පුවත්
IMF දෙවැනි වාරිකයත් අනුමතයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට අදාළ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය ඊයේ (12) දින සම්පූර්ණ කරන ලදී.
මෙම පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම මගින් විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 254 ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 337 ක ප්‍රමාණයක් වහාම ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ඉඩ සලසනු ඇත.
ඒ අනුව මෙම පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ දක්වා ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 508 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 670 ක් පමණ) වනු ඇත.
අයවැය සම්මතයි : තහනම් වූ තිදෙනාටත් ජන්දය සඳහා අවස්ථාව !
2024 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ජන්ද සංඛ්‍යාව 81ක් වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත විණ.
මෙහිදී සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව 2024 වසරේ ජනවාරි 09 වනදා දක්වා සභාව කල්තබන බව කථානායවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේය.
එසේම මේ වන විට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබෙන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට ද අයවැය ජන්ද විමසීම සඳහා සහභාගී වීමට පමණක් අවස්ථාව සළසාදී තිබිණ.
පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77 කි.
අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට අද දක්වා පැවැත්වුණි.
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා, එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.
අයවැය විවාදයේ අවසන් දිනයේ (13) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
''අපි වැල් පාලමෙන් එගොඩ වුණා දැන් තියෙන්න වංක ගිරියක්''
'' මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා.
මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ.. මම ඒ අභියෝගය භාරගත්තා..මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි. වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.
මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා.
ඕනෑම පුද්ගලයකු ඕන මොහොතක සොයාගැනීමට හැකි පරිගණක පද්ධතියක් එයි : ඇමති ටිරාන්ගේ වැඩක් !
රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි .
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ය.
මෙසේ තොරතුරු රැස් කරන්නේ දෙමළ ජනතාවගෙන් පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් මෙම තොරතුරු රැස් කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
මෙම කාර්යය තමන් ආරම්භ කළ දෙයක් නොව යුද්ධ කාලයේ සිටම සිදු කර ඇති බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.
අක්කර බද්ද අත්හිටුවයි !
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සංවර්ධන නිලධාරීන් සමග අද (12) පැවැති සාකච්ඡාවකදීය.
අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා බදු මුදලකි.එම මුදල රජයේ ආදායමට බැර කරනු ලබයි.
අක්කර බදු වශයෙන් අය කරගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සඳහන් කළ බවත්, විශේෂයෙන් මෙම බදු මුදල අය කිරීම මගින් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් ඒවා එකතු කිරීමට වැය කිරීමට රජයට සිදුවී තිබේ.
එමනිසා ඉදිරියේදී අක්කර බදු අය කිරීම සම්පූර්ණයෙන්ම අතිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන් මින් දශක කිහිපයකට පෙර බයිසිකල් බලපත් නිකුත් කිරීම මෙන්ම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත් නිකුත් කිරීම වැනි කටයුතු සිදු කෙරුණ ද පසුව ඒවා අත්හිටුවනු ලැබීය. ඒ ආකාරයට අක්කර බදු අය කිරීම මගින් රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයක් පමණ වෙයි.
ගොවි ජනතාවගෙන් එම මුදල අය කිරීම සුදුසු නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා පැවසීය.
සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන තාක්ෂණ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම සඳහා අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන යොදා නොගැනීමටත්, ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙනත් සංවිධාන ව්‍යුහයක් සැකසීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය
ක්‍රිකට් අතුරු කමිටුව අවලංගුයි !
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබේ.
සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවද සඳහන් කර ඇත .
තමන් මෙම තීරණය ගනු ලැබුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ ඇතුව බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවත් එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත .
ඩීසල් - ගල් අඟුරුවලට කැමති අය සුළං - සූර්‍ය බලයට අකමැති හේතුව ජනපති කියයි !
ඩීසල් සහ ගල් අඟුරු බලාගාර හරහා කොමිස් මුදල් ලබාගත හැකි නමුත් සූර්ය සහ සුළං වැනි බලශක්ති ව්‍යාපෘති මඟින් කොමිස් ලබාගත නොහැකි බැවින් එවැනි ව්‍යාපෘතිවලට ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
පූනකරි වැවේ සිට කිලිනොච්චි නව ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව 100%ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියටද විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් විරෝධය දැක්වූ බවත් රට මෙවැනි තත්ත්වයකට පත්වීමට මෙවැනි විරෝධතාද හේතුවූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ අමාත්‍යාංශයේ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද (12) විවාදයට ගැනුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පුනකරි ව්‍යාපෘතිය යටතේ වැවක් හදලා අක්කර 20,000ක් නැවත වගාවට යෙදවීමට අපට අවස්ථාව තිබෙනවා. ඕස්ටේලියාවේ යුනයිටඩ් සෝලා එනජි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බැටරි මත රදා පවතින ආසියාවේ ලොකුම සුර්ය බළශක්ති පද්ධතියක් ශ්‍රී ලංකාවට ලැබි තිබෙන්නේ පළමු වතාවටයි. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මේ අයට අවශ්‍ය ගල් අඟුරු. නැත්නම් තෙල්. ගල් අගුරු සහ තෙල් වලින් කොමිස් ලැබෙනවා. නමුත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් කොමිස් ගන්න බැහැ
මෙවැනි ව්‍යාපෘතිවලට එදා සිටම ඉංජිනේරුවන් පිරිසක් විරුද්ධ වුණා. අපි 2003 නොරොච්චෝලේ නතර කළා. මොකද එම ස්ථානය ඊට සුදුසු නැහැ. නමුත් ඔවුන්ට ඕන වුණේ නොරොච්චෝලේ හදන්න.
ත්‍රිකුණාමලයේ හෝ වෙනත් ස්ථානයක එම බලාගාරය ඉදිකළා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ.
අනිත් කාරණය බොහෝ ආයෝජන සමාගම් මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 30ක්, 40ක් ඉල්ලා සිටිනවා. නමුත් අපේ නීතියට අනුව ලබාදීමට හැකියාව තිබෙන්නේ වසර 20ක් පමණයි. එම නිසා එම නීති සංශෝධනය කළයුතුව තිබෙනවා.
මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට රට දියුණු කරන්න බැහැ. අප තවම මේ තත්ත්වයේ සිටින්නේ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් මේවට විරුද්ධ වූ නිසා.
එසේම තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා දැක් වූ අදහස් පහත දැක් වේ.
අමාත්‍යාංශය විසින් මා වෙත ලබා දුන් වාර්තාවට අනුව Pickme, Uber, Daraz වැනි සේවා සපයන්නන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විෂය පථයට නොගැනෙන නිසා ඔවුන් ආදායම් බදු හෝ වැට් බද්දෙන් නිදහස් නොකළ බව දැනුම් දී තිබෙනවා.
18%ක වැට් බද්දක් පැනවීම සම්බන්ධයෙන් මෙම සමස්ථ ක්ෂේත්‍රයටම ප්‍රශ්න ඇති වී තිබෙනවා. තොරතුරු තාක්ෂණ සේවාවන් සපයන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවෙන් පිටත විදේශ මුදල් මඟින් ලැබෙන ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස් බව මම කියන්න කැමතියි. තොරතුරු තාක්ෂණ සේවා සැපයීම 2019 දෙසැම්බර් 31 දක්වා වැට් බද්දට යටත් වූ අතර 2020 ජනවාරි 1 වනදා සිට එය වැට් බද්දෙන් නිදහස් වුණා. නමුත් නව සංශෝධනයට අනුව තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු ගෙවිය යුතුයි.
තොරතුරු තාක්ෂණ සමාගම් අපනයන ඉලක්කරගත යුතු නමුත්, එහි සේවා අපනයනය ශුන්‍ය අගයක් ගන්නා බැවින් තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තයට බරක් නොවන පරිදි කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒවගේම, ඉන්දියාවේ පවා සියළුම වර්ගයේ තොරතුරු තාක්ෂණික මෘදුකාංග සැපයුම් සේවා නිෂ්පාදන සඳහා භාණ්ඩ හා සේවා බදු අනුපාතය (GST) 18% ක් ලෙස පනවා තිබෙනවා.
ප්‍රතිපත්තියක් ලෙස 18%ක වැට් බද්දක් පැනවීමට අප තීරණය කර තිබෙනවා. එය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතුයි.
මේ වන විට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියනවා ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන්, අපිට යම් සහයක් ලබා දෙන්න කියලා. ඇතැමුන් ඊට විරුද්ධ වෙනවා. ඔවුන් සෑම විටම කරන්නේ විරුද්ධ වීම පමණයි.
2003 අපි ටාටා සමාගම ගෙන ඒමට සූදානම් වු විට ඔවුන් සියලුදෙනා ඊට විරුද්ධ වුණා. නමුත් ඔවුන් ආදායම් එකතු කිරීම් සහ අභ්‍යන්තර කටයුතු සේවා ඩිජිටල්කරණය කිරීම පිළිබඳ අවධානය යොමු කළයුතුයි.දැන් ඔවුන් කියනවා ඔවුන්ට එය සිදු කරන්න පුළුවන් කියලා.
දැන් අවුරුදු 20කට පසුව නැවත අධාර් (ARDAR) පද්ධතියේ වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා.අප මෙය 2015 දී ආරම්භ කළ විට ඊට විදේශීය සේවකයන් අවශ්‍යද කියා ලොකු විවාදයක් ඇතිවුණා.
ඒක තමයි ලොකුම විවාදය බවට පත් වුණේ. එසේ නොමැතිව මෙම වැඩකටයුත්ත ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව නොවෙයි. අවසානයේ විදේශීය සේවකයන් ඊට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඒ කෑගහපු අයගෙන් බාගයක්ම දැන් රටින් පිටවෙනවා.
අපට බරපතල පිරිස් හිඟයක් තිබෙනවා. ඒ නිසා ඕනෑම සමාගමකට විදේශීය පුද්ගලයින් අවශ්‍ය නම්, අපි එයට ඉඩ දෙනවා. අපි තවත් පිරිස් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා, නමුත් එයින් පුහුණු පිරිස් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. පළපුරුදු පිරිස් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ නිසා යම් සමාගමකට විදේශීය කාර්ය මණ්ඩලය අවශ්‍ය නම්, අපි ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි.
අප AI තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සඳහා පමණක් මෙවර අයවැයෙන් රුපියල් බිලියන එකහමාරක් වෙන් කර තිබෙනවා. ඒ වගේම වෙනත් තාක්ෂණික පර්යේෂණ සඳහා තවත් බිලියන 8ක් වෙන් කර තිබෙනවා. මෙම ප්‍රතිපාදන භාවිතා කර මෙම ක්ෂේත්‍රයට ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළ යුතුයි.
අප සිදු කරන්නේ පර්යේෂණවලට අවධානය යොමු කිරීම සහ පර්යේෂණ වලට උදව් කිරීමයි. මොකද ඔබ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විභවය දෙස බැලුවහොත්, SLASCOM පවා බිලියන 5ක් පිළිබඳව කතා කළා. නමුත් අපි තවම බිලියන දෙකහමාරකටවත් ළඟා වී නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන්ට බිලියන හතකට පමණ ළගා විය හැකියි. ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සහාය රජය විසින් ලබා දීමට සූදානම්.
අපි ඉතා වේගයෙන් ඩිජිටල්කරණය දෙසට ගමන් කරමින් සිටිනවා වගේම අපි ඉදිරි වසර දෙක තුන තුළ එම අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට 18%ක වැට් බද්දක් ගෙවීමට සිදු විය හැකි නමුත් එයින් ඔබ රටේ සංවර්ධනයට දායක වෙනවා. අප කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. මොකද අප AI තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එසේ නොමැති වුවහොත් අපට අඩු ආදායම් සහ අඩු වැටුප් සහිත නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් මියන්මාරය සමග තරග කිරීමට සිදු වෙනවා. අලුතින් ඩිජිටල් පරිවර්තන ආයතනයක් පිහිටුවීමට අප කටයුතු කරන අතර එය යම් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වනු ඇතියි.නමුත් ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මෙන් ව්‍යාපෘති කළමනාකරණයට සම්බන්ධ වන්නේ නැහැ. මෙය වසර 10කට පෙර කළයුතුව තිබූ කටයුත්තක්.
ඒ වගේම ඩිජිටල් තාක්ෂණය සහ නවෝත්පාදන කවුන්සිලය පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා, එය තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වාණිජකරණය කිරීම පිළිබඳව සොයා බලනු ඇතියි.
මෙම කටයුතු සඳහා මෙරට ඉතිහාසයේ කිසිදා මෙවන් මුදලක් වෙන් කර නැහැ. මෙවැනි විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ පළමු වතාවට බව කිවයුතුයි.
අපි ශක්තිමත් විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති රටක් බවට පත්විය යුතුයි. එසේ නැතිව අපට ඉදිරියට යන්න බැහැ. කෘෂී නවීකරණ වැඩපිළිවෙළද ඊට සම්බන්ධ වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය යොදා ගැනීම සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වෙනවා. මේ වෙන් කර ඇති මුදල් වලින් කොටසක් ඒ සඳහා ද ලබාදීමට අප අපේක්ෂා කරනවා.
අපට ඇත්තේ සීමිත භුමි ප්‍රමාණයක්. එය උපරිමයෙන් භාවිතයට ගනිමින් නිෂ්පාදන ඉහළ නංවා ගැනීම සඳහා නව තාක්ෂණය භාවිතා කළයුතුයි. මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා. ඊට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වයක ලබා ගන්නවා.
ඒ වගේම වී ඇතුළු අනෙකුත් බෝගවල ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අප කටයුතු කළයුතුයි. විශේෂයෙන් රබර් ගත් විට අපට එම කර්මාන්තය ආශ්‍රිතව විසඳාගත යුතු ගැටළු තිබෙනවා.
ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ විභවයක් පවතිනවා.
සුළං බලයෙන් පමණක් ගිගාවොට් 30ක් 40ක් දක්වා විදුලිය නිෂ්පාදනය කළ හැකි බව ප්‍රකාශ කරනවා. සූර්ය බලශක්තිය මගින් ගිගාවොට් 200ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර ඇති අතර ශෘහස්ත සූර්ය බලශක්තිය නොමැතිව එය දෙගුණයක් වන බව අමාත්‍යවරයා මට පැවසුවා.එසේ නම් මේ සඳහා අපට ඉහළ විභවතාවක් පවතිනවා. අපට මෙම බලශක්තිය ඉන්දියාවට අළෙවි කළ හැකියි. එහිදී අප හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
ඉංජිනේරු විද්‍යාවෙන් කිසිවෙකුට අපව පරාජය කරන්න බැහැ.අපේ රටේ පැරණි ගොඩනැගිලි ඊජිප්තුවරුන් ගොඩනැඟු ඇතැම් පිරිමීඩවලට වඩා උසස් මට්ටමක තිබෙනවා. එදා අපේ මුතුත් මිත්තන් ගොඩනැඟු චෛත්‍ය අර්ධ රවුම් ආකාරයට නිර්මාණය කෙරුණා. එය බොහෝ අසීරු කටයුත්තක්. ඒ වගේම සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණ අපේ රටේ සිදු කෙරුණා. එම නිර්මාණ අපේ රටේ විශිෂ්ටත්වය ලෝකය හමුවට ගෙන ගොස් තිබෙනවා. එවන් විශිෂ්ඨ නිර්මාණ ඇති අනෙක් එකම රට චීනයයි. චීනය සමඟ ගත්විට අප ඉතා කුඩා රටක්.
අද (අ.පො.ස) උසස් පෙළ විභාගය සමත්වන සිසුන් දෙස බැලූ විට දැනට පවතින විශ්වවිද්‍යාලවලට අමතරව ඔවුන් වෙනුවෙන් තවත් විශ්වවිද්‍යාල අවශ්‍ය වෙනවා. අප රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව එම විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. ඒ අනුව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට අනුබද්ධව තවත් විශ්වවිද්‍යාල දෙකක් කුරුණෑගල සහ සීතාවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව NSBM ආයතනය රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට පත්වනු ඇතියි. චෙන්නායි IIT හි මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අප ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙනවා. එය ඉදිරියේදී ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කරනු ඇතියි. මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ තාක්ෂණය සහ විද්‍යාව වෙනුවෙන්.
ඒ වගේම විදේශ ආධාර යටතේ තවත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප සාකච්ඡා කරනවා. මේ අන්දමින් නව විශ්වවිද්‍යාල තුන හතරක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඉන්දියාවෙන් ලැබෙන විශ්වවිද්‍යාලයත් සමඟ එය පහක් බවට පත්වෙනවා.මෙම විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වීම සහතික කිරීම වෙනුවෙන් අප අවශ්‍ය නීති සංශෝධනය කරනවා.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට අප ඉඩ ලබාදෙන අතර ඒවායේ සියලු කටයුතු තාක්ෂණය සහ කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර මත පදනම් විය යුතුයි. අපේ අපේක්ෂාව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. මේ ආකාරයට විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමට අප කටයුතු කරනවා.
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ ඇති කළ මහවැලි කලාපය සහ නිදහස් වෙළෙඳ කලාප දෙක මේ රටේ සිදුවූ විශාල පරිවර්තනයක් බව කිවයුතුයි. අප දැන් සිදු කිරීමට සූදානම් වන දේ ඊටත් වඩා විශාල පරිවර්තනයක් වනු ඇතැයි කියා මම විශ්වාස කරනවා. එම නිසා එය සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.
ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත් මෙම කටයුතු සඳහා මා සමඟ එක්වන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. අපි සියලුදෙනා එක් වෙලා රට තුළ විද්‍යාත්මක සහ තාක්ෂණික විප්ලවයක් ඇති කරමු.
ඒ වගේම ආයෝජන සම්බන්ධයෙන් නීති ගෙන ඒමට අප කටයුතු කරනවා. එළැඹෙන ජනවාරි, පෙබරවාරි මාස වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඉවත් වී යනු ඇතියි.එම කටයුතු සඳහා ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිස්ථාපනය කෙරෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි ආයෝජන රටට ආකර්ශණය කර ගැනීම එහි අරමුණයි.
එහි කටයුතු දැන් සිදුවන අන්දමට වඩා වෙනස් ආකාරයට සිදුවනු ඇතියි.එහිදී කාර්මික ප්‍රදේශ සහ ආයෝජන කලාප වෙන් කෙරෙනවා. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් ද පිහිටවනු ලබනවා. රජය සමග පෞද්ගලික අංශයත් ඊට සම්බන්ධ වෙනු ඇතියි. ඒ සියල්ලම පොදු සමාගම් ලෙස ලියාපදිංචි වෙනවා. ඉන් පසුව ඔවුන් ඔබට සේවාව ලබාදෙයි.
යෝජිත සංස්ථාව විසින් මෙම ආයෝජන කලාප අධීක්ෂණය සහ නියාමනය කරනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් ද පිහිටවනු ලබන අතර එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතියි. ඒ නිසා මෙම ආයතන තුන එකිනෙකට සම්බන්ධ වෙනවා. එය තමයි විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සඳහා අප විසින් සකස් කර ඇති නව ආයතන ව්‍යහුය.
ඒ වගේම වරාය කොමිෂන් සභා පනතෙන් එය මූල්‍ය නගරයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අපිට ෂර්මන් සහ ස්ටර්ලින් සමාගමෙන් ලැබුණු කෙටුම්පත තිබෙනවා. ඔවුන් එය යාවත්කාලීන කර තිබෙනවා. ඔවුන් සිදු කරන්නේ රෙගුලාසි සකස් කිරීමයි.
එමඟින් අක්වෙරළ මූල්‍යකරණය සඳහා ප්‍රතිපාදන සලසා තිබෙනවා. රජයේ අපේක්ෂාවන් සහ ලබන වසරේ සැලසුම් කර ඇති කටයුතු ඔබට ඉදිරිපත් කිරිමට මම සිතුවා. මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඔබ සියලුදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතියි කියා මම විශ්වාස කරනවා.
මම එදා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ප්‍රේමදාස ජනාධිපතිවරයා මගෙන් විමසුවා “ඔබ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය භාර නොගන්නේ ඇයි” කියා. මම කිව්වා “ජනාධිපතිතුමනි, මම නීතිඥයෙක්, මම විද්‍යාඥයෙක් නෙවෙයි” කියලා. ඔහු කිව්වා මම කියන දේ අහලා ඔබ එම අමාත්‍යාංශය භාරගන්න” කියලා. මට එදා එම අමාත්‍යාංශය තුළ බොහෝ වැඩ කිරීමට හැකි වුණා. ඒ වගේම මට නැවත එම අමාත්‍යාංශයේම වැඩ කරන්න අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා.
සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපති රනිල්ට ලිපියක් !
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් (Lee Hsien Loong) සඳහන් කරයි.
පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට යොමු කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
අලුත් ධීවර පනතක් එයි !
ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් එම කෙටුම්පත මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පැවසීය.
ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බව ද එමඟින් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ආර්ථික වශයෙන් කඩාවැටුණු අපේ රට යළි ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් විශිෂ්ඨ අයවැය සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධය සහ කොවිඩ් ආසාදනය වැනි විවිධ හේතු නිසා අපේ රට පසුගාමී තත්ත්වයකට පත්වුණා.
ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේ කොහොමද කියා අප සිදුකළ විදේශ සංචාරවලදී එම රටවල පිරිස් විමසා සිටියා. ඒ ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම, පෞරුෂය සහ පවතින ආණ්ඩුවට සහය දෙන අය නිසා බව මම ඔවුන්ට පැහැදිලි කර සිටියා. ශ්‍රී ලංකාවේ ජනතාවත් මේ අර්බුද තේරුම් ගෙන රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද මම සඳහන් කළා.
ඒ වගේම 2024 අයවැය මඟින් ධීවර අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400ක් පමණ වෙන්කර තිබෙනවා. ඉන් මිලියන 6077ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් මිලියන 2323ක් පුනරාවර්තන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. මෙම මුදල් යොදා ගනිමින් ධීවරයන්ගේ ජීවනෝපාය ඇතුළු රටේ සංවර්ධනය වඩා හොඳින් ඉදිරියට ගෙන යා හැකි ආකාරය අපි ඉදිරිපත් කළා. එය පදනම් කරගෙන අපට ඉදිරියට යා හැකියි. රජය විසින් ලබාදෙන මෙම මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අප රටේ සමුද්‍ර කර්මාන්තය දියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහයෝගය ද අපේක්ෂා කරනවා.
ඒ වගේම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තයට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා. විවිධ හේතූන් මත ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ ද මිල ඉහළ යාම ගැන රජයට දොස් කියන්න බැහැ. ඒ නිසා පවතින සියලු අවස්ථාවන් කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගනිමින් සමුද්‍රීය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අප සැලසුම් සකස් කරනවා. විශේෂයෙන්ම ඉන්ධන පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රම භාවිතා කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා.
එමෙන්ම ධීවර කටයුතු සඳහා බෝට්ටුවල බැටරි මෝටර් යොදා ගැනීම පිළිබඳවත් අපි විධිමත් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. එමඟින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන අතර ඉන්ධන ප්‍රශ්නයටද විසඳුම් ලැබෙයි. අපි ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.
ඒ වගේම අපේ අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් සංශෝධිත නව පනතක් ගෙන ඒමට නියමිතව තිබෙනවා. එය මේ වනවිට කෙටුම්පතක් ලෙස සකස් කර තිබෙනවා වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබාගැනීම සඳහා ද යොමුකර තිබෙනවා.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නියැළීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් හරහා සාකච්ඡා කොට විසඳාගත යුතු වනවා. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ධීවර ප්‍රශ්නය ප්‍රාන්ත රජයේ බල සීමාවට අයත් වනවා. උතුරු පළාත නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී සෘජුවම ඉන්දියාවට ගොස් පාන්ඩිචෙරි සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ඇතුළු ඉන්දීය මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම හොඳම විසඳුම බව මගේ ස්ථාවරයයි.
සුරේෂ් වඩුවේල්ට තවත් තනතුරක් !
සමගි ජනබලවේගය පක්ෂයේ සිට ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩුවේල් හට තවත් තනතුරක් පිරිණමා තිබේ.
ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රජය විසින් ක්‍රියාත්මක කරන සියලුම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන්, එම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙසය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති කෙටි පණිවිඩයක සඳහන් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි.
සක්විති රණසිංහට රු. ලක්ෂ 18ක දඩයක්
මූල්‍ය සමාගම් පනත උල්ලංඝණය කරමින් සමාගමක් පවත්වා ගෙන යාම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන ‘සක්විති රණසිංහ’ හෙවත් අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.
ඒ, ඊට අදාළ නඩුව අද (දෙසැ. 12) විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දෙන ලෙස ය.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් කර ඇති කරුණු දැක්වීම සලකා බලා ඇති විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර දී තිබේ.
2006 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත නඩුව පවරනු ලැබ තිබිණි.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට පියවර !
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට වගා හානි සිදු වී මාස දෙකක් ඇතුළත වන්දි ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශංසාව හිමි විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අදාළ වැය ශීර්ෂ විවාදය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අනෙකුත් අමාත්‍යාංශවලට සාපේක්ෂව අඩු චෝදනා ප්‍රමාණයක් තමයි අප අමාත්‍යාංශයට ඉදිරිපත් වුණේ. ඒවාද අතීතයේ සිදු වූ දේවල්වලට සම්බන්ධයි. අප අමාත්‍යාංශය විසින් මේ වන විට සියලුම ක්ෂේත්‍රවල සහයෝගයෙන් සිදුකරන ව්‍යාපෘතිවල කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරනවා.
මම මේ අමාත්‍යාංශය භාරගත්තේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවක. මම මුලින්ම කුඹුරට ගිහින් ගොවීන්ට වගා කරන්න විශ්වාසය ඇති කළා. එදා ඔවුන් හෙක්ටයාර් 212,000ක වී වගා කළා. නමුත් යළි අස්වැන්න වැඩිකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන ලෙස මම ගොවී ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටියා. ඉන් පසුව ඔවුන් හෙක්ටයාර 512,000ක් වී වගා කළා. මෙය මෑත කාලයේ සිදු වූ ඉහළම අස්වැද්දුම ලෙස හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම ප්‍රමිතියෙන් බාල පොහොර ගේන බවට ඒවා බරින් අඩු බවටත් චෝදනා එල්ල වුණා. පොහොරවල පණුවෝ සිටින බවත් පැවසුණා. නමුත් ගොවි ජනතාව ජනාධිපතිතුමා සහ රජය කෙරෙහි විශ්වාසය තබා වගා කටයුතුවල නිරත වුණා. සියලුම පොහොර වර්ග නියමිත වෙලාවට ගොවීන්ට ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. අපි මූල්‍ය ආධාර සහ ඉන්ධන සහනාධාරය ද ලබා දීමට කටයුතු කළා. ඒ නිසා වගා කටයුතු සාර්ථක වී ඉහල අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
අපට වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් 25,40,000ක් අවශ්‍යයි. මෙවර අස්වැන්න මෙට්‍රික් ටොන් 27,50,000 ක් වනවා. අප අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි අමතර අස්වැන්නක් මෙවර ලබාගැනීමට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමේ ද අවශ්‍යතාවක් මතුවී තිබෙනවා. ඊට හේතුව වී අස්වැන්න ඉහළ අගයක් ගත්ත ද මොල් හිමියන් විසින් ඒවා සම්පූර්ණයෙන්ම වෙළෙඳ පොළට නිකුත් නොකිරීමයි. ඒ වගේ ම කීරි සම්බා අස්වැන්නේ අඩු වීමක් දක්නට ලැබුණත් සාමාන්‍යයෙන් ජනතාව පරිභෝජනය කරන සහල් වර්ගවල අඩු වීමක් සිදුව නැහැ. ඉතින් මේ උත්සව සමයේ සහල් ආනයනය නොකළා නම් සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ නිසා අකමැත්තෙන් හෝ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
ඒ වගේම 2024 දී බෝග වර්ග 04කට ප්‍රමුඛත්වය දීමට අපි සැලසුම් කර තිබෙනවා. වී වගාව දැන් සාර්ථක තැනකට පැමිණ තිබෙනවා. ඒ සමඟ බඩ ඉරිඟු, මිරිස්, අල වගා කිරීමට ජනතාව දිරිමත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි දැනටමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අපගේ අපේක්ෂාව මෙලෙස ආනයනය කරන මෙම බෝග වර්ග අප රටේම වගා කිරීමයි. එමෙන්ම එක් එක් බෝගවලට අදාළ ප්‍රදේශ වෙන් කරන්න කියලත් අප උපදෙස් දී තිබෙනවා.
කුරුලු උණෙන් තොර රටක් ලෙස අපට කුකුලු මස් අපනයනය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. අපි දැනටමත් යම් ප්‍රමාණයක් මාලදිවයිනට අපනයනය කරනවා. අප සැලසුම වී තිබෙන්නේ එය තවත් රටවලට ව්‍යාප්ත කිරීමටයි.
ඒ වගේම වගා හානි සඳහා වන්දි ලබා දෙනවා. එහි ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කරමින් එම වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ද කටයුතු කරනවා. වගා හානියක් සිදුවී මාසයක් දෙකක් ඇතුළත වන්දි ලබාදුන් ඉතිහාසයේ පළමු වතාව මෙයයි. ඒ ගැන මම ජනාධිපතිතුමාට වගේම මුදල් අමාත්‍යාංශයට ද ප්‍රශංසා කරනවා.
අපෙ රටේ රබර් වගාව මේ වන විට යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එය නැවත වැඩිදියුණු කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් සිටිනවා. තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ අස්වැන්න වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම කුරුඳු වගාව දියුණු කිරීම සඳහා අපි වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.
ඒ වගේම කෝපි වගාව කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එය වැඩිදියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වී සිටීම අපට විශාල පාඩුවක්. බොහෝ විට කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටින්නේ වැඩිහිටි අයයි. ආදායම් නොමැතිකම ඇතුළු විවිධ හේතු නිසා තරුණ පිරිස් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා කෘෂිකාර්මික නවීකරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.
වැට් බද්ද සම්මතයි !
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
මේ අනුව භාණ්ඩ අනූ හතකට එළැඹෙන ජනවාරියේ සිට 18% ක වැට් බදු අය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.
මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.
මෙම විවාදය සඳහා ඊයේ (10) ඉරුදින සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණත් විපක්ෂය විසින් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තුව කල් තැබීම නිසා විවාදය අතරමග නතර විය.
පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ කෙටි විවාදයකින් පසු සම්මත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.
මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විපක්ෂය වෙත චෝදනා කර සිටියේ විපක්ෂය මැදිහත්වී ලබාගත් විවාදය විපක්ෂය විසින්ම කඩාකප්පල් කළ බවය. එබැවින් ඊයේ අපතේ ගිය මහජන මුදල් සම්බන්ධයෙන් විපක්ෂය වග කිවයුතු තවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
චෙක් නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් !
මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් අද (11) මේ නියෝගය නිකුත්කර තිබේ.
ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි !
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට පැවරෙන බව ද සඳහන් කළේය.
වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
සිසුන් 176 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත් අතර විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 06 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන ලැබීය.
NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ විසින් සැමරුම් තිළිණයක් ලෙස ජනාධිපතිවරයා වෙත වටිනා පොත් කට්ටලයක් ද පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
විශ්වවිද්‍යාලවලින් පිටවන සියලු දෙනාට රැකියා ලබාගත හැකි ආකාරයට අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටළුව නිසයි. නමුත් අනෙක් රටවල් මෙම ප්‍රශ්නයට මුහුණ දී සාර්ථකව තිබෙනවා. “සෑම අයෙකුටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ ද සඳහන් වෙනවා. ඒ අනුව මේ වෙනුවෙන් සෑම රටකම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෙස අපත් දැන් සූදානම්ව සිටින්නේ එම වැඩකටයුත්ත සඳහා යොමු වීමටයි.
ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට අප බලපොරොත්තු වෙනවා. ඒ සමඟම නව තාක්ෂණය සමඟ මෙරට සිට විදේශීය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වෙනවා.
ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමේ වැඩකටයුතු 2030 වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් භාෂා දැනුමෙන්ද මෙරට සිසු පරපුර සවිබල ගැන්විය යුතුයි.
ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය පුහුණු විද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර එම පාඨමාලා සඳහා රැකියා ඉලක්ක කර ගත් නව විෂය මාලා හඳුන්වාදීමට පියවර ගන්නවා. මෙම කටයුතු සඳහා පුද්ගලික අංශයේ වෙළෙඳ මණ්ඩල සහාය ලබාදෙන බවට අපට දැනුම් දී තිබෙන නිසා මෙම වැඩසටහනත් ලබන වසර වන විට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.
ඉන් පසුව මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම අපේ අපේක්ෂාවයි. මේ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය මේ රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීම අපේ අරමුණ බව කිව යුතුයි. මොකද රට දියුණු කිරීමට දැනුම අවශ්‍යයි. ඒ සඳහා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.
අප දැනට මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස කටයුතු කළ යුතුයි. අප හැමදාම මෙම තත්ත්වයේ සිටිනවාද, නැත්නම් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වෙනවාද කියා තීරණය කළයුතුයි. අපි සියලුදෙනාට අවශ්‍ය එම ගමන යාමටයි. එසේනම් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැගීම අධ්‍යාපනයට භාර දෙමු.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද, පීඨාධිපතිවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපාධිධාරී සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
https://casite-1385010.cloudaccess.net/news?start=1818#sigProId1c69f873a8
කටුපොල් තහනම ඉවත්කර දෙන්න හිටපු ඇමති රවී මැදිහත් වෙයි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.
එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.
එසේම අපනයන භෝගයක් ලෙස දියුණු කළ හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවයි.
කටුපොල් අක්කරයක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් ඉපයිය හැකි බවද එම ගොවීන් පෙන්වාදී ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බව කර තිබේ.
තවද මැලේසියාව, ඉඳුනීසියාව වැඩි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙන බවද ගොවීන් සඳහන් කර ඇති අතර එබැවින් මෙම කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බවද පෙන්වාදී ඇත.
මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පවතින දුරුමත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.
මෙහිදී එම ගොවින්ට හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පොරොන්දුවී ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.
ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකල විමසීම් කිහිපයකටද හිටපු අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.
බංකොලොත් නැතිව තිබුණු රටක් ජනතාවගේ ඉල්ලීම පරිදි එය වෙනස් කරලා ලැබුණු ප්‍රතිවිපාකයට තමයි අපි මුහුණ දීල හිටියේ, ඊට පස්සේ යන මාර්ගය නැති වුණා ආදායම මදි වුණා වියදම වැඩි වුණා. රට බංකොලොත් උනා. බංකොලොත් කරපු කට්ටියට නෙමෙයි එයින් එළියට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඉතින් හැමකෙනාටම බැන බැන පරිපාලනයක් ගෙනයන්න බැරි කට්ටිය ඒකට උත්තර දෙන්න හදනවා. අභියෝගය බාරගත්ත වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකට අවශ්‍ය උත්තර සපයාගෙන ඉදිරියට ගමන් කරමින් යන මොහොතක්, ජීවන වියදම ලේසි නෑ අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායමාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේක මේ දේශපාලන පොරපිටියේ නිකන් වචනවලින් රටක් හදන්න බෑ.
තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙනවා.
මම විදුලි බල ඇමති ඉන්න කාලෙ ඉඳලා පුනර්ජනනීය බලශක්තිය වැඩ පිළිවෙල් වලට සියලු බදු අයින් කරලා තියෙන්නේ. කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලය. මොකද තාම විදුලි බල මණ්ඩලය මේකට හරි උත්තර දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ, විදුලු බල මණ්ඩලය ගත්තහම 27000ක් පමණ එතන ඉන්නවා.නමුත් එතනට අවශ්‍ය ප්‍රමාණය වන්නේ දහපාලොස්දාහක් පමණ කියලා ඔවුන්ම පිළිගන්නවා. ඒක නිසා අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව දැනගෙන එය නිසි මාර්ගයකට ගැනීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන විදිහට තව මාස දෙක තුනකින් විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරාවි.
ඇත්ත අමිහිරි වෙන්න පුළුවන් . හැබැයි ඒ අමිහිරි ඇතුලෙන්ම තමයි රටක් හරි මාර්ගයකට ගේන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අභියෝගය බාරගෙන වැඩ කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට පුළුවන්කමක් නැහැ, සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන සියලු පක්ෂවල සහයෝගය ඇතිව වගේම මාධ්‍යයත් මේකට දායකත්වය ලබා දිය යුතුයි.හැමදාම බැටකන්නේ වැඩ කරන පුද්ගලයින් එනිසා අලුත් විදියට හිතන්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කළ යුත්තේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව කළුතර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක සහ හිටපු සංචාරක අමාත්‍යය අචල සුරංග ජාගොඩ ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
‘පොලිස් මහජන සහන දිනය’ නැවතත්
කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.
පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණ හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිලිබඳව වන යුක්තිසහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් පොලිස්පති වෙත එම දිනයන්වල පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරට ත් සඳහන් කළේ, වැඩබලන පොලිස්පති සෑම සිකුරාදා දිනක ම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී ඍජුව ම මහජනතාවගේ පැමිණිලි පිලිබඳ පිළිතුරු ලබා දීම සිදු කරන බව ය.
ජනාධිපතිගේ වැඩ ගැන සජබ බයවෙලා : 15 වෙනිදා පොහොට්ටුව මොන නාඩගමක් නටයිද ?
සජබ විතරක් නෙමෙයි, ලන්සලා අනුරයාපා ලගේ සන්ධානයයි ශ්‍රී ලංකා එකයි , තවත් පක්ෂ කිහිපයක්ම එකතුවෙලා හදන්නය යන අලුත් සන්ධානෙත් ජනවාරියේ දී කරලියට එන්නයි යන්නේ.
ඒ සන්ධානයට සහාය දක්වන මැති ඇමතිවරුන් වන නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, පියංකර ජයරත්න, චන්න ජයසුමන, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් පහුගිය සතියේ දවසක පාර්ලිමේන්තු ලොබියේ ඉඳන් වත්මන් දේශපාලන කරුණු කාරනා ගැන කතාබහ කරමින් ඉඳල තියනවා.
“දැන් සජබේ හැමෝම බයවෙලා ඉන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්න හදනවා කියලා “- ලසන්ත අලගියවන්න කියලා .
“එන්නේ ජනාධිපතිවරණයක්නෙ. ඒක සජබේ දන්නවා .. හැබැයි ඉතින් ඒකට සජිත් බයයිනෙ. පාර්ලිමේන්තුව ඡන්දයක් තිබ්බොත් සජබේ දැන් ඉන්න හුඟාක් අය ජනාධිපතිතුමාට සහය දෙන්න යු.එන්.පි යට යනවා, අනිත් එක ඔය ඉන්න සෙට් එකෙන් බාගෙට බාගයක්වත් ඊලග පාර පාර්ලිමේන්තු එන්නේ නෑ” - නිමල් ලන්සා සිනාසෙමින් කියලා .
“ලන්සා කිව්වා වගේ දැනටමත් සජබේ කට්ටිය හුඟාක් ඉන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයේ, නැත්තන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරේ” කියලා - දුමින්ද දිසානායක කියලා .
“ඔව්..අපිත් යන එනකොට දකිනවනේ හැබැයි හොරෙන් ජනාධිපතිතුමා හම්බෙනවා එලියට ඇවිත් ආණ්ඩුවට බනිනවා” - අමරවීර කියලා .
“ඔව් ඉතින් ආණ්ඩුවට ගැහුවේ නැත්තන් කොහොමද විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්නේ” කියලා ලන්සා කියලා .
“හුඟක් අය ඉන්නේ සජිත් එක්ක හොඳකින් නෙමෙයි” - චන්න ජයසුමනත් කතාබහට එකතුවෙලා.
“ජනාධිපති වෙන්න කලින් ඉස්සරවෙලාම තමන්ගේ වටේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්න දැනගන්න එපැයි, එක දන්නේ නැතුව කොහොමද ජනාධිපතිකම් කරන්නේ”- ඇමති නලින් ප්‍රනාන්දු කියලා .
“පොහොට්ටුවේ සංවත්සරය තියනවා නේද?, සුගතදාස එක පුරවන්න ෆුල් ට්‍රයි කරනවලු”- පියංකර ජයරත්න කතාව වෙනත් පැත්තකට ගෙනෙහින්.
''හම්බන්තොට ට මිනිස්සු කිහිපදෙනෙක්ම මටත් කතාකළා සමහර සංවිධායකයෝ කෙලින්ම කිව්වලු සෙනග ගේන්නේ නෑ කියලා " අමරවීර කියලා .
“කට්ටිය බලන්නේ 15 වැනිදා මොකක්හරි කියලා ආයෙත් ජනතාව අන්දන්න පුලුවන්ද කියල බලන්න” - නලින් කියලා තියෙන්නේ එහෙම.
දේශපාලන වාර්තාකරු
Page 102 of 440