පුවත්
IMF දෙවැනි සමාලෝචනයත් ගොඩ : ඩොලර් මිලියන 337 ක් සමඟ රජයේ වැඩපිළිවෙළ ගැන ප්‍රසාදය !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.
පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසූ පීටර් බෘවර් මහතා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළේය.
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෘවර් මහතා සහ නියෝජ්‍ය ප්‍රධානී කත්සියරිනා ස්විරිඩ්සෙන්කා (Katsiaryna Svirydzenka) මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.
• වසර 4 ක් පුරා ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) මඟින් සහාය දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වන දෙවන සමාලෝචනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙමින් 2024 IV වන වගන්තිය යටතේ වන සාකච්ඡා අවසන් කළේය. මෙම විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ SDR බිලියන 2.3ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ) සඳහා 2023 මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
• සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ කර ඇත. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සඳහා පාලන දුර්වලතා සහ දූෂණ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
• මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඉදිරි කාලය තුළ, (i) බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත කාලයට මෙන්ම, වැඩසටහනේ සඳහන් ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරමින් මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම, යන පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.
විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට SDR මිලියන 254ක (ඇමරිකානු ඩොලර් මිලියන 337 ක් පමණ) මූල්‍ය පහසුකමක් වෙත ප්‍රවේශය හිමිවනු ඇති අතර ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය SDR මිලියන 762ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ) වනු ඇත.
උද්ධමනය ශීඝ්‍රයෙන් පහතට ගෙන ඒම, විදේශ සංචිත සමුච්චය ශක්තිමත් වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින්, ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව, විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility )යටතේ අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී.
සැලකිය යුතු ලෙස සිදු කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මාසය අවසානය වන විට සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමඟ වැඩසටහනෙහි කාර්ය සාධනය ශක්තිමත් වී තිබේ. 2024 පෙබරවාරි මාසය අවසානයට පෙර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාද වී හෝ සපුරාලීම/ක්‍රියාත්මක කිරීම සිදු කර තිබේ.
ඇතැම් ක්ෂේත්රවල ප්‍රතිසංස්කරණ තවමත් සිදු වෙමින් පවතී.
ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. කාර්තු හයක අඛණ්ඩ පසුබෑමෙන් පසු වර්ධනය ධනාත්මක වූ අතර, 2023 තෙවන හා සිව්වන කාර්තු වලදී පිළිවෙලින් සියයට 1.6 ක් සහ සියයට 4.5 ක වාර්ෂික වර්ධනයක් වාර්තා විය. අධි සංඛ්‍යාත ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පවතින බවයි. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක උපරිමයේ සිට 2024 පෙබරවාරි මාසයේ වන විට සියයට 5.9 ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව විසින් සිදු කර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගියේය.
ආර්ථිකයේ තිරසර ප්‍රකෘතියක් සහ ස්ථාවර වූත් සියල්ල අන්තර්ගත වූත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණවල වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අප පිළිගන්නෙමු. 2025 වසර සහ ඉන් ඔබ්බට ආදායම් උපයා ගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා සිදු කළ යුතු ආදායම් ඉහළ නැංවීමේ පියවර සමඟ දේපල බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
ආදායම් පරිපාලනය සහ දූෂණ විරෝධී ප්රයත්නයන් සිදු කිරීම බදු එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා ද ප්‍රධාන වේ.
ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය ප්‍රතිසාධනය පවත්වා ගැනීම රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.
උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටුණද, උද්ධමන පීඩනය නැවැත්විමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය වේ. පවතින බාහිර අවිනිශ්චිතතාවය හමුවේ, ශක්තිමත් සංචිත ගොඩනැගීම මඟින් බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැඟීම අඛණ්ඩව සිදුකරගෙන යාම වැදගත් වේ.
වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් නිල ණයකාරක කමිටුව හා චීන ආනයන-අපනයන බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය කරා ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් වේ. තීරණාත්මක ඊළඟ පියවර වන්නේ නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ කාලෝචිත ආකාරයකින් වැඩසටහන් පරාමිතීන්ට අනුකූල ගිවිසුම් වෙත යොමු වීමයි.
මෙය මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත යථා තත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.
පාලනය පිළිබඳ විනිශ්චය වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම වැදගත් පියවරකි. දූෂණ අවදානම් සඳහා අවශ්‍ය පිළියම් යෙදීම, ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැඟීම සහ වඩාත් ශක්තිමත් හා සියල්ල ඇතුලත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ තිරසර උත්සාහයන් අත්‍යවශ්‍ය වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායම නුවරඑළියෙහි තේ වතු කම්කරුවන් හමුවී ශ්‍රී ලංකාව තුළ වඩාත් අවදානමට ලක්විය හැකි අභියෝග කිහිපයක් පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගත්තේය. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක “අස්වැසුම” වැනි සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ඉලක්කගතභාවය පවත්වාගැනීම, ප්‍රමාණවත්භාවය සහ ආවරණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ ප්රයත්නයන් සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය.
ශ්‍රී ලංකාවේ බලධාරීන් දැක්වූ විශිෂ්ඨ සහයෝගය වෙනුවෙන් අපි අපගේ ස්තූතිය පිරිනමමු.
මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් මහත්මියද සහභාගී විය.
එළැඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර හිඟයක් නෑ !
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.
ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මෙසේ ද පැවසීය.
ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සපයා ගෙන තිබෙනවා. පසුගිය කාලයේ එළවළු සහ පලතුරු මිල විශාල ලෙස ඉහළ ගියා. කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත්ව එළවළු සහ පලතුරු නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව වෙළඳපොළ තුළ එළවළු සහ පලතුරු මිල යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. මේ වන විට අප පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් රැකගෙන ඉදිරියට යාමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටිනවා.
පසුඅස්වනු තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙමින් අස්වනු නාස්තිය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මස් සහ බිත්තර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. එසේම කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ලෙස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සභා 09 එක්ව සත්ව පාලනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහාද කටයුතු කර තිබෙනවා. ඒ වගේම ප්‍රංශ ආධාර ඇතිව දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කර්මාන්ත ශාලා 06ක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. එයින් කර්මාන්තශාලා 03ක් මේ වනවිටත් විවෘත කර තිබෙනවා.
එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟකින් තොරව සාධාරණ මිලට ලබා ගැනීමේ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. වත්මන් රජය ගෙන ගිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා පාරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ජාතික අලුත් සහල් මංගල්‍යය ලබන මස 6 වෙනිදා ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගනු ලැබුවේ අයාලේ ගිය රටක්. බංකොලොත් සහ විදේශ ආධාර නවතා දැමුණු රටක් අද වන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා.
ජනතාව ජීවත් කිරීමේ අභියෝගය සහ අනාගතයට සුදුසු තරුණ පරම්පරාව බිහි කිරීමේ වගකීම රජය මේ වන විට සාර්ථකව ඉටුකරමින් තිබෙන බවද පැවසිය යුතුයි. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් රැක ගැනීම , අඩු ආදායම්ලාභීන්ට “අස්වැසුම“ ලබාදීම වැනි සුබසාධක වැඩසටහන් රාශියක් ද මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.
කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 75ක් පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.
අනුර කැනඩා සංචාරයක
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සංචාරයක නිරත වීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ.
එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතය.
මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක සහභාගිවී වනු ඇත.
''දැනටමත් මේ ජනරැලි පිළිබඳව වගේම සුහද හමු පිළිබඳවත් කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් හුඟ දෙනෙක් බොහොමත් උද්යෝගයෙන් ඉන්නේ. මෙතක් කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකුට නොලැබුණු තරමේ අවදානයක් අනුර සහෝදරයාට ලැබෙමින් පවතිනවා” යි මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කැනඩා ශාඛාවේ අයෙක් පැවසිය.
ඩිලාන් පෙරේරාත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි
සමගි ජන බලවේගයට එක්ව සිටින මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් කෝප් කමිටුවෙන් ඉවත්වීම පිළිබඳ ලිපිය කතානායකවරයාට යොමු කරන බවයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් වීමත් සමග එම කමිටුවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් දිගින් දිගට ම ඉල්ලා අස්වෙමින් සිටිති.
මාර්තු 18 වන දා සිට දින තුනක් තුළ එහි සාමාජිකයින් 10 දෙනෙකු මේ දක්වා ඉල්ලා අස්වී තිබේ.
පාසල් 1000ක් සදහා ෆයිබර් ඔප්ටික් සබඳතා
කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාමාන්‍ය අධ්‍යාපනයට කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම සඳහා පාසල් විෂය මාලාවට එය ඇතුළත් කිරීම මෙන් ම එය නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක් ව මෙම යෝජනාවට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2022 වර්ෂයේ අග භාගයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී නිව්යෝක් නුවර සිටියදී මයික්‍රොසොෆ්ට් ආයතනයේ උපසභාපතිවරයා හමු වී පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරු ව අද දක්වා අඛණ්ඩ ව ඔවුන්ගෙන් ලද සහාය මත මෙම නියමු ව්‍යාපෘතිය පාසල් 20ක ක්‍රියාවට නැංවීමටත් එම විෂය ඉගැන්වීමට අදාළ සම්පත්දායකයන් ලෙස ගුරුවරුන් 100කට අධික ප්‍රමාණයක් පුහුණු කිරීමට අවශ්‍ය අනුග්‍රාහකත්වයත් එම ආයතනයෙන් ලබාගැනීමට හැකි වූ බවයි. මෙම විෂය මාලා සංවර්ධනය වෙනුවෙන් විශ්වවිද්‍යාල නියෝජිතයන්ගේ මෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වත් සම්පත් දායකත්වය ලබාගත් බව ද හෙතෙම පැවසී ය. එසේ ම 2025 වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් සමස්ත පාසල් පද්ධතිය තුළ ම ක්‍රියාවට නංවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කී ය. එය මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ දියත් කර ඇති නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලිය හා සමගාමී ව ක්‍රියාත්මක කරන බවත් පර්ෂද පාසල් 1200කට අවශ්‍ය ෆයිබර් ඔප්ටික් සම්බන්ධතා ලබා දීමට අදාළ මූලික පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසී ය. අධ්‍යාපන පරිවර්තනයේ පළමු පියවර වන පරිපාලනමය ප්‍රතිසංස්කරණ හා විෂයමාලා සංවර්ධනය සිදු කෙරෙමින් පවතින අතර ලබන සතිය වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය සූදානමින් සිටින බව ද එය 1, 6 සහ 10 ශ්‍රේණිවලින් ආරම්භ වන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.
පාසල් 1000කට ෆයිබර් ඔප්ටික් සබඳතා ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියනක මුදලක් ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇති බවත් විදුලි සන්දේශ නියාමන අධිකාරිය එහි වැඩ බොහෝ දුරට අවසන් කර ඇති බවත් මෙහි දී පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධ ව මෙම ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ක්‍රියා කරන බව ද කී ය. විශේෂ සහයෝගයක් ලබා දෙමින් මේ අවස්ථාවට පැමිණ සිටි මයික්‍රොසොෆ්ට් ඉන්දියා සහ දකුණු ආසියානු සභාපති පුනීත් චන්දොකට ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය.
ගෝලීය අධ්‍යාපන ක්ෂේත්රයේ සුලබ ඩිජිටල් අධ්‍යාපන ප්‍රවණතාවක් වී ඇති කෘත්‍රීම බුද්ධිය වත්මන් ගෝලීය සමාජ ආර්ථික ජීවන රටාව මෙන් ම වෘත්තීය ක්ෂේත්රය ද අතික්‍රමණය කර ඇති පසුබිමක පාසල් වියේ සිට ම ලාංකික සිසු සිසුවියන්ට ද කෘත්‍රීම බුද්ධිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලබන මෙම සාධනීය පියවරට සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා එමගින් නව ලොව ප්රවණතා හමුවේ අභියෝග ජයගත හැකි නිපුණතා සහිත තරුණ පරපුරක් වශයෙන් සිසු පරපුර සවිමත් කරලීමත් රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගෙන් ඵලදායී දායකත්වයක් ලබාගැනීමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව පැවසී ය.
අමෙරිකානු තානාපති ජූලි චංග්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් යන මහත්ම මහත්මීන් සහ මයික්‍රොසොෆ්ට් ආසියානු කලාපීය අධ්‍යාපන සාමාන්‍යාධිකාරී ලැරී නෙල්සන් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී ව සිටියහ. මෙම ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ශ්වයෙන් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබූ අතර මයික්‍රොසොෆ්ට් ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්යක්ෂ හර්ෂ රන්දෙණිය මහතා විසින් අත්සන් කරන ලදි.
පොහොට්ටු බහුතරය රනිල්ට : රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කියයි !
පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තවත් වසර පහක් රට භාර දිය යුතුය යන මතයේ සිටින බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසයි .
ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු රනිල් වික්‍රමසිංහට වඩා දක්ෂයෙක් විය යුතුම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .
‘පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කිව්වට තාමත් ඒ කවුද කියලා කියලා නෑනේ. සමහරවිට ඒ තැනැත්තා රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන්නත් පුළුවන්. කලබල නොවී වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තව අවුරුදු පහක් මේ රට භාර දෙන්න ඕන කියන මතයක ඉන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ තැනැත්තා රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුමයි"
ෆොන්සේකා ගැන සජිත්ගේ ඉල්ලීම: අධිකරණය ප්‍රතිකේෂ්ප කරයි !
සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
එසේම අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කර තිබේ.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.
එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දැක්වීය.
එහෙත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
AI පාසල් විෂය පද්ධතියට : මයික්‍රසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් !
08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.
මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතය.
මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.
මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් මහත්මිය ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධර්මසිරි කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ මයික්‍රසොෆ්ට් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය , පුස්සැල්ලාව හින්දු ජාතික පාසල, තංගල්ල බාලිකා විද්‍යාලය,කොළඹ හින්දු විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරු, ගුරුවරුන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසීය.
රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව ද ඒ මහතා අවධාරණය කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අප මේ වන විට නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් වූ පළාතක් ලෙස නැගෙනහිර පළාත මෙරට අනෙකුත් පළාත්වලට සාපේක්ෂව සංවර්ධනයේ පසුබෑමකට ලක් වුණා.
එබැවින් මේ පළාතට අයත් දිස්ත්‍රික්ක තුන සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මට උපදෙස් ලබාදී තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් රටටම දායක වන පළමු පළාත ලෙස නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විවිධ ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාවට නඟමින් තිබෙනවා.
මේවන විටත් නැගෙනහිර පළාත සංවර්ධනය සඳහා තිබෙන විභවයන් අප හඳුනාගෙන තිබෙනවා. ඉස්සන් වගාව, ඛනිජ සම්පත්, වරාය, ගුවන් තොටුපළ, ජල සම්පත, සංචාරක කර්මාන්තය සහ කෘෂි නවීකරණය, ඉඩම් දියුණු කිරීම ඒ අතර විශේෂයි.
ඒ වගේම තවත් සම්පත් රාශියක් නැඟෙනහිර පළාත සතු නිසා ඒවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගත යුතුයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍යමය දායකත්වයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම රටේ ණය පියවීමට ප්‍රමාණවත් බව කිව යුතුයි.
කඳුකර ජනතාවගේ වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ වතුකර ජනතාවට සාධාරණ වැටුපක් ලබාදිය යුතු බවයි. ඒ සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් වැටුප් වැඩිවීම් ලබාදිය යුතුයි. මේ කාරණය මේ වන විට පඩි පාලක සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම වතු සමාගම් ද ඔවුන්ගේ යෝජනා ලබා දී තිබෙනවා. වැවිලි කර්මාන්තය විදේශ විනිමය සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ නිසා ඩොලරයේ අගය වැඩිවීම සමඟ දේශීය ජීවන වියදම අනුව වැටුප සකස් කළ යුතුයි.
ඒ වගේම අපේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව පැවසිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන මාස කිහිපයක් තුළ අප රට යථාතත්ත්වයට පත් කළා. අනාගතයේ කවුරු ජනාධිපති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කළ නොහැකියි. ආර්ථික අර්බුදයට ලක්ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය නොලැබූ රටවල් තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ.
එබැවින් රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව අවධාරණය කළ යුතුයි.
කතරගම ලොකු කපුවාට දේවල භුමිය තහනම්
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ඊයේ (18) පියවර ගත්තේය.
රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ලිඛිතව දැනුම් දුන්නේය.
රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරයේ නියුතු ‘අරාපක්ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර’ යන අයට නොපමාව බාරදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලීම සහ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම්ලත් පරීක්ෂණ නිලධාරී මහතකු නම් කර කඩිනමින් ඔවුන්ට දන්වන බවත් බස්නායක නිළමේවරයා සඳහන් කරයි.
අදාල රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්ෂණයක් පවත්වා එම කපුමහතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා සිටින බව ද කියන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අදාල සිද්ධිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් රුහුණු මහා කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් වූ බව ද සඳහන් කරයි.
මෙම සිද්ධිය බැලූ බැල්මට බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවක හෝ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වී ඇති බවට පෙනී යන බැවින් බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු විධිමත්ව පත්වාගෙන යෑමට නොහැකි වී ඇති බව ද බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා එම කපු මහතුන්ට යොමු කළ ලිපිවල සඳහන් වේ.
අදාල චෝදනාව එල්ලවී තිබෙන කපු මහතුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණි.
lankadeepa.lk
කෝප් කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඇත.
එසේම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද, පාර්ලිමේන්තුමන්ත්රී හේෂා විතානගේ ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස “1990 සුවසැරිය” නම් කරයි
1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබේ.
ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය.
එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී ඇති බවය.
එමෙන්ම ඇමතුමක් හා සම්බන්ධවී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන්වු පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසැරිය සමත්වී තිබේ.
ඒ අනුව ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය නම්කර ඇති බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වාදෙයි.
2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින්, නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බවද ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.
ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය විසිනි.
ඒ සඳහා පෞද්ගලික අංශයේ ප්‍රදානයන්ද යොදාගෙන ඇති අතර අනුග්‍රාහකත්වයන්ද අපේක්ෂා කරයි.
දකුණු ආසියාවේ විප්ලවකාරී ඩිජිටල් සෞඛ්‍ය සහ හදිසි සේවා ව්‍යපෘතියක් වන සුවසැරිය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒ සඳහා පුරෝගාමීත්වය සපයන බවද ලෝක බැංකුව සඳහන් කරයි.
මුලදී නාගරික ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වුවද අද සුවසැරිය 1990 හදිසි ගිලන්රථ සේවාව වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63%ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන ඇමතුම් වීමද විශේෂත්වයකි.
කතානායක ආන්දෝලනාත්මක අනාවරණයකට සැරසෙයි !
එළැඹෙන 20වනදා විශ්වාසභංගයක් සඳහා මුහුණ දීමට නියමිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එදින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන වාර්තා වෙයි.
එහිදී පසුගිය අරගල සමයේදී ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනාධිපති ධුරය ලබා ගන්නයි තමන්ට බලකළ දේශපාලඥයන් සම්බන්ධයෙන් හෙළි කිරීමට කටයුතු කරනු ඇති බවද කථානායක මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත .
ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට එම විවාදයට සහභාගි විය නොහැකි නිසා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම හෙළිදරව්වන් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු පවසා ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාසභංගය විපක්ෂය විසින් ගෙනවිත් ඇති අතර ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතව ඇත. 20 වනදා විවාදය අවසන් වීමෙන් පසුව විශ්වාසභංගය ට අදාළ ජන්ද විමසීම සිදුකිරීමට නියමිත ය.
මුලින්ම තියෙන්නේ ජනාධිපතිවරණය : ජනපති කැබිනට් මණ්ඩලයට පවසයි !
පළමුව පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යන්න පිළිබඳව පවතින විවිධ මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ කොළඹදී කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවද එහිදී ජනාධිපතිවරයා පවසා ඇති අතර එබැවින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන ලෙසද පවසා තිබේ.
කෙසේ වුවත් පසුගිය දින වල පොදුජන පෙරමුණේ නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂ පවසා තිබුණේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවයි.
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි !
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් හෙට (19) ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දින 07 ක කාලකට අත්හිටුවීමට තීරණය කළ බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ගේ ඉල්ලීමට අනුව අදාළ පියවර ගත් බවද ඔහු සඳහන් කරයි.
අදාළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ගේ අත්සනින් ලිඛිතව සිදුකර ඇති බ්වද ඔහු පැවසීය .
අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතව තිබුණේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෘත්තීය සම්ති සන්ධානය ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාර ප්‍රමාද වීම හේතුවෙනි.
කෘෂි නවීකරණයෙන් ගොඩගිය ගොවීන් දෙදෙනෙකු ජනපති හමුවෙයි !
අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයක් තුළදී රුපියල් මිලියන 12ක ආදායමක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ ගොවි මහතෙකු වු බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් මිලියන4ක ආදායමක් ඉපැයූ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන තරුණ ගොවි අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.
සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන මෙලෙස ජනාධිපතිවරයා හමුවූ මෙම තරුණ ගොවි මහතුන් තමන්ට සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට මඟ පෙන්වමින් රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය
බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ.
සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නැංවීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය.
අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන ගොවි මහතා 39 හැවිරිදි දෙදරු පියෙකි.
නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කරයක සිදු කළ කොමඩු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපියල් එකසිය අසුවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායම ලබා ගැනීමට හැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
රට තුළ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී මෙවන් තරුණ ගොවි මහතුන් මහඟු ආදර්ශයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ මෙහෙවර අගයමින් සිහිවටන තිළිණ ද පිළිගැන්වීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී තිබේ.
ඔහු මේ බව අද (මාර්තු 18) කතානායකවරයාට ලිපියක් මගින් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
මේ දක්වා කෝප් කමිටුව හෙළිදරව් කළ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් කෝප් කමිටුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව ජනතාව කලකිරීමට පත් වී ඇති බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයන්ට විනය චෝදනා පවතින බව ද ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Page 66 of 440