Ad

Ad 01

V2025

පුවත්

පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නොහැකිවිය.

25apirl

චීනයෙන් නැගෙනහිරට ආධාර

චිනයේ බෞද්ධ සංගමය සහ චීනයේ විහාරස්ථාන හතක දායකයින් විසින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදුන් වියළි සලාකවලින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවගේ කොටස බෙදාදීම පසුගියදා (02) සිදුවිය.

ඒ කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මිය අතිනි.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම්ලාභී සිංහල,දමිළ, සහ මුස්ලිම් පවුල් 225ක් සඳහා මෙහිදී වියළි සලාක බෙදා දීම සිදුවූහ.

මේ අවස්ථාවට අමරපුර මහා නිකායේ ශ්‍රී සද්දම්මවංශික පාර්ශවයේ මහා නායක පූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විශුද්ධි හිමියන් ඇතුළු මහා සංඝරත්න, ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ත්‍රිකුණාමලය මහා දිසාපති බී.එම්.එන්.ජයවික්‍රම,කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්,පූජ්‍ය පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙළට IMF සහය - සාගල

ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය  ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය  පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මෙම අදහස් පළ කළේ, වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවති  සාකච්ඡාවට එක්වෙමිනි .

උපයන විට අයකරනු ලබන බද්ද ඉවත් කර ගැනීම පිළිබඳ මාර්තු 08 හා 09 දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ආර්ථිකමය වශයෙන් රට පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන  අත්‍යාවශ්‍ය සේවාවන් හා අනෙකුත් සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදෙන ලෙස  සාගල රත්නායක මහතා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන්  ඉල්ලා සිටියේ ය.
බදු පැනවීම නිසා වෘත්තිකයන් පත්ව ඇති අපහසුතාව රජය තේරුම් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය සංශෝධන ඉදිරියේ දී ගෙන ඒමට කටයුතු කරන බවත් රත්නායක මහතා පැවසීය.එම නිසා වෘත්තීය සමිති නායකයින් ලෙස රට අස්ථාවර කරන කිසිදු උත්සාහයකට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටි  සාගල රත්නායක මහතා එසේ වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

තම මාසික ආදායම මත අයකරනු ලබන බදු ප්‍රතිශතය නිසා  එදිනෙදා වියදම් සහ ගෙවිය යුතු බැංකු ණය වාරික කළමනාකරණය කර ගත නොහැකි බවත්, වැඩිවන විදුලි බිල්පත නිසා එය තවත් උග්‍ර වී ඇති බවත් වෘත්තීය සමිති නායකයින් මෙහිදී පෙන්වා දුන් අතර උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය සංශෝධනය කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම රජයේ බදු දැලට හසු නොවූ පිරිස් තවමත් සිටින බැවින් ඔවුන්ව සොයා බදු දැලට හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් රජයට විශාල බදු ආදායමක් ලබා ගත හැකි බව ද වෘත්තිය සමිති නායකයෝ  පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක ආචාර්ය ආර්. එච්.එස්. සමරතුංග, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සභාපති මොහොමඩ් උවයිස්,  ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීර්ති බර්නාඩ්, ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන්,  රාජ්‍ය බැංකු සාමාන්‍යධිකාරීවරුන් හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මම මගේ යුතුකම ඉටු කළා : ජනපති පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි

චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය  ඊයේ රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
 
ඒ අනුව තමන් රටේ යුතුකම මේ වන විට ඉටු කර අවසන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සිය යුතුකම මේ මාසය අවසන් වීමට පෙර ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන  බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
 
දැනට රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කළ හොත් 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
 
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසදුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මස මැද භාගයේ දී රජය තීරණය කරනු ලැබුවා. පැවැති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම 2022 අප්‍රේල් මස මැදි භාගයේ දී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බැව් ප්‍රකාශ කරනු ලැබුවා. 
 
ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දා. ඉන්ධන පෝලීම්, ගෑස් පෝලීම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩා වැටීම, දිළිඳු භාවය වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.
 
2022 ජූනි මාසය පමණ සිට පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් යම් පමණකට නිරවුල් වීමේ උපනතියක් පෙන්නුම් කරනු ලැබුවා. පොහොර ලබා දීම මත, පසුගිය යල සහ මහ කන්නයෙත් හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ද යථා තත්ත්වයට පත් වුණා. 
 
රටේ පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස ස්ථායීකරණ වැඩපිළිවෙළකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි.
 
ගෑස් හා ඛනිජ තෙල් සුලභතාවය තහවුරු කිරීම, පාසල් හා විභාග නිසි ලෙස පවත්වාගෙන යාම, අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කිරීම, පොහොර ලබාදීම, සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීම. එමෙන්ම, රජයට සිදු වුණා. 2019 කාලයේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය වෙතම යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බඳු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදියෙන් 8%ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්තිවලට යාමට සිදු වුණා.
 
ඒ වාගේම, මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති යටතේ පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවුණා. දිගින් දිගටම ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වුණේ පොලි අනුපාත ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට සාමාන්‍ය උද්ධමනය 70%  දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90% පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩිවන වේගය 50% දක්වා අඩු වී තිබෙනවා. එසේම, ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා.
 
අපට විදේශ ණය ගෙවීමට නොහැකි බැව් ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමඟ සිදු කරන මුල්‍ය ගනුදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කළා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයි යන ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා. 
 
මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ,
• අපනයන
• විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංක්‍රාම
• සංචාරක ව්‍යාපාරය ආදියෙන්
 
රටේ හා සමාජයේ පැවැති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය 2022 වර්ෂය පුරාවටම සාර්ථක වුණේ නැත. නමුත් මෙම වසරේ එම තත්ත්වයෙන් හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැති මට්ටමෙන් 1/3 මට්ටමකට විදේශ විනිමය ප්‍රේෂණ අඩු වුණා. එය ද යළි වැඩිවීමේ උපනතියක් පෙන්නුම් කරනවා. අපනයන ආදායම ද වැඩි කර ගැනීමට උපකාර වන යෙදවුම් ආනයනය කිරීමට අපට දැනටත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ. 
 
IMF සංවිධානය 2021 සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා. IMF සංවිධානය සමඟ 2022 මැද භාගයේ දී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා. 
 
එම දූත කණ්ඩායම් වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂ අර්බුදය, රාජ්‍ය මූල්‍ය අර්බුදය මෙන්ම විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එමෙන්ම, දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල්මරමින් ප්‍රමාද කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා.
 
2022 සැප්තැම්බර් මස 01 වන විට අප IMF ආයතනය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත්, IMF ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බව. එබැවින්, ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමඟ රජය දිගින් දිගටම සාකච්ඡා කළා. මේ සඳහා Lasads සහ Clifford Chance නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහාය ද ලබා ගත්තා. එය දීර්ග හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුව, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව හා චීනය සමඟ දිගින් දිගමට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවා. ඉන්දියාව එම සහතිකය 2023 ජනවාරි 16 ලබා දුන්නා. චීනය එය ජනවාරි 18 දින ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023.01.25 පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සමඟ IMF ණය ආධාර වැඩසටහන ගැන මාර්තු 02 දින සාකච්ඡා කළා.ඊයේ සවස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් සමඟත් සාකච්ඡා කළා.
 
IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම. ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට තිබෙනවා.
 
එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා  IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට  IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා. 
IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළයුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩ කඩක් ඇති වන්නේ නැහැ. ඒ අනුව, විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුයි.
 
දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. (බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවීම කෙරෙනවා) IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් (SB ) ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂිකව විදේශ ණය ඩොලර් බිලියන 6-7 ක්   ගෙවීමට තිබෙනවා. 
 
අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට කැමැතියි.
 
අප අතිශය අසීරු ආර්ථීක පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7 - 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. 
 
බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි . එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදී වශයෙන්. ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.
 
ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි. 
 
මම එකක් කිව යුතුයි,  දැන් ඩොලර් මිල පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ.  ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තූතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ. 
 
මම මේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ගමන යාමට අපිත් සමඟ එකතුවන්න කියා. මෙය ඉටුකරගත් පසු ජනාධිපතිවරණය ද , මහඡන්දය ද  කවුද අවශ්‍ය කියලා අපිට ඊළඟ ඡන්දයේදී තීරණය කළ හැකියි. එය මේ රට තීරණය කරයි. ඒ වන තුරු ඔබ සූදානම්  ද, නැද්ද කියලයි මම අහන්නේ. ඔබට පුළුවන් මෙය පිළිගැනීමට, ඒ වගේම ඔබට පුළුවන් මෙය ප්‍රතික්ෂේප කිරීමට. විශේෂයෙන්ම ජුනි මාසයේ මැද වන විට රටේ ආදායම් තත්ත්වය සලකා බැලිය යුතුයි. එතැන සිට තමයි තීරණ ගත හැකි වන්නේ. විශේෂයෙන්ම IMF සංවිධානයේ එකඟතාව ලැබීමෙන් පසු මම එම ගිවිසුම සභාගත කර, යෝජනාවක් ගෙන එනවා,  මේ සභාවට එය පිළිගන්න කියලා. ඒක තමන් තීරණය කරන්න, නැත්නම් වෙන විකල්පයක් අපට ලබා දෙන්න. 
 
ඉන් අනතුරුව අපි නව කෙටුම්පතක් ගෙන එනවා ඉදිරි මාර්ගය සහ වැඩසටහන් පිළිබඳව. එය ජාතික සභාවටත් ලබා දෙන්නම්. පාර්ලිමේන්තුව සාකච්ඡා කර, ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි පසු දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්නම්. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභා කමිටුවලින් වාර්තා ගණනාවක් ලැබී තිබෙනවා. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙත් අපට මාස 08 ක් වැනි කෙටි කාලයක් තුළදී මේ වැඩකටයුත්ත ඉටු කිරීමට හැකි වුණා. එයින් අපි ප්‍රයෝජන ගෙන ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. 
 

වැඩේ ගොඩ : IMF පහසුකම අනුමතයි !

ශ්‍රි ලංකාව ඉල්ලුම් කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණය ණය පහසුකම ලබාදීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉතාම නුදුරු දිනයක නිල ප්‍රකාශයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
 
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයද මෙසේ සඳහන් කර ඇත.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි. 
 
ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය.
 
මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවති.
 
පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්ත්වයකි.
 
එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බවයි.
 
එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවශ්‍ය කටයුතු සලසන බවය.

ස්වාධීන කොමිෂන් සභා 09 ට අයදුම්පත් 1600 ක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා 9ක සාමාජික තනතුරුවලට අයැදුම්පත් කැඳවීමෙන් පසු 1600කට වැඩි පිරිසක් ඊට අයැදුම් කර ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 9ක කොමසාරිස්වරුන් ලෙස පත්වීම සඳහා මෙම අයැදුම්පත් යොමු කර තිබේ.

 ඉදිරි සති කිහිපය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී අදාළ කොමිෂන් සභා සඳහා සුදුස්සන් තෝරාගැනීම සිදුකරනු ඇති බවත් දැනගන්නට ඇත.

කච්චතිව් දූපතේ මංගල්‍යයට බැතිමතුන් 5,000කට අධික පිරිසක්

කොවිඩ් වසංගතයෙන් වසර 02කට පසු 5,500කට අධික බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අද (04) පැවැත්වුණි.

පසුගිය වසරේ 2022 කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මංගල්‍යයට සහභාගි වීමට අවසර ලබා දුන්නේ බැතිමතුන් 300 දෙනෙකුට පමණක් බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එහි දෙවන දිනය වූ අද දිනයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නාවික හමුදා නිලධාරීන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන් ඇතුළු 5,000කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගි වූහ.

කච්චතිව් ශාන්ත අන්නතෝනි දේවස්ථාන මංගල්‍යයේ මංගල දිව්‍ය පූජා යාගය අද පෙරවරු 6.30ට ආරම්භ විය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්

2020 වසරේ ජනවාරි 01 වනදායින් පසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.

මේ අතර උද්ධමනය පාලනය කිරීම ඉලක්ක කරගත් සැලසුම් සහගත ක්‍රියාවලියකට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම මේ මොහොතේ ගත් වඩාත් ගැළපෙන තීරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගය කර තිබේ.

උද්ධමන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම එමගින් පිළිබිඹු කෙරෙන බවත්, එය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ජී.එල්ට පොහොට්ටුවේ තනතුර අහිමි වෙයි !

මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ.

 පසුගියදා රැස්වූ සිය පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව එම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පැවසීය. 

එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස ජී.එල්. පීරිස්ට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවු බවද පක්ෂ ලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා මේ වනවිට සුදුසු නාමයන් සලකාබලමින් සිටින අතර සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක් !

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු

අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල 'ලංකාදීපය'ට පවසා ඇත.

සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කරයි.

පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියි.

ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකකි.

මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පවසන මහාචාර්යවරයා, එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කරයි.

තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර ඇත.

මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පෙන්වා දෙන මහාචාර්ය වසන්ත අතුකෝරල, විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කර සිටියි.

මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

ණය ගත් අයට සහනයක්.....

ඉහළ පොළී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේඛ දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ‌ඒ බව පැවසීය.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ණය ගෙවීමේ හැකියාව ඇති පුද්ගලයින්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය කර සහනයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

"වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකාබලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න."

ආණ්ඩුවක් වෙනස් කරන හැටි ජනපති පහදයි

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද (03) පෙරවරුවේ පැවති ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල අමතමිනි.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබණි.

අධිකාරිලත් නිලධාරීන් 37ක්, නිලධාරීනියන් තිදෙනෙක් අද විසිර ගිය අතර අධිකාරි ලත් ගුවන් හමුදා නිලධාරීන්ට “අසිපත” පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එසේම පියාසර පුහුණුව ලැබූ නිලධාරීන් 13 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම සහ අති සුවිශේෂ දක්ෂතා දැක්වූ 07 දෙනෙකු වෙත කුසලාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපතිවරයා අධිකාරි ලත් නවක නිලධාරීන් සහ උසස් නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ගුවන් හමුදා තූර්යවාදන කණ්ඩායම් විශේෂ සංදර්ශනයක් ද පැවැත්වූ අතර, පැරෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ....

පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් හමුදාවට එක් වී, පුහුණුවීම් සාර්ථකව අවසන් කර, අද දින අධිකාරි ලත් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම සුබ පතනවා.

දුෂ්කර පුහුණුවකින් පසුව අද ඔබ මෙලෙස අධිකාරියට පත්වීම, ඔබට මෙන්ම ඔබේ දෙමාපියන්ට ද මහත් සතුටක් බව මම දන්නවා. ඇතැම් විට ඔබේ ගම් පළාතෙන්ම ගුවන් හමුදා නිලධාරියකු බවට පත්වන පළමු පුද්ගලයා ඔබ විය හැකියි.

ඔබ අද දරන්නේ විශාල වගකීමක්. එම නිසා ඔබගේ මෙන්ම ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුයි.

එම වෘත්තියට අගෞරවයක්, කැලලක් වන කිසිවක් නොකිරීමට ද වග බලා ගත යුතුයි. සෑම විටම තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙක් බව සිහිතබාගෙන අභිමානයෙන් යුතුව කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ අද අධිකාරිය ලබන විට ව්‍යවස්ථාව සුරකින බවට දිවුරුම් දුන්නා. ඒ වගේම ගුවන් හමුදාවේ දිවුරුමත් ලබා දුන්නා. මේ ප්‍රකාශ දෙකෙහිම තිබෙන්නේ ඔබේ මූලික යුතුකම සහ වගකීමයි.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කිරීමත් ඔබගේ වගකීම වනවා. මොකද රටක් නොමැතිව ව්‍යවස්ථාවක් නැහැ. රටක් නැති නම් ව්‍යවස්ථාව කියන්නේ නිකම් කොළ කැබැල්ලක් පමණයි. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ රටක් තිබෙන නිසා. ඔබ ලබාදුන් දිවුරුමට අනුවත් මේ රටේ ව්‍යවස්ථාවටත්, නීතියටත් අනුකූලව ක්‍රියා කරන්නටත් ජන රජයට පක්ෂපාතී වන්නටත් ප්‍රතිඥා දී තිබෙනවා.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ සඳහන් කර තිබෙන්නේ “මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. එසේ නම් ව්‍යවස්ථාව තිබෙන්නේ ජනරජය සඳහායි. රටේ ඒකීය භාවය ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම එම පරිච්ඡේදයේ සඳහන් වනවා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන, ජාතික කොඩිය සහ අපේ ජාතික ගීය පිළිබඳවත්. අනෙක් සියලු පරිච්ඡේද තිබෙන්නේ මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමටයි. එසේ නම් අපි මේ අනුව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එහිදී පළමුව රට ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අප ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයක් විය යුතුයි.

ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයකට තර්ජනයක් වන කිසිඳු දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එය අපේ ප්‍රධාන යුතුකමයි. එහිදී රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවය 1983 – 2009 දක්වා තර්ජනයට ලක්වී තිබුණා. එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් එය ආරක්ෂා කළා.

ඒකීයභාවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ එක්සත්භාවයත් අප ආරක්ෂා කළ යුතුයි.

රටක් ලෙස අපට තනිව නැගී සිටිමට නම් මේ රටේ සිටින සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර් වගේම සියලු ආගමිකයින් ද ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාගේම සංස්කෘතිය, ආගම ආරක්ෂා කරගත යුතුයි. එසේ නොමැතිව රට බෙදුනොත් එය රටේ ඒකීයභාවයට විශාල තර්ජනයක් විය හැකියි.

ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලභාවය සකස් වී තිබෙනවා.

ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරන නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණය කටයුතු කරනවා. මේ සියලුම ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනවා. එම නිසා මෙම ආයතන ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක්.

ආණ්ඩුවක් තෝරා ගන්නේ හෝ වෙනස් කරන්නේ, ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදු කළ නොහැකියි. මහ පාර කියන්නේ පාර්ලිමේන්තුවට විකල්පයක් නොවේ.

පසුගිය ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටත් මම ස්තූතිවන්ත වෙනවා . පාර්ලිමේන්තුවක් නැති රටවල් අරාජික විය හැකියි. මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා.

ඒ වගේම ආර්ථිකය බිඳ වැටුණු රටවල් ද අරාජික වෙනවා. එම නිසා රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා කටයුතු කළ යුතුයි.

පසුගිය දින කිහිපය තුළම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙන ඒමට විදේශ රටවල නියෝජිතයින් මෙන්ම සංවිධාන කිහිපයක් සමඟ අප සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල ලඟදීම රටටත්, ඔබටත් ලැබේවි. ආර්ථිකය නැති වුණොත් අපට රටක් නැති වෙනවා. රටේ ව්‍යවස්ථාවෙන් ඇති කළ මූලික ආයතනත් ආර්ථිකය යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඔබේ වගකීම මෙයයි. මේ සියල්ල ආරක්ෂා කළ විට ඔබට රටක් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සහ රට එකට එකතුවෙලයි ඉදිරියට යන්නේ. එය බෙදිය නොහැකියි. අද මෙම වගකීම භාරගන්න ඔබ සියලු දෙනාට මම සුබපතනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන අය  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සිදු කළ බදු ප්‍රතිසංස්කරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට ලක්ව ඇත.

ක්‍රියාත්මක කළ බදු වැඩිකිරීම් මහජනතාවගේ දැඩි විරෝධයට ලක්ව තිබුණ ද ණයහිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ, ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් සහ කාර්යාල ප්‍රධානී මසහීරෝ නොසාකි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එහි දැක්වෙන්නේ බදු ආදායම ඉහළ නැංවීමෛන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කරන බවයි. එය ආර්ථික වර්ධනයට ද හිතකර ලෙස ක්‍රියාත්මක කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි. එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය.

බදු ප්‍රතිසංස්කරණය හමුවේ මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව අත්විඳින දුෂ්කරතා තමන්ට වැටහෙන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

ජීවන වියදම වැඩිවීම, රැකියා අහිමිවීම සහ ජීවනෝපාය අහිමි වීම මෙන්ම සැබෑ ආදායම පහත වැටීම ද ජනගහනයෙන් විශාල කොටසකට බලපා ඇත.

විශේෂයෙන්ම මෙම දුෂ්කරතාවලට ඔරොත්තු දීමට නොහැකි දුප්පත් සහ අවදානමට ලක්වූවන්ට ද එමඟින් බලපෑම් එල්ලවී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

රාජ්‍ය බදු ආදායම සඳහා සහයෝගයක් දැක්විය හැකි කණ්ඩායම්, අදාළ බදු මුදල් ගෙවීමට ඉදිරිපත් විය යුතු බවත් නව බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල බවත් එම නිවේදනයේ සඳහන් වේ

පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පවසයි. එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණයහිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට බලපෑ හේතු සම්බන්ධයෙන් ද මෙම නිවේදනය මඟින් කරුණු දක්වා ඇත. එහි එක් හේතුවක් ලෙස දක්වා ඇත්තේ ආදායම් එකතු කිරීම් හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකිවී ඇති බවයි. 2021 දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ බදු ආදායම සියයට 7.3 ක් පමණ වී ඇත.

ඒ හේතුවෙන් ලෝකයේ අවම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණය හිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට අකමැති බවයි.

අත්‍යවශ්‍ය වියදම් සඳහා අරමුදල් සැපයීමට රජයට හැකි වන්නේ සුදුසු බදු ලැබීම් සමඟ පමණක් බවත්, එමඟින් වියදම් තවදුරටත් කප්පාදු කිරීම වළක්වා ගත හැකි බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිවේදනයේ සඳහන් වේ. මෙම බදු ප්‍රතිසංස්කරණ සමඟ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට ද උපකාරී වනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානියා ශ්‍රී ලංකාව සඳහා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ යෝජිත බදු ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති විසින් ඉකුත් බදාදා දියත් කරන ලද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් පසුව වීමද විශේෂත්වයකි.

(nethnews.lk)

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබා ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දී ඇත.

පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා තබා ගැනීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අනතුරුව පෙත්සම් විභාය මැයි 26 වන දා ආරම්භ කිරීමට ද විනිසුරු මඩුල්ල දින නියම කර ඇත.

“ඉදිරි වසර 05 තුළ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරනවා” – ජනපති

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද (මාර්තු 2) පැවති උත්සවයට එක්වෙමිනි.

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථවල අවශ්‍යතාව පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර්, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රිරෝද රථ අද සිට මිල දී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.

විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා පාපැදි, විද්‍යුත් යතුරු පැදි හා ත්‍රිරෝද රථ එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව ද නිලධාරින්ගෙන් කරුණු විමසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ…

“වෝල්ටා සමාගමේ දක්ෂතා නැරඹීම සඳහා පැමිණීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රජය පාර්ශවයෙන් මෙම ව්‍යාපාරයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳ අපි සොයා බලනවා. හරිත බලශක්තිය ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති මෙම පියවර අපි අගය කළ යුතුයි.

මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රටේ ආර්ථීකය හරිත බලශක්ති ආර්ථිකයකට යොමු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. දැන් ලෝකයේ රටවල් හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ගමන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි.

ඉදිරි වසර පහක කාලය තුළ හරිත බලශක්ති ආර්ථිකයක් සඳහා යොමු වීම මගින් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ස්වශක්තියෙන් නැගී සිටින මෙවැනි ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් රටට අවශ්‍යයයි. ඒ නිසා ජගත් මාකවිටගේ මෙම ව්‍යාපාරයට මම සුබ පතනවා.”

කෝවීඩ් වසංගතයෙන් පසු පළමු චීන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

කෝවීඩ් ගෝලීය වසංගත තත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පලමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලන්කන් ගුවන් යානය ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

චීන සංචාරකයන් 117 දෙනෙකු දින 07 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ දින රාත්‍රී 11.10 ට චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් වන යූ.එල්.- 1881 දරන ගුවන් යානයෙන් එසේ මෙරටට පැමිණියේය.

මෙම පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොං , සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි යන අය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

යලි ඇරඹෙන චීන - ශ්‍රි ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ ඉදිරි පිම්මක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදී පැවසිය.

එළඹෙන අප්‍රේල් මස 01 වෙනිදා දින සිට චීනයේ බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 09 ක් බැගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ චයිනා ඊස්ටන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම ගුවන් යානා මගින් චීන සංචාරකයන් 5,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂිතය.

18ට අඩුයි නම් TikTok පැයයි

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි.

වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහිවීම සීමා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඉදිරියේ දී වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා දෛනික භාවිතය පැයකට සීමා වන පරිදි මෙම යාවත්කාලීන කිරීම සිදු කරනු ඇති.

නව හඳුන්වාදීම යටතේ 18ට අඩු පරිශීලකයෙකුට ලබා දී ඇති කාලයට වඩා වැඩි කාලසීමාවක් TikTok පරීශීලනය කිරීමට අවශ්‍ය නම් මුරපදයක් ඇතුළත් කිරීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් TikTok පරිපාලනය පවසන්නේ, නව හඳුන්වාදීමෙන් පසු අවශ්‍ය නම්, ඔවුන්ට ඉන් ඉවත් වීමට හැකියාව ඇති බවත් ඒ සඳහා වන පියවර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ය.

TikTok අයත් සමාගමට අනුව මෙම නවතම හඳුන්වාදීම මගින් පරිශීලකයින්ට පාලනයක් සහිතව යෙදවුම භාවිතයට පහසුකම් සපයනු ඇති.

TikTok පරිශීලකයෙකු වීමට නම් අවම වශයෙන් වයස අවුරුදු 13 සම්පූර්ණ කළ යුතුව ඇති අතර නව හඳුන්වාදීම යටතේ වයස අවුරුදු 18 අඩු ඕනෑම අයෙකුට ඔවුන් දෛනිකව TikTok යෙදවුම පරිශීලනය කර ඇති කාලය සතිපතා දැනුම් දෙනු ඇති.

මේ අතර TikTok හි Family Pairing විකල්පය භාවිත කරන දරුවන්ගේ දෙමාපියන්ට තම දරුවන්ගේ TikTok භාවිතය සීමා කිරීමට ද හැකියාව පවතී.

TikTok හි විශ්වාසය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී Cormac Keenan පවසන්නේ, සමාගම මෙම යාවත්කාලීන කිරීම් සිදු කිරීමේදී පර්යේෂකයින් හා සම්බන්ධ වී ක්‍රියා කරන බවයි.

මේ අතර පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ ද වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ පිරිස් TikTok යෙදවුමට දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බවයි.

TikTok යෙදවුම සම්බන්ධයෙන් මේ වනවිට ඇතැම් රටවල සංවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර කැනඩාව ද පසුගිය සතියේ තීරණය කරනු ලැබුවේ, චීන සමගාමකට අයත් TikTok යෙදවුම තහනම් කිරීමටයි.

ශ්‍රී ලංකා යුද හමුදා පිරිසක් ලෙබනනයේ රාජකාරී නිමවා පැමිණෙන අතර, තවත් පිරිසක් පිටත්ව යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව බදදා (මාර්තු 01) දින දිවයිනට පැමිණෙන ලදී.

එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී බදදා (මාර්තු 01) දින දිවයිනට පැමිණි අතර, ඉතිරි කණ්ඩායම බ්‍රහස්පතින්දා (මාර්තු 02) දින ලෙබනනය බලා පිටත්ව යාමට නියමිත 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතව ඇත.

දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.

නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක්‌ ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 පෙබරවාරි 27 වන දින ලෙබනනය බලා පිටත්ව යනු ලැබූහ.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම දිවයිනෙන් පිටත් වේ

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි (UNIFIL) සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) බ්‍රහස්පතින්දා (02) දින උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබීය.

ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක කණ්ඩායම නිලධාරින් 10ක්, සහ සෙසු නිලයින් 115 දෙනෙකු ඇතුලුව යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත අතර ඊට ලුතිනන් කර්නල් ඩී.පී.අයි.ටී කළුඅග්ගල අණදීම සිදුකරන අතර, මේජර් ඩබ්ලිව්.එම්.සී.කේ වන්නිනායක දෙවන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි. මෙම ආරක්ෂක භට කණ්ඩායම සඳහා මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ බිම්බෝම්බ හඳුනාගැනීම සඳහා මනා පුහුණුවක් ලබා ඇති සුනකයින් වන ‘ෆ්‍රෑන්ක්’ (Frank) - (German Shepherd), ‘ජුපීටර්’ (Jupiter) - (Golden Retriever), ‘ටයිගර්’ (Tiger) - (German Shepherd) සහ ‘ලීනා’ (Leena) - (German Shepherd) ඇතුලත් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අසංග පෙරේරා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු දිවයිනෙන් පිටත්ව යන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත සුබ පැතුම් පිරිනැමීමට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිහය.

14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් ලෙබනනයේ ‘නකෝරා’ (Naqoura) හි පිහිටි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථානයට සහ ප්‍රභූවරුන් වෙත ආරක්‍ෂාව සැපයීමේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව ගිය අතර, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පසුගිය බදාදා (1) දින මෙරටට පැමිණෙන ලදී.

Page 193 of 440