාගි වීම ප්‍රතික්ෂේප කරා.

වැඩසටහන විකාශනය වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය මේ චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරා. ඒ වගේම සුරේෂ් සලේ මහතා චැනල් ෆෝ නාලිකාවට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්න බවටත් තර්ජනය කරා. තමන් ගත් ස්ථාවරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට චැනල් ෆෝ කරේ එම වැඩසටහන වහාම අන්තර්ජාලයෙන් ඉවත් කර ගන්න එක විතරයි.

දැන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ වාර්තාව යටපත් කිරීමට උත්සාහ කරන්නේ ඇයි? මාලිමාව විපක්ෂයේ සිටින කාලෙ දි තමයි මේ වැඩසටහන විකාශනය වුණේ. මේ වැඩසටහනේ අඩංගු කරුණු නිවැරදියි කියන ස්ථාවරයේ ඉඳල තමයි මාලිමාව කටයුතු කරේ; මේ චෝදනා පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන්න ඕනි කියන එක තමයි මාලිමාවේ ස්ථාවරය වුණේ. මේ වාර්තාව ප්‍රසිද්ධ වුණොත් මාලිමාව එදා ජනතාවට කියූ තවත් බොරුවක් හෙළි වෙනවා. ඒ වගේම මව්බිම අපකීර්තියට පත් කරන්න අපේ ජීවිත රකින්න තමන්ගේ ජීවිත පරදුවට තැබූ රණවිරුවන් අපකීර්තියට පත් කරන්න කටයුතු කරපු දේශද්‍රෝහියෙකුට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලබා දුන්නා කියන සංවාදය සමාජයේ මතු වෙනවා. ඒ නිසා මහජන මුදලින් සැකසූ වාර්තාවක් මහජනතාව දැන ගැනීම යටපත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. එතුමා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන සමයේ මහජන මුදලින් සැකසූ වාර්තාවල අන්තර්ගතය දැන ගන්න මහජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා කියලා කරපු ප්‍රකාශත් අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. නමුත් ජනාධිපතිතුමා තමන්ගේ යුතුකම ඉටු කිරීම සිතා මතා පැහැර හැරිය නිසා එතුමා සතුව තිබුණු මේ වාර්තා අපට ප්‍රසිද්ධ කරන්න වුණා.

 දේශ ද්‍රෝහී නිලධාරියා කවුද...?

අද පෙරවරු සිට මේ වාර්තාව සියලු ම ඇමුණුම් සමගින් www.udayagammanpila.com යන වෙබ් අඩවියේත් Udaya Prabhath Gammanpila ෆේස්බුක් පිටුවේත් දැක ගන්න පුළුවන්. පසුගිය වාර්තාවේ ඇමුණුම් අපි ඉදිරිපත් කරේ නෑ, මොකද ඒවා ජාතික ආරක්ෂාවට සංවේදි තොරතුරු තිබෙන බැවින් ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා කමිටු සාමාජිකයින් ඉල්ලීමක් කරලා තිබුණු නිසා. මේ වාර්තාවේ කමිටු සාමාජිකයින් එවැනි ඉල්ලීමක් කරලත් නෑ. ජාතික ආරක්ෂාවට බලපාන කරුණු ඇමුණුම්වල ඇත්තෙත් නෑ. ඒ නිසා මෙම වාර්තාව ඇමුණුම් සමග ඉදිරිපත් කරන්න අපි තීරණය කරා.

දැන් අපි මේකට ආණ්ඩුවේ ප්‍රතිචාරය බලමු. ආණ්ඩුව කරන්න ඕනෙ මට මඩ ගහන එකවත් කමිටු සාමාජිකයින්ට මඩ ගහන එකවත් නෙවෙයි; ආණ්ඩුව කරන්න ඕනෙ රට අපකීර්තියට පත් කරන්න මුදලට විකුණුණු දේශද්‍රෝහි විශ්‍රාමික නිලධාරියා කවුද කියන එක වහාම සොයා ගැනීමයි. එයා දැනටමත් ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරනවා නම් වහාම ඔහුව ඉවත් කර දේශද්‍රෝහිත්වයට දඬුවම් කළ යුතුයි. පුළුවන් නම් මේ නිලධාරියා කවුදැයි සොයන ජනාධිපති කමිටුවක් පත් කරන්න කියලා මම ජනාධිපතිතුමාට අභියෝග කරනවා. මේ වාර්තාව සකස් කරේ මම නෙවෙයි; කීර්තිමත් ත්‍රිපුද්ගල කමිටුවක්. වාර්තාවේ දොසක් දකිනවා නම් කරන්න ඕනෙ මට පහර දෙන එක නෙවෙයි, අභියාචානාධිකරණයට ගිහින් මේ වාර්තාවේ නිගමන අහෝසි කර ගැනීමට කටයුතු කිරීමයි.

 අවසාන ඉල්ලීම

අවසාන වශයෙන්, අද විදේශ බුද්ධි අංශ ඔන්න ගහනවා මෙන්න ගහනවා කියන තුරු අපේ බුද්ධි අංශ මුකුත් දන්නේ නෑ. එදා පිටරටට ගිහින් ත්‍රස්තවාදීන් ලංකාවට කුදලාගෙන එන්න බුද්ධි අංශ සමත් වුණා. ඒ සවිමත් බුද්ධි අංශ යළි හදා ගෙන ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. ජනාධිපතිතුමන්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දී බුද්ධි අංශ දෙස වෛරී සහගත ලෙස බැලුවා. අපිට එතුමාගේ මානසික තත්වය තේරුම් ගන්න පුළුවන්. එතුමා කලක් මෙරට ආරක්ෂක අංශවලට එරෙහිව අවි දරාගෙන සටන් කරපු කෙනෙක්. නමුත් ජනපතිතුමනි අද ඔබ ආරක්ෂක අංශවලට විරුද්ධව සටන් කරපු පුද්ගලයා නෙවෙයි. අද මෙරට සේනාධිනායකයා ඔබයි. ඒ නිසා බුද්ධි අංශවල රැකියා ස්වභාවය තේරුම් ගෙන බුද්ධි අංශ රැකගැනීමට කටයුතු කිරීම ඔබේ වගකීමක් බවත් එය ඉටු කළ යුතු බවත් මම ගෞරවයෙන් ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.’’

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක්

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක එම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක  ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලු එම නිලධාරීහු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදුවන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා (unsolicited proposals) හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදු වන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ බලතල තවදුරටත් පුළුල් කරමින් ප්‍රසම්පාදන සැලසුම් විධිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුර කුමාර දිසානායක  නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

“තවමත් ශ්‍රී ලංකාව ණය අසාදු ලේඛනයේ”- මහ බැංකු අධිපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇති ණය ගිවිසුමේ 3 වන සමාලෝචනය කල් යන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු රැස්වීම්වලට සමගාමීව වොෂින්ටනයේ පැවති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙරට ණය හිමියන් හා විදේශ ණය හිමියන් සමග ණය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

එහිදී බැඳුම්කරණ ණය හිමියන් සමග යම් එකඟතාවක් ඇති කිරීමට කටයුතු කරන බව ද හෙතෙම එහිදී ප්‍රකාශ කර තිබේ.

ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට අසාදු ලේඛනයේ සිටින බව ද එය ඉදිරියේදී හැකි ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නෑ - ඇමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (ඔක්. 28) කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ය.

අමෙරිකානු තානාපතිවරිය සඳහන් කළේ, පසුගිය සතියේ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ, අමෙරිකානු පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ය.

ඇය තවදුරට ත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ නායකත්වය සමග ඇති සබදතාව අගය කරන අතර ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ආරක්ෂාව සහ විනිවිදභාවයට ඇති කැපවීමත් අගය කරන බව ය.

එමෙන් ම, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කර ඇති සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ත් එය දෙවන මට්ටමේ උපදේශනක් බව ත් ඇය සඳහන් කළේ ය.

හිටපු ජනපතිවරුන්ගේ වැය බර මුළුමනින් අඩු කළ යුතුයි - ජනපති

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් අද (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

"අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද වුණේ? ඒ ඔක්කොම අසත්‍ය බවට තහවුරු වෙලා තියෙනවා. ගෑස් පිපුරුවේ නැහැ, ඩොලරය රුපියල් 400ට ගියේ නැහැ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණයක් සමරණවා රතිඤ්ඤාවත් පත්තු නොකර. ජය සැමරුවා සාමකාමීව. "

"ඩොලරය රුපියල් 300ට පහළින් තියාගෙන ඉන්නවා. තෙල්, ගෑස් පෝලිම් ඇතිවෙන්න ඉඩදුන්නේ නැහැ. ජාත්‍යන්තර සබඳතා වෙනදාට වඩා ශක්තිමත් කරමින් ඉන්නවා. කියපු සියල්ල අසත්‍ය බව ජනතාව අද දන්නවා. ජනපතිවරණයේදී ඡන්දේ නොදීපු අයත් මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙනවා...දෙනවද? නැද්ද?...දෙනවා."

"මන්ත්‍රි වරප්‍රසාද අඩුවෙන්න ඕනේ. වැය බර අඩුවෙන්න ඕනේ. ජනපති වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනේ. හිටපු ජනපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින් අඩු කළ යුතුයි. අපි දැන් කමිටුවක් දාලා තියෙන්නේ චක්‍රලේඛ, පනත්, ව්‍යවස්ථාව මගින් වරප්‍රසාද පිරිනමා තිබෙනවා. ඒ සියල්ල ඉවත් කරන්න සාකච්ඡා කරලා."

"හිටපු ජනපතිවරු බලාගන්න එක නතර කරනවා. එ්වා කරන්න බෑ. පොඩි ගණන් නෙවෙයි. ආරක්ෂකයෝ 163ක් ඉල්ලනවා. ගිලන් රථ, BMW කාර් ඇතුළු වාහන 16ක් 17ක් ඉල්ලනවා. ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ. "

"දේශපාලනය වරප්‍රසාදයක් ලෙස හිතනවා. විශ්‍රාම ගියාම බලාගැනීම ජනතාවගේ වැඩක් කියලා හිතනවා. ඒවා ජනතාවගේ වැඩ නෙවෙයි. ඒවා ඉතා ඉක්මණින් අපි ඉවත් කරනවා හැම නායකයාටම ඇහෙන්න කියන්නේ."

"පළිගැනීමට කරන දෙයක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් කළ යුතුයි. ගරු ඇමති අතිගරු ජනපති කියන්නේ ඇයි? .ගරු සේවය, අතිගරු සේවය මේක හොඳ අතිගරු සේවය. ඉන්නකොටත් බලාගෙන, ගියාමත් බලන්න ඕනේ. මේවා නතර කරනවා."

"පොඩි කම්මැලි ඡන්දයක් තියෙනවා. වෙනදා මෙහෙමද? ගිනි තියනවා, පහර දෙනවා, රථ පෙළපාලි යනවා. දැන් තියෙනවද එහෙම ඒවා. මේවා තමයි ඡන්ද කියන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව නිදහස් මැතිවරණයක් තහවුරු කළා. ඒවා ජයග්‍රහණ."

බහුතරයක් නැති ජනපතිවරු දෙදෙනා ගැන රනිල් කියන කතාව

තමාට මෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විමසී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ විමසුවේ අද (27) මීගමුවේදී පැවති ජන හමුවක දී ය.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

බහුතරයක් නැති හිටපු ජනාධිපති සහ බහුතරයක් නැති ඉන්න ජනාධිපති

‘‘පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියල අනුර දිසානායක ජනාධිපතිතුමා මට කියල තියෙනවා. ඇත්ත... බහුතරයක් දෙනා මට ඡන්දය දුන්නේ නැහැ කියන කාරණය මම පිළිගන්නවා. හැබැයි අනුර දිසානායක ජනාධිපතිතුමාටත් බහුතරය නෑ. ඒ නිසා ‘මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති’ ඒක තමයි ඇත්ත කතාව.

මම පළමුවෙන්ම දේශපාලනයට ආවෙ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ, එක්දහස් නමසිය හැත්තෑ හත අවුරුද්දෙ. එදා මම මන්ත්‍රී කෙනෙක් විදියට පත්වුණා. එදා ගම්පහ කියල වෙනම දිස්ත්‍රික්කයක් තිබුණේ නැහැ. මේ ගම්පහ උතුරු කොටස. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයක් කරන්නැයි අපි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව තමයි ගම්පහ දිස්ත්‍රික්කය ඇරඹුණේ. එදා මේක නොදියුණු දිස්ත්‍රික්කයක්. අපි එදා කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරා. ප්‍රේමදාස ජනපති යටතේ ගම්මාන සහ නිවාස ගණනාවක් බිහි බිහි කරා; නගර දියුණු කරා; ඒකල ප්‍රදේශය දියුණු කරා; ගුවන් තොටුපොළ දියුණු කරා. ඒ අනුව විශාල දියුණුවක් ඇතිවුණා. දැන් ගම්පහ ප්‍රධාන දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා.

නිමල් ලාන්සාගේ කපුකම

එජාප පරාජයෙන් පස්සෙ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ දිස්ත්‍රික්කය නියෝජනය කරා. එතුමියත් වතුපිටිවල යනාදි ප්‍රදේශ දියුණු කරමින් ඒ දියුණුව තවත් ඉදිරියට ගෙන ගියා. අද ගම්පහ කියන්නෙ ලංකාවේ ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක්. ඒ වගේ ම කොළඹ සමග කරට කර තරග කරන්න පුළුවන් හැකි දිස්ත්‍රික්කයක්. එහෙම දියුණුවක් ඇති කරේ එජාපය සහ ශ්‍රීලනිප යන පක්ෂ දෙක කියන එක අමතක කරන්න එපා.

අද මම මෙහේ ආවෙ අලියාට ඡන්දෙ දෙන්න කියන්න නෙවෙයි; මම මෙහේ ආවෙ ගෑස් සිලින්ඩරයට ඡන්දෙ දෙන්න කියල කියන්න. රට කඩා වැටුණු අවස්ථාවේ වගකීම බාරගන්න වෙන කවුරුවත් හිටියේ නෑ; සජිත් හෝ අනුර එදා හිටියේ නෑ. අගමැති වෙන්නවත් කවුරුවත් හිටියේ නෑ.

''එක දවසක් නිමල් ලංසා මට කතා කරලා අගමැති වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔයා මට අගමැතිකම දෙන්නේ කොහොමදැයි මම ලන්සාගෙන් ඇහුවා. කවුරුවත් බාර ගන්නෙ නෑ කියල නිමල් ලංසා මට කිව්වා. ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයා හමුවන්නට ගොස් මා ඒ අභියෝගය භාර ගත්තා. ටික කාලයක් යද්දි ජනාධිපතිතුමත් යන්න ගියා. එදා පාර්ලිමේන්තුව වට කරපු දවසේ කවුරුවත් හිටියේ නෑ. අද රට ඉල්ලන හැමදෙනා ම එදා දිව්වා. අපි හමුදාව යොදවලා මේ රට ආරක්ෂා කරා. ඊට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙදි මට ඉදිරිපත් වෙන්න කියල ඉල්ලීම් ආවා. ඉන්පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. ඒක කරන්න පුළුවන් කියල එදා කවුරුවත් හිතුවේ නෑ.''

දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයා

අපි රට වැටෙන්නට ඉඩ දුන්නේ නෑ. ජනපතිවරණයෙ දි අපි ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් වුණා. ඒ වගේ ම අද ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින මේ සියලු දෙනා පළපුරුදු පිරිසක්. ගම්පහට මාලිමාවෙන් ඉදිරිපත් වී සිටින්නේ කවුද? ඒ අය කවුදැයි ඔබලා දන්නව ද? මෙතන පළපුරුදු අය සිටිනවා. දේශගුණ විපර්යාස සම්බන්ධව දන්නා අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන්නේ අපි විතරයි. රුවන් විජයවර්ධන කියන්නේ දේශගුණ විපර්යාස පිළිබඳව හොඳින් දන්නා කෙනෙක්. ඔහු මගේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වුණ කෙනෙක්. මාලිමාවේ මෙවැනි අය ඉන්නවාද? නලින් ප්‍රනාන්දු ඇමති කාලයේ පොල් පෝලිම් තිබුණේ නැහැ . ලසන්ත ඇමතිතුමා මහා මාර්ග ප්‍රවාහනය ගැන දන්නා කෙනෙක්. ඒ නිසා සිලින්ඩරයට ඡන්දය ලබාදී මේ අය පාර්ලිමේන්තුවට එවන්න.

අපි දෙන්න ම ඉන්නෙ එකට

අනුර දිසානායක ජනාධිපතිතුමා ඉන්නෙ මාස තුනයි කියල මිනිස්සු කියනවා. මම නම් එහෙම කියන්නේ නැහැ. එතුමා ජනාධිපති විදියට ගමනක් යන්න ඕනෙ. එතුමාගේ පක්ෂය පැත්තෙන් දෝෂාභියෝගයක් ආවොත් නම් මම දන්නේ නැහැ. එහෙම දේවල් කරන්න ඕනෙ නෑ. හැබැයි දාලා තියෙන ලැයිස්තුව දැක්කොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක් වත් තියෙයි කියලා මං නම් හිතන්නේ නෑ. ඒ නිසා රට ගෙනියන්න පළ පුරුද්ද තියෙන, පුළුවන් අයට ඡන්දය දෙන්න ඕනෙ. පළපුරුදු අය පාර්ලිමේන්තුවේ හිටියොත් ජනපතිට අවුරුදු තුනක් හරි රට ගෙනයන්න පුළුවන්. එහෙම නැති වුනොත් පොල් පෝලිම් නෙවෙයි හැම තැනම පෝලිම් තියේවි. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඡන්දය ඉල්ලුවා. බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා. ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැනෙ; එතුමටත් සියයට පනස් එකක් ලැබුණේ නැහැ. එහෙම නම් එතුමගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාට වගේම මටත් බහුතරය නෑ.ඉතින් විශේෂත්වය මොකක්ද? අපි දෙන්නම ඉන්නේ එකට.

වර්ජන මෙහෙයුවේ මාලිමාව

මම දැන් එතුමාලා කොනිත්තනවා කියල කියනවා. මම කොහොමද කොනිත්තන්නේ. විජිත හේරත් ඇමැතිවරයා රජයේ සේවකයන් කෙනිත්තුව නිසා මා ඒ ගැන කතා කරා. මේ රටේ පඩි වැඩි කරන්න කියල විශාල උද්ඝෝෂණයක් ගියා. මාලිමාවෙන් වර්ජන පවා ඇති කරා. ඒ අනුව රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා උදය සෙනෙවිරත්න ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඊට කලින් මම රුපියල් දස දහසක් ද ලබාදී තිබුණා. පසුව උදය සෙනවිරත්න කමිටුව වාර්තාව අපට ලබා දුන්නා. ඔවුන් ඉදිරිපත් කළ පඩි වැඩි කිරීම කරන්නට බැරි බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවා. අපගේ ලේකම් සමග කතා කරන්නැයි මම උදය සෙනෙවිරත්න මහතාට කිව්වා. ඊට පස්සෙ කොටස් දෙකකට වැටුප් වැඩි කරන්න භාණ්ඩාගාරය කැමති වුණා.

ඒ අනුව වැටුප් වැඩිවීමේ භාගයක් මේ වසරේ සහ භාගයක් ලබන වසරෙ දි දෙන්න එකඟතාවක් ඇතිවුණා. ඇත්ත වශයෙන්ම දෙදහස් විසිදෙක වසරේදී මුදලේ වටිනාකම සියයට පනහකින් අඩු වුණා. ඉතින් රාජ්‍ය සේවකයන් ජීවත්වන්නේ කොහොම ද? දෙදහස් විසිපහ වසරේ වියදම් කරන මුදල් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ කණ්ඩායමට දැනුම් දිය යුතුව තිබෙනවා.

අනුර නොදන්නා විසර්ජන පනත

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දහතුනක දක්වා අපේ වියදම සීමා කරල තිබුණා. අපි කරන වියදම් සියල්ල ඔවුන්ට දැනුම් දිය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමත් වියදම් ලේඛනයට ඇතුළත් කර තිබුණා. කැබිනට් තීරණය ගන්න සිදුවුණේ ඒ නිසයි. අයවැය සඳහා වියදම් සීමාව කුමක්දැයි මූල්‍ය අරමුදලට පෙන්විය යුතුව තිබෙනවා. මෙය නිල වශයෙන් ගත් තීරණයක් නොවන බව අනතුරුව විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණා. අනතුරුව අපේ පක්ෂවල වෘත්තීය සමිති නිලධාරීන් මාව හමුවුණා. පසුව සිදුවී ඇති දේ පිළිබඳව මම ඔවුන්ට විස්තර කරා. ඊට පස්සෙ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින්කිව්වෙ මොකක්ද? මම හිතුමතේ මේ වැඩි කිරීම් කරලයි කියල කිව්වා. මම එහෙම කරල නැහැ. මම මුදල් වෙන් කරල නැහැ කියල ජනාධිපතිවරයා කියල තිබුණා. මුදල් වෙන් කරන්නේ දෙදහස් විසි පහේ විසර්ජන පනතින්. දෙදහස් විසි හතරෙ විසර්ජන පනතින් දෙදහස් විසිපහ සඳහා මුදල් වෙන් කරන්න බැහැ. අනුර දිසානායක ජනාධිපතිතුමා ඕක දන්නේ නැද්ද? මම දෙදහස් විසි හතරෙ විසර්ජන පනතින් රුපියල් දස දහසක වැටුප් වැඩිවීම සඳහා මුදල් වෙන් කරා. අපි මෙවර පඩි වැඩිවීම සකස් කරේ දෙදහස් විසි පහේ විසර්ජන පනතට දාන්න.

කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න

මේ පඩි වැඩිවීම ගැන මම භාණ්ඩාගාර ලේකම්තුමාට, ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන සියලු දෙනා සමග සාකච්ඡා කරා. මේ පඩි වැඩිවීමේ තීන්දුව තියෙන තුරා ම ඒක අයවැයට ඇතුළත් කරන්න ඕනෙ. තීන්දුව වැරදි නම් ඒක ඉවත් කරන්න; ඒ තීන්දුව අහෝසි කරන්න. මොකද වත්මන් ජනාධිපතිතුමාට ඒ සඳහා බලය තිබෙනවා. පඩි වැඩි කිරීම ගැන අවධානය යොමු කරන බව දැන් ඔවුන් කියනවා.

ඒවා වැඩක් නැහැ. අපි කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න. එය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වගකීමක් ගම්පහ අපේක්ෂකයන්ට තිබෙනවා. ඔය ගැන කතා කරපු විජිත හේරත් ඉන්නේ ගම්පහ. රාජ්‍ය සේවකයන් ගැන කතා කරපු මහින්ද ජයසිංහ ඉන්නෙත් ගම්පහ. ආර්ථිකය ගැන කතා කරන අනිල් ප්‍රනාන්දු ඉන්නෙත් ගම්පහ. මේ පඩි වැඩි වීම කරන්නේ නැත්නම් මේ අයට ඡන්දය දෙන්න එපා කියල ඔබ කියන්න. අපි මේ තරග කරන්නේ ආණ්ඩුවක් අරගෙන මේවා ඉදිරියට ගෙනියන්න. එතුමට ජනාධිපති ලෙස ඉන්න පුළුවන්. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මට වගේම එතුමාටත් බහුතරයක් නැති නිසා කවුරු හිටියත් කමක් නැහැනේ.’’

උතුරු දුම්රිය ධාවනය යළි අරඹයි

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතාකළ යුතු බවය.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදුකර ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

1

2

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට නිවේදනයක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේය.

ඒ වෙනුවෙන් අද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතී.

ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛන රැගෙන යාම අනිවාර්ය වේ.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු වේ.

මේ අතර ගුවන් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරන පූර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැළකිලිමත් වන්නැයි තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.

එවැනි අවස්ථාවල අදාළ ප්‍රදේශවලින් ඉවත්ව, වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතුය.

අනවශ්‍ය ගමන් බිමන් නතර කර, හැකි තරම් සිය සේවා ස්ථානය තුළ රැඳී සිටින්නැයි ද, ලෙබනනයේ සිටින ලාංකිකයින්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනු ලබයි.

යම් ගැටලුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම් දීමට හැකියාව පවතී.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (27) සිට ආරම්භ වේ.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගෙන අවසන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසීය.

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනි දා පැවැත්වීමට නියමිතයි.

ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණයක්

මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් වික්‍රමසිංහ පැවසුවේ අද(26) සහ හෙට(27) දිනයේ එම සමීක්ෂණය සිදුකරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

බහුල ලෙස වී ගබඩා ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල වී ගබඩා මේ යටතේ විශේෂ පරීක්ෂවකට ලක්කරන බව ඔහු සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද මෙහිදී විශේෂ පරික්ෂාවට ලක්කෙරෙනු ඇති.

එහි වාර්තාව අනිද්දා  (28) ජනාධිපතිවරයා වෙත භාර දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පවසුවේ මහ කන්නයේ වී අස්වැන්න සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගින් මිලදී ගෙන ආරක්ෂිත තොග පවත්වාගෙන යාමටද තීරණය කර ඇති බවයි.

මීට අමතරව වී අලෙවි මණ්ඩය මැදිහත්ව වී මෙට්‍රික්ටොන් ලක්ෂ 04ක ආරක්ෂිත තොගයක් මිලදී ගැනීමට ද සැලසුම් කර තිබේ.

මහා පරිමාණ වී මෝල් හිමියන් සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවනදී ඔවුන් එකඟවූයේ පාලන මිලට අඩුවෙන් සහල් වෙළඳපොලට නිකුත් කිරීමටයි.

එහෙත් එවැන්නක් මෙතෙක් සිදුවී නොමැති බව වෙළඳපොළ සමීක්ෂණවලදී හෙළිවී ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

සහල් මෝල් හිමියන් පවසන්නේ නාඩු වී හිඟයක් පවතින බවයි.

එහෙත් පසුගිය කන්නයේ වගාවෙන් 78%ක්ම සිදුකර ඇත්තේ නාඩු වී බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දී ඇත.

ලියාපදිංචි අංකයක් නොමැති සැප වාහනයක් පොලිස් භාරයට

මිරිහාන, ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක තිබී එම මෝටර් රථය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් භාරයට ගෙන ඇත්තේ සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් ජීප් රථයකි.

මෙය ලියාපදිංචි නොකළ වාහනයක් ද යන්න පිළිබඳ අප පොලීසියෙන් සිදු කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

යුරෝපා සංගම් නියෝජිත පිරිසක් ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහත්මිය ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.

එසේම, දැනුම හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය කටයුතු, ආයෝජන, සාමය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයේ කැපවීම මෙහිදී නියෝජිත පිරිස අවධාරණය කළ අතර මෙම පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට ද ඔවුහු සහතික වූහ.

පසුගිය ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ අතර පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් සිය රටවල ජනාධිපතිවරුන් විසින් එවනු ලැබු සුබපැතුම් පණිවිඩ නෙදර්ලන්තය, ප්‍රංශය සහ රුමේනියාව යන රටවල තානාපතිවරු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිජ් (Damiano Francovigh), රුමේනියා තානාපති ස්ටෙලූටා අහයර් (Steluta Arhire), නෙදර්ලන්ත තානාපති බොනී හොර්බැක් (Bonnie Horbach), ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජිත මරී නොයෙල් ඩුරිස් (Marie Noelle Duris), ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත ඕලෆ් මැල්ෂො (Olaf Malchow) සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඉවම්ස් රජන්ස් ( Iwams Rutjens) යන මහත්ම මහත්මීහු යුරෝපා සංගමය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සමාජ මධ්‍ය මගින් මඩ ගැසූ අයට රෝහිණීගෙන් පැමිණිල්ලක්

අසත්‍ය, අවලාදාත්මක සහ අපහසාත්මක කරුණු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධමය චෝදනා එල්ලකරමින්

විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ ඇයට අසත්‍ය වූ ද, අවලාදාත්මක වූ ද, සැලසුම් සහගත සහ සචේතනික ආකාරයේ චෝදනා රැසක් එල්ල කරමින් සමාජ මධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දී ඇ‍ගේ කීර්තියට හානි කර ඇති බවයි.

රත්තොට පොලීසිය වෙත සාපරාධී අපහාසය පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහිණී කවිරත්න ජනමාධ්‍ය හමුවේ මෙලෙස කරුණු දැක්වූවා ය.

tr4wet4

සමාජ මාධ්‍ය මගින් සිදු කරන මඩ ගැසීම් පිටුදැකිය යුතු යි

‘‘දෙදහස් විසි දෙක වසරේ හොඳම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙසත්, දෙහස් විසි තුන විසි හතර ඉහළම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රේණිගත වුණ මම ළමා සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත කාන්තාවක්. මම හැම වෙලාවෙ ම කාන්තා මහජන නියෝජනය පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන් සෑම විටම හඬ නගනවා. මම, මැතිවරණ ව්‍යාපාරවල දි කාන්තාවන් වෙත සාපරාධී අපහාසයන් සිදු කිරීම වැළැක්වීමට නීති සම්පාදනයේ නිරත වුණ කාන්තාවක්. කාන්තාවන් දේශපාලනයට පැමිණීම වැළැක්වීම සඳහා සැලසුම් සහගත සාපරාධී අපහාස ලංකා දේශපාලනයේ සුලභ යි. ප්‍රායෝගිකව ම ඒවා පරාජය කිරීමේ වගකීම වෙනුවෙන් මම කැපවෙනවා.

සමාජ මාධ්‍ය මගින් කාන්තාවන්ට, විශේෂයෙන් ම දේශපාලනයේ නිරත කාන්තාවට ට එල්ල වන අපහාස ගැන විධිමත් විමර්ශන සිදු විය යුතුයි; සමාජ මාධ්‍ය මගින් සිදු කරන මඩ දේශපාලනය පිටුදැකිය යුතු යි. පසුගිය මැතිවරණ දෙකේ දී ම මෙවැනි මට නිකරුණේ අසත්‍ය හා අපහාසාත්මක චෝදනාවලට ලක් වෙන්න වුණා. මෙවර අනාගතයේ කිසිම දිනෙක එවැනි තත්ත්වයකට කාන්තා දේශපාලනඥයින් පත්වීම වැළැක්වීම වෙනුවෙන් මට ම පෙරමුණ ගැනීමට සිදුව තිබෙනවා.

ශිෂ්ට සහ ගෞරවණීය දේශපාලන සංස්කෘතියක් බිහි කළ යුතු යි

මෙම අපරාධයට ප්‍රසිද්ධ ෆේක් ප්‍රොෆයිල් යොදා ගනිමින්, දේශපාලනයේ නිරත අය ද සම්බන්ධ වී තිබෙනවා. මේ පිළිබඳ වෝහාරික දත්ත විශ්ලේෂණයක් සිදු කර අන්තර් ජාල අපරාධ වැළක්වීම යටතේ අපරාධමය නඩු පැවරීමකට හා වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා. මම: වසර හතරක් පුරා පරිගණක අපරාධ වැළැක්වීම, සමාජ මාධ්‍ය මගින් අපහාස කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදන ක්‍රියාවලියේ නිතර වුණා. පාර්ලිමේන්තුව මගින් නීති සම්පාදනය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරලා අපරාධ වැළැක්වීමටයි. සමාජ මධ්‍ය තියෙන්නේ විරුද්ධවාදීන්ට මඩ ගහන්න නෙවෙයි. අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ මගින් අප ගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කරන්නට බෑ වෛරයේ දේශපාලනය වෙනුවට අපි ශිෂ්ට හා ගෞරවණීය දේශපාලන සංස්කෘතියක් බිහි කර ගත යුතුයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කැප විය යුතු යි.’’

විදුලි බිල අඩු කිරීම ගැන මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවලියක්

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බව එම මණ්ඩලය පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.

විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය වේ

පාස්කු ප්‍රහාර සිද්ධිය දේශපාලනීකරණය නොකළ යුතුයි - හිටපු ජනාධිපති

පාස්කු වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමා ඉල්ලා සිටින බව අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු එම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම සම්පුර්ණ නිවේදනය පහත පළවේ.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධූරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි.

ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව පැහැදිළි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබු අතර මා වෙත යොමු කෙරුණු සියලු පැහැදිළි කිරීම් නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමග හුවමාරු කර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දෙන ලදී.

චැනල් - 4 නාලිකාව ඔස්සේ විකාශනය වූ හෙළිදරව්ව පිළිබඳව කරුණු සෙවිය යුතු බවට ද මා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට කටයුතු කරන ලදී.

මීට අමතරව, ඒ.එම්.ජේ. ද අල්විස්, ඩබ්ලිව්.එම්.ඒ්.එන්.නිශාන් සහ කේ.එන්.කේ. සෝමරත්න යන අයගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. මේ කමිටුවට පත්කළ කිසිවකුත් මා පෞද්ගලිකව දන්නා හඳුනන අය නොවේ. මේ කමිටු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීමට ද කටයුතු කරන ලදී.

ඉන්දීය බුද්ධි සේවයෙන් කිසියම් වූ ආකාරයක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලද විට ගතයුතු පියවර පිළිබඳව සොයාබැලීම ඉහත කමිටුව පත් කිරීමේ එක් අරමුණක් විය. එසේම ඊට අදාළව ගනු ලැබූ පියවර ප්‍රමාණවත්දැයි විමසා බැලීම ද මේ කමිටුවට පැවැරුණු තවත් වගකීමක්වේ. රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ බවට මාස හතරක් මුළුල්ලේ ප්‍රකාශ කළේ මන්ද? ඒ කාලය තුළදී ඊට අදාළව ගත් පියවර කුමක්ද යන්න පිළිබඳව විමසා බැලීම ද මේ කමිටුව මගින් සිදුකරන ලදී.

''අල්විස් වාර්තාව රවී සෙනවිරත්න ගෙන් හෝ ශානි අබේසේකර ගෙන් පලිගැනීමට නොවේ ''

අල්විස් කමිටු වාර්තාව එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගෙන් පළිගන්න හෝ ඔවුන් ගැන විභාග කිරීමට හෝ සකස් කළ වාර්තාවක් නොවේ.

පාස්කු සිද්ධිය ගැන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සියළු දෙනාටම නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙසත් ඒ වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාටත් විනය පියවර ගන්නා ලෙස එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. එබැවින් මෙය රවි සෙනෙවිරත්නට සහ ශානි අබේසේකරට විරුද්ධව සැකසු වාර්තාවක් බවට අර්ථ දැක්වීම පදනම් විරහිත බව ඉතා පැහැදිලිය.

වාර්තාවේ සඳහන්ව ඇති වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නිරීක්ෂණ ද ඉතා වැදගත් වේ. එම සිද්ධියට අදාළව එදා පළමුව දැනුම් දෙනු ලැබූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඒ ඝාතන සිදුකළ බවටය. එහි ප්‍රතිඵලයක් ලෙස තම්බිරාස කුමාර් සහ රාසනායගම් සර්වානන්දන් යන දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

වාර්තාවේ ඇමුණුම් පරීක්ෂා කළවිට පරස්පර විරෝධි කරුණු රැසක් අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන් වන එක් බුද්ධි අංශ වාර්තාවක සඳහන් වනුයේ එවකට සිරගතව සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් මේ සිද්ධිය පිටුපස සිටින බවය. වවුනතිව්වලදී මියගිය ගනේෂ් නැමැති පොලිස් නිලධාරියා සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත් වූයේ යයි කියන කාන්තාවකගේ සැමියා විසින් ඝාතනය කළ බවට ද ඊට අදාළ තවත් බුද්ධි අංශ වාර්තාවක සඳහන් විණ.

ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධාන‌යේ ක්‍රියාකාරකම් සොයා ගැනීමට බුද්ධි අංශවලට මාස හතරක් ගතවීමට හේතුව ජාතික බුද්ධි අංශවලට තොරතුරු ලබා ගැනීමේ විධිමත් ජාලයක් නොතිබීම යයි හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ (DMI) සඳහන් කර ඇත.

"Regarding the gap of four months until discovery of the NTJ, the DMI's explanation was that it was attributable to the lack of network they had at the time to elicit the intelligence. "
REPORT OF THE COMMITTEE OF INQUIRY INTO INTELLIGENCE COORDINATION AND INVESTIGATIVE PROCESSES RELATED TO THE EASTER SUNDAY BOMBINGS OF 21ST APRIL 2019 (Page No 12)

විදේශ බුද්ධි සේවයක් වූ ඉන්දියන් බුද්ධි අංශයට මේ ප්‍රදේශයේ ශක්තිමත් තොරතුරු ජාලයක් පැවැතිය ද, එම ප්‍රදේශයේම ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාත්මක වීමේදී දරුණු කඩා වැටීමක් දැකිය හැකිය. අප සතුව ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයක් නොතිබීම භායනක තත්වයකි. මන්ද රටේ ආරක්ෂාවට එය විශාල තර්ජනයක් වන බැවිනි. මගේ අවධානය යොමු වූයේ මේ කාරණය සම්බන්ධයෙනි.

මගේ අරමුණ වූයේ රදගුරු සම්මේලනයේ ප්‍රතිචාරය ලබාගෙන නිතීපති වාර්තාව ද සමග බුද්ධි සේවා කඩා වැටීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමය. මන්ද මේ ආකාරයට ජාතික බුද්ධි සේවයේ කඩා වැටීම රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ද වන නිසාය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර පසුව එහි වාර්තාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් හා ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක් හරහා බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා යෝජනා ගැනීමට ද මම අදහස් කරගෙන සිටියෙමි. ජාතික බුද්ධි සේවයේ දරුණු කඩා වැටීම සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවේ කිසිවක් සඳහන් නොවූ බව ද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මේ වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ මා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත නිසා ඒ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීමට මම කටයුතු නොකෙළමි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවශ්‍යව තිබූ බැවින් ඉහත පිළිවෙත මම අනුගමනය කළ බව ද සඳහන් කරමි.

කාදිනල් හිමිපාණන් මා සම්බන්ධව සිදුකළ සියළු ප්‍රකාශ පදනම් විරහිතය. පාස්කු වාර්තා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ යුත්තේ රදගුරු සම්මේලනය යි.
ඉහත සියලු කරුණු සැළකිල්ලට ගෙන පාස්කු වාර්තා ගෙනහැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම මම ඉල්ලා සිටිමි.

රනිල් වික්‍රමසිංහ
අටවන විධායක ජනාධිපති

2024-10-24

ශිෂ්‍යත්වයට අදාළ පෙත්සම් සලකා බැලීමට දිනයක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් පිරිසක් ඔවුන්ගේ දෙමව්පියන් සමග මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් වැසියන්ගේ ආරක්ෂාවට විශේෂ දුරකතන අංකයක්

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.

ඒ අනුව, හදිසි අවශ්‍යතාවකදී 0718592651 යන දුරකතන අංකයෙන් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී වෙත දැනුම් දිය හැකි බව ය.

මේ අතර, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරනු ලැබී ය.

ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව එම කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, සිය කාර්ය මණ්ඩලයට මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමෙරිකානු පුරවැසියන්ට ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් නිකුත් කර ඇති බව ය.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

ආරුගම්බේ ආරක්ෂාව තර කරයි

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බවය.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසයි.

ඔහු පවසන්නේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවය.

මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව  වැඩිදුරටත් සදහන් කලේය.

ඒ පිළිබඳ මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළ අදහස් :

“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරු ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”

මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ලැබුණු වහාම අදාළ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

යම් සංචාරයෙකු සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු අතර අප ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව  වැඩිදුරටත් පවසයි.police

 

Page 22 of 459