පුවත්
බොරැල්ල දෙව් මැදුරේ බෝම්බය : මුනිත් නිදහස් !
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා වූ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අය නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (09) නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දි ඇති බවත් වාර්තා වෙයි.
කබ්රාල් ජනාධිපතිවත් අන්දනවා - හර්ෂ
රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී , ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය වාර්තා කර තිබෙන පුවත්පත් වලම ඔහුට උපහාසයට මෙන් “වරායේ හිරවූ කන්ටේනර් මුදාගන්න ඩොලර් නෑ“, “ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ“, “එදාවේල පිරිමහගන්න මහ බැංකුව රන් සංචිත විකුණයි“, වැනි ප්රවෘත්තිද වාර්තා කර තිබෙන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බවත් නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
“නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියනවා. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ.“
“අපි නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න කියලා.“
පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.
– media unit
මන්ත්‍රී රිෂාඩ්ට - බිරිඳට විදෙස්ගත වෙන්න අවසර
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09) අවසර ලබාදුන්නාය.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා තම සේවාදායකින් දෙදෙනා සූදානම්ව සිටින බැවින් ඒ සදහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබා දුන්නාය.
සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව........
සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් , සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වූයේ, දෙවැනි දිනටයි.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
ඊට වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.
අද, කොවිඩ් මරණ 35ක් : මුළු කොවිඩ් මරණ ගණන 15,656ක් දක්වා ඉහළට
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,656 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 28 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 22 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
බන්ධනාගාර දූෂණ මඩින්න අලුත් අංකයක් !
බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට බන්ධනාගාර රැඳවියන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.
එවැනි තොරතුරු 011 267 8600 දුකරථන අංකයට අමතා එම තොරතුරු ලබාදිය හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ ක්‍රියා සහ සිරකරුවන්ට වධහිංසා කිරිම් සිදුකරන නිලධාරින් වැඩ තහනමට ලක්වූ පසු ඔවුන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් නැවත සේවයේ පිහිටුවිම පිළිබඳව සලකා නොබැලීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසන්නේ එවැනි නිලධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරින් සිදුකරන විශිෂ්ට සේවයට ද හානිකර වන බැවින් මේ තීරණයට එළැඹි බවයි.
එවැනි නිලධාරීන් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරීමට හෝ දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද එහි සඳහන් ය.
මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සියලු අධිකාරිවරු වෙත දන්වා නිලධාරින් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
සජිත්ගෙන් බැසිල්ට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් !
මුදල් අමාත්‍යවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග යටතේ අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිහිපයක්ම අසනු ලබීය.
ඒ මොහොතේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි දිගින් දිගටම මුදල් අමාත්‍යවරයා මන්ත්රීවරුනගේ ප්‍රශ්න මග හරිමින් සිටින්නේ යයි විපක්ෂයෙන් චෝදනාද එල්ල විය.
කෙසේ වෙතත් විපක්ෂ නායකයා වරයා විසින් සිය ප්‍රශ්න සභාව හමුවේ ඉදිරිපත් කලේය.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බව සැමටම පෙනෙන්නට ඇති කරුණකි. මෙයට ප්‍රධානතම හා එකම හේතුව ලෙස ආණ්ඩුව සෑමවිටම පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයයි. මෙම ආර්ථිකය බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවටය.
රටේ මූල්‍ය ස්වභාවයේ අසාමාන්‍ය වෙනස්වීම් හෝ අස්ථාවරත්වයන් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිට සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකිව යුතු ආයතන පිහිටුවා තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව අන් කිසිදු රටක් මුහුණ නොදුන් ආර්ථික අවපාතයකට අප රට මුහුණ දෙමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මුදල් අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය හා මහ බැංකුව තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමේ හේතුව නිසාය.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ 3% සිට 2022 ජනවාරි මාසයේදී 14.2% දක්වා වර්ධනය විය. ආහාර උද්ධමනය 6.8% සිට 25% දක්වා වර්ධනය විය.
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 64 (2) වගන්තිය යටතේ මුදල් සැපයුමේ ප්‍රමාණය පෙර වසරේ අදාළ මාසය අවසානයේ දී පැවති මට්ටමට වඩා සියයට පහළොවක (15%) වෙනසක් හෝ ජීවන වියදම් දර්ශකයේ සියයට දහයක (10%) වෙනසක් ඇත්නම්, මුදල් මණ්ඩලය විසින් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත, අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත, විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මහජන යහපතට අගතියක් නොවන්නේ නම්, එය ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එම වාර්තාවේ;
අපේක්ෂිත ආර්ථික කැළඹීම් හෝ මුදල් සැපයුමේ හෝ මිල මට්ටමේ අසාමාන්‍ය චලනයන්ට හේතු;
අසාමාන්‍ය ආර්ථික චලනයන් නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, රැකියා හා සැබෑ ආදායම් මට්ටමට ඇතිවිය හැකි බලපෑම, හා
මෙම වෙනස්වීම පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේ දී සිදු කළ යුතු යැයි නිර්දේශ කරන මුදල්, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග
ඇතුළත් විය යුතුයි. එසේනම්,
1) මුදල් මණ්ඩලය විසින් මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 64(2) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉල්ලා තිබේද?
2) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම මුදල් සැපයුමේ සහ මිල ගණන්වල ඉහළ යාම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
3) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් විසින් රජයට සිදු කර ඇති නිර්දේශ මොනවාද?
4) විශේෂයෙන්ම ආහාර උද්ධමන වර්ධනය ද සමගින් උද්ධමනය සීඝ්රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතු වූ කරුණු මොනවාද?
5) මිළ ඉහළ යාම කෙරෙහි සංචිත මුදල් 37.5%කින් වර්ධනය වීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවාගෙන ඇති භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රමාණාත්මක වර්ධනය හේතු වී ඇත්තේ කෙසේ ද?
දළ නිල සංචිත 2019 අවසානයේ එ. ජ. ඩො. බිලි. 7.7 සිට 2020 අවසානයේ එ. ජ. ඩො. බිලි. 5.7 දක්වා ද 2021 නොවැම්බර් අවසානයේ එ. ජ. ඩො. බිලි. 1.6 දක්වා ද පහත වැටී ඇත. මෙම පහත වැටීම තුළ වසරක් ඇතුළත ආනයන ආවරණ හැකියාව මාස 4.2 සිට මාසයක් (1) දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 68(1) වගන්තිය යටතේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂයේ බරපතල කඩා වැටීමකට හෝ එවන් තත්ත්වයන් ඇතිවිය හැකි බවට හෝ ඒ සඳහා විභවීය තර්ජනයක් ඇති බවට මුදල් මණ්ඩලය පුරෝකථනය කරයි නම්, එම තත්ත්වයන් පාලනය සඳහා ප්‍රතිපත්ති සකස් කොට ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන විශ්ලේෂණාත්මක වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාවේ;
ශ්‍රී ලංකා රුපියලේ ජාත්‍යන්තර ස්ථාවරත්වයට සිදුවිය හැකි තර්ජනයේ ස්වභාවය, හේතු හා විශාලත්වය, හා
මණ්ඩලය විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා රජය විසින් ක්‍රියාත්මක කල යුතු බවට නිර්දේශ කරන මූල්‍ය, රාජ්‍ය මූල්‍ය හෝ පරිපාලනමය ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතුයි.
එසේ නම්,
6) මුදල් මණ්ඩලය මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේද? එසේ නොමැති නම් 68(1) වගන්තිය යටතේ මුදල් ඇමැතිවරයා මෙම වාර්තාව ඉල්ලා තිබේද?
7) මුදල් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කර ඇත්නම්, මෙම විදේශ සංචිත අඩුවීම ආමන්ත්රණයට මුදල් මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
8) මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ඔවුන් රජයට නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග මොනවාද?
ශ්‍රී ලංකා රුපියලට එ.ජ.ඩො. විනිමය අනුපාතය 2020 සැප්තැම්බර් මාසයේ රු.185 සිට 2021 මැයි වන විට රු.200 දක්වා තියුණු ලෙස අවප්‍රමාණය විය. 2021 මැයි මාසයේ සිට සැප්තැම්බරයේ රු. 210 මට්ටමට එළැඹෙන තාක් සාපේක්ෂ වශයෙන් එය ස්ථාවර අගයක පැවතිණි. 2021 සැප්තැම්බර් මාසයේ සිට මහ බැංකුවේ මැදිහත්වීම මත රුපියල 203 අගයකට “ස්ථාවර” කර ඇත. කෙසේ වෙතත්, අද වනවිට කළුකඩ මිල රුපියල් 240ක් පමණ වේ.
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය යටතේ මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය. එවැනි මුහුණත අගයක් තීරණය කර නොමැති අවස්ථාවක ජාත්‍යන්තර ගනුදෙනු සඳහා එහි නිදහස් භාවිතය සහතික කෙරෙන පරිදි වෙනත් මුදල් ඒකක සමග හුවමාරු වීමට රුපියලට අවකාශ සැලසිය යුතුය.
මේ වනවිට සංක්රමිණකයෝ තවදුරටත් සිය ඉපැයුම් රටේ නිල බැංකු හරහා ප්‍රේෂණය නොකරති. ඒ අනුව, නිල සංක්‍රමණික ප්‍රේෂණ 2021 ජූනි මාසයේ සිට පහත වැටෙන්නට විය. මෙය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ අගයකින් පහත වැටීමකි.
එසේනම්,
9) මුදල් මණ්ඩලය මගින් මුදල් නීති පනතේ 65 වැනි වගන්තිය උල්ලංඝනය කොට නොමැති බවට මුදල් ඇමැතිවරයා සෑහීමකට පත්ව සිටින්නේද?
10) පසුගිය වසරේ සිට මේ දක්වා සංක්‍රමණික ප්‍රේෂණ අඩුවීම සාධාරණීකරණය කිරීමට මුදල් අමාත්‍යවරයාට හැකිද?
11) එසේ නොමැති නම්, මුදල් අමාත්‍යවරයා විසින් විනිමය විධිවිධාන සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා තිබේද?
සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක
සෑම නිවසකටම මුදල් අච්චු ගහන යන්ත්‍රයක් ?
මුදල් අච්චු ගැසීම මගින් රටක් දියුණු කළ හැකි නම් සෑම නිවසකටම මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණය යන්ත්‍රයක් දිය යුතු බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් දැක්වීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘මුදල් අච්චු ගහලා රටක් දියුණු කරන්න පුළුවන් නම් හැම ගෙදරකම පි්රන්ටින් මැෂින් එකක් දුන්නනම් ඉවරයි. මුදල් අච්චු ගහන එක හැර රටේ නිෂ්පාදනය දියුණු කරන්න ආයෝජන වැඩි කරගන්න, භණ්ඩ හා සේවා සංවර්ධනය කරන්න කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක් අද ආණ්ඩුවට නැහැ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූ දවසේ සිට මේ වන විට රුපියල් බිලියන 678 අච්චු ගහලා. ඒ නිසා උද්ධමන වේගය 14%ක් වෙලා’
පොල් මණ්ඩලේ සභාපති දුවද්දී දැවීයයි !
පොල් සංවර්ධන අධිකාරිය සභාපති තිලක් වීරසිංහට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන විසින් මෙම දැනුම්දීම කර ඇති බවත් වාර්තා වෙයි.
ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය පස්වැනිදා දන්වා යැවූ බවත් ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ලේකම්වරයා පැවසූ බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත.
ඊට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙසේ ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දුන් බවත් ලේකම්වරයා පවසා ඇත.
රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිද්ධියට රැගෙන ගිය වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් වීම හේතුවෙන් එහි වගකීම ආයතන ප්‍රධානියා විසින් දැරිය යුතු බව බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා සඳහන් කර තිබේ.
එම සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන බවද ලේකම්වරයා තව දුරටත් පවසා ඇත.
මෙම පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා රාගම වෛද්‍ය සිසුන්ට එල්ලකළ මැර ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට ගොස් මාධ්‍ය හමුවේද අසරණ විය. ඒ මාධ්‍යවේදීන් යොමුකළ තීරණාත්මක ප්‍රශ්න වලට පිළිතුරු නොදන්නා බව පැවසීම නිසාය.
බැසිල්ගෙන් සැර කැපිල්ලක් !
මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .
ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .
අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .
රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත .
ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.
ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .
- lankadeepa
පොහොර ගෙනාවා නම් කෝටි 360 යි : දැන් වී වගා වන්දිය විතරක් කෝටි 400 යි !
ආණ්ඩුව පොහොර ආනයනය තහනම් නොකොට පොහොර ගෙන ඒමට කටයුතු කළේ නම් ඒ සදහා වැය වන්නේ කෝටි 360ක් පමණක් බවත්, දැන් ආණ්ඩුවට වී වගාව සදහා පමණක් වන්දි වශයෙන් කෝටි 400කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් කෘෂි විද්‍යාඥ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම කමිටු සභාපති මහාචාර්ය අරුණ කුමාර පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ අකෙුත් භෝගවලට පවා වන්දි දීමට සිදුවුවහොත් මෙම මුදල තවත් ඉහළ යා හැකි බවකි.
මූලාශ්‍රය - මව්රට
මැතිවරණවලට සල්ලි පොම්ප කරන්න : ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ- හර්ෂ
වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චුගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත ණය සහ විනිමය අර්බුදයකට මුහුණු දෙමින් සිටින බවත් නිසි විනයකින් යුතුව මෙම ගැටලු නිරාකරණය කර නොගන්නේ නම් සමස්ත රට වැසියාගේම අනාගතය අඳුරෙන් අඳුරට වැටෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
වත්මන් විනිමය අර්බුදය කෙටි කාලීනව විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කරද්දී ආණ්ඩුව එයට මැලිකමක් දක්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී මුදල් අච්චු ගසමින් දැවැන්ත ලෙස මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි මන්ත්‍රීවරයා මෙහිදී කීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලලා තියනවා වගේ අදහසක් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළා. එවිට මහ බැංකු අධිපතිවරයා කියනවා මෙය නිරන්තරයෙන් ලබාදෙන තාක්ෂණික සහායක් විතරයි. ඒ සහාය ලබාදෙන්නේ මුදල් අමාත්‍යංශයේ අලුතින් ආරම්භ කළ සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය ඒකකයට කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව රටේ අනාගතයට සුබදායක විදිහට මේ අර්බුදය කළමනාකරණය කර ගන්න මූල්‍ය අරමුදලට යෑමට දැඩි අකමැත්තක් දක්වනවා.“
“ඇයි ඒ වගේ අකමැත්තක් දක්වන්නේ? දැනටත් මේ ආණ්ඩුව දුවන්නේ සල්ලි අච්චු ගහලා. පසුගිය ජනවාරි මාසයේ ආහාර උද්ධමනය සියයට 25 යි. ජනතා උද්ඝෝෂණ එනකොට ලේසියෙන්ම කරන දේ තමයි සල්ලි අච්චු ගහලා බෙදන එක. මූල්‍ය අරමුදලට ගියොත් මේක කරන්න බෑ. මේ විදිහට සල්ලි අච්චු ගහලා රට විනාශ කරන්න එපා කියල අනිවාර්යෙන්ම මූල්‍ය අරමුදල කියනවා. ඒකයි, මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ. මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ තමන්ගේ බලකෑදරකමට මුළු රටම විනාශ වුණත් කමක් නෑ කියල ඉදිරි මැතිවරණවලදී දැවැන්ත ලෙස මුදල් අච්චු ගහල මුදල් පොම්ප කරන්න. ඒ විදිහට සල්ලි බෙදල ඡන්ද දිනන්න හිතාගෙන තමයි මේ ගොල්ලෝ මූල්‍ය අරමුදලට යන්නෙ නැත්තේ.“
වත්මන් ආණ්ඩුව මෙම විනිමය අර්බුදය විසඳාගැනීමට එක් එක් රටවලින් අතමාරු ණය ලබාගැනීම විසඳුමක් නොවන බවත් මේ අර්ථයෙන් බැලූවිට ලංකාව දේශපාලන අවස්ථාවාදයේ ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර, උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලංකාවට ඩොලර් පැමිණීමේ වරදක් නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කර තිබෙන ප්‍රකාශය බරපතල එකක් බවත් එවැනි ක්‍රම මගින් පැමිණි මුදල් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක කටයුතු සඳහා යොදාගත්තේ යැයි සිදුකළ අනාවරණය එයටත් වඩා බරපතල බවත් ඔහු පැවසීය.
මහ බැංකුව විසින් ඩොලරයේ අගය කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා 2020 අවසන් මාස පහට සාපේක්ෂව 2021 වසරේ අවසන් මාස පහ තුළදී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.7 කින් අඩුවී තිබෙන බවත් මුදල් අමාත්‍යවරයාට මෙවැනි ප්‍රකාශ මගින් ප්‍රේෂණවල සිදුවූ මෙම කඩා වැටීම සාධාරණීකරණය කළ නොහැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නෙළුම් පොකුණ අපේ වැඩක් : විජිත හේරත් අතීතය හෙළිකරයි !
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජවිපෙ ජනහමුවක් අමතමිනි.
නෙළුම් පොකුණ 2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බව විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.
චීනය විසින් මුලින් යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය මත ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වී තමන්ගේ නමින් නම් කරමින් එය විවෘත කල බවද ඔහු සඳහන් කර තිබේ.
රාගම වෛද්‍ය පීඨ සිද්ධියේ මන්ත්‍රී පුතා ඇතුළු කණ්ඩායමට ඇප
රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.
කෙසේවෙතත් එක් සැකකරුවෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
තවත් සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය අද මහෙස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර නඩුව අද කැදවූ අවස්ථාවේ පොලීසිය දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවය.
නීතිඥයින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
තවද සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
විසඳුම් ප්‍රමාද කරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වෙනවා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත විය.
අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක විය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද්‍ර පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්,ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ.=
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසයි.
බළධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවත්, එම කාලසීමාව තුළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්, කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාද අඩපන වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද දිනයේ කොරෝනා මරණ 26ක් : කොරෝනා ආසාදිතයින් 15,621ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 26ක් අද වාර්තා වී තිබේ.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටින අතර කාන්තාවන් 09 දෙනෙකු සිටී.
එසේම මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් ඇත.
හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ඒ, නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදීයි.
මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සම්බන්ධයෙනි.
වාසු ජල බල්පත් නොගෙවන මැති ඇමතිවරුන් ප්‍රසිද්ධ කරන්න
නිල නිවාසවල ජල බිල්පත් නොගෙවන හිටපු මැති ඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු පමණ මේ වන විට හඳුනා ගෙන ඇති බවත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව, ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Page 347 of 440