පුවත්
චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස නීතිඥ චමින්ද කුලරත්න පත් කර ඇත.
පාලිමේන්තුව නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ රෝහණදීර පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වශයෙන් පත්වීම හේතුවෙන් එම තනතුරු පුරප්පාඩුවිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අතිරේක ලේකම්වරයකුවූ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය හිටපු ලේකම්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් තනතුර ඇතුළු තවත් ඉහළ තනතුරු රැසක ද කටයුතු කළ ප්‍රවීන පරිපාලන නිලධාරියෙකි.
මෙයට අමතරව ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු, වසර එකසිය විස්සකට වැඩි පැරණි තානාපති සේවා නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ධූරයට පත් ප්‍රථම දකුණු ආසියාතිකයාද වන්නේය.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ගුණරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්ද වෙයි.
(lankadeepa.lk)
ජනපති කියුබා ජනපති හමු වෙයි
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) අතර නිල හමුව කියුබාවේ දී සිදු විය.
කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පිරිනැමිණි.
සුහද කතාබහකින් අනතුරුව නායක දෙපල ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කළේය.
අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළේය.
ඉදිරියේ දී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ගෝලීය වශයෙන් උතුරු - දකුණු රටවල් අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය.
එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් විසින් පිළිගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ බහුපාර්ශ්වික කටයුතු අංශයේ අධ්යක්ෂ ජනරාල් රේඛා ගුණසේකර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකාදීප
සිරකරුවන් 933කට ජනපතිගෙන් නිදහස.....
විශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 933ක් නිදහස ප්රදානය කරනු ලැබ තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ, සැප්. 12 වන දාට යෙදී තිබූ 25 වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් මෙලෙස සිරකරුවන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇති බව ය.
එම පිරිස අතර පිරිමි රැඳවියන් 926 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 7 දෙනෙකු සිටින බව එහි සඳහන් ය.
මෙලෙස රැඳවියන් නිදහස් කර ඇති නියමයන් හා කොන්දේසි වන්නේ;
2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 1 සමාවක් ලබා දීම.
දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගෙ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියම කර, එම දඬුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකළ දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.
2023.09.12 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියමකර ඇති සිර දඬුවම් ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක යළිත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්ර සේනානායක ලබන සැප්. 25 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
තරග පාවා දීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය නිකුත් කළේ ය.
ඔහු පසුගිය සැප්. 6 අත්අඩංගුවට ගැනිණි.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තරග පාවාදීමට උත්සහ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
2023 අගෝස්තු මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට මාස තුනක විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.
විශ්‍රාම ගිය වෛද්‍යවරු යළි සේවයට
රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයටද යම් බලපෑමක් සිදුව ඇති හෙයින් එයට තවත් විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 කාලසීමාවට අමතරව ඔවුන්ගේ කැමැත්ත පරිදි තවත් වසර 02 ක් කොන්ත්‍රාත් පදනම මත ඔවුනට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
එය කැබිනට් මණ්ඩලයට දැනුම් දීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සමස්ත රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව වයස අවුරුදු 60 වුවද, රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයත් සමග සෞඛ්‍ය ක්ෂේත්රයට ද මුහුණ දීමට සිදුව තිබෙන යම් බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව මෙයට පෙර අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරිණි.
ඒ අනුව එයට අමතරව ඉන් ඔබ්බට මෙලෙස ඔවුන්ගේ සේවාව කොන්ත්‍රාත් පදනම මත තවත් වසර 02 කට දීර්ඝ කිරීමට කටයුතු කෙරේ.
විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රටපුරා බොහෝ රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවී ඇත.
ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රංශයෙන් ආධාර
රටේ ළමුන් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට, ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රංශය, යුනිසෙෆ් හරහා යුරෝ 500,000ක් පරිත්‍යාග කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට, මෙම දායකත්වය මගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. තීව්ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් පිළිබඳවත් දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරනු ලැබේ.
මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළහොත් එය, දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළ හැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි අතර විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපායි.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා ඇතිවන දුෂ්කරතා, පවුල් වලට බලපෑම් එල්ල කරන අතර විශේෂයෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කුටුම්භයන්ට වැඩි වශයෙන් බලපායි. ක්‍රමවත් සහ ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා ප්‍රවේශය ලබාගැනීමට බොහෝ යොවුන් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොහැකි බැවින් ඔවුන් මන්දපෝෂණයේ අවදානමට ලක් වේ.
මෙම දායකත්වය මඟින් UNICEF සහ එහි හවුල්කරුවන්;
- උග්‍ර තීව්ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,500 කට චිකිත්සක ආහාර සැපයීම හරහා ප්‍රතිකාර කරයි.
- මාස 6-23 අතර ළමුන් 120,000කට ඌනතා මඟහරවා ගැනීමට සහ මන්දපෝෂණය වැළැක්වීම සඳහා ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි.
- 200,000 ක් දෙමාපියන්ට/භාරකරුවන්ට තම දරුවන් අතර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි පිළිවෙත් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදෙයි.
“ප්‍රංශයෙන් ලැබෙන මෙවැනි දායකත්වයන්, මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය ළමුන් සඳහා අපගේ අඛණ්ඩ ප්‍රතිචාරය ඉහළ නැංවීමට දායකවන අතර මන්දපෝෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට උපකාරී වන අපගේ ඒකාබද්ධ උත්සාහයන් ඉහළ නංවයි” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පවසයි. “සෑම දායකත්වයක්ම නියෝජනය කරන්නේ දරුවෙකුට
නිරෝගීව වැඩීමට සහ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඵලදායී පුරවැසියෙකු ලෙස වර්ධනය වීමට අවස්ථාවකි.”
යුනිසෙෆ් ආයතනය, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය සහ ඔවුන්ගේ පවුල් දරිද්‍රතාවයේ දරුණුතම බලපෑම්, COVID-19 සහ වර්තමාන ආර්ථික දුෂ්කරතාවලින් මිදීම සහතික කිරීම සඳහා කඩිසරව සිය කාර්යයේ නිරතව සිටියි.
“ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයකින් කටයුතු කරන අතර යුනිසෙෆ් හරහා ලබාදෙන මෙම දායකත්වය, ශ්‍රී ලංකාවේ ළමුන් සහ ජනතාව සඳහා අපගේ හවුල් දැක්මේ එක් නිරූපණයක් පමණි” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැකට් මහතා පැවසීය.
මෙම දායකත්වය, ප්‍රංශයේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර උපාය මාර්ගය (2019-2024) සහ එහි, “වර්ධනය සඳහා පෝෂණය” (N4G) නම් මුලපිරුම යන දෑ ත්; සැමට සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය සහ ප්‍රමාණවත් ආහාර සහතික කිරීමත් ආහාර ස්වාධීනත්වය නැවත ඇති කරගැනීම සඳහා ජනගහනය සක්‍රීය කිරීමත් සමඟ අනුකූල වේ. ප්‍රංශය මීළඟ N4G සමුළුව 2024 දී පවත්වනු ඇති අතර මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමේ අභිලාෂකාමී කැපවීම් සඳහා ප්‍රධාන පෝෂණ ක්‍රියාකාරීන් එක් කිරීමට බලාපොරොත්තු වේ.
මහින්දගේ ජ්‍යොතීර්වේදියාගෙන් සජිත් ගැන අනාවැකියක් !
ස්ථිර වශයෙන්ම මෙරට නව වන විධායක ජනාධිපති වරයා වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට රාජකීය ජ්‍යොතීර්වේදියා වශයෙන් ප්රකටව සිටි ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත.
ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නම් අටවන ජනාධිපතිවරයා වන්නේද සජිත් ප්‍රේමදාස බවද ඔහු පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම පත්‍රයේ ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බවත් එහි වාසනාව අනුව ඔහු මෙරට රාජ්‍ය පාලකයා වන බවත් ඔහු පවසයි.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කෙරේ !
2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය ජූලියන් බ්රාසූ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝඩ්න් හූක් සහ එහි අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ අධ්යක්ෂ ඩේවිඩ් ශැනොන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ඔවුන්ගේ මෙම සංචාරයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මුල්‍යකරණයට එරෙහි (AML/CFT) රාමුවේ ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයට තීරණාත්මක අවබෝධයක් ලබා දීමය.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) යටතේ ඇති, ඒකාබද්ධ කලාපීය අධීක්ෂණ ආයතනයක් වන ආසියානු පැසිෆික් කණ්ඩායම, මුදල් විශුද්ධිකරණය (ML), ත්‍රස්තවාදී මූල්‍යකරණය (TF) සහ අති විනාශකාරී ආයුධ ව්‍යාප්තිය පිළිබඳ මූල්‍යකරණයට (PFWMD) එරෙහිව ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දී සිය අධිකරණ බලතල මෙහෙයවීම පිළිබඳ සාමාජික රටවල්වලට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් කලාපීය වශයෙන් පිහිටුවා ඇති ආයතන නවයක් හරහා රටවල් 200ක පමණ එම අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව 2011 දී සහ 2017දී වශයෙන් අවස්ථා දෙකකදී "අළු ලැයිස්තුවට" ඇතුළත් කර ඇති අතර, යුරෝපා සංගමය ද එම අනනුකූලතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාව සඳහා වන තුන්වන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාදාමය 2025 වර්ෂයේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිත ය. එබැවින් ශ්‍රී ලංකාව විසින් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය ඉදිරිපත් කර ඇති නිර්දේශ 40 සමග තාක්ෂණික අනුකූලතාවක් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට මූල්‍ය සැපයීමට එරෙහි (AML/CFT) රාමුවේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත යුතුව ඇත.
දින තුනක් පුරා සිදු කරන ලද මෙම සංචාරය අතරතුර මෙම දූත කණ්ඩායම විසින් මෙරට ජනාධිපතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා, අගවිනිසුරු,නීතිපති සහ මහබැංකු අධිපති වැනි ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වන ලදී. එහිදී මෙරට බලධාරීන් විසින් ආර්ථික හා සමාජීය ආරක්ෂාව සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම අන්‍යෝන්‍ය ඇගයීමෙහි පවතින වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදී.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමත් සමග ඇතිවී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වළක්වා ගැනීම වෙනුවෙන් ඵලදායී ලෙස සූදානම් වීම සඳහා, ශ්‍රී ලංකාවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීමේ සූදානම ද සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාවට පවතින නිශ්චිත අවදානම් හඳුනා ගනිමින් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා මෙරට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි පද්ධතියට ඇති හැකියාව පිළිබඳව ද අවධාරණය කෙරිණි.
අධීක්ෂණ කටයුතු පුළුල් කිරීම:
ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වල ප්‍රගතියට සහාය වීමට සහ කාර්යසාධනය සඳහා ඇති ඕනෑම බාධකයක් ජය ගැනීම සඳහා ඊට අදාළ පාර්ශවකරුවන් විසින් එම සැලසුම් සහ කාර්ය සාධනයන්ගේ ප්‍රගතිය සහ මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක නිරත විය යුතුය.
නියමිත කාලය තුළ නීති සම්පාදනය කිරීම:
මෙහෙයුම්වල නිවැරදි ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මෙවලම් තිබීම සහතික කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි තීරණාත්මක නීති සහ අනපනත් සම්මත කිරීමේ කටයුතු කඩිනම් කිරීම.
සම්පත්/ප්‍රතිපාදන වෙන් කිරීම:
මෙහෙයුම් ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම පහසු කිරීම සඳහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි රාමුව ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන සඳහා අවශ්‍ය සම්පත්/ප්‍රතිපාදන වෙන් කිරීම.
නියෝජිතායතන අතර සම්බන්ධීකරණය:
සක්‍රීය නායකත්වයකින් නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධීකරණය පවත්වාගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට අනුකූලව ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් ඉලක්කගත සැලසුම් සඳහා හොඳින් සහාය දක්වන යාන්ත්‍රණයක් ගොඩනැගීම.
නඩු පවරන්නා:
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පවරන්නන්ගේ ධාරිතාව සහ ක්‍රියාකාරී මැදිහත්වීම වැඩි දියුණු කිරීම.
නීති බලාත්මක කිරීම:
නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් පනවා ඇති නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම, විශේෂයෙන් මුදල් විශුද්ධිකරණය පිළිබඳ පවතින නෛතික කෘත්‍යයන්ගේ පසුබෑම ඉවත් කිරීම සහ වත්කම් ප්‍රතිසාධනය සහ මුදල් විශුද්ධිකරණය ආශ්රිත ක්‍රියාකාරකම්වල විෂය පථයන් වැඩි කිරීම.
අධිකරණය:
මුදල් විශුද්ධිකරණය පිළිබඳ සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වන නඩු සඳහා කාලෝචිත හා ඵලදායී විනිශ්චයන් ලබාදීමෙන් නෛතික ක්රියාදාමයන්හි ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අධිකරණ පද්ධතිවල ධාරිතාව වැඩි දියුණු කිරීම.
පෞද්ගලික අංශයෙ දායකත්වය:
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි පද්ධතිවල ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ හවුල් ඉලක්කයන් ඇති කිරීම මගින් පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය ලබාගැනීම දිරිමත් කිරීම.
ජාත්‍යන්තර සහයෝගීතාවය:
කාර්යසාධනය ප්‍රදර්ශනය කිරීමේදී ඒ සඳහා අපගේ ප්‍රධාන භූමිකාව හඳුනා ගැනීම මගින් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා ඉලක්ක කිරීම. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි අත්දැකීම් බෙදා හදා ගන්නා ප්‍රධාන රටවල් සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කර ගැනීම.
මෙහි සඳහන් ප්රමුඛතාවයන් ඉතා දැඩිව අනුගමනය කිරීම මගින් ශ්‍රී ලංකාව 2025 වර්ෂයේ නියමිත සිය අන්‍යෝන්‍ය ඇගයීමේ ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට සහ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව "අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීම හේතුවෙන් ඇති වී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක අවම කිරීමට අරමුණු කරගෙන සිටියි.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණට එරෙහි (AML/CFT) රාමුවෙහි පවතින අඩු පාඩු මඟහරවා ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවී සිටින බව ද මෙම සංචාරයේදී අවධාරණය කෙරිණි.
ඉන්දීය යුද නැවක් ත්‍රි'මලේ වරායට !
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරාය වෙත ළඟාවිය.
මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Diving Support Vessel වර්ගයට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව, දිගින් මීටර් හැත්තෑවයි දශම පහක් (70.5) හා නැව් මුළුව එකසීය තිස්හතක (137) ගෙන් සමත්විතය.
නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජීතු සිං චවුහාන් (Cdr Jeetu Singh Chauhan) සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද උදෑසන (2023 සැප්තැම්බර් 14) එම විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ කිමිදුම් පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද නියමිතව ඇත.
එමෙන්ම, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
‘INS Nireekshak’ නෞකාව 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
IMF ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව පැවැත්වෙයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අද සිට සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන සැප්තැම්බර් 26 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහභාගී වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer), නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්යා ස්වරිසෙන්කා (Katya Svirydzenka), මයික් ලී (Mike Li), සොෆියා ෂෑන්ග් (Sophia Zhang), ඩිමිත්රි රෝස්කෝව් (Dmitriy Rozhkov), නෝඩා සෙලීම් (Noda Selim), සන්දේශ් දුන්ගානා (Sandesh Dhungana), නුයි මියාඕ (Nui Miao), ජෝයි ටර්කෙවිට්ස් (Joei Turkewitz), නුඔන්ග් ලැන් වූ (Nuong Lan Vu) යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර මාර්ක් ඇඩම්ස් Mark Adams මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක් විය.
මුතුහෙට්ටි ඇතුළේ !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වාර්තා වන ආකාරයට නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු මන්ත්‍රීවරයා රක්ෂික බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
ඉන්දියානු සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම එළිදැක්වේ !
කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.
ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් බව පෙන්වා දුන් සාගල රත්නායක රටක් ලෙස ස්ථාවර සහ විශ්වසනීය ප්‍රතිරූපයක් පවත්වා ගැනීම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගැනිමට ඉවහල් වන බව ද සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කර සිටියේ ‘මෑතකාලීන ඉහළ පෙළේ සංචාරයන් සහා ඉන්දියාන් සාගරයේ දර්ශනය’ යන මැයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී ඩිජිටල් මූල්‍යකරණය සහ බලශක්ති සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සාගල රත්නායක එහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු කථානායක කරු ජයසූරිය සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.
ආසියානු කලාපයේ අනාගතය හැඩගැස්වීමේදී උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේ ද පැවසීය.
ඉන්දියන් සාගර කලාපයේ එකමුතුකම වෙනුවෙන් සූදානම් වන ශක්තිමත් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් ඉන්දියානු සාගරය සමුද්‍රීය වෙළෙඳ මාර්ගයක සිට ගෝලීය සම්බන්ධතාවයක් දක්වා විශාල පරිවර්තනයක් සිදු කළ හැකියි. එක් එක් රාජ්‍යයන්ගේ ජාතික අවශ්‍යතා ජාත්‍යන්තර පද්ධතියට සැලකිය යුතු ලෙස බලපෑමක් සිදු කරනවා.
කොවිඩ්-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව දැන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවති. ඒ වගේම ශක්තිමත් ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාව අද්විතීය ස්ථානයකට ඔසවා තැබිය හැකියි. ඒ අනුව ඉන්දියානු සාගර කලාපය තුළ සාමය සහ සහජීවනය වර්ධනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කිරීමට අපට පැවරී තිබෙනවා.
කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව, මුහුද පතුලේ ඇති අන්තර්ජාල රැහැන් ආරක්ෂා කිරීම, නීතිවිරෝධී මසුන් ඇල්ලීම, මිනිස් ජාවාරමට විසඳුම් සෙවීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම මෙන්ම ආපදා සහන සේවා සැපයීම මගින් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිවලට අයත් වෙනවා.
ඒ වගේම මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා ස්ථාවරත්වය සහ වර්ධනයක් අත්කර ගැනීම ඉතා වැදගත් වනවා.
ජාත්‍යන්තරයේ සහයෝගීතාව ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සහ ආර්ථික ස්ථාවරත්ව ඉතා වැදගත් වනවා. ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. එය ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ උත්සාහයන්ගේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලයේ ආරම්භක අදියරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් සහතික කිරීම සහ සහය ඉල්ලා සිටියා. ඉන්දියාව, චීනය හා පැරිස් සමාජය එක්ව ඒ සම්බන්ධව සහය ලබාදුන්නා. ඔවුන්ගේ මෙම සහය ණය ප්රශස්සතකරණයේ ඉදිරි කටයුතු සඳහා ද අපේක්ෂා කරනවා.
ඒ වගේම ගුවන්, මුහුද, ගොඩබිම් මාර්ග, භාණ්ඩ ප්‍රවාහනය, බලශක්ති සුරක්ෂිතතාව සහ විදුලිබල සම්බන්ධතා සංවර්ධනය ඇතුළු විවිධ ආකාරවලින් සම්බන්ධතාවයන් තවදුරටත් තහවුරු කර ගැනීම අවශ්‍යයි. ශ්‍රී ලංකාව සිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ජපානය වැනි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ප්‍රංශය සිදු කළ කාර්යභාරය ද අවධානයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාසලක් පිහිටුවීම සිදු කළ යුතුයි. මීට අමතරව, ආර්ථික වර්ධනයේදී සහ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේදී වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ඉතා වැදගත් බව කිවයුතුයි.
ඉන්දියන් සාගරයේ ප්‍රධාන තරඟකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරියට ගෙන යාමේදී පෞද්ගලික අංශයේ සතු කාර්යභාරය සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අසල්වැසි රටවල් සමඟ ද සම්බන්ධ වූ විදුලිබල ජාලයක් සහ ඉන්ධන නල මාර්ග පද්ධතියක් ඉදිකිරීම දක්වා වැඩි දියුණු කරන ලද සම්බන්ධතාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි රටවල බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී වැඩි නම්‍යශීලී බවක් සහ විශ්වසනීයත්වයක් ලබා දීම මෙම ප්රවේශයේ අරමුණ වනවා.
තවද, අධිතාක්ෂණික කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදන ආශ්රිත පශු සම්පත් ක්ෂේත්රයේ දියුණුව, ආහාර සුරක්ෂිතතාවය සඳහා ද ප්රමුඛත්වයක් ලබාදිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම සහ ආනයන මත යැපීම අවම කිරීම මෙම මුලපිරීම්වල අරමුණ වෙනවා.
මෙම ආර්ථික පැතිකඩවලට අමතරව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉන්දියාවේ කාර්ය භාරයේ වැදගත්කම හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනයට ප්රමුඛකත්වයක් ලබා දී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය අනුව, පුහුණු ශ්‍රම බලකායක් බිහි කිරීම වෙනුවෙන් ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමඟ ද හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස චීනයේ සිදු කළ සාර්ථක සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ අතර, නුදුරේදීම තුන්වන වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
චීන - ශ්‍රී ලංකා සබඳතා ගත් විට, චීන ආයෝජන දෙකකින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්රතිලාභ ලැබී තිබෙනවා. මින් එකක් වන්නේ වරාය නගර ව්‍යාපෘතියයි, වරින් වර මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වූව ද එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නව නීති රාමු සකස් කිරීමට අදාළ උපදේශන සේවා ලබගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට කටයුතු සිදු කිරීම ඉදිරියේදී ආයෝජකයින්ගේ විශේෂ ආකර්ෂණය සඳහා හේතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ වැඩිදුර ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ආයෝජන කලාපය සංවර්ධනය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් හම්බන්තොට වරාය සඳහා ප්‍රමාණවත් නාවික ගමනාගමනයක් නොමැතිවීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙම ගැටළු කඩිනමින් විසඳීම හරහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය, අපනයන කර්මාන්ත ආරම්භ කිරීම සහ රටට ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.
ජපානයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර සිදු කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය පළ කරමින් දේශගුණික විපර්යාස සහ අධ්‍යාපනය යන ක්ෂේත්රයන්ට අදාළව සහයෝගයෙන් කටයුතු කිරිමට අවධානය යොමු කළා.
එම කටයුතුවලදී පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීම පිළිබඳව ද අවධානයට ලක් වුණා. ව්‍යාපාර සඳහා වඩා හිතකාමී පරිසරයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීමට දායකවීමට ජපාන ආයෝජකයන්ගේ දායකත්වය ලබා ගැනීමට ද මෙහිදී අවධානය යොමු වුණා.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Bagley), ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong), ප්‍රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැක්ටෙට් (Jean-Francois Pactet) සහ ජපානයේ තානාපති හිදෙයාකි මිසුකොෂි (Hideaki Mizukoshi) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.
ජනපති සැප්තැම්බර් 21 වන දා ජගත් සමුළුව අමතයි !
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිතය.
එසේම ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට ද නියමිතය.
මීට සමගාමීව වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් සඳහා ගෝලීය සාමූහික කැමැත්ත ප්‍රදර්ශනය කිරීමේ වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් අපේක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති “දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමතීමට නියමිතව තිබේ.
සංවර්ධනය සඳහා වන මූල්‍යකරණය පිළිබඳ ‘ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම’ යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ඇත.
සිය නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා සහ අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ව්‍යාපාර සමාගම් 40ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සඳහා පවතින ආර්ථික අවස්ථා පිළිබඳ වට මේස සාකච්ඡාවක් සඳහා ද සහභාගීවීමට ද නියමිතව ඇත.
එසේම සමුද්‍රීය ජාතීන් සඳහා වන තුන්වන ආසියනු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයේ ප්‍රධාන දේශනය පැවැත්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ඇත.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත ය.
ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සූත්‍රයක් !
ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සකසන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ බව උපුටා දක්වමින් සිය ට්වීටර් ගිණුමේ සටහනක් තැබීමටද අමාත්‍යවරයා කටයුතු කර ඇත.
අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සාකච්ඡා කර ඇත.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
නාමල්ගේ ඉල්ලීම ගැන අධිකරණයෙන් ප්‍රකාශයක් !
ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොර ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (12) ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට මෙම චෝදනාව එල්ල වී ඇත.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබිණි.
දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන්ට අවවාදාත්මක නිවේදනයක් !
වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරත වී සිටිති.
මේ අතර, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (12) ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ඩර්ඩන්ස් රෝහලේ කටයුතු ජනපතිගේ ඇගයීමට !
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස ඩර්ඩන්ස් රෝහලේ සැබෑ ජයග්‍රහණය පවතින්නේ එය රෝහලක් නිසා පමණක්ම නොව සමස්ත ආයතනයක් ලෙස ඔවුන් රටට ගෙනෙන අභිමානය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලෝකයේ තාක්ෂණික දියුණුව සමඟ ඉදිරියට යන ලෙස ඩර්ඩන්ස් රෝහලෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්ෂණික ක්රමයන්ට ශ්‍රී ලංකාව ළඟා වීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. නවෝත්පාදන හා තාක්ෂණික අභියෝගවලට මුහුණ දීමට හැකි වන සේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය කේන්ද්‍ර කරගත් තාක්ෂණික විශ්වවිද්‍යාල පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (12) කොළඹ ඩර්ඩන්ස් රෝහලේ "ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්" නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ඩර්ඩන්ස් රෝහලේ ඉතිහාසය සහ ගමන් මග පිළිබඳ රචිත " Journey of Care " කෘතිය (Coffee Table Book) එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
ඩර්ඩන්ස් රෝහල ඉදිකිරීම් ක්ෂේත්රයට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිට සෞඛ්‍ය සේවයට සංක්‍රමණය වීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග හමුවේ, එවැනි පරිවර්තනයක් මගින් සමස්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතියම නවීකරණයට ලක් කළ හැකි බව පෙන්වා දීම සම්බන්ධයෙන් ද ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසාව පළ කළේය. අති නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්රයට හදුන්වාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
පෞද්ගලික රෝහල්වලට සමාන්තරව රජයේ රෝහල්වල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා පිරිවැය ඉතිරි කිරීමේ මුලපිරීම් මගින් සෞඛ්‍ය සේවා පද්ධතියට නැවත ආයෝජනයන් සිදු කිරිම සම්බන්ධයෙන් ඩර්ඩන්ස් රෝහලට ප්‍රශංසා කළේය. ඉදිරි වසර කිහිපය තුළ රජයේ රෝහල්වල කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීමට කැපවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
නවීන තාක්ෂණයත් සමග ශීඝ්‍රයෙන් වෙනස්වීම්වලට භාජනය වන වෛද්‍ය ක්ෂේත්රය පිළිබඳව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ක්ෂේත්රයේ නිරන්තරයෙන් සිදුවන නව සොයාගැනීම් හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදු විය යුතු යාවත්කාලීන කිරීම් සඳහා ආයෝජන අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.
පසුගිය දශකයේ සෞඛ්‍ය ක්ෂේත්රය අත් කර ගෙන ඇති ප්‍රගතිය පෙර පරම්පරාවල දක්නට ලැබුණු ප්‍රගතිය අභිබවා ගොස් ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ ඇතුළු රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් ආදර්ශය අන් අය ද අනුගමනය කරනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ සිය විශ්වාසය පළ කළ අතර මෙම විශිෂ්ඨ ආයතනය ගොඩනැගීමට දායක වූ සමස්ත රෝහල් කණ්ඩායමට ස්තුතිය පළ කර සිටියේය.
"ඇල්ෆ්‍රඩ් හවුස් වින්ග්" නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තුඩාවේ මහතා විසින් "Journey of Care" කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු කථානායක කරු ජයසූරිය , ඩර්ඩන්ස් රෝහලේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ආදළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.
“G77 කණ්ඩායම සහ චීනය” රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවේ නිල සංචාරක නිරත වන අතර ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ සංචාරයකට ද එක් වෙයි.
Page 133 of 440