Ad

Ad 01

V2025

පුවත්

පාස්කු ප්‍රහාරය : සිරිසේනගෙන් පැය 5ක ප්‍රකාශයක් අරගෙන !

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය පහක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, ඒ පිළිබඳ අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ ගැන කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වනදා මහනුවරදී ප්‍රකාශ කර තිබිණ.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර ඒ අනුව ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් , පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබුණි.

අද පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3.40ට පමණ අපරාධ පරීක්ණෂ දෙපාර්තමේතුවෙන් පිටව ගොස් තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා දුන් ප්‍රකාශය පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය කර නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

කිසිදු මැතිවරණයක් කල් දමන්නේ නැහැ - විජේදාස

මැතිවරණ ක්‍රමය සංශෝධන හේතුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්‍යවරයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් මේ වනවිටත් සංශෝධන ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මෙරට පවතින නීතියට අනුව දූෂණයක් යනුවෙන් සැළකෙන්නේ කාන්තාවකට සිදුවන අතවරයක් පමණයි. නමුත් නව සංශෝධන හරහා ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව වින්දිතයෙක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ස්වාමිපුරුෂයෙක් විසින් නීතියෙන් වෙන් වී සිටින බිරිඳකට සිදුකරන ලිංගික හිංසනය දූෂණයක් ලෙස ගැනෙනවා. පොලිස් භාරයේ, බන්ධනාගාරයේ හෝ වෙනත් අයකුගේ භාරයේ සිටින විට සිදුවන බලහත්කාරකම්වලට ලබා දෙන දඬුවම වැඩි කිරීමටත් මෙමඟින් යෝජනා කර තිබෙනවා.

ඒ වගේම බාලවයස්කරුවෙක් කැමැත්තෙන් හෝ දූෂණ වරදක් සිදු කළහොත් වසර දහයක සිර දඬුවම් ලබාදීමට නීති සංශෝධනය කර තිබෙනවා. මෙම සියලු නීති සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසක් එක්ව වසර හතරක පමණ කාලයක් තුළ සිදුකළ අධ්‍යයනයකින් පසුවයි. විවිධ සමාජ ක්‍රියාකාරිකයන් මේ පිළිබඳ විරෝධතා දක්වමින් සිටිනවා. සමහර පාර්ශ්ව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා.

ඊට අමතරව මැතිවරණ සංශෝධන පනතක් ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 1994 දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති අපේක්ෂිකාවක්ව පැමිණ මැතිවරණ පොරොන්දු තුනක් ලබා දුන්නා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික ඡන්ද ක්‍රමය අවලංගු කිරීමයි. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරුන් පත්කිරීමද එහිදී යෝජනා කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය කළත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ සංශෝධන සිදු වුණේ නැහැ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල අවම කළා. ඒ වනතුරු ජනාධිපතිවරයා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළත් නඩුවක් පැවරීමට නොහැකි මුක්තියක් ලබා සිටියා. නමුත් 19 වන සංශෝධනය මගින් එම තත්ත්වය වෙනස් කළා. මේ වන විට ජනාධිපතිවරුන් හතර දෙනකුට විරුද්ධව අධිකරණය තීන්දු ලබාදී තිබෙනවා.

ඒ වගේම දූෂණයට වැට බැඳීම සම්බන්ධයෙන් නීති බලතල සහිත කොමිසමක් ද පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා වත්කම් බැරකම් නිරීක්ෂණය කිරිමට මෙම කොමිෂන් සභාවට බලතල තිබෙනවා. එම කොමිෂන් සභාවට අදාළවත් යම් සංශෝධන කිහිපයක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. දූෂණ ආක්‍රමිකතා කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරදීම එහි අරමුණයි. 1994 සිට සෑම නායකයකුම ජනාධිපතිවරණයකදී මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. නමුත් ඒ කිසිම නායකයෙක් එම පොරොන්දු ඉටුකර නැහැ. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ දූෂණයට වැට බැඳීම සහ සමානුපාතික මැතිවරණය ක්‍රමය හඳුන්වා දීමට මෙවර සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව, එංගලන්තය, සහ ඇමෙරිකාව වැනි රටවල මැතිවරණ ක්‍රමවල අඩු ජනකොටස් නියෝජනය වන පරිදි කොට්ඨාස ක්‍රමයත් හඳුන්වා දී තිබෙනවා. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි සෙනෙට් ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව මගේද අදහසයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී දක්ෂයින්ට වඩා ජනප්‍රිය පුද්ගලයින් පාර්ලිමේන්තුවට පිවිසීම වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් සෙනෙට් ක්‍රමයේදී ජනප්‍රිය නොවන දක්ෂ පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරීම සිදුකළ හැකියි.

මේ වනවිට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන හරහා මැතිවරණ කල් දැමීමේ අදහසක් තිබෙනවා යැයි සමාජයේ යම් කතාබහක් මතුව තිබෙනවා. නමුත් මෙම සංශෝධන කිසිවක් මඟින් මැතිවරණ කල් දැමීමකට කිසිසේත්ම අපේක්ෂා නොකරන බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණ දෙකක් පැවැත්වෙනවා. එහිදී ඉදිරිපත් වන ඕනෑම අපේක්ෂකයකුට මෙම මැතිවරණ සංශෝධනය ගැන ද ඔවුන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. එමඟින් ජනතාවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ද හැකියාව ලැබෙනවා.

රජයේ සේවකයන්ට වැඩිකළ සම්පූර්ණ වැටුප අප්‍රේල් සිට......

රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප එළඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ,

"රජයේ සේවකයින්ට වැටුප් රුපියල් 10,000 කින් වැඩිකළා. අපි 5,000 ගෙවාගෙන ආවා. දැන් 10,000ම අප්‍රේල් වැටුපට එකතුකරලා දෙනවා. මේක අපි අප්‍රේල් මාසයේ 10 වනදාට පෙර වැටුප සහ විශ්‍රාම වැටුප ලබාදීමට සූදානම්."

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි - ජනපති

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ම පාසල් සිසුන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් උපදෙස් ලබා දී ඇත.

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පවරා ඇත.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ  විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේ ද පැවසිය,

අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම අවස්ථාව රජයේ එක් අපේකෂාවක් ඉටුවන අවස්ථාවක් ලෙස මම දකිනවා. අධ්‍යාපනය සම්පූර්ණ විමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල AI සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික AI මධ්‍යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්‍යාපනය තිබෙන සියලු පාසල්වලට කෘත්‍රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප එවැඩසටහන් සැලසුම් කර තිබෙනවා.

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි - ජනපති

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත්, රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා

රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී තරුණ තරුණියන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මම භාරගත්තේ වැටුණු රටක්. රට භාරගැනීමට දේශපාලන නායකයෝ අකමැති වු රටක්. මම හිතුවා මම මේ රට භාරගත්තේ නැත්නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාරගත්තොත් තමන්ගේ දේශපාලනය නැතිවෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දි මම හිතුවේ එම මොහොතේ රට භාරගත්තේ නැත්නම් රට නැතිවෙයි කියලා.

මට තිබු එකම ප්‍රශ්නය වුණේ මම විතරක් තනිවම පාර්ලිමේන්තුවේ සිටීමයි. නමුත් වැටුණු රට ගොඩනැඟිමට හැකි බවට මට විශ්වාසයක් තිබුණා. ඊට පෙර දෙසැම්බර් මාසයේ දී පමණ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කර තිබුණා. ඒ වගේම ලෝක බැංකුව සමග සාකච්ඡා කර තිබුණා.

මම ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පැවසුවා. ඒ වගේම පසුගිය මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා රටට මුදල් නැහැ, ඒ නිසා ඩොලර් මිලියන 3000ක්වත් සොයාගත යුතු බව. එහිදී අපට ජනතාව ඡන්දය ලබා දුන්නේ නැහැ. නමුත් එම ප්‍රකාශය 2021 දී සත්‍යයක් බවට පත් වුණා.

එවැනි තත්ත්වයකයි මම රට භාරගත්තේ. මම රට භාර නොගත්තානම් කුමක්ද සිදු වන්නේ. මම මේ රටේ වගකීම භාර නොගත්තා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය ලබාදුන් රටවල් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවලින් පසු අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා නැවත එම රටවල සහාය හිමි වෙනවා. නමුත් සියලු ප්‍රශ්නවලට එමගින් විසදුම් ලැබෙන්නේ නැහැ. අප තවමත් ආනයන පදනම් කරගත් ආර්ථිකයක්. සෑම වසරකම අපනයනවලට වඩා ආනයන වැඩියි. මෙම පරතරය පියවා ගැනීමට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. එවිට තවත් වසර 10ක් යන විට නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

අද ඔබ වයස අවුරුදු 27ක තරුණයෙක් නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මෙම ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම් ද කියා ප්‍රශ්න කිරීමට මම කැමතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවෙක් සිටිද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලුදෙනාගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළයුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළයුතුයි. රජයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසුව අපට සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි.

ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහල නංවා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි.

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරිමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළගාවිය හැකියි. එහිදි නව වගාවන් හදුන්වාදීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනිම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා.

සූර්ය බලය හා සුළං බලය අපේ රටේ විශාල වශයෙන් තිබෙනවා. ඒ අනුව සුළං සහ තාප බලයෙන් බලශක්ති උත්පාදනයට යොමු වීමෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක් ලබාගත හැකි අතර එහි අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කළ හැකියි. ඒ වගේම ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ඇති කිරිමට අක්කර දහසක් වෙන් කර තිබෙනවා. එසේම මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරිමට සැලසුම් කර තිබෙනවා.

බිංගිරියේ සහ උතුරේ නව ආයෝජන කළාප ඇති කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් වෙන් කර තිබෙනවා. ඊළග වසර 05 තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි.

මම මේ සියල්ල සිදු කරන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි.

තවද, මෙම හිගුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතු කර තිබෙන අතර, හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබා දිමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා.

ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා තරුණ පරපුර තීරණය කළයුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ.ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරීව කටයුතු කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පසම් සහ ලතෝනි ලෝක උරුමයක් බවට

පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත්කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක  පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පසුගියදා (22) පැවති උත්සවයකට එක්වෙමිනි.

එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු සිදුකෙරිණි.

පසම් සහ ලතෝනි ගායනා කිරීම සඳහා කලමුල්ල, කටුකුරුන්ද , මග්ගොන, මුංහේන, මහා පායාගල, කුඩා පයාගල, දියලගොඩ, වාද්දුව, හා ගාල්ල නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගීවිණි.

අති උතුම් දේවධර්මාචාර්ය ජූඩ් නිශාන්ත රදගුරු හිමිපාණන් සහ කතෝලික පුජකවරු, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චතුරි පින්තු, දෙපාර්තමේන්තු නිලධාරීන් , පසම් සංරක්ෂණ කමිටු සාමාජිකයන් , ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ

ලොකු ලූනු අපනයන තහනම තව දුරටත් දීර්ඝ කරයි

ලොකු ලූනු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
ඉන්දියාව ලෝකයේ වැඩිම ලොකු ලූනු අපනයනය කරන රට ය.

ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ද ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වෙයි.

ගැබ්ගෙල පිළිකා දුරලීමේ එන්නත්වල හිඟයක්

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගෙන් විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවයි.

කෙසේ වෙතත් ලබන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි.

පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට

මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනෙකු අතුරින් 30 – 40ත් අතර ප්‍රමාණයක් රට හැර යාම සිදුවන බවත්, එය අඛණ්ඩව සිදුවීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදිකරන ලද පේදුරු තුඩුව මූලික රෝහලේ “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (22) පස්වරුවේ එක් වෙමිනි.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දුන් බවත්, එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබා දී තිබෙන බවත් “ලයිසියම් කැම්පස්” ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම කෘත්‍රීම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යාම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

යාපනය සහ පේදුරු තුඩුව ජනතාව වෙනුවෙන් මෙම වෛද්‍ය පහසුකම් සලසාදීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය (x-ray, ultrasound scanner සහ CT ස්කෑනරය), දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, ශල්‍ය වාට්ටුව, මාතෘ වාට්ටුව, වඳ සත්කාර ඒකකය, ඩයලිසිස් ඒකකය, රසායනාගාරය ඇතුළු පේදුරු තුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ රුපියල් බිලියන 04ක් ලබා දී තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර “හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය” විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හොබැක් (Bonnie Horbach) මහත්මියට සහ VAMED ආයතනයේ කළමණාකරන අධ්‍යක්ෂ Paul de Bruin මහතාට සමරු සිහිවටන පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

මෙම උත්සව සභාව ඇමතූ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ සඳහන් කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ මෙම සංවර්ධන කටයුතු උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගතියේ සුවිශේෂි සන්ධිස්ථානයක් බවයි.

DRIVE ව්‍යාපෘතිය යටතේ ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ණය ආධාර, සහය සහ උපකාර ලබාදුන් නෙදර්ලන්ත රජයටත්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයටත් ස්තූතිවන්ත වන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පේදුරුතුඩුව මූලික රෝහල වෙත ලැබී ඇති මෙම නවීන සෞඛ්‍ය සේවා පහසුකම් රටේ සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් කාර්ක්ෂමව හා ඵලදායීව ප්‍රයෝජනයට ගත යුතු බව මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.

එස්. එම්. චාල්ස් සඳහන් කළාය. එසේම මෙම රෝහල ජනතා යහපත වෙනුවෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි සෑම ආකාරයකින්ම එක්ව කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය උතුරු පළාත් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටියාය.

නෙදර්ලන්ත තානාපතිනි බොනී හොබැක් (Bonnie Horbach) මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සියලුම ශ්‍රී ලාංකීක ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සංහිඳියාවේ කොටසක් බවත්, එය සෞඛ්‍යය සහ ආරක්ෂාව වැනි මූලික අයිතිවාසිකම් වලින් ආරම්භ වන බවත්ය.

මීට වසර හයකට පමණ පෙර උතුරු පළාතේ රෝහල් හතරක් සංවර්ධනය කිරීම වෙනුවෙන් VAMED ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට අත්සන් තැබු බව සිහිපත් කළ තානාපතිනිය මෙම රෝහල් හතර ගොඩනැංවීම සඳහා ඇස්තමේන්තුගත මුළු වටිනාකම යුරෝ මිලියන 16ක් බවත්, එම යුරෝ මිලියන 16න් 25%ක් එනම් යුරෝ මිලියන 4ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට තීරණය කළ බවත් සඳහන් කළාය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අළෙවිකරණ අවස්ථා පහසු කිරීම සඳහා වෙබ් යෙදුම් නිර්මාණය කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් උපදෙස් අනුව නිර්මාණය කර ඇති “ෆාම් ටු ගේට්” වෙබ් යෙදුම දියත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පළාලි ගුවන් හමුදා කඳවුරේදී සිදු විය.

මෙරට ගොවීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශාල වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී ඔවුන් වෙහෙස මහන්සි වී ලබාගන්නා ඵලදාව සඳහා හොඳම මිලක් සහ ප්‍රතිලාභ ලබා ගැනීමට “ෆාම් ටු ගේට්” වේදිකාවක් වනු ඇති අතර කුඩා ගොවීන්, ගෙවතු වගා කරුවන් සහ කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් අතරමැදියන්ගේ බලපෑම්වලින් තොරව සෘජුවම පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ කරමින් සවිබල ගැන්වීම මෙමඟින් සිදු කෙරේ.

මෛත්‍රීව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කාවින්ද CID යයි

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

"මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ."

රනිල් : එකම සහ අවසාන විසඳුම !

ඔබ යම් හෙයකින් අධෛර්යමත් වී ඇත්නම්, වෙහෙසට පත්වීම හෝ වියපත් වීම හේතුවෙන් ඔබට වැඩ කිරීමට නොහැකියයි සිතෙන්නේ නම්, විරුද්ධවාදීන්ගේ නිර්දය විවේචන හමුවේ ඔබ කලබලයට කනස්සල්ලට පත් වේ නම්, සියල්ල අතහැර ගුහාගත වීමට සිතේ නම්, මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙස බලන්න. අද දින සිය 75 වැනි ජන්ම දිනය සමරන ඔහු, සිය දීර්ඝ දේශපාලන ජීවිතයේ කිසිදු දිනෙක අධෛර්යයට පත් වී නැත; කිසිදු අවස්ථාවක සිය දේශපාලන ක්‍රීඩාව අතහැර දමා නැත;

දහසකුත් එකක් නිර්දය විවේචන, අභූත චෝදනා හමුවේ කලබල වී නැත; ඒ කිසිදු විවේචනයකට, චෝදනාවකට පිළිතුරු දීමට ඉක්මන් වී නැත. අද, ඔහු කළ කී දේ නිවැරදි බව බොහෝ අයට පසක් වෙමින් තිබේ. ඔහුව දැඩිව විවේචනය කළ පිරිස්ම අද ඔහුගේ වැඩපිළිවෙළට සහයෝගය දෙමින් එහි ප්‍රගතියේ කොටස්කරුවන් වී ඇත. එහෙයින් තමා නිවැරදි බව ඔප්පු කිරීමට රනිල්ට වෙනත් සාධක අවැසි වන්නේ නැත.

ඔබ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි වන්නෙකු හෝ විරෝධය පළ කරන්නෙකු විය හැකිය. ඔබ ඔහුට අකැමති වන්නට ද පුළුවන. නමුත් මා සෑම විටම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවසන්නේ, ඔබ ඔහුට අකැමති වුවත් ඔහුගේ අත්‍යාලංකාර දේශපාලන ක්‍රීඩාව දෙස බලා ඵලදායි දේශපාලන විද්‍යා පාඩමක් ඉගෙන ගන්නා ලෙසයි. මන්ද, ඔහුගේ එම ක්‍රීඩාවේ සෑම විටම නවමු සැලසුම්, ක්‍රමවේද, විධික්‍රම සහ ක්‍රියාකාරකම් අඩංගු වීම හේතුවෙනි. තම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම පාර්ලිමේන්තු ආසනය භාවිතයට ගනිමින් ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නායකත්වයට පත් වීම යනු ශ්‍රී ලංකාවේ තබා කිසිදු විදේශ රාජ්‍යයකවත් කිසි ලෙසකින් පහසු ඉලක්කයක් නොවේ. එම ඉලක්කය සපුරා ගැනීම, රනිල්ගේ තියුණු බුද්ධි මහිමය, හසළ දැනුම, දීර්ඝ කාලීන දේශපාලන පළපුරුද්ද, ඉවසීම, විනය සහ නොපසුබට උත්සාහය යන සියල්ලේ ප්‍රතිඵලයකි. අන් අය සිතීමට පටන් ගන්නා විට ඔහු ක්‍රියාවෙන් ප්‍රතිඵලය ද පෙන්වා හමාරය. ඔහු සුහුරු දේශපාලනයේ රුසියෙකි.

ප්‍රායෝගික දේශපාලනයේ බොහෝ ගතිකයන් මනාව ප්‍රගුණ කර ඇති රනිල් සිතන්නේ අන් දේශපාලකයන්ට වඩා අතිශයින් වෙනස් මානයන්ගෙනි. ඔහුගේ විශේෂත්වය එයයි. ඔහුගේ විරුද්ධවාදීන්ට පවා ඔහු නැතිව බැරිවන්නේ එබැවිනි. ඔහු නැතිව ඔවුනට දේශපාලන අනෙකෙකු සොයාගත නොහැකිය; ඔහු නැතිව ඔවුනට දේශපාලනයේ තනිව ඉදිරියට යා නොහැකිය. යථාර්ථය නිවැරදිව ග්‍රහණය කරගෙන සත්‍යය කෙරෙහි පමණක් විශ්වාසය තැබීම සහ සත්‍යය නොවළහා පැවසීම රනිල්ට කළ හැකි වුවත්, ඔහුගේ එම හැකියාව සහ පෞරුෂය ශ්‍රී ලංකාවේ අන් කිසිදු දේශපාලකයෙකුට නැත.

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික මර්මස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම, ආර්ථිකමය, සමාජමය සහ සංස්කෘතිකමය වශයෙන් වාසි සහගත ලෙස භාවිතයට ගන්නා ආකාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික සැලසුම්වල ප්‍රබල ස්ථානයක් ගනී. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) වර්තමාන සභාපතිත්වය දරමින්, ලෝකයේ ප්‍රබලතම සාගර කලාපය වන ඉන්දියානු සාගර කලාපයේ පාලනය සියතට ගැනීම ඔහුගේ අරමුණ වී ඇත. මේ හරහා ඉන්දියානු සාගර කලාපීය රටවල් සමඟ ගෙන යන සහ ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත වාණිජ සබඳතා තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරභාවයක් ළඟා කර ගත හැකි වනු ඇත.

බොහෝ විට රනිල්ට සහ පොදුවේ ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට එල්ල වන, ‘නව ලිබරල්වාදයට පක්ෂපාතී වීම’ පිළිබඳ විවේචනයට අභියෝග කිරීමට ඔහු සමත් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ ඉතා විධිමත් සහ නිවැරදි ආකාරයෙන් ගනුදෙනු කරන අතරතුර, ජනතාවට සුබසාධනය සැලසීමටත්, ඔවුන් ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමටත්, ඔවුන්ට ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීමටත්, දරුවන්ට නිසි පෝෂණය, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය ලබා දීමටත් අදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මඟින් නව ලිබරල්වාදයට පක්ෂපාතී වීම පිළිබඳ විවේචනය ඔහු විසින් බල රහිත කර තිබේ.
දේශගුණික විපර්යාස හමුවේ ඒ පිළිබඳ හැදෑරීම සහ පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිපත්ති ගෙන ඒම, පුනර්ජනනීය බලශක්ති මූලයන් ප්‍රවර්ධනය කරමින් සුළං බලය සහ සූර්ය බල ශක්තිය භාවිතයට ගැනීම, හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනය, කාබන් වෙළඳාම ආදී නව ප්‍රවේශයන් සුවිශේෂී වේ. සුහුරු කෘෂිකර්මය මඟින් ඉඩම්වල සහ අස්වැන්නේ ඵලදායීතාවය ඉහළ නැංවීම, අපනයන දිරිමත් කිරීම සහ සංචාරක ව්‍යාපාරය නිර්මාණශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ඉලක්ක මේ වන විට ප්‍රගතිය කරා ගමන් කරමින් තිබේ. කෘතිම බුද්ධිය පිළිබඳව පාසල් විෂයමාලාවලට ඇතුළත් කිරීම අධ්‍යාපනය නවීන ලෝකයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමේ එක් සාධනීය පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. කාන්තාවන් සවිබල ගන්වා සමාජයේ ඉහළ ස්ථානයකට යොමු කිරීම අරමුණු කර ගනිමින් නුදුරු අනාගතයේ ගෙන ඒමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට නව අවස්ථා උදා කරනු ඇත.

මහත් අර්බුද රාශියක් මධ්‍යයේ 2022 මැයි මස 12 වැනි දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ පිළිබඳව, “Ranil: Return of the Master” (“රනිල්: ස්වාමියාගේ පුනරාගමනය”) යන හිසින් යුතුව Groundviews වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක මෙසේ සඳහන් විය.

“මෙය මෙතෙක් මුහුණ නොදුන් වෙනස්ම අභියෝගයක් බැවින් රනිල් ඊට මුහුණ දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය දැන් පැන නැඟී ඇත. එරික් සෝල්හයිම් වරක් සඳහන් කළ පරිදි, රනිල් වික්‍රමසිංහ මහා බුද්ධිමතෙකු මිස වීදි සටන්කරුවෙකු නොවේ. සිංහල වීදි සටන්කාමී ජනතාව ඉදිරියේ ඔහුගේ බුද්ධිය අසාර්ථක වූ බව ඔප්පු වී ඇත. රනිල් කිසිදා ජනතාවාදී නායකයෙකු ලෙස නැඟී නොසිටි නමුත් ඔහු සෑම විටම චෙස් ක්‍රීඩාව සඳහා තමාගේම පිටියක් නිර්මාණය කර ගත්තේය. ඔහු දැන් පිති හරඹ කරන්නේ වීදි සටන් කළ රාජපක්ෂලා ඇද වැටුණු තණ තිල්ලකය.

අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූයේ ගැලවුම්කාරයන් නොමැතිව ජාතිය බේරා ගනු පිණිසයි. රනිල් මෙම අභියෝගය ජය ගතහොත් ඔහු ජනතාව අතර අමතක නොවන නායකයෙකු වනු ඇත. ඔහු අසමත් වුවහොත් හෝ අන් අය විසින් ඔහු අසමත් කරනු ලැබුවහොත් රට ආපසු හැරවිය නොහැකි අර්බුදයකට ඇද වැටෙනු ඇත. ඉතිහාසය විශිෂ්ට ගුරුවරයෙකු වන අතර බොහෝ විස්මයන් සඟවයි. 2005 දී රනිල් පැරදවීමට දෙමළ ජනතාව වගකිව යුතු වූ විට එය ඔවුන්ටම ව්‍යසනයක් විය. දැන් සිංහල ජනතාව රනිල්ව පැරදවුවහොත් එය අනිවාර්යයෙන්ම ඔවුන්ට ද ව්‍යසනයක් වනු ඇත.”

අනතුරුව අගමැති ධුරයෙන් නොනැවතී ජනාධිපති ධුරයට පත් වීමට රනිල් සමත් විය. එම සංසිද්ධිය, රට මහත් ව්‍යසනයකින් මුදවාගෙන ආරක්ෂිතව ඉදිරියට ගෙන යාමට පදනමක් දැමීය. දේශපාලන, ආර්ථික වශයෙන් පමණක් නොව සමාජ සහ සංස්කෘතික කඩා වැටීමකට ලක් වී, ජනතාවගේ බලාපොරොත්තු සුන්වී තිබූ රාජ්‍යයක් කෙටි කාලයක් තුළ නව බලාපොරොත්තු ඇති කරන, ප්‍රගතිය කරා ගමන් කරන, ලොව බොහෝ පිරිස් කතාබහ කරන, සංචාරය කරන, වර්ණනා කරන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ අසීරු අභියෝගය ඔහු ජයගෙන ඇත.

අරගලකරුවන් රටේ මර්මස්ථාන සියතට ගෙන රාජ්‍ය බලය අභියෝගයට ලක් කරමින් සිටි වාතාවරණයක, පාර්ලිමේන්තුව ගිනි තබා රටේ ව්‍යවස්ථාදායකය අඩපණ කිරීමට තැත් කළ දේශපාලන බලවේග මැඩ පවත්වමින් ඔහු රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පාලනය ස්ථාපිත කළේය. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුන් කොන් අරගලයක යෙදෙමින් සිය බලය පැතිරවීමට උත්සාහ කළ රාජ්‍යයක විදේශ සබඳතා ඔහු උපක්‍රමශීලීව සමබර කළේය. විදේශ සංචාරකයන් විසින් අතහැර දමන ලද රටක් කෙටි කාලයක් තුළ ඔහු සංචාරක පාරාදීසයක් බවට පත් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන සහ විදුලිය නොමැතිව අකර්මණ්‍ය වූ ජන ජීවිත සහ කර්මාන්ත ඔහු යථා තත්ත්වයට පත් කළේය.

තම පක්ෂයට එක් අසුනක් පමණක් ඇති පාර්ලිමේන්තුවක බහුතරයේ සහයෝගය ලබා ගනිමින්, විරුද්ධවාදීන්, වෘත්තීය සමිති, විරෝධතා, අරගල ආදී බොහෝ බාධක කළමනාකරණය කර ගනිමින්, බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයක සංහිඳියාව මනාව පවත්වා ගනිමින් ඉතා අසීරු ඉලක්කයක් කරා සුහුරු ලෙස ගමන් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු, ඇත්ත වශයෙන්ම සියලු දෙනාගේ මහත් ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයකි.

දේශපාලන පක්ෂ සහ මැතිවරණ පොරොන්දු පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇති යුගයක ජනතාව ශක්තිමත් කළ හැකි වන්නේ විශ්වසනීය ප්‍රායෝගික වැඩපිළිවෙළකට සහ එය නොපැකිළව ක්‍රියාවට නැංවිය හැකි නායකයකුට පමණි. එය සපුරාලිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව මාගේ විශ්වාසයයි. ඔහුගෙන් අපට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබේ; ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත සුහුරු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඔහුට තවත් බොහෝ දේ කිරීමට තිබේ. ඒ සඳහා ඔහු චිරාත් කාලයක් රාජ්‍ය නායකත්වයේ සිටිය යුතුයයි මම යෝජනා කරමි.
ගරු ජනාධිපතිතුමනි, නායකතුමනි, මම ඔබට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ
අධ්‍යයනාංශ ප්‍රධාන
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

කෝප් එකට විගණනයත් හරස් වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්විය යුත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවට ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන්වී ඇතත් කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන කරන බව විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කමිටුවේදී මන්ත්‍රීවරුන් වරින් වර නැගිට හෙළිදරව් කරන යම් යම් කරුණු පිළිබඳවද කෝප් කමිටුව විමර්ශන අරඹා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලයේදීද එවැනි විමර්ශන ගණනාවක්ම පැවැත්වුණු බව ඔවුහු චෝදනා කරති.

www.lankadeepa.lk

කෙහෙ­ළිය වෙනු­වෙන් පෙනී සිටින්නේ නෑ - නීති­ප­ති

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියා­ප­දිංචි නොකළ ඉන්දි­යාවේ සමා­ගම් දෙක­කින් ඖෂධ මිල දී ගැනී­මට තීර­ණය කිරී­මට එරෙ­හිව ගොනු කර ඇති පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­කාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු පිරි­සක් වෙනු­වෙන් තමා පෙනී නොසි­ටින බව නීති­ප­ති­ව­රයා ඊයේ (22) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ශ්‍රී ලංකා සංවි­ධා­නය ගොනු කළ මේ පෙත්සම කැඳවූ අව­ස්ථාවේ නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­ස්ටර් ජෙන­රාල් නිර්ම­ලන් විග්නේ­ශ්ව­රන්  මේ බව දන්වා සිටි­යේය.

ජයන්ත ජය­සූ­රිය, ගාමිණි අම­ර­සේ­කර, ඒ.එච්.එම්.ඩී. නවාස් යනගෙන්  සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මේ පෙත්සමෙ කැඳ­වන ලදි.

එහිදී අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා සඳ­හන් කළේ වග­උ­ත්ත­ර­කාර ඉන්දීය ඖෂධ සමා­ගම වෙනු­වෙන් පෙනී සිටින බවයි. කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය පෙත්සම ජූනි 14 දා කැඳ­වී­මට තීර­ණය කළේය.

සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා ඇතුළු කැබි­නට් මණ්ඩ­ලය, ජාතික ඖෂධ නියා­මන අධි­කා­රිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම, රේගු අධ්‍යක්ෂ ජන­රාල්, පොලි­ස්පති, සැවො­ර­යිට් ෆාම­සි­ටි­යු­කල් ප්‍රයි­වට් ලිමි­ටඩ්, කෞෂික් තෙර­පි­යු­ටිස් පෞද්ග­ලික සමා­ගම සහ නීති­ප­ති­ව­රයා ඇතුළු 47 දෙනකු පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියා­ප­දිංචි නොකළ ඉන්දි­යාවේ සමා­ගම් දෙක­කින් ඖෂධ මිල දී ගැනී­මට සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියා­ව­ලි­යේදී අනු­ග­ම­නය කළ යුතු ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යට පට­හැ­නිව යමින් මේ තීර­ණය ගෙන ඇති අතර, සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා සහ ජාතික ඖෂධ නියා­මන අධි­කා­රියේ ප්‍රධාන විධා­යක නිල­ධා­රියා මේ ප්‍රස­ම්පා­දන පටි­පා­ටිය අව­භා­වි­ත­යට ලක් කොට ඇති බව පෙත්ස­මෙහි දැක්වේ. ජන­තා­වගේ සෞඛ්‍යා­ර­ක්ෂිත සහ යහ­පැ­වැත්ම පිළි­බඳ තැකී­ම­කින් තොරව ගෙන ඇති මේ තීර­ණය මඟින් මහ­ජ­න­තා­වගේ මුදල් අව­භා­වි­ත­යට ලක් කරන බව­ටද පෙත්සම මඟින් චෝදනා කර ඇත.

මෙම­ඟින් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ12(1), 14(1)යන විධි­වි­ධාන මඟින් සහ­තික කර ඇති මහ­ජ­න­තා­වගේ මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන බවට තීන්දු­වක් දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. අදාළ ඖෂධ මෙර­ටට ආන­ය­නය කිරීම වැළැ­ක්වීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙස සහ මිල දී ගැනී­මට නිය­මිත ඖෂධ සඳහා ගෙවීම් සිදු කිරීම වැළැ­ක්වීමේ අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙසද පෙත්සම මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත.

නීතිඥ තුෂාරී ජය­ව­ර්ධනගේ උප­දෙස් මත නීතිඥ සේනානී දයා­රත්න  පෙත්සම් කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි­යේය.

‘පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා’ – හිටපු ජනපති

අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කරන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් හෙළි කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක් වූ ඒ මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා,

"මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. විපක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. 19 වන සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමා ඒ දේවල් දුන්නේ. නමුත් මම හිතුවේ නෑ බලය ගන්න අය වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒ නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලෝම එකතු වෙලා මට පහරදුන්නා. ඊළඟට පාස්කු ආවා. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා."

අස්ගිරි මහා විහාරයේ පැවැති මෙම අවස්ථාවට අස්ගිරි මහානායක අතිපූජ්‍යය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි, අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

හමුදාව යටතේ තිබු යාපනයේ අක්කර 234ක් නිදහස් කරයි

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක ප්‍රමාණයක් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට අයත් ඉඩම් ඒ අනුව නිදහස් කර ඇති බවය.

මේ අතර ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියවන විට ඒ මහතා 80 වැනි වියෙහි පසු විය.

සන්නිවේදනය විෂයට අදාළ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය ඇතුළත්ව ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54කි.

එම කෘති අතරින් ‘සමාජ මුහුණුවර’ 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ’ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඊට අමතරව 1995 වර්ෂයේදී පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට සැලකේ.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහා ද ඔහු ඉහළ දායකත්වයක් සපයා ඇත.

ඔහුගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා හෙට (මාර්තු 23) කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු ඉරිදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.

පොහොට්ටු වැඩවලට රිංගන්න එන්න එපා : ප්‍රසන්න උදයංගට හොඳවායින්ම අමතලා !

ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පසුගිය බදාදා තිබුනා. ඒ රැස්වීම කැඳවා තිබුණේ පොහොට්ටු ජාතික ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මේ රැස්වීමට ඇවිත් තිබුනා.

බොහෝ දේශපාලන පක්ෂ මේවනවිටත් සිය අපේක්ෂකයා නම්කර අවසන්. නමුත් පොහොට්ටුව තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා නම්කර නෑ .

ඒ නිසාම බැසිල් කැඳවූ මේ සාකච්ඡාවට ජනමාධ්‍යයේද ලොකු අවධානයක් යොමුවෙලා තිබුනා.

"සමහරුන්ට මුල මතක නෑ. අපිට එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. මේ ජනාධිපතිතුමා තමයි තත්ත්වය වෙනස් වෙයි කළේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ." බැසිල් කතාව පටන් අරන් තියන්නේ එහෙම.

"අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු ගන්නකොට සළකා බලන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපේක්ෂකයා තෝරාගන්නේ" බැසිල් අවදාරණය කරලා.

මේ සාකච්ඡාවට සහභාගී වෙලා හිටිය ඇමති ප්‍රසන්න රණතුංග එළියට එද්දී රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරු උදයංග වීරතුංග මුහුණට මුහුණ හමුවෙලා.

උදයංගයි - ඇමති ප්‍රසන්නයි අතරේ වැඩි ඇයි හොඳැයියක් නෑ . ඒ අවුල පටන් අරන් තිබුනේ ප්‍රසන්න සංචාරක ඇමතිකම දරන කලේ ඉඳලා. . ඒක ලොකු ඉතිහාස කතාවක්.

උදයංග , බොහෝ වෙලාවට ඇමති ප්‍රසන්නව ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කරන කෙනෙක්.. හැබැයි ප්‍රසන්න ඒවාට උත්තර දීල තිබුනෙම නැති තරන් ..

ඒත් උදයංග දැක්කම ප්‍රසන්නට මල පැනලා.

"මෙයා තමයි... මහින්ද මහත්තයාට කෙලවන්නේ. මයික් දැක්කම වාචාලකමට කියවනවා " කියමින් ඇමති ප්‍රසන්න රණතුංග උදයංගගේ කරටම ගොඩවෙලා.

වටපිටාවේ සිටි අනෙකුත් මැති ඇමතිවරුන් මේ මොකක්ද වෙන්න යන්නේ කියල සිතාගන්න බැරුව තුස්නිම්බුත වෙලා.. මොකද ඒ වෙනකොටත් මහින්ද - බැසිල් දෙන්නත් කාර්යාලේ ඇතුලේ ඉඳලා තියනවා.

"අපි පොහොට්ටුව හදනකොට මුං ලංකාවේත් නෑ. මිග් යානා ගණුදෙනු නිසා එළියට එන්න බයේ හැංගිල හිටියෙ. අපි පොහොට්ටුව හදපු නිසා තමයි මුං එළියට ආවේ. එහෙම එවුන් අපිට දේශපාලන කරන හැටි උගන්වන්න එනවා." ප්‍රසන්න එහෙම කියාගෙන උදයංග ගෙන් දිගටම ගේම ඉල්ලලා.

"සමාවෙන්න ඇමතිතුමා"

උදයංග අසරණ ලීලාවෙන් කියලා.

" සමාව ඉල්ලන්න ඕන මගෙන් නෙමෙයි. අර ඇතුලේ ඉන්න මහින්ද මහත්තයගෙන්. ඔය වාචාල කට නිසා පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ ඒ රත්තරං මනුස්සයට. ඕන තැනක දේශපාලනය කර ගන්න . හැබැයි පොහොට්ටුවට ඇඟිලි ගහන්න එන්න එපා. ඒවා අපි බලාගන්නම් " ඇමති ප්‍රසන්න දිගට හරහට කියාගෙන ගිහින්.

"එන්න සර්... අපි යමු. මේ පිස්සො එක්ක හැප්පෙන්නෙ නැතුව"කියමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර , ප්‍රසන්නගේ අතින් ඇදලා ..

"මම ඉවසන් හිටියේ මුලිච්චි වෙනකම්. මතක තියා ගන්නවා ඔය වගේ කම්බහොරුන්ට මෙහෙ චාන්ස් නෑ." කියමින් ඇමති ප්‍රසන්න වාහනේට ගොඩවෙලා. මදෑ ඔයින් ගියා,

දේශපාලන වාර්තාකරු

අරගලය සමයේ දියත් වූ කුමන්ත්‍රණයක් ගැන කතානායක හෙළිකරයි !

ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් වෙතින් තමාට බලපෑම් එල්ලවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට ඔවුන් කුමන්ත්‍රණය කළ බවත් තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ වී ගිය බවත් කතානායකවරයා සඳහන් කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අද (21) පැවති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා කතා නායක ධූරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බවද එහිදී ඔහු පැවසීය

රටක ගිනි තැබීම් මිනීමැරීම් හාරාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රට නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැති බව ද කතානායකවරයා පැවසුවේය.

Page 65 of 440