පුවත්
CIDය සමන්ගේ කාර්යාලය පරීක්ෂා කරයි
අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය පරීක්ෂාවට ලක්කර තිබේ.
අද පෙරවරු 10 සිට පැය පහක පමණ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ කාර්යාලය සෝදිසි කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.
මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීෙම් සිද්ධිය සම්බන්ධෙයන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඊයේ පස්වරු 6ට පමණ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නම් මිලදීගැනීමේ නඩුවේ 6 වැනි සැකකරු ලෙස නම්කරන බවය.
" ස්වාමිනි මෙම එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරු. නමුත් එම ක්‍රියාවලියේදී භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මොහු අනුගමනය කර නැහැ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගන්න පුළුවන් ඉන්දීය ආනයනකරුවකුගෙන් පමණයි. එවැනි තත්ත්වයකදී දේශිය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර මොහු ටෙන්ඩර් මිල ගණන් කැඳවලා අවසන් කරලා තිබෙනවා. මොහු කැබිනට් අනුමැතියක් නොමැතිවම ප්‍රශ්නගත සැපයුම්කරුට වෛද්‍ය සැපයුම් ඒකකයේ ගිණුමෙන් ගෙවීම් පවා සිදුකර තිබෙනවා. "
මෙහිදී ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සැපයු සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අතර පැවති සම්බන්ධතාවය ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.
" ස්වාමිනි, සැපයුම්කරුට මුදල් ගෙවීම ප්‍රමාද වූ විට කඩිනමින් මුදල් ගෙවන ලෙසත්, සැපයීම ප්‍රමාද වූ එන්නත් මාත්‍රා සඳහා දඩමුදල් අය නොකරන ලෙස සහ එම සැපයුම්කරුටම මධ්‍යම ලේ බැංකුවෙන් රුධිර පට්ටිකා ලබාගැනීමට අවසරදෙමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලිපි නිකුත් කර තිබීම ගැටලු සහගතයි." එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගතවෙලා සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් සිව්දෙනාගේ සාපරාධි වරද අනුමත කර ඇත්තේ මොහු විසින්. ස්වාමිනි පුද්ගලයන්ට බොරු කරන්න පුළුවන්. නමුත් ලේඛනවලට බොරු කරන්න බැහැ. මේ සැකකරුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වෙලා ඔහු විසින්ම සකසන ලද සටහන් සහ ලිපි. ස්වාමිනී, මා ඉල්ලා සිටිනවා මොහු පොදුදේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකරන්න කියලා "
මෙහිදි මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්න කර සිටියේ පරිපාලන නිලධාරියෙකු වන මෙම සැකකරුට ඉහළින් අමාත්‍යවරයෙකු සිටියදී, ඔහුට මෙලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කළ හැකි ද යන්නය.
ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නේය.
" ස්වාමිනී දැනට සිදුකරන ලද විමර්ශනවලදී පෙනී ගොස් තිබෙන්නේ මෙම සැකකරු ඔහුට අවශ්‍ය පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කළා කියලා. නමුත් ඒක කළේ කාගේ වුවමනාවට ද යන්න පිළිබඳව අපි විමර්ශන කරනවා."
අනතුරුව සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙලෙස ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.
"ස්වාමිනි, මේ ප්‍රශ්නගත හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන සමයේදි බෙහෙත්ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොහු සීමාවෙන් එහා යම් කටයුත්තක් කළානම් ඒක කරලා තියෙන්නේ ජනතාවට ඖෂධ සපයා දෙන්න. අනික මේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුමැතිය දීලා තියෙන්නේ කැබිනට් මණ්ඩලය. ස්වාමිනි හියුමන් ඉමියුනොග්ලොබියුලින්වල වතුර තිබුණත් ඒක මගේ සේවාදායකයාගේ වරද නොවෙයි. මොකද මොහුගෙන් පහළ එක් එක් රාජකාරිවලට අදාළව වෙනම නිලධාරින් ඉන්නවා."
කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණය හමුවේ මෙලෙස අදහස් පල කළේය.
"මෙම නඩුවේ 2 සිට 05 දක්වා සැකකරුවන් සිය රාජකාරිය කාර්යාල සහයෙකුගේ රාජකාරිය තරමටවත් තැකීමක් කරලා නැහැ. අද ඉදිරිපත් කළ මෙම සැකකරුත් සම්බන්ධ පුර්ණ සැලසුම් සහගත ක්‍රියාවලියකින් තමයි පළමු සැකකරුට ගෙවූ ලක්ෂ 1400ක රජයේ මුදල අවභාවිතා වී තිබෙන්නේ. එබැවින් මෙම සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කරනවා"
එමෙන්ම මෙහිදී පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා තබන ලෙසටත්, අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එය සෝදිසි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසන ලෙසටත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.
derana
ඉන්දීය රියැලිටිය ජයගත් කිල්මීෂා දැරියට ජනපති සුබ පතයි !
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඇය වෙත සුබපැතුම් පණිවිඩයක් ද යොමු කර තිබෙන අතර, එසේම දැරිය දුරකථනය ඔස්සේ ද සම්බන්ධ කර ගනිමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත කටයුතු ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිල්මීෂා උදයශීලන් දියණිය වෙත යොමු කළ සුබපැතුම් පණිවිඩය පහත දැක්වෙයි .
ජනවාරියේ විදුලි බිලට සහනයක් !
ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙසේද පැවසීය.
යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් අපට මේ වන විට ලැබෙමින් පවතිනවා. එම පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක් දක්වන වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයින්, විදුලි පාරිභෝගිකයන් හෝ ඕනෑම පාර්ශවයකට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
එම යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වනදා දක්වා ලිඛිතව අප වෙත ඉදිරිපත් කළ හැකියි. යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණවලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කළ හැකි වනවා. ඒ අනුව සියලූ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වන යෝජනා ද සැළකිල්ලට ගනිමින් සකස් කෙරෙන පනත් කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වනවා. දැනට උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය උත්පාදනය සිදු කෙරෙනවා. මින් පෙර ඔක්තෝම්බර් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළේ ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගනිමිනුයි. කෙසේ වෙතත්, දැන් කාලගුණික තත්ත්වය වෙනස් වී තිබෙනවා. පසුගිය මාස දෙක තුළ වර්ෂාපතනය ලැබුණු බැවින් සහ වර්ෂාපතනය තවත් සති දෙකක කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් විදුලි ගාස්තු සංශෝධනය කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අප වෙත දන්වා තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මාසයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර සළකා බලා ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන මීළඟ ගාස්තු සංශෝධනයේදී යම් සහනයක් ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
එමෙන්ම ජනවාරියේ සිදුවන විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් ඇති වන්නේ නැහැ. විදුලි ජනනය සඳහා භාවිතා කෙරෙන නැප්තා සහ ගල්අඟුරු බද්දෙන් නිදහස් නිසා විදුලි බල ක්ෂේත්රයට වැට් බද්ද අදාල නොවන බව පැවසිය යුතුයි.
නමුත් වැට් බද්ද ඉන්ධන සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇති කරනවා. නමුත් එම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි වෙනත් විකල්ප සම්බන්ධයෙන් අප මේ වන විට සකච්ඡා කරමින් සිටිනවා. එහි ප්‍රථිපලයත් සමඟින් ජනවාරි මාසයේ දී ඉන්ධන මිල සංශෝධනය කිරීමට ද නියමිතයි. එහිදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විටත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතිනවා.
එමෙන්ම පසුගිය නොවැම්බර් මාසයේ සහ එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ජනනය සඳහා වැය වන දැවි තෙල් ප්‍රමාණය අඩුවීම නිසා දැවිතෙල් මෙන්ම නැප්තා යන ඉන්ධන වර්ග විශාල වශයෙන් ඉතිරි වී තිබෙනවා.
පිරිපහදුවෙන් ලැබුණු නිෂ්පාදනවලින් ලංකා තොග ගබඩා පර්යන්තයේ ටැංකි පද්ධතිය උපරිම ධාරිතාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව මෙරට පවතින අතිරික්ත දැවිතෙල් සහ නැප්තා අපනයනය කිරීමට ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී අනුමැතිය ලැබුණා.
ඒ වගේම ඇතැමුන් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කරමින් විවිධ චෝදනා නගනවා.
නමුත් ඉන්දියානු සූර්ය බලාගාර හා මෙරට සූර්ය බලාගාර සංසන්දනය කළ නොහැකියි. ඉන්දියාව ඔවුන්ගේම සුර්ය පැනල නිෂ්පාදනය කරන රටක්. අපේ රට සූර්ය පැනල නිෂ්පාදනය කරන්නේ නැහැ. අප සියළු දේ ආනයනය කළ යුතුයි. නිෂ්පාදන පිරිවැයේ දී අප රටවල් දෙක අතර විශාල පරතරයක් පවතිනවා. එමෙන්ම සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනයේදී ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධති සඳහා ද එම තත්ත්වය එකසේ බලපානවා.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා සදහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබාදුන්නේය.
දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ තිබෙන බවද සදහන් කළේය.
මීට අමතරව ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.
ඩෙංගු මර්දන මෙහෙයුම පුළුල් කිරීමට සාගලගෙන් තවදුරටත් උපදෙස්
කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය ලබා ගන්නා ලෙස පැවසූ ඔහු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධනය සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත වගකීම් පවරන ලෙසද සඳහන් කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද විවිධ දැනුවත් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඩෙංගු ව්‍යාප්තිය සැළකිය යුතු තත්ත්වයකින් පාලනය වී ඇති බවත් එම වැඩසටහන් ඉදිරි සතිවලද තවදුරටත් ක්‍රියාත්මක කිරීම තුලින් තවදුරටත් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සහභාගී වූ අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩි වී තිබූ බව ඔවුහු සඳහන් කළහ.
මහනුවර මහ නගර සභා සීමාව හා මාතලේ මහ නගර සභා සීමාවන් තුළ තවදුරටත් සැළකිය යුතු මට්ටමින් රෝගීන් වාර්තා වන බව සඳහන් කළ මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහාය ඇතිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇති බව සඳහන් කළේය.
මධ්‍යම පළාතේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා ප්‍රධාන ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පළාතේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි පිහිටුවා ගන්නා ලද කමිටුවක් මගින් සියළු අධීක්ෂණ කටයුතු සිදුවන බවත් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් ව්‍යාප්තිය පාලනය සඳහා කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් සියළුම පාසල් දැනුවත් කර දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් පාසැල් පරිශ්‍රයන් පිරිසිදු කර ඡායාරූප සමඟ වාර්තා කරන ලෙස අදාල අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දුන් සාගල රත්නායක 2024 ජනවාරි මස මුල් සතියේදී මෙම වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කළේය.
ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ජනපති රනිල් තම අපේක්ෂකත්වය කැබිනට් මණ්ඩලයට දන්වයි : ධම්මිකට ඇඩ්රස් නැති වෙයි !
තමන් 2024 මැතිවරණ වසරට යෝජිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ(18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළැඹෙන ජනවාරි මාසයේ සිට ඒ වෙනුවෙන් වූ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත .
තවද මේ සඳහා සියලු අමාත්‍යවරුන්ගේ සහය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා ඇති බවත් දැනගන්නට ඇත .
මේ අතර පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති බවට පළවී ඇති සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා අසත්‍ය බවය.
පොදුජන පෙරමුණ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි තීරණාත්මක තීන්දුවක් ගන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් බවත් එම ආරංචි මාර්ග පවසයි . එසේම තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය සෙනසුරාදා ට පසුව රැස්ව නොමැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියි.
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා ISTRM උතුරු පළාත් මහජන අදහස් විමසයි !
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.
ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන, ආගමික නායකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්, බිම් මට්ටමේ ප්‍රජාවන්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් සමඟ දෙසැම්බර් මස 10 සිට 12 දක්වා රැස්වීම් පවත්වමින් මෙම අදහස් විමසීමේ කටයුතු සිදු කරන ලදී.
තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී ඇති ප්‍රජා අභියෝග සහ ප්‍රධාන ගැටළු පිළිබඳව පුළුල් ලෙස අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණු අතර අනතුරුව අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් යාපනය නාග විහාරයේ පූජ්‍ය ධම්මික හිමි, නල්ලෙයි ආදීන කුරුක්කල්, යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් බී. ඥානප්‍රගාසම් රදගුරුතුමන් ප්රමුඛ ආගමික නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
රටේ ජනවාර්ගික සහජීවනයේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන් විසින් මහජනතාවගේ අපේක්ෂාවන්, අදහස් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදය ද පිරිනැමිණි.
මේ අතර සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ විසින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ ආගමික නායකයින් ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කළ අතර, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට නියමිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් දැක්විය.
අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අංශයේ සහ නීති අංශයේ විධායක අෂ්විනි හපන්ගම, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා හා ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් !
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කළේය.
එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඩිජිටල් ආර්ථිකය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙසේද පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වන තෙක් ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය වැනි වචන මෙරට භාවිතයට යෙදුණේ ඉතා අඩුවෙන්. ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවණ නිසා ආර්ථිකය ගොඩ නැංවීමට ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය පහසුවෙන් යොදා ගත හැකි බව පෙන්වා දුන්නා. ලෝකයේ රටවල මෙම ක්‍රමවේද භාවිතා කරමින් ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටද දියුණුවන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මෙතෙක් මෙරට ආර්ථිකයට සියයට 03ක් වශයෙන් ඩිජිටල් ආර්ථිකය දැක්වූ දායකත්වය සියයට 20 දක්වා වැඩිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ වගේම නව නිපැයුම් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි පරිසරය නිර්මාණය වනවා. ඒ තුළින් ආර්ථික දියුණුවට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනටමත් පෞද්ගලික අංශය වේගයෙන් ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබෙනවා. ඒ හා තරගකාරී සේවාවන් සැපයීමට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ඩිජිටල්කරණය මඟින් හැකියාව තිබෙනවා. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා ශක්තිමිත් ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි.
වැඩබලන පොලිස්පතිගෙන් පාසල් දරුවන්ට ප්‍රතිඥාවක් !
පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර සිටියි .
ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ වේලුවන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.
එහිදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙසේද සඳහන් කළේය.
"හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරනකොට තියන්න ඉඩ තියන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අහිතකර දේවල් සියල්ල ඉවත් කරනවා".
විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට !
විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීම ඊයේ (17) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා ආයතනය සමඟ සාකච්ඡා කරන බවයි.
ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.
මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාල සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සහ නගර සැලසුම් ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කරන ලදී.
ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල යටිතල පහසුකම්, පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විසල් මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කෙරිණි.
මෙම සංවර්ධන සැලැස්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු වෙත ඉදිරිපත් කර තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ අවසන් කෙටුම්පත ඊයේ මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු විය.
සංවර්ධන සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් වු අතර මහනුවර පුරවරයේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතික උරුමය සුරකිමින් මෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට නියමිත විශ්වවිද්‍යාල අතරින් කිහිපයක් ද මහනුවර පුරවරයට ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවටද මහනුවර පත්වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මධ්‍යම පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්යක්ෂ නිශාමණී අබේරත්න යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, අදාළ රේඛීය ආයතනවල සභාපතිවරු ඇතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව අකුරණ නගර සංවර්ධනට අදාළ සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර අකුරණ නගර සංවර්ධනයට අදාළ සම්පුර්ණ වාර්තාවක් සති 06ක් තුළ ලබා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාලව, ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව කියන සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ශාන්ත බණ්ඩාරට
රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර තිබේ.
මොරටු සරසවියේ කුලපති ධුරය මහාචාර්ය මොන්ටි කාසිම්ට
මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය මොන්ටි කාසිම් පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම කර තිබේ.
ඔහු, මෙරට අධ්‍යාපනය උසස් තලයකට ගෙනඒම සඳහා විශාල දායකත්වයක් දැක්වූ විද්වතෙකි.
ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජපානයේ උසස් අධ්‍යාපනයට දුන් දායකත්වය අගයමින් මහාචාර්ය මොන්ටි කාසිම් වරක් ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයකින්ද පිදුම් ලැබුවේ ය.
මහාචාර්ය මොන්ටේ කසිම් නව සොයාගැනීම් රැසක් ලොවට දායද කළ කීර් තිමත් විද්යාඥයකි. මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ විද්‍යා හා තාක්ෂණ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.
කැමිලස් (ගජමෑන්) දිවියෙන් සමුගනී
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 84 වියේ පසුවිය.
කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්විය. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.
ඔහියේ අනවසර ඉදිකිරීම් ගැන ජනපතිගෙන් උපදෙස්
බොරලන්ද – හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ නොදෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඊයේ (16) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව නිරීක්ෂණය වූ බවයි.
එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට දැනුම් දෙන්නැයි ද, ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විමසූ ජනාධිපතිවරයා, ඉදිරියේදි ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව පූර්ණ විස්තරයක් ලබාදෙන ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වේ.
මිය යන විට ඔහු 77 වැනි වියේ පසුවිය.
තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළේය.
අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවීට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට”.පතිරාජයන් ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායක වී තිබේ.
එය ලයනල් වික්‍රමයන් ගේද ටෙලිනාට්‍ය කලාවට මුලින්ම සම්ප්‍රාප්ත වීමයි .
පළමු වතාවට හාමු චරිතයක් ලෙස ලාංකේය ටෙලිනාට්‍යය වංශ කතාවේ අති විශිෂ්ට නිර්මාණයක් වන “ඇල්ල ළඟ වලව්ව”(1988විකාශනය) ටෙලිනාට්‍යයේ ආතර් හාමු චරිතය වික්‍රමයන් පණ දුන්නේය.
එය ධර්මසේන පතිරාජයන් ගේ නිර්මාණයකි.
“බට්ටි “ටෙලි නාට්‍යයෙ පවුලක ප්‍රධානියා ලෙස සැර පරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය “ආටි හාමු “ලෙස නිරූපණය කළේය.
පොලිස් ඇමති ටිරාන් අවසන් සටන නිවේදනය කරයි : කුඩ්ඩන් පාතාලයන්ට සොරි !
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු පාතාල සාමාජිකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට අදාළ අවසන් නිවේදනය නිකුත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (16) කටයුතු කළේය .
එහිදී කුඩු ජාවාරම්කරුවන් කිසි කෙනෙකු ඉතුරු නොකරන ලෙස තමන් නියෝග කර ඇති බව කී අමාත්‍යවරයා පාතාල සාමාජිකයන්ටද අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ මෙහෙයුම් පටන් ගන්නා බවයි.
“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම ඒකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ, මේ රටේ කුඩුයි පාතාලෙයි. අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ.”
අසීරු අවස්ථාවලදී නායකත්වය ගැනීමට නොබියව ඉදිරිපත් වෙන්න - ජනාධිපති
මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (16) පෙරවරුවේ එක්වෙමිනි.
දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.
ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.
කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වු අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
වර්ෂ 1972 ඔක්තෝබර් 14 වන දින එකළ යුද්ධ පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් දැරූ මෙම විද්‍යා පීඨය වෙත, සිදු කරනු ලබන අනගිභවනීය සහ ප්රශංසාත්මක සේවය උදෙසා ප්‍රථම වරට ජනාධිපති වර්ණ පිළිගැන්වීම එවකට ජනාධිපතිව සිටි විලියම් ගොපල්ලව මහතා විසින් සිදු කරන ලදී. එසේම 1997 ජූනි මස 20 වන දින එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එම ජනාධිපති වර්ණයන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත ප්රතිප්රදානය හා නව විද්‍යාපීඨ වර්ණ ප්රදානය කිරීම සිදු කරන ලදී. ඉන් වසර 25කට පසුව වර්ණයන් දෙවන වරට ප්රතිප්රදානය හෙවත් පුනර් ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද දින සිදු කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරී නිලධාරිනියන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් ඉතිහාසයකට උරුම්කම් කියන දක්ෂ හමුදාවක් බවත් එහි අභිමානය රැක ගනිමින් කටයුතු කීරීම ඊට එක්වන සියලු දෙනාගේ වගකීම බවත්ය.
තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස මෙහිදී විසිරි යන නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් පැවසීය.
මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
දියතලාව යුද හමුදා විද්‍යා පීඨය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් ආයතනයක්. එවන් කීර්තිමත් ආයතනයකයි ඔබ පුහුණුව අවසන් කර තිබෙන්නේ. ඔබ සියලු දෙනාම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙනවා.
ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක්. 1948 සිට අප ස්වෛරි රටක් ලෙස කටයුතු කරනවා. එම ස්වෛරි රටේ පරමාධිපත්‍ය ජනතාවට හිමියි. ආණ්ඩු තෝරාපත් කරගන්නේ සර්ව ජන ඡන්දයෙන්. ඒවගේම මේ රට ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගනිමින්. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි.
ඒ වගේම රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවාගත යුතුයි. රටක ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන්නේ කුමක්ද කියා අප පසුගිය සමයේ අත්වින්දා. එවිට රටේ ස්වෛරීභාවය සීමා වෙනවා. රටේ ජනතාවට එක හා සමානව සැලකීමට නම් සමාජයීය දියුණුවක්ද තිබිය යුතුයි. ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් එහිදී ඉතා වැදගත් වෙනවා. මෙම රාමුව තුළ අප ක්‍රියා කළයුතුයි. මෙම රාමුව ආරක්ෂා කිරීමට එක් එක් කණ්ඩායම්වලට වගකීම් පැවරෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළට එම වගකීම විහිද යනවා.
රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හමුදාවට විශාල වගකීමක් පැවරෙනවා. ඊට කිසිවෙකුට අත තැබීමටවත්, සීමා කිරීමටවත් අපට ඉඩ දෙන්න බැහැ. ඒ සමගම ජනතා පරිමාධිපත්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. කිසිවෙකු එම අනන්‍යතාව බිඳ දැමීමට උත්සහ කරනවා නම් හෝ වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙනම කටයුතු කිරීමට උත්සාහ කරනවා නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වන හානියක්.
ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ආසියාවේ නවීන යුද්ධ හමුදා ආරම්භ කරන අවස්ථාවේ හතර වන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවට. 1881 ලංකා පාබල හමුදාව ආරම්භ කිරීමෙන් අප එම ස්ථානයට පත් වුණා. ඒ වගේම අපේ ආරක්ෂක හමුදාව ඉතිහාසයේ පැවති සෑම ප්‍රධාන යුද්ධයකටම සහභාගී වී තිබෙනවා.
මෙම අභිමානවත් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබ තේරී පත්වී සිටින්නේ නායකත්වය ලබාදීම සඳහා. තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව එම නායකත්වය ලබා දෙන්න. තමන්ගේ වගකීම් පැහැර හරින්න එපා. විශේෂයෙන් අසීරු අවස්ථාවලදී තමයි නායකත්වය ඉදිරියට ගත යුත්තේ. එම වගකීම මතක තබා ගෙන රට වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර මහලේකම් යන මහත්වරුන් ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 100 of 440