Ad

Ad 01

V2025

පුවත්

සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දෙනවා - ජනපති

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන් හිදී හමුදා සාමාජිකයින් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන් හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබාගැනීමට නියමිත බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

“අර්බුදකාරී කාලවලදී හමුදා වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙම අධ්‍යයන සැසිය සංවිධානය කර තිබුණි.

යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැගෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින අතර අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් -19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පැවසීය.

මෙරට හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති ප්‍රශංසනීය මෙහෙවර අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, 2016 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනය මේ වන විට පූර්ණ වෛද්‍ය සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති බවද පැවසීය.

මෙරට හමුදා වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිවරයාගේ දායකත්වය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇඟයීමට ලක් විය.

ඉන්දියාවේ භූ කම්පනයක් ගැන අනතුරු හැගවීමක්

ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව නුදුරු අනාගතයේ දී භූ කම්පනයකින් බලපෑම් එල්ලවිය හැකි බව ඉන්දිය කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පවසන ආකාරයට එමගින් උතුරු ඉන්දියානු පෙදෙස්වලට දැඩි හානි සිදුවීමේ හැකිය

එමෙන්ම ඉන් ජීවිත හා දේපළ හානි රැසක් සිදුවිය හැකි බවද ඔවුන් අනතුරු අඟවා ඇත.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය ද ලංකාවට දැනී තිබුණි

හිමාලය ප්‍රදේශයට බලපා හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බව ඔවුන්ගේ මතය වෙයි.

මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක තීරණය කර තිබේ.

 මයන්ත දිසානායක තමාට ඒ බව දැනුම්දුන් බව  සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

මයන්ත දිසානායක තම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු මුදල් කාරක සභා සභාපති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය.

පේරාදෙණි සරසවිය ලොව හොඳම සරසවි 1,000 අතරට

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙයි.

US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම ස්ථානය ලැබී ඇත.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝලීය වශයෙන් 901 වන ස්ථානයටත් ආසියාවේ 240 වැනි ස්ථානයටත් පත්ව තිබෙයි

ගෝලීය පර්යේෂණ කීර්තිය, ජාත්‍යන්තර සහයෝගීතාව, ප්‍රකාශන, පොත්පත් සහ සම්පූර්ණ උපුටා දැක්වීම් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත හොඳම ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ගණනය කිරීමට දර්ශක දහතුනක් භාවිතා කර තිබුණි.

මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්ව විද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ලෙස දිගටම පවතියි.

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරනවා” – ජනපති

වසර පුරා ම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමග ඊයේ (පෙබ. 23) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි.

සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේදී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වසරකට සංචාරකයින් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බව ත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමෙන් ම, ශ්‍රී ලංකාව පිළිබඳ වඩා හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතු බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙවර නිදහස් උත්සවය අභිමානවත්ව පැවැත්වුවේ රටේ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාමට බව ද සඳහන් කළේ ය.

පසුගිය වසරේ මැයි, ජූනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසු සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වූ බවත් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව තුළ නීතිය සහ සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතු වූ බවත් ජනාධිපතිවරයා පැවසීය.RW HARIN

 

රංජිත් බණ්ඩාර කෝප් කමිටු සභාපති ධුරයට

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර අද(23) පත් කෙරිණ.

ඒ , කමිටු සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් ය.

එහිදී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කළේ, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  එය ස්ථීර කළේ ය.

විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්නගේ නම නලින් බණ්ඩාර  යෝජනා කළේ ය.

එය ස්ථීර කළේ, රවුෆ් හකීම් යි.

එහිදී කමිටු සමාජිකයින් අතර ඡන්ද විමසීමක් පැවති අතර, මහාචාර්ය රංජිත් බණ්ඩාර  නව කෝප් කමිටු සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

කල් දාන්න ඡන්දයක් කොහේද? මම මුජිබර්ට පණිවිඩයක් යැව්වා - ජනාධිපති

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිට ඉන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවට තරග කරන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස තමා පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

“ මම තමයි මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාව ගෙනාවේ. ඉතින් ඒ නිසා මම පණිවිඩයක් යවලා කිව්වා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා.
දැන් සමහරු කියනවා මම ඡන්දය කළ දාලා කියලා. මම අහනවා කල්දාන්න කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා” යි ජනාධිපතිවරයා විමසා සිටියේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

"විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා '' යැයි ජනාධිපතිවරයා කීය.

මැතිවරණ පෙත්සම සලකා බැලීම කල්යයි

රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා පළාත් පාලන ඡන්දය වළක්වන නියෝගයක් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර  ඉදිරිපත් කළ පෙත්සම නැවත සලකා බැලීම මැයි 11 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

අද(23) පෙත්සම් කැඳවූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්  ප්‍රකාශ කළේ, ඡන්දය තිබිය යුතු බවට වන කොමිසමේ ස්ථාවරය වෙනුවෙන් කිසිදු බෙදීමක් නොමැති බවයි.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ ගැටලු සහ භාණ්ඩාගාරය ඡන්දයට අදාළ ප්‍රතිපාදන ලබා නොදීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධා පවතින බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නිතිඥ නෙරිල් පුල්ලේ  භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් ගොනු කල දිවුරුම් ප්‍රකාශයක් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කළේ ය.

එහිදී දැනට සිදුකර ඇති මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරිමට අදාළ කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ , තවදුරටත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා උපදෙස් අවශ්‍ය බවයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර !

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලුදෙනාට ආරාධනා කළේය.

සිය දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවෙකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ලැබූ පන්නරය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රටේ ආර්ථිකය යළි ගොඩනඟනවා සේම ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමේ දැඩි අධිෂ්ඨානය ඇතිව බව ද කියා සිටියේය.

කුමන බාධක හමුවේ වුවද එම වැඩපිළිවෙළ නවතා නොදමන අතර රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇති කිරීම මෙන්ම ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වගකීම ද සියලුදෙනා එක්ව ඉටු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කළ ආරාධනාව අනුව අද මම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙම විදුහලේ අධ්‍යාපනය ලැබූ මාව සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව අද මෙම තත්ත්වයට හැඩ ගැස්වීම පිළිබඳව මෙම පාසලේ හිටපු විදුහල්පතිවරුන්ට සහ ආචාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත විය යුතුයි. දිසා බණ්ඩාරනායක, එච්.ඩී. සුගතපාල, රාජකීය ප්‍රාථමික අංශයේ ප්‍රධානීන් වූ ඩඩ්ලි සිල්වා සහ බෝගොඩ ප්‍රේමනාත් යන ගුරුවරුන් අපි අදත් සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුතුවයි.

ඒ වගේම රාජකීය විද්‍යාලයේ නාමය සුරැකීම වෙනුවෙන් මා සමඟ එක්ව සටන් කළ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වන ඩයන් පීරිස් මහතාට සහ අපට සහාය දුන් අනෙකුත් සියලුම සාමාජිකයින්ට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා. එසේ නොවුනා නම් අද රාජකීය විද්‍යාලයට වෙනත් නමක් ලැබීමට තිබුණා.

ඒ වගේම මම සහ අග්‍රාමාත්‍යතුමා අද මෙම ස්ථානයට සහභාගි වීම තවත් සුවිශේෂි සිදුවීමක් වනුයේ එතුමත්, මමත් රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබීම නිසයි.

දේශපාලන කරළියේ රාජකීය විද්‍යාලයේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. කොළඹ ඇකඩමිය ආරම්භ වී වසර කිහිපයකට පසු එහි කැපී පෙනෙන සිසුන් කිහිප දෙනෙකු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් බවට පත් වුණා. සී. ඒ. ලෝරන්ස් සහ ජේම්ස් ද අල්විස් යන දෙදනාම කවුන්සිලයේ වැඩි බලයක් ලැබූ අයයි. නයිට් පදවිය දැරු ප්‍රථම ආසියාතිකයා වූ ශ්‍රීමත් රිචඩ් මෝගන් මහතා විධායක කමිටු සාමාජික, වැඩබලන නීතිපති මෙන්ම වැඩබලන අගවිනිසුරු සහ ශ්‍රීමත් මුතුකුමාරසාමි යන හතර දෙනාම එවකට මෙරට දේශපාලන භූමිකාවේ ආධිපත්‍ය දැරු අයයි.

ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විසින් තෝරා පත් කර ගනු ලැබූ පළමු මන්ත්‍රිවරයා වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා මෙන්ම ඔහුට පරාජය වු ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු ද රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වුණා.

ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් වන බවට තීරණය කරනු ලැබුවේ 1915 කැරැල්ලෙන් පසුවයි. මේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍යයන් විසින් මරණ දණ්ඩනයට ලක් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් බවට පත් කිරීමේ සටන ආරම්භ වුණා. එවකට ශ්‍රීමත් පොන්නම්බලම් රමනාදන් මහතා ව්‍යවස්ථාදායක සභාවේදී හෙන්රි පේද්‍රිස් මහතා වෙනුවෙන් කන්නලව් කළේ ඔහු ද රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ නිසයි.

ඒ වගේම ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් එංගලන්තයට ගියේ සිංහල බෞද්ධ නායකයන් වෙනුවෙන් පෙනී සිටීමටයි. ඔවුන් ද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වූ අතර එවිට 1915 කැරැල්ලේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ ප්‍රධාන චරිත සියල්ල රාජකීයන් වුණා. අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ද මෙම රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් බව සිහිපත් කළයුතුයි.

අද වන විට මෙම රාජකීය විද්‍යාලය ජනාධිපතිවරු දෙදෙනෙක් සහ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙක් රටට දායාද කර තිබෙනවා. මෙය පාසලේ කැපී පෙනෙන වාර්තාවක්.

ඊට අමතරව මාලදිවයිනේ සුල්තාන්වරයෙකු වූ මාලදිවයින නවීකරණය කළ මුහම්මද් ෆරීඩ් ඩිඩි මෙම රාජකීය විද්‍යාලයේ වසරක් පමණ අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වූ මවුමුන් අබ්දුල් ගයුම් වසරක් හෝ ඊට වැඩි කාලයක් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබෙනවා. මේ සියලුදෙනාටම තම රට නවීකරණය කිරීමේ පුරුද්ද ඇති වී තිබෙන්නේ මෙම රාජකීය විද්‍යාලයෙන් බව මම විශ්වාස කරනවා.

ඒවගේම මෙම විද්‍යාලය තවත් වාර්තාවක් තබා තිබෙනවා. ඒ පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදනය කළේද පැරණි රාජකීයයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වූ නිසයි. ඒ වගේම දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ඔහුගේ පන්තියේ මිතුරෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතායි.

රාජකීය විද්‍යාලය කෙතරම් හොඳට එම රාජකාරිය ඉටුකර තිබෙනවාද කිවහොත් එය වෙනස් කිරීමට කිසිවෙකුට හැකි වී නැහැ.

ඒ වගේම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ වගේම දිවංගත අනුර බණ්ඩාරනායක, මලික් සමරවික්‍රම සහ මම මෙම පාසලට තවත් වාර්තා එක් කර තිබෙනවා. එනම් අප අතරින් දෙදෙනෙකු ජනාධිපති ධූරය හොඹවා ඇති අතර ඇතැමුන් අග්‍රාමාත්‍ය ධූරය හොඹවා තිබෙනවා. එක් අයෙකු කථානායක ධූරය හෙඹ වු අතර තවත් දෙදෙනෙක් සභානායක ලෙස සිට තිබෙනවා. ඒ වගේම තවත් දෙදෙනෙක් විපක්ෂනායක තනතුර හොඹවා තිබෙනවා.

රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් ලෙස අප මෙම ජයග්‍රහණ ලබාගත් බව කිව යුතුයි. අද වත්මන් සිසුන් ලෙස ඔබ මීට වඩා ජයග්‍රහණය ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා. වාර්තා තිබෙන්නේ ඉදිරියට ගෙන යාම සඳහා නොවෙයි. ඒවා බිඳ දමමින් නව වාර්තා බිහි කළ යුතුයි.

අද මම ඔබ අමතන්නේ අපි රටක් ලෙස ඉතා අසීරුතාවකට පත්ව ඇති මොහොතකයි. පසුගිය වසර 400ටම මෙවන් තත්ත්වයක් රට තුළ උදා වී නැහැ. අද අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. මම පොදු ආර්ථික කරුණු ගැන මෙතන කථා කරන්නේ නැහැ. නමුත් මෙම තත්ත්වය ඔබ සියලුදෙනාටම බලපානවා. මේ රටේ සෑම නිවසකටම ඉන්ධන හිඟය, විදුලි බලය නැතිවීම සහ ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීම බදු වැඩිවීම වගේම උද්ධමනය ඉහළයාම නිසා ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

මම රට භාරගන්නා අවස්ථාවේ රටේ සමස්ථ ආර්ථිකයම කඩා වැටිලයි තිබුණේ. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම භාරගත්තා. අපේ යුතුකම වුණේ පළමුව රට ගැන සිතීමයි. ඒ අනුව රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීමට වගේම ලෝකයේ පිළිගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ඕනෑම තීරණයක් වසරක් තුළ ගන්නවා කියන අධිෂ්ඨානය මම ඇති කර ගත්තා.

එය අසීරු කාර්යයක්. නමුත් රට බංකොළොත් රටක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම කැමැති නැහැ. මේ රටේ ජනතාව දුක් විඳිනවා බලා සිටීමට මම කැමති නැහැ. අපි නැවත නැඟි සිටිය යුතුයි, වගේම රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කළ යුතුයි. මම මේ සෑම තීරණයක්ම ගනු ලැබුවේ ඒ සඳහායි. අග්‍රමාත්‍යවරයාත් ඒ සඳහා මට සහාය ලබා දුන්නා.
නමුත් මම දැනගෙන සිටියා මට ගැනීමට සිදුවන ඇතැම් තීරණ අසීරු තීරණ වෙයි කියලා. එම තීරණ නිසා මට බැණුම් අහන්න වෙයි කියලා. එහෙත් මෙම තීරණ ගන්නේ නැතිව රට ගොඩනැංවීමට නොහැකියි.

අභියෝග භාර ගැනීම මෙන්ම නිවැරදි දේ සහ රටට හිතකර දේ කිරීමට මම මේ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම යම් තීරණයක් ගන්න කළින් මම වරක්, දෙවරක් නොව තෙවරක්ම ඒ පිළිබඳ සිතා බලා තිබෙනවා. එයින් ජනතාවට සිදුවන බලපෑම කුමක්ද, ඒ වගේම මම කොපමණ අප්‍රසාදයට ලක් වෙයිද, ඒ නිසා මේ තීරණය ගතයුතුම ද කියා මම සිතනවා. නමුත් රටේ යහපත වෙනුවෙන් සහ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් එම අසීරු තීරණ ගැනීමට මට සිදු වණා.

අපට බංකොළොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකියි වගේම හිඟන රටක් වෙන්න බැහැ. ඒ නිසා අපිට අසීරු තීරණ ගැනීමට සිදුවුණා. නමුත් මෙම වසර ඇතුළත අපි අපේ රටේ ආර්ථික තත්ත්වයේ යම් ප්‍රගතියක් ඇති කරගන්නවා කියා මම ඔබට සහතික වෙනවා.

අපි මේ වන විට රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්‍ය අඩිතාලම දමා තිබෙනවා. නමුත් ඒ රට බංකොළොත් කරන පැරණි ක්‍රමවේදයට අනුව නොවෙයි. රට ගොඩනංවන නව ක්‍රමවේදයක් අනුවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව දෙවැනි වුණේ ජපානයට පමණයි. ශ්‍රී ලංකාව මිළග සිවිස්ටර්ලන්තය වන බවට අනවැකි පළ වී තිබුණා. නමුත් අවාසනාවකට අද අපිට පහළින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. අපි අපේ රටේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ ඊළග වසර 25ට සරලින අන්දමිනුයි. ඒ වගේම අපි නව ව්‍යවස්ථාවක් සකස් කරන විට එය සකස් කළ යුත්තේ තවත් වසර 100කට ගැළපෙන අයුරින්.

අපි රටේ අනාගතය ගොඩනැඟිය යුත්තේ අපි වෙනුවෙන් නොවෙයි. මෙතන සිටින අපි කිසිවෙක් තව වසර 25ක්වත් ජීවත් වන්නේ නැහැ. මේ අනාගතය ගොඩනඟන්නේ ඔබ වෙනුවෙනුයි. මෙහි ඉදිරිපෙළ සිටින බොහෝ දෙනෙකුට තවත් වසර 25ක් යන විට වසර 45ක් වත් සම්පූර්ණ වන්නේ නැහැ. ඉන් පිටුපස අසුන්වල සිටින ඊට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන්ට තව අවුරුදු 25කින් වසර 40ක් සම්පූර්ණ වෙයි. ඉතින් ඔබ තමයි අනාගතයේ මේ රටේ ජීවත් වන්නේ. ඒ නිසා ඔබ තීරණය කළයුතුයි අපි මොනවගේ රටකද ජීවත් වන්නේ කියා. ඔබ එම අභියෝගය භාර ගෙන රටේ ඉදිරි අනාගතය සැලසුම් කළයුතුයි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා වගේ “ඔබ තීරණය කළයුතුයි මේ රටේ අනාගතය”. නමුත් අද ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටින්නේ පිට රටකට යා යුතුයි කියන අදහස ඇතිවයි. ඔවුන් අනාගතය දකින්නේ රටින් පිටවිය යුතුයි කියන තැන සිට. නමුත් ඔබ රාජකීය සිසුන් බව අමතක නොකළ යුතුයි.

අපි සාර්ථකවත්වය ලබා ගැනීම සඳහා නැවත සටන් කළ යුතුයි. අපේ වටිනාකම් රැක ගැනීමට නම් අපි තනිවමත්, කණ්ඩායමක් ලෙසත් සටන් කළයුතුයි. ඉතින් ඔබෙන් කොටසක් අධ්‍යාපනය සඳහා පිට රට යයි. තවත් පිරිසක් මෙහි රැඳි සිටි. නමුත් ඔබව පිරිපුන් මිනිසුන් බවට පත් කළේ රාජකීය විද්‍යාලය බව ඔබ මතක තබාගත යුතුයි.

මම රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මට උසස් අධ්‍යාපනය සඳහා පිට රටකට යාමට හැකියාව තිබුණා. මගේ පියාටත් අවශ්‍ය වුණේ එයයි. නමුත් මම මේ රටේම සිටීමට තීරණය කළේ මට මගේ රට වටින නිසයි. ඉතින් මම පාසලෙන් ඉවත් වූවායින් පසු පිට රටකට ගියේ නැහැ. මම මේ රටේම සිටම උසස් අධ්‍යාපනය හැදෑරුවා. මම මගේ රටට ණයගැතියි. මගේ අධ්‍යාපනයට වියදම් කළේ මේ රටයි. ඒ වගේම මම රාජකීය විද්‍යාලයට ආදරෙයි.

ඒ වගේම අග්‍රාමාත්‍යතුමා උසස් අධ්‍යාපනය සඳහා පිට රට ගියත් රට වෙනුවෙන් ඔහුගේ වගකීම සහ යුතුකම අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු උසස් අධ්‍යාපනයෙන් පසු නැවත රටට පැමිණියා. ඔබ සියලුදෙනාත් කළ යුත්තේ එයයි.

ඔබ සියලුදෙනා මෙම පාසලට පැමණීමට වරම් ලැබුවත් එම අවස්ථාව අහිමි වූ සිය ගණනක් සිටිනවා. ඒ සියලුදෙනා අතරින් මේ පාසල ඔබව තෝරා ගත්තා. ඒ නිසා ඔබට වගකීමක් තිබෙනවා මේ රටේ සිට රට ගොඩනැඟීමට දායක වීමට.

රාජකීය සිසුන් ලෙස ඔබ එම අභියෝගය භාර ගැනීමට සූදානම් ද ? ඔබගේ කාර්යභාරය එයයි. ඔබ සියලුදෙනාටම රට වෙනුවෙන් ඉටු කිරීමට කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි රටේ ආර්ථිකය ගොඩනැගීම. අනෙක තමයි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම. අපිට ජාති, ආගම් වශයෙන් බෙදිය නොහැකියි. රාජකීයන් එලෙස බෙදෙන්නේ නැහැ. ඔබ සියලුදෙනා උසස් අධ්‍යාපනය ලබා නැවත මේ රටට පැමිණ ඔබගේ සමාජ වගකීම භාරගෙන රටේ ඉදිරි ගමන වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක විය යුතුයි. ඔබ ඉහළම තනතුරක සිටියත් තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරයක නිරත වුවත් එය ඔබගේ උපරිම කැපවීමෙන් සිදු කළ යුතුයි.

ඒ වගේම මම සියලු ආදි රාජකීයන්ට ආරාධනා කරනවා සියලු එදිරිවාදිකම් අමතක කර මේ රට ගොඩනැඟීමට එක් වන්න කියා. දේශපාලනයේ නිරත කිසිවෙකුට මම කියන්නේ නැහැ තම දේශපාලන ගමන නතර කර මා සමඟ එක්වන ලෙස. එහෙත් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් කෘෂිකර්මාන්තයේ යෙදෙන අය, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ රටේ වැටී ඇති ආර්ථිකය ගොඩඟන තුරු එකට එක්ව කටයුතු කරමු කියලයි.

එමෙන්ම සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිසිය, රාජ්‍ය සේවකයන්, ගුරුවරුන් සියලුදෙනාගෙන් මේ රට ගොඩනැංවීමට එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා. එය තමයි අපි සියලුදෙනා එක්ව ජයගත යුතු අභියෝගය වන්නේ.

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් සිදු කළ අතර ස්තූති කතාව ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක විසින් සිදු කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ගෙවිදු කුමාරතුංග, ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, යදාමනි ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, නිපුන රණවක යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විමල් බන්දුලගෙන් කන පිරෙන්න අහගනියි

මාර්ග අනතුරු වළක්වන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කරන තොරතුරුවලට සවන් දීමට උත්තරීතර සභාව සූදානම් නැත්නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව පුස්තකාලයේ තැබීම සඳහා සභාගත කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මාසයේදී හත් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශයක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මන්ත්‍රී විමල් වීරවංශ රටේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශ නිකුත් කිරීමට ගියොත් පාර්ලිමේන්තුවට වෙන වැඩක් නැති වේවි යැයි සඳහන් කරමින් ඊට විරෝධය පළ කළේය.

අමාත්‍යවරයා ඉහත ප්‍රතිචාරය දක්වා සිටියේ ඒ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදය මෙසේය .

විමල් වීරවංශ

රිය අනතුරක් ගැන මොකක්ද මේ කරන අමාත්‍යාංශ ප්‍රකාශය. කවුරුත් මේ සභාවේ රිය අනතුරක් ගැන ප්‍රශ්න කළේ නෑ. අපිත් ඇමැතිකම් කරලා තියෙනවා. රිය අනතුරු වෙන තරමට ඇමැතිවරුන් ප්‍රකාශ කරන්න ගියොත් මෙතන මොකුත් කරන්න වෙන්නේ නෑ.

අමාත්‍යවරයා :

ඔබලා තේරුම් ගන්න මේක විශාල අනතුරක්.

වීරවංශ :

මිනිස්සු මැරෙන අනතුරු ඔක්කොම විශාල තමයි.

අමාත්‍යවරයා :

මේ රිය අනතුර සුවිශේෂ එකක්. ප්‍රවාහන අංශවල අවධානය යොමු කිරීමට මේ වාර්තාව සකස් කළේ.

මම ඒක පුස්තකාලයේ තබනවා අවශ්‍ය කෙනෙකුට කියවා ගන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිත හතක් නැතිවෙලා. ඒකට විසඳුම් ඉදිරිපත් කළාම ඒක අවශ්‍ය නැද්ද. ඒක බාර ගන්න මේ උත්තරීතර සභාව සූදානම් නැත්නම් වාර්තාව සභාගත කරන්නම්. උනන්දුවක් නැති වීම ගැන මම කනගාටු වෙනවා.

වීරවංශ ( සිනහමුසු මුහුණින් යුතුව)

වාර්තාව සභාගත කිරීම ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඒ වාර්තාව අධ්‍යයනය කරන්නම්. මීට පස්සේ මේ රටේ රියඅනතුරු වෙන්නේ නැති බවට සහතිකයක් දෙනවා. අපි ඒ ගැන ඔබතුමාට ගරු කරනවා.

ජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක් !

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිදු විය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) එම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ.

සෞඛ්‍ය සේවයේ අමතර වියදම් කප්පාදුවක් !

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15 කින් කපාහැර ඇත .

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රාජ්‍ය වියදම් කලමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමානා සියයට 15කින් කපා හරින බවයි.

මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉදිරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහන වියදම සියයට 10කින් අඩුකරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

තවද සෞඛ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා දෙන නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින 05කට සීමා කළ යුතු බව ද එහි සඳහන් වේ.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අනවශ්‍ය විදුහිල පහන් නිමාදමන ලෙසත් ජලය, ඉන්ධන, දුරකතන, ලිපිද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

වැඩසටහන්, සම්මනත්‍රණ වැඩමුළු, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකිය යුතු බව ද අත්‍යශවශ්‍ය නම් ඊට සෞඛ්‍ය ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබගත යුතු බව ද එහි සඳහන් වේ.

මෛත්‍රීගේ පෙත්සමේ තීන්දුව කල්යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (22) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන  මෙම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස 01 වනදා දක්වා කල්තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයා නියෝගය කළේය.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

 

වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් - ජනාධිපති

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය.

තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි. මෙහිදී ඉන්දියාව ද තමන්ටම ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කළ නමුත් චීනය තම ක්‍රමවේදය පිළිබඳව මෙතෙක් එකඟතාව පළ කර නොමැති බව ද ජනාධිපතිවරයා පැවසීය. කෙසේ වුවද එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්වෙන ජී- 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ සාකච්ඡාවේ දී ඔවුන්ගේ ස්ථාවරත්වය දැනුම් දෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

“2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබිණ.

ලංවීම වෘත්තීය සමිති තවත් දීමනාවක් ඉල්ලයි !

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් නොගෙවූ 2021 වසරේ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ලබාදෙන ලෙස එහි වෘත්තිය සමිති පාලන අධිකාරියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට පවතින ආකාරයට විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් වසරකට හිමි වෛද්‍ය නිවාඩු 21 ලබානොගත හොත් මාසික වැටුපක දිරිදීමනාවක් හිමිවන අතර ඉතිරිව තිබෙන නිවාඩු ගණන අනුව සෙසු දීමනාව තීරණ වේ.

මෙහිදී වෘත්තීය සමිති පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පසුගිය වසර (2022) සඳහා ප්‍රසාද දීමනාව සහ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ද මේ දක්වා ලැබී නොමැති බවය.

කෙසේ වුවත් විදුලි බල මණ්ඩලය පවසන්නේ ‘කොවිඩ්’ වසංගත තත්වය පැවැති 2021 වසරේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවුවද වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ගෙවා නොමැති බවත් සේවකයන් වැඩි කාලයක් නිවසේ සිට කටයුතු කිරීම හේතුවෙන් එය නොගෙවූ බවත්ය.

එසේම වෘත්තීය සමිති වල මෙම ඉල්ලීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බවද වාර්තා වෙයි.

පාඩු ලබන ඩිපෝ පෞද්ගලික අංශයට !

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරුන් ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත.

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් මෙන්න !

පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර ඇත.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල් , චමල් රාජපක්ෂ , නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා , ගාමිණී ලොකුගේ , උදය ගම්මන්පිල , ඉරාන් වික්‍රමරත්න , අජිත් මාන්නප්පෙරුම , බී. වයි. ජී. රත්නසේකර , එම්. ඒ. සුමන්තිරන් , චමින්ද වි‍ජේසිරි , සම්පත් අතුකෝරල , කරුණාදාස කොඩිතුවක්කු , කෝකිලා ගුණවර්ධන , යදාමිණී ගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මැති ඇමතිවරුන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කර ඇත.

වී අස්වනු ඉහළ නංවන සැළැස්මක් !

ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ වසර තුනක් තුළ ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් තුළ ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක් තුළ ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වී වගාව ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් වී වගාව ආශ්‍රිතව පර්යේෂණ සිදු කර තිබෙන සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

දැනට අප රටේ හෙක්ටෙයාර් එකකින් ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වේ.

ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉළක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වී වගාවේ අඩුම අස්වැන්නක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බැවින් බස්නාහිර පළාතේ හා තෙත් කළාපයේ කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරුවලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සාකච්ඡා කළේය.

මෙම වසර තුළ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරේ. ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිතය. ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉළක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Page 195 of 440