පුවත්
ජනාධිපති අවුරුදු උත්සවයේ : තෑගි සහ තරග මෙන්න !
ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් !
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද මෙහිදී සිදුවිණ.
ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන් පසුගිය දශක ගණනාවක සිට සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති බවත් එය අනාගතය සඳහාත් ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලයේදී අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වනවා සේම ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ආගමික දේශන සිදු කළ මවුලවිතුමන්ලාට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන අලී සබ්රි, නසීර් අහමඩ්, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාමිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, එච්.එම්.එම්. හරීස්, එම්.එස්. තවුෆික්, අලී සබ්රි රහීම්, එස්.එම්.එම්. මුෂාරෆ්, යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ විදෙස් තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආනයනික භාණ්ඩ රැසක සීමා ලිහිල් කිරීමේ සූදානමක් !
තවත් ආනයනික භාණ්ඩ රැසක සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව සඳහන් කල අතර රේගුවේ අපේක්ෂිත ආදායම් ඉල්ක්ක සපුරා ගැනීම සඳහා මෙය පිටිවහලක් වනු ඇති බවත් පැවසීය.
රේගුව වෙත පළමු මාස තුන සඳහා ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි. එහෙත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවද අමාත්‍යවරයා පවසයි.
2021 වසරේ දී භාණ්ඩ 485ක් 2022 වසරේ දී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවිණි. එසේ ම මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාම ද ආදායම් ඉලක්ක කරා ළගා වීමට නොහැකි වීමට හේතු වූ බවත් එබැවින් නුදුරේ දී දැඩි විමසිලිමත්ව අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
විශේෂයෙන් ම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ මත අදාළ තීරණ ගැනීමට සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
යුරෝපයට පනින අලුත් ක්‍රමයක් අල්ලගෙන !
ශ්‍රී ලාංකිකයින් යුරෝපා රාජ්‍යයන් වෙත පළායෑම සඳහා භාවිත කරන නවතම ක්‍රමවේදයක් පිළිබඳ අනාවරණය කරගැනීමට කටුනායක ගුවන්තොටුපොල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වෙයි.
අනාවරණය කරගෙන ඇති ආකාරයට බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු සිදුකරන්නේ ඉන්දියාවේ සිටිමින්ය. මෙය අවස්ථාවක් කරගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූට ලෙස වීසා බලපත්‍ර සකස් කරගෙන පසුව ඒ හරහා යුරෝපා රටවල් වෙත පළායෑම මෙම නවතම ක්‍රමය වී තිබේ.
ඒ අනුව එවැනි ව්‍යාජ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන තිබුණි.
කටුනායක ගුවන්තොටුපොල පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබු අතර සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි.
වාර්තා වන ආකාරයට සැකකරු සිය ගුවන් සේවා නිස්කාසන කටයුතු නිමවා, විගමන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොල පිටත්වීමේ පර්යන්තයෙහි පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ තිබුණි.
එහිදී සේවය කළ නිලධාරීයා, මොහුගේ ගුවන්ගමන් බලපත්රයෙහි ඇති මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රය පිළිබඳව සැකයක් ඇතිවී ඔහුව කටුනායක ගුවන්තොටුපොල තුළ සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරියා වෙත යොමු කර තිබේ.
එහිදී මෙම තරුණයා ඉදිරිපත් කළ සියලු ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමුකර තිබේ.
මෙම ඒකකයේ පරීක්ෂා කිරීම්වලදී මෙම මෝල්ටා වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමගම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත.
අනතුරුව සැකකාර තරුණයා සියල්ල හෙළිකර ඇති අතර අදාළ තරුණයාගේ සොහොයුරිය ද මෙසේ ව්‍යාජ ලෙස සකස් කළ වීසා ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් ඇති බවද එහිදී අනාවරණය වී ඇත.
මීට පස්සේ ගෝල්ෆේස් තහනම්ද ?
කොළඹ ගෝල්ෆේස් භුමිය භාවිත කිරීමට අවසර ලබා නොදෙන අංග සම්බන්ධයෙන් රජය විසින් තීරණයක් ගෙන තිබේ. ඒ, ඊයේ (අප්‍රේල් 18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී යි.
ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ආගමික කටයුතුවලට හැර, ගෝල්ෆේස් පිටියට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගෝල්ෆේස් පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇතැ යි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දැක්වෙයි.
ඒ අනුව ගෝල්ෆේස් පිටියේ සංවර්ධන කටයුතු සඳහා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක මුදලක් වැයකර ඇතිබවත්, පසුගිය අරගල කාලසීමාවේ දී සිදුවී ඇති දේපළ හානි අලුත්වැඩියා කිරීම සදහා පමණක් රුපියල් මිලියන 6.6ක මුදලක් වැයකර ඇතිබවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් ය.
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම ගෝල්ෆේස් භුමිය පවත්වාගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස්වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භුමිය නිතර හානිවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.
ගෝල්ෆේස් භුමියේ උද්ඝෝෂණ ස්ථානය සහ මහජන අරගලය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහජනතාවට සිය විරෝධතා දැක්වීම සඳහා මීට පෙර ගෝල්ෆේස් භුමියේ කොටසක් වෙන්කරදීමට පියවර ගත්තේ ය.
2021 වසරේ සිට රට තුළ ඇතිවූ ආර්ථික ගැටලු හේතුවෙන් මහජනතාව විසින් එවකට බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කිරීමේ දී ද ගෝල්ෆේස් භුමිය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්විය.
ඒ "ගෝඨා ගෝ ගම" අරගල භූමිය 2022 වසරේ අප්‍රේල් මස 09 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී ආරම්භ කිරීමත් සමග යි.
මෙලෙස ආරම්භ වූ මහජන විරෝධතාව අවසන් වූයේ එවක ජනාධිපතිධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ ජුලි මස 15 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළායෑමත් සමග යි.
වත්මන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කලේ ගෝල්ෆේස් පිටිය ලබාදී ඇත්තේ ජනතාවට බවත්, ආණ්ඩුවට එවැනි සීමාවන් පැනවීමක් සිදුකළ නොහැකිබවත් ය.
ගෝල්ෆේස් පිටිය සම්බන්ධ වූ මහජන විරෝධතා
මෙරට ඉතිහාසය පුරාවට සිදුවූ ඇතැම් සුවිශේෂී මහජන විරෝධතාවන් සඳහා ගෝල්ෆේස් පිටිය පාදක වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ය.
"ලංකාවේ ඉතිහාසයේ 1956 සිට ගත්තම විශාල දේශපාලන අරගල ගණනාවක් තිබිලා තියෙන්නේ ගෝල්ෆේස් එකේ. භාෂා ප්රශ්නය ඇතුළු බොහෝ වාමාංශික විරෝධතාවන් සඳහා ජනතාව රැස්වුණේ ගෝල්ෆේස් පිටියට."
"වර්තමාන රජය මේ වගේ තීරණ ගන්න ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට ජනවරමක් නොමැතිකම. මේ රජයට කිසිම ජනවරමක් නැහැ," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා සිටියේය.
ගෝල්ෆේස් භුමියේ අයිතිය ඇත්තේ කාට ද?
මේ වන විට ගෝල්ෆේස් භුමියේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියට අයත් අනුබද්ධිත සමාගමක් විසිනි.
ඒ, වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරාජ් කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියේය.
"2013 වසරේ සිටයි ගෝල්ෆේස් පිටියේ නඩත්තු කටයුතු වරාය සංවර්ධන අධිකාරියට භාර වන්නේ. ඒ අනුව වරාය කළමනාකරණ හා උපදේශණ සේවා සමාගම විසින් මේ දක්වා එහි නඩත්තු කටයුතු පවත්වාගෙන යනු ලබනවා.
"අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මාසයේ 20 වෙනිදා ඉදලා කිසිම දේශපාලන කටයුතු, සංගීත සංදර්ශන හෝ සැණකෙලි වැනි දේවල්වලට වෙන් නොකරන්න අපි කටයුතු කරනවා," කතුරුසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.
ගෝල්ෆේස් භුමිය පිලිබඳව ගත් නව තීරණය පිළිබඳව රජයේ ප්‍රකාශය
ගෝල්ෆේස් පිටිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කෙරිණ.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍ය මණ්ඩලය විසින් මෙවැනි තීරණයක් ගෙන තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලය ලබන 22 වෙනිදා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත "වසත් සිරිය" අවුරුදු උත්සවය පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව යි.
"අවුරුදු උත්සව පැවැත්වීම ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජාවක් පැවැත්වුයේ නැහැ. ගාලු මුවදොර පිටිය සුවිශේෂී ආගමික කරුණු හැර අනෙක් දේ සඳහා ලබා නොදෙන බවයි කැබිනට් තීරණ බවට පත්වුණේ," කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ය.
'ගෝල්ෆේස් එකේ කානිවල් තිබ්බ නම් හොදයි'
ගෝල්ෆේස් පිටිය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යහපත්වුවත් ජනතාවට වින්දනයක් ලබන්න හැකි අවස්ථා උදාකර දීමට ද අවධානය යොමු කළ යුතු බව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කසුන් කරුණාරත්න බීබීසී සිංහල වෙත පවසා සිටියේ ය.
"කොළඹ නගරය ඇතුළේ ජනතාවට නිදහසේ කාලය ගතකරන්න පුළුවන් තැන් තියෙන්නේ සීමිත ස්ථාන කිහිපයක් විතරයි. ඒකෙන් ගෝල්ෆේස් කියන්නේ ඉදිරියෙන්ම තියෙන තැනක්."
"කොළඹ නගරයේ තිබෙන නාගරීකරණයත් එක්ක බලද්දී ගෝල්ෆේස් පිටිය ජනතාවට මානසික නිදහසක් ගෙන දෙන තැනක් කියන්න පුළුවන්."
"දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන පවත්වන්න ඉඩ දෙන්නේ නැති එක ගැටලුවක් නැතිවුණත්, ගෝල්ෆේස් එකේ කානිවල් වගේ දෙයක් තියන්න ඉඩ දෙනව නම් වටිනවා. මොකද මිනිස්සු එන්නේ විනෝදයක් ලබන්න යි."
"ඒ නිසා මම හිතන්නේ ගෝල්ෆේස් එකේ දැන් තියනවට වඩා මිනිස්සුන්ට යෙදෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් වැඩි කළා නම් හොදයි," කසුන් කරුණාරත්න පැවසුවේ ය.
රිලවු සමග ඉඩමකුත් ලැබෙයි : රිලා ප්‍රේමීන්ට කදිම අවස්ථාවක් !
රිලවුන් රට යවනනවාට විරුද්ධ සංවිධාන හෝ පුද්ගලයන්ට එම වන රිලවුන් බලා ගැනීම සඳහා ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .
රිලවුන් බලැ ගැනීම සඳහා අවශ්‍ය ඉඩම් කොටසක් දී රිලවුන්ද අල්ලා දීමට හැකි බවත් ඔහු සඳහන් කර සිටියි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී වන අතර බොරු මත වාද ප්‍රචාරය කරන්නේ නැතුව හැකිනම් රිලවුන් ටික බලා ගන්නැයි තමන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
මෙරට වගාවන් විශාල ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරන බවත් ඒ හරහා ගොවීනට කෝටි ගණනක් අලාභ වන බවත් එම අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කිසිවකු අවධානය යොමු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.
හරිනම් මුලින්ම රට පැටවිය යුත්තේ රිලවුන් නොව රිලවුන් රට යවනවාට එරෙහිව විවිධ අදහස් පළ කරන ඇතැම් සංවිධානවල පිරිස් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
හිටපු නීතිපතිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් !
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ ආකාරයට හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට දින කිහිපයකට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබදව කරුණු විමසීම සදහා මෙම කැදවීම සිදුකර ඇත .
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් සිටින බවටත් එම ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවටත් සදහන් කරමින් හිටපු නිතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යෑමට පෙර මෙම ප්‍රකාශය සිදුකර තිබිණ .
සාගරගේ කතාවෙන් බැසිල්ගේ ගෝලයා රන්ජිත් අමාරුවේ !
සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර පැවසුවද ඒ පිළිබඳ පොදු එකඟතාවක් නොමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දැනට පොදුජන පෙරමුණේ නායකත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර ඔහු සිටියදී වෙනත් නායකයකු පත්කර ගැනීමේ කිසිඳු නිල සාකච්ඡාවක් පක්ෂයේ සිදුව නැත.
තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ද අද (17) මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත්ය.
එසේම තම පක්ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්ෂ බවත් ශ්‍රී ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව රටට වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්ෂ බවත් ඔහු එහිදී පවසා ඇත.
මේ අතර පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ දැඩි බැසිල්වාදියකු වන රන්ජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සිය පෞද්ගලික කැමැත්ත පක්ෂයේ පොදු අදහසක් ලෙස පවසන්නට ඇති බවය. පක්ෂය ඉතා දුෂ්කර සමයකට මුහුණදී සිටින පසුබිමක මේ ආකාරයට පෞද්ගලික ලැදියාවන් හෝ කුඩා කණ්ඩායම් වල මතවාද එළියට දැමීම හානිකර බව පක්ෂයේ ජේෂ්ඨයන් රැසකගේද අදහස වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
රවි කරුණානායක ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ගේ මෑණියන් කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට අසු දෙවනවියේ (82) පසුවූවාය.
හිටපු ජනාධිපති J .R. ජයවර්ධනගේ පාලන සමයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරිය ලෙස ඇය කටයුතු කර ඇත.
දේහය හෙට (18) දහවල් 01.00 සිට බොරැල්ලේ AF රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 19 වනදා සවස 4.30ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කරයි.
දොලවත්තගේ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් !
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වූ කේ. අතුල එච්. ද සිල්වා, ශෙනාලි ඩී. වඩුගේ සහ ජෙහාන් හමීඩ් යන අය විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙන අතර එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සහ නීතිපතිවරයා නම් කර ඇත.
මෙකී පෙත්සම ගොනුකරමින් පෙත්සම්කාර පාර්ශ්වය සඳහන් කර ඇත්තේ වගඋත්තරකාර ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය නොවන වරදක් වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇති බවත් ඒ තුළින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවය.
එය දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
එසේම බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බවත් සඳහන් කර සිටියි.
තවද අදාළ පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට ද පටහැනි බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇති අතර එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පිළිතුරු පත්‍ර පරීක්ෂාව මඟහැරලා : අධ්‍යාපන සංස්ථාවම අවුල් වෙලා - මන්ත්‍රී රෝහිණී
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න පවසයි.
සිසුන් දෙලක්ෂ හැත්තෑ දහසකට වැඩි පිරිසක් උසස් පෙළ විභාගය පෙනී සිටි අතර, මේ දක්වාම උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වී නැත. සිසුන් ලක්ෂ 5 කට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්කර ඇති නමුත් මෙම අර්බුදය නිසා විභාග පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් උපයන විට ගෙවීමේ බද්ධ ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා මාස 03 කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල වසා දමා තිබු අතර විභාග පැවැත්විම සිදු නොවීය. මේ සියළු සිදුවීම් ලක්ෂ 12 ක් පමණ වන පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට දැඩි පීඩනයක් එල්ලකර ඇති අතර, මෙරට ද්විතීයක අධ්‍යාපනය දැවැන්ත අර්බුදයක් කරා යොමු කරමින් තිබේ.
අද වන විට සා.පෙ. විභාගයට පෙනී සිටින දරුවෙකුට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් අවුරුදු 21 දී උපාධියක් ලබා ගත හැකිය. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගැනීමේ වයස අවු. 26 කි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව වඩා තුන් ගුණයක් පමණ මේ වන විට දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධ ආයතනයන් හි ඉගෙනුම ලබයි. අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීමේ හැකියාවක් නොමැති සිසුන් බහුතරයක් සා.පෙ., උ.පෙ., උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හි හිරවී සිටින විට පුද්ගලික විශ්වවිද්‍යාලයන් හි ඉගෙනුම් කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මෙම ආයතනයන් හි උගන්වනු ලබන්නේ ද, මේ වන විට පිළිතුරු පත්‍ර පරීක්ෂාවට අදාළ ක්‍රියාකාරකම්වලින් ඉවත්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්ම කොටසකි.
උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති අතර ඔවුන්ට එක් උත්තර පත්‍රයක් වෙනුවෙන් රු. 175 ක මුදලක් ද, රු. 2000 ක දෛනික පැමිණීමේ දීමනාවක් ද යෝජනා වී ඇත. මෙම දීමනා ප්‍රමාණවත් නොවේ නම් ඒ පිළිබඳ, අධ්‍යාපන අමාත්‍යාංශය හා ගුරු නියෝජිතයින් පොදු එකඟතාවයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය ය.
1988 – 1994 සමයේ දී මෙරට විශ්වවිද්‍යාලයන්හි විභාග පැවැත්වීම හා ප්‍රතිඑල නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් දැවැන්ත විනාශයක් මෙරට අධ්‍යාපන පද්ධතියට සිදු විය. මාස තුනකට වැඩි කාලයක් දිග් ගැසුණු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රමාදය, විශ්වවිද්‍යාල දේශන වර්ජනය කිරීම, සා.පෙ. විභාගය සඳහා දින නියම කළ නොහැකිවීම නැවත එවැනිම අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.
රටේ බදු ප්‍රතිත්තියට විරෝධය පළ කිරීමට විශ්වවිද්‍යා ආචාර්යවරුන්ට අයිතියක් ඇතත්, තමන්ගේ වෘත්තීය මත පදනම්ව සුවිශේෂ බදු සහන ලබා ගැනීමට රටේ ද්විතීය අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට හැකියාවක් නැත. අනෙක් අතට, රජය මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් මේ දක්වාම සිදු කිරීමට අපොහොසත්වී ඇත. පාසල් අධ්‍යාපන පද්ධතිය තුල 9000 කට වැඩි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර සමහර පාසල් ගුරුවරුන් නොමැතිකම නිසා සම්පූර්ණයෙන්ම වැසී යන තත්වයකට පත්වෙමින් ඇත.
රජයේ පාසල්, විභාගය හා විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින මෙම අර්බුදය රටේ ද්විතීයික අධ්‍යාපනය මුළුමනින්ම අවුල් කිරීමටත්, අත මිට ඇති පිරිස පුද්ගලික විශ්වවිද්‍යාල වෙතයොමු කිරීමටත් හේතු වී ඇත. රජය, වෘත්තීය සමිති සහ බලපෑම් කණ්ඩායම් මෙම තත්වය වෙනස් කර ලක්ෂ 12 කට වැඩි සා.පෙ., උසස් පෙල හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මැදිහත්විය යුතුව ඇත.
අධික උෂ්ණත්වයෙන් බේරෙන්න : මේ උපදෙස් පිළිපදින්න !
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.
අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.
- පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
- පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
- පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
- හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
- එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
- වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම
මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.
මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරමු
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
රිලා ප්රශ්නය ඇමති අලුත් කරයි !
චීනයට ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ ලැබුණහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එසේම චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙසේද පවසා තිබේ.
"එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන බවකුත් පෙනෙනවා. අපේ රටේ රිළවු ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීම ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මෙම කටයුතු පිළිබඳව පවතින නීත්‍යානුකූලභාවය ගැනත් අපි සලකාබැලිය යුතුයි.
"ඒ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අංශවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනවා. එම කමිටුව පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මතයි. මේ සඳහා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. චීනයට රිළවුන් ලබාදීම සිදුකරන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන කමිටුවේ නිර්දේශය මත පමණයි."
"යම් හෙයකින් කමිටුව තීන්දු කළහොත් චීනයට අපේ රිළවුන් දීමට හැකියාවක් නැති බවට මෙම කාරණය එතැනින් අවසන් වෙනවා. ඒ නිසා බොරුවට කලබලවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් වගා හානි සම්බන්ධව රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයත් සුළුපටු නැහැ. 2022 වසරේ පළමු මාස හය තුළ මේ රටේ පොල් ගෙඩි මිලියන 93ක් රිළවුන් හා දඬුලේනුන් විසින් විසින් විනාශ කර තිබෙනවා."
"2022 වසර අවසන් වනවිට එම ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200 ඉක්මවා තිබෙනවා. රිළවුන් නිසා වගාවන්ට සිදුවන හානි ගැන ගොවි ජනතාව වෙතින් අසා දැනගත හැකියි. ඒ නිසා මෙම ගැටලුව කාලයක් තිස්සේ පවතින කිසිදු විසඳුමක් නැතිව පවතින ප්‍රශ්නයක්. රිළවු චීනෙට ලබාදීමට විරුද්ධව අදහස් දක්වන අය ඒ සඳහා විකල්ප විසඳුම් ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ නිසා මෙම ගැටලුව පිළිබඳව විවෘත මනසකින් යුක්තව කතාකළ යුතු මාතෘකාවක් බවට පත්ව තිබෙනවා
ඒ පාර ආයෙත් ජාතික ආණ්ඩුවක් : මනෝ දේශපාලනය රත්කරයි !
ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් සිදුකිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මේ වන විටත් තමා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවත් මීට පෙර මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සජබ අතර දේශපාලන සන්ධානයක් ඇතිකර ගැනීම සම්බන්ධව තමන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මැදිහත්ව සිටියත් ඊට සජබ නායකත්වය වෙතින් ලැබුණු සෘණාත්මක ප්‍රතිචාරය හේතුවෙන් එය අත්හැර දැමුණු බවය.
එම සාකච්ඡාවලදී අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පිරිනැමීමේ සූදානමක් ගැනත් මාධ්‍ය වාර්තා පළවුවත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කර නිවේදනයක්ද නිකුත්කර තිබිණ.
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ IMF ගිවිසුම ඇතුළු ආර්ථික අර්බුදයෙන් රට ගොඩනගන වැඩපිළිවෙල සඳහා සහය ලබාදීමට එකඟ නමුත් විපක්ෂ නායක සජිත් ප්රමුඛ කිහිපදෙනෙකුගේ බලපෑම මත ඒ සඳහා ඉදිරිපත්වීමට පසුබටව සිටින මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්කර ගැනීම වෙනුවෙන් යළිත් වරක් ජනාධිපතිවරයා වෙතින් මෙවැනි ජාතික ආණ්ඩු යෝජනාවක් ඉදිරිපත් වනු ඇති බවය.
එසේම මේ වන විට රටේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ජනතාව අතර අප්රකාශිත ප්‍රසාදයක් පැහැදිළිව නිරීක්ෂණය වන බවත් මේ ආකාරයට ඉදිරි කාලය තුළද සාර්ථක ලෙස ආර්ථිකය හසුරවන අතර ජනතා පීඩනය අවම කිරීමට කටයුතු යෙදුණහොත් රටේ පැහැදිළි ස්ථානයක් ජනාධිපතිවරයා වෙත ලැබීම වළක්වාලිය නොහැකි වනු ඇති බවත් විචාරක මතය වී තිබේ.
මේක සමරන්නම ඕන අලුත් අවුරුද්දක් !
අතීතය වරෙක සියලු ආශීර්වාදයන්ගෙන් බුහුමන් ලබන්නේය. තවත් වරෙක සාපයෙන් ගැරහුම් ලබන්නේය. ඇතැමුන් අතීතය අමතක කිරීමට කැමැති අතර ඇතැමුන් අතීතයේ ළගින්නට ප්‍රිය කරන්නේය. ඇතමුන් අතීතයට පෙම් බඳින අතර ඇතමුන් අතීතයට වෛර කරන්නේය . මේ කොහොම මොනවා කළත් සජීවී මනුස්ස ප්‍රාණයකට අතීතයෙන් ගැලවීමක් නැත්තේමය. අතීතය සමඟ වන ගනුදෙනුව හරියට බේරගන්න අවශ්‍ය වන්නේ ද අන්න ඒ නිසාය. එසේ නම්, කළ යුතුව ඇත්තේ අතීතය උගත් පාඩම් ඇසුරෙන් වර්තමානය සකස් කර ගැනීම සහ ඒ අනුව අනාගතය ගොඩනැඟීම ය.
එය මොනවට පසක් කර සිටියේ උදාවූ 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්දය. අපේ රටේ ජනතාවට සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඇති හැකි අයත් නැති බැරි අයත් වෙනසක් නොමැතිව සමරන සංස්කෘතික අංගයක්ය. උපයාගත් දේ බෙදාහදාගෙන කා බී ප්‍රීතිවන උත්සවයක්ය. ආසියානු වැඩවසම් සංස්කෘතික දේහය තුළ ලෝකෝත්තර ජීවිතය සංස්කෘතිය ලෙස කාවද්දාගත් ශ්‍රී ලාංකිකයාට ලෞකික සුව - රස අත්විඳින්නට ඇති එකම සංස්කෘතික අංගය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්වුවාට වැරදි නැත. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ අලුත් අවුරුද්ද සිංහල - දෙමළ ජාතිකත්ව දෙක විසින්ම සමරනු ලබන පොදු සංස්කෘතික උත්සවයක් වීමය.
පසුබිම එසේ වුවත් 2023 සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව තවත් එක් අලුත් අවුරුද්දක් වුණේ නැත. එය හැම අතින්ම විශේෂ විය. එක් අතකින් 2020 සහ 2021 අලුත් අවුරුද්ද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ජනතාවට එම වසරවල හිතේ හැටියට අවුරුදු සමරන්න ලැබුණේ නැත. 2022 වසරේ අවුරුදු සැමරීමක් තබා හිතන්නවත් දෙයක් තිබුණේ නැත. මිනිසුන් හිටියේ ගෑස්, ඉන්ධන කිරිපිටි පෝලිම්වලය. භාණ්ඩ හා සේවා සියල්ලෙහි මිල අහස උසට ගොස් තිබිණ. වැඩි මිලක් යටතේ හෝ මිලදී ගන්න භාණ්ඩ වෙළඳපොළ තුළ තිබුණේ නැත. ඖෂධ හිඟය ද ඊට දෙවැනි නොවීය. හෙටක් ගැන අදහසක් තබා ඊළඟ වේල පිරිමහ ගැනීම යන්නත් තිබුණේ දැඩි අභියෝගයක් ලෙසය. බැලූ බැලු සැම අතම කියාපෑවේ තුන් බිය පැමිණි විශාලා මහනුවර නූතන පිටපතක සලකුණුය. ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, කර්මාන්ත වැසීයාම, විරැකියාව ඇතුළු දහසක් ආර්ථික සමාජ ප්‍රශ්නවලින් පිරි පීඩිත ජනතාව සිටියේ පැවති පාලනයට එරෙහිව වීදි සටනකය. වෙනදා මතවාදී වශයෙන් සමාජය වෙනස් කළ මෙරට මධ්‍යම පන්තිය, මතය හැදීමට එහා ගොස් පළමු වරට අරගල බිමට පැමිණියේය. ඒ අතර තුර ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය බහුල වූයේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ රට හැර ලෝකයේ ඕන රටකට යන්න හිත හදාගෙන තිබූ නිසාය.
ගොඩ එන දවස
2022 අප්‍රේල් 09 වනදා එවකට පාලකයා එළවා දැමීමට ඔහු විසින්ම විරෝධතා සඳහා නම් කළ ස්ථානය මූලික කරගෙන " ගෝඨාගෝගම "අරගල මූල කඳවුරක් පිහිටවනු ලැබූ අතර, පැවති පාලනයේ අසමත් බව නිල වශයෙන් තහවුරු කරමින් 2022 පරණ අවුරුද්දට පෙරදා එනම්, අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව හෙවත් රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරනු ලැබිණ. 2022 අලුත් අවුරුද්ද උදා වූයේ එහෙම පසුබිමකය. එදා ආර්ථිකය සම්බන්ධව වඩාත් උනන්දු ගෝලීය ආයතන මෙරට හඳුන්වනු ලැබුවේ "ගොඩ එන දවස ගැන පුරෝකථනයක් තබා එවැන්නක් ගැන හිතන්නවත් බැරි අවාසනාවන්ත කුඩා දිවයින් රාජ්‍යයක්" ලෙසය.
2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුවිශේෂී වූයේ දින 365ක් ඉක්ම යන්නට පෙර, එනම් ඊළඟ සූර්ය සංක්‍රාන්තියට පෙර 2022 පැවති තත්ත්වය මුළුමනින්ම වෙනස් කරන්නට හැකිවූ නිසාය. පළමුව ඉන්ධන, ගෑස් , ඇතුළු සියලු ආකාරයේ පෝලිම් අවසන් කෙරිණ. අත්‍යවශ්‍ය භාණ්ඩ ක්‍රමයෙන් වෙළඳපොළට යොමු කෙරුණු අතර, උද්ධමනය ද ක්‍රමයෙන් පහළට පැමිණෙන තත්ත්වයක් ඇති කෙරිණ. අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කෙරිණ. රාජ්‍ය ආයතන, පාසල් , පෞද්ගලික ආයතන, ප්‍රවාහනය ඇතුළු අක්‍රීයව පැවති සියලු යාන්ත්‍රණ සක්‍රීය කෙරිණ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් අතර ඊට සමගාමීව IMF මූල්‍ය සහය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ද කඩිනම් කෙරිණ.
එහි තීරණාත්මක සලකුණක් වූයේ IMF මූල්‍ය සහය වශයෙන් ඩොලර් බිලියන 2.9ක් සමඟ වැඩසටහනට ඇතුල්වීමට අවස්ථාව උදා කර ගැනීමය. මේ ගිවිසුම්ගත වීමේ ඇති සුවිශේෂීම වටිනාකම වන්නේ , 2022 අප්‍රේල් මාසයේදී ණය ගෙවීමට නොහැකි රටක් බවට පත්ව, එනිසාම ණයක් ලැබීමට නුසුදුසු රටක් බවට පත්වීමෙන් ගැලවීමක් ලැබීමය. ඒ හරහා ඉදිරි වර්ෂවලටදී බහු පාර්ශ්වීය සහ ද්වී පාර්ශ්වීය මෙන්ම විවෘත වෙළඳපොළ ප්‍රභවයන් වෙතින් ණය ලැබීමට සුදුසුකම ලැබීමය. එසේම 2019 දී නිකුත් කිරීම් අත්හිටවනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා විවෘත වෙළඳපොළ තුළින්ද ණය ලබා ගැනීමටද අවස්ථාව හිමිවීමය. ඒ අර්ථයෙන් 2023 අලුත් අවුරුදු උදාව වන විට ශ්‍රී ලංකාව " බංකොලොත්" ලේබලය ගැලවුණු, ණය ලැබීමට සුදුසු මෙන්ම ගෙවීමට හැකියාවක් ඇති රටක් ලෙස දෙපයින් සිටුවා තිබිණ.
ආශ්චර්යයේ නිර්මාපකයා
වොෂින්ටනයේ මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලදී ශ්‍රී ලංකාවේ සිදු වූ මේ අදහාගත නොහැකි ශීඝ්‍රගාමී වෙනස රාජ්‍යතාන්ත්‍රික බුහුමනට පාත්‍රවුයේ "ඓශ්චර්යයක්" ලෙසය. ඒ ඓශ්චර්යයේ නිර්මාපකයා වෙනත් කවුරුත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු පසුගිය වසරේ භාරගත්තේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් පරිපීඩිතවූ, ඊට එරෙහි ජනතා නැඟීසිටීම හමුවේ අරාජිකව දිග්ගැස්සෙන ප්රචණ්ඩත්වයක් දක්වා ඇදෙමින් තිබූ, කිසිදු සම්ප්‍රදායික දේශපාලන නායකත්වයක් භාර නොගත්, පියෙක් නොමැතිව නිරුවතින් දුවන අවජාතක ළමිස්සියක් බඳු රටක් කීවාට වැරදි නැත. පළමුව නීතිය සහ සාමය ස්ථාවර කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරුව සිය සැලැස්ම ක්‍රියාවට නැංවීය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් වූයේ මේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටුණු රට ගොඩනඟන කර්තව්‍යයේ මල් වට්ටියට අත ගහන්න පැමිණෙන ලෙස කොතෙක් වාරයක් ආරාධනා කළ ද විපක්ෂය ඊට එක් නොවූ බවය. එපමණක් නොව රට ගොඩනඟන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ අඩාළ කිරීම සඳහා ඇදිය හැකි හැම අංචියක්මත් ඇද්ද බවය.
විපක්ෂයේ ඒ කිසිදු නාඩගමක් සාර්ථක නොවුණේ, අනෙකාගේ අධෝවාතයටත් පාරට බහින අතීසාරය වැලඳුණු කෑ කෝ පප්පන්ගේ සහ ජනතාවගේ නිහඬ බහුතරයේ වෙනස නිසාය. සැබවින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක වූයේ සහ හුදකළා මිනිසෙකුට, සිය ඓතිහාසික දේශපාලන පසමිතුරු කඳවුරේ සහයෙන් සාර්ථක ලෙස ආණ්ඩුව මෙහෙයවමින් මෙතෙක් මේ ගමන එන්නට හැකි වූයේ රටේ නිහඬ බහුතරය රනිල් ගැන තැබූ විශ්වාසය ජනාධිපති රනිල් අකුරටම ඉටු කළ නිසාය. මෙරට නිහඬ බහුතරය තමන් සම්බන්ධව තැබූ විශ්වාසය නිවැරදි බව ගතවන දිනක් පාසා ඔප්පු කරමින් සිටින නිසාය.
අලුත් අවුරුද්ද එළඹෙන්න පෙර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්ද ජනාධිපති රනිල් කිව්වේ, තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බවය. අනතුරුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්යයනාංශයන්හි ආචාර්යවරුන් දැනුම්වත් කිරීමේ අවස්ථාව අමතමින්ද ජනාධිපතිවරයා කිව්වේ, 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවය.
විශ්වාසයේ සහතිකය
ජනාධිපති රනිල් මේ සහතිකය දෙන්නේ ද , මෙතෙක් ඔහුව විශ්වාස කළ මෙරට සැබෑ බලවේගය වන නිහඬ බහුතරය වෙතය. නිහඬ බහුතරයට ද රනිල් විශ්වාසය. ඒ නිසා මුදලට මීඩියා වොයිස්කට් දෙන කිහිප දෙනෙකු හැරෙන්න, 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද කවුරු කවුරුත් ඇති හැකි ලෙස සැමරූ බව අතිශයෝක්තියක් නොවේය. ඔවුන් සමරුවේ අලුත් අවුරුද්දම පමණක් නොව, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ඇති හැකියාව ගැන දින 365 කට අඩු කාලයක් තුළ ජනාධිපතිවරයා ලබා දුන් විශ්වාසයේ සහතිකය ද ඒ සැමරුම තුළ වූ බවත් අතිශයෝක්තියක් නොවේය. අතිශයෝක්තියක් වන්නේ පසුගිය වසරවල මෙරට ජනතාවට අත්විඳීමට සිදු වූ පීඩාව පිළිබඳ සළකා බලන විට මේ වන විට ජනාධිපති රනිල් සියල්ල අංග සම්පූර්ණ කර ඇතැයි පැවසූවා නම්ය. සැබවින්ම මෙවර ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරූ ආකාරය කියා පාන්නේ රටේ ආර්ථිකයේ දැවැන්ත වෙනසක් සඳහා වන ආරම්භයකට ඉඩ සලසා ඇතැයි යන්නට සහතිකයක් සමස්ත ජනතාවට ලැබී ඇති බවය. ඒ සහතිකය ඔවුන් විශ්වාස කරන බවය. විශේෂයෙන් නිහඬ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ විශ්වාස කරනවා පමණක් නොව ඊට සක්‍රීය සහයක් ලබාදීමට අවශ්‍ය ඕනෑම වෙලාවක භෞතිකව මැදිහත්වීමට වුවත් සූදානමකින් පසුවන බවය.
විපක්ෂයට ඇති ප්‍රධානම අභියෝගය ද ඒකය. නමුත්, ඔවුන් ඒ ගැන නිවැරදි තක්සේරුවක් කර ඇත්දැයි සැක සහිතය. ඒ බව තහවුරු කරමින් පසුගිය දිනක ජවිපෙ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ කියා තිබුණේ, ජනතාවගේ මේසය මත තිබිය යුතු අවුරුදු කෑම ටික රනිල් රාජපක්ෂලාගේ මේස මත ඇති බවය. එසේම ජනතාවගේ අවුරුදු මේසයට ආහාර ටික සොයාගෙන ඇත්තේ පරණ බඩු විකුණා බවත්, ඒ තරමට ආණ්ඩුව ජනතාව පාවා දුන් බවත් ඔහු පවසා තිබිණ. වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත කියා තිබුණේ, මිනිස්සුන්ගේ බඩගින්න වත් නොදැනෙන අන්දමට ආණ්ඩුව අද කටයුතු කරමින් සිටින බවය. එනිසා අවුරුදුවලින් පසු ජනතාවගේ නිදහස් අරගලයක් සහිත සටනක් ආරම්භ කළ යුතු බවත් ඊට ජනතාව එක්වනු ඇතැයි විශ්වාස කරන බවත්ය.
අවුරුදු කෑම මේසය
ජවිපෙ හිටපු මන්ත්‍රී වසන්ත එසේ සඳහන් කරන විට තවත් ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු සමාජ මාධ්‍ය තුළ වෛරල් වී සිටියේ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේ ඡායාරූප පෙළක් සමඟය.
ඒ හිටපු ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සය. ඡායාරූපවල දැක්වූයේ, ඔහු පවුලේ උදවිය සමඟ අලුත් අවුරුද්දට ආහාර අනුභව කර, වැඩ ඇල්ලූ ආකාරය ය. රාජසිංහ රජ්ජුරුවන්ගේ කෑම මේසය මෙන් නොවුණත් නලින්දගෙ අවුරුදු කෑම මේසයේ අඩුවක් තිබුණේ නැත.
ඒ අනුව නම් නැඟිය හැකි සාධාරණ ප්‍රශ්න කිහිපයක් ඇත. ඒ, "වසන්ත කියන විදිහට 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජනතාව හිටියේ හාමතේ නම් යන්තම් කන්න ටික හොයාගත්තේ පරණ බඩු විකුණලා නම්, ජවිපෙ නලින්ද අඩුවක් නැතුව අවුරුදු සැමරුවේ මොන හිතකින්ද ?", "සාතිශය බහුතරයක් ජනතාව හාමතේ සිටියදී නලින්ද අඩුවක් නැති අවුරුදු කෑම මේසයක් අවුරුදු සැමරීමේ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක්කළේ ඇයි ?", " වසන්තට ඇති පන්ති කැක්කුම නලින්දට නැද්ද ? නලින්ද වසන්තට වඩා සුළු ධනේශ්වර ද ?", " නලින්ද වගේම වසන්තත් අඩුවක් නැතුව, නැත්නම් නලින්දටත් වඩා ජයට අවුරුද්ද සැමරූ වසන්ත මාධ්‍ය ඉස්සරහා බොරු ෂෝ දාගෙන මර්සි ටෝක් දෙනවාද ?" මේ ආකාරයට ප්‍රශ්නාවලියක් "වසන්ත - නලින්ද" අලුත් අවුරුදු වැඩ ඇල්ලීම හරහා ඉස්මතු කළ හැකිය.
මේ ප්‍රශ්නවලට මොන පිළිතුරු දුන්නත්, මේ ඊනියා වම්මුන්ගේ, ආණ්ඩු විරෝධීන්ගේ දෙබිඩි බව අනාවරණය වීම වැළැක්වීමට නම් කොහෙත්ම හැකියාවක් නැත. එසේම ජවිපෙ වසන්තට සාපේක්ෂව ජවිපෙ නලින්ද කියන්නේ අවංකයෙකු බවත් සඳහන් කළ යුතුය. මන්ද නලින්ද අවුරුද්ද සමරුවේ සහ ඒ ගැන ප්‍රසිද්ධියේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමුකළේ මේ රටේ අද ප්‍රසිද්ධියේ "සැමරිය හැකි " තත්ත්වයක් බිහිකර ඇති බව නලින්දගේ අවිඥානය පිළිගෙන ඇති නිසාය. එය ප්‍රසිද්ධියේ කියා ජනාධිපතිට ස්තූති නොකරන්නේ නලින්ද ජවිපෙ වීම නිසාය.
ඒ කෙසේ වුවත් නලින්ද මෙහෙම ප්‍රසිද්ධියේ අවුරුද්ද සමරන විට සහ හොරෙන් අවුරුදු සැමරූ වසන්ත එළිපිට බොරු ෂෝ දාන විට ජනාධිපති රනිල් හිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගීවය.
භාර ගත් වගකීම
රාජකීය අවුරුදු මේසය මාධ්‍ය හරහා රටටම පෙන්වනවා භාර ගත් වගකීම අකුරට ඉටුකරන රාජ්‍ය නායකයකුගේ හැසිරීම එහෙමය. සජිත්ලා , වසන්තලා නොදන්නා පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ අන්න ඒ හැසිරීමටය. මේ රටේ නිහඬ බහුතරය මෙතෙක් සේව්වේද ? අර්බුදය සහ අරගලය මැදින් ඔවුන්ට හමුවුනේද අන්න එහෙම නායකයෙක්ය. අතීත පාඩම් ඇසුරෙන් වර්තමානය සකස් කරන මේ නායකයා සමඟ අනාගතය ගොඩනැඟීමේ ගමන කොන්දේසි විරහිතව යාම නිහඬ බහුතරයේ තීරණය වී ඇත. පසුගිය වසරේ දේශපාලනඥයන්ට තහනම් බිමක් වූ අරගලය පැවති ගෝල්ෆේස් බිමේ ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් "වසත් සිරිය 2023" නමින් සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසාය. අප්‍රේල් 22 වනදා එය පැවැත්වෙන අතර 2023 අලුත් අවුරුද්ද සමරන්නම ඕන අවුරුද්දක් වෙන්න තවත් හේතු මොකටද ?
එස්. එම්.ලියනගේ
දිනමිණ - 2023-04-17
රාජිතට දෙනවා නම් රෝහිතටත් ඉල්ලයි !
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්නට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.
"රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක් දෙන්න එපා" යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.
රෝහිත අබේගුණවර්ධන පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්නට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයිද ඔහු එහිදී සඳහන් කර තිබේ.
රාජිත සේනාරත්න නව අමාත්‍ය ධුරයක් ළඟදීම බාරගැනීමට සූදානමින් සිටින බව පසුගිය සති කිහිපය පුරාම විවිධ මාධ්‍ය වාර්තා පළවිය. මේ අතර ඇමැති ධූර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක්ද කලකට පෙර ජනාධිපතිවරයාට බාරදී තිබුණේය. එම ලැයිස්තුවටද රෝහිත අබේගුණවර්ධන ඇතුළත් ව සිටියේ ය.
බංගලාදේශ ණය ගෙවන්න තවත් මාස 06ක කාලයක් !
බංග්ලාදේශය විසින් 2021 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක කාලයක් ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව,ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුව තිබේ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කාලය ඉල්ලා සිටි බවත්, ඒ වන විට එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව 2021 මැයි මාසයේදී මෙම ණය ලබා ගත්තේය.
ඉහළ දැමුණු ඉන්ධන කෝටාව ගැන තීන්දුවක් !
උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමුණු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි.
පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගැනුණු අතර එහිදී තීන්දු කර තිබුණේ හෙට (18) සිට පෙර පැවැති ආකාරයටම ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමටය.
පසුගිය 4 වෙනිදා සිදුකළ ඉන්ධන කොටාවේ ඉහළ දැමීමට අනුව ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවිණ.
එසේම බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා ඉහළ දැමුණි.
ඉහළ දැමු කෝටා අගයන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේ ද නැතහොත් පෙර පැවැති අගයන් යළි ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Page 177 of 440