Language Switcher

Ad

Ad 01

V2025

මේක සමරන්නම ඕන අලුත් අවුරුද්දක් !

අතීතය වරෙක සියලු ආශීර්වාදයන්ගෙන් බුහුමන් ලබන්නේය. තවත් වරෙක සාපයෙන් ගැරහුම් ලබන්නේය. ඇත­ැමුන් අතීතය අමතක කිරීමට කැමැති අතර ඇතැමුන් අතීතයේ ළගින්නට ප්‍රිය කරන්නේය. ඇතමුන් අතීතයට පෙම් බඳින අතර ඇතමුන් අතීතයට වෛර කරන්නේය . මේ කොහොම මොනවා කළත් සජීවී මනුස්ස ප්‍රාණයකට අතීතයෙන් ගැලවීමක් නැත්තේමය. අතීතය සමඟ වන ගනුදෙනුව හරියට බේරගන්න අවශ්‍ය වන්නේ ද අන්න ඒ නිසාය. එසේ නම්, කළ යුතුව ඇත්තේ අතීතය උගත් පාඩම් ඇසුරෙන් වර්තමානය සකස් කර ගැනීම සහ ඒ අනුව අනාගතය ගොඩනැඟීම ය.

එය මොනවට පසක් කර සිටියේ උදාවූ 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්දය. අපේ රටේ ජනතාවට සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඇති හැකි අයත් නැති බැරි අයත් වෙනසක් නොමැතිව සමරන සංස්කෘතික අංගයක්ය. උපයාගත් දේ බෙදාහදාගෙන කා බී ප්‍රීතිවන උත්සවයක්ය. ආසියානු වැඩවසම් සංස්කෘතික දේහය තුළ ලෝකෝත්තර ජීවිතය සංස්කෘතිය ලෙස කාවද්ද­ාගත් ශ්‍රී ලාංකිකයාට ලෞකික සුව - රස අත්විඳින්නට ඇති එකම සංස්කෘතික අංගය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්වුවාට වැරදි නැත. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ අලුත් අවුරුද්ද සිංහල - දෙමළ ජාතිකත්ව දෙක විසින්ම සමරනු ලබන පොදු සංස්කෘතික උත්සවයක් වීමය.

පසුබිම එසේ වුවත් 2023 සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව තවත් එක් අලුත් අවුරුද්දක් වුණේ නැත. එය හැම අතින්ම විශේෂ විය. එක් අතකින් 2020 සහ 2021 අලුත් අවුරුද්ද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ජනතාවට එම වසරවල හිතේ හැටියට අවුරුදු සමරන්න ලැබුණේ නැත. 2022 වසරේ අවුරුදු සැමරීමක් තබා හිතන්නවත් දෙයක් තිබුණේ නැත. මිනිසුන් හිටියේ ගෑස්, ඉන්ධන කිරිපිටි පෝලිම්වලය. භාණ්ඩ හා සේවා සියල්ලෙහි මිල අහස උසට ගොස් තිබිණ. වැඩි මිලක් යටතේ හෝ මිලදී ගන්න භාණ්ඩ වෙළඳපොළ තුළ තිබුණේ නැත. ඖෂධ හිඟය ද ඊට දෙවැනි නොවීය. හෙටක් ගැන අදහසක් තබා ඊළඟ වේල පිරිමහ ගැනීම යන්නත් තිබුණේ දැඩි අභියෝගයක් ලෙසය. බැලූ බැලු සැම අතම කියාපෑවේ තුන් බිය පැමිණි විශාලා මහනුවර නූතන පිටපතක සලකුණුය. ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, කර්මාන්ත වැසීයාම, විරැකියාව ඇතුළු දහසක් ආර්ථික සමාජ ප්‍රශ්නවලින් පිරි පීඩිත ජනතාව සිටියේ පැවති පාලනයට එරෙහිව වීදි සටනකය. වෙනදා මතවාදී වශයෙන් සමාජය වෙනස් කළ මෙරට මධ්‍යම පන්තිය, මතය හැදීමට එහා ගොස් පළමු වරට අරගල බිමට පැමිණියේය. ඒ අතර තුර ආගමන විගමන දෙපාර්තමේන්තුව කාර්ය බහුල වූයේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ රට හැර ලෝකයේ ඕන රටකට යන්න හිත හදාගෙන තිබූ නිසාය.

ගොඩ එන දවස

2022 අප්‍රේල් 09 වනදා එවකට පාලකයා එළවා දැමීමට ඔහු විසින්ම විරෝධතා සඳහා නම් කළ ස්ථානය මූලික කරගෙන " ගෝඨාගෝගම "අරගල මූල කඳවුරක් පිහිටවනු ලැබූ අතර, පැවති පාලනයේ අසමත් බව නිල වශයෙන් තහවුරු කරමින් 2022 පරණ අවුරුද්දට පෙරදා එනම්, අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව හෙවත් රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරනු ලැබිණ. 2022 අලුත් අවුරුද්ද උදා වූයේ එහෙම පසුබිමකය. එදා ආර්ථිකය සම්බන්ධව වඩාත් උනන්දු ගෝලීය ආයතන මෙරට හඳුන්වනු ලැබුවේ "ගොඩ එන දවස ගැන පුරෝකථනයක් තබා එවැන්නක් ගැන හිතන්නවත් බැරි අවාසනාවන්ත කුඩා දිවයින් රාජ්‍යයක්" ලෙසය.

2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුවිශේෂී වූයේ දින 365ක් ඉක්ම යන්නට පෙර, එනම් ඊළඟ සූර්ය සංක්‍රාන්තියට පෙර 2022 පැවති තත්ත්වය මුළුමනින්ම වෙනස් කරන්නට හැකිවූ නිසාය. පළමුව ඉන්ධන, ගෑස් , ඇතුළු සියලු ආකාරයේ පෝලිම් අවසන් කෙරිණ. අත්‍යවශ්‍ය භාණ්ඩ ක්‍රමයෙන් වෙළඳපොළට යොමු කෙරුණු අතර, උද්ධමනය ද ක්‍රමයෙන් පහළට පැමිණෙන තත්ත්වයක් ඇති කෙරිණ. අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කෙරිණ. රාජ්‍ය ආයතන, පාසල් , පෞද්ගලික ආයතන, ප්‍රවාහනය ඇතුළු අක්‍රීයව පැවති සියලු යාන්ත්‍රණ සක්‍රීය කෙරිණ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන් අතර ඊට සමගාමීව IMF මූල්‍ය සහය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ද කඩිනම් කෙරිණ.

එහි තීරණාත්මක සලකුණක් වූයේ IMF මූල්‍ය සහය වශයෙන් ඩොලර් බිලියන 2.9ක් සමඟ වැඩසටහනට ඇතුල්වීමට අවස්ථාව උදා කර ගැනීමය. මේ ගිවිසුම්ගත වීමේ ඇති සුවිශේෂීම වටිනාකම වන්නේ , 2022 අප්‍රේල් මාසයේදී ණය ගෙවීමට නොහැකි රටක් බවට පත්ව, එනිසාම ණයක් ලැබීමට නුසුදුසු රටක් බවට පත්වීමෙන් ගැලවීමක් ලැබීමය. ඒ හරහා ඉදිරි වර්ෂවලටදී බහු පාර්ශ්වීය සහ ද්වී පාර්ශ්වීය මෙන්ම විවෘත වෙළඳපොළ ප්‍රභවයන් වෙතින් ණය ලැබීමට සුදුසුකම ලැබීමය. එසේම 2019 දී නිකුත් කිරීම් අත්හිටවනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා විවෘත වෙළඳපොළ තුළින්ද ණය ලබා ගැනීමටද අවස්ථාව හිමිවීමය. ඒ අර්ථයෙන් 2023 අලුත් අවුරුදු උදාව වන විට ශ්‍රී ලංකාව " බංකොලොත්" ලේබලය ගැලවුණු, ණය ලැබීමට සුදුසු මෙන්ම ගෙවීමට හැකියාවක් ඇති රටක් ලෙස දෙපයින් සිටුවා තිබිණ.

ආශ්චර්යයේ නිර්මාපකයා

වොෂින්ටනයේ මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලදී ශ්‍රී ලංකාවේ සිදු වූ මේ අදහාගත නොහැකි ශීඝ්‍රගාමී වෙනස රාජ්‍යතාන්ත්‍රික බුහුමනට පාත්‍රවුයේ "ඓශ්චර්යයක්" ලෙසය. ඒ ඓශ්චර්යයේ නිර්මාපකයා වෙනත් කවුරුත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහු පසුගිය වසරේ භාරගත්තේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් පරිපීඩිතවූ, ඊට එරෙහි ජනතා නැඟීසිටීම හමුවේ අරාජිකව දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වයක් දක්වා ඇදෙමින් තිබූ, කිසිදු සම්ප්‍රදායික දේශපාලන නායකත්වයක් භාර නොගත්, පියෙක් නොමැතිව නිරුවතින් දුවන අවජාතක ළමිස්සියක් බඳු රටක් කීවාට වැරදි නැත. පළමුව නීතිය සහ සාමය ස්ථාවර කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනතුරුව සිය සැලැස්ම ක්‍රියාවට නැංවීය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් වූයේ මේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටුණු රට ගොඩනඟන කර්තව්‍යයේ මල් වට්ටියට අත ගහන්න පැමිණෙන ලෙස කොතෙක් වාරයක් ආරාධනා කළ ද විපක්ෂය ඊට එක් නොවූ බවය. එපමණක් නොව රට ගොඩනඟන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ අඩාළ කිරීම සඳහා ඇදිය හැකි හැම අංචියක්මත් ඇද්ද බවය.

විපක්ෂයේ ඒ කිසිදු නාඩගමක් සාර්ථක නොවුණේ, අනෙකාගේ අධෝවාතයටත් පාරට බහින අතීසාරය වැලඳුණු කෑ කෝ පප්පන්ගේ සහ ජනතාවගේ නිහඬ බහුතරයේ වෙනස නිසාය. සැබවින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක වූයේ සහ හුදකළා මිනිසෙකුට, සිය ඓතිහාසික දේශපාලන පසමිතුරු කඳවුරේ සහයෙන් සාර්ථක ලෙස ආණ්ඩුව මෙහෙයවමින් මෙතෙක් මේ ගමන එන්නට හැකි වූයේ රටේ නිහඬ බහුතරය රනිල් ගැන තැබූ විශ්වාසය ජනාධිපති රනිල් අකුරටම ඉටු කළ නිසාය. මෙරට නිහඬ බහුතරය තමන් සම්බන්ධව තැබූ විශ්වාසය නිවැරදි බව ගතවන දිනක් පාසා ඔප්පු කරමින් සිටින නිසාය.

අලුත් අවුරුද්ද එළඹෙන්න පෙර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්ද ජනාධිපති රනිල් කිව්වේ, තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බවය. අනතුරුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයන්හි ආචාර්යවරුන් දැනුම්වත් කිරීමේ අවස්ථාව අමතමින්ද ජනාධිපතිවරයා කිව්වේ, 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවය.

විශ්වාසයේ සහතිකය

ජනාධිපති රනිල් මේ සහතිකය දෙන්නේ ද , මෙතෙක් ඔහුව විශ්වාස කළ මෙරට සැබෑ බලවේගය වන නිහඬ බහුතරය වෙතය. නිහඬ බහුතරයට ද රනිල් විශ්වාසය. ඒ නිසා මුදලට මීඩියා වොයිස්කට් දෙන කිහිප දෙනෙකු හැරෙන්න, 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද කවුරු කවුරුත් ඇති හැකි ලෙස සැමරූ බව අතිශයෝක්තියක් නොවේය. ඔවුන් සමරුවේ අලුත් අවුරුද්දම පමණක් නොව, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ඇති හැකියාව ගැන දින 365 කට අඩු කාලයක් තුළ ජනාධිපතිවරයා ලබා දුන් විශ්වාසයේ සහතිකය ද ඒ සැමරුම තුළ වූ බවත් අතිශයෝක්තියක් නොවේය. අතිශයෝක්තියක් වන්නේ පසුගිය වසරවල මෙරට ජනතාවට අත්විඳීමට සිදු වූ පීඩාව පිළිබඳ සළකා බලන විට මේ වන විට ජනාධිපති රනිල් සියල්ල අංග සම්පූර්ණ කර ඇතැයි පැවසූවා නම්ය. සැබවින්ම මෙවර ජනතාව සිංහල දෙමළ අලු‍ත් අවුරුද්ද සැමරූ ආකාරය කියා පාන්නේ රටේ ආර්ථිකයේ දැවැන්ත වෙනසක් සඳහා වන ආරම්භයකට ඉඩ සලසා ඇතැයි යන්නට සහතිකයක් සමස්ත ජනතාවට ලැබී ඇති බවය. ඒ සහතිකය ඔවුන් විශ්වාස කරන බවය. විශේෂයෙන් නිහඬ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ විශ්වාස කරනවා පමණක් නොව ඊට සක්‍රීය සහයක් ලබාදීමට අවශ්‍ය ඕනෑම වෙලාවක භෞතිකව මැදිහත්වීමට වුවත් සූදානමකින් පසුවන බවය.

විපක්ෂයට ඇති ප්‍රධානම අභියෝගය ද ඒකය. නමුත්, ඔවුන් ඒ ගැන නිවැරදි තක්සේරුවක් කර ඇත්දැයි සැක සහිතය. ඒ බව තහවුරු කරමින් පසුගිය දිනක ජවිපෙ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ කියා තිබුණේ, ජනතාවගේ මේසය මත තිබිය යුතු අවුරුදු කෑම ටික රනිල් රාජපක්ෂලාගේ මේස මත ඇති බවය. එසේම ජනතාවගේ අවුරුදු මේසයට ආහාර ටික සොයාගෙන ඇත්තේ පරණ බඩු විකුණා බවත්, ඒ තරමට ආණ්ඩුව ජනතාව පාවා දුන් බවත් ඔහු පවසා තිබිණ. වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත කියා තිබුණේ, මිනිස්සුන්ගේ බඩගින්න වත් නොදැනෙන අන්දමට ආණ්ඩුව අද කටයුතු කරමින් සිටින බවය. එනිසා අවුරුදුවලින් පසු ජනතාවගේ නිදහස් අරගලයක් සහිත සටනක් ආරම්භ කළ යුතු බවත් ඊට ජනතාව එක්වනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

අවුරුදු කෑම මේසය

ජවිපෙ හිටපු මන්ත්‍රී වසන්ත එසේ සඳහන් කරන විට තවත් ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු සමාජ මාධ්‍ය තුළ වෛරල් වී සිටියේ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීමේ ඡායාරූප පෙළක් සමඟය.

ඒ හිටපු ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සය. ඡායාරූපවල දැක්වූයේ, ඔහු පවුලේ උදවිය සමඟ අලුත් අවුරුද්දට ආහාර අනුභව කර, වැඩ ඇල්ලූ ආකාරය ය. රාජසිංහ රජ්ජුරුවන්ගේ කෑම මේසය මෙන් නොවුණත් නලින්දගෙ අවුරුදු කෑම මේසයේ අඩුවක් තිබුණේ නැත.

ඒ අනුව නම් නැඟිය හැකි සාධාරණ ප්‍රශ්න කිහිපයක් ඇත. ඒ, "වසන්ත කියන විදිහට 2023 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ජනතාව හිටියේ හාමතේ නම් යන්තම් කන්න ටික හොයාගත්තේ පරණ බඩු විකුණලා නම්, ජවිපෙ නලින්ද අඩුවක් නැතුව අවුරුදු සැමරුවේ මොන හිතකින්ද ?", "සාතිශය බහුතරයක් ජනතාව හාමතේ සිටියදී නලින්ද අඩුවක් නැති අවුරුදු කෑම මේසයක් අවුරුදු සැමරීමේ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක්කළේ ඇයි ?", " වසන්තට ඇති පන්ති කැක්කුම නලින්දට නැද්ද ? නලින්ද වසන්තට වඩා සුළු ධනේශ්වර ද ?", " නලින්ද වගේම වසන්තත් අඩුවක් නැතුව, නැත්නම් නලින්දටත් වඩා ජයට අවුරුද්ද සැමරූ වසන්ත මාධ්‍ය ඉස්සරහා බොරු ෂෝ දාගෙන මර්සි ටෝක් දෙනවාද ?" මේ ආකාරයට ප්‍රශ්නාවලියක් "වසන්ත - නලින්ද" අලුත් අවුරුදු වැඩ ඇල්ලීම හරහා ඉස්මතු කළ හැකිය.

මේ ප්‍රශ්නවලට මොන පිළිතුරු දුන්නත්, මේ ඊනියා වම්මුන්ගේ, ආණ්ඩු විරෝධීන්ගේ දෙබිඩි බව අනාවරණය වීම වැළැක්වීමට නම් කොහෙත්ම හැකියාවක් නැත. එසේම ජවිපෙ වසන්තට සාපේක්ෂව ජවිපෙ නලින්ද කියන්නේ අවංකයෙකු බවත් සඳහන් කළ යුතුය. මන්ද නලින්ද අවුරුද්ද සමරුවේ සහ ඒ ගැන ප්‍රසිද්ධියේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමුකළේ මේ රටේ අද ප්‍රසිද්ධියේ "සැමරිය හැකි " තත්ත්වයක් බිහිකර ඇති බව නලින්දගේ අවිඥානය පිළිගෙන ඇති නිසාය. එය ප්‍රසිද්ධියේ කියා ජනාධිපතිට ස්තූති නොකරන්නේ නලින්ද ජවිපෙ වීම නිසාය.

ඒ කෙසේ වුවත් නලින්ද මෙහෙම ප්‍රසිද්ධියේ අවුරුද්ද සමරන විට සහ හොරෙන් අවුරුදු සැමරූ වසන්ත එළිපිට බොරු ෂෝ දාන විට ජනාධිපති රනිල් හිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගීවය.

භාර ගත් වගකීම

රාජකීය අවුරුදු මේසය මාධ්‍ය හරහා රටටම පෙන්වනවා භාර ගත් වගකීම අකුරට ඉටුකරන රාජ්‍ය නායකයකුගේ හැසිරීම එහෙමය. සජිත්ලා , වසන්තලා නොදන්නා පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ අන්න ඒ හැසිරීමටය. මේ රටේ නිහඬ බහුතරය මෙතෙක් සේව්වේද ? අර්බුදය සහ අරගලය මැදින් ඔවුන්ට හමුවුනේද අන්න එහෙම නායකයෙක්ය. අතීත පාඩම් ඇසුරෙන් වර්තමානය සකස් කරන මේ නායකයා සමඟ අනාගතය ගොඩනැඟීමේ ගමන කොන්දේසි විරහිතව යාම නිහඬ බහුතරයේ තීරණය වී ඇත. පසුගිය වසරේ දේශපාලනඥයන්ට තහනම් බිමක් වූ අරගලය පැවති ගෝල්ෆේස් බිමේ ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් "වසත් සිරිය 2023" නමින් සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසාය. අප්‍රේල් 22 වනදා එය පැවැත්වෙන අතර 2023 අලුත් අවුරුද්ද සමරන්නම ඕන අවුරුද්දක් වෙන්න තවත් හේතු මොකටද ?

එස්. එම්.ලියනගේ

දිනමිණ - 2023-04-17