පුවත්
ජනපති ඓතිහාසික කතරගම පුදබිමේ ආගමික වතාවත්වල !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.
කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ දින පෙරහර ආරම්භ කරමින් කණ්ඩුල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.
අනතුරුව අවසන් මහා පෙරහර නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා කතරගම සමන් මහා දේවාලය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතා බහක නිරත වීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පෝල්, (Poj Harnpol) කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලක්ෂ 60ක විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් !
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කළේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඔහු සඳහන් කළේය.
මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මෙසේ ද පැවසීය.
පසුගිය වසර වන විට අපේ රටේ ඉන්ධන පෝලිම් තිබුණා වගේම , විදුලි කප්පාදුව ද වැඩි වශයෙන් සිදු වුණා. එම අභියෝගාත්මක කාලය පසු කරමින් නව රජය යටතේ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන පෝලිම් නැති කිරීමටත්, අඛණ්ඩව විදුලිය සැපයීමටත් හැකි වුණා.
දශක දෙක තුනකට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන, නිෂ්පාදන මිලට අඩුවෙන් අලෙවි කර ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සහනාධාර මුදල යටතේ විකුණන විට, පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවා. ඒ නිසා ඒ පාඩුවෙන් තමයි අපි දැන් ගොඩ ගන්න ඕන.
පසුගිය ජනවාරි මාසයේ මෙන්ම, ජුනි මාසයේ ද විදුලි මිල සංශෝධනය කිරීමට කටයුතු කළා. ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා. ඉන් ඒකක 30 සිට ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනය කරන්නන් ලක්ෂ තිස් පහකට සියයට 55ක මිල අඩු කිරීමක් අවසන් වරට කළ මිල සංශෝධනයේදී සිදු කළා. ලියාපදිංචි ආගමික සිද්ධස්ථාන 40,000ක් පමණ තිබෙනවා. ඉන් 15,000ක පමණ විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. ඒ වගේම කර්මාන්ත අංශයටත් පසුගිය විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට රජයට හැකි වුණා.
පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ පමණක් එම අලාභය රුපියල් බිලියන 167.2ක් වනවා. පැවති අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වුණා.
නමුත් මේ වන විට සැපයුම්කරුවන්ගේ සියලු ගෙවීම් අවසන් කර තිබෙනවා. නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 120ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබුණත් එය රජය විසින් ශේෂ පත්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එම නිසා විදුලිබල මණ්ඩලය දැන් මූල්‍ය අතින් ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙනවා. පසුගිය වසර 03 තුළ නවතා දමා තිබූ නඩත්තු කටයුතු සහ නව සබඳතා ලබා දීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. මේ වන විට නව සබඳතා 36,000 සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන් 20,000 සබඳතා ලබා දී අවසන් කර තිබෙනවා . ඉදිරි මාස දෙක ඇතුළත ඉතිරි සබඳතා ලබාදීමට අපි කටයුතු කරනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමෙ නව කෙටුම්පත මේ වන විට නීති සම්පාදක වෙත යොමු කර තිබෙනවා. එම කෙටුම්පත ලැබීමෙන් පසු එය නීතිපතිට යොමුකර නිර්දේශ විමසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නව පනත සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.
මෙහිදී විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන්ට කිසිදු පීඩනයක් සිදුවෙන්නේ නැහැ. දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කිරීමත් එහිදී අප සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ආනයන කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම සිදු සිදුකරමින් තිබුණා. ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා නව ආයතන දෙකක් සංස්ථාව සමඟ ගිවිසුම්ගත වී සිටිනවා. එම සැපයුම් කටයුතු මෙම මාසය අවසන් වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔවුන් දැනුම් දී තිබෙනවා. ඔවුන්ගේ පළමුවන ඉන්ධන නැව ජුලි මස අවසානයේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් මේ වන විට ඉන්ධන හල් 150ක් පමණ ලියාපදිංචි වී අවසන්.
ඔවුන්ගෙ ඉන්ධන නැව ලංකාවට පැමිණි පසු ඉන්ධන බෙදාහැරීම ‘සිපෙට්කෝ‘ නාමය යටතේ සිදු කළත් එම බෙදාහැරීම් පසුව ඔවුන්ගේ සමාගමේ නාමය යටතේ සිදු වෙනවා. ඉන්ධන බෙදාහැරීම මේ සමාගම් වලට ලබා දෙන විට මුදල් අමාත්‍යංශය මගින් ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 50ක බද්දක් අය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඉන්දියානු ණය, ඉරාන ණය ගෙවා අවසන් කිරීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන ණය කඩිනමින් ගෙවා අවසන් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් සියල්ල ගෙවා අවසන් කර තිබෙනවා . ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට මූල්‍ය මට්ටමෙන් ශක්තිමත් වී තිබෙන නමුත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අප නවතා දමන්නේ නැහැ.
ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී තෙල් තොග පවත්වා ගෙන නොයන ඉන්ධන හල් සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. අද උදෑසන රාජගිරිය ඉන්ධන පිරවුම්හල රජයට පවරා ගැනීමට අප කටයුතු කළා. ඉන්ධන මිල සංශෝධනය කිරීමේ දී තෙල් තොග ළඟ තබා නොගත් ඉන්ධන පිරවුම් හල් 120ක් ගැන පැමිණිලි මේ වනවිටත් අපට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අමාත්‍යාංශයට සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සිටින සේවකයින් ප්‍රමාණය ප්‍රමාණවත් බැවින් නව සේවකයන් බඳවා නොගැනීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයේ සාමූහික ගත් තීන්දුවක් මත රාජ්‍ය ආයතන ඵලදායි ලෙස කාර්යක්ෂම කිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය කාලයේ දී පුනර්ජනනීය බලශක්තිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ ආයෝජකයන් මේ වන විටත් පැමිණ නැහැ. සමහර ටෙන්ඩර ලබාගත් ආයතන තවත් ආයතනවලට එම ටෙන්ඩරය විකුණා තිබෙන බව දැනගන්න ලැබී තිබෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තියට මෙගාවොට් 500ක් සඳහා ටෙන්ඩර් කැඳවීම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී අහෝසි කර, නව ටෙන්ඩර් කැඳවීමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘අදානී‘ සමාගමට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ ජනන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම ආයතනවල සේවක ප්‍රජාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර තිබෙනවා. වෘත්තීය සමිති නායකයන්ට ලැබෙන වරප්‍රසාද නොලැබී යාමේ බිය නිසාම ඔවුන් මෙම ක්‍රියාවලියට විරෝධය පළ කරමින් සිටිනවා. නමුත් පාඩු ලබන ආයතනයක වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා ලබාදීම අනුමත කරන්න බැහැ. ලෝකයේ කිසිම රටක එහෙම සිදු වෙන්නෙත් නැහැ. ඒ ක්‍රමය අපි නවත්වන්න ඕන. විදුලිබල මණ්ඩලයේ 24,000ක් පමණ වූ සේවකයන්ට අවුරුදු තුනකට වරක් 25% ක වැටුප් වර්ධනයක් ලබා දෙනවා. අපි එය නවතා දැමුවා.
වැටුප් වර්ධක ලබා දෙන්නේ වැඩ කරන, ඵලදායිතාවයක් ඇති සේවකයන්ට පමණයි. සියලුම සේවකයින්ට වැටුප් වර්ධක ලබාදෙන ආයතනයක් ලෝකයේ කිසිම රටක නැහැ. අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබා දෙන්නේ ආයතනයේ ලාභ ලැබුවොත් පමණයි. එයත් ඵලදායීව වැඩ කරන සේවකයින්ට පමණයි.
ඒ වගේම ඉන්දියානු ණය ආධාර යටතේ රජයේ ආයතනවලට සහ ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම ආගමික ස්ථානයකටම කිලෝ වොට් පහක සූර්ය පැනලය බැගින් ලබාදීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන සඳහා වහලයේ ප්‍රමාණයට සූර්ය පැනල ලබාදීමටත් කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. එය 2023 - 2042 ජනන සැලසුමට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව න්‍යෂ්ටික බලශක්තිය අපේ රටට ලැබිය යුත්තේ කවදාද යන්න තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.
මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරේ.
මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තය කිරීමට හා හුවමාරු කිරීමට බලය ලබා දී ඇත.
භාණ්ඩාකාර බැඳුම්කර සකස් කිරීමේදී හා නිකුත් කිරීමේදී වන ඔනෑම වියදමක් ගෙවීම සඳහා ද මෙමගින් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් හා ණය අධිකාරීට බලය පවරා තිබේ.
මේ අතර දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් නිල වශයෙන් දැනුවත් කිරීම අද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ, දේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව මහ බැංකු පනත, බැංකු විශේෂ විධිවිධාන පනත, විසර්ජන පනත් කෙටුම්පත හා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන බවයි.
සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා ඉදිරි පාර්ලිමේන්තු සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දී තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබුණු අතර එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහය වීමට වෙන් කර තිබිණි.
එම මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
රා බලපත්‍ර අවභාවිතයක !
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් රා එකතු කිරීමේ බලපත්‍ර භාවතා කරමින් ඇතැම් බලපත්‍රලාභින් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක නිරතවන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රයට මුවා වී කාලයක සිටම මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන ස්ථාන රැසක් තිබෙන බව ද ඒවායේ මහා පරිමාණයෙන් ජාවාරම් සිදුවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
කළුතර කොට්ඨාස අපරාද විමර්ශන අංශය ඉකුත් දා මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිට චෝදනාවක් !
රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන්නා බවට විෂය භාර අමාත්‍යවරයාට ද තොරතුරු ලැබී ඇති බවත් ඔහු පවසයි.
සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේද පැවසීය.
"අපි දැන් මේ දවස්වල බහුලව කථාකරන දෙයක් තමයි බෙහෙත් හිඟය සහ තියෙන බෙහෙත් බාලවීම. මේකට ඇත්තම කියනවානම් වගකියන්න ඕනේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. ජාතික ඖෂධ අධිකාරය තීන්දු කළා ඒ අයගේ සේවකයෝ ඉවත් කරන්න. ඖෂධවේදීන්... ඒක හරි තීන්දුවක් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන ඉන්න ලොක්කෝ සිල්වන්තයෝ කියලා. ලොක්කෝ ඊට හපන්. අපි අද කවුරුත් දන්නවා එතන ඉන්න ලොක්කෝ මිලියන තුන, හතර අල්ලස් ඉල්ලනවා. ෆයිල් රෙජිස්ටර් කරන්න. ඖෂධ සමාගම් ක්ෂේත්රයේ ඉන්න අය ලෑස්ති ඇමතිවරයාට ළඟට ඇවිල්ල ඒ විස්තර දෙන්න. එතකොට ඇමතිවරයාට ඒ විස්තර දීලා තියෙනවා කියන එකත් අපි දන්නවා. මේ රටේ ඖෂධ හිඟයක් ඇතිවෙලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි. ඖෂධ හිඟයට බලපාලා තියෙන්නේ වංචාව දූෂණය නිලධාරී වාදට නොහොත් අකාරක්ෂම තාවය."
ප්‍රතිසංස්කරණ සූදානම් නම් ආයෝජකයින් සූදානම් !
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි සඳහන් කළේය.
මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ බව සදහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (03) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් යහපත් ආර්ථික තත්ත්වයක් උදා කර ගනිමින් සිටින බව ජූනි මස 20 වන දින චීනයේ පළවූ බ්ලූම් බර්ඩ් පුවත් පතද සඳහන් කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මෙසේද පැවසීය.
පසුගිය වසරේ අපේ රටේ උද්ධමනය 80%ක් වුණා. එය රටක් වශයෙන් ඉතා අසීරු තත්ත්වයක්. එවැනි පසුබිමකදී ඔබේ මුදලේ අගය ඉතා දැඩි ලෙස අවප්‍රමාණය වෙනවා. මිලියන 2ක වටිනාකම මිලියන 1.2ක් දක්වා අගය අඩු වෙනවා. එවැනි තත්ත්වයක් රටක් වශයෙන් වලකාගත යුතුයි.
අපට අවශ්‍ය වුණා ශ්‍රි ලංකාව තවත් ලෙබනනයක්, වෙනිසියුලාවක් නොවී ආරක්ෂා කර ගන්න. ඒ සඳහායි අපි උදව් කරන ලෙස ඉල්ලා සිටියේ.
මේ වසරේ ලෙබනනයේ උද්ධමනය 485%යි. වෙනිසියුලාවේ උද්ධමනය 285%යි. නමුත් ලංකාවේ උද්ධමනය 12%යි. ලබන මාසය වන විට එය 7%-8%ක මට්ටමකට අඩු වෙනවා. පැවති වැරදි ආර්ථික කළමනාකරණය අඛණ්ඩව සිදුවීමට නොදී අප එය වළක්වාගෙන තිබෙනවා. තවමත් ලෙබනනයේ විදුලිය විසන්ධි කරනවා. ලංකාවේ විදුලි කප්පාදුවක් තිබුණත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ.
අපට තිබුණේ තිරිංග අහිමි වු පල්ලමට යන ආර්ථිකයක්. එය නවත්වා නොගැනීම අනතුරක්. එය වළක්වා ගැනීමට රජය පරිවර්තන රාශියක් සිදු කරමින් සිටිනවා.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ උද්ධමනය පාලනය කර ගැනීම රජය සාර්ථකව සිදු කරගෙන තිබෙනවා. අපට ණය ගෙවීමට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේ 2020 වසරේදී. ඔවුන් එය දිගින් දිගටම දැනුම් දුන්නා. 2021-04-17 වන විට අපට ඇමරිකන් ඩොලර් මිලියන 203ක් ගෙවීමට තිබුණා. නමුත් එය ගෙවීමට රජයට හැකියාවක් තිබුණේ නැහැ. රජය සතුව තිබුණේ ඇමරිකන් ඩොලර් මිලියන 20යි. ඒ නිසයි රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කෙරුණේ.
අපි ඒ වන විට දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් රාජ්‍ය ණය ලෙස තිබූ රටක්. 2032 වන විට අප එම තත්ත්වය 95%ක් දක්වා අඩුකරගත යුතුයි. එය පැහැදිලි අභියෝගයක් වනවා. රජයේ ඉලක්ක සපුරා ගැනීමට නම් ණය මුදල් අඩු කර ගැනීම කළ යුතුයි. ලැබෙන ආදායමින් ණය ගෙවිය හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා දේශීය සහ විදේශීය ණය ප්‍රශස්තකරණය කළයුතුමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතනවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාවක් නැහැ. ඊට හේතුව ඔවුන් ඉතාම අඩු පොලියකට දීර්ඝකාලීනව ගෙවීමේ පදනමින් ණය ලබා දී තිබීමයි. ලෝකයේ කිසිඳු රටක එම පාර්ශ්වයන් වෙතින් ලබාගත් ණය කපා හැරීමක් සිදුව නැහැ. ඔවුන් ණය දෙන්නේ නැති නම් ලෝකයේ වෙනත් කිසිවෙක් අපට ණය දෙන්නෙත් නැහැ. ඒ වගේම රටවල් ලෙස ඉන්දියාව, ජපානය, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල් අපට ණය දී තිබෙනවා. මේ වන විට ඔවුන් සමගත් ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡා පැවැත්වෙනවා.
ඒ වගේම අධික පොලී අනුපාතයක් යටතේ වාණිජ ණය ලබාදුන් කණ්ඩායම් ද සිටිනවා. අපට වාණිජ ණය ගැනීමට සිදුවූ හේතුවක් තිබෙනවා. ඒ තමයි අපේ රට 1997 වසරේදී අඩු ආදායම්ලාභී රටක් ලෙස පැවත මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම. එතැන් සිට අපට අඩු පොලියට ණය ලබාදීම නතර වුණා. වැඩි පොලියට වාණිජ ණය ගැනීමට සිදු වූ හේතුව එයයි.
කෙසේ නමුත් මේ වන විට අපට ණය ලබාදුන් පාර්ශ්ව ණය ප්‍රශස්තකරණය සඳහා සහාය දීමට එකඟව සිටිනවා. එම සහනය ලබාගෙන ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකි රටක් ලෙස ආර්ථිකය ශක්තිමත් කරගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. එසේ කටයුතු නොකළහොත් රට යළි බංකොලොත්භාවයට පත් විය හැකියි.
මෙහිදී අප යළිත් බංකොලොත් නොවීමට නම් දේශීය ණය ද ප්‍රශස්තකරණයට ලක් කරගත යුතුයි. මේ සඳහා බැංකු පද්ධතිය, සේවක අර්ථක සාධක හා සේවක භාරකාර අරමුදල වැනි අරමුදල්වල දායකත්වය ලබාගත යුතුයි. ඒ සමඟ අපේ සිටින මිලියන 57ක බැංකු තැන්පත්කරුවන් ද ආරක්ෂා කරගත යුතුව තිබෙනවා.
මෙම ණය ප්‍රශස්තකරණය සිදු කරන්නේ දේශපාලනඥයන් නොවේ. එය සකසන්නේ භාණ්ඩාගාරය, මහබැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන්ගේ සහභාගීත්වයෙන්. නමුත් මෙම ක්‍රියවලිය සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් විවිධ වැරදි අර්ථකථන සිදු කරනවා. එය රටට යහපත් තත්ත්වයක් නොවෙයි.
පසුගිය වසර ඉතිහාසයේ වැඩිම බැංකු පොලිය නියම වූ වසර ලෙස සඳහන් වනවා. එය 30%-36%ත් අතර ප්‍රමාණක් වුණා. නමුත් දැන් බැංකු පොලිය අඩු වෙමින් පවතිනවා. අද වන විට භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලිය 16%ක් දක්වා අඩු වී තිබෙනවා.
බැංකු පොලිය 29% සිට 16%-17% දක්වා අඩුවෙමින් තිබෙනවා. එය මේ වසර අවසන්වන විට 11%-12% අතර ප්‍රමාණයකට අඩු විය හැකියි. මේ අනුව විවිධ කණ්ඩායම් ගෙන යන අර්ථකථන වැරදි සහගතයි. දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුහගත නොකර සිටියහොත් රටට ආයෝජකයන් එන්නේ නැහැ. එවැනි පසුබිමක උද්ධමනය පාලනය කළ නොහැකි වෙනවා.
මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙනවා.
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දීමට අප සූදානම් නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානම් සිටිනවා.
මම පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. ඔවුන් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා.
ඒ වගේම චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡවේ දී කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව සඳහන් කළා. ඒ වගේම චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම පිළිබඳව දැනුම් දුන්නා.
ඒ විතරක් නොවයි ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් යහපත් ආර්ථික තත්ත්වයක් උදා කර ගනිමින් සිටින බව ජූනි මස 20 වන දින පළවු චීනයේ බ්ලූම් බර්ඩ් පුවත් පතද සඳහන් කර තිබෙනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
ජනපති රනිල් සජිත්ගේ නම කියලම අමතයි !
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද විපක්ෂයට පැවසීය.
අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ඒ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් අද (03) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.
“අමරවිරු අභිමන් 32” සමරු කලාපය ද මෙහිදි ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා සහාය ලබාදුන් අයට සහ ගොවි ජනතාවට උපහාර තිළිණ පිළිගැන්වීම, ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සහ විශිෂ්ට ක්‍රීඩා කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් වෙනුවෙන් තිළිණ ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පිළිගන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා අතින් ඔහු වෙත ද උපහාර තිළිණක් පිළිගැන්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
සිය දේශපාලන ජීවිතයෙහි වසර 32 ක් සහ වසර 28 ක පාර්ලිමේන්තු දිවිය තුළ මහින්ද අමරවීර මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කරමින් සිටිනවා. පළමුව අප එතුමාට ප්‍රශංසාව පිරිනැමිය යුතුයි. එතුමා අත්දැකීම් රැසක් ඇති පරිණත දේශපාලනඥයෙක්. එක් එක් යුගවල පක්ෂයේ, සහ විපක්ෂයේ සාමාජිකයන් ලෙස අප එක්ව කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ එක ආණ්ඩුවක කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා.
ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගැමති ධූරය දරණ සමයේ ද මම ප්‍රකාශ කළේ මේ සියලුදෙනා එක්කරගෙන ඉදිරියට යා යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කළා.
අවාසනාවකට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එය වර්ජනය කළා. මමත්, ආර්. සම්බන්ධනන් සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා සහභාගී වූ අතර මෙම ප්රශ්නය විසදන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළා.
කෙසේ වෙතත් මැයි 09දා සිදුවීමෙන් පසු අප මේ සියලුදෙනා එක් කර ගැනීමට උත්සාහ කළා. අග්‍රාමාත්‍ය ධූරය භාර නොගත්තත් මේ වැඩකටයුතු සඳහා සමගි ජන බලවේගය සම්බන්ධවෙයි කියා අප බලාපොරොත්තු වුවත් ඔවුන් ඊට එක් වුණේ නැහැ. එතැන් සිට තමයි මේ ආණ්ඩුව හදාගෙන අප වැඩකටයුතු ආරම්භ කළේ.
මම ජනාධිපතිවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙසත් පත්කරගත් කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වගකීම මහින්ද අමරවීරට ලබා දුන්නා. එතුමා කෘෂිකර්ම ඇමති වුණේ කෘෂිකර්මයක් සහ ආර්ථිකයක් නැති රටක. නමුත් එතුමා සමග මේ රටේ කෘෂිකර්මාන්ත නැවත ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා.
2023 සිංහල අවුරුද්දට පෙර හොඳ අස්වැන්නක් ලබාගැනීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා. ආහාර සුරක්ෂිතතාවය සඳහා කමිටු පත් කළා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුදෙනාට ඊට සහභාගී වන ලෙස ආරාධනා කළා. නමුත් විපක්ෂය ඊට සහභාගී වුනේ නැහැ. අවසානයේ අස්වැන්නේ අතිරික්තයක් ලැබුණු විට අදාළ කමිටුවල සභාපතිවරුන් ජනතාවට සහල් බෙදාදීමට පටන් ගත්තා. එවිට තමයි තමන්ට මීට සහභාගීවීමට අවස්ථාව නොලැබීම පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරු කණගාටු වුණේ.
එම කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කළ මහින්ද අමරවීර මැතිතුමාට සහ එම නිලධාරීන්ට ස්තූතිවන්ත විය යුතුයි. අපි කඩිනමින් ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සම්පාදනය කරගත්තා. එදා අපි කිව්වේ ගෙනෙන පොහොර, නැවෙන් කුඹුරට කියලා. පොහොර ටික ලැබුණු ගමන් ඒවා ගොවි ජනතාවට බෙදා දුන්නා. මේ තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කර දිළිදු ජනතාවට සහන ලබාදීමට අපට හැකිවුණා.
අප දැන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු අතර විශේෂයෙන්ම අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතුයි. අප මෙතෙක් කටයුතු කළේ අපට අවශ්‍ය ආහාර බෝග වගා කිරීමටයි. අප දැන් ලෝකයට අවශ්‍ය ආහාර වගා කළයුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ විශාල වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම පශු සම්පත් සංවර්ධනය පිළිබඳ පුළුල් වැපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙරට තිබෙන හොදම පශු සම්පත් සමාගම වන අඹේවෙල සමාගම අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා රිදීගම ගොවිපොළ ලබා දෙන ලෙස. මෙම ප්‍රදේශයේ තිබෙන පශු සම්පත් තවත් දියුණු කිරීමට අප එම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉන්දියාවේ ප්‍රධානම සමාගමක් වන අමුල් සමාගම අපේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගීතා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. තවත් සමාගම් කිහිපයක් මේ සඳහා ඉදිරිපත්වී සිටිනවා. අප පිටරටින් සත්තු ගේන්නේ නැහැ. ගෙනාපු 25,000ම නැති වුණා. ඒ නිසා අපි සමාගම්වලට කියනවා මෙය භාරගෙන දියුණු කරන්න කියලා. එවිට මේ ප්‍රදේශවල කිරි කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් දියුණු වෙනවා.
ඒ වගේම බිත්තර සහ කුකුල් මස් අපනයනය කළයුතුයි. අපට මෙය තනිව සිදු කළ නොහැකියි. එසේනම් රජය සහ පුද්ගලික අංශය එක්ව මේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි.
මේ සියල්ල කරන්නේ මේ රට දියුණු කරන්න. රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අප ඇති කර ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අපට බදු වැඩිකරන්න සිදු වණා. මම කිව්වා අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩ කරමු කියලා. ඒ අවස්ථාවේ විපක්ෂය කියා සිටියේ “අපිට අත්සන් කළ ගිවිසුම පෙන්වන්න, ආණ්ඩුව බොරු කරන්නේ, මේ මුදල් ලබා ගන්නේ දූෂණයට යෙදවීමට” කියලයි.
නමුත් ජනවාරි, පෙබරවාරි මාස වන විට එම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් පසු අපට තවත් පියවර ගණනාවක් ගැනීමට තිබුණා. ඒ සෑම අවස්ථාවකම උද්ඝෝෂණවලින් එම කටයුතු නතර කිරීමට උත්සාහ කළා. අපි ඒවට බය නැතිව ඉදිරියට ගියා. අවසානයේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම ගිවිසුම අනුමත කළා. එහිදී එක කොන්දේසියක් වුණේ පැරිස් සමාජය සහ ඉන්දීයාව හා චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවකට පැමිණිය යුතු බවයි.එවිට විපක්ෂය කිව්වා චීනය ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ කියලා. අවසානයේ මාර්තු මාසය වන විට චීනය එකඟතාවය පළ කළා.
පසුව අපි කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. පාර්ලිමේන්තුවේ දී එය අනුමත කර ගැනීමට අප සියලුදෙනා එකට එක්ව කටයුතු කරමු කියලා. විපක්ෂය පාර්ලිමේන්තුවේදී මොකක්ද කළේ? ඔවුන් එයට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඉන් අනතුරුව අපට තිබුණේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමටයි. අපේ නිලධාරීන්ට මම එය භාර දුන්නා. ඒ වන විට මහබැංකු අධිපතිතුමා සඳහන් කළා අපේ ණය ඩොලර් බිලියන 83ක් තිබෙනවා කියා. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයට සමානයි. මෙය වසර 10-15 ගියත් අපට ගෙවා අවසන් කරන්න පුළුන්කමක් නැහැ. ඒ නිසා විදෙස් ණය හිමියන්ට අප දැනුම් දුන්නා අපට ඩොලර් බිලයන 17ක සහනයක් අවශ්‍යයි කියා. එම සහනය ලබා දෙන්න, නැතිනම් ගෙවන කාලය දීර්ඝ කරන්න, එසේත් නොමැතිනම් පොළිය අඩු කරන ලෙස ඉල්ලා සිටියා.
අපි එම සාකච්ඡා සිදු කරද්දි ඔවුන් පෙන්වා දුන්නේ විදෙස් ණය අඩු කරන්නම් නමුත් විදේශීය ණය පමණක් නොවෙයි දේශීය ණයත් තිබෙන බවයි. දේශීය ණය අඩු නොකළහොත් විදේශීය ණය ගෙවන්න මුදල් නැහැ. මොකද දේශීය මුදල්වලින් තමයි අපට ඩොලර් ගන්න තිබෙන්නේ. ඒ නිසා කිව්වා දේශීය ණයත් අඩු කරන්න කියලා.
ඉන් පසුව මහබැංකුවේ අධිපතිතුමා සහ මගේ උපදේශකවරයා ඇතුළු පිරිස සාකච්ඡා කර දැනුම් දුන්නා මේ රටේ බැංකු තැන්පතුවලටත්, අර්ථ සාධක අරමුදලටත් අත තියන්නේ නැතිව මේ වැඩකටයුත්ත සිදු කළ හැකි බව. ඒ නිසා මේ යෝජනාව ගෙනාවා. මෙය පළමුවෙන් රාජ්‍ය මුදල් කමිටුවට යවන්න අපි කටුතු කළා. මේක දේශපාලනඥයන් කථා කළ දෙයක් නොවෙයි, රාජ්‍ය මුදල් කමිටුව අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කළා. අනතුරුව ඔවුන් මෙම යෝජනාවට එකඟ වුණා.
නමුත් පාර්ලිමේන්තුවට ගිය විට එම සහයෝගය ලැබුණේ නැහැ. මෙම යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 62ක් ඡන්දය ප්‍රකාශ කළා.
පළමුවෙනි කාරණය ලෙස ඔවුන් දක්වන්නේ අර්ථ සාධක අරමුදලට අත් තබන්න එපා කියලා. අපි ඊට අත තබා නැහැ. අර්ථ සාධක අරමුදලේ පොළිය 10%-9% දක්වා අඩු කෙරුණේ මම ජනාධිපතිවරයා වීමට පෙරයි. ඇත්ත වශයෙන්ම රටේ තිබු තත්ත්වය අනුව 10%ක් ලබාදීමට හැකියාවක් තිබුණෙ නැහැ. ඒත් එදා විපක්ෂය ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වුවේ නැහැ.
කැබිනට් මණ්ඩලය තීරණය කළා අවම පොළිය 9%ක් තමයි දිය යුත්තේ කියලා. අවම පොළිය 9% නම් හොද කාලයක් ආ විට 10% කරන්න පුළුවන්. එසේනම් අපි අර්ථ සාධක අරමුදලට අත තබා නැහැ. අපි අවම පොලියක් නියම කරමින් නීතියෙන්ම එය ආරක්ෂා කළා.
දෙවනුව ඔවුන් සඳහන් කළා බැංකු පොළිය 24%යි, අපි ඔවුන්ගෙන් බදු අය කරන්නේ නැහැ කියලා. දැන් පොලිය 24%ක් වුණත් ඒ පොළිය ඉදිරියේ දී තවත් අඩු වෙන්න යනවා. මහ බැංකු අධිපතිතුමා කියලා තිබෙනවා උද්ධමනය 9%කට ගෙන එනවා කියා. එහෙම වුණොත් පොලිය 12% - 13%ක් වෙනවා. විපක්ෂය කියනවා නම් මේ තත්ත්වය තුළත් බදු පනවන්න අවශ්‍යයි කියා බදු අය කිරීමට අවශ්‍ය ප්‍රමාණය අපට කියන්න. අපි සූදානම් කැබිනට් මණ්ඩලයෙන් එය සලකා බැලීමට.
තෙවනුව තවත් චෝදනාවක් කරනවා. බැංකුවලට ආදායම් බදු වැඩි කරන්නේ නැහැ කියලා. අපට පුළුවන් බැංකුවලින් අය කරන බදු ප්‍රමාණය වැඩිකරන්න. එවිට මොකක්ද බැංකුව සිදු කරන්නේ, ඔවුන් එම වැඩිවන බදු මුදල පොලියෙන් අය කරගන්නවා. එතකොට පොලියට 12%ක් වුණත් මේ නිසා එය 13%- 14%ක් වෙනවා. එතකොට පොලිය වැඩිකරන්නද අපට කියන්නේ. ඒක කොහොමද කරන්නේ. ඒ නිසයි මෙම කරුණු 03 අපේ කතිකයන් ප්‍රතික්ෂේප කළේ.
ජනතාව හෙට බැංකුවට ගිය විට තමන්ගේ මුදල් තිබෙනවා. තමන්ගේ අර්ථ සාධක අරමුදල තිබෙනවා. එතකොට විපක්ෂය මොකක්ද මේ කළේ කියලා අහන්න වෙනවා. අපිට රට පුරා කියන්න පුළුවන් විපක්ෂය පළමු පාරත් බොරු කිව්වා, දෙවනි පාරත් බොරු කිව්වා. විපක්ෂය මේ වැඩපිළිවෙළට එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම මෙහිදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්රමුඛ සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් හරි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපත් සමග එක්වන්න කියලා. ඊට පසුව ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිත් රට ගොඩනඟන්න උදව් කළා කියලා.
ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, මේ රටේ ජනතාවට සහනයක් දෙන්න කරුණකරලා අපත් සමග එක්වන්න කියලා. මේ විදියට බොරු තර්ක ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. විපක්ෂය දිගටම එයින් අසාර්ථක වී තිබෙනවා.
අවශ්‍ය නම් මම සූදානම් කතානායකතුමා සමඟ සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වගකීම් දෙන්න. දැනටත් ඔවුන් උපදේශක කාරක සභා ආදියෙහි වගකීම් දරනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කිරීම ඇතුළු තවත් වැඩකටයුතු සිදු වෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් වගකීම් දෙනන් අපි සූදානම්. කරුණාකර ආණ්ඩුවට සහාය දෙන්න. විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර :
කිසිවෙකු රටේ වගකීම භාර නොගත් අභියෝගාත්මක අවස්ථාවක එම වගකීම භාර ගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. පෝළිම්වල ජනතාව මිය ගිය, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දිය නොහැකිව තිබු මේ රට යළි කිසිවෙකුට ගොඩගන්න බැහැ කියා එදා ඇතැමුන් ප්‍රකාශ කළා.
නමුත් රට වෙනුවෙන් එම වගකිම භාරගත් නායකයාට එම අභියෝගය ජය ගැනීමට අප සියලුදෙනා සහාය දිය යුතුයි යන චේතනාවෙන් යුතුව මම කෘෂිකර්ම අමාත්‍ය ධුරය භාරගත්තා. ඒ වන විටත් ගොවි බිමෙන් ඈත්ව සිටී ගොවියා යළිත් කෙටි කලක් තුළ ගොවිබිමට සමීප කරවීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතු වූ බව කිවයුතුයි.
ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය පරිදි පොහොර ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඉදිරි කන්නයේ දී අවශ්‍ය පොහොර වර්ග 03ම නිසි වේලාවට ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර සෑම ප්‍රදේශයකම ඉහළ අස්වැන්නක් ලබා ගැනිමට එමඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉතා කෙටි කළත් තුළ මෙරට කෘෂිකර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.
මීට වසරකට පෙර මේ රටේ ජනතාව පැවසුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියලයි. මන්ත්‍රීවරුන්ට පාරට බහින්න හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අද ඇතැමුන්ට මෙය අමතක් වී තිබෙනවා. ඒ නිසා නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනා සහාය දිය යුතු බව අවධාරණය කළයුතුයි.
වසරක් තුළ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා නම් මේ රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යා හැකි එකම නායකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ රටේ ජනතාව මේ වන විට සහතික කර අවසන් බව කිවයුතුයි.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා :
මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළා. එතුමාගේ දේශපාලන දිවියට වසර 32ක් සම්පුර්ණ වන මේ මොහොතේ සුබපැතීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.
වත්මන් ජනාධිපතිතුමාට අපි සියලු දෙනා සහය ලබා දුන්නේ රට සහ ජනතාව ගැන හිත හිතලා. එහිදී කෘෂිකර්ම විෂය පැවරුණේ මහින්ද අමරවීර මැතිතුමාටයි. එලෙස අරාජිකත්වයෙන් රට ගොඩනැගීමට අපි සහාය ලබා දුන්නා. අප අපේ පක්ෂ සාමාජිකත්වය පවා අහිමි කරගත්තා. මහින්ද අමරවීර එහි පුරෝගාමියෙක් ලෙස කටයුතු කළා. නිසි වෙලාවට අප නිසි තීරණ ගත යුතුයි. එසේ නොවුණහොත් රටටත් ජනතාවටත් සෙතක් වන්නේ නැහැ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්රමුඛ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආදායම් බදු සහ විසර්ජන පනතත් සංශෝධනයට !
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කිරීමට සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එම සාකච්ඡාවලින් අනතුරුව විකල්ප අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද සලකා බැලීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේද පැවසීය.
"මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම විශ්‍රාමික අරමුදල්වලට මේ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් කරන්න. එහිදී අදහස් හුවමාරු කරගන්න, ඔවුන්ගේ දත්ත බෙදාගැනීම තමා විශේෂයෙන්ම කෙරෙන්නේ. ඒ අතරවාරයෙන් පසුව ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා මේ පිළිබඳ අවශ්‍ය තීරණය ගන්න. මේකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේම අපේ විසර්ජන පනත සංශෝධනය කරන්න වෙනවා මේ වැඩවලට සමගාමීව. ඉන් අනතුරුව ඔවුන්ගේ තීරණය දැනුම්දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න."
වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම මඟහැරලා !
ලබාදී තිබූ කාලසීමාව තුළ කිසිදු වෘත්තීය සමිති නායකයෙකු හෝ නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසයි.
මාධ්‍ය සිදුකල විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර පවසා ඇත්තේ 2,000ක් පමණ වන වෘත්තීය සමිති නියෝජිතයින් කිසිවෙකු හෝ මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවය.
වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් ඇතුළු නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.
ඒ සම්බන්ධයෙන් තමා විසින් අදාළ පාර්ශව වෙත දැනුම් දී දුන්න ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව පවසන අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර කෙසේවෙතත් අදාළ පනතට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තමාට නොමැති බව ද සඳහන් කළේය.
ජී.එල් ගේ කඳ නිදහසේ වුනාට හදවත රාජපක්ෂවරුන් ළඟ !
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට අදාළ (01) පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් ඒ එම යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළ නිසා බව සිතිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.
මෙම නොපැමිණීම හමුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට එම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු බව පැහැදිළි වූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම දක්වාම ප්‍රයෝගයක් මෙන්ම රැවටීමක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
රුපියල් මිලියන ට්‍රිලියනයක දැවැන්ත මුදල හිමිකකම් කියන සේවක අර්ථ සාධක අරමුදලේ ඉරණම මෙහිදී තමන් ඇතුළු විපක්ෂයේ ප්‍රධාන ගැටලුව වූ බවත් සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු ප්‍රශ්නයක් නොවන්නේ යැයි රජය දිගින් දිගටම පැවසුව ද එය අසත්‍යයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. බවත් ඒ මහතා කීය.
එසේම පැවති ඡන්ද විමසීමේදී දෝෂ කීපයක්ම දැකිය හැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය. ෙ
" ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා කියන විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව දවසේ පාර්ලිමේන්තුව වෙත නොපැමිණ සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කියන්නේ හෘද සාක්ෂියට අනුව තීන්දු තීරණ ගන්න පිරිසක්. එහෙනම් ඒ ගැන සහතිකයක් තමයි ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා මේ දෙන්නේ. දැන් කවුද මේ යෝජනාවට ජන්දය නොදී ඇඟ බේරාගත් පිරිස. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු දැඩි රාජපක්ෂවාදී පිරිසක්. දැන් තමයි ජී.එල්. පීරිස් මන්ත්‍රීගේ බළලා එලියට පැන්නේ. අපරාදේ නේද ඒ හෘද සාක්ෂියට අනුව තීන්දු තීරණ ගන්න පිරිස දාලා අරගලය අස්සේ, නිදහස සභාවක් පිහිටුවාගෙන මාරු වුණේ.
ඇත්තටම බොරුවට කයිවාරු නොගහා දැන්වත් ගිහින් ඒ හෘද සාක්ෂියට ශක්තියක් දෙන්න තියෙන්නේ. වැඳගෙන ගියොත් මහින්ද මහත්තයා වුණත් සමාව දෙයි. මේ තමයි ඔය රාජපක්ෂ නැව ගිලෙන මොහොතේ එළියට පැනපු ගොඩක් මීයන්ගේ ස්වභාවය. ඔවුන්ට මේ රට හදන්න , අර්බුදය ඇති නොවෙන්න සිස්ටම් හදන්න උවමනාවක් නෑ. ඔවුන්ට අවශ්‍ය බලය පමණයි. ඒ හැර වෙන කිසිම දෙයක් නෑ. දේශපාලන ඉතිහාසයේ කරපු දෙයක් තියෙනවද බලන්න. කයිවාරු විතරයි.
දේශීය ණය කළමනාකරණය හරි, EPF /ETF ගැන හරි , රටේ ආර්ථික අර්බුදය ගැන ඔවුන්ට කැක්කුමක් නෑ. එහෙනම් අර්බුදය උග්‍රවෙන වැරදි තීන්දු තීරණ ගත්ත වෙලාවේ එළියට බැහැලා එන්න තිබුණා. ඒ මොකුත් නොකර ඉඳලා අන්තිම මොහොතේ පැන්නා. දැන් ඔවුන්ට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ රට ගොඩගන්න කරන වැඩපිළිවෙල අර්බුදයට යවලා , ඔවුන්ට කිට්ටු වෙන්න පුළුවන් පාර්ශවයක් හරහා බලයට එන්නයි. ඒ හරහා වරප්‍රසාද භුක්ති විඳින්නයි. ඒ හැර වෙන කිසිම දෙයක් ඔතන නෑ.
ජුලි 01 වෙනිදා නාමල් පාර්ලිමේන්තුව මඟ හැරියද ?
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය (01) දින පැවති අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගීව සිටියේ නැත.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා මෙසේද පවසා ඇත.
"මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය යුතුයි. එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු දක්වන්න ඕනේ. ඒ හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කියලා වැඩක් නෑ. ඒක මේ රටට කියන්න. මොකද අපි රටක් විදියට තීරණාත්මක තීන්දු තීරණ ගන්න කාලසීමාවක්. අපි දැක්කා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඊයේ දවල් වෙනකල් මේකට සහයෝගය දෙනවා කියලා අන්තිමට විරුද්ධ වුණා. මම දන්නේ නෑ ඇයි කියලා. හැමදාම වගේ අවසාන මොහොතේ විරුද්ධ වුණා. ඒක ඒ අයගේ දේශපාලන චරිතේ. අපිට වගකීමක් තියෙනවා මේ රට ස්ථාවර කරන්න. අපිට වගකීමක් තියෙනවා මේ රට ශක්තිමත් කරන්න."
- මුලාශ්‍රය ada derana
මුදල් අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවය.
එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (01) දිනය පුරා පැවැත්වු අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දි එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.
ඒ අනුව ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මත වු බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ඊයේ දිනයේ ලිඛිතව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණි.
අමෙරිකාවෙන් දෙන සරසවිය කොත්මලේ ඉදිකිරීමට සැලසුම් කෙරේ
දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් තෝරා ගෙන තිබේ.
මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක්කර ගැනීමට ද නියමිත ය.
ඉඩම වෙන්කර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදවු කිරීමට සූදානම් බවට ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
ඒ අනුව, මෙම ඉඩම පිළිබඳ සොයා බැලීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිතරව තිබේ.
නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේදී මෙහි ඉදිවීමට නියමිත බව විජයවර්ධන පැවසීය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ බව ත්, ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එය ඉදිරිපත් කරන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා සඳහන් කළේ ය.
අමෙරිකානු විශ්වවිද්‍යාලවල සහාය මෙම විශ්වවිද්‍යාලයට ලබා දෙන බවට තනාපති කාර්යාලය පොරොන්දු වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්න - ජනාධිපති
ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 29දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කිසිවෙක් කැමති නැහැ. පුද්ගලයන් වශයෙන් ඔබ එයට අකමැති නම් ඔබට සාමුහිකව මෙම ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මම දන්නවා. ඒ නිසා මෙම බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කර ගැනීමට අප සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී අප “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ඉදිරිපත් කළා. දැන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍යයි. එම සම්පත්වලින් අඩක් රාජ්‍ය අංශයෙන් ද අනෙක් කොටස පෞද්ගලික ආයෝජනවලින් ද සපුරා ගැනීම අපේ අපේක්ෂාවයි. එසේ නම් අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප මෙයින් ඉවත් වුවහොත් ලෝක බැංකුවෙන් අපට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක් අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය ද අසාර්ථක වේවි.
ඒ වගේම ප්‍රංශයේ පැරිස් නුවර පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රටවල් ණය බරින් පීඩා විඳින විට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා.
මෙම සමුළුට අපට ආරාධනා කරනු ලැබුවේ මෙම ක්ෂේත්රය තුළ අප මෙතෙක් අත්කරගෙන තිබෙන සාර්ථකත්වය සහ ඒ සඳහා ලබාදී ඇති දායක්තවය නිසයි. එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ ක්ෂේත්රයේ වඩා ක්‍රියාකරී භූමිකාවක් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. එසේම මේ වන විට අප බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
පසුගිය ආර්ථික අභියෝගය හමුවේ අප සියලුදෙනා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් අප වර්ධන න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යා යුතුයි. රටේ ආර්ථිකය පුළුල් කරන විට සාධාරණත්වය ද තිබිය යුතුයි. කිහිප දෙනෙකුට ධනවත් වීමට නොහැකි අතර අනෙක් අයට අඩු ආදායම්ලාභී හෝ මධ්‍ය අදායාම්ලාභීන් ලෙස සිටිය නොහැකියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ පසු, අපගේ සමාජ වගකීම කුමක්ද කියා සාකච්ඡා කරන ලෙස මම වාණිජ මණ්ඩල, වෘත්තිකයින්, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලුදෙනා මෙයට දායකකරගත යුතුයි. සියලුදෙනාට මෙහි ප්රතිලාභ ලැබිය යුතුයි.
ණය ප්‍රශස්තකරණ වැඩසටහන පිළිබඳ ඔබගේ සාමාජිකයන් දැනුවත් කරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් බිය වීමට කිසිදු දෙයක් නැති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කොටසක් බවත් ජනතාවට අවබෝධ කර දිය යුතුයි. රටේ මෙම තීරණාත්මක අවධිය පසුකර අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව, වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා යොමුවීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා.
තවද අග්නිදිග සහ නැගෙනහිර ආසියානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුළත් කරන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය වන RCEP හා සම්බන්ධවීමට ඉදිරි මාසයේ දී අප අයදුම්පතක් යොමු කරනවා. ඒ වගේම නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. පසුව යුරෝපා සංගමය සමඟ අපේ වෙළෙඳ ගිවිසුම් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. අපි තරගකාරි ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මේ එහි ආරම්භය බව කිවයුතුයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජික සාමාජිකාවන් මේ අවස්ථාවට එක්ව සිටියහ.
තරුණ පොහොට්ටු අලුත් ගමනක් යන්න සූදානමක !
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ.
එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.
Lankadeepa
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉහළින්ම සම්මතයි !
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අද (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යෝජනාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර ඊට අදාළ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්විණ.
මේ අතර අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධයක නිරතවීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක්ද ඇති වූ නමුත් ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා කටයුතු කළේය.
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබේ.
එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එය කොළඹ සිට 1260ක දුරකින් එය සිදුව ඇත්තේ පස්වරු 12.59 ට පමණි.
මෙම කම්පන තත්ත්වය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ගැන වාර්තා වී නොමැති බවයි.
Page 152 of 440