විදෙස්

තමිල්නාඩුවේ දරුණු දුම්රිය අනතුරක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙනි.
එම අවස්ථාවේ මගී දුම්රිය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 1360කි.
අනතුරින් දුම්රිය මැදිරි 12ක් පීලී පැනීමට ලක්ව, මෝටර් රථයක් ද ගිනි ගෙන තිබේ.
ඒ හේතුවෙන් තමිල්නාඩුව හරහා ධාවනය වීමට නියමිත දුම්රිය 18 ක් අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තායිවානයේ භූකම්පනයක්
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසින් සටහන් වී තිබෙයි.
තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

‘මිල්ටන්‘ෆ්ලොරිඩාවට පහර දෙයි
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ ”මිල්ටන්” සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.
මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිල්ටන් සුළි කුණාටුව මේ වන විට අත්ලාන්තික් සාගරය හරහා හමා යමින් පවති.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට තවමත් ගංවතුර තත්වය බලපා ඇති බව වාර්තාවේ.
නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 30 ක පමණ විදුලිය විසන්ධි වී පවතී.
ඉදිරි දිනවල ගංවතුර තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර ටොනේඩෝ, සහ ගංවතුර බලපා ඇති ප්‍රදේශවලට නොයන ලෙස එහි නිවැසියන්ට උපදෙස් දී තිබේ.

බ්‍රසිලයේ ගුවන් යානා අනතුරකින් 61ක් ජීවිතක්ෂයට
බ්‍රසිලයේ සාඕපාවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටිමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබේ.
ද්විත්ව එන්ජින් සහිත මෙම ගුවන් යානයේ දකුණු ප්‍රාන්තයේ කැස්කැවෙල් සිට සාඕපාවුලෝ නගරයේ ගුවන් තොටුපලක් දක්වා පියසර කරමින් තිබියදී වින් හෙඩෝ නගරයට කඩා වැටි ඇතැයි වෝපාස් ගුවන් සේවය පවසයි.
ගුවන් යානය සිරස්ව පහතට වැටෙන ආකාරය සමාජ මාධ්‍යවල දැක්වේ.
යානය කඩා වැටෙන අවස්ථාවේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු සිට ඇත. ප්‍රාදේශිය බලධාරින් සදහන් කළේ දිවි ගලවාගත් නොමැති බවයි.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මරුට
ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද(28) නිවේදය කර ඇත.
ඊට පැය කිහිපයකට පසුව හිස්බුල්ලා සංවිධානය ද ඒ බව තහවුරු කර ඇත.
ඊයේ(27) රාත්‍රියේ ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කළ ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ මිසයිල ඒකකයේ අණදෙන නිලධාරි මුහම්මද් අලි ඉස්මයිල් හා රොකට් ඒකකයේ ප්‍රධානී ඊබ්‍රාහිම් මුහම්මද් කබිසි ද මියගිය බව ඊශ්‍රායල හමුදාව සදහන් කර ඇත.
එහිදී සඳහන් වී ඇත්තෙ මිසයිල සහ රොකට් ඒකකවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.
පසුගියදා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ඇතුළු බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුහම්මද් අලි ඉස්මයිල් වගකිව යුතු බව ඊශ්‍රායල හමුදාව නිවේදනයක කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් පලස්තීනයට සහාය දක්වන අතර ඊශ්‍රායෙලයෙන් පලිගන්නා බවටයි.
ලෙබනනයට මේ ප්‍රහාරට එල්ල කිරීමට පැය කිහිපයකට පෙර ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.
ඔහු සිය කතාව ආරම්භ කරන විටම අරාබිකරයේ රටවල් ඇතුළු පලස්තීණයට සහාය පල කරන රටවල් ගණනාවක නියෝජිතයින් සභාවෙන් පිටව ගොස් ඇත.
අනතුරුව අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
''මම මේ වසරේ මෙහි පැමිණීමට අදහස් කළේ නැහැ. මගේ රට යුද්ධයක, ජීවිතය වෙනුවෙන් සටන් කරනවා. නමුත් මෙම වේදිකාවේ බොහෝ කථිකයන් විසින් මගේ රටට කරන බොරු සහ මඩගැසීම් මට ඇසීමෙන් පසු මම මෙහි පැමිණ වාර්තාව නිවැරදි කිරීමට තීරණය කළා. මම මෙතැනට එන්න තීරණය කළේ මගේ ජනතාව වෙනුවෙන් කතා කරන්න. මගේ රට වෙනුවෙන් කතා කරන්න, සත්‍යය වෙනුවෙන් කතා කරන්න. මෙන්න ඇත්ත: ඊශ්‍රායලය සාමය සොයනවා. ඊශ්‍රායලය සාමය සඳහා ආශා කරනවා. ඊශ්‍රායලය සාමය ඇති කර අතර නැවත සාමය ඇති කරන්නත් බලාපොරොත්තුවෙනවා. එහෙත් අපගේ විනාශය සොයන ම්ලේච්ඡ සතුරන්ට අප මුහුණ දියයුතුයි. ඔවුන්ගෙන් අපි ආරක්ෂා විය යුතුයි.

ජපානයේ ප්‍රබල භූකම්පනයක්
දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් ව තිබෙයි.
ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.
මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර කර ඇත.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය කටයුතු කර ඇත.

ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි
හැරී පොටර් චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවූවාය.
ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.
ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.
බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.

අධික වර්ෂාව හේතුවෙන් කේරළයේ නාය යෑම්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නාය යෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයන් 220 දෙනෙකු තවමත් අතුරුදන් බව ඉන්දීය නිලධාරීන් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනේ වයනාද් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ඊයේ මෙම නාය යෑම් වාර්තා වූ බවයි.
මේ වනවිට ඉන් පුද්ගලයින් 128 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් පුද්ගලයින් සිය ගණනක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කේරළ ප්‍රාන්තයට පසුගිය දින දෙක තුල මිලිමීටර 572ක වර්ෂාපතනයක් ලැබී ඇත.
කෙසේ නමුත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබුනේ, මිලිමීටර 64ත් 200ත් අතර වර්ෂාපතනයක් ඇතිවෙන බවටයි.
ඉන්දීය හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය විපතට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් පවතී.

ජපානයට නව අගමැතිවරයෙක්
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය.
අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේ දී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.
පක්ෂ නායකත්ව ඡන්ද විමසුමෙන්, සානේ ටකායිචී ට ජයග්‍රහණය කිරීමට හැකි වූවා නම්, ඇයට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩ තිබුණි.

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාලයේ කත්මණ්ඩු අගනුවරින් අද (ජූලි 24) ගමන් ආරම්භ කර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් ව ඇත.
එරට වේලාවෙන් උදෑසන 11:15ට පමණ අනතුර සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරින් ගුවන් නියමුවා පමණක් දිවි ගලවා ගෙන ඇති බව ත් ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ත් ය.
සෞර්යා ගුවන් සේවයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, පරීක්ෂණ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානය කඩා වැටී ගිනි ගෙන ඇති බව ය.

නයිජීරියාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 64ක් මරුට
වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ ගංගාවක පාරුවක් පෙරලීමෙන් පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් තිබේ.ගොවීන් 70 දෙනෙකු රැගත් පාරුවක් එලෙස පෙරලී ඇති බවයි.
අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගොවීන් 900 කට වැඩි පිරිසක් දෛනිකව තම ගොවිබිම් වෙත ප්‍රවේශ වීම සඳහා මෙම ගඟ තරණය කරන බව ද වාර්තා වේ.

බයිඩ්න් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි !
යෝජිත ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩ්න් පවසා තිබේ.
වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තුළින් විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.
ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර
රුසියාව විසින් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
එම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
යුක්‍රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි සිටි කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරි මයිකොලා ඔලෙෂ්චුක් පවසන්නේ රුසියාව විසින් මිසයිල 127ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 109ක් එල්ල කර ඇති බවයි.
කෙසේවෙතත් ඉන් මිසයිල 102ක් සහ ඩ්‍රෝන යානා 99ක් යුක්‍රේනය විසින් බිම හෙලූ බවද යුක්‍රේන ගුවන් හමුදා අණ දෙන නිලධාරියා පවසයි.

වේගයෙන් ආසාදනය වියහැකි වෛරසයක් ගාසා තීරයෙන් හමුවේ !
ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි.
මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති බවයි.
එම පෝලියෝ වෛරස ප්‍රභේදය VDPV2 ලෙස හඳුනා ගෙන ඇති අතර පසුගිය මාසයේ ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථානවලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බව සඳහන් වේ.

පාකිස්තානයේ බස් රථ අනතුරක්
පාකිස්තානයේ සිදුවූ බස්රථ අනතුරකින් 37 දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට අසාද් පතාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
අනතුරෙන් මියගිය අය අතර පිරිමි පුද්ගලයන්, කාන්තාවන් සහ ළමයින්ද සිටින බව පාකිස්තාන බලධාරීහු පැවැසූහ.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 70ක් පමණ බස් රථයේ ගමන් කරමින් සිට ඇත.
දැනට ඇති සාක්ෂි අනුව බස් රථය මිටියාවතකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව පාකිස්තාන බලධාරීහු ප්‍රකාශ කළහ.
කෙසේ නමුත් තවමත් බස් රථ අනතුර සිදුවීමට හේතුව කුමක්දැයි අනාවරණය වී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් පාකිස්තාන බලධාරීහු පැවැසූහ.

මයික්‍රසොෆ්ට් බිද වැටෙයි
ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිවල බිඳවැටීමක් සිදුව තිබේ.
ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද සදහන් වේ.
මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කළේ මධ්‍යම එක්සත් ජනපද කලාපයේ එහි ක්ලවුඩ් සේවා සමඟ ඇති ගැටළු පිළිබඳව විමර්ශනය කරන බවත් එය ලොව පුරා සේවාවන්ට බාධා ඇති කර ඇති බවත්ය.
මෙම තත්වය මෙරටත් ආයතන කිහිපයකට බලපා ඇතැයි පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය සදහන් කරයි.

රුසියාවේ භූමිකම්පාවක්
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.
රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ.
පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබේ.
මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා රහස් ඔත්තු සේවා සාමාජිකයෙකුගේ වෙඩි ප්‍රහාරවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත්තේ, වෙඩි තැබීමෙන් මැතිවරණ රැලියට සහභාගී වූ පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී බරපතළ තුවාල සිදු වී ඇති බව ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කරනු ඇත.
Page 3 of 13