පුවත්
වාසුදේවගේ පක්ෂයේ නායකත්වය නිරෝෂාන් ට !
මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර නායකත්වය දැරූ 'ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ' නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න තෝරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් මෙම නව නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න වෙත පිරිනමා ඇත.
එහිදී ඔහු පවසා සිටියේ තරුණයෙකුට සිය පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගනුලැබූ බවයි .
එසේම තමන්ට පක්ෂයක් ඇති නමුත් ජනතාව නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය .
නිරෝෂාන් ප්‍රේමරත්න ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ ඊයේ (16) පැවති පක්ෂ සම්මේලනයේදීය.
මේ ආකාරයට ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය ලද නිරෝෂාන් ප්‍රේමරත්න මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ 'ජාතික නිදහස් පෙරමුණ' නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
මේ වෙලාවේ රනිල් තමයි : රනිල් කැම්පේන් අරඹයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්රචාරක මෙහෙයුම හෙට (18) සිට ආරම්භවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්රචාරක මෙහෙයුමේ ආරම්භක වැඩසටහන 'මේ වෙලාවේ රනිල් තමයි' යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත ය.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරණය කඩිනම් කරන්න : එජාපයෙන් මැකොස ට ඉල්ලීමක් !
යෝජිත ජනාධිපතිවරණය පැවැත්විය හැකි කෙටිම කාල සීමාව තුළ පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම වෙත දැනුම්දී ඇත.
ඒ මැතිවරණ කොමිසම සහ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් පිරිසක් සමඟ අද (17) පැවති සාකච්ඡාවකදී ය.
අදාළ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය අමතමින් එජාප නියෝජිත පිරිස සඳහන් කර සිටියේ , ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි කෙටිම කාලසීමාව තුළ එය පැවැත්වීමට කටයුතු කරන ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලා සිටි බවයි.
ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව එහිදී සඳහන් කළ බවද ඔවුන් පැවසීය .
මෙහිදී මාධ්‍යවේදියකු යැයි කියාගත් අයෙකු විසින් ජනාධිපතිවරණය පැවැත්වීම පමා කිරීමට එජාපය සූදානම් වන බව පවසමින් සංදර්ශනයක් දියත් කිරීමට ප්රයත්න දැරූවද, එජාප නියෝජිත පිරිස පවසා සිටියේ මාධ්‍ය වෙස්ගත් දේශපාලන ව්‍යාපෘති වලට ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් නොමැති බවයි.
විදුලි බිල වගේම ජල බිලත් අඩුවෙන ලකුණු !
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය.
එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙසේද පැවසීය,
විදුලි බිල අඩු කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය කාංචන විජේසේකර මහතාට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. ජල සම්පාදනය ද විදුලි ගාස්තුව මත රඳා පවතින ක්ෂේත්රයක්. එම නිසා මෙම විදුලි ගාස්තු සංශෝධනය ජල ගාස්තුව අඩු කිරීමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.
ජල සම්පාදනය විවිධ සාධක මත රඳා පවතිනවා. විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට අප කලින් පොරොන්දු වී තිබුණා. මේ වන විට අමාත්‍යාංශය විදුලිය මත පමණක් නොව පොලී අනුපාත 26% සිට 11% දක්වා අඩු වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ ඩොලරයේ අගය මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයන් ආනයනය කිරීමේදී ඒවායෙහි මිල තීරණය වන්නේ ඩොලරය මත බව ද පැවසිය යුතුයි.
මෙම සතිය ඇතුළත ජල ගාස්තුව කොපමණ ප්‍රමාණයකින් අඩු කළ හැකිද යන්න තීරණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. 2023 ජනවාරි මාසයේ මා මෙම අමාත්‍යාංශය භාර ගන්නා විට එය පැවතියේ නව ජල සම්බන්ධතා 1000ක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයකයි. ඒ වගේම මට එදා පැවරුණේ ඩොලර් මිලියන 800ක ණය බරක් සහ දළ වශයෙන් රුපියල් බිලියන 2.8ක මාසික පාඩුවක් ලබන ජල සම්පාදන මණ්ඩලයක් සහිත අමාත්‍යාංශයක්. එසේම මාසිකව රුපියල් බිලියන 4.5ක පුනරාවර්තන වියදමක් දරන ජල සම්පාදන මණ්ඩලය රටට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණා.
අද වන විට අප ලබාදුන් පොරොන්දු ඉටු කර තිබෙනවා. මේ වන විට නව ජල සම්බන්ධතා ප්‍රමාණය 113,000ක් දක්වා වර්ධනය කර තිබෙනවා. තවත් සම්බන්ධතා 30,000 ක් පමණ ඉදිරි සතිවලදී ලබාදීමට අප අපේක්ෂා කරනවා.
ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලැබූ රුපියල් බිලියන 2.8ක අලාභය මේ වන විට රුපියල් බිලියන 6.2ක මාසික ලාභයක් බවට පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. තවද රුපියල් බිලියන 4.5 ක පුනරාවර්තන වියදමක් සහිතව, ඉතිරි මුදල් ප්‍රමාණය ණය සේවාකරණය සඳහා යොදා ගනිමින් ජල සම්පාදන අංශය තිරසර මට්ටමට ගෙනවිත් තිබෙන බවද සඳහන් කළ යුතුයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා අපි ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. ඒ හා සමානව, ජල සම්පාදන ක්ෂේත්රය සඳහා, අප උප වැඩසටහනක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවල අවසන් නිකුතු දෙක වන ජල ගාස්තු සූත්‍රය සහ ආයෝජන රාමු නිර්ණායක සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු තවත් ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව, ජල ගාස්තු ගෙවීමේදී අවදානමට ලක්විය හැකි සහ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ග කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතනවලට සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
වෙන්ඩ ජනපතිලා සහ හිටපු ජනපතිවරුන් රකින්න : කැබිනට් යෝජනාවක් !
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට යෝජනා කර තිබේ.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) නම් කිරීමට යෝජනා කර තිබේ.
තවද, ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු මට්ටමේ පොලිස් නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට ද යෝජනා කර ඇත.
මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් ය.
ජනාධිපතිවරණයට මුදල් සූදානම් : ජන්ද දිනය කියන දිනය මෙන්න !
ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක ට අද (17) දැනුම්දී තිබේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී අවශ්‍යතාව ඇතිවන ආකාරයට මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාන්‍යයෙන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර දීර්ඝව සාකච්ඡා වූ බවත් වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි 1000 කි.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30 හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසීය.
එම දිනය සම්බන්ධයෙන් කොමිසම සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බස්නාහිර පළාතට කරන්න යන දේ රන්දොර ඔප්පු ප්රදානයේදී ජනපති කියයි
බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ (17) පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනට එක්වෙමිනි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්රදානය කිරීම අද සංකේතවත්ව සිදු විය.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
අද ඔබේ එක ප්‍රශ්නයක් විසඳී තිබෙනවා. තමන්ගේ නිවසේ සින්නකර අයිතිය ඔබට ලැබී තිබෙනවා. නිවසක අයිතිය නැති වීම ජනතාවට විශාල ගැටළුවක් බව අප දන්නවා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් ලෙස එහි ජනතාවගේ ගැටළු පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා.
අපි ආණ්ඩුව භාරගත්තේ ඉතා අසීරු කාලයක. පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙම ජනතාව විශාල පීඩාවකට පත් වුණා. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ඔබ විශ්වාස කළා. එම විශ්වාසය නිසාම එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. අප කෙරෙහි විශ්වාසය තබමින් ඉවසීමෙන් කටයුතු කළ ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.
අද රට ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනවා. මෙම ආණ්ඩුව එක පක්ෂයකින් ගොඩනැඟුවක් නොවෙයි. ඇතැම් අය වගකීම් පැහැර හරින විට ඉතා හදිසියේ එක් එක් පක්ෂවලින් පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව නිර්මාණය කළා. මීට පෙර මේ රටේ මෙවැනි ආණ්ඩුවක් තිබුණේ නැහැ.
රටක් වශයෙන් අප අද ගොඩනැඟෙමින් සිටින අවස්ථාවේ එහි ප්‍රතිලාභය සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතුයි. මෙම මහල් නිවාසවල පූර්ණ අයිතිය ඔබට ලබාදීමට කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි. අපි දැන් රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් තවත් ඉදිරියට යා යුතුයි. ජනතාවට හොද ජීවන තත්ත්වයක් ඇති කර දිය යුතුයි.
මේ ආණ්ඩුව ඉටුකර තිබෙන්නේ වෙනත් කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩකටයුත්තක්. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අයිතිය ලබා දී තිබෙනවා. අපි මේ රටේ අයිතිය පුළුල් කර තිබෙනවා. අනෙකුත් ආණ්ඩු අයිතිය දෙස බැලුවේ කොටස් වෙළෙඳපොළේ පමණයි. ඔවුන් බැලුවේ කී දෙනෙක් කොටස් ගන්නවද, කොටස් වටිනාකම වැඩි වෙනවද, අඩු වෙනවද කියලයි. නමුත් අපි බැලුවේ සාමාන්‍ය ජනතාව දෙසයි.
මේ රටේ ගොවි ජනතාව පසුගිය කන්නවලදී අපට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. එසේ නොමැති වූවානම් අපට මෙම ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ගේ ඉඩම් අයිතිය තහවුරු කළයුතුයි. අප මෙතෙක් කාලයක් එම ජනතාවට ඉඩම් අයිතිය දුන්නේ නැහැ. මෙතෙක් සිදු වුණේ බලපත්‍ර ලබාදීම පමණයි. දැන් අප ඉඩම් අයිතිය ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ කාලය අවසන් වන විට ලක්ෂ 20කට වඩා ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට සහ තට්ටු නිවාසවල ජීවත්වන ජනතාවට එම නිවාසවල අයිතිය ලබාදීමට කටයුතු කරනවා. එවිට මේ රටේ ඉඩම් සහ නිවාස අයිතිය තිබෙන ජනතාවගේ ප්‍රමාණය වැඩි වෙනවා. අප සිදු කර තිබෙන එම විප්ලවය කිසිදු ආණ්ඩුවකට කිරීමට නොහැකි වූවක් බව කිවයුතුයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කළේ මේ රටේ ජනතාවට සහනයක් ලබාදීමටයි.
ඒ වගේම වතු ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ අදාළ මන්ත්‍රිවරුන් කැඳවා මම සාකච්ඡා කළා. අලුත් නීතියක් සකස් කර සියලුදෙනා සමග සාකච්ඡා කරමින් එම වැඩකටයුතු ක්‍රියාත්ම කරන ලෙස මම එහිදී උපදෙස් දුන්නා.
ගමත්,නගරයත් වැවිලි ප්‍රදේශ යන තුනේම සියලු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩසටහන වන බවද කිවයුතුයි. රට තුළ වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප එතනින් ආරම්භ කරමු.
මේ මහල් නිවාස ඉදිකිරීම සඳහා හිටපු නායකයන් තුන් දෙනෙක් විශාල කැප කිරීම් කළා. ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා බම්බලපිටියේ පළමු මහල් නිවාස සංකීර්ණය ඉදි කළා. ඉන්පසුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ විශාල මහල් නිවාස ව්‍යාපෘති ඇතිකළා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මේ තිදෙනාට ඒ සම්බන්ධව ස්තූතිවන්ත විය යුතුයි. අද මේ ඔබට ලබාදෙන සින්නක්කර නිවාස ඔප්පුවල වටිනාකම තව වසර දහයකින් දෙගුණයක් වෙනවා. එම නිසා මෙම දේපළ නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න කියා මම ඉල්ලා සිටිනවා.
අද ඔබට ලැබෙන ඔප්පුව උකස් කරන්න එපා. තව අවුරුදු 10 කින් කොළඹ දියුණු වෙනවා. බස්නාහිර පළාත ලක්ෂ 50ක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී රජයේ ඉඩම්වල තිබෙන පැරණි ගොඩනැගිලි ඉවත් කරනවා. ඒ වගේම මේ පළාතේ නව වරායක් ඉදිකළ හැකියි. ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ඇතුළු කණ්ඩායම දැනටමත් එම වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම කොළොන්නාව ප්‍රදේශයේ අලුතින් පාසල කිහිපයක් ඉදිකිරීමට අප තීරණය කළා. අප එම වැඩපිලිවෙල ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන , කතානායක මහින්ද යාපා අබේවර්ධන , අමාත්‍ය ප්‍රසන්න රණතුංග , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක , හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට
කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී.
2021 අගෝස්තු මස 16 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි.
මේ සඳහා රුපියල් මිලියන 3599 ක් වැය වී ඇත.
පොහොට්ටුවේ මහ ලේකම් ප්රමුඛ සුළුතරය හැර අනිත් සේරම රනිල්ට - ඇමති ප්‍රසන්න
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ විසින් වෙනම අපේක්ෂකයෙකු පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිටින්නේ පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ඉතා සුළු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
පොදුජන පෙරමුණේ දැනට ඉතිරී සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදුනහොත් ඔවුන් පුද්ගලික මට්ටමෙන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.
දැනට පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී නියෝජිතයන් සමඟ කරන සාකච්ඡාවලදී ද ඔවුන් බහුතරයක් ද ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට අපේක්ෂකත්වය දිය යුතු බව යැයිද පැවසූ අමාත්‍යවරයා, ජූලි 21 ගම්පහ පැවැත්වීමට නියමිත " එක්ව ජයගමු - අපි ගම්පහ " රැලිය ඊට සාක්ෂි දරනු ඇති බවද සඳහන් කළේය .
රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළ හරි : රාජිත සියලු බලමණ්ඩල කැඳවා දැනුම් දෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පැවසීය.
එදා කවුරුත් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි කියාද මන්ත්‍රීවරයා ප්‍රශ්නකර සිටියේය.
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ අදහස් දක්වා සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සජීව දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී ය.
සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා යුද්ධ වෙලාවේදී තමා එදා ආණ්ඩුවට ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද ප්‍රකාශ කළේය.
“ ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ තීන්දුවක් නෑ. තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම ආපහු කැඳවනවා කියලත් කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් තමන් පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය .
තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කළේය.
ප්රශ්නය – ඔබතුමා මේ වෙද්දි තීරණයක ඉන්නවා නේද අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට ජනාධිපතිවරණයේ දී සහාය දෙනවා කියලා.
පිළිතුර – “ඒක තාම එතුමා මාත් එක්ක කතා කරලාවත් නෑ. දැන් එදා ඔය විදියටම මහින්ද රාජපක්ෂලත් සහයෝගය නොදී මේවා සංශෝධනය කර කර හිටියා නම් මොකද්ද ප්රභාකරන්ට වෙන්නේ.”
ප්රශ්නය – මෙතෙන තියෙන්නේ ඔබ නොකියන ප්රශ්නය. ඔබතුමාට කවුරු හරි කිව්වාද දැන්ම ඔබේ නිවේදනය කියන්න එපා රටට කියලා.
පිළිතුර – “මේ ඔක්කෝම කිව්වා වගේ වේලාවල් බලලා. මගේ නිවේදනයක් තියෙනවා නම් ඒක නිවේදනය කරන්නෙත් වෙලාව බලලානේ.”
ජනාධිපතිවරණය පැවැත්වීම : මැකොස ට බලය හිමිවේ : දිනය සති දෙකක් තුළ එළියට !
මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට ව්‍යවස්ථාවට අනුව බලය පැවරේ.
මේ සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක පවසා සිටියේ ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව ය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනයේ නාමයෝජනා භාර ගන්නා දිනය ඇප මුදල් තැන්පත් කළ යුතු දින සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ද එහිදී ප්‍රකාශයට පත්කරන බව ද ඔහු පැවසීය .
කෙසේ වුවත් ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය .
මේ අතර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවද සඳහන් කළ ඔහු ජනාධිපතිවරණයේ මූලික කටයුතු සඳහා වන ඇතැම් වියදම් දැනටමත් සිදු කර ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ද සඳහන් කළේය .
තවද එළැඹෙන ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට ජන්දදායකයන් 1,71,40, 000ක් සුදුසුකම් ලබා සිටින බවත් ඒ අතර වයස අවුරුදු 18 සම්පූර්ණවූ තරුණ ජන්ද 76,000ක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
KPI අල්ලාගෙන ලංකාවට ගේන්න : ප්‍රංශයට පැන්න IP බලය ඉල්ලයි !
රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින් මීට සිව් මසකට පමණ ඉහතදී දුමින්ද ජයතිලක මහතා හිටි හැටියේ විදේශගත වී තිබිණි.
මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර ඇත. පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් (13) වෙනිදින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්රචාරයන්ට ද ඔහු මෙලෙස පිළිතුරු ලබාදී තිබිණි.
පාතාලය එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ. මගේ දරුවා මාස පහක් පාසල් ගියේ නෑ. බිරිඳට ඉන්න තැනක් නෑ. ගෙවල් 12කට ගියා . ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා . ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ.
ඒ වගේම ලංකාවේ පාතාල මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක් මම අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක්. කංජිපාණී ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න.
කංජිපානි ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩුජාවරම නතර වෙන්නේ නෑ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නෑ.
- lankadeepa
ෆොනීට රාජිතට වෙල්ගමට : සජබ එකට තියලා අනියි !
සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න හා කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ උත්සවවලටත් අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
වාර්තා වන ආකාරයට පක්ෂ නායකත්වය සහ පක්ෂය සම්බන්ධයෙන් ඔවුන් දක්වන විවේචනාත්මක අදහස් ඊට හේතු වී තිබේ.
සජබ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට ද ඇතැම් පාර්ශ්ව යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් මේ පිළිබඳව අවසන් තීන්දුවක් ඉදිරියේදි පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගැනීමට නියමිත බවද දැනගන්නට ඇත.
විදුලි මිල සංශෝධනයට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල 20% කින් පහත දාන්න පුළුවන් !
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙසේද පැවසීය,
සෑම වසරකම ජනවාරි, අප්‍රේල් ,ජූලි, ඔක්තෝබර් යන මාසවල විදුලි ගාස්තුව සංශෝධනය කළ යුතු බවට රජය තීරණයක් ගෙන තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ කළ මිල සංශෝධනයෙන් පසුව මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීම මත අප්‍රේල් මාසයේ විදුලි මිල සංශෝධනයක් සිදු නොකර එය ජුලි මාසයේ සිදු කිරීමට එකඟතාවක් ඇති කර ගත්තා. ඒ අනුව මෙම නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි මස 16 වෙනිදා සිට ක්‍රියාත්මක වනවා. මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
2022 වසරේදී සිදුවුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පොලී අනුපාතය 36%ක් දක්වා ඉහළ ගියා. රුසියානු – යුක්රේන යුද තත්ත්වය නිසා ගල් අඟුරු, දැවි තෙල් ආදියෙහි මිල ඉහළ යාමක් සිදුවුණා. අමෙරිකානු ඩොලරයට ගෙවීමට සිදුවූ රුපියල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. ඒ අනුව වසර 09කට පසුව විදුලි මිල සංශෝධනය කරන්න සිදුවුණා. ඒ අනුව 2014 වසරට පසුව විදුලිමිල සංශෝධනයක් සිදු වුණේ 2022 වසරේ අගෝස්තු මාසයේදී යි.
නමුත් මෙවර 22.5% කින් විදුලි මිල පහත දැමීමට හැකියාව ලැබුණු ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඒ අතර ආර්ථික තත්ත්වය යහපත් අතට පත් කර ගැනීම විශේෂයි. ඒ වගේම පසුගිය වසර දෙක දෙස බැලූ විට වැසි තත්ත්වයේ වැඩි වීමක්ද දක්නට ලැබෙනවා. එම නිසා ජල විදුලිබල උත්පාදනය වැඩි වී තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය ද වැඩිවී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී උමා ඔය ජල විදුලි බලාගාරයේ විදුලියද ජාතික ජනන පද්ධතියට එක් කෙරුණා. පසුගිය මාස 18ක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය සිය මෙහෙයුම් වියදම් අඩු කරගැනීමට ද කටයුතු කර තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු සේවකයෙකු බඳවා ගෙන නැහැ. එහි සිටි 26,000 ක සේවක මණ්ඩලය වෙනුවට මේ වන විට සිටින්නේ 22,000ක සේවක සංඛ්‍යාවක් පමණයි.
මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම සහනය ලැබී තිබෙන්නේ ඒකක 90 කට වඩා අඩුවෙන් විදුලිය පාරිභෝජනය කරන ජනතාවටයි. ගෘහස්ථ කාණ්ඩය නියෝජනය කරන 79%ක කොටසට මේ අනුව විශාල සහනයක් ලැබී තිබෙනවා.
විදුලි බිල ඉහලටම යන අවස්ථාවේදි විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදිත වියදම රුපියල් 48ක් පමණ වුණා. එය අද වන විට රුපියල් තිස් පහක මට්ටමකට පැමිණ තිබෙනවා. හෝටල් සහ කර්මාන්ත වෙනුවෙන් 25%-26%ක පමණ විදුලි මිල සහනයක් ලබාදී තිබෙනවා. ආගමික ස්ථාන සඳහා 30%ක සමස්ත කාණ්ඩය වෙනුවෙන් අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාවක් තිබෙන්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්රයෙන් ඇති කළ යුතුයි. මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු තුනෙන් පසුව මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරනවා.
විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පිරිස සිටින්නේ 189,000ක් පමණයි. ඒකක 30ක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවෙන්නේ රුපියල් 290ක් පමණයි. ඒකක 1- 60 අතර විදුලි පරිභෝජනයක් සිදුකරනවා නම් රුපියල් 790ක පමණ මුදලක් ගෙවිමට සිදු වෙනවා.
ඒ වගේම කර්මාන්ත ශාලා, කුඩා ව්‍යාපාර සඳහා මෙම විදුලි මිල සංශෝධනයේදී අවම වශයෙන් 20%ක මිල අඩුවීමක් සිදුව තිබෙනවා. විදුලි මිල ඉහළ දමන අවස්ථාවේදී එදින රාත්‍රියේම වැඩිකරනු ලබන භාණ්ඩ හා සේවා ගාස්තු විදුලි මිල පහත දැමීමත් සමඟ අඩු කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්ට නැහැ. පසුගිය කාලයේ ඉන්ධන මිල, භූමිතෙල් මිල අඩුවුණා. ඒ අවස්ථාවන්වලදීත් භාණ්ඩ හා සේවා ගාස්තු අඩු වීමක් අප දුටුවේ නැහැ. එම නිසා මෙවර විදුලි මිලෙහි විශාල අඩුවීමක් සිදුව ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. අඩුම වශයෙන් 20% මිල අඩු කිරීමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා.
විදුලි මිල වැඩිවීමේදී එය කලාපයේ අනෙකුත් රටවල විදුලි ගාස්තු සමඟ සංසන්දනය කරමින් මාධ්‍ය වාර්තා ඉදිරිපත් වනු දක්නට ලැබුණා. ඒ නිසා මෙවර මිල අඩු කිරීම පිළිබඳවද කලාපීය විදුලි මිල ගණන් සමඟ සංසන්දනය කිරීමක් මෙන්ම අඛණ්ඩ විදුලිය ලබාදීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරන ලෙස මාධ්‍යවලින් මා ඉල්ලා සිටිනවා. මේ විදුලි මිල සංශෝධනය සිදු කළේ මැතිවරණ කාලයක් නිසා බව ඇතැම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් පවසනවා. නමුත් අප මේ ප්‍රතිපත්ති සකස් කළේ 2022වසරේදීයි.
ඒ අනුව විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කළ නිසා මේ සංශෝධනය කරගත හැකි වුණා. අප ජනප්‍රිය තීන්දු ගත්තේ නැහැ. නමුත් නිවැරැදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ නිසා එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා. එබැවින් විදුලි මිල වැඩි වීමේදී ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ලබාදුන් ආකාරයේ ප්‍රසිද්ධියක්ම විදුලි මිල අඩු කරන විටත් ලබාදීමට කාරුණික වන ලෙස මා ඉල්ලා සිටිනවා .
ඒ වගේම කාර්යක්ෂමතාවයෙන් හා මෙහෙයුම් වියදම් අඩු ජනන සැලැස්මක් ඉදිරියේදී හඳුන්වාදීමට අප කටයුතු කරනවා. 2022 වසරට පෙර විදුලිබල ක්ෂේත්රය ලබා තිබුණේ අලාබ පමණයි. නමුත් 2023 හා 2024 වසරවල මෙහෙයුම් ලාභ වාර්තා කිරීමට අප සමත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම නිසා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් නැවතී තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මහ භාණ්ඩාගාරයෙන් මුදල් විදුලිබල මණ්ඩලයට ලබාගෙන නැහැ. මේ සමඟ විදුලිබල මණ්ඩලය ලාභ ලබන තැනකට පැමිණිය යුතු වුණා. ඒ අනුව නිසි මූල්‍ය විනයක් සහිතව අප කටයුතු කළ නිසා මෙහෙයුම් ලාභයක් ලැබීමට හැකි වුණා. විදුලිබල මණ්ඩලය අනෙක් ආයතනවලට ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
තවද පුනර් ජනනීය බලශක්ති සැපයුම ප්‍රචලිත කර ගැනීම වෙනුවෙන් සූර්ය පැනල සවිකරන පුද්ගලයින් දිරිමත් කිරිමට ආණ්ඩුව කටයුතු කළා. වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් ජාතික පද්ධතියට වසරකට මෙගාවොට් 150ක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ යටතේ මේ වන විට වහලය මත සවිකර ලද සූර්ය පැනල මඟින් වසරකට මෙගාවොට් 149ක් ජාතික පද්ධතියට ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
ගම්පහ පාසල් 67කට සාගලගෙන් ක්‍රිකට් උපකරණ !
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ඔහු සිය ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති තරුණ කටයුතු හා තිරසර සංවර්ධන අධ්යක්ෂ සතිර සරත්චන්ද්‍ර, Youth vision 2048 සංවිධානයේ උපදේශක ආචාර්ය ලසන්ත ගුණවර්ධන, Youth vision 2048 සංවිධානයේ සභාපති ඩෑන් පෝද්දිවෙල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ විදුල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කලේය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ” සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචන ආදේශ කරමින් 83 ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීම පිණිස 2024-07-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී ඇති බව සඳහන්ය.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
යහපාලනයේ දූෂණ මර්දන ප්‍රධානී AKD පෙන්නූ ෆයිල් 400න් 360ක් හිස් !
යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක වංචා දූෂණ ලිපිගොනු 400ක් පෙන්වුවද ඒවායෙන් 360ක් පමණ හිස් ලිපි ගොනු බවත් ඒවායේ මුල් ලිපිගොනු ඇත්තේ තමන් සතුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
”අනුර ෆයිල් 400ක් පෙන්නුවා ඒ ටික මං ගාව තියෙන්නේ. ෆයිල් 400න් 40කට නඩු දැම්මා. ඉතිරු ෆයිල් 360 හිස් බලන්න අවශ්‍ය කෙනෙක් මට කියන්න. ෆයිල් 400ක් නොපෙන්වා 40ක් පෙන්වන්න තිබුණා.” යැයිද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නීතිඥවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
එහිදී පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන නායකයන්ට පැවරී ඇති වගකීම සුළුකොට තැකිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා දේශපාලන අමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙළට එම සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බවද සඳහන් කළේය.
දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බවද පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය,
පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩකරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා. 2022 මැයි 09 වනදා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළයුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂනවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි.
2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කිරිමට මට අවස්ථාව ලැබුණා. රට තුළ ඉදිරියේ දී ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා.
මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.
ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි. එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුනේ නැහැ. එය වැරිදි ක්‍රියාවක් බව කිවයුතුයි.
එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.
ඉන් පසුව මැයි 09 දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස් වුණා. එම අවස්ථාවේදී පොහොට්ටුවට ආණ්ඩු බලය පවත්වා ගැනීමට හැකි තත්ත්වයක් පැවතුණේ නැහැ. අප එය පිළිගත යුතුයි. ඇමතිවරුන් ඉල්ලා අස් වුණා. අප බ්‍රිතාන්‍ය ක්‍රමය ගැන කතා කරන නිසා විකල්ප අගමැතිවරයාට එය භාර ගැනීමට තිබුණා.
බොහෝ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස් වුණොත් සම්ප්රදාය අනුව විපක්ෂනායකතුමාට එම පළමු අවස්ථාව ලබාදිය යුතුයි කියලා. මම කිව්වා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ, අපි ඕන කෙනෙකුට උදව් කරන්නම් කියලා. නමුත් මැයි 10 වනදා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඔහු පැමිණියේ නැහැ. අගමැති ධූරය භාර ගන්නේ නැහැ කියලා ඔවුන් තීරණය කර තිබුණා. ඔහු තමන්ගේ යුතුකම ඉටු කළේ නැහැ. කෙටි දේශපාලනයෙන් යන්න උත්සාහ කිරීම නිසා ඉදිරියට එන්න බැරි වුණා.
ඇතැමුන් අය වැය විවාදයේදී රට ගොඩගන්නේ කොහොමද කියලා අදහස් ඉදිරිපත් කළා. නමුත් වගකීම භාරගන්න අකමැති වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊට උත්සාහයක්වත් දැරුවේ නැහැ. නමුත් අප මේ වගකීම භාරගත්තා. ඒ වන විට රටේ බංකොළාත්භාවය ප්‍රකාශ කර තිබුණා. එයින් රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා. ජනාධිපති කවුද කියන එක මට ප්‍රශ්ණයක් වුණේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට රට බේර ගැනීමට අවශ්‍ය වුණා.
අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබු අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ ඇමතිතුමා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබා දෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා. අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා, නමුත් එය ප්‍රශ්නයක් නොවෙයි. කොච්චර ගැටුනත් ඡන්ද ප්‍රතිඵල අනුව බලය ජයග්රාහකයාට ලබා දී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණයි.
අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණයි. ඉන්දිරා ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති වූ ප්‍රශ්න අප දන්නවා.
මේ වැඩකටයුතු කරන අතරතුර ජූලි 09දා සිදුවීමට මුහුණදීමට අපට සිදු වුණා. ජුලි 09වනදා හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා ගියා. එම අවස්ථාවේ අගමැතිවරයා ලෙස මටත් ඉල්ලා අස්වෙන්න කියලා කිව්වා.
මම කාටද අස්වීමේ ලිපිය භාර දෙන්නේ. මහ මුහුදුට ගිහින් ජනාධිපතිවරයා සොයන්නද, මම කිව්වා මට ඉවත්වීමට නම් බහුතරයක් ඇති කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. විපක්ෂ නායකයා අපිට කියනවා නැහැ අපට කවුරු හරි ගන්න ඔබ ඉවත් වෙන්න කියලා.
එහිදී මම කිව්වේ ඉන්න කෙනා පළමුව ඉදිරිපත් කරන්න කියලයි. ඊට පස්සේ ඔවුන් කියනවා කථානායකතුමාට භාර ගන්න කියලා. කථානායක තුමා කිව්වා මට පාර්ලිමේන්තුව පාලනය කරන්න පුළුවන්, ඒත් ආර්ථිකය පාලනය කිරීමේ වගකීම මට ගන්න බැහැ කියලා. මේ විදියට රටේ දේශපාලන ක්‍රමය කැඩී ගියා.
අවසානයේ පාර්ලිමේන්තුව වැටලීමට උත්සාහ කළා. එම අවස්ථාවේ පක්ෂ නායකයන් සියලුදෙනා පාර්ලිමේන්තුව ඇතුලේ සිටියා. හමුදාපතිවරයා ඒ බව දැනුම් දුන් විට ඔවුන් පැවසුවේ අගමැතිවරයා ඉවත්විය යුතුයි කියලා. එම අවස්ථාවේ හමුදාපතිවරයාට පණිවිඩයක් ලැබුණා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පැත්තට එනවා කියලයි.
ඉන් පසුව මිනිත්තු 05න් සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා හමුදාපතිවරයාට දැනුම් දෙන්න මට සිදු වුණා. මම ඒ පිළිබඳ කථානායකවරයාටත් දැනුම් දුන්නා.
ඔවුන් අවශ්‍ය අවස්ථාවේ වගකීම් භාර නොගෙන සටන් පාඨ ඉදිරිපත් කරමින් සිටියා. සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඉන් පසුව මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගුණා. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා. පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා. සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවක් හැඳුවා. හිටපු ඇමතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා. මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ. ඇතැම් අය අයින් වුණා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැ.
දේශපාලන පක්ෂ ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා. ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා. එදා ඉදලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා. අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි. දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා.
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කමිටුව, චීන එක්සීම් බැංකුව හා පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟ වූ ගිවිසුම් ඒ අයුරින් ක්‍රියාත්මක කරනවා. අපිට විවිධ පෙරොන්දු දෙන්න බැහැ. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ. අප එය වටහා ගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටවාවකට ගමන් කළ යුතුයි. ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන්. සිංගප්පූරුව, වියට්නාමය, වැනි රටවල් එක් ස්ථාවරයක සිට කටයුතු කිරීම නිසා අද දියුණු වී තිබෙනවා. දේශපාලනය කරන විට මූලික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.
පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථික රාමුව නොකඩා ඉදිරියට ගෙන යා යුතුයි. අද බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මෙම රාමුව බිඳ දැමීමටයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් කළ පසු පසුගිය සතියේ සහ ඊට පෙර වැඩ වර්ජන කීයකට මුහුණ දුන්නද, එහෙම වෙන්නේ මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසායි. වැඩ වර්ජන කරන්න අවශ්‍ය නැහැ. තමන් එක් පක්ෂයකට කැමති නැත්නම් වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න. ඔවුන් උත්සාහ කළේ මෙම ආර්ථික රාමුව බිඳ දැමීමටයි. නමුත් ජනතාව ඊට විරුද්ධ වුණා. දැන් අපට තිබෙන්නේ රට ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
අද මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු.
රටට ස්ථාවර ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී සියලුදෙනා සිතුවේ අන්තවාදී දක්ෂිණාංශය ජයග්‍රහණය කරනු ඇති බවයි. නමුත් එහි මැද අවස්ථාවේදී දක්ෂිණාංශයක්, වමත් තිරණය කළා අපි තරගයකට යන්නේ නැතිව ඒ ආසනවල තුන්වැනියා ඉවත් කරමු කියලා. මගේ පක්ෂය නම් තුන්වැනියා මගේ පක්ෂයෙන් අයින් කරනවා, ඔබේ පක්ෂයෙන් ඔබ අයින් කළ යුතුයි කියලා. දැන් මේක අනෙක් පැත්තට පෙරළී තිබෙනවා. ඒ අනුව එකට වැඩ කර ඉදිරියට යාමට අවස්ථාවන් තිබෙනවා. අප මේ රට තුළ ඇතිකළ යුත්තේ එම තත්ත්වයයි.
අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා. අද ඔබේ පැමිණීම පිළිබඳවද අප ස්තූතිවන්ත වෙනවා.
ඇමති ටිරාන් කළු කබායට බහියි !
ආණ්ඩුවේ පොහොට්ටු මැති ඇමතිවරු රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන "එක්ව ජයගමු" මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය ඉරිදා හවස මහනුවරදී තිබුනා.
ඒ රැස්වීමටත් සැහෙන සෙනගක් ඇවිත් තිබුනා. මහනුවර රැස්වීම සංවිධානය කර තිබුනේ, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ..
ජනාධිපති රනිල්ට පස්සේ, ජනතාවගේ වැඩිම ප්‍රතිචාරයක් ලැබිලා තිබුනේ STF ස්කොඩ් එකක් එක්ක ග්‍රවුන්ඩ් බැස්ස පොලිස් ඇමති ටිරාන්ට. ටිරාන් වේදිකාවට එද්දී මහින්දානන්ද , ටිරාන්ගේ වාහනේ ළඟටම ගිහින් කැන්දාගෙන එන හැටි, රැස්වීමේ ලයිව් එකෙන් දැකගන්න ලැබුනා.
' මේ අපේ අලුත්ම නීතිඥ මහත්තයා '' - වේදිකාවේදී ටිරාන් පෙන්නමින් මහින්දානන්ද කියලා.
'' මොකක්ද ඒ කතාව වටපිටාවේ හිටපු හැමෝම අහන්න පටන් අරගෙන. ''
'' ටිරාන් අයියා , UK බකින්හැම්ෂෙයාර් නිව් යුනිවර්සිටි (Buckinghamshire New University) එකේ LLB පාස්වෙලා '' - මහින්දානන්ද එහෙම කියද්දී හැමෝම වගේ සුබපතන්න පටන් අරගෙන..
ඒ කියන්නේ දැන් පොලිස් ඇමැතිත් නීති උපාධිය අරගෙන.. දැන් ඔය පොලිසියේ කට්ටියට එච්චර ලේසිවෙන එකක් නෑ.
- දේශපාලන වාර්තාකරු
Page 31 of 440