පුවත්
රීඩ් මාවතේ සියවස් සැමරුමේ සමරු මුද්දරය සාගලට
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කෙරිණි.
එම සියවස් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් සාගල රත්නායක වෙත පිළිගැන්වීය.
රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන The Royal Philatelist කෘතිය මුද්දර සංගමයේ සභාපති සනුක වනසිංහ සහ ලේකම් දේවීන් බාලසූරිය යන සිසුන් විසින් සාගල රත්නායක වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, මුද්දර සංගමය භාර ආචාරිනී චමිලා බස්නායක යන මහත්ම මහත්මීන්, රාජකීය විද්‍යාලයේ උප විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මුද්දර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්
තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.
එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.
සනත් නිශාන්ත කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche පවසයි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අඛණ්ඩවම ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche ප්‍රකාශ කළේය.
අද (23) පෙරවරුවේ ඒ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි ඉළක්ක පිළිබඳව සාකච්ඡා කළේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් විශාල සහයෝගයක් ලබා දුන් බව සඳහන් කළේය.
මෙම ආධාර නිසා ගොවි ජනතාවට විශාල පහසුවක් වූ බවත් ඒ සම්බන්දව කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානයට මෙන්ම ඊට අනුබද්ධ ආයතනවලට රජය වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා තම සංවිධානයේ මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
විශේෂයෙන් කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.
ක්‍රිකට් නඩුව හෙටට කල්යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (24) දිනට කල්තැබුණි.
මෙම පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට කැඳවනු ලැබූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක කරුණු ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම හෙට දින තෙක් කල් තැබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ලන්සාගෙන් විපක්ෂයට බර අවි ප්‍රහාරයක් !
මෙරටට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලෝකයම උදව් කරද්දී විපක්ෂය රට වට්ටන්න කටයුතු කළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මෙසේද සඳහන් කළේය .
වෙනදා ඉදිරිපත් කරන අයවැය ලේඛණයක් විදියට මෙවර අයවැය ලේඛණය අපිට ඕන ඕන විදියට හදන්න බැහැ. රට පසුගිය අවුරුද්දේ බංකොලොත් වුනාම අවුරුදු 4 කට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹූනා. ඒ මේ ආර්ථිකය ගොඩනැගීමට යම් වැඩසටහනක් වෙනුවෙන්. ඒ අනුව තමා අපිට අයවැය ලේඛණය හදන්න වෙලා තියෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යෝජනා කර තිබෙන්නේ අපේ ආදයම් වලින් වියදම් පියවගන්න කියාලා. ඒ නිසා මුදල් අච්චු ගහන්න බැහැ. ණය ගන්න සීමාවක් තියෙනවා. ඊට පරිභාහිරව බැහැ. ඒ නිසා යම් වැඩසටහනක් තුළ තමා මේ අයවැය ලේඛණය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. යම් ආර්ථික සංඛ්‍යාලේඛණ පදනම් කරගෙන, ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් මත දේශපාලන කෝණයෙන් තොරව, දේශපාලන ජන්ද පොරොන්දු නැතිව රටක් විදියට ගන්න ඕන තීරණ පසුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අරන් තියෙනවා.
විපක්ෂය මොන මති මතාන්තර කීවත් ගිය අවුරුද්දයි මේ අවුරුද්දෙයි ආර්ථික සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දි විශාල පිම්මක් අපිට ඉදිරියට එන්න පුලුවන් වෙලා තියෙනවා. විපක්ෂයේ කවුරුත් මේ ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන කතා කළේ නැහැ. ඒ අය යම් සිල්ලර දේවල් ගැන කතා කළා. පසුගිය අයවැයත්, මේ අයවැයත් බලාපොරොත්තුවුණු ආර්ථික සංඛ්‍යාලේඛණ වර්ධනය කරගන්න පුලුවන් කමක් ලැබිලා තියෙනවා. මීට අවුරුදු එක හමාරකට ඉස්සෙල්ලා මේ රටේ තිබුණු තත්ත්වය ගැන කල්පනා කරලා බලන්න. ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා, මුළු රටම ගිනිගෙන තිබුණා. මිනිස්සු තැනින් තැන මැරිලා වැටුණා. මිහිපිට අපායක් වගේ තිබුනේ. රට සම්පූර්ණයෙන් අරාජික වෙලා පාන් කියාගන්න බැරිව හිටියේ. මේ දේවල් අමතක කරන්න හොඳ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජියා කිව්වා ශ්‍රී ලංකාවේ තත්ත්වය දැක්කම හදවත පිච්චෙනවා කියලා. මහ බැංකු අධිපතිතුමා කීවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් හැදුවේ නැතිනම් සති දෙක තුනක් බලලා යනවා කියවලා කිව්වා. එදා රටේ තිබුණු තත්ත්වය මේකයි.
සමාජය විශාල පීඩනයකට ලක්වෙලා හිටියා. විශාල පීඩනයකට රට පත්වෙලා තිබුණා. අවුරුදු එක හමාරක් යනකොට රට තිබුණු තත්ත්වය අමතක වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේ රටේ අගමැතිකම භාර ගන්නකොට රුපියල් තිබුනෙ නැහැ. ඩොලර් තිබුනේ නැහැ. බෙහෙත් තිබුනේ නැහැ. පොහොර තිබුනේ නැහැ. කර්මාන්ත ශාලා කඩාගෙන වැටිලා, සෞඛ්‍ය කඩා වැටිලා, ප්‍රවාහනය නැවතිලා, නගර හිස්වෙලා, කඩසාප්පුවල රාක්ක හිස්වෙලා එවැනි තත්ත්වකයි රට තිබුනේ.
වැටිච්ච රට තව වට්ටන්න විපක්ෂය උද්ඝෝෂණය කළා, හර්තාල් කලා, වැඩවර්ජන කලා රට පල්ලයහට දාන්න විශාල වැඩ කොටසක් කළා. රට උඩට ගන්න වැඩ කළේ නැහැ. රට වැටෙද්දි තව තව වට්ටන්න, කාලකන්නි සතුටක් විපක්ෂය අරගත්තා.
පාසල් වහලා, රාජ්‍ය සේවය සීමා කරලා, සංචිත නැහැ, නැව් වරායේ සල්ලි ගෙවාගන්න බැරිව දවස් ගණන් තිබුනා. ණයවර ලිපි පිළිගන්නේ නැහැ, විදේශ ණය ගෙවීම අත්හිටුවලා රට බංකොලොත් වෙලා තිබුණා. රටේ විශාල සාගතයක් එනවා, පැය 24 ක් විදුලිය කපන්න වෙයි කියලා විපක්ෂය මතයක් ගෙනිච්චා. මේ අවස්ථාවේ බලය ගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට ආරාධනා කළා. අද කයිවාරු ගහන විපක්ෂය භාර ගන්නේ නැතිව පැනලා ගියා. තැන් තැන්වල සම්මන්ත්‍රණ තියලා වැටිලා තියෙන ආර්ථිකය ගොඩගන්න බැහැ කියලා කිව්වා. අද ආර්ථිකය ගැන කතා කරන විශේෂඥයෝ එදා විපක්ෂයට පාඩම් ඉගැන්නුවා මේක භාර ගන්න එපා කියලා.
එවැනි අවස්ථාවක තමා ගරු ජනාධිපතිතුමා මේක භාර ගත්තේ. භාර අරගෙන විශාල තැනකට අද ගෙනල්ලා තියෙනවා. ඉන්දියාව විශාල සහයෝගයක් ලබා දුන්නා. බිලියන 4 ක් විතර ලබා දුන්නා. බෙහෙත්, තෙල්, ආහාර ලබා දුන්නා. විශේෂයෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ උදව් ලබාගන්න රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විශාල කාර්යභාරයක් කළා. මහබැංකු අධිපතිතුමා, භාණ්ඩාගාර ලේකම්තුමා, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විශාල වැඩකොටසක් සිදු කළා. ඇමරිකාව, චීනය, ජපානය අපිට උදව් කළා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව අපිට උදව් කළා. තෙල්, පොහොර, බෙහෙත්, ආහාර ටික ලබා ගන්න ජනාධිපතිතුමාට විශාල වැඩකොටසක් කරන්න සිදුවුනා. රට යම් මට්ටමකට රැගෙන ඒමට උදව් කළ සියලු දෙනා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.
රට වැටිලා නන්නත්තාර වෙලා තියෙද්දි, කන්න නැතිව, තෙල් ටික නැතිව, බෙහෙත් ටික නැතිව තියෙද්දි මුළු ලෝකයම අපට උදව් කළා. හැබැයි අපේ විපක්ෂය මොකක්ද කළේ රටපුරා හර්තාල්, උද්ඝෝෂණ, වැඩවර්ජන දියත් කළා. දේශපාලන වාසි ගන්න. ලෝකයේ මිනිස්සු එහෙම කළේ නැහැ. ඉන්දියාව එහෙම කළේ නැහැ. ඉන්දියානු ජනතාව එහෙම කළේ නැහැ. තමිල්නාඩු ජනතාව තමන්ගේ දේවල් අපට පරිත්‍යාග කළා. එහෙම තත්ත්වයක මේ රට තිබුනේ. ටික කාලයක් යනකොට මේ දේවල් අමතක වෙලා තියෙනවා.
හැමදාම පෙළපාලි, හර්තාල්, වැඩවර්ජන. අද ඒවා නැහැ. රට යම් තැනකට ඇවිල්ලා තියෙනවා. විපක්ෂය එදා මොනවද කිව්වේ. ප්‍රේෂණ එවන්න එපා, සංචාරකයින්ට මේ රටට එන්න එපා කිව්වා. ආයෝජකයින්ට මේ රටට එන්න එපා කිව්වා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා. මේ රට ගිනි තිබ්බා. මේ දේවල් අමතක වෙලා. මේවා මතක් කරලා දෙන්න ඕනේ. විපක්ෂය උත්සාහ කළේ මේ රට කබලෙන් ලිපට වට්ටන්න. මොන බාධක තිබුනත් ජනාධිපතිතුමා ඒ බාධක සියල්ල පසු කරලා ජනතාවගේ වාසනාවට රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. එහෙම අවස්ථාවක මෙවර අයවැය ලේඛණය ඉදිරිපත් කරලා තියෙනවා.
ජනාධිපතිතුමා භාර ගත්ත්ට පස්සේ එදා තිබුණු තත්ත්වයට වඩා අද තත්ත්වය හොඳ වෙලා නැද්ද?. එදා ඩොලර් මිලියන 24 යි තිබුනේ. අද ඩොලර් බිලියන 3.5 ට සංචිත වැඩිවෙලා. බැංකු පොලිය සියයට 36 ට ගිහිල්ලා අද සියයට 14 ට අඩුවෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. උද්දමනය සියයට 90 ට විතර ගියා. අද ආසියාවේ අඩුම උද්ධමන වේගය තියෙන රට බවට පත්වෙලා තියෙනවා. ආනයන සීමා ඉවත් කරලා තියෙනවා. එදා පෝලිම් තිබුනා. අද පෝලිම් නැහැ. පොහොර මිටිය රුපියල් 42,000 ට ගියා. අද රුපියල් 9,000 ට පොහොර ගන්න තියෙනවා. කලුකඩේ පෙට්‍රල් රුපියල් 4,000 ට ගියා. අද පෙට්‍රල්, ඩීසල් තියෙනවා. මේ දේවල් අමතක කරන්න හොද නැහැ.
ණයවර ලිපි පිළිගන්නවා. අද දේශීය ආදායම වැඩිවෙලා තියෙනවා. ඩොලර් ආදායම වැඩිවෙලා, ප්‍රේෂණ වැඩිවෙලා, සංචාරක ආදායම වැඩිවෙලා තියෙනවා. මේ දේවල් කවුරුත් කතා කරන්නේ නැහැ. ආර්ථිකය ගැන කතා කරනවන්ම් සංඛ්‍යාලේඛණ වලට මුල්තැන දෙන්න ඕනේ. මොනවද විපක්ෂය කියන්නේ සමහර පොරොන්දු ඉටු කළේ නැහැලු. රටක වැදගත්ම දේ ආර්ථික සංඛ්‍යාලේඛණ. විශාල ප්‍රගතියක් අත්කරගෙන එනකොට විපක්ෂය ඒකට ඉඩ දෙන්නේ නැහැ. රට ඉන්න අයට කිව්වා සල්ලි එවන්න එපා දේශපාලඥයින් හොරා කනවා කියලා. අම්මට, තාත්තට එවන සල්ලි කොහොමද හොරා කන්නේ.
අස්වැසුම, රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැඩි කරලා තියෙනවා. අද විශාල පිම්මක් රට ඉදිරියට ඇවිත් තියෙනවා. මේ අයවැය ලේඛණයෙන් ලබන වසරේ තවත් ඉදිරියට යන්න පුළුවන් කියලා පූරෝකථනය කරලා තියෙනවා. ආර්ථික වර්ධනයකට යනවා කියලා පූරෝකථනය කරලා තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්.
මොනවද විපක්ෂය අයවැය ගැන කියන්නේ. එරාන් මන්ත්‍රීතුමා කියනවා මේක ඩිස්නිලන්තයකට යනවා කියලා. හර්ෂ ද සිල්වා මේක ඔක්සිමෝවරුන්ගේ අයවැයක්ලු. හරිනි මන්ත්‍රීතුමිය මේක විප්ලවීය අයවැයක් නෙමේ සුරංගනා අයවැයක් කියලා කියනවා. සජිත් මැතිතුමා ගිය අවුරුද්දේ වැඩ කරලා නැහැ කියලා කියනවා. විපක්ෂය මොකද කරන්නේ. දේශපාලනය වෙනුවෙන් මිත්‍යාව පැළ කරනවා. සත්‍ය වෙනුවට බොරුව වපුරනවා. කුහකත්වය වපුරනවා, වෛරය වපුරනවා. ආර්ථිකය මනින මිණුම්දඩු තමා සංඛ්‍යාලේඛණ. ලෝකමය පිළිගන්න දේ. හැබැයි විපක්ෂය ඒ ගැන කතා කරන්නේ නැහැ.
සංචිත වැඩිවුනාම ආර්ථිකය හොඳ තත්ත්වයකට පත්වෙනවා. විපක්ෂයේ විශාල පිරිසක් කියන්නේ විදුලි බිල, බඩු මිල දරාගන්න බැහැ කියලා. ඒ සියලු දේ පිළිගන්නවා. ආණ්ඩුවක් විදියට කැමතියි ඒ සියලු දේ අඩු කරන්න. රටේ තියෙන ආදායම මදි වියදම සපුරගන්න. රජයේ වැටුප්, විශ්‍රාම වැටුප්, බෙහෙත් ටික දීලා පුනරාවර්තන වියදම් සපුරගන්න ආදායම මදි. විපක්ෂය ආදායම වැඩි කරගන්න ක්‍රමය හරි, වියදම අඩුකරගන්න ක්‍රමය හරි කියන්න ඕනේ. මේ එකක්වත් කියන්නේ නැහැ. ආදායම වැඩි කරන ක්‍රමය කියන්නෙත් නැහැ. වියදම අඩුකරන ක්‍රමය කියන්නෙත් නැහැ. ලෝක වෙළෙදපොලේ තෙල් මිල වැඩි කරද්දි අපිට තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?. ලෝකයේ මිල වැඩිවෙද්දි මෙහෙ අඩු කරන්න පුලුවන් ක්‍රමවේදය විපක්ෂයේ කවුරුහරි කියන්න ඕනේ. මේ යථාර්ථය, ඇත්ත ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනේ.
දේශපාලඥයින් බොරු කියලා, රවට්ටලා බලය ගත්තට කරන් යන්න බැහැ. මාස තුනයි මාස හයයි කරන්න පුලුවන්. මුදල් ගස් වලින් කඩන්නත් බැහැ. අහසින් වැටෙන්නෙත් නැහැ. අපේ ආදායම වැඩි කරන ක්‍රමය කියන්න ඕනේ. අපනයන වැඩි කරන්න ඕනේ, සංචාරකයෝ ගේන්න ඕනේ. ප්‍රේෂණ ගෙන්නගන්න ඕනේ. කර්මාන්ත ශාලාවලට පහසුකම් දෙන්න ඕනේ. තාක්ෂණය දෙන්න ඕනේ. මේ සියල්ල මේ වෙනකොට කරගෙන යනවා. විශාල වැඩපිළිවෙළක් සිදුකරමින් පවතිනවා.
විපක්ෂයට කිසි වැඩපිළිවෙලක් නැහැ. කිසිම විකල්පයකුත් නැහැ. ආණ්ඩුව සමහර දේවල් කරන්නේ අකමැත්තෙන්. බදු වැඩිකරන්නේ. විදුලිය වැඩි කරන්නේ. එහෙම නැතිවුනොත් මොකද වෙන්නේ. ආදායම අඩුවෙනවා. රුපියල් අඩුවෙනවා. තෙල් ගේන්න සල්ලි නැතිවෙනවා. කර්මාන්ත ශාලා වැටෙනවා. ප්‍රවාහනය වැටෙනවා. සියලු ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. කොහොම හරි තෙල් ටික ගලපලා මේ දේවල් දුවන එක හොද නැද්ද ?. ඒ දේ තමා ආණ්ඩුවක් විදියට කරගෙන යන්නේ.
විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ව්‍යාපෘතියක් ආවාම විරුද්ධ වෙනවා. උමා ඔය, දක්ෂිණ අධිවේගී මාර්ගය, වරාය ව්‍යාපෘතිය මේ හැමදේටම විරුද්ධ වුනා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක්, ජාත්‍යන්තර පාසලක් ආවම විරුද්ධ වෙනවා. හැබැයි පිටරට ගිහින් ආයෝජනයට එන්න කියලා කියනවා. නිව් ප්‍රෝට්‍රස් විරුද්ධ වුනා, සාම්පූර් විරුද්ධ වුනා. හැබැයි පන්දම් අරන් යනවා විදුලි බිල අඩුකරන්න කියලා. විදුලි බිල අඩුකරන්න ව්‍යාපෘති ගේනකොට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා .
ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට : අධ්‍යාපන ඇමති සුපිරිම තීන්දුවක !
ලිංගික අධ්‍යාපනය පාසල්වලට හඳුන්වාදීම නුසුදුසු බවට ඇතැම් පිරිස් තර්ක කළත්, එය පාසල් විෂයමාලාවට වඩාත් යෝග්‍ය වන අන්දමින් ඇතුළත් කිරීම සිදුකළ යුත්තක් බවත් ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ඒ වෙනුවෙන් අවධානය යොමුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නොවැම්බර් මස 19 වන දිනට යෙදී තිබුණු ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමිනි.
දිනෙන් දින වැඩි වෙමින් පවතින සමාජ, ආර්ථික ප්‍රශ්න හමුවේ වත්මන් සමාජය සිටින්නේ නොනවතින තරගයක බවත්, තරගයක ස්වභාවය ජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් වෙහෙසීම වන නිසා අපට හමුවන්නේ මානසික පීඩනය සහ ආතතියට ලක්වූ පරපුරක් බවත්, මේ නිසා ඉදිරි පුහුණු වැඩසටහන්වල දී මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මෙරට ප්‍රාදේශීය මට්ටමින් මතුවන සමාජ ගැටළු හඳුනාගන්නටත් ඒවාට විසඳුම් ලබාදීම වෙනුවෙන් පියවර ගන්නටත් බිම් මට්ටමේ නිලධාරීන් රැසක් සිටින බවත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කත්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු 25කත් මාසික ව සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වෙන බවත් ඒ හරහා මෙම ගැටළු වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා බොහෝ දරුවන්ට සිදුවන අසාධාරණ, අපයෝජන, සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් ඇතුළු ගැටළුවලට පවුල් සංස්ථාව තුළ පවත්නා ප්‍රශ්න බවත්, දරුවන් හුදකලාවීම, මව්පිය ආරවුල්, දරුවන්ට අවධානයක් නොමැතිකම සහ නූගත්කම වැනි හේතු බලපා ඇති බවත් මේ සම්බන්ධ වැඩිදුරටත් සමීක්ෂණ සිදුකරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් සඳහන් කළේ ය.
ක්‍රිකට් තහනම නිසා ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා !
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.
19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදුවෙන බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පැවසූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගීවිය හැකි නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි බවද සඳහන් කළේය .
ඒ අනුව LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ද හැකියාව ඇති බවත් ඔහු පැවසීය .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය !
ශ්‍රී ලංකාවට ලබාදී ඇති චීන ණය සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමග ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පවසයි .
නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.
මේ අතර ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට අනුමත කළ IMF ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කළ පළමු සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබන මස 6 වැනිදා වන විට ලැබෙනු ඇති බවය.
ජනපති වැය ශීර්ෂය වැඩි ජන්ද 59කින් සම්මතයි !
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) වැඩි ඡන්ද 59කින් සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණක් වූ අතර ඒ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා එසේ විරුද්ධව ජන්දය ලබාදී තිබිණ .
එහිදී ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය.
ඒ හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමිනි .
ජන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටියේ නැත.
ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණ.
සීනි බදු වංචාව ගැන සාධාරණ සමාජයෙන් නිවේදනයක් !
සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.
'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත් බව පවසන සුනිල් ජයසේකර, ඒ ගැන තම සංවිධානය සතුටු වන බවද කියා සිටියි.
එහෙත් ඒ වන විටත් ගබඩා පර්යන්ත තුළ තිබු විශාල සීනි තොග පිට වී ඇති බවට තම සංවිධානයට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව එම නිවේදනයේ සන්ධාන වේ.
එමෙන් ම පසුව තීරණය වෙනස් කල ද මුලින් ගනු ලැබු තීරණය මඟින් මහජනතාවට දරන්නට සිදු වූ පීඩාවන් සැළකීමේදී ඒ පිළිබඳව තම සංවිධානය බලවත් ලෙස කණගාටු වන බවද සුනිල් ජයසේකර සිය නිවේදනය මගින් කියා සිටියි.
මෙයට පෙර අවස්ථාවක දී එක්වරම සීනි බදු අවම කිරීමට ගන්නා ලද තීරණය හේතුවෙන් රුපියල් බිලියන 16ක් පමණ වූ දැවැන්ත වංචාවක් සිදු වී ඇති ආකාරය පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා දෙකකදී හා විගණකාධිපති වාර්තාව මඟින් ද පැහැදිලිවම හෙළිදරව් වී ඇති පවසන සුනිල් ජයසේකර, එහෙත් ඒ ගැන මේ දක්වාම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කියා සිටියි.
එයට අමතරව සීනි, පිටි හා එවැනි අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනයේදී ද විශාල වංචා සිදුව ඇති බව මේ වන විට ඉතා පැහැදිලි බවද සුනිල් ජයසේකර පවසයි.
''මෙවැනි අයථා සිදුවීම්වලට එරෙහිව පසුගිය කාලය පුරාම අප බලවත් හඬක් නගනු ලැබූවේ ඉතාමත් සත්භාවයෙනි. එමෙන් ම අප තවදුරටත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් කිසි දිනෙක සිදු නොවීමට සියළුම බලධාරීන්ගේ වගකිම වන බවය. එමෙන් ම එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට නම් මෑත භාගයේදී එවැනි වංචාවන්ට හවුල් වී ඇති සියළුම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඩුවම් දීම අනිවාර්ය වන බවද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.'' යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මහගමසේකරයන් ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන් ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු විය.
කවියෙකු පමණක් නොව ගේයපද රචකයෙකු නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, ළමාකතා රචකයෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, කංචුක නිර්මාණ ශිල්පියෙකු, තිර රචකයෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද මහගමසේකරයන් ප්‍රසිද්ධියක් ඉසිලීය.
පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කර ඇත.
ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයක ම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහප්‍රාප්ත වූවාය.
අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මිය ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා පෙරවරු 10.00ට තැන්පත් කරන බව වාර්තා වේ.
අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව සඳහන්ය.
'පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟන්නට නොවේ' - ජනාධිපති
පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඊයේ (21) දින පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත වීම ගැන සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවය.
එමෙන්ම මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ද කියා සිටියේය.
ඉන් අනතුරුව 2024 වසරේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
රාජ්‍ය ඇමතිට පාර්ලිමේන්තු තහනමක්
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.
ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්තට චෝදනා එල්ල විය.
යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ලංකාවෙන් ගලවලා !
ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (21) පස්වරුවේ තීරණය කර ඇත.
අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාව ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතුයි - ජනාධිපති
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ අද (21) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී ආරම්භ වූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමඟ එක්ව මෙය සංවිධානය කර තිබිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.
මෙම මාර්ග සිතියම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) සහ ග්‍රීන්ස්ටැට් හයිඩ්‍රජන් ඉන්දියා සමාගම අතර සිදුකරන ලද සහයෝගීතා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ මාවත සකස් කිරීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ.
2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධිත රටවල් විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කණගාටුව පළ කළ ජනාධිපතිවරයා මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව ද පෙන්වා දුන්නේය.
ඒ අනුව වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිතව දේශගුණික විපර්යාස සඳහා කඩිනමින් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී (COP28) ප්‍රදර්ශනය කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
වඩාත් කාර්මිකරණය වූ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පරිසර දූෂණ මට්ටම අඩු වූවද එය නොසලකා හරිමින් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සිදු කර ඇති ඉල්ලීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව හරිත බලශක්ති අපනයනකරුවෙකු බවට පරිවර්තනය කිරීමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සූර්ය බලශක්තිය සහ සුළං බලය උත්පාදනය සඳහා පවතින ඉහළ විභවතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතු බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වාධීන කිරීමට මෙන්ම හරිත හයිඩ්‍රජන් සැපයීම සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින ආර්ථික අභියෝග හමුවේ වූවද, තිරසාර සහ දිගුකාලීන ප්‍රතිලාභ සහතික කිරීම සඳහා බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිපූර්ණ සමාලෝචනයක් සිදුකිරීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
එවකට පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ සිදු කළ සලකා බැලීම් සහ ජපානයේ සහය ඇතිව වඩාත් නවීන තාක්ෂණයෙන් යුතු ව්‍යාපෘතියකට එළැඹීම වෙනුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට එදා අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව පිළිබඳව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් තමාට දැඩි විරෝධතාවකට මුහුණදීමට සිදුවු ආකාරය ද සිහිපත් කළේය.
නමුත් මේ වන විට නොරොච්චෝලේ බලාගාරය රටට අභියෝගයක් වී ඇති බවත්, වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොළඹවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
සුළං බලශක්තිය වැනි තිරසාර බලශක්ති ප්‍රභවයන් නොසළකා හැර කටයුතු කිරීම පිළිබඳව සිය නොසතුට පළ කළ ජනාධිපතිවරයා බලශක්ති කළමනාකරණයේ දුර්වලතාවයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළේය. ඒ අනුව දිගුකාලීන බලශක්ති උත්පාදන සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක දැක්මක් හා නැවත ඇගයීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
හරිත බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කළ ජනාධිතිවරයා මෙහි ඉදිරි ගමන පිළිබඳව රජයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ද විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර හරිත හයිඩ්‍රජන් පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ උදෙසා ගෙන ඇති පියවර අගය කළ ඔව්හු එම අරමුණු ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළහ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සුරත් ඕවිටිගම යන මහත්ම මහත්මීන් ද, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ (PDASL) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙන්ම “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් !
ආර්ථිකය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
"ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ."
O/L ප්‍රතිඵල එන දවස මෙන්න !
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය .
"දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ."
"සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් උත්තර පත්‍ර සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් අග වෙනෙකොට උසස් පෙළ පටන්න ගන්න තිබුණා."
මෙවර ඉදිරිපත් කර ඇත්තේ ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක් !
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.
මෙවර ඉදිරිපත් කළ අයවැය හරහා ආර්ථිකයේ බොහෝ අංශවල වර්ධනයක් ලබා ගත හැකියි. ආර්ථිකයේ වර්ධනයක් ඇති කිරිමට නම් අර්බුදයට පෙර තිබූ ආර්ථික මට්ට්ම වෙත රට ගෙන ඒමට අවශ්‍යයි. ඒ සඳහා ගියවර අයවැය මඟින් පදනම සකස් කළා. මෙවර අයවැය මඟින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. මේ වන විට රටේ ආර්ථික ස්ථාවරත්වය කොතෙක් දුරට සාර්ථක කර ගෙන තිබේද යන්න මහ බැංකු දත්ත නිරීක්ෂණය කළ විට තහවුරු කර ගත හැකියි.
2023 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට රට පැවතියේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට හැකි වාතාවරණයක නොවෙයි. ඒ අවස්ථාවේ විශාලතම ආර්ථික කඩාවැටීමක් මෙන්ම දේශපාලන - සමාජයීය අස්ථාවරත්වයත් සමඟ රට සංධිස්ථානයකට පැමිණ තිබුණා.
නමුත් මේ වන විට ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය 2023 වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප්‍රතිඵල බව පැවැසිය යුතුයි. ඒ වගේම ලබන වසරේ දී 1.8%ක ආර්ථික වර්ධනයක් රජය බලාපොරොත්තු වෙනවා. නමුත් අප සැලසුම් කර තිබෙන්නේ එම ප්‍රමාණය 2%ක් හෝ ඊට වැඩි වර්ධනයක් වෙත ගෙන යාමටයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මෙරට ණය හිමියන් සමඟ ඇති කර ගත් එකඟතා ද මෙවර අයවැය ලේඛනය සැකසීමේදී සැලකිල්ලට ගනු ලැබුවා. විශේෂයෙන්ම අප කොතෙක් දුරට ණය තිරසභාවයක් ඇති කර ගන්නවා ද යන්න ඉතාම වැදගත් වෙනවා. එබැවින් අයවැය යෝජනා සකස් කිරීමේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම තවත් බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කළා.
මූලික වශයෙන් අප මේ ආර්ථික අර්බුදය තුළ දැඩි පීඩනයකට හසු වූ ජන කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
රාජ්‍ය සේවකයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළා. වසර ගණනාවක් තුළ රාජ්‍ය සේවයට වැටුප් වැඩි වීමක් සිදු ව නැහැ. ඒ අනුව රුපියල් 10, 000 ක අමතර දීමනාවක් ලබාදීමට රජය කටයුතු කළා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්, වකුගඩු රෝගීන්, ආබාධිත දීමනාව ලබන කණ්ඩායම්, වැඩිහිටි දීමනාව ලබන කණ්ඩායම් කියන මේ සියලු දෙනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ හරහා මිලියන 3 කට අසන්න පවුල් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.
ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද දැඩි පීඩාවකට පත් වුණා. ඔවුන් යථාතත්ත්වය පත් කිරිම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන 30 කට අධික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. තනි ඉලක්කමක අගයක් සහිත සහන පොළියකට ඔවුන්ට ණය පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. පෞද්ගලිකව භාවිත කරන වාහන හැර මෙතෙක් පැවති ආනයන සීමාද අද ඉවත් කර තිබෙනවා.
ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරල් සමන් රත්නප්‍රිය -
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්න අවස්ථාවේදී පැවති තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඉන්ධන, ගෑස් පෝලිම් තිබූ රට අද වන විට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ඒ සඳහා ගියවර ඉදිරිපත් කළ අයවැය මඟින් පදනම සකස් කළා. එහි දිගුවක් ලෙස 2024 අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.
කෙසේ නමුත් ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. සේවා ගාස්තු ඉහළ මට්ටමක තිබෙන බවත් අප දන්නවා. නමුත් ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි බව විශ්වාසයි.
ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. ජී. කුමාරතුංග -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් රජයට ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වයයි. මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වයයි. රුපියල් කෝටි 310,100 (බිලියන 3,101) රාජ්‍ය ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා. එවැනි ඉලක්කයකට යෑමට හැකි වන්නේ නම් රුපියල් බිලියන 3,000 (රුපියල් ට්‍රිලියන 3) සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වීමට නියමිතයි.
පසුගිය 17 දා වනවිට මේ වසරේ ගතවූ කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 239,400 ක් (රුපියල් බිලියන 2,394) වනවා. එයින් රුපියල් කෝටි 141,500 (බිලියන 1,415) ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ද රුපියල් කෝටි 83,200 (බිලියන 832) ක් ශ්‍රී ලංකා රේගුව විසින් ද උපයා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් කෝටි 14,700 (බිලියන 147) ක් වෙනවා.
කෙසේ වුවද මේ වසර අවසානය වනවිට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙන් රුපියල් බිලියන 3,101 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් රුපියල් කෝටි 36,900 (බිලියන 369) ක් ඉපයීමට අපේක්ෂා කරනවා. එයින් රුපියල් කෝටි 15,400 (බිලියන 154) ක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් ද, රුපියල් කෝටි 13,600 (බිලියන 136) ක් ශ්‍රී ලංකා රේගුවෙන් ද වෙනවා. ඉතිරි රුපියල් කෝටි 3,300 (බිලියන 33) සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කරනවා.
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස 31 වන දා වනවිට සමස්තයක් ලෙස රුපියල් කෝටි 271,900 (බිලියන 2,719) ක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළහැකි නමුත් 2023 වසරේ ඇස්තමේන්තු ඉලක්කය කරා ගමන් කිරීමට හැකි වන්නේ නම් එය ඉතිහාසයේ ඉහළම රාජ්‍ය ආදායම වාර්තා කිරීමක් වෙනවා.
ඒ වගේම රාජ්‍ය ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අද වනවිට ශ්‍රී ලංකා රේගුවේ දෛනික ආදායම රුපියල් කෝටි 500 ක් පමණ වී තිබෙනවා. රුපියල් කෝටි 300,000 (ට්‍රිලියන 3) ක ආදායම් ඉලක්කයක් වෙත ළඟාවීමට හැකි වන්නේ නම් එය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම දක්වා රටේ ආර්ථිකය නගාසිටුවීම හේතු වෙනවා.
මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න, ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයන්, යොවුන් සේනාංකයේ හා තරුණ සේවා සභාවේ පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Page 109 of 440