Ad

Ad 01

V2025

පුවත්

වයඹ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න ඉවතට !

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, රන්ජිත් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්කර ඇතැයි වාර්තාවේ.

රංජිත් ආරියරත්න, සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හා චෝදනා පිළිබඳව සොයා බැලීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

වයඹ ආණ්ඩුකාරවරයාගේ නියෝග හා උපදෙස් නොසලකා හැරීම හා මහජනයාගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානයක නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තාවේ.

වයඹ ප්‍රධන ලේකම්වරයා ලෙස වෙනත් අයකු ලබන සිකුරාදා පත්කිරීමට නියමිත බවද පැවසේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වු රංජිත් ආරියරත්න 2023 ජනවාරි 03 දා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු හිටපු තැපැල්පති වරයකු ද වේ.

නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn)  සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M))  මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02

ටිල්වින් ගේ බිග්මැච් විරෝධයට විරෝධයක් !

වගකිවයුතු දේශපාලනඥයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා අන්තර් පාසල් ක්‍රිකට් තරග නැවැත්විය යුතු බවට කර ඇති ප්‍රකාශය දැඩි අප්‍රසාදයට ලක් කරන බව,, නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීශ්වර බණ්ඩාර පවසයි .

මේ හමුවේ අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්තිය තුළ ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රශ්නාර්ථයකට ලක් වෙන බවද ඔහු අවධාරණය කරයි.

නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීශ්වර බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් මාසික නියෝජිත හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

“වසර 100කටත් එහා ගිය ඉතිහාසයක් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග හෙවත් බිග්මැච්වලට පවතිනවා. ඒවායින් බිහිවන ක්‍රිකට් තරු රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අපේ පුංචි රට ලෝකයේ ඉහළින් ඔසවා තබනවා.

නිල් මහා සටන, කඳුකරයේ සුලෝහිත සංග්‍රාමය, පෙම්වතුන්ගේ සටන වැනි අන්වර්ථ නාමයන් පටබැඳි මේ අන්තර් පාසල් ක්‍රිකට් තරග ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කරන උල්පත වෙලා තිබෙනවා. මෙහි කාලීන වටිනාකම හඳුනාගෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට බලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් වෙහෙසෙන මොහොතක රටට වගකිවයුතු දේශපාලනඥයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා අන්තර් පාසල් ක්‍රිකට් තරග නැවැත්විය යුතු බවට කර ඇති ප්‍රකාශය මම දැඩි අප්‍රසාදයට ලක් කරනවා. එවගේම අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්තිය තුළ ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රශ්නාර්ථයකට ලක් වෙනවා.

මෙවැනි මතවාද දරන පුද්ගලයන් බලයට පත් කරනවා නම් 88 / 89 කාලයේ ගෙවල්වල බත් මුට්ටි උස්සන් දුවන ක්‍රීඩා වැනි දෑ ජාතික ක්‍රීඩා මට්ටමට හඳුන්වා දීමට ඔවුන් කටයුතු නොකරාවි යැයි සිතිය නොහැකියි. එම නිසා රැල්ලට ඡන්දය දෙනවා වෙනුවට රටක් පිළිබඳ නිසි දැක්මක්, නිසි ප්‍රතිපත්තියක් ඇති නායකයකුට ඉදිරි වසර 05 රට භාරදීමට අපේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුතුයි. දැනට යෝජනා වී ඇති නම් අතරින් ඒ සඳහා දැනට සිටින එකම සුදුස්සා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.”

නෙත්මි පූජනී රත්නායක

උත්තර සභාවෙන් ගැලවුන වීරසුමන වීරසිංහ : දිලිත්ගේ වේදිකාවේ !

කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි වීරසුමන වීරසිංහ මව්බිම ජනතා පක්ෂයට එක්ව තිබේ.

මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුවේදී ඔහු මෙසේ සිය දේශපාලන පිල්මාරුව සිදුකර ඇති අතර එතෙක් ඔහු නියෝජනය කර සිටියේ පොදුජන පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන ගොඩනැගූ උත්තර සභාව සමඟය.

මෙම දේශපාලන පිල් මාරුව සමග මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ගොඩගත හැකි එකම ආර්ථික වැඩසටහන ඇත්තේ මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වැඩපිළිවෙල සතුව බවයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් මේ වන විට බිම් මට්ටමේ දේශපාලන කටයුතුවල නිරතව සිටියි.

ශ්‍රීලන්කන් වෙත මාස 06ක ඉලක්කයක් !

රජයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක පමණ මූල්‍ය සහනය ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවායේ මෙහෙයුම් සහ මූල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (11) අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය කාලපරිච්ඡේදය තුළ විටින් විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදුවූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ශනයට සහ විවේචනයන්ට ලක්විය.

මේ පිළිබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක් පමණ රජය විසින් ගෙවා දැමීමට තීරණය කරන ලදී.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සම ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර ඇත. එබැවින් එම මාස 06 තුල ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කර යුතු බවත් ඒ සහා පරිපාලනය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී අවධාරණය කළේය.

එසේ නොවුනොත් 6,000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බව ද අමාත්‍යවරයා පැවසීය.

IMF සියලු කටයුතු විනිවිදභාවයෙන් : ජනපතිගෙන් විපක්ෂයට සහතිකයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයටත්, පාර්ලිමේන්තුවටත් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පැවසීය.

එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙලක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද පැවසීය.

ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙහිදී පුළුල් පැහැදිලි කිරිමක් සිදු කළ අතර මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලන විනිශ්චය සම්බන්ධයෙන් වන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පුළුල් ව්‍යුහාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 11 at 17.29.04

අලි වැට රකින්න බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4500ක්

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි  පැවසුවාය.

එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය,

ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21 වනදාට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දිවයින පුරා සිටින සියලූම නිවාස වෙත එක් පැලයක් බැගින් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා වන ව්‍යාප්ති නිලධාරීන් යෙදවීමට අප කටයුතු කරනවා. ජල පෝෂක කලාප ආරක්ෂා කරමින් වන ගහණය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ වන විටත් යොදා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය අප අමාත්‍යාංශයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කටයුත්තක්.

ඒ වගේම උමාඔය පළමු වන අදියර සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා. එමඟින් ඉඩම් අක්කර 20,000කට අලුතින් ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා. MCM 45ක පානීය ජලය පහල උමාඔය ප්‍රදේශයට ලබාදීමටත්, මෙගාවොට් 120ක ජල විදුලිය ලබා ගැනීම සඳහා පරීක්ෂණ මට්ටමේ පෙරහුරුව සිදුකරමින් පවතිනවා. ඉන් මෙගා වොට් 120ක ජල විදුලි නිෂ්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට ද නියමිතයි.

තවද මිනිපේ අමුණ මඟින් යල-මහ කන්න ගොවිතැන් කිරීම සඳහා හෙක්ටයාර් 7,500කට වාරි පහසුකම් ලැබී තිබෙනවා. ඒ සඳහා මිනිපේ අමුණ මීටර් 3.5ක් සංවර්ධනය කර කිලෝ මීටර් 74ක් දක්වා වතුර ගෙන යාමට අවශ්‍ය ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම සකස් කර තිබෙනවා. පවුල් 15,500ක් එමඟින් ප්‍රතිලාභ ලබනවා.

එමෙන්ම වයඹ ඇල මාර්ගය මඟින් වෑ මැඩිල්ල ජලාශයේ සිට කිලෝමීටර් 90ක් වයඹ දිශාවේ ඇති කුඩා වැව් 350ක්, සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 07ක්, සඳහා ජලය ලබාදීමටත් කටයුතු කර කෙරෙනවා. එම ඇල මාර්ගය අතරමැද කිලෝමීටර් දෙකක උමං මාර්ගයක් ඉදිකිරීමට ද නියමිත අතර ප්‍රධාන වැව් දෙකක් ද ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 75,000ක් සඳහා සුරක්ෂිත වාරි ජලය සහ පානීය ජලය MCM 10ක් ලබාදීමට හැකි වනවා.

ඒ වගේම උතුරු මැද පළාතට වාරි ජලය රැගෙන යාම සඳහා මොරගහකන්ද ජලාශයෙන් හුරුලු වැව සහ මහකනදරාව දක්වා කිලෝ මීටර් 96ක ඇළ මාර්ගයක් ඉදිකෙරෙමින් පවතිනවා. එය කිලෝමීටර් 28කින් යුත් උමං මාර්ගයකින් ද සමන්විතයි. ඉන් හෙක්ටයාර් 2,300ක් සහ පවුල් 175,000ක් සඳහා සුරක්ෂිත ජල පහසුකම සහ පානීය ජලය MCM 40ක් ලබාදීමට ද නියමිතයි. කුඩා වැව් 1,300ක් සදහා ජලය ගෙන යාමට ද හැකියි.

තවද අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා නව සේවකයින් බඳවා ගැනීමක් සිදු කෙරෙන්නේ නැහැ. අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා අනුමැතිය හිමි වී ඇති බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දැනටමත් අලි වැට සංරක්ෂණය සඳහා කටයුතු කරමින් සිටින බව ද පැවසිය යුතුයි.

සජබ සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වෙලා : ජනපති සැබෑව හෙළිකරයි !

 රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න

 එක්සත් ජාතික පක්ෂය සැමදා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා

 රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට පමණයි

 අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කළා.

එක්සත් ජාතික පක්ෂ පළමු ජන රැළිය අමතමින් ජනපති කියයි

සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැති බවත්, එම පක්ෂය අද සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී අති බවත් ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමිනි.

රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව "සැබෑව" තේමාව යටතේ මෙම ජන හමු මාලාව සංවිධානය කර තිබෙන අතර කුලියාපිටියේ පැවති පළමු රැළිය සදහා අති විශාල ජනකායක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇමතූ පළමු ජන රැළිය ද මෙය වන අතර ක්‍රිඩාංගණයට එක්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ඊට හිමි විය.

ජන රැළිය ඇමතීමෙන් අනතුරුව ජනතාව අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද සියලු දෙනා එක්ව කටයුතු කළ යුත්තේ රට ගොඩනැගීමට මිස පටු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට නොවන බව ද අවධාරණය කළේය.

එසේම අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට රජය කටයුතු කර තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බවද පැවසූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයකට රට ගොඩනැගීමේ සැලැස්මක් නොතිබු බවද කියා සිටියේය.

රට මුහුණදුන් ආර්ථික අර්බුදය පිළිබඳව 2020 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දුන් කරුණු ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිහිපත් කළ අතර ඒ පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරිනි.

ජන රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ::

අද විශාල පිරිසක් මෙම ක්‍රීඩාංගණයට රැස්ව සිටිනවා. ඔබ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා. අසීරු කාලයේ ඔබ සියලුදෙනා මට සහාය ලබා දුන්නා. ඒ අසීරු කාලය අවසන් වන විට ඉදිරියට යාම සඳහා ජාතික එකඟත්වයක් ඇති කරගත යුතු සමයක අද මට ඔබ සියලුදෙනා ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔබ මෙතනට පැමිණෙන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නොවෙයි. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහායි. අසීරු කාලයකින් පසුව අපට තිබෙන අනාගතය කුමක්ද යන ප්‍රශ්නය ඔබේ සිතේ තිබෙනවා.

තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ.

මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේකෂා කළේ නැහැ. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාතය්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා. අප ඔවුන් සමග සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දීඅත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම ගමනනේ දී ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා. ඒ වගේම මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට රුපියල් දස දහසක් ඔවුන්ට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දෙනවා. එය ඉදිරියේදී ලක්ෂ 24කට ලැබෙනවා.

එම සියලු පවුල්වලට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලබාදීමට අප කටයුතු කරනවා.

ඒ වගේම ඉඩම් බලපත්‍ර තිබෙන සියලුදෙනාට සින්නකර ඉඩම් අයිතිය ලබාදිමට අපි කටයුතු කරනවා. කොළඹ තට්ටු නිවාස 50,000ක සිටින ජනතාව වෙනුවෙන් නිත්‍යානුකුල අයිතිය ලබා දෙනවා. අසීරු කාලයක් ගත කළත් ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා වසර 10කින් රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන කර්මාන්තවලින් මුදල් උපයා ගැනීමට අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ. වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු පත් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරනවා.

එමෙන්ම ස්ත්‍රීන් සඳහා සමබර අයවැයකරණය සහ කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම සෑම පොලිසියකම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේවා සිදුකළේ රටේ සාමාන්‍ය ජනතාවගේ දියුණුව වෙනුවෙන්.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුව මට සහාය දුන් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පටු පක්ෂ බේදයෙන් තොරව මට සහාය ලබාදුන් පොදු ජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපට තිබෙන්නේ පටු දේශපාලනය නොවෙයි. අපි වෙහෙසිය යුත්තේ මේ රට ගොඩගැනිම සඳහායි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බෙදුනා. නමුත් මම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස අප සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යමුයි කියලා. අපි සැලසුම්සහගතව කටයුතු කළොත් අපට ටික කාලයකින් ආණ්ඩුවක් ගොඩනගාගත හැකි බව මම එදා පෙන්වා දුන්නා. නමුත් බොහෝ අය ඊට විරුද්ධ වුණා. ඇතැම් අය සිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න ඕන කියලා.

මේ මතය තුළ එක්සත් ජාතික පක්ෂය බෙදුනා. ඇතැම් අය සමගි ජන බලවේගයට ඡන්දය දුන්නා. ඇතැම් අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඇතැම් අය අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. මම ඒ සියලුදෙනාටම කියනවා අද තිබෙන්නේ එක පක්ෂයයි. ඒ එක්සත් ජාතික පක්ෂයයි. අපි ඉදිරිපත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා නිදහස ලබා දුන් මේ රට ආරක්ෂා කර ගැනිමට වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇති කළ ඒ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහායි කියලා. ඒ සඳහායි මම ඔබ සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටින්නේ කියලා.

ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මම එදා ප්‍රකාශ කළේ කුමක්ද කියා මෙහිදී සිහිපත් කිරීමට කැමතියි

“විදේශ ආදායම් හරහා රටට ලැබෙන ඇමරිකන් ඩොලර් මිලියන 7000ක පමණ ආදායමෙන් මේ වසරේදී අපට අහිමි වී යනු ඇත. ණය සහ සේවාවන් සඳහා මේ වසරේ ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3000කි. මේ නිසා ඉදිරි වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 6000ක් දේශීය ආර්ථිකය කාන්දුකරණයට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය ගණන් බලා තිබේ. ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් අවම වශයෙන් අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් මේ ආකාරයෙන් තම රටවල ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසාගෙන තිබේ”
මෙලෙස ඇත්ත කථාකර ඉදිරියට යාම ගැන මම ආඩම්බර වෙනවා.
සමගි ජන බලවේගය කිව්වේ සියලු දේ දෙනවා කියලා.

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මේ විදියට ආර්ථිකය ගැන කථා කළා.

“පුද්ගලික අංශයේ ක්‍රියාකාරි පාර්ශ්වකරුවෙකු ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බනධ වන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් 2025 දී ඒක පුද්ගලික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කිරීම සඳහා වූ මග පෙන්වීම, දිරිගැන්වීම ඇතුළු යටිතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මකට අනුව ආර්ථිකය මෙහෙයවීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම”. රටේ කඩා වැටෙන ආර්ථිකය තුළ ඔබට ලැබෙන ආදායම දෙගුණයක් කිරිමට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා.

ඉන්පසුව 2021 දී ඔවුන්ප්‍රකාශ කළේ “ අපි සැලැස්මක් හදනවා ඊළග වසර පහේ විදේශ විනිමය වැඩි කරන්නේ කොහොමද කියලා”. මේ තිබෙන විදේශ විනිමයත් නැති වෙන වෙලාවක කළ ප්‍රකාශයක්. මේ සැලැස්ම හදලා මොකක්ද කරන්නේ, මිරිස්, ලුනු, කූණිස්සෝ දාලා සම්බෝල හදනවද, මිරිස් කොහෙන්ද, කුණිස්සෝ කොහෙන්ද කියලා ඔවුන් සිතුවේ නැහැ. මෙවැනි සැලසුම් තමයි ඔවුන් ගෙනාවේ.

රට ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය හැර වෙන කිසිවෙකුට සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ කියලා. ඒ නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට කතා කළා. එතුමිය කිව්වා අපිට උදව් කරන්න කැමතියි කියලා. ලෝක බැංකුවෙනුත් එයම ප්‍රකාශ කළා. මමත් ගිහින් ජනාධිපතිවරයාව දෙවරක් මුණ ගැසුණා. මේ කරුණු ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වුණා.

ඊළගට මැයි 09 සිදුවීම නිසා කුමක්ද සිදු වුණේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති ධූරය භාරගන්න බැහැ කිව්වා. අනුර දිසානායක මහත්තයා ඒක ඉල්ලුවෙත් නැහැ. මම ඔවුන් කිසිවෙකුටවත් දොස් කියන්නේ නැහැ. ඒ හේතුව ඔබ දන්නවා. ජනතා විරෝධයක් මැද කොහොමද ඔවුන් අගමැති ධූරය භාරගන්නේ. ඔවුන්ට ගාලු මුවදොර පිටියට යන්නවත් බැරි වුණා. ඒකයි සත්‍ය.

එදා මම හිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති රංජිත් සියඹලාපිටිය මහත්මයාගේ දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවෙමින්. එළියේ සිටී සියලුදෙනා දැන ගෙන හිටියා මම හෝටලයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුරුවත් ඇවිල්ලා මට යන්න කිව්වේ නැහැ. පසුව මම පිටත් වෙලා ගියා.

එවිට නගර සභාව අසළ සිටි අය මෙන්ම කොම්පඤ්ඤ වීදිය පැත්තේ හිටපු අය එක්ක කථා කරලා මම ගියා. මොකද අපි සෑමවිටම සත්‍ය ප්‍රකාශ කළා. දුක් වින්දා. මිනිස්සු මුලා කළේ නැහැ. පරාජය භාර ගැනීමට සූදානම් වුණා.

පසුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු මට කථා කළා. ජනාධිපතිවරයා මට කතා කළා. මම අගමැති ධූරය භාරගත්තා. වෙන කවුරුත්වත් හිටියේ නැහැ මේක භාරගන්න. පොහොට්ටුවට භාරගන්න බැහැ සජිත්, අනුර මේක භාර ගත්තේ නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්මයා අසනීපයෙන් හිටියේ එතුමාට භාරගන්නත් බැහැ.

ඒ නිසා මම අගමැති ධුරය භාරගෙන හිටපු ජනාධිපතිවරයාට කිව්වා පුළුවන්නම් විපක්ෂය එකතු කරගන්න කියලා. නමුත් ඔවුන්කැමති වුණේ නැහැ.

මම මුදල් අමාත්‍යවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කථා කළා. එම අධාර උපකාර ලබාගත්තා. මේ අතර තමයි ජූලි 09 වනදා සිදුවීම ඇති වුණේ. මම දන්නේ නැහැ ඒ විරෝධය හිටපු ජනාධිපතිවරයාව පළවා හැරීමට ගෙන ආවද, මාව පළවා හැරීමට ගෙන ආවද කියලා. කෙසේ හෝ එදා ජනාධිපති නිවස වැටලු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ධුරය හැර ගියා. මගේ නිවස ගිනි තැබුවා. නමුත් මම හිටියා. මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයින්. හිටපු ජනාධිපතිවරයා භාරදුන් වගකීම මම භාරගත්තා.

මම වැඩබලන ජනාධිපති ලෙස රජයේ ගොඩනැගිල්ලක දිවුරුම් දෙනවට රජයේ නිලධාරින් බිය වුණා. නමුත් වාලුකාරමයේ දී මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා.

මම මැතිවරණයකට යාමට සිතුවා. මම සිතුවා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා මට සහයෝගය ලබාදෙයි කියලා. ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් එකතු වුණේ නැහැ. ඔවුන් අපිත් ඒකක ආවනම් අද එම කිහිපදෙනෙකුම ඇමතිකම්වල කටයුතු කරනවා. නැවත පැමිණ මනුෂ සහ හරින් මම පිළිගන්නවා.

තවත් සමහර අය කිව්වා ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙනවා කියලා. ජී.එල්. පීරිස් මට විරුද්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනාධිපතිකම දෙන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැහැ පොහොට්ටුවට දෙන්න කිව්වහම සජිත් ප්‍රේමදාසයි, සජබෙයි එයට එකතු වෙනවා. ඒකට ඔහු එකඟ වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න සූදානම් වුණා.

මම මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න සියලුදෙනාගෙන් සහය ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ විට ඔහු කිව්වා රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි ඔයා ඒක භාරගෙන කරන්න කියලා.

අද මහින්ද රාජපක්ෂ හොද නැහැ කියන අය එදා මල් වට්ටි අරගෙන ගිහින් සහාය ඉල්ලුවේ. මම නිකන් දුරකථනයෙන් එතුමාට කතා කළේ. මහින්ද රාජපක්ෂ හොදයි ඡන්දය දෙනවනම්. ඒ නිසා ඔය බොරුව කරන්න එපා කියලා මම සමගි ජන බලවේගයට කියනවා.

ඉන්පසුව මහින්ද රාජපක්ෂ හොඳ නැහැ අපි එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ සට්ටන්බිරාළව ජී.එල්. පීරිස්ව ගත්තා. ඒ සට්ටන්බිරාළ කියන්නේ නැහැ මහින්ද හොද නැහැ කියලා. සට්ටන්බිරාළ හොදයි. මහින්ද හොද නැහැ.

අද සමගි ජන බලවේගය තුළ ඉන්නේ සට්ටන්බිරාළයි, ගොඩ පෙරකදෝරුවයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහි තැනක් නැහැ.

පසුගිය 06 වනදා මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මහත්මයා ඉල්ලීමක් කළා ණය ගණුදෙණුවලට අදාළ සාකච්ඡාවලදී අපවත් සම්බන්ධ කරගන්න කියලා. මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙනවා එම සාකච්ඡා සඳහා සහභාගී විය හැකියි කියලා. ඒ අනුව මම මගේ ලේකම්වරයාට කිව්වා සදුදා පක්ෂ නායකයන් කැදවලා අපි මේ පිළිබද සාකච්ඡා කරමු කියලා. අපි ඒ සඳහා ලිපි යැවුවා. එවිට ගොඩපෙරකදෝරුවා ගිහින් විපක්ෂ නායකතුමාට කිව්වා හර්ෂ කියන ඒවා කරන්න එපා. මම කියන ඒවා කරන්න ඕන කියලා. අපි මේ සාකච්ඡා සදහා සහභාගිවෙන්නේ නැහැ කියලා. අද මගේ ලේකම්තුමාට ලිපියක් එවලා තිබෙනවා එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ගොඩපෙරකදොරුවට යට වුණා. ඉතින් මේ පක්ෂය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තැනක් තිබෙනවද, එම සියලුදෙනා අද කොන් වෙලා සිටින්නේ.

ඔවුන්ගේම මුදල් පිළිබඳ ප්‍රධාන මන්ත්‍රීවරයා පැත්තකට දමා තිබෙන විට කොහෙමද බලාපොරොත්තුවක් තබන්නේ.

අද සමගි ජන බලවේගය සට්ටම්බිරාළගේ සහ ගොඩ පෙරකදෝරුවගේ කණ්ඩායමට හසු වී සිටින්නේ. එක්සත් ජාතික පක්ෂයේ මුලධර්ම එහි නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් නොදුන් සියලු එක්සත්ජාතික පාක්ෂිකයින්ට මම කියන්නේ දැන් අප සමග එක් වෙන්න. අපි මේ රට ණය බරින් බේරගමු. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනගමු. ඒ සඳහා අප එකතුවී වැඩ කරමු කියා ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන :

මේ පැමිණ සිටින ජනතාව තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. රටක් හැටියට පසුගිය කාලයේ පේ රට ඉතා අසීරු තැනක තිබුණා . රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර නොගත්තානම් අද රට තිබෙන තැන හිතා ගන්නවත් බැහැ . අප සියලු දෙනටම ආර්ථික බර දැනෙනවා. තුවාලයකට උනත් බෙහෙත් දානවිට වේදනාවක් දැනෙනවා . මේ වන විට රටේ ආර්ථිකය නමැති තුවාලය සුවපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බෙහෙත් දමමින් සිටිනවා. ඉදිරියේදි ආර්ථිකය සුවපත් වූ විට මේ ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකියි. ග්‍රීසියේ තිබුණ ආර්ථික අර්බුදය අවසන් කරන්න වසර 13ක් ගියා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 2කින් මේ රටේ ආර්ථිකය සුවපත් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න අවශ්‍ය බව විපක්ෂය ඉල්ලා සිටියා.එම ඉල්ලීම ජනාධිපතිවරයා ඉටු කළාට දැන් විපක්ෂය ඒ සාකච්ඡාවලට අකමැත්ත ප්‍රකාශ කරනවා . ඔවුන් දේශපාලන කුහකකමින් ඉන්නවා. ජනාධිපතිවරයා පෝළිම් යුගය නැති කළා. ඒ නිසා කුහක දේශපාලන පක්ෂය විවිධ අවලාද නගමින් සිටිනවා . නමුත් රටේ "සැබෑව" ජනතාවට පෙන්වා දීමට රට පුරා මෙවැනි රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු කරනවා . එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයත් අද නැවත මේ පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණය ජයග්‍රහණය කිරීමට අප සුදානමින් සිටින බව කිවයුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක :

දිගු කාලයකට පසුවයි මෙවැනි රැස්වීමකට සහභාගී වෙන්නේ. රටේ ආර්ථිකය කඩා වැටුනට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා. එදා රට ආර්ථික අර්බුදයට පත් වුණේ එදා සිටි පාලකයින්ගෙ ප්‍රතිපත්ති නිසයි. රජයේ ආදායම් නිසි ආකාරයෙන් එකතු නොකිරීම, එක රැයකින් පොහොර භාවිතය නැවැත්වීම වැනි කරුණු ඒ සදහා බලපෑවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර ගන්නා විට විදේශ සංචිත ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි තිබුණේ. එයින් ගෑස් ටැංකි ටිකක් පමණයි ගන්න පුළුවන් වුණේ . ඉන්ධන නැවක් ගන්න ඒ මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තාට පසුව තිබුණ විදේශ සබඳතා නිසා ගෑස් , ඉන්ධන මිලදී ගැනිමට හැකි වුණා . ඔබව ජීවත් කරවීමට එතුමා ආර්ථිකය කළමනාකරණය කළා. 2019 රටේ තිබුණ ආර්ථිකය වෙත නැවත මේවන විට රට පැමිණෙමින් තිබෙනවා . අස්වැසුම හා උරුමය වැඩසටහන් නිසා ඔබට අහිමි දේ ලැබෙමින් තිබෙනවා .
අද උතුරේ සංවර්ධනය හා සමගිය ගොඩනැගෙමින් තිබෙනවා . ගුවන් හමුදාවට නිලධාරීන් ලෙස බැදීමට උතුරේ 106 දෙනෙක් ඉල්ලුම් කර තිබෙනවා . සෙසු නිලයන් සදහා තවත් 156 දෙනෙක් අයදුම්පත් යොමු කර තිබෙනවා . ආර්ථික කළමනාකරණය හා ජාතික සමගිය ගොඩනැගීම තුළින් රට උසස් තැනකට ඔසවා තැබිය හැකියි

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් :

මේ අභියෝගය ජනාධිපතිවරයා මට භාරදුන්න වෙලාවෙදි කුලියාපිටියේ තිබෙන ලොකුම ක්‍රීඩා පිටිය මම තෝරාගත්තා. කුලියාපිටියට පැමිණි වැඩිම ජනගග අද මෙහි පැමිණ සිටිනවා . මේ ජනතාව ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාස කර පැමිණ තිබෙනවා.

2019 කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත කඩා වැටෙන්න ජනාධිපතිවරයා ඉඩ තබන්නෙ නැහැ . රනිල් වික්‍රමසිංහ මහතාට බධා කරනවා කියන්නෙ රටට කරන බාධා කිරීමක්. එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් වූ සෑම අවස්ථාවේදි රට අර්බුදවලට මුහුණ දුන්නා. නැවත ආර්ථික අර්බුදයක් ඇති වුණොත් රට ගොඩගැනීමේ වගකීම කිසිවෙක් භාර ගන්න එකක් නැහැ. ඊළඟ එන මැතිවරණය කුමක් වුණත් එය ජයගැනීමට කැපවීමෙන් කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර :

අදුරු කාල පරිච්ඡේදයක් නිමා කර ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. මෙවැනි රැළි පැවැත්වීමට මීට වසර දෙකකට පෙර හැකියාවක් තිබුණෙ නැහැ . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නිවැරැදි ආර්ථික කළමනාකරණය නිසා අද ජනතාව සුරක්ෂිතව ජීවත් වනවා.

එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඈත් වූ සෑම අවස්ථාවකදී රට අර්බුදයට පත් වුණා .එදා රට භාර ගන්න කිසිම නායකයෙක් කටයුතු කළේ නැහැ . ඒ අභියෝගය භාරගෙන රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ වගේම අස්වැසුම හා උරුමය වැඩසටහන යටතේ ජනජීවිත ගොඩනැගීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන :

එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ලෝක වාර්තාව ක් තැබූ පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා 1994 සිටම මේ රටේ අර්බුද ඉදිරියේ සත්‍ය පවසා මැතිවරණ පරාජය වී තිබෙනවා. 2000 වසර වන විට රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට ගත වුණේ වසර දෙකයි.

නමුත් නැවත ජනතාව බොරුවෙන් මුලා කර මඩ ගසා, අවලාද නගමින් මැතිවරණය පරාජය කළා.

2015 ජනාධිපතිවරණයට වෙන අපේක්ෂකයක් ඉදිරිපත් කර ජයගෙන රටේ ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කළා. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා සදහන් කර තිබෙන්නෙ ඩොලර් බිලියන 300 සොයා නොගතහොත් 2022 වනවිට ආර්ථික අර්බුදයක් ඇතිවෙන බවයි. නමුත් එවක පාලකයින් ඒවා ගනන් ගත්තේ නැහැ .

ලෝක ඉතිහාසයේ එක් මන්ත්‍රී ධූරයක් තියාගෙන අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් වූ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යි. ඒ නායකයා ඉදිරි ජනාධිපතිවරණයේ දී නැවත ජනාධිපති කළ යුතුයි. රට සුවපත් කළ ඔබේ අයිතිය සුරකින නායකත්වය ඊළඟ ජනාධිපතිවරණයේ සහාය ලබාදෙන්න.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක :

එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරැණි පක්ෂයයි. මේ රටේ සංවර්ධනයට අපේ පක්ෂය විශාල ලෙස දායක වී තිබෙනවා . එක මන්ත්‍රී ධූරයක් ලබාගෙන ජනාධිපතිවරයා දක්වා යාමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා . 2022 දී මේ රට පත්වී තිබුණ ආර්ථික අර්බුදය නිසා ඉන්ධන ගෑස් පෝළිම් තිබුණා. ජනතාව හැමදාම කාලය ගත කළේ මහ මගයි. ඒ ආර්ථිකය සුවපත් කරන්න රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර ගත්තා. අද වන විට ජනතාවගේ ජීවත්විමේ අයිතිය සුරක්ෂිත කර තිබෙනවා .

හැමදාම ශ්‍රී ලංකාව සිහිනවලට තැන දුන්නා. හැටේ දශකයේ හදෙන් සහල් ගේනවා කිව්වම ඡන්දය දුන්නා. රුපියල් 3.50 පාන් දෙන්නම් කිව්වම ජන්ද ය දුන්නා. අද රටට අවශ්‍ය තරගකාරි ආර්ථික ක්‍රමයක්. ඒ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නැවත රට ආපස්සට තල්ලු කරනවාද, නැතිනම් දියුණුව කරා ගෙන යනවාද කියා ඔබ සිතා බැලිය යුතුයි. ගියවර පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ශිකයන් ලක්ෂ 30ක් නිහඩව සිටියා. ඒ සියලු දෙනා නැවත ජන්ද පොළට ගෙනැවිත් අනෙකුත් පක්ෂත් එකතු කර ගනිමින් ඉදිරි මැතිවරණ සියල්ල ජයග්‍රහණය කිරීමට පෙළ ගැසෙමු කියා මම ඔබට ආරාධනා කර සිටිනවා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර :

එළියට බහින්න බෑ කියලා විපක්ෂයේ අය කිව්වා. නමුත් අද කුලියාපිටියට පැමිණ සිටින ජන ගඟ දෙස බැලු විට ඉදිරි මැතිවරණයේදී නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව පැහැදිළියි.

අද කයියනායකලා රට වටේ බොරු කියමින් යනවා. නමුත් ජනතාව ඇත්ත දන්නවා. මේ අය 88-89 කාලයේදී රට ගිනි තිබ්බා. චන්ද්‍රිකා ජනාධිපතිනිය එක්ක එකතුවෙලා පරිවාස ගැහුවා. 2015දී සිරිසේන ජනාධිපති යටතේ සභාපතිකම් කළා. නමුත් රට වෙනුවෙන් කළ දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විදේශ ශ්‍රමිකයන්ට මුදල් එවන්න එපා කිව්වා. නමුත් එසේ තිබියදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල කැපවීම් ප්‍රශංසනීයයි. මේ රටේ නැවත ටෙස්ට් කරන්න අවස්ථාවක් නැහැ . ආර්ථිකය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති පුටුවට ගෙනඒමට සහාය දෙන ලෙස මම අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

IMG 20240310 WA0008

IMF සාකච්ඡාව : හර්ෂට වාරණයක් : හැබැයි TNA එනවා !

විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග එහි යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහභාගී වීමට නියමිත බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග හෙට (11) දින ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ සදහා අදාළ පක්ෂවලට නිල ආරධනයක් සිදුකර තිබුණ ද මේ වනවිට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඒ සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමකට අනුව ලබාදුන්න ද ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙයි. ඒ සජබ නායක සජිත් ප්‍රේමදාස ඊට විරෝධය පලකර තිබෙන නිසා බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට : සැබෑවේ රැලියේ රවී සැරටම කියයි !

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කරදුන් රට ,1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමුකළ රට 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ බව හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ ඇදවැටී තිබූ රට ගොඩ ගැනීමට කවුරුත් ඉදිරිපත් නොවූ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියෝගය බාරගෙන රට ගොඩනැගූ පසුව විවිධ පාර්ශ්ව රට බාරදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වී ඇති බවද සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ අද (10) කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ " සැබෑව " ජන රැලිය අමතමින්ය .

මෙම ජන රැලිය එක්සත් ජාතික පක්ෂයේ උප නායක , හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සංවිධානය කර තිබූ අතර, එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ නායක මට්ටමේ සියලු දෙනා ඊට සහභාගි ව සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් රැසකගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගොස් තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය .

" දැන් සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ කියලා . එහෙම අහන අය මෙතනට ආවානම් බලාගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා .

2019 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් පරාජය වුනේ ලක්ෂ 13කින්. නමුත් එක්සත් ජාතික පක්ෂය බිදගෙන ගිහින් මහ මැතිවරණයේදී ලබාගත්තේ ලක්ෂ විසි ගණනක් පමණයි . ඒ කියන්නේ එදා ගත්ත ඒ තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිළිගත්තේ නෑ . ඔවුන් කළකිරුණා.

1948 දී ඩී.එස්. සේනානායක නිදහස් කරදුන් රට ,1977 දී ජේ.ආර්. විවෘත ආර්ථිකය සමඟ සංවර්ධන මාවතට යොමුකළ රට 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ ගොඩගැනීමට සමත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් .

එදා ඩොලරය රුපියල් 375 ට ගියා. අද වෙනකොට රුපියල් 307 ට අවප්‍රමාණය වෙලා තියෙන්නේ . හෙට අඅනිද්දා වෙනකොට ඒක දෙසිය ගණනට අඩු වෙනවා. එතකොට ජනතාවට බලාගන්න පුළුවන් ජීවන වියදම අඩුවෙන බව.

එජාපය වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනප්‍රිය තීන්දු ගන්නේ නෑ . රටට අවශ්‍ය මොකක්ද , ඒ වෙනුවෙන් තමයි තීන්දුව ගන්නේ .

බොරුවට ආයුෂ තියෙන්නේ සත්‍ය අනාවරණය වන තුරු පමණයි. දැන් තවත් බොරු කරන්න එපා. නූතන ආර්ථික රටාවට මේ රට ගෙනියන්න ඕන . තරගකාරී ආර්ථිකයක් රටේ ඇතිකරන්න ඕන. කෘෂිකර්මය නවීකරණය කරන්න ඕන . නිෂ්පාදන සහ සේවා අංශය ඔස්සේ ආර්ථිකය ගොඩනගන්න ඕන. ඒ වැඩපිළිවෙළ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරගෙන යනවා. එයින් තමයි රට ගොඩනගන්න පුළුවන් .

ආර්ථික පීඩනයෙන් ඉන්න ජනතාව ලක්ෂ 24 කට, අස්වැසුම දෙනකොට , ඉඩම් ඔප්පු නැති ජනතාව ලක්ෂ 20 කට උරුමය වැඩසටහන හරහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙනකොට, තරුණ ප්‍රජාව ලක්ෂයක් ව්‍යවසායකයන් කරන්න වැඩ කරන කොට අපිට චෝදනා කරනවා අපි පෞද්ගලීකකරණය කරනවා කියලා . ඒකට ද පෞද්ගලීකකරණය කියන්නේ .

2019 දී රාජ්‍ය ආදායම් අහිමිවන ආකාරයට තීන්දු තීරණ ගන්නකොට අපි කිව්වා රටට මෙහෙම වෙයි කියලා . අපි කියූ දේ ඔප්පු වුනා. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔප්පුකර තිබෙනවා, අර්බුදයෙන් ගොඩ යන්න වගේම රට සංවර්ධනය කරන්න පුළුවන් කාටද කියලා . ඒ මග ඔස්සේ ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්වෙමු.

IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි !

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් අද (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක් විය.

ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය 1997 වසරේදී ස්ථාපනය වූ අතර මෙම වසරේ සමරනු ලබන්නේ එහි 27 වැනි සංවත්සරයයි.

කඩොලාන පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සිදු කළ මුලපිරීම් හේතුවෙන් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛතා ප්‍රතිනිර්මාණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය සහ එහි තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින ප්‍රමුඛතම රටක් බවට පත්ව ඇති මේ මොහොතේ “IORA” දින 2024 සැමරුම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සුවිශේෂී වේ.

ක්‍රියාකාරකම් රැසක් සමඟ පාසල් සිසුන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණු අතර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි පාසල් සිසුන් සමඟ සුහද කතා බහකට එක්වූ ජනාධිපතිවරයා සංගමයේ සාමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මෙරට රාජ්‍ය ආයතන විසින් ස්ථාපිත කර තිබු ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉදිරිපත් කළ පැරිෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වු අතර ශ්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක අංශය විසින් ඉදිරිපත් කරනු ලැබු අශ්වාරෝහක සංදර්ශනයක්ද පැවැත්විණි.

“අනාගත පරම්පරාව වෙත තිරසාර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” මැයෙන් ජාතික වශයෙන් සහ පලාත් වශයෙන් පැවැත්වූ චිත්‍ර- රචනා තරගයේ සහ සමාජ මාධ්‍ය තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

එසේම 2024 වසරේ ඉන්දීය සාගර වට අද්දර සංගමයේ 27 වැනි සංවත්සරය සමරමින් සාගර ජීවින්ගේ හැඩයෙන් යුත් අලංකාර සරුංගල් අහසට මුදා හැරීම ද සිදු විය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ මහලේකම් සල්මාන් අල් ෆාරිසි, සාමාජික රටවල තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව පැමිණ සිටි සියලුම පාසල් දරුවන්ට ඉන්දියන් සාගරය පිළිබඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ලංකාදේවී” බෝට්ටුව ආධාරයෙන් මුහුදු චාරිකාවකට එක්වීමට ද අවස්ථාව සලසා දී තිබිණ.

IMG 20240310 WA0004

IMF සාකච්ඡාව ප්‍රතිකේෂ්ප කර : සජිත් ආයෙත් පැන යයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන්ට මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බව වාර්තා වෙයි .

විපක්ෂ නායකයා ගේ මේ තීරණය ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී සජ් ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේ ය.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ද ඔහු පැවසිය.

මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආකාරයට විපක්ෂ නායක ගේ අදහස වී ඇත්තේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව ය.

කෙසේ වුවත් මේ සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සූදානම් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී මුදල් කාරක සභාවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ය.

මෙහිදී විපක්ෂ නායක සජිත්‍ට තමන් සමග ඕනෑම නියෝජිතයකුද ඒ අවස්ථාව සඳහා එක්කර ගැනීමට අවස්ථාව සලසාදී තිබිණ .

මේ සම්බන්ධයෙන් වන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජිත්ගේ නවතම ආර්ථික උපදේශක වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ උපදේශක වූ නාලක ගොඩහේවා බැවින් , සජබ තිබෙන අභ්‍යන්තර අර්බුදය එළියට ඒම වලක්වා ගැනීම සඳහා මෙම අවස්ථාව වර්ජනය කිරීමට තීන්දු කර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් කිසිසේත් අභියෝග සඳහා මුහුණ නොදෙන බව මේ හරහා යළිත් තහවුරු කර ඇති බව දේශපාලන විචාරකයන් ගේ ද මතය වී තිබේ.

එසේම ජවිපෙ ප්‍රමුඛ මාලිමාව පක්ෂයේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ කිහිපදෙනෙකු ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසාදී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව යාපනයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබා දීම 2024 මාර්තු 10 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ 24 වැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් කටටි පහක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් කට්ටි හතක් ඇතුළුව අක්කර 109.56ක් ඒවාහි මුල් අයිතිකරුවන්හට ආපසු ලබා දෙන ලදී.

මේවන විට යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම්වලින් ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන 0.5% ඉතාකුඩා ඉඩම් ප්‍රමානයක් පමනක් හමුදාව විසින් භාවිතා කරනු ලබයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ගේ පූර්ණ් අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ‍, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික්ක දෙකෙහිම දිසාපතිවරු මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

රම්‍යා වනිගසේකරට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත අද (10) දහවල් පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සහෘද කලාකරුවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

භාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

පවතින කාලගුණය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

මේ දිනවල  පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්  අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි සඳහන් කළේ , ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1939  දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

සා.පෙළ/ උ.පෙළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සැලසුම්

11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්  පවසයි.

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. 

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

එසේම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්  සඳහන් කළේ ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.

 

IMF සමඟ කෙලින් කතාවට : ජනපති අනුරට සජිත්ට දින දෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ කැමති ඕනෑම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තවද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ද මේ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ඉල්ලීමක් කර තිබු අතර, රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයාගේ ද ස්ථාවරයයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.

කාන්තා දිනයට ජනපතිගෙන් කඩනොවන පොරොන්දුවක් !

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ(07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක් ස්ථාපිත කරන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් පුහුණු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය

මෙතෙක් අපේ රටේ කාන්තා දින සැමරුම් උත්සවවලදී සිදු වූයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කර විසිර යාම පමණක් වුවත්, කාන්තා අයිතිවාසිකම් කතාවට පමණක් සීමා නොකළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය නීති සහ අණ පනත් ගෙන ඒමේ කටයුතු රජය මේ වන විට සිදු කරමින් සිටින බවද කියා සිටියේය.

මෙම සියළු කටයුතු පිළිබඳ ජාතික වගකීමක් ලෙස සළකා රට පුරා කාන්තාවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොමැතිව මෙම නීති සහ අණ පනත් ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවන බව ද පැවසීය.

2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය “ඇයට ශක්තිය- දැයට ප්‍රගතිය” තේමාව යටතේ අභිමානවත්ව පැවැත්වුණු අතර දිවයින පුරා කාන්තා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයන්ට අදාල මාර්ගෝපදේශය සහ කාන්තා කාර්ය සංවිධාන සහ කාන්තා බල මණඩල ව්‍යවස්ථාව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රදානය කළාය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වෙත ත්‍රිරෝද රථ, පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සංකේතාත්මකව පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණි.

තවද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද සිදු විය.

නියාමනය නොකල අංශවලින් ලබා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් නිදහස් වීම වෙනුවෙන් ලබා දෙන “ලිය සවිය” ණය වැඩසටහන යටතේ ණය ලබා දීම සංකේතාත්මකව ආරම්භ කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

එසේම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ බෝල වලාන යහපත් එඬේරා කන්‍යාරාමය මඟින් පවත්වන ලද හෙද සත්කාර සේවා වෘත්තීය පුහුණු පාඨමාලාව NVQ 3 මට්ටම සාර්ථකව හදාරනු ලැබූ තරුණියන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ දී අපේ රටේ සිදු වන්නේ උත්සවයක් පවත්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කථා කර නැවත නිවසට යාමයි. වාර්ෂිකව එය සිදු වෙනවා. නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබෙනවා. මෙම කාන්තා හඬ නැඟීම ක්‍රියාත්මක කිරිමට අප තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මම පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය මුණ ගැසුණු අවස්ථාවේ කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය පනත් සකස් කර දෙන ලෙස දන්වා සිටියා. ඒ අතරින් වැදගත්කම පනත් දෙකක් දැන් සකස් කර තිබෙනවා. ඉන් එකක් නම් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතයි. ඒ සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණයි. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී එය විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම කොමිසමට භාර දීම සිදු වෙනවා.

මෙම කෙටුම්පත ඊයේ අප ගැසට් මඟින් නිවේදනය කළා. ඒ වගේම එළැඹෙන සතියේ තවත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනවා. ඒ තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත.

මේ මඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන අතර සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු වෙනවා.

ඒ වගේම විෂයභාර අමාත්‍යවරයාගේ බලතල සමඟ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, එම ආයතනය මඟින් අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන ප්‍රශ්න විසදා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කළ විට කාන්තාවන් වෙනුවෙන් ශක්තිමත් ආයතන දෙකක් ඇති වෙනවා. දැන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කතාවට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. වසර ගණනාවක් අප එය සිදු කළේ නැහැ. අද අපි එම වැඩකටයුතු කරගෙන යනවා.

මේ පිළිබඳ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට මම පාර්ලිමේන්තවේ කාන්තා සංසදයට භාර දෙනවා. අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව අපට එම සංශෝධන දැනුම් දිය යුතුයි. පසුව මැයි මාසයේදී මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙතනින් මෙම කටයුතු අවසන් වන්නේ නැහැ. අප හඳුන්වාදුන් මෙම පනත් දෙක අපේ කලාපය තුළ හඳුන්වාදී තිබෙන්නේ පළමු වරටයි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවන් පනත් ක්‍රියාත්මක වනු ඇතැයි මම සිතන්නේ නැහැ.

ඉන් පසුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් එය සකස් කර තිබෙන අතර භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සාකච්ඡා කර එම කෙටුම්පතත් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය ආසියාව තුළ සිදුවන්නේ පළමු වරටයි.මෙය දැනට සිදු කර ඇත්තේ කැනඩාව ඇතුළු රටවල් දෙක තුනක පමණයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ මම විපක්ෂනායකවරයාව සිටියදී වාර්තාවක් සකස් කළා. අප 2018 වසරේදී මෙය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණද එය කිරීමට නොහැකි වුණා. ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමග එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පාර්ලිමේන්තුවේ කාන්තා සංසදය කැඳවා මේ පිළිබඳවත් සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් ඒ සමඟ මෙම නීතිය ගෙන ඒමටත් අප පියවර ගන්නවා. මේ තමයි අප කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇති මුලික පියවර.මීට අමතරව තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශය ඉදිරිපත් කිරිමට අද කටයුතු කර තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

ලෝකය මත වැදගත්ම භූමිකාව මවන්නේ කාන්තාවයි. ඇයට එක් දිනකට පමණක් සීමා නොවී වසරේ දින 365 තුළදීම ගෞරවය මෙන්ම ශක්තිය ලබා දිය යුතුයි. කාන්තාවට දෙපයින් නැඟී සිටීමට ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

අද රටේ විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපය අවසන් කර විවාහ වීම සහ දරුවන් ලැබීමෙන් අනතුරුව ඔවුන්ගේ ගමන නතර වෙනවා. දරුවන් බිහි කරමින් මව්වරුන් බවට පත් වීම මිල කළ නොහැකි වටිනාකමක්. නමුත් ඔවුන්ගේ ගමන එතැනින් නතර විය යුතු නැහැ.

අපේ රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන්නේ කාන්තාවන් බව ආඩම්බරයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම කෘෂි කර්මාන්තයේත්, ඇඟලුම් කර්මාන්තයේත් වැඩිම දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන්. මේ රටේ 52%ක් කාන්තාවන් වුවත් ඔවුන්ගේ දේශපාලන දායකත්වය 6%ක් පමණයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කාන්තාවන් 13 දෙනකු පමණයි. අනාගතයේදී මේ තත්ත්වය වැඩි කළ යුතුයි. රටක දේශපාලනය වගේම ආර්ථිකයත් වෙනස් කරමින් අනාගතය විසඳන්න කාන්තාවට හැකියාව තිබෙනවා.

මේ තත්ත්වය වටහා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාන්තාව වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක්ම ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර කාන්තා දිනයේදී කාන්තා ඔබට නීතියේ බලයත් රැකවරණයත් හිමි වෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මිය විසින් මෙහි ආරාධිත දේශනය සිදු කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, පවිත්‍රා වන්නිආරච්චි, මනූෂ නානායක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පස්කුවල්, සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කොළඹ හිටපු පුරපතිනි, පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක යන මහත්ම මහත්මීන්, විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස් වරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් සංවිධානවල නියෝජිතයන්, දිවයින පුරා කාන්තා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 08 at 16.13.04

Page 69 of 440