Ad

Ad 01

V2025

පුවත්

20 -20 ක්‍රිකට් කණ්ඩායමේ බර වනිදුගේ හිස මතට !

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග වෙත පැවරීමට නියමිත බවත් වාර්තා වෙයි .

26 හැවිරිදි වනිඳු හසරංග 2019 වසරේ දී නවසීලන්තයට එරෙහි ව විස්සයි විස්ස වරම් හිමිකරගත් අතර, තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති 20 - 20 කඩුලු සංඛ්‍යාව 91කි.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කාලයක් අංක එකේ පන්දු යවන්නා ලෙස සිටි වනිඳු මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 03 වැනි ස්ථානයේ පසු වේ.

2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුර දී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කළේය.

කෙසේ වෙතත් එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නටම ලබාදීමට නව තේරීම් කමිටුවත් කටයුතු කරන බවයි.

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව එළැඹෙන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

එහි දී ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය හිස් වෙයි !

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (16) මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය .

"පක්ෂයේ විධායක සභාව කැඳවලා තිබුණා. එහිදී ගතයතු තීන්දු තීරණ සහ දේශපාලන මණ්ඩලයක් පත්කළා."

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් බැසිල් රාජපක්ෂ ඉවත්වූ බවට රාවයක් ඇති බවත් එය සත්‍යක් ද යන්න ය.

ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් මන්ත්‍රීවරයා මෙසේ පවසා තිබිණ .

"නෑ. එතුමා පක්ෂ සංවිධායක කටයුතු නිර්මාතෘ විදිහටත් කරනවා. දේශපාලන මණ්ඩලයත් නියෝජනය කරනවා. ඉතින් ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න එතුමා සහ පක්ෂය මතයකට ආවා. ඉදිරියේදී අපි ගන්න දේශපාලන තීන්දු මත ඒකට අවශ්‍ය පුද්ගලයෙකු අපි පත්කරගන්නවා."

හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි : ජනවාරි සිට ක්‍රියාත්මකයි !

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් හරහා යෝජිත ශ්‍රී ලංකා පුරවැසියන් වෙනුවෙන් නිකුත් කෙරෙන ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට ක්‍රියාවට නැංවීමට නියමිත බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙම හැදුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිතය.

මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණි.

ඒ අනුව නව ඩිජිටල් හැඳුනුම් පතක් සඳහා ඉල්ලුම් කරන විට, නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ,දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක්ද ලබාදිය යුතුව ඇත.

අලුතින්ම හැදුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීම රජයේ සැලසුම වී තිබේ .

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක මූලස්ථානය ලංකාවේ : සාගල ගේ යෝජනාව සම්මතයි !

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී එකඟතාව පළවී ඇත.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ කිසිදු විරෝධයකින් තොරව කලාපයේ රටවල් මෙම යෝජනාව සඳහා එකඟතාව පළකිරීම ය.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස්  පත් කෙරේ.

දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ් මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි හෙබවූවේය.

වර්ෂ 1969 ජුනි මස 06 දින උපත ලබා පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විවිද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා අධ්‍යාපනයට හා මළල ක්‍රීඩාව තුලින් දස්කම් දක්වමින් සිය පාසල් මෑණියන් වෙත ගෞරවයක් හා කීර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකු විය.

වර්ෂ 1988 ජුලි මස 26 දින යුද්ධ හමුදාවට බැඳුණු ඔහු දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1990 ජුනි මස 09 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් ඒ මහතා 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා සිය හමුදා දිවිය තුළදී අණ, මාණ්ඩලික හා උපදේශක ධුරයන් රැසක් හොබවා ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී ඔහු වෙත පැවරූ සංග්‍රාමික රාජකාරින්හිදී සුවිශේෂී කැපවීමක් දක්වමින් එම රාජකාරින් ඉටුකරනු ලැබීය.

ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා යුද්ධ හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, අණදෙන නිලධාරී, මේජර් ජෙනරල් එස්.ටී.ටී ජයසුන්දර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ අධි සහායක, යුද්ධ හමුදා පුහුණු පාසලේ විධායක අධිකාරී, මෙහෙයුම් සහ පුහුණු ආඥාපති, මරදාන යුධෝපකරණ ගබඩා කඳවුරෙහි ආරක්‍ෂක නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, 3 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II, පිරිස් පරිපාලන අධ්‍යක්ෂක, මාණ්ඩලික නිලධාරි II – අතරමැදි කඳවුර අනුරාධපුරය, ආරක්‍ෂක සම්බන්ධීකාරක – ආරක්‍ෂක අමාත්‍යාංශය, 8 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 522 පාබල බලසේනාවේ බලසේනාධිපති , ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, එක්සත් ජාතීන්ගේ නිව් යෝර්ක් මූලස්ථානයේ හමුදා උපදේශක, ආරක්ෂක සේනා ආඥාපති – බටහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

දස වසරකට පසුව දියත්වූ මහපොළ ප්‍රදර්ශනයේ ගුණ ජනපති පහදයි !

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය,

දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව පැවසූ ජනාධිපතිවරයා, හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්, සිතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය (Post Graduate for Research ) ඔහු නමින් නම් කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (14) පස්වරුවේ එක්වෙමිනි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.

මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

226 වන මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වනදා තෙක් පැවැත්වේ.

නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විතය.

එහි දෙවන දිනය වන ඊයේ දිනය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබූ අතර ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුහද පිළිසඳරක නිරත විය.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා මාර්ගගත පරිත්‍යාග පහසුකම් (online donation facility) සඳහා වන www.eservices.mahapola.lk වෙබ් අඩවිය දියත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

එම අරමුදල වෙනුවෙන් පළමු පරිත්‍යාගය පරාක්‍රම බණඩාර විසින් මෙහිදී සිදු කළේය.

මහපොළ 2023ට සමගාමීව පවත්වන ලද චිත්‍ර, රචනා, කෙටි චිත්‍රපට සහ වීදි නාට්‍ය තරගවල ජයග්‍රාහකයින් තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, රොෂාන් ගුණතිලක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලිකිලිමත් වන ලෙස ද දැනුම් දෙයි.

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කළ යුතුයි - ජනපති

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නෙලුම් පොකුණ රඟ‍හලේදී (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනි.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත්හ.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ඉදිරි දශකයට ගැළපෙන පරිදි මෙරට ආරක්ෂක හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ රටවල ආරක්ෂක අංශ නිලධාරින්ටත් ශ්‍රී ලංකාවේ පාඨමාලාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දීම තුළින් ආරක්ෂක අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවද පැවසීය.

ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සතුව විශේෂ හැකියාවන් පවතින බවත්, එම හැකියාවන්ට කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණික දැනුම එක් කිරීම මගින් නවීන ආරක්ෂක සේනාවක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය. ආරක්ෂක උපාය මාර්ග කරුණු අධ්‍යනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කැඩෙට් පුහුණු පාසල සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය යන ආයතන ත්‍රිත්වයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ දේශපාලනික ස්වභාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ රටවල් ගෙන යන ක්‍රියාකලාපයද මෙහිදී අනාවරණය කළේය.

වර්තමානයේ ජාත්‍යන්තර යුද ගැටුම් ඇතැම් මාධ්‍ය ඔස්සේ මහජන කතිකාවතක් දක්වා විකාශනය වී ඇති බවත් එමඟින් ලෝක මහජන ආරක්ෂාවට අනිසි අන්දමින් බලපෑම් එල්ලවිය හැකි බවත් සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාම්ප්‍රදායික ආරක්ෂක යුද ක්‍රමවේදවලින් ඉවත්ව ගෙන යන මෙම යුද ගැටුම් ස්වභාවය අනාගත මානව වර්ගයාට බලපෑ හැකි අන්දම පිළිබඳ අධ්‍යනය කළ යුතු බවද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ‍විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ‍සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 7deade3d59

'ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්' -ඇමති ටිරාන්

ඉදිරි මාස හය තුළ රටේ අපරාධ මර්දනය කර විශාල වෙනසක්‌ සිදුකිරීමට බලාපොරොත්තුවන බවත්, එම ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කර සිටියි.

'' මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් ජනතාවගේ දායකත්වය සහ සහයෝගයද ලබා ගැනීමට අප කටයුතු කරනවා. ජනතාව තමන් මුහුණ දෙන ගැටළුවකදී පොලිසියේ පිහිට පතන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසායි. ඔවුන්ට සුහදශීලීව සැලකිය යුතුයි. එවිට අපගේ වැඩපිළිවෙලට ජනතාවගේ සහයෝගය ද අනිවාර්යයෙන් හිමිවනවා.'' යයි ද ඇමතිවරයා පැවසිය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''වගකීම භාර ගැනීමට නොහැකි අය සිටිනවා නම් ඉවත්වෙන්න ''

'' සියලු ප්‍රදේශවල ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම සඳහා නිශ්චිත කාල රාමුවක් අපි ලබාදුන්නා. යම් යම් හේතුන් මත ඒ සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ සඳහා අවශ්‍ය කාලය ලබා දුන්නත් මේ වන තුරුත් එය නිසි ආකාරයෙන් ඉෂ්ට වී නැති බවක් පෙනී යනවා. නමුත් එලෙස කටයුතු කිරීම මාගේ ක්‍රමවේදය නොවෙයි. යම්කිසි තීරණයක් ගත්විට එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපට ලැබී ඇති කෙටි කාලය තුළ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කිරීමට අප සූදානම් වුවත් සියලු දෙනාම එක්ව එය සාර්ථක කර ගැනීමට කටයුතු නොකළහොත් එම ඉලක්ක වෙත ළඟාවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අප මෙම කාර්යය ආරම්භ කළ යුත්තේ ප්‍රජා පොලිස් කමිටු තුළින්. ප්‍රදේශ භාර නිලධාරීන්ට මෙම කාර්යය නිසිආකාරයෙන් ඉටු කිරීම පිළිබඳ විශාල වගකීමක් පැවරෙනවා. එම වගකීම භාර ගැනීමට නොහැකි අය සිටිනවා නම් එයින් ඉවත්වීමේ හැකියාව පවතිනවා. ප්‍රජා පොලිස් කමිටු මඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. එම නිසා සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් සති කිහිපයක් තුළ මෙම කාර්යය ඉටු කරනු ඇති බව මා බලාපොරොත්තු වෙනවා. එම කමිටු ක්‍රියාත්මක වීමත් සමඟ ප්‍රදේශයේ සියලුම මට්ටමේ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා. නිවැරදි ආකාරයෙන් මෙම සැලසුම් ක්‍රියාත්මක කළහොත් අපට පවතින අභියෝග 75% කට වඩා ජයගැනීමට හැකියාව පවතිනවා.

පළාතේ සිදුවන සියලු දේ සම්බන්ධ වගකීම එම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරීන් වෙත පැවරෙනවා. මේ සෑම ප්‍රදේශයක් සම්බන්ධවම නිරීක්ෂණය කරමින් වාර්තා ලබා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ සැලසුම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව තදින් කටයුතු කිරීමට සිදුවනවා. මෙලෙස එකින් එක නව වෙනස්කම් සිදුවීමේදී ඇතැම් සමාජ මාධ්‍ය කුපිත වීමක් දක්නට ලැබෙනවා. අමාත්‍යවරයා ලෙස මටත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ටත් දිගින් දිගටම මඩ ප්‍රහාර දියත් කරමින් පවතිනවා.

''මේ සියල්ල මෙහෙයවන්නේ පාතාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල්වලින් ''

මේ සියල්ල මෙහෙයවන්නේ පාතාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් මගින්. මේ ප්‍රචාරයන් වලින් 99%ක්ම සාවද්‍ය ප්‍රකාශයන්. එවැනි ක්‍රියාවන් කිසිසේත්ම අපට අභියෝගයක් නොවෙයි. රටේ දරුවන් දෙමාපියන් වෙනුවෙන් කළ හැකි විශාලම මෙහෙවර වන්නේ මේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය තුරන් කර දැමීමයි. ඇතැම් ප්‍රදේශවල බොහෝ සිදුවීම් සිදුවුවත් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මත්ද්‍රව්‍ය, පාතාලය සමඟ සොරකම් ඇතුළු ක්‍රියාකාරකම්වලද වර්ධනයක් පෙනී යනවා. එම නිසා ඒ සම්බන්ධව නිසි ආකාරයෙන් පියවර ගැනීම පිළිබඳ වගකීම ඉහළ පොලිස් නිලධාරින් වෙත පැවරෙනවා. එලෙස කැපවන ඕනෑම නිලධාරියකු මුහුණ දෙන ගැටලුවකදී මා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ වන විටත් පොලිසිය වෙනුවෙන් සිදුකළ හැකි සෑම දෙයක්ම මා ඉටු කර දී තිබෙනවා. ඒ පහසුකම් නිසි ආකාරයෙන් ලබාදීම තුළින් මා බලාපොරොත්තු වන්නේ රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කිරීමයි.''

හෝර්ටන් තැන්නට කළ යුත්තේ කුමක්ද ? ජනපති පහදයි !

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අද (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන හෝර්ටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

වනෝද්‍යානය ආශ්‍රිත ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නගා සිටුවීමට ද හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී තිබෙන මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නිරීක්ෂණයට ලක් විය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන භාරකරු ආර්.එම්.එන්.කේ. රත්නායක, මධ්‍ය පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ ජී. වික්‍රමතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

'කොට උඩ ගිය' වැඩ 200ක් යළි අරඹනවා

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය ආදායම සහ වියදම කළමණාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැය තුළින් සකසා ඇති බව ද සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබූ බවද අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.

 ''IMF දෙවැනි වාරිකය හිමිවීමත් සමඟ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වෙනවා''

 '' පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 රාජ්‍ය අයවැය සම්මත කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දෙවැනි වාරිකය නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වූ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර් මිලියන 337ක් අපට ලැබීමට නියමිතයි. ඒ සමඟම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද මීට පෙර එකඟ වූ වාරික නිදහස් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයට නොහැකි වනු ඇති බවට විපක්ෂය ජනතාව තුළ චකිතයක් ඇති කර තිබුණා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා නම් අප බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට යාමට නොහැකි වෙනවා. මේ සියල්ල සාර්ථක වීම තුළ තවදුරටත් රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මීට මාස කිහිපයකට පෙර අපේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබුණා. එදා සහ අද පවතින ආර්ථික තත්ත්වය දෙස බැලීමේදී මෙම සාර්ථකත්වය ඇති කර ගැනීමට උපකාර කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එම වැඩපිළිවෙළ හැරෙන්නට රටක් ලෙස ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමට වෙනත් කිසිදු අවකාශයක් අපට තිබුණේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරට ණය හිමියන් සහ අනිකුත් බහුපාර්ශ්වීය මූල්‍ය පහසුකම් සලසන ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා වැදගත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය රාමුව තුළ ශ්‍රී ලංකාව කොතෙක් දුරට කාර්යක්ෂමද, කැපවීම් කරනවාද කියන කරුණු එහිදී ඉතා වැදගත්.

වගකිව යුතු රජයක් ලෙස ජනතාව මුහුණ දෙන අසීරුතා අවතක්සේරු කරමින් කටයුතු කිරීමට අප සූදානම් නැහැ. නමුත් මෙවැනි තීන්දු තීරණ නොගත්තා නම් පසුගිය ආර්ථික අර්බුදයට වඩා දරුණු තත්ත්වයකට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙනවා.

මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට මෙම කෙටි කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදුන් නායකත්වය ඉතා වැදගත් වූ බව කිව යුතුයි. රජයේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ ජනතාව අපහසුවෙන් වුව ද කටයුතු කළ බව අප කෘතවේදීව සිහිපත් කළයුතුයි.

පාර්ලිමේන්තුවේදී අයවැය ලේඛනය සම්මත වීමට සමගාමීව රාජ්‍ය ආදායම ද ඉහළ නංවා ගැනීම සම්බන්ධවත් අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ආදායම, වියදමට සරිලන ලෙස සකස් වී නොතිබීම ගැටලුකාරී තත්ත්වයක්.

 විවේචන කළ පමණින් අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකියි...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය පවතින්නේ දේශපාලන වශයෙන් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව කිවයුතුයි. අතීතයට බැන වඳිමින්, විවේචන කළ පමණින් අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකියි. රජය ගන්නා තීන්දු තීරණවලට විපක්ෂ කණ්ඩායම් විරුද්ධ වුණේ තම ජනප්‍රියතාව උදෙසා පමණයි. ජනප්‍රියතාව වෙනුවෙන් තවදුරටත් බංකොළොත් රටක් ලෙස ඉදිරියට යනවාද, මෙම ලබාගත් පන්නරය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා ද කියන කාරණය පිළිබඳ තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් රජය බලාපොරොත්තු වන රාජ්‍ය ආදායම ලබා ගන්න බැහැ. පැවති රජයන් බදු පතිපත්තිය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම අද රට පත්ව ඇති අසීරුතාවට මූලික හේතුවක් බව කිවයුතුයි.

ජනාධිපතිතුමා පසුගිය වසරේ අතුරු අයවැය තුළින් බදු ජාලය ශක්තිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් එය බලාපොරොත්තු වූ මට්ටමින් ක්‍රියාත්මක නොවූ නිසා තමයි සෘජුවම මෙවර අයවැය තුළින් බදු ජාලය පුළුල් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම, හා රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා.

එසේම විදේශ ණය ආධාර යටතේ ආරම්භක කර අතරමග වැඩ නැවතුණ ව්‍යාපෘති 200කට වැඩි ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් බවට පත් වූ නිසා ඒ සියලු ව්‍යාපෘති නතර වුණා. නමුත් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ වීමත් සමඟ මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. වර්තමානය වන විට සුබවාදී, ශක්තිමත් ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගමන් කරමින් සිටින බව කිවයුතුයි. එසේම ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රකෘතිමත් ආර්ථිකයක සුබවාදි ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා.

දේශපාලන කෝණයකින් බලා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි. විපක්ෂය කියන ලෙස මෙම කටයුතු ඉතා පහසුවෙන් ඉටු කරන්න බැහැ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනඟන අන්දම පිළිබඳ ඔවුන්ට කිසිදු යෝජනාවක් ද නැහැ. අභියෝගකාරී අවස්ථාවේ රටේ වගකීම භාර නොගත් කණ්ඩායම් රට යම් ධනාත්මක තත්ත්වයකට පැමිණී අවස්ථාවේදී මෙලෙස විවේචන එල්ල කිරීම සාධාරණ නැහැ. ඒ වගේම සමීක්ෂණ ආයතන ද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සිය මතය ප්‍රකාශ කළ යුතුයි.

මෙය රටේ තීරණාත්මක අවස්ථාවක්. අද විවිධ දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට වැරදි තොරතුරු දිගින් දිගටම පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද සඳහන් වෙනවා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

හෙට (16) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇතැයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

ඒ අනුව කිරිපිටි රු. 08කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 15කින්, දේශීය අල රු. 15කින්, ආනයනික අල රු. 15කින්, කඩල රු.5කින් මිල අඩු කර තිබේ.

රතු නාඩු රුපියල් 02කින් හා සුදු නාඩු රුපියල් 05කින් අඩු කිරීමටත් පියවර ගෙන ඇත.

387501460 1315189762499753 550840494901639090 n

රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්

කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද(14) සිර දඬුවම් නියම කෙරිණ.

කුරුණෑගල මහාධිකරණය විසින් අද (දෙසැ 14) එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට සිර දඬුවම් නියම කෙරිණ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ 13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ 2020 වසරේ ජූලි 14 වන දා ය.

එවකට කුරුණෑගල නගරාධිපති ධූරය දරනු ලැබුවේ ද තුෂාර සංජීව විතාරණ විසිනි.

කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා එවකට පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බව ය.

අද මධ්‍යම රාත්‍රියේ ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාවක් ගැන නිවේදනයක්

අද (14) මධ්‍යම රාත්‍රීයේ දී ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

 මිථුන තාරකා රාශිය ආශ්‍රිත දක්නට ලැබෙන බැවින් ජෙමිනිඩ් ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී සිදු වන බව සඳහන්ය.

ඒ අනුව පැයකට උල්කාපාත 130-140ක් වැනි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය විසින් එම නිවේදනය කරයි.

වසරේ ආකර්ශනීයම උල්කාපාත වර්ෂාවක් වන ජෙමිනිඩ් නොවැම්බර් අග සිට සක්‍රීය වී ඇති අතර, එහි උච්චතම අවස්ථාව මෙම සතිය තුල දී සිදු වන බව පැවසෙයි.

උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ රාත්‍රී 11 සිට උදෑසන 3 අතර කාලය යි. එසේම එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබේ.

ගුවන් සේවා ක්ෂේත්‍රය ගැන පාසැල් සිසුන්ට පුහුණුවක්

සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන් හා එම ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු පිළිබඳ පාසල් සිසුන් දැනුවක් කරමින් අනාගතයේ එම ක්ෂේත්‍රවලට යොමුකිරීම සඳහා වූ මූලික අඩිතාලමක් දැමීම උදෙසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.

මේ අනුව 2024 වර්ෂයේ ගුවන්තොටුපොල ආශ්‍රිතව පවත්වන ඉහත වැඩමුළු හරහා ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ පාසල් සිසු දරු දැරියන් 1 500 ට වැඩි පිරිසක් පුහුණු කිරීමට මේ තුලින් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙතෙක් පාසල් ගුවන්සේවා සමාජ හරහා මේ සඳහා පාසල් ළමුන් තෝරාගත් අතර ඉහත වැඩපිළිවෙල හරහා ජාතික රූපවාහිනියෙන් විකාශය වන පූර්ව ප්‍රචාරක පටයේ සඳහන් වන කෙටි පණිවුඩ යොමු කිරීම හරහා ස්වංක්‍රීය කුසපත් ඇදීමෙන් මෙම පිරිස තෝරා ගැනේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා සිවිල් ගුවන්සේවා අධිකාරිය එක්ව සංවිධානය කරන ඉහත වැඩමුළු මාලාව සඳහා ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරිං සමාගම හා ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල ඇතුළු පාර්ශවකාර ආයතන දායකත්වය සපයයි.

වරාය. නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශය, ප්‍රවාහන, මාහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආශිර්වාදය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ

මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති අචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා අතර සිදුවිය. එම අවස්ථාවටවරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්, කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෙල්, ශ්‍රීලංකන් කේටරිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්විය.

ඊළඟ අයවැය ගේන්නේ හර්ෂ : හොඳටම බයවූ සජිත්ගෙන් මානසික අල්ලසක් !

ඊළඟ අයවැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් ගේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තුවේදී අද (13) පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අයත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා සිටියේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කර සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුද ? කියාය.

එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ කියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දීමට ඇති සූදානම අධෛර්‍යමත් කිරීමේ උත්සාහයක විපක්ෂ නායක සජිත් නිරතව සිටින බව නිරීක්ෂණය වන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවැනිම ප්‍රයත්නයක් දැරූ බවද ඔහු සිහිපත් කළේය . සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ සූදානමක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් ගිය බවත් එම රාවය සත්‍යක් නොවන බව සිය මන්ත්‍රීවරුන් ට ප්‍රත්‍යක්ෂ කිරීමට විපක්ෂ නායකයා තමන් කිසිම විදිහකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන දීගයකට නොයන බව පැවසූ බවත් දේශපාලන විචාරකයා පෙන්වා දුන්නේ ය.

එම උපක්‍රමයම මේ අවස්ථාවේ ද දියත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊළඟ මුදල් ඇමති හර්ෂ ලෙස පැවසීම මානසික අල්ලසකට වඩා වැඩි දෙයක් නොවන බව සඳහන් කළ දේශපාලන විචාරකයා මේ වන විට විපක්ෂ නායක සජිත් ගේ ආර්ථික උපදේශක වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආර්ථික උපදෙස් ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා බවත් ඒ ගැන දේශපාලන ක්ෂේත්‍රයම දන්නා බැවින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා නොදැන සිටිය නොහැකි බවත් සඳහන් කළේය .

කෙසේ වුවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මුදල් ඇමති වීමේ ආශාවක් ඇති බව ඔහුගේ හැසිරීම විසින් පෙන්නුම් කරන නිසාත් ඒ සමග යළිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යාමට නියමිත සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ලැයිස්තුවේ හර්ෂ මන්ත්‍රීවරයා ගේ නමද ඉහළින් තිබීමත් යන තක්සේරුව සැලකිල්ලට ගෙන විපක්ෂ නායක සජිත් අවස්ථාවාදී මානසික අල්ලසක් නිකුත්කළ බව තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාකරුවන්ට අභියාචනාධිකරණයෙනුත් තීන්දුවක් !

දකුණු ආසියාවේ විශාලතම "වැට් බදු" වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තිදෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත අද (13) දින ස්ථිර කර තිබේ.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටී මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුවට පැමිණ ඇත.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ආර්. ගුරුසිංහ යන විනිසුරුවරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය වීමක් සිදු නොවන හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවය.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් පනවන ලද දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරිණ.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් සම්බන්ධයෙන් සාපරාදී ලෙස වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් 2014 වසරේ සැප්තැම්බර් මස 26 වනදා බරපතළ වැඩ සහිත වසර 20 බැගින් සිරදඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණි.

මහාධිකරණ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය මගහැර පළාගොස් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය පැවැත්වුණි.

විමල්ගේ නඩුව දිගටම !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද (13) ප්‍රතික්‍ෂේප කර සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට මෙම නඩුවේදී චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව අදාල නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.

ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවත්ය.

Page 101 of 440