පුවත්
අගමැති ධුරය : දිනේෂ් හොඳටම කරලා !
2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.
ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේම 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 2022දී 1310.4ක් වූ බවත් 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ ය.
අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණක් බවද ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන 239.2ක වාහන නඩත්තු වියදම 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි .
උරුමය පැවරීම ජනාධිපති නොච්චියාගමින් අරඹයි !
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන "උරුමය" වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.
ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
"උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.
විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.
නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.
මෙතෙක් කල් පැවති ජයභූමි ,සෞම්‍ය භූමි,ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.
ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද මෙතනට රැස්වුණේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනා අද මෙතනට රැස්වී සිටිනවා. අද අපට තිබෙන්නේ රටට වැඩ කිරිමටයි.
මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.
මීට පෙර ආණ්ඩු හැදුවේ එක් පක්ෂයක සහාය මතයි. නමුත් මට සෑම පක්ෂයකින්ම සහාය ලබා ගැනීමට සිදු වුණා. එලෙස කණ්ඩායමක් සමග අප මෙම ගමන ආවා. ඒ පිළිබඳ අප සියලු දෙනාට සෑහීමකට පත්විය හැකි අතර, වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටු කර තිබෙනවා.
මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් බංකොළොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය සහ මහා විහාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලය සමඟ මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. මල්වතු ඔය කියන්නේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනයි. මහා විහාරය කියන්නේ ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථාන දෙක ආරක්ෂා නොකර කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළත් වැඩක් නැහැ.
ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන එකහමාරක් මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා. මෙහි අරමුණ වන්නේ ගම්බද පාසල් වල ක්‍රිකට් දියුණු කිරීම මගින් අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.
අප ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කළා.ඒ වගේම සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇතිකර ජනතාවට ලබාදෙන මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙතම යොමු කළා.
ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දෙනවා වගේම නාගරික ප්‍රදේශවල කුලී පදනම මත මහල් නිවාසවල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙතන සිටින ගොවි ජනතාවගේ දෙමව්පියන් 60 දශකයේ දී මැලේරියාව නිසා දුක් වින්දා. ඉන් පසුව තස්තවාදී කරදර නිසා දුක් වින්දා. නමුත් ඔවුන් ගොවිතැන අමතක කළේ නැහැ. රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඔවුන් දිගටම සිදුකරගෙන ගියා. එයට කරන ජාතියේ ස්තුතියක් ලෙස තමයි මෙම සින්නක්කර ඔප්පු ප්‍රදානය සිදු කරනු ලබන්නේ.
තමන්ට ස්වර්ණභූමී, ජය භූමී ඔප්පු තබා ගැනීමට අවශ්‍ය නම් එලෙසම සිටිය හැකියි. අවශ්‍ය කෙනෙකුට සින්නක්කර ඔප්පුව ඉල්ලුම් කළ හැකියි. මෙම සින්නක්කර ඔප්පු ලබා දීම ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක කරනවා.
ලෝකය දියුණු වන විට නවීන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතුයි. එහිදී අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ කෘෂිකර්මාන්තය පිළිබඳවත් නැවත නවීන ලෙස සිතිය යුතුයි. 1972 අපනයන කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. දැන් මෙවර ලබා දෙන සින්නක්කර ඔප්පු සමඟ අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩ කළ යුතුයි.
මෙහිදී වගා කරන නිෂ්පාදන බෙදා හැරීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙනුවට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. වගා කරන බෝග කල් තබා ගැනීමේ හැකියාව සහ අවශ්‍ය නම් අපනයනය කිරීමට ඇති හැකියාවත් එහිදී තීන්දු කළ හැකියි. ඊළඟ වසර දහය තුළ ලෝක ජනගහණය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට අවශ්‍ය ආහාර සැපයීම සිදු කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.සෑම ගමක්ම අපනයන ගම්මානයක් ලෙස දියුණු කර අපනයන ආර්ථිකයට එක් කිරීම මඟින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකියි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් :
ලංකාවේ නීතිය වල් වැදිලා තිබුණු වෙලාවක එම අභියෝගය භාරගෙන ආර්ථික අභියෝගයෙන් රට මුදවා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ගිය කාර්යභාරය ප්‍රශංසනීයයි. අද වැව්බැඳි රටට ජනාධිපතිවරයා පැමිණ සිදුකරන උරුමය වැඩසටහනෙන් මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් වල අයිතිය කොන්දේසි විරහිතව ලබාදීමක් සිදු වෙනවා. ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය නිසි දිශානතියකට ගෙන ආවා වගේම ලෝකයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ස්ථානය නැවත ලබාදීමට කටයුතු කළා. එතුමාගේ දේශපාලන ජීවිතයේ පරිණතභාවය එයින් පැහැදිළි වෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ :
ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා මෙවර අයවැය ලේඛනය තුළ ඇතුළත් කර තිබෙනවා. මේ රටේ සියලු ජන කොටස් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ අවශ්‍යතාවය එතුමාට තිබුණා. එතුමා ඒ පිළිබඳව සෑම අවස්ථාවකම සාකච්ඡා කළා වගේම 2023 අයවැය ලේඛනය සකස් කරද්දි ඊට එය ඇතුළත් කිරීමට ද උත්සාහ කළා. නමුත් එදා රට තුළ තිබු තත්ත්වය නිසා එම යෝජනාව ඉදිරියට ගෙන ඒමට නොහැකි වුණා.
මේ ප්‍රදේශවල ගොවි ජනතාවට තිබු විශාල අවශ්‍යතාවයක් තමයි ගොවිතැන් කටයුතු කිරීමට අවශ්‍ය පොහොර නොලැබීම. නමුත් ජනාධිපතිතුමා මේ රට භාර ගැනීමෙන් අනතුරුව එම පොහොර අවශ්‍ය පරිදි ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ අනුව මේ වසර වන විට දෙකන්නයට අවශ්‍ය සම්පූර්ණ පොහොර අවශ්‍යතාවය ද සපුරා, අසීරුතා මැද වුවත් ගොවියාට අස්වනු වෙනුවෙන් ස්ථාවර මිලක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා අද අප රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙනවා. සමාජ ස්ථාවරත්වය ඇති වෙමින් තිබෙනවා. ඒ හරහා රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානයක් වු, දැනට ඉඩමක් භුක්ති වින්දද, ඊට අයිතියක් නොමැතිවීම නිසා ජනතාව මුහුණ දෙන මුලික ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක :
උරුමය වැඩසටහන යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ මී මුත්තන්ගේ උරුමය ලබා ලබා දීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය පරිණතභාවයක් ඇති නායකයෙක් . එතුමා හෝම් වර්ක් හොඳටම කළ නායකයෙක් බව මෙවර අයවැයෙන් ඔප්පු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසක දිමනාවක් ලබාදීම, ගොවි ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම, කුලී පදනම මත මහල් නිවාස වල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමත් මගින් ජනාධිපතිවරයා සිය දේශපාලන පරිණතභාවය පෙන්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන :
අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මල්වතු ඔය ව්‍යාපාරයට සහ මහා විහාරයට මේ වන විට මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබා දීමටත් මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.
ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක් නැවත යථා තත්ත්වයට පත්කර මෙවැනි සහන රැසක් ලබාදීමට කටයුතු කිරීම මගින් ජනාධිපතිතුමාගේ නිවැරදි දේශපාලන වැඩපිළිවෙළ රටට පෙන්වා තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, නීතිඥ කස්තුරි අනුරාධනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, ගොවිජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරාවලට හානි කිරීම ගැන විමර්ශන !
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා කිහිපයකට රැඳවියෙකු විසින් හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු ඊයේ (25) උදෑසන ව්‍යායාම කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවක මෙලෙස CCTV කැමරා කිහිපයකට හානි සිදු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විමර්ෂණයක් ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර පොදු දේපොළවල හානිකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රත්ගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට ද නියමිත බවත් බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රැඳවියා මීට පෙර ද කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරයන් තුළ රඳවා ඇති අතර පොදු දේපොළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බවත් වාර්තා වෙයි .
විමර්ෂණයෙන් අනතුරුව සිදුවීම පාලනය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම අංශයේ රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්න - ජනපති
බලය ඩැහැගැනීමට උත්සාහ නොකර රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඇරයුම් කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (25) පැවැති හමුවකට එක්වෙමිනි.
මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමඟ පැවති හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පැවැත්විණි.
මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන නියෝජිතයන් මීට එක්ව සිටි අතර තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව ද ඔවුහු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළහ. එම ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදී ම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
"අපිට මේ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න තියෙනවා. නැතිනම් තව අවුරුදු 5,6කින් මේ ගැටලු එනවා. මේ සැරේ වගේ නෙමෙයි ඊට වඩා දරුණු විදියට බලපෑම් කරයි. පෙට්‍රල් නෑ, මොකුත් තියෙන්නේ නැහැ. ඊළඟ සැරේට අපි IMF ගියොත් කියන කොන්දේසි මම දන්නවා. මගේ මීළඟ ව්‍යායාමය නව ආර්ථිකයක් ඇතිකිරීමයි. මේ රටේ මතු පරපුරට අනාගතයක් දිය යුතුයි. ඔබට නෙමයි ඔබේ දරුවන්ට. ඒ අය වෙනුවෙන් මේක හදමු. විපක්ෂය බලන්නේ තමන් ගැන කොහොමද බලය ගන්න. මම ඒ අයට කියන්නේ බලය ලබාගැනීමේ හොඳම ක්‍රමය අපිත් සමඟ එකතු වීමයි. අපෙන් පළපුරුද්ද වෙන්න ඊට පස්සේ බලය ලබාගන්න අපි හැමෝම එකතුවෙලා මේ ගමන යමු."
අලි එක්ක කාලය ගත කරන්න මහනුවරට එන්න.....
අලි ඇතුන් එක්ක කාලය ගත කරන්න සහ එම සතුන්ට කෑම කවන්න, නාවන්න වගේම අලි ඇතුන් එක්ක ඡායාරූප ලබා ගැනීම ආදි ක්‍රියාකාරකම් රැසක් සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව නව අවස්ථාවක් උදාකර දී තිබේ.
මේ සඳහා මාලිගාවේ ඇත් පන්තියේ ක්‍රියාකරකම් සිදුවන , ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල සංචාරකයන්ට නවමු අත්දැකීම් රැසක් සමඟින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.
දළඳා මලිගාවට පැමිණෙන සංචාරයකන්ගේ ආකර්ෂණය වැඩි කිරීම උදෙසා මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී දළදා මාලිගාවේ ''ඇත්ගාල'' ෆේස්බුක් පිටුවෙ සඳහන් කර ඇත.
වැඩි විස්තර සඳහා 081 - 223 4 556 අංකය අමතා තොරතුරු ලබා ගැනීමටත් හැකියාව පවති.
උත්සව සමයේ සහල් ආනයනයට පියවර
එළඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බවයි. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බවත් වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය. එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පවත්නා බවත්, කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබූ බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බවට අවධාරණය කරනු ලැබිය.
ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන බවත්, එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු සිදු කර තිබෙන බවත් නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම රැස්වීමට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සහ අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
සජිත්ට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරන්නැයි යෝජනාවක් !
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී හිටපු මන්ත්‍රීවරයා පවසා සිටියේ විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවය.
මේ අතර සති දෙකක කාලයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කර තිබේ.
සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ලෙස අශෝභන වචන භාවිතා කරමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකෝප කළේ යැයි චෝදනා මත මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත ය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරවම ස්ථිර වීමත් විශේෂත්වයකි.
ඒ අනුව විපක්ෂ නායකවරයාට අදාළ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් කතානායක වරයා ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.
පොලිය අඩු නොකරන බැංකු ගැන දැඩි තීන්දු ගැනීමේ සූදානමක් !
ඉදිරියේදී බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යාමට නියමිත බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි .
එසේම ව්‍යාපාරවලට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට, අනිකුත් ව්‍යාපාර වෙනුවෙන් වන ණය සඳහා වූ පොලී අනුපාත තවදුරටත් අඩු නොකිරීම පිළිබඳව මහ බැංකුව සමීප නිරීක්ෂණයක සිට සිටින බවත් ඒ ඔහු පැවසීය.
කෙසේ වෙතත් මහ බැංකුව බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට බැංකු දහයක් තවමත් අසමත් වී ඇති බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා දෙසැම්බර් මස 31 වන විට නියමිත මට්ටමට පොලී අනුපාත ගෙන එන ලෙස දැනුම් දී ඇති බවද සඳහන් කළේය.
මහ බැංකු නිර්නායකයන් අනුව අදාළ මට්ටමට නොපැමිණියහොත් එම බැංකු පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දී ඇතැයිද ඔහු පවසයි .
කෝප් කමිටුවේ ක්‍රිකට් විමර්ශන කෝප් සභාපති නැතුව !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි .
ඒ අනුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් සිදුකිරීමට ය.
කෙසේ වෙතත් කතානායකවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව පිළිබඳව රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගතයුතුව ඇති බවයි.
මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද එය කල් යන තත්ත්වයක් ඇති බවත් වාර්තා වෙයි .
කෝප් කමිටුවේ සභාපතිවරයා සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.
සී.ඩී. පොලිස්පති ධූරයට සමුදෙයි : වැඩ බලන්න දේශබන්දු පත්වෙයි ?
පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද (25) සිය ධුරයට සමුදුන්නේය.
ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.
සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
- lankadeepa
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 5000ක් ජනවාරියේ සිට!
විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩි වීම සම්පූර්ණයෙන් ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත.
රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5,000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබර් මාසයේත් ලබාදීමට අය-වැය කතාවේදී යෝජනා කෙරිණි.
අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිට ම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000ක් ලබා දීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000 ම ලබා දීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්‍ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවේ සංඛ්‍යා දත්ත අනුව ජනවාරියේ සිටම පඩි වැඩි වීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබේ.
අදාළ රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී බ්‍රහස්පතින්දා (නොවැ. 23) පැවැත්විණි.
2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුවද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයට අනුව නොවැම්බර් 21 වන දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර තිබේ.
රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද, සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2,446කි.
නොවැම්බර් 21 වන දා වන විට අනෙකුත් ආදායම් ආයතනවලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වේ.
අභියාචනාධිකරණය වෙතින් හමුදාපතිට නියෝගයක් !
පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) යුද හමුදාපතිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
එසේම පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන ලෙසද අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත .
බ්‍රිගේඩියර් චන්දන රණවීර ගොනුකොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.
මෙහිදී පෙත්සම්කරු පවසා ඇත්තේ තමන් මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් එම ධුරයට උසස් කිරීම ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
යුද හමුදාපතිවරයාගේ එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ව උසස් කිරීම සඳහා නිර්දේශ කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කාර බ්‍රිගේඩියර්වරයා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබිණ .
2023 අයවැය යෝජනා 86% ක් සම්පූර්ණයි !
2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඒවා අතර මධ්‍යකාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා සංඛ්‍යාව 120කි. ඒ අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි . ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
දැනට ආරම්භ කර ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62කි. ඊට ආදායම් යෝජනා 5ක්, වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්ති යෝජනා 30ක් ඇතුළත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව සමස්ත අයවැය යෝජනා අතරින් 86% අවසන් කර හෝ ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර අයවැය යෝජනා 17ක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති අතර ඊට අදාළ අමාත්‍යාංශවලින් ඊට හේතු විමසීමට කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය.
තාක්ෂණික ඌණතා, මානව සම්පත් ඌණතා සේම නෛතිකමය ගැටලු ද ඒවා හේතු විය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
අතුරු කමිටු පත්කිරීමට කැබිනට් අනුමැතිය අත්‍යවශ්‍යයි : නිල නිවේදනයක් !
ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බව කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
එහි දී පිළිපැදිය යුතු මාර්ගෝපදේශද ලේකම්වරයා විසින් දන්වා ඇත.
අතුරු කමිටුවක් පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළමුව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාගැනීම, නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම හා අතුරු කමිටුව පත් කරන ක්‍රීඩා ඉසව්වට අදාළ වන අන්තර් ජාතික සම්මේලනය දැනුවත් කිරීම එහිදී අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කැබිනට් ලේකම්වරයා විසින් දැනුම්දී ඇත.
ඉදිරියේදී නව ක්‍රීඩා පනතක් හඳුන්වා දෙන තෙක් මෙම නියමයන් ක්‍රියාත්මක විය යුතු බව ද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් දැනට පවතින ජාතික ක්‍රීඩා පනතේ බලතල අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ජාතික ක්‍රීඩා සංගමයක් අත්වෙමින් අතුරු කමිටුවක් හෙවත් ඒ වෙනුවට තාවකාලික පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ හැකිය.
කෝටි 100ක් වන්දි ඉල්ලා ශානි පොලිස් ලොක්කන් පිරිසකට එරෙහිව නඩු දායි !
බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ දිසා අධිකරණයේ අද (24) වන්දි නඩුවක් ගොනු කළේය.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයන්ට බලපෑම් කරමින් අධිකරණිය අනිසි ලෙස භාවිතා කර ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන් තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ශානි අබේසේකර මෙම නඩුව ගොනුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කළ මෙම වන්දි නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ශානි අබේසේකර මෙම පෙත්සම ගොනුකර ඇත.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පසු අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෙනම විමර්ශනයක් පවත්වු බව සඳහන් කරන ශානි අබේසේකර ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් තමන්ට එරෙහිව අදාළ විමර්ශනය කළ බවද සඳහන් කොට ඇත.
- llankadeepa
ඩීසල් සහ භූමිතෙල් වැට් බද්දෙන් නිදහස් !
ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ හම්බන්තොට ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
මුහුදු සීමාව ආසන්නයෙන් යන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් මිලියන 200ක් උපයන වැඩක් !
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
මේ වන විට පවතින නාවික සිතියම් නාරා ආයතනය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමකට අනුව බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන බවත්, එම නිසා ඉදිරියේදී විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට භාරදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය මා හට ලබා දුන්නේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබූ අවස්ථාවකයි. එදා මේ රටේ ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබුණා. ඉන්ධන සහ ගෑස් පෝලිම්වලින් රටේ ජනතාව හෙම්බත් වෙලා සිටියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිවැරදි නායකත්වය යටතේ අද රටේ තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. එම නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙනවා.
රටක යුද්ධය නැහැ කියා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කටයුතු නතර කළ නොහැකියි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී අපි එම අත්දැකීම ජාතියක් ලෙස අත්වින්දා. සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම හමුදාවට පැවරී තිබෙනවා. ඒ වගේම ජාති, ආගම්, කුල බේදයකින් තොරව සෑම පුරවැසියකුගේම ආරක්ෂාව තහවුරු කිරීමට හමුදාව බැඳී සිටිනවා.
පාර්ලිමේන්තුවේදී 2024 වසර සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත වුණා. ලෝකයේ ඕනෑම රටක් තම රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. නමුත් අප රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදල වැඩියි කියලා ඇතැම් දේශපාලනඥයන් ජනතාව මුලා කරමින් සිටිනවා. ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කරන්නේ ත්‍රිවිධ හමුදාවම නඩත්තු කරන්න නොවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන 23ක් තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයට මෙවර වෙන් කර තිබෙන රුපියල් බිලියන 423න් ත්‍රිවිධ හමුදාවට වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 169ක් පමණයි. අනෙක් සියලුම මුදල් වෙන් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආපදා කළමනාකරණ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන වෙනුවෙන්. රටේ ආපදා අවස්ථාවලදී වන්දි, ආධාර ඇතුළු පහසුකම් ලබා දෙන්නේ මෙලෙස වෙන් කරන මුදල්වලින් බව කිවයුතුයි.
ඒ වගේම ජාතික ශිෂ්‍ය භට බළකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපන ආයතනත් තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ බාහිර රෝගී අංශයෙන් වසරකට රෝගීන් ලක්ෂ 2ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නවා. එහි සේවය කරන්නෙත් හමුදා සාමාජිකයන්. ආපදා අවස්ථාවක් ඇති වූ විට පෙරමුණ ගන්නෙත් හමුදා සාමාජිකයන්. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කළ මුදල හමුදාව වෙනුවෙන් වෙන් කළ මුදල් නොවන බව අවබෝධ කරගත යුතුයි.
ඉතිහාසයේ පළමු වරට මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා වූ කාර්යසාධන බළකායක් පිහිටුවීමට රුපියල් මිලියන 2.5ක් වෙන් කර තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ නාවික හමුදාව රුපියල් මිලියන 33,917ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සමත් වුණා. මේවා රට තුළට පැමිණියා නම් සිදුවන විනාශය හිතා ගන්න බැහැ. මේවා භාවිතා කරපු අය වෙනුවෙන් වෙන් කරන්න සිදු වන සෞඛ්‍ය වියදම බිලියන කීයක් විය හැකිද?
විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මඟපෙන්වීම මත ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය සවිබල ගැන්වීමට හැකිවී තිබෙනවා. අපේ රට ආසන්නයෙන් යන නැව්වලින් රටට ආදායමක් උපයාගත හැකියි. ශ්‍රී ලාංකීය මුහුදු කලාපයේ පිහිටීම නිසා අපේ රට අසලින් වසරකට නෞකා 45000 ක් පමණ යාත්‍රා කරනවා. ඒවායින් ආදායමක් ගැනීමට නම් නව විද්‍යුත් නාවික සිතියමක් (Electronic Navigation Charts) අවශ්‍යයි.
නමුත් අවාසනාවකට මේ වගකීම පැවරී තිබූ ආයතන 1983 වසරේ සිටම සිය වගකීම පැහැර හැර තිබෙනවා. දැනට පවතින නාවික සිතියම් වසර සියයකට වඩා පැරැණියි. ජාත්‍යන්තර ජලශාස්ත්‍රීය කාර්යාලයේ නිර්දේශයන්ට අනුව 2026 වසර වන විට මුද්‍රිත නාවික සිතියම් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙනවා. එම නිසා විද්‍යුත් නාවික සිතියම් භාවිතයට ගැනීම අවශ්‍යයි. මේ වන විට නාරා ආයතනය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ නාවික සිතියම් නිර්මාණය සඳහා බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගොඩනැගීමට අවශ්‍යව තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා දැනට තිබෙන නාවික සිතියම වෙනුවට නව විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කරමින් ජලශාස්ත්‍රීය කාර්යාලය සවිබල ගැන්වීමට පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කරනු ලැබුවා. එම පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට පැවරෙනවා.
නිසි නාවික සැලැස්මක් නොතිබීම හේතුවෙන් එදා සිට මේ දක්වා රටට රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි වී තිබෙනවා. රක්ෂණ අධිභාරය නිසා සිදුවූ වක්‍ර අලාභය මීට වඩා විශාලයි. නමුත් ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා නාවික හමුදාව ඒ වගකීම භාර ගෙන තිබෙනවා. මෙමගින් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ ලබාගත හැකි බවට තක්සේරු කර තිබෙනවා. වක්‍ර ආදායම ඊටත් වඩා වැඩියි.
ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නවීකරණය කිරීමට ලෝක බැංකු ණය ආධාර යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කිරීම සහ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබාදීම තුළින් නිවැරදි කාලගුණික අනාවැකි නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ සම්මුතියක් (Building Code)) නීතිගත කිරීමට කටයුතු කරනවා. එසේ නොකළහොත් ප්‍රමිතියකින් තොරව ඉදිවන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකියි. මේ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට වගකීම භාර දී තිබෙනවා. එය ලබන වසර්දී (2024) සකස් කර අවසන් කිරීමට උපදෙස් දී තිබෙනවා. එමගින් රටේ ඉදිවන ගොඩනැගිලි සම්බන්ධව ප්‍රමිතියක් සහ වගකීමක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.
අපනයන සම්මාන උළෙලේදී අපනයනකරුවන්ට ජනපති දුන්න පණිවිඩය !
රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම මෙවර සිදු විය.
සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක්, නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර කුසලතා සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.
කුසලතා සම්මානලාභීන්ට සමරු ඵලක සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සංකේතාත්මකව සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
පසුගිය වසර දෙක තුන තුළ අප සියලු දෙනාම ගත කළේ ඉතා දුෂ්කර හා අර්බුදකාරී කාල පරිච්ඡේදයක්. ඊට හේතුව රටේ ආර්ථික වර්ධනයක් නොතිබීමයි. වෙළඳ ශේෂය තුළ අපට වාසිදායක තත්ත්වයක් තිබුණේ නැහැ.
නිදහසින් පසු ශ්‍රී ලංකාවට අපනයනය ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ගැටලුවට විසඳුම් සොයා ගැනීමට අවස්ථා 04ක් ලැබුණා. සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල් 60, 70 දශකයේ මුල් භාගයේදී අපනයන ආර්ථිකය කරා යොමු වෙමින් ඔවුන්ගේ ගමන ආරම්භ කළා. නමුත් අප සමාජවාදී ආර්ථිකයකට යොමු වීම නිසා අපට එම අවස්ථාව මඟහැරුණා.
එසේම 80 දශකයේ අග භාගයේ අප විවෘත ආර්ථිකයකට යොමු වුණා. ඉන් අනතුරුව යුද්ධයට මැදි වූ නිසා අපගේ අවධානය සහ සම්පත් යුද්ධය ජය ගැනීම සඳහා යෙදවීමට සිදු වුණා. එබැවින් අපට එම අවස්ථාව ද මඟ හැරුණා.
ඊළඟ අවස්ථාව යුද්ධයෙන් පසුව අපට ආරම්භ කළ හැකිව තිබු නමුත් අප අවධානය යොමු කළේ වෙළඳාම් කළ නොහැකි භාණ්ඩ කෙරෙහියි. අද සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් අපව අභිබවා ඉදිරියට ගොස් තිබෙනවා.
මම හිතන්නේ මෙය අපට තිබෙන අවසාන අවස්ථාවයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් රට හැර ගියා. මේ අයුරින් තරුණ තරුණියන් රට හැර යාමට පටන් ගත්විට “මිනිසුන් නිවාඩුවට ගමේ යනවා” වැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. ඔවුන් ආපසු යාමට බලාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්නට පටන් ගනීවි. ඔවුන්ගේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව කිසිදිනක ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. අප මෙම තත්ත්වය ආපසු හැරවිය යුතුයි.
රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කරනවානම් අප විසදාගත යුතු ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඒ අයවැය හිඟය සහ වෙළඳ ශේෂය.මේ දෙක එකිනෙකට බලපෑම් කරනවා. අපි අයවැය හිඟය කෙරෙහි අවධානය යොමු කරන විට බදු ආදායම වැඩි කරගතයුතු වෙනවා. අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ඒ වගේම අපට පිටතින් ණය ගන්නත් බැහැ.
මෙවර අයවැය තමයි අපි ණය ලබා නොගත් පළමු අයවැය.අප ණය නොගෙන වියදම් පියවා ගන්නේ කොහොමද, අපිට වැට් බද්ද වැඩි කිරීමට සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි සියලුදෙනා විවේචනයට ලක්වෙනවා. නමුත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇතියි.
අපි අපේ අපනයන ඉහළ නංවාගත යුතුයි. එහිද අප කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කළ යුතු වෙනවා. මෙවර අයවැයෙන් ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මුදල් ලබා දී තිබෙනවා. මෙවායේ ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික ඵලදායිතා කොමිෂන් සභාව වැනි ආයතන පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒවගේම ඔබට සහය වන තවත් බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා,
නමුත් දැනට පවතින අපනයන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම පමණක් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අප නව අපනයන ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා නව ආයෝජනවලට ආරාධනා කළ යුතුයි.
අනුරාධපුර යුගයේ සිටම ශ්‍රී ලංකාව කෘෂි නිෂ්පාදන අපනයනය කරනු ලබනවා. මුලින්ම සහල්, අනතුරුව කුළුබඩු, විශේෂයෙන් කුරුඳු, ඉන් පසුව තේ, රබර් සහ පොල් අපනයනය කරනු ලැබුවා.
බ්‍රිතාන්‍යයන් රට හැර යන තුරුම අපි මෙය කරගෙන ආවා. නමුත් අපි තවදුරටත් කෘෂිකාර්මික භාණ්ඩවල ප්‍රධාන අපනයනකරුවා නොවෙයි. නමුත් මෙය අපට හුරු පුරුදු ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන පදනම ගොඩනැඟුනේ වෙළඳාමෙන් නොවෙයි, කෘෂිකර්මාන්තයෙන්. ඒ සඳහා අපට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අප එයින් ඈත්විය යුතු නැහැ. ඔබට කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් දැන් සොයාගත හැකියි. ඒ වගේම නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට එක්වීමත් සමග තරුණ තරුණියන් ඊට එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.
කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ද මෙරට පිහිටුවීමට අප සැලසුම් කර තිබෙන අතර දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරනු ලබනවා. මේ සඳහා ඔබටත් සහය විය හැකියි. මෙම කටයුතු සමඟ අප ඉදිරියට යමු කියා සියලුදෙනාට ආරාධනා කරනවා.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද මෙහිදී අදහස් දැක්වීය
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, කනක හේරත්, අරවින්ද කුමාර්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කිංස්ලි බර්නාඩ් යන මහත්වරුන් ද විදේශ තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 108 of 440