පුවත්
ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ලංකාව ගැළවෙයි !
ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.
වාර්තා වන ආකාරයට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ය ඇතුළත් ලැයිස්තුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.
උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසුවු නමුත්
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.
ආහාර උද්ධමනය 261%ක් වන ලෙබනන් රාජ්‍යය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසුවෙන අතර දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ එම ප්‍රතිශතය 137%ක් ලෙස වාර්තා වී තිබේ.
රටේ අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ - ජනපති
රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය.
එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එය සමන්විත බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට අද (25) පෙරවරුවේ එක් වෙමිනි.
“රහල් සියවස් ප්‍රතාප ” උත්සවයට සමගාමීව විද්‍යාභිමානී අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ කලා උළෙල පුරා දින තුනක් විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
විදුහල්පති මේජර් සුදත් සමරවික්‍රම විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර “රහල් සියවස් ප්‍රතාප ” සමරු සංග්‍රහය ද පිළිගැන්විණි.
විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන යොනාල් මෙවිදු සිසුවා විසින් එම අවස්ථාවේදීම සිතුවම් කරන ලද ජනාධිපතිවරයාගේ රුව රැගත් ආලේඛ්‍යය චිත්‍රය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, රට තුළ නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බවත්ය.
ඉදිරියේ දී අධ්‍යාපනය නවීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ වැදගත්ම ජාතික සම්පත තරුණ පරපුර බවත් අනාගත පරපුරට විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
මාතර, රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම වෙනුවෙන් මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රාහුල විද්‍යාලය පිළිබඳව කතා කිරීමේදී එහි ආදි කතුවරුන් පිළිබඳව සිහිපත් කළ යුතුයි. ගෝඩ්න් පියස් මැතිතුමා, එන්.ඩී.ටී. රාජපක්ෂ නොතාරිස් රාළහාමි, සී.ඒ. ඕදිරිස් සිල්වා මැතිතුමා විශේෂයෙන් සිහි කිරීමට අවශ්‍යයි.
ඒ වගේම මාතර ප්‍රධාන පෙළේ පවුල් සියල්ලම වගේ රාහුල විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ආධාර උපකාර කළා. සී.ඒ ඕදිරිස් සිල්වා මැතිතුමා පිළිබඳ සිහි කරන විට එතුමා පමණක් නොවෙයි කන්ද උඩආරච්චිගෙ පවුලේ එතුමාගේ පුත්‍රයත් අප මතක තබාගත යුතුයි.
ආරියතිලක මැතිතුමා, ධර්මපාල මැතිතුමා, හරිස්චන්ද්‍ර මැතිතුමා ඇතුළු සියලුදෙනා ඒ අතර සිටිනවා.
එමෙන්ම මම දේශපාලනයට පිවිසෙන විට ධර්මපාල මැතිතුමා මට විශාල ලෙස උපකාර කළා. මම ජනතාව ආමන්ත්‍රණය කළ පළමු රැස්වීම වුණේ එතුමා විසින් සංවිධානය කළ දෙවුන්දර රැස්වීම. පසුව වරින් වර මට එතුමාව මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකම මේ රාහුල විද්‍යාලය ගැන කතා කළා.
ඒ වගේම 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව එතුමා මගින් මෙම පාසලට උදව් උපකාර ලබා ගත්තා. 1980 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පාසලට පැමිණියේ ධර්මපාල මහතා කළ ඉල්ලීම අනුවයි. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින සමයේත් එතුමා පැමිණ මේ රාහුල විද්‍යාලය පිළිබඳ කතා කරනවා. එතුමා අපේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක් වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙක් නිසා එතුමාගේ ඉල්ලීම් අපි කෙසේ හෝ ඉටු කර දෙනවා. ඒ වගේම මෙම පාසල සඳහා උපකාර කළ තවත් පවුල් ගණනාවක් සිටිනවා. වනිගසේකර පවුල, විජේතුංග පවුල ඒ සියලුදෙනා මම මෙම අවස්ථාවේ දී සිහිපත් කරනවා.
අද මාතර රාහුල විද්‍යාලය ලංකාවේ ප්‍රධාන විද්‍යාලයක්. මේ රටට සේවය කරන බොහෝ දෙනෙක් මේ විද්‍යාලයෙන් බිහි වූ අය බව කිවයුතුයි. මේ සියවස තුළ රාහුල විද්‍යාලය රටට කළ සේවයට මම ස්තූති කරනවා.
මම ජනාධිපතිවරයා ලෙස සෑම විටම විශ්වාස කරන්නේ රටේ තරුණ පරපුරට ලබාදය හැකි හොඳම තිළිණය අධ්‍යාපන කියලයි. විශේෂයෙන්ම 19 වන සහ 20 වන ශතවර්ෂයේ පාසල් ගණනාවක් ආරම්භ කළේ 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීම සඳහායි. ඒ සමඟ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා. මධ්‍ය මහා විද්‍යාල ලබාදුන්නා. මේ සියල්ලන්ගෙන්ම 20 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කෙරුණා.
නමුත් අපි දැන් සිටින්නේ 21 වන ශතවර්ෂයේ. එසේ නම් අපි 21 වන ශතවර්ෂයට ඔබින අධ්‍යාපනයක් රටේ දරු පරපුරට තිළිණ කළ යුතුයි.
මේ විද්‍යාල භූමියේදී මම එක පුතෙකුගෙන් ඇහුවා ඔහුගේ වයස කීයද කියලා. ඔහු මට පිළිතුරු දුන්නා අවුරුදු දහයයි කියලා. එම පුතා තව අවුරුදු හැත්තෑවක් ජීවත් වුණොත් 2090 වන තුරු ජීවත් වෙනවා. ඉතින් මේ කාලයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් අද තිබෙනවද? අපි එම අධ්‍යාපන ක්‍රමය ඇති කළ යුතුයි.
රජය අද කටයුතු කරන්නේ 2048 සහ ඉන් ඉදිරිය ඉලක්ක කර ගනිමින්. ඒ සමඟම 2035 වන විට රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඊළග වසර දෙක තුන තුළදී නව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් අපි මුදල් යෙදවිය යුතුයි. ඉන්පසුව අපට ලැබෙන මුදල්වලින් විශාල කොටසක් අධ්‍යාපන නවීකරණ වැඩසටහන් සඳහා යෙදවීමට අපි අපේක්ෂා කරනවා. එසේ නම් අනාගතයට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් අපි ඇති කළ යුතුයි. මොකද අපේ රටට තිබෙන එකම ජාතින සම්පත මේ තරුණ පිරිසයි. ඔවුනට හොඳ අධ්‍යාපනයක් ලබාදී අනාගතය ගොඩනඟා දිය යුතුයි.
සිංගප්පුරුව කියන්නේ ජල සම්පතවත් නැති රටක්. එහෙත් ඔවුන්ගේ ජාතික සම්පත තරුණ පරපුර ලෙස සලකමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඊශ්‍රාලය කිසිම සම්පතක් නැති රටක්. නමුත් අද හොද අධ්‍යාපනයක් සහ තාක්ෂණයක් ඊශ්‍රාලයේ තිබෙනවා. ඒ වගේම කඳු සහ හිම විතරක් ඇති ස්විස්ටර්ලන්තය මානව සම්පත සංවර්ධනයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ නම් අපිත් මේ සමඟ ඉදිරියට යා යුතුයි.
අද මේ ගුරු මණ්ඩලයෙන් ඇසුවොත් මේ අධ්‍යාපන ක්‍රමය අනුව 2050 වන තෙක්වත් ඉදිරියට යා හැකි ද කියා පිළිතුර “නොහැකි” යන්නයි. එසේ නම් අපි කඩිනමින් අධ්‍යාපන නවීකරණයකට යා යුතුයි.
රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට හෝ බාධා කිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය නම් අපි ඒ සඳහා නීති ගෙන එනවා. මේ රටේ අනාගතය තීරණය කරන්නේ අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළහොත් අපේ රට ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකියි.
ඒ නිසා අධ්‍යාපන අමාත්‍යවරයා සහ මම සාකච්ඡා කර අධ්‍යාපනය පිළිබඳ කැබිනට් කමිටුවක් ඊයේ කැබිනට් මණ්ඩලයේ දී පත්කර ගත්තා. මමත්, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක් එහි සිටිනවා.
අපි අනාගතයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. ජාතික අධ්‍යාපන කොමිෂමෙන් අපිට වාර්තා ලබා දී තිබෙනවා. ඒවායේ හොඳ කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාරක සභා ඇතුළු අංශ ගණනාවකින් අපිට වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් අපේ අරමුණ කරා ගමන් කරන්නේ කෙසේද යන්න අපි සොයා බැලිය යුතුයි.
2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. එම තත්ත්වය අධ්‍යපනයට බලපානවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලුතින් ඇවිත් තිබෙන ChatGPT තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රිය ක්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළයුතුව තිබෙනවා.
අපේ රටේ දරුවෙක් අද වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි. අද ලෝකයේ සාර්ථකම අධ්‍යාපන ක්‍රමය තිබෙන රට අමෙරිකාව. එහි සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග නැහැ. සැට් විභාගයයි, පාසල් වාර්තාවයි තමයි සලකා බලන්නේ. අපිත් එතනට යා යුතුයි. එසේම නව විෂයයන් හඳුන්වා දිය යුතුයි.
ඒ වගේම දේශගුණික විපර්යාස විෂයයක් බවට පත් කරනවා. ඒ වගේම අපි අලුතින් ඉතිහාසය පිළිබඳ ආයතනයක් ආරම්භ කරනවා.
අද රූපවාහිනියෙන් පමණක් නොවෙයි අතේ තිබෙන ජංගම දුරකථනයෙනුත් අධ්‍යාපනය ලබා ගත හැකියි. මේ සියල්ල වෙනස් වෙනවා. සියලු සිසුන් කලා විෂයයක් හැදෑරිය යුතුයි. ඉතිහාසය, භූගෝලය, සාහිත්‍ය දැනගත යුතුයි. ඒ වගේම විද්‍යා විෂයයන් පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි.
ඊළග වසර 10 වන විට සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතුයි. ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනීමේ දී ඉංග්‍රීසි අනිවාර්යය කිරීමට අපි කටයුතු කරනවා. උසස් පෙළ පැවැත්වෙන සියලු පාසල අන්තර්ජාලය සමග එක් කිරීමට දැනට අපි කටයුතු කර තිබෙන අතර පසුව සාමාන්‍ය පෙළ පාසල් දක්වා එය ව්‍යාප්ත කරනවා.
අද මේ පාසලේදි මට දකින්න ලැබුණා හොඳ වඩිඟපුටන නැටුමක්. මම ඒ අයට ප්‍රශංසා කරනවා. මේවා සමග අලුතින් අපි ඉදිරියට යා යුතුයි. ඒ වගේම ෆින්ලන්තයෙන් ලැබුණු වෘත්තීය වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලය යොවුන් සේනාංකය වැනි ආයතන සමග එක්ව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 400ක් විතර රට පුරා ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රධාන ආයතන දෙක ඒකාබද්ධ කර මෙම මධ්‍යස්ථාන වෘත්තීය පාසල් බවට පත් කර එම සිසුන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජයේ විශ්වවිද්‍යාල පමණක් නොවෙයි රජයේ නොවන විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවශ්‍ය අයට පළමු වසරදෙක තුනේදී පොලී රහිතව සහනදායි කොන්දේසි මත ණය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එවගේම රට ඉදිරියට ගෙන යාමේ දී ඉංජිනේරුවන් සංඛ්‍යාව ඉහළ නංවා ගත යුතුයි. අද වාර්ෂික පිට වන්නේ ඉංජිනේරුවන් 2500ක් පමණයි. අපේ ඉලක්කය පළමු අදියරේදී එය 10,000ක් බවට පත් කර ගැනීමයි. අද වෛද්‍යවරුන් පිට වන්නේ 1500යි. එය 5,000ක් බවට පත් කළයුතුයි. ඒ නිසා තරුණ තරුණියන්ට රුකියාවක නිරත වන අතරම උසස් අධ්‍යාපනයේ නිරත විය හැකි අන්දමින් නව විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි.
ආසියානු සංවර්ධන බැංකුව , ලෝක බැංකුව ඇතුළු ආයතනවලින් මෙම කටයුතු සඳහා සහාය ලබා ගනිමින් නව ක්‍රමවේදයක් ඇති කිරීම සදහා අපි සැලසුම් කර තිබෙනවා. ඒ ක්‍රමවේදය සමග රට දියුණු වෙනවා වගේම අනාගතයට මුහුණ දිය හැකි ශක්තිමත් අධ්‍යාපනයක් ගොඩනැගීමට හැකි වෙනවා. 2048 නිදහසේ සියවස වන විට දියුණු රටක් බවට පත්වීමට නම් මෙම නව වැඩසටහන් අවශ්‍යයි. ඒ නිසා එම කටයුතු මෙම කැබිනට් කමිටුව හරහා හඳුන්වාදෙමින් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර ඉදිරියට ක්‍රියාත්මක කරමු.
අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, තැපල්පති රුවන් සරත්කුමාර යන මහත්වරුන් ද මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .
IMF විවාදය ගැන ජනපතිගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට දැනුම්දීමක් !
අයි.එම්.එෆ් විවාදය පවතින කාලසීමාව තුළ අඛණ්ඩව පාර්ලිමේන්තු පැමිණ ඊට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම ලබාදීමට අදාළ ගිවිසුමට සහය පළකිරීම, එය ක්‍රියාත්මක කිරීමට රේඛීය අමාත්‍යංශය වෙත අනුමැතිය ලබාදීම පිළිබඳ යෝජනාව අප්‍රේල් (26) වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අප්‍රේල් (27) සහ ලබන (28 ) වැනිදා එය විවාදයට ගැනීමට නියමිතය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ IMF විවාදය අවසානයේ විපක්ෂය ජන්දයක් ඉල්ලීමට ඉඩ ඇති බවය.
තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් කෝටි 30ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරේ.
බදු ආදායම් ඩබල් වෙලා !
මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඉකුත් 2022 වසරේ පළමු කාර්තුවේදී රැස්කර ඇත්තේ රුපියල් කෝටි 14656ක බදු මුදලක් පමණකැයිද එම දෙපාර්තුමේන්තුව කියයි.
රජයේ බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනේ කාර්යකෂමතාවය හේතුවෙන් එම බදු මුදල රැස්කර ගත් බවද දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත.
මෙරට බලශක්ති ආරක්ෂණයට UNDP හා ජපන් සහාය !
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා මෙම නව ජීවනෝපාය ව්‍යාපෘති අද (24) අරලියගහ මන්දිරයේ දී දියත් කෙරුණු අතර එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජපාන තානාපති මිසුකොෂී හිදෙකි සහ UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාන්තාවන් හා තරුණ තරුණියන් 58000 කට මෙම ව්‍යාපෘති වලින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇත. එයට අමතරව උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සාමාජිකයින් 132000 කට වැඩි පිරිසකට මෙමගින් වක්‍ර බලපෑමක් සිදුවේ.
පවතින සමාජ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට බරපතල බලපෑම් ඇති කර තිබේ. ඉහළ යන බලශක්ති පිරිවැය සහ වර්ධනය වන දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ජපාන රජය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා වියළි කලාපීය දිස්ත්‍රික්ක වල එනම් උතුරු මැද, වයඹ, සහ නැගෙනහිර පළාත් දිස්ත්‍රික්ක වල අවදානමට ලක්විය හැකි කුඩා පරිමාණ ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1175 ලබාදෙනු ඇත.
කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සහ හරිත කෘෂිකාර්මික තාක්ෂණයන් අනුගමනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කරනු ලැබේ.
ජපන් පරිපූරක අයවැය මගින් මේ සඳහා අරමුදල් සපයනු ලබන අතර ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමග එක්ව ක්‍රියා කරමින් ව්‍යාපෘති දෙකක් හරහා එහි අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම කරගැනීම මෙම මැදිහත් වීමේ අරමුණ වේ.
අවදානමට ලක්ව ඇති කුඩා වතු හිමියන්ගේ පවුල් නගා සිටුවීම සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හරහා ජපන් රජය විසින් කුඩා වතු ආශ්‍රිත ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා නව ජීවනෝපාය ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වියළි කලාපයේ ජනගහනයෙන් විශාල කොටසකට මෙම ව්‍යාපෘති ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.
සමාජ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබාදෙන සහයෝගය ශ්‍රී ලංකා රජය ඇගයීමකට ලක් වන අතර රටේ ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය වන ආහාර හා බලශක්තිය සුරක්ෂිතතාවය සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂී හිදේකී මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික හා සමාජයීය සමාජ සවිබල ගැන්වීම සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටීන අතර සාමය හා සුරක්ෂීතතාව සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ වැඩ සටහන ද එයට ඇතුළත් වන බවයි.
මෙම නව ව්‍යාපෘති මගින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ප්‍රායෝගික ක්‍රම සම්පාදනය කරනු ඇත. විශේෂයෙන්ම ගැටුම් වලින් පීඩාවට පත්වන කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල්වල විශේෂ අවශ්‍යතා අපි හඳුනාගනිමු. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රවීණත්වය සහ ජීවනෝපායන් අවදානමට ලක්විය හැකි තාක්ෂණික සහය සමඟ ධනාත්මක සහජීවනයක් ඇති කර ගැනීම සඳහා කදිම අවස්ථාවක් බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂී හිදේකී, ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා, ශ්‍රී ලංකාවේ ජයිකා හී ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා , අමාත්‍ය මහින්ද අමරවීර, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සංවර්ධන හවුල්කරුවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට අතුරු නියෝගයක්
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (24) නිකුත් කර තිබේ.
ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්ය.
එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක් ද නිකුත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපතිවරයාට මැයි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබ ඇත.
පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බව සඳහන් කර ඇත.
යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව එහිදී පෙන්වා දී ඇත.
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් උසස් වීම් පිරිනැමීමට නියමිත අවස්ථාවක හදිසියේ තම සේවාදායකයා සැකකරු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කිරීම විමතිය දනවන කරුණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවටත් චෝදනා කර සිටියේය.
ඒ තුළින් තම සේවාදායකයාට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
හිටපු නීතිපති දප්පුලට අතුරු තහනම් නියෝගයක්
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 03 කදී පැමිණිනෙන්නැයි ඒ මහතාට දැනුම් දී තිබිණ.
ඊට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර යන අය පෙනී සිටියහ.
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රමය.......
පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛන අනුව පවතින පුරප්පාඩුවලට සිසුන් තෝරා ගැනීම සඳහා පාසල් මගින් අවශ්‍ය පියවර ගනු ඇත. එබැවින් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මින් ඉදිරියට ලිපි නිකුත් කරනු නොලැබේ.
ඉක්මන් ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් : විශේෂ මෙහෙයුම් කමිටුවක් !
හැකි ඉක්මණින් ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික දේශපාලන මෙහෙයුම් සඳහා මැතිසබයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කෙරෙන බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
මෙම විශේෂ මෙහෙයුම් කමිටුවට රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමඟ රජයට එක්වීමට නියමිත විපක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනකුද ඇතුළත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
විපක්ෂයේ පක්ෂවලින් මේ කමිටුව සඳහා එක්ව සිටින මන්ත්‍රීන් හරහා අදාළ පක්ෂවල නායකයන්ට ජාතික ආණ්ඩුව පිළිබඳව ආරාධනා කෙරෙයි.
එකී පක්ෂ නායකයන් ජාතික ආණ්ඩු ආරාධනය ප්‍රතික්ෂේප කළහොත් එම පක්ෂ නියෝජනය කරන ජාතික ආණ්ඩුවට එක්වීමට කැමැති මන්ත්‍රීන් සහභාගි කරගෙන ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.
මේ ගැන කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් එමගින් දැන් තිබෙන ආණ්ඩුව සිදුකරන කටයුතුවලට වඩා යමක් සිදුවිය යුතු බවය.
එසේම එම ආණ්ඩුවේ සංයුතිය ගැනද තම පක්ෂයේ දැඩි අවධානය යොමුකරන බව හෙතෙම පැවසීය.
පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් සඳහා සහාය දීම හෝ නොදීම පක්ෂයේ තීරණය අනුව සිදුකරන බවය.
සමගි ජනබලවේගය ජාතික ආණ්ඩුව ගැන දරන මතය එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ තම පක්ෂයට ජාතික ආණ්ඩුවක් සම්බන්ධව නිල වශයෙන් කිසිදු ආරාධනයක් ලැබී නැති බවය.
කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු සොයාබැලීමේදී අනාවරණය වූයේ ජාතික ආණ්ඩුව සඳහා පක්ෂ නායකයන්ගේ එකඟතාවයන්ගෙන් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමඟ එකඟ වී ඇති බවයි.
එහෙත් අමාත්‍යධුර බෙදාදීමේදී පොහොට්ටුවේ යෝජනාවන්ට එකඟ නොවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් සිටින බවද සඳහන් වේ.
- Deshaya
යල කන්නයට වී ගොවීන්ට පොහොර ගන්න බිලියන 11 ක් !
යල කන්නය සඳහා වී ගොවීන් හට අවශ්‍ය පොහොර තොග මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය සහනාධාර ලබාදීම සඳහා රජයෙන් රුපියල් බිලියන 11 ක් වෙන් කර ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව ගොවීන් 550,000 කට මෙම මූල්‍ය සහනාධාරය ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංහය සඳහන් කරයි.
යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර මේනවිටත් නොමිලේ ලබාදී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි .
ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ නාවුක සහ ගුවන් කේන්ද්‍රය කරන සැලසුම් සූදානම් !
ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 21 වැනිදා පැවති “කොළඹ - උතුරු වරාය 30 අවුරුදු සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ජාතික සංවර්ධන සැලැස්මට අනුව නැගෙනහිර බහලුම් පර්යන්තය සහ බටහිර බහලුම් පර්යන්තය යන සංවර්ධනය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2030 වන විට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීම අපේක්ෂාවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
මම ප්‍රථමයෙන් අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ස්තූතිවන්ත වෙනවා. මෙම අමාත්‍යාංශය වර්තමානයේ හඳුන්වන්නේ නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ලෙසයි. ඇතැම් අය මගෙන් අහනවා ඇයි අපි මේ අමාත්‍යාංශය දෙකට බෙදලා එකක් නාවුක කටයුතු ලෙස සහ අනෙක ගුවන්සේවා කියලා අමාත්‍යාංශ දෙකක් හදන්නේ නැත්තේ කියලා. මම කිව්වා නැහැ, අපේ අරමුණ ශ්‍රී ලංකාව ගුවන් හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම කියලා. ඉතින් අපි මෙය නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශය ලෙස එක අමාත්‍යංශයක් විදිහට තබා ගන්නවා.
අපි වෙනස් ලෙස සිතිය යුතුයි.
ඉදිරි වසර 25 තුළ අපේ සැලසුම් මොනවාද සහ අපි රටක් ලෙස ඉදිරියට යා යුත්තේ කෙසේද කියා සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාව දියුණු ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේදී සහ එහිදී ඉටු කිරීමට ඇති කාර්යභාරය තක්සේරු කිරීමේදී ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ඉරානයේ, සමස්ත මැක්‍රාන් වෙරළ තීරයේ වර්ධනයන් දෙස අවධානය යොමු කළයුතුයි. අපිට කොළඹ වරාය මෙන්ම සංචාරක ව්‍යාපාරයට පහසුකම් ඇති ගාලු වරාය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරාය තිබෙනවා.
ඉදිරි වසර 25 තුළ බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව පමණක් නොව මියන්මාරය පවා විශාල සංවර්ධනයකට ලක්වනු ඇතැයි යන පදනම මත පිහිටා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු පිළිබඳව අපි ඉන්දියාව සමඟ ද සාකච්ඡා කරනවා.
එබැවින් ත්‍රිකුණාමලය වරාය බෙංගාල බොක්ක කලාපය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ස්ථානයක් බවට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි.
හම්බන්තොට වරාය දැනට ක්‍රියාත්මක වන්නේ එහි සම්පූර්ණ ධාරිතාව මත නොවන අතර, ඉදිරි වසර 10 - 15 තුළ එය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමට නියමිතයි.
ඒ වගේම කටුනායක ගුවන්තොටුපොළ තවදුරටත් සංවර්ධනය කළයුතුයි. එමෙන්ම මත්තල ගුවන් තොටුපළ වානිජමය වශයෙන් ඵලදායි විය යුතුයි. එම ගුවන් තොටුපළ දෙක සමඟින් අපි උතුරු පළාතේ පලාලි ගුවන් තොටුපොළ විවෘත කර, උතුරු මැද පළාතේ ප්‍රධාන අභ්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස හිඟුරක්ගොඩ සංවර්ධනය කළා.
මේ තුළ කොළඹ - උතුරු වරායට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. එම වරායේ ශක්‍යතා පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශකයින් අපට වාර්තාවක් ලබාදී තිබෙනවා. අපි එහිදී එක දෙයක් මතක තබාගත යුතුයි. ඉන්දියාවේ, පකිස්ථානයේ වගේම ඉරානයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ කෙසේද කියා අප හොදින් නිරීක්‍ෂණය කළ යුතුයි. ඒ තුනෙහි සංවර්ධනය මත තමයි කොළඹ - උතුරු වරායේ ධාරිතාව තිරණය වන්නේ. අපිට තිබෙන TUS ගණන, බහාලුම් ප්‍රමාණය, ඒකක ගණන ඒ අනුව තීරණය වෙනවා.
2050 වන විට ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වනු ඇති බව සඳහන් කෙරෙනවා. විශේෂයෙන් ගුජරාට්, මහාරාෂ්ට්‍ර සහ දකුණු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලත්, විශේෂයෙන් තමිල්නාඩුවේ වේගයෙන් කාර්මීකරණය වෙනවා. එබැවින් කාර්මීකරණ නිෂ්පාදනය දැන් ඉන්දියාවේ සිදු වන අතර 2010 වසරේ චීනය අත්කරගත් ප්‍රමිතියට තවම ළගා වී නැහැ. නමුත් ඔවුන් එම ප්‍රගතියට ළගා වනු ඇති අතර යම් අවස්ථාවක දී එය අංකමය නොව ජ්‍යාමිතික ප්‍රගතියක් වනු ඇතියි. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිවන සම්බන්ධය කුමක්ද, පාරු බෝට්ටු වල භූමිකාව මත සම්බන්ධතා ගොඩනගා ගත හැකිද, මේවා අප විසින් විසඳා ගත යුතු ප්‍රශ්න වෙනවා.
මෙම වරාය දෙස අවධානය යොමු කිරීමේ දී මට ප්‍රශ්න දෙකක් මතු වුණා. පළමුව අපි දැඩිව අවධානය යොමු කළ යුතු පාරිසරික ගැටලුව. විශේෂයෙන්ම මසුන් ඇල්ලීමට ඇති බලපෑම. මොකද මෙහි සංවර්ධනය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශයේ ජනතාවගේ සහාය ලබාගත යුතුයි.
දෙවනුව අපි ඉන්දියාව සමඟත් සාකච්ඡා කරනවා. නමුත් එහිදී පෙන්නුම් කරන්නේ සංවර්ධනය වේගවත් වන අතර බහාලුම් සඳහා විශාල ධාරිතාවක් අවශ්‍ය වනු ඇති බවයි. එවිට ඉන්දියාවට ගොස් ඔවුන් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කළ හැකි වේවි. එමගින් අඩු වර්ධන අවස්ථාව කුමක්ද සහ ඉහළ වර්ධන අවස්ථාව කුමක්ද සහ එය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව අපට අදහසක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
පකිස්ථානය අද අපේ රට මෙන්ම මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියද එය ඉරානයට පසුව සංවර්ධනය විය හැකි රටක්. මධ්‍යම ආසියාව සහ රුසියාව දක්වා එක්වන චබහාර් වරාය සමඟ ඉරානය ඉදිරියට ගියහොත්, මැක්‍රාන් වෙරළ තීරයම පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඉතින් මේ සියලු කරුණු පිළිබඳ සංවර්ධනයේ දී අවධානය යොමු කළ යුතුයි.
මේ අතර චීනය අප්‍රිකාව සමඟ එක්ව අප්‍රිකාවේ නැගෙනහිර සිට බටහිර දක්වා දුම්රිය මාර්ග ආරම්භ කරන බව අප මතක තබාගත යුතුයි. එකක් කෙන්යාවේ සිට බටහිර අප්‍රිකානු වෙරළ දක්වා දිවෙන අතර තවත් එකක් බොහෝ විට කොංගෝව හරහා ගමන් කරනු ඇතියි.
එබැවින් කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස් වීමට ලක්වනු ඇති අතර එය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කළයුතුයි.
අපට එය කළ හැකියි වගේම කළයුතු දෙයක්. මම විශ්වාස කරනවා අපට ඉදිරියට යා හැකියි. මේ පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු ඔබ සියලු දෙනා දරණ උත්සාහයට මම නැවතත් ස්තූතිවන්ත වෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් යන මහත්වරු සහ හිටපු සභාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සාගලගේ අත්සන හොරට ගහලා ඇතුලේ !
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කර ඇති 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තා වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි ලිපියක් සාගල රත්නායක විසින් යොමුකර නොමැති බවයි . ඒ අනුව අදාළ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු විසින් පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.
පස් පුද්ගල ඝාතනයේ සැකකරු කොටු !
යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි .
ඔහු සඳහන් කරන ආකාරයට සැකකරුව ඊයේ (22) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
51 හැවිරිදි පුද්ගලයෙක් වන එම සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවත් පොලීසිය පවසයි .
එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත.
යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සාහසික අපරාධය ඊයේ අලුයම සිදුව තිබුණි.
ඝාතනයට ලක්ව තිබුණේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි.
ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය.
එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි.
සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය.
එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණි.
එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බවදැනට අනාවරණ වී ඇත.
ඝාතනයට ලක්වූ සියලු දෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
කැඩුන අත උළුක් වෙයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී කණ්ඩායම පක්ෂයට නැවත එකකර ගැනීම සඳහා ගත් උත්සාහයක් අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පවත්වා ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනා අතුරින් මේ වන විට ආණ්ඩුව සමග එක්ව සිටින අට දෙනාගේ කණ්ඩායම ද සහභාගිව ඇත.
ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර ,පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.
ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරු අත්හිටුවාඇති අතර ,ඔවුන්ට එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එසේ වුවද ඔවුන් ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරකරන බැවින්, ආණ්ඩුවේ සිටියදීම නැවත පක්ෂයට සම්බන්ධ කරගත නොහැකි බව ශ්‍රීලනිප දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
මෙම තත්වය හමුවේ ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වී ඇතැයි දැනගන්නට තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුවක් ඇතිකිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම සාකච්ඡා සභාව සංවිධානය කර තිබුණද ශ්‍රීලනිප මහ ලේකම් විසින් බරපතළ ලෙස ආණ්ඩුවට එක්වූ පිරිසට අදාළ බලතල අත්හරින ලෙස බල කිරීම මෙම සාකච්ඡා අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
අගමැති ධූරයේ වෙනස ගැන ඇමති ප්‍රසන්න කතා කරයි !
අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ වනවිට පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි .
එසේම අවශ්‍ය මොහොතේදී පොදුජන පෙරමුණ රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
ලෙඩක් දාගෙන ලංකාව ආසියාවේ මුලට !
ශ්‍රී ලංකාව ආසියානු රටවල් අතරින් දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය වැඩිම රට බවට පත්ව ඇත.
වාර්තා වන ආකාරයට වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය හා රජරට රුහුණු කොළඹ විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
මෙරට සෑම වැඩිහිටි පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු එනම් 23%කට දියවැඩියාව වැළඳී ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ එම ප්‍රමාණය 31% දක්වා ඉහළ ගොස් ඇති අතර එනම් සියලු වැඩිහිටි පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙලෙ
ලංකාව ආර්ථික දැවැන්තයෙක් කරන හැටි ජනපති කියයි !
කොළඹ උතුරු වරාය නව ව්‍යාපෘතියට සමගාමීව මෙරට වරාය සංවර්ධන වැඩසටහන් මගින් ඉදිරි වසර 25ක කාලයක් තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම මහා බ්‍රිතානයේ AECOM සමාගම සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ සිදුකරනු ලබයි.
ඒ වෙනුවෙන් පැවැති කොළඹ උතුරු වරාය 30 අවුරුදු සංවර්ධනය පිළිබඳව වැඩමුළුව ඊයේ (21) ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය .
"ඉදිරි වසර 25ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ මියන්මාර ප්‍රදේශවල විශාල සංවර්ධනයන් සිදුවේවි. ඒ නිසා ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි."
"හම්බන්තොට වරාය මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ඉදිරි වසර 10ක 15ක කාලයක තුළදී හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 4,000ක භූමි ප්‍රමාණයක සිදුකරන සංවර්ධනයත් සමග සහ ඉදිකරනු ලබන තෙල් පිරිපහදු පර්යන්තයේ එම ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයන් ඉහළ යාවී."
"කටුනායක ගුවන්තොටුපොළ අප තවදුරටත් සංවර්ධනය කරනු ලබන අතර මත්තල ගුවන්තොටුපොළ වාණිජ ශක්‍යතාවයකින් සතුයි. ඒ වගේම අප පලාලි ගුවන්තොටුපොළ ද විවෘත කරනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශන අංශ කොළඹ - උතුරු වරාය සංවර්ධනය කිරීමේ ශක්‍යතා වාර්තාව ලබාදුන්නා."
"ඒ අනුව ඉන්දියානු සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාව පවතිනවා වගේම අපි එය අනිවාර්යෙන්ම කළ යුතු වනවා."
භාෂාව දාලා විපක්ෂය IMF විවාදය මඟහැරීමේ තැතක් !
රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කර ඇති ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්දින විවාදයට විපක්ෂයේ පක්ෂ වර්ජනය කිරීමේ උත්සාහයක් පවතී.
මේ වන විට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති එම ගිවිසුමේ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත් සිංහල හා දෙමළ භාෂා පරිවර්තන ඉල්ලා සිටිමින් අදාළ විවාදය වර්ජනය කිරීම විපක්ෂයේ සූදානම බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී 26 ,27, 28 යන දිනවල පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල්කරගනිමින් මේ උත්සාහ කරන්නේ එම විවාදයෙන් පැන යාමට බව ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ විවාදය පැවැත්වීම සඳහා සිංහල හා දෙමළ භාෂාවලින් එම පිටපත් අත්‍යවශ්‍ය වන බවය.
Page 175 of 440