Language Switcher

Ad

Ad 01

V2025

2048 ජයගමු !

මහළු කුරුල්ලන් දහයියා වලින් ඇල්ලිය නොහැකිය කියා කතාවක් ඇත. එහෙත් ඒ කියන්නේ කුරුල්ලන් ගැන කතාවක් නොව, පරිණත බව, අත්දැකීම් බහුලත්වය සම්බන්ධ කතාවක්ය. කිසියම් ව්‍යාපාරයක්, පක්ෂයක්, බලවේගයක්, පරිණත වන විට, මෝරා යන විට ඊට "දහයියා මොනවාද ? වී මොනවාද ?" කියා හරියට හඳුනාගත නොහැකි නම් සිදුවන්නේ ළපටි කුරුල්ලන්ට සිදුවන දෙයමය. අවසන් ඉරණම ඛේදනීයය. නිදහස අහිමිවන, මරණ මංචකයේදී පවා උරුම රැවටීම පමණය.

මැයි 01 වෙනිදා, ලෝක කම්කරු දිනයේ ලංකාවේ පිටපත සම්බන්ධව ලියන මේ සටහනට ඒ පූර්විකාව ගත්තේ හේතු ඇතුවය. එනම් සියවසකට ආසන්න ඉතිහාසයක් ඇතත් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ,වැඩකරන ජනතාවගේ දිනය කොහේවත් යන කාසිමුට්ටකාරයන්ගේ කතා අසා සිටින නැතිනම් දේශපාලන පක්ෂ ඔළුගෙඩි වලින් තම බලය පෙන්වන දිනයක් දක්වා වැඩකරන ජනතාවගේ දිනය පහතට වැටී ඇති බවය. අද කාසි මුට්ටි වෘත්තීය සමිති වගේම දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින වේදිකා සකස් කර ඇති "ජනප්‍රිය ඊනියා සටන් පාඨ" ඒ බව තේරුම් ගන්න හොඳටම ප්‍රමාණවත්ය.

සැබවින්ම එතැන ඇත්තේ නිර්මාණාත්මක වේදිකා සහ මුඛරි කතා සාප්පු වල පම්පෝරි පමණය. ඉතිහාසය පුරාත් බොහෝවිට සිදුව ඇත්තේ එයමය. ප්‍රතිපත්ති , වැඩසටහන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැන මොනවා කිව්වත් ඒ සියල්ල හිස් වචන පමණය. මුට්ටිකාසි වෘත්තීය සමිති තම පැවැත්ම තහවුරු කරන්නටත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය බල දේශපාලන අරමුණු ඉටුකර ගැනීම දක්වා වැඩකරන ජනතාවගේ දිනය කෙළෙසා දමා ඇත.

මැයි 01 වනදා වැඩකරන ජනතා දිනයේදී වැඩකරන ජනතාව මුට්ටි කාසි වෘත්තීය සමිති සහ බහුතරයක් දේශපාලන පක්ෂ වලට හිතේ හැටියට තමන් කෙළෙසීමට ඉඩදෙන , ඉන් අනතුරුව එළඹෙන හිස්කම ඇතුළේ ඔහේ ඇවිදයන ශාපලත් ප්‍රාණ බවට පත්කර ඇත. නැතිනම් තමන්ගේ පසුම්බිය සිතුසේ කොල්ලකන්න ඉඩදී, ඒ කොල්ලකරුව ආදරයෙන් වැළඳගෙන සිටින බේබද්දකු තත්ත්වයට වැඩකරන ජනතාවගේ ඉරණම කොටුකර ඇත. එතැන නැත්තේම වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන එක් උදලු පහරක්වත්ය. නැතිනම් වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් වන දියුණු දැක්මක් හෝ දුරදර්ශී ප්‍රායෝගික වැඩපිළිවෙලක් හැර අනිත් සේරම එතනය.

2022 වන විට ලංකාව බංකොලොත්වූ ලෝක පොළුකාරයකු තැනට ඇද වැටුනේද මෙන්න මේ දේශපාලනය නිසාය. රටේ ජනතාවට ඉන්ධන, ගෑස් , කිරිපිටි , ඉල්ලා පෝලිමේ ලගින්න සිදුවූයේ ද මේ දේශපාලනය නිසාය. විදුලිබලය පවා අහිමිව කර්මාන්ත බිඳ වට්ටාගෙන රැකියා අහිමිව එදාවේල සොයාගන්නට නොහැකි තත්ත්වයක් මතුවූයේ ද ඒ දේශපාලනය නිසාය. ජීවත්වීමේ මූලික කොන්දේසි පවා අහිමිව පවුල් පිටින් සාගතයෙන් මියැදෙනවාද ? ඖෂධ හිඟව රෝදුක් විඳවා මියදෙනවාද ? විඳවන්නට පෙර පවුල් පිටින් සියදිවි නසා ගන්නවාද ? තිබෙන දෙයක් කාට හෝ විකුණා දමා කොහේ හෝ පිට දේශයකට පලා යනවාද ? වැනි තෝරාගැනීම් මිස ඊට වඩා දෙයක් 2022 මැයි 01 වනදා වන විට මෙරට ජනතාවට නොතිබුණේද ඒ දේශපාලනය නිසාය. නීතියේ පාලනයක් වෙනුවට දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වයේ සහ අරාජිකත්වය තුළ උත්තර සොයන තැනට ජනතාව පහත වැටුනේද ඒ දේශපාලනය නිසාය.

එසේ නම් වෙනස් කළ යුත්තේ ඒ දේශපාලනය නොවේද ? නමුත් ඒ දේශපාලනය යන්න දේශපාලනඥයන්ට වෙනස් වෙන්න කියන, දේශපාලනඥයන් වෙනස් කරන දේශපාලනයකට ලඝු නොකරගත යුතුය. මෙහිදී අදහස් කෙරෙන්නේ , ජනතාවගේද වෙනස් වීමක්ය. ඊට අදාළව මැයි 01 වෙනිදා කෙරෙන අවධාරණය නම්, වැඩ කරන ජනතාවද වෙනස් වන දේශපාලන වෙනසක් ය.

1986 වසරේ ඒ අවාසනාවන්ත මැයි මාසයේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් කම්කරු නැගිටීම සිදුවුණේ " වැඩ නොකර, වැඩ මඟහැර, තම තමන්ගේ කාසිමුට්ටි වෘත්තීය සමිති වල හයිය පෙන්වීමට හෝ රට ගොඩනැගීම මුවාවෙන් පරම්පරා කිහිපයකට සරිලන ලෙස ධනය ගොඩගසන, බලය සූදුවක් කරගෙන පිස්සු නටන දේශපාලනඥයන් ගේ පක්ෂ වල හයිය පෙන්වීමට නොවේය. දහනව වන ශතවර්ෂය අගභාගයේදී කම්කරු පන්තිය “පැය 8ක වැඩ කරන දිනය” ලබා ගැනීම සඳහා නිරන්තර අරගලයක නිරත වුනේ විශ්ව සාධාරණ හේතු ඇතුවය. එකල පැවති සේවා කොන්දේසි දරුණු විය.

අනාරක්ෂිත තත්වයන් තුළ පවා පැය 10 සිට 16 දක්වා වැඩ කිරීම, වැඩ කරන ජනතාවට සාමාන්‍ය දෙයක් විය. බොහෝ සේවා ස්ථානවල මරණයන් සිදුවීම හා තුවාල සිදුවීම සරල දෛනික අංගයක් බවට පත්ව තිබිණ. ඒ අනුව පළමු අවස්ථාවේම වැඩකරන ජනතාව නැගී සිටියේ "වැඩ නොකර සිටීමේ", "කාර්ය කටයුතු මඟහැර සිටීමේ" අයිතියක් වෙනුවෙන් නොව, විධිමත් සහ වඩාත් මානුෂික වැඩ දිනයක් ලබාගැනීම වෙනුවෙන්ය. 1889 වසරේ මැයි 1 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවර රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සෑම වසරකම මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනය ලෙස නම් කළේ හේමාකට් නැගිටීමට දායකවූ කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතුය යන අදහසින්ය. 1926 සිට අප රටද ඊට එක්වන්නේ ඒ අනුවය.

නමුත් අද සිටින්නේ එදා සිටි කම්කරු පංතිය නොවේය. එදා සිටි ස්වාමි පක්ෂයද නොවේය. එදා තිබුණු ආර්ථික හැසිරීමද නොවේය. එදා මාක්ස් නිර්ධන කම්කරුවා හඳුන්වනු ලැබුවේ ජීවත්වීම සඳහා ශ්‍රමය හැර වෙනත් කිසිඳු දෙපළක් අහිමි තැනැත්තා ලෙසය. ඒ වැටුප් ශ්‍රමිකයා අද නැත. අද ලෝක තත්ත්වය වෙනස්ය. අද වැටුප් ශ්‍රමිකයා හෙට ප්‍රාග්ධන හිමියෙක් දක්වා වෙනස් කරවන තැනට ධනවාදය වෙනස්වී ඇත. වැඩකරන කාටත් උසස් ජීවන තත්වයක් වෙත යාමට මාර්ග ඕනෑතරම් විවෘතය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන අධ්‍යාපනය ඇතුළු පහසුකම් කිහිපයක් සැපයීම පමණය. නැත්නම් කදිම ව්‍යවසාය ඉවක්ය. නමුත් මෙරට වම්මු මෙන්ම නිකම්මු වැඩකරන ජනතාව පෙළගස්සවන්නේ ඒ අර්ථයෙන්ද යන්න ප්‍රශ්නයක්ය.

කොහොමටත් මෙරට වෘත්තීය සමිති සාතිශය බහුතරයකට ස්වාධීන පැවැත්මක් නැත. ඒවා නඩත්තු වන්නේ විවිධ දේශපාලන පක්ෂ යටතේය. අනෙක් අතට වැඩකරන ජනතාව වැඩ බිමේදී වෘත්තීය සමිති සමඟත් ඉන් එපිට තමාගේම වූ විශ්වාසය මත දේශපාලන පක්ෂ සමඟත් සම්බන්ධය. මේ සම්බන්ධය පසුගිය කාලය පුරා යොදාගනිමින් ඇත්තේ රටෙහි සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීම උදෙසා වැඩකරන ජනතාව බලගැන්වීම සඳහා නොවේය. ඒ වෙනුවට පටු දේශපාලනික වුවමණාවන් හෝ අසාධාරණ වෘත්තීය ඉල්ලීම වෙනුවෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහභාගී කරගැනීම සඳහාය. කිසිදු සාධාරණ පදනමක් නැති වැඩවර්ජන දිගින් දිගටම දියත් කිරීමේ රහස ඒකය. ඔවුන්ට "රෝගී ජීවිතද ? පාසල් දරුවන්ද ?" කියාවත් වෙනසක් නැත. මෙරට ඇත්තේ කම්කරු අයිතීන් වෘත්තීය සමිති මාෆියාකරණය වෙනුවෙන් යොදා ගැනෙන තත්වයක්ය. එනිසා මේ 2023 මැයි 1 වනදා වැඩකරන ජනතාව ඒ බව නිවැරදිව කියවා ගත යුතුය. එවිට දහයියා වලින් වී වෙන්කර ගැනීම දුෂ්කර නැත. ඉදිරියට යන්න හරි පාර තෝරාගන්න හැකිවන්නේද එවිටය.

දැන් යන්තමින් සැනසුම් සුසුම් හෙළන තත්ත්වයක් පැවතියත් ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය තවමත් සමනය වී නැත. මේ පවතින්නේ වේදනා නාශක සමඟ යම් ඖෂධ සැපයීමක් හරහා රෝගය සුවකරන සමයක්ය. ප්‍රතිකාර කරණයේ සිදුකරන එක් කුඩා වරදක් හෝ අතපසුවීමකින් යළිත් රෝගය උත්සන්න විය හැකිය. එබැවින් ප්‍රතිකාරවේදය නිවැරදිව ක්‍රියාවට නගන අතර යළිත් රෝගය ඇති නොවන සේ ශක්තිමත් රෝග නිවාරණයක්ද මෙරට ආර්ථිකයට අදාලව අත්‍යවශ්‍යව පවතී. ඒ කියන්නේ රට බංකොලොත්ව, දරුණු ආර්ථික අර්බුදයක ගෝලීය ආදර්ශයක් බවට මෙරට පත්කළ පැරණි ව්‍යුහය ඉවත්කර නව ව්‍යුහයක් මත රට යලි ගොඩ නැගිය යුතු බවය.

ඒ වෙනුවෙන් දැක්මක් සහිත ලෝකයම පිළිගත් වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර හමාරය. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් 17 වන වතාව වූ මේ වතාවෙන් පසුව යළිත් IMF යන්න ඉඩනොතබන බව ප්‍රසිද්ධියේ කියන්න තරම් ධෛර්යයක් ජනාධිපති ඇත්තේද ඒ නිසාය. IMF ගිය 16 වතාවේම නොකළ 17 වෙනි වතාවේ ජනාධිපති රනිල් කළ තවත් දෙයක් තිබිණ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකා රජය අතර වූ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සදහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අනුමැතිය ගැනීමය. ඊට අදාළ ජන්ද විමසුම ජනපති රනිල් ජයගත්තේ ප්‍රධාන විපක්ෂයට පාර්ලිමේන්තුවේ රෙදි ඇඳගෙන ඉන්න නොහැකි පසුබිමක් සකසමින්ය. කොටින්ම කිව්වොත් නිතර කොන්ද ගැන කතා කරන විපක්ෂ නායක ඡන්දය විමසීම අවස්ථාවේ පාර්ලිමේන්තුව සභාවෙන් පලා ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව IMF යෝජනාවට පක්ෂ ද විපක්ෂ ද යන්න හරි තීරණයක් ගැනීමට ඇති බැරිබැරියාව නිසාය. මේ හැර විපක්ෂ නායක සජිත් යළි තහවුරු කර සිටියේ තමන් අකලට පැසුණු හිස් කෝම්බයක් මිස අභියෝගයකට මුහුණ දීමට හෝ තීරණාත්මක අවස්ථාවක සෘජු තීරණයක් ගැනීමට හැකි පරිණත දේශපාලනඥයෙකු නොවන බවය. ඒ හැර යෝජනාවට විරුද්ධ වුයේ අරගලයට බයේ "නිදහස" නම් අට්ටාලයක් අටවාගත්, රාජපක්ෂවාදයේ නරකම පැතිකඩ පෝෂණය කර රටේ විනාශය ඉක්මන් කල නිදහස නඩේ ඇතුළු කොහොමටත් ඉතිහාසයේ කුණු කූඩය උරුම කිහිපදෙනෙකු පමණය. එනිසා ඔවුන් විශේෂ නැත.

මෙහි අපට ඇති සුවිශේෂත්වය වන්නේ IMF සමග වන එකඟතා ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමය. ඒ කියන්නේ මෙම ගිවිසුම ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායිතාවය සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟය. එසේම එම එකඟතාව අනුව ශ්‍රීලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වතාවක් ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමටද හැකිව ඇත.

කෙසේ නමුත් විපක්ෂය මෙම එකඟතාවයට එරෙහිව ජන්දය පාවිච්චි කිරීම සහ එය මඟහැරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රට අර්බුදයෙන් ගලවාගැනීම සම්බන්ධයෙන් ඇති ඔවුන්ට ඇති අකමැත්තය. සැබවින්ම IMF එකඟතා ගිවිසුම අනුව මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හැර වෙනත් කිසිදු විකල්ප විසඳුමක් විපක්ෂය ඉදිරිපත් කළේ නැත. අප්‍රේල් 26 -28 පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව පැවති විවාදය පුරා සජබ බහුතරය අදහස් දැක්වුයේ ගිවිසුමේ අන්තර්ගතයෙන් පරිභාහිර කරුනු ගැනය. එනම් රජය විසින් ක්‍රියාත්මක කලයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර වල ඇති අඩුපාඩු , විපක්ෂය කියපු කාලයේ IMF නොයාම, එදා නොයන්න සහය වූ පොහොට්ටුවේ ඇතැමුන් අද ජනාධිපතිට කඩේ යාම , ජනාධිපති ජනපතයක් නෑ වැනි මන්ස්ගාතය. වඩාත් හාස්‍ය දනවන සිදුවීම නම් විපක්ෂය මේ කියූ කිසිවක් IMF නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට අදාල නොවීමය. ආණ්ඩුව හෝ ජනාධිපති මාරුවූවා කියා වෙනස් නොවන සියල්ලට විපක්ෂය එකඟ විය. ඒ කියන්නේ ජනාධිපති රනිල් කියූ ලෙසම මෙම ගිවිසුම පිළිගන්නවා හැර වෙනත් විකල්ප විසඳුමක් විපක්ෂයට තිබී නැත.

ඒ පසුබිමේ ඔවුන්ට තිබුණු ඇත්ත ප්‍රශ්නය නම්, IMF සමඟ එන එකඟතාවට අදාළ යෝජනාවට පක්ෂ වුවහොත් එය ජනාධිපති රනිල් ගේ ජයග්‍රහණයක් වීමය. රටත් ජනතාවත් කවර ඉරණමකට ගොදුරු වූවත් එය නොතකා ගිවිසුමට පක්ෂ නොවීමේ තීන්දුව ගත්තේ ඒ නිසාය. ඒ කියන්නේ ඔවුන්ගේ බල දේශපාලන අරමුණු ඉදිරියේ, රට සහ ජනතාව යනු රම්පෙ කරපිංචා මිස ඊට වැඩි දෙයක් නොවන බවය. ඉතිහාසයේ දරුණුම අර්බුදය මැදින් ඉදිරියට යන්න ඇත්තේ මෙහෙව් පිරිසක් සමඟය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුමට අදාළ යෝජනාවට අනුමැතිය හමුවීම තුල, ඒ අනුව ක්‍රියාත්මක වී රට අර්බුදය ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන යාමේ අභියෝගය තවදුරටත් ජනාධිපතිවරයා මත ඇත. ඒ සඳහා ජනපතිගේ ප්‍රතිඥාව වී ඇත්තේ, 2048 බලගතු සංවර්ධිත ශ්‍රීලංකාවක් වෙනුවෙන් වන ඔහුගේ අරගලය ජයගැනීම සදහා මේ මොහොතේ සහය දෙන ලෙසය. ජනපති රනිල් එය, කිහිපවරක්ම අවධාරණය කර ඇත. නමුත් රට ගොඩනගන ඒ මල්වට්ටියට , පසුගිය අතිදුෂ්කර වකවාකුවේ හැසිරුණු ආකාරයට ම, වෘත්තීය සමිති මාෆියාව හෝ විරුද්ධ පක්ෂය සහය දෙන්නේ නැත.

එසේනම් ආර්ථික අඝාදයට වැටුණු රට ස්ථාවර කර, බලගතු රටක් බවට පත්කරන කටයුත්ත සඳහා ජනපතිට සහයදීම මෙරටේ වැඩකරන ජනතාවගේ යුතුකම සහ වගකීමය. මන්ද පාර පෙන්නුවේ නායකයන් වුණාට රටවල් ගොඩනැගුවේ ජනතාව වන නිසාය. චීනයේ මහජන විප්ලවයේ නායකයා වූ මාඕ සේතුං 1976-09-09 දින මිය යාමෙන් පසුව චීනයට දින හතරක ශෝක දිනයක් රජය ප්‍රකාශයට පත් කළේය. එහෙත් චීනය ගොඩනැංවූ සිය නායකයාට ගරු කිරීම සදහා එම නිවාඩුව ලබා ගැනීම පසෙක තැබූ එරට කම්කරුවෝ සිදුකළේ පැය 8ක දෛනික සේවා මුරය වෙනුවට, පැය 16ක් දක්වා තම සේවා මුරය දිගුකොට වැඩ කිරීමය. දෙවන ලෝක යුද්ධයෙන් අළු ධුලිව ගිය ජපානය බලවත් රටක් කළේද වැඩකරන ජනතාවගේ ජවය ධෛර්යය සහ ඕනෑකම විසින්ය. දකුණු කොරියාව ගොඩ නැගුවේද වැඩකරන මිනිසුන්ය. ජනප්‍රිය සටන් පාඨ හෝ අරාජිකත්වය හෝ දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වය විසින් රටවල් ගොඩනගා නැත. රටවල් ගොඩනැගුවේ පරිණත දේශපාලන නායකත්වයන් සමඟ කැටිවුණු වැඩකරන ජනතාවය. වී මොනවද දහයියා මොනවද කියා හරියට වෙන්කරගත් මිනිස්සුය. 2048 ජයගන්න ඒ මිනිස්සු පෙරට ආ යුතුය. 2023 මැයි 01 වනදා කියන්නේ ඒ මිනිසුන්ට සිය වගකීම සිහිපත් කරන දවසය.

එස්. එම්. ලියනගේ

2023- 05- 01 දිනමිණ