Ad

Ad 01

V2025

පුවත්

ත්‍රස්ත විරෝධී පනත කල්යයි !

ගැසට් පත්‍රයක් මගින් 2023 මාර්තු 17 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගනුලැබූ බවය.

එසේම අදාළ පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගනුලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

විවිධ පාර්ශ්වයන් සිදුකළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් ලෙස මෙම තීරණය ගත් බවත් කෙසේ වුවත් අප්‍රේල් මස අග භාගයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මෙම පනත් කෙටුම්පත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල කරන්නක් බව ඊට එරෙහිව අදහස් දක්වන පාර්ශව වල අදහස වී තිබේ.

කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ පිරිසක් කරන කැත වැඩක් ගැන අමරේ කියයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කේලම් කියා ජනතා සහ නැති කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ලවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ චෝදනා නගන අතර ඒ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

විපක්ෂයේ ඇතැමුන් මේ උත්සාහ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර නතර කර අහිංසක ජනතාවට දෙන සහනය නැවතීමට බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දුරකථන ඇමතුම් - දත්ත හුවමාරු ගැන රජය නිරීක්ෂණයෙන්ද ?

ජනතාවගේ දුරකථන ඇමතුම් ගැනීම්, දත්ත හුවමාරු කිරීම් රජය විසින් නිරීක්ෂණය කරමින් සිදුවන පැති බවට සමාජ මාධ්‍යයන්හි පලවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

දුරකතන සංවාද පටිගත කිරීම, ඇමතුම් දත්ත ගබඩා කිරීම, ජංගම දුරකතනය යෙදුම් ඔස්සේ සිදුවන ඇමතුම් නිරීක්ෂණය කිරීම සිදු කරමින් ඇතැයි පළ වන වාර්තා මුලුමනින්ම අසත්‍ය බවත් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

ආර්ථිකය යහපත් කරගන්න ප්‍රතිසංස්කරණ කෙරෙන්නම ඕන - WB

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

මේ බව ලෝක බැංකුව සිය නවතම වාර්තාවේ සඳහන් කර ඇති අතර ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවත් සඳහන් කර ඇත.

එසේම 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවත් 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවටද එම වාර්තාව පුරෝකථනය කර තිබේ.

එසේම ලෝක බැංකු වාර්තා වට අනුව 2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇත.

තවද දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

නීතිඥ සංගමයෙන් කමිටුවක්

යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

තෙල් ගෑස් මිල අඩු කරන්න ජනාධිපති කළ දෙයක් නෑ - ජවිපෙ වසන්ත

රුපියල් 5000 සිට ගෑස් මිල අඩු කර ඇත්තේ සියයට විස්සකටත් වඩා අඩු ප්‍රමාණයකින් බවත් එසේම මෙරට ඉන්ධන මිල අඩු වී ඇත්තේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වීම නිසා මිස ජනාධිපති කල කිසිවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.

එසේම විදුලි බිල අඩු කළ යුතු බවත් එපමණක් නොව ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති බදු ද අඩුකල යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

මෙවර මුළු රටටම අලුත් අවුරුද්දක් නැති බවත් උත්සව සැමරීම සඳහා නිදහස තිබිය යුතු බවත් ඔහු පවසයි.

එසේම මෙවර තම වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ ජනතාවට බාධාවක් නොවන ලෙස බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් බාර ගන්නවා - රාජිත

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති ඇමැති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

"කොහොම වුණත් මට සෞඛ්‍ය ඇමති තනතුර දෙනවා නම් භාරගන්න සූදානම්, 2015 විපක්ෂ නායක තුමා පළමු වරට ඇමති වන්නේ, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව හින්දා අපේ පිල්මාරුව හින්ද තමයි ,නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ,

ඒ වගේ කට්ටියක් දේශපාලනය වෙනුවෙන් ගන්න තීන්දු තව කට්ටියකට පේනවා මුදල්වලට. අපි හැමදාමත් ගන්නවා නම් තීන්දුවක් ගන්නේ දේශපාලනය බලලා, ඒක හින්ද තමයි මිනිස්සු ඒවා පිළිගන්නේ .සමහර කට්ටියට පේනවා ඇති ඒක ගත්තේ මුදල්වලට කියලා.මුදල්වලට යන කට්ටියත් ඇති, දේශපාලනයට යන කට්ටියක් ඉන්නවා."

බත් - කොත්තු - ෆ්‍රයිඩ් රයිස් - ටී - ප්ලේන් ටී මිල පහළට : පාන් බනිස් ගැන තීන්දුවක් නෑ !

ගෑස් මිල අඩුකිරීමත් සමඟ බත් පාර්සලයක මෙන්ම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කරන්නේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10.00 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30.00 ක් වන අතර කිරි තේ එකක මිල රු 90.00 ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත්තේ සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ 25%ක් පමණ වන බවත් ගෑස් මිල අඩුකිරීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත්ය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන තීන්දුවක් ගන්නම වෙනවා - ෂෙහාන්

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟානොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයක අදහස් දක්වමිනි.

උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවත් එම පාඩු ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද සඳහන් කරන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන 28ක් පමණක්, මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනාවරණය කර සිටියේ බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී අදාළ ආයතන පාඩු ලබන බවය.

එමෙන්ම මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් වන බව සියළුම පාර්ශ්වයන් අවබෝධ කරගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව, නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අනුරගේ පුතා මිහින් ලංකා එකට දැම්මේ නාමල්ද ? (වීඩියෝ )

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ පුතා මිහින් ලංකා ගුවන් සමාගමට රැකියාවකට යොමු කිරීම සඳහා මැදිහත් වූයේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙතින් විමසූ ප්‍රශ්නයකට ඔහු දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුව ඇත.

මන්ත්‍රීවරයා වෙත මෙම පැනය යොමුකෙරුණේ ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ සිදුකරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදීය.

එම පැනයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ , තමන් බොහෝ පුද්ගලයන්ට උදව් කර ඇති බවත් එම පිරිස අතර අනුර දිසානායක මහතාගේ පුත්‍රයාද සිටියේ දැයි නොදන්නා බවය. ඒ සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වෙයි.

ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් තිබෙනවා - ADB

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

නමුත් 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දී තිබේ.

2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී ද සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ තක්සේරුව වී ඇත.

2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී තිබේ.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව එලෙස දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ දී නිසි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් ආර්ථිකය යළි ප්‍රකෘත්මත්භාවයට පත්කිරීම දීර්ඝ කාලීන පියවරක් වනු ඇති අතර එම ක්‍රියාවලියේ දිළිඳු හා අවදානමට ලක්ව සිටින පිරිස් සුරක්ෂිත කිරීම ඉතා වැදගත් වන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

බදු ආදායම ඉහළට !

මෙම වර්ෂයේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බවය.

එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දෙයි.

“ඉදිරිය මීටත් වඩා අමාරුයි”: මහ බැංකු අධිපති

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භයක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බී.බී.සී. සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ය.

කෙසේ වු වද ඉදිරියට ඇත්තේ, මීටත් වඩා අමාරු කාලයක් බව ද එම හේතුව මත ආර්ථිකය එක දිගට එක දිශාවකට ගමන් කළ යුතුව ඇති බව ද අධිපතිවරයා පැවසීය.

අඩි 2ක් ඉදිරියට ගොස් අඩියක් පස්සට ආවොත් පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගිය නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

අවුරුදු 4ක් තුළ එක දිගට ආර්ථිකය එක දිශාවකට ගමන් කරවිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති මුල් ම අභියෝගය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වන බව ත් වසර 10ක් තුළ ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ණය ගෙවීම ස්ථාවර කර ණය ගෙවා අවසන් කළ යුතු බව ත් අධිපතිවරයා පවසා සිටියි.

එහි සැලසුමේ කොටසක් දැනටමත් ආරම්භ කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල විශාල ප්‍රතිසංස්කරණ තිබෙන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය, ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඒ අතර වන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

සමාජ ආරක්‍ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ දූෂණය නැතිකොට යහපාලය ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම්වල අන්තර්ගත බව ත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින් …

නව ඔම්බුඩ්ස්මන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම  අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව සහ 1981 අංක 17 දරණ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 3(1) වගන්තිය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.

දිවුරුම්දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක  ද සහභාගී විය.

ඉන්ධන කෝටාව ඉහළට

රථවාහන සඳහා වෙන් කර ඇති සතිපතා ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනීමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ නැංවීම ක්‍රියාත්මක වෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව සාමාන්‍ය කාණ්ඩයේ ත්‍රීරෝද රථයක් සඳහා පැවති සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ඉහළ නැංවෙන අතර ත්‍රිරෝද විශේෂ කාණ්ඩයේ කෝටාව ලීටර් 10 සිට 15 දක්වා ඉහළ නැංවෙයි.

යතුරු පැදියක් සඳහා පැවති ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ නංවන අතර මෝටර් රථ සඳහා පැවති ඉන්ධන ලීටර් 20 ක කෝටාව ලීටර් 30 දක්වා ඉහළ නංවනු ඇත.

වෑන් රථයක් සඳහා පැවති ඉන්ධන ලීටර් 20 කෝටාවද ලීටර් 30 දක්වා වැඩි කර තිබේ.

බස්රථ සඳහා පැවති ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වා වැඩිකිරීමට නියමිතය.

එසේම මේ අනුව ඉඩම් වාහන සඳහා පැවති ඉන්ධන ලීටර් 15 ලීටර් 25 දක්වාත්, ලොරි සඳහා පැවති ඉන්ධන ලීටර් 50 ලීටර් 75 දක්වාත්, විශේෂ කාර්යයන් සඳහා වන වාහනවල කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ඉහළ නැංවෙයි.

යල කන්නයේ වී වගාවට : පොහොර ගන්න සහනාධාරයක් !

එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාගැනීමට ගොවීන් වෙත මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

හෙක්ටයාරයකට රුපියල් 20,000ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගොවීන්ට මෙම මූල්‍යාධාරය ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් මේ බව සඳහන් කල අතර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300ක මුදලක් ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවද පැවසීය.

මීට පෙර මේ සඳහා රුපියල් කෝටි 1000ක මුදලක් වෙන්කර තිබූ අතර, එය කෝටි 1,300ක් දක්වා වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බවද ඔහු සඳහන් කළේය. මෙලෙස ලබාගන්නා වී වලින් නිෂ්පාදනය කරන සහල් කිලෝ 10 බැලින් මාස දෙකක කාලයක් සඳහා අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 28,50,000 කට ලබාදීමට නියමිත බව ද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊළඟ ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුව රනිල් !

ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශකය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ජනාධිපතිවරයා අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?’ යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති නමුත් මෙම අවස්ථාවේදී පක්‍ෂයේත්, රටට හිතවත් කාගේත් ප්‍රධානම අභියෝගාත්මක කාර්යය හා විය යුත්තේ රට ගොඩගැනීිම බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්ය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ  ප්‍රසාදයක් දිනාගෙන ඇති බවත්ය.

එබැවින් රටට හොඳක් වන දෙයක් ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පිරවීමට අනුමැතිය !

2023 වසර සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දෙමින් නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊට අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.

ඒ අනුව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇත.

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට අනුමැතිය හිමිව නොමැති බවද දැනුම් දී තිබේ.

teacher

Page 182 of 440