ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
මේ වන විට පවතින නාවික සිතියම් නාරා ආයතනය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමකට අනුව බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන බවත්, එම නිසා ඉදිරියේදී විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට භාරදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය මා හට ලබා දුන්නේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබූ අවස්ථාවකයි. එදා මේ රටේ ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබුණා. ඉන්ධන සහ ගෑස් පෝලිම්වලින් රටේ ජනතාව හෙම්බත් වෙලා සිටියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිවැරදි නායකත්වය යටතේ අද රටේ තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. එම නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙනවා.
රටක යුද්ධය නැහැ කියා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කටයුතු නතර කළ නොහැකියි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී අපි එම අත්දැකීම ජාතියක් ලෙස අත්වින්දා. සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම හමුදාවට පැවරී තිබෙනවා. ඒ වගේම ජාති, ආගම්, කුල බේදයකින් තොරව සෑම පුරවැසියකුගේම ආරක්ෂාව තහවුරු කිරීමට හමුදාව බැඳී සිටිනවා.
පාර්ලිමේන්තුවේදී 2024 වසර සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත වුණා. ලෝකයේ ඕනෑම රටක් තම රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. නමුත් අප රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන් කරන මුදල වැඩියි කියලා ඇතැම් දේශපාලනඥයන් ජනතාව මුලා කරමින් සිටිනවා. ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කරන්නේ ත්‍රිවිධ හමුදාවම නඩත්තු කරන්න නොවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන 23ක් තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයට මෙවර වෙන් කර තිබෙන රුපියල් බිලියන 423න් ත්‍රිවිධ හමුදාවට වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 169ක් පමණයි. අනෙක් සියලුම මුදල් වෙන් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආපදා කළමනාකරණ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන වෙනුවෙන්. රටේ ආපදා අවස්ථාවලදී වන්දි, ආධාර ඇතුළු පහසුකම් ලබා දෙන්නේ මෙලෙස වෙන් කරන මුදල්වලින් බව කිවයුතුයි.
ඒ වගේම ජාතික ශිෂ්‍ය භට බළකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපන ආයතනත් තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ බාහිර රෝගී අංශයෙන් වසරකට රෝගීන් ලක්ෂ 2ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නවා. එහි සේවය කරන්නෙත් හමුදා සාමාජිකයන්. ආපදා අවස්ථාවක් ඇති වූ විට පෙරමුණ ගන්නෙත් හමුදා සාමාජිකයන්. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කළ මුදල හමුදාව වෙනුවෙන් වෙන් කළ මුදල් නොවන බව අවබෝධ කරගත යුතුයි.
ඉතිහාසයේ පළමු වරට මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා වූ කාර්යසාධන බළකායක් පිහිටුවීමට රුපියල් මිලියන 2.5ක් වෙන් කර තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ නාවික හමුදාව රුපියල් මිලියන 33,917ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සමත් වුණා. මේවා රට තුළට පැමිණියා නම් සිදුවන විනාශය හිතා ගන්න බැහැ. මේවා භාවිතා කරපු අය වෙනුවෙන් වෙන් කරන්න සිදු වන සෞඛ්‍ය වියදම බිලියන කීයක් විය හැකිද?
විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මඟපෙන්වීම මත ජාතික ජලශාස්ත්‍රීය කාර්යාලය සවිබල ගැන්වීමට හැකිවී තිබෙනවා. අපේ රට ආසන්නයෙන් යන නැව්වලින් රටට ආදායමක් උපයාගත හැකියි. ශ්‍රී ලාංකීය මුහුදු කලාපයේ පිහිටීම නිසා අපේ රට අසලින් වසරකට නෞකා 45000 ක් පමණ යාත්‍රා කරනවා. ඒවායින් ආදායමක් ගැනීමට නම් නව විද්‍යුත් නාවික සිතියමක් (Electronic Navigation Charts) අවශ්‍යයි.
නමුත් අවාසනාවකට මේ වගකීම පැවරී තිබූ ආයතන 1983 වසරේ සිටම සිය වගකීම පැහැර හැර තිබෙනවා. දැනට පවතින නාවික සිතියම් වසර සියයකට වඩා පැරැණියි. ජාත්‍යන්තර ජලශාස්ත්‍රීය කාර්යාලයේ නිර්දේශයන්ට අනුව 2026 වසර වන විට මුද්‍රිත නාවික සිතියම් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙනවා. එම නිසා විද්‍යුත් නාවික සිතියම් භාවිතයට ගැනීම අවශ්‍යයි. මේ වන විට නාරා ආයතනය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ නාවික සිතියම් නිර්මාණය සඳහා බ්‍රිතාන්‍ය ජලශාස්ත්‍රීය කාර්යාලය සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගොඩනැගීමට අවශ්‍යව තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා දැනට තිබෙන නාවික සිතියම වෙනුවට නව විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කරමින් ජලශාස්ත්‍රීය කාර්යාලය සවිබල ගැන්වීමට පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කරනු ලැබුවා. එම පනත සම්මත කර ගැනීමෙන් අනතුරුව විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට පැවරෙනවා.
නිසි නාවික සැලැස්මක් නොතිබීම හේතුවෙන් එදා සිට මේ දක්වා රටට රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි වී තිබෙනවා. රක්ෂණ අධිභාරය නිසා සිදුවූ වක්‍ර අලාභය මීට වඩා විශාලයි. නමුත් ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා නාවික හමුදාව ඒ වගකීම භාර ගෙන තිබෙනවා. මෙමගින් වසරකට ඩොලර් මිලියන 200ක් පමණ ලබාගත හැකි බවට තක්සේරු කර තිබෙනවා. වක්‍ර ආදායම ඊටත් වඩා වැඩියි.
ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය නවීකරණය කිරීමට ලෝක බැංකු ණය ආධාර යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කිරීම සහ නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබාදීම තුළින් නිවැරදි කාලගුණික අනාවැකි නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ සම්මුතියක් (Building Code)) නීතිගත කිරීමට කටයුතු කරනවා. එසේ නොකළහොත් ප්‍රමිතියකින් තොරව ඉදිවන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකියි. මේ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට වගකීම භාර දී තිබෙනවා. එය ලබන වසර්දී (2024) සකස් කර අවසන් කිරීමට උපදෙස් දී තිබෙනවා. එමගින් රටේ ඉදිවන ගොඩනැගිලි සම්බන්ධව ප්‍රමිතියක් සහ වගකීමක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.