දාර්ශනිකයන් මෙන්ම ආගමික ශාස්තෘන් විවිධාකාරයට ලෝකය විග්‍රහ කර ඇත. ඒ සියල්ලේ ඇත්තේ වටිනා මිනිස් ජීවිතය සරු කරගන්නා ආකාරයය. එය සැපවත් කරගන්නා ආකාරයය. ජීවිතයට අර්ථයක් ලැබෙන්නේ එය හසුරවා ගන්නා ආකාරයටය. එසේම ජීවිතයේ වටිනාකම උත්පාදනය වන්නේ සහ රඳා පවතින්නේ අප්‍රමාදය මතය. දිනක් සැවැත්නුවර ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ “ස්වාමීනී මෙලොවටත් පරලොවටත් පිහිට වන එකම ධර්මයක් තිබේද”? කියාය. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “අප්පමාදො ඛො බ්‍රාහ්මණ” ආදී වශයෙන් මිනිසාගේ දෙ ලොව යහපතට එක ම ධර්මය "අප්‍රමාදය" බවය. එනිසා ආගමික අර්ථයෙන් පමණක් නොව භෞතිකවාදී අදහස අනුව ගත්තත් මිනිසාගේ ජීවිතය ඉතා වටිනා එකක්ය. ඒ ගැන වන ජනවහරේ පාඩම නම් " අපායට ගියත් වේලාසනින් යන්න" කියාය. නැත්නම් ප්‍රමාද වන්න එපා කියාය.
මෙවර සටහනට මෙවැනි පූර්විකාවක් ගන්නට සිතුණේ 2023 වසරේ ලංකාවාසී බෞද්ධ ජනතාව වෙසක් සැමරුම සඳහා එක්වූ උද්‍යෝගය නිසාය. මංමාවත් ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අතර, ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවේත් අඩුවක් තිබුණේ නැත. එනිසාම සීලය සමාධිය ප්‍රඥාව වඩවන ආගමික වතාවත් මෙන්ම, වෙසක් තොරණ, වෙසක් කූඩු, වෙසක් දන්සල් හැම අතම දකින්න ලැබිණ. ජාති ආගම් බේදයක් නැති ජනතා එකමුතුවත් කැපී පෙනිණ. මේ ආකාරයට ජනතාව වෙසක් උත්සවය දැහැමි සිතැතිව මහත් උත්කර්ෂයෙන් සමරනු ලැබුවේ, වසර තුනකට පමණ පසුවය. 2022 වසර සැලකිල්ලට ගත හොත් මිනිසුන් සිටියේ වෙසක් අසිරිය විඳිමින් නොවේය. එදා වෙසක් පොහොය හමුවේ රට තිබුණේ අවීචි මහා නරකාදියක ජීවමාන පිටපතක් බඳු තත්ත්වයකට පත්වෙමින්ය. එක් පසෙකින් කන්න බොන්න නොමැතිව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, හිඟය සමඟ ඇති වූ පෝලිම් තිබූ අතර, අනෙක් පසින් ප්‍රචණ්ඩත්වය මුසු වූ දිග්ගැස්සෙන අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබිණ. ලෝකය එදා මේ රට හඳුන්වා දුන්නේ "උග්‍ර ණය සහ දරුණුම ආර්ථික අර්බුදයකට ලක්ව, ගොඩ ඒමක් ගැන පුරෝකථනයක් පවා කරගන්නට නොහැකි ගෝලීය නිදර්ශනයක් ලෙස" ය. එහෙම පසුබිමක කවුරුත් සම්බුදු තෙමඟුල සිහි කරන්න ගියේ නැත. කවුරුත් අතට නවගුණ වැල ගෙන සිටියේ නැත. අමුතුවෙන් නොලිව්වත්, එදා කවුරුත් කර කියමින් හිටිදේ එහෙම අමතක කරන්නත් හොඳ නැත.
නමුත්, වසරක් ඉක්මයන වෙසක් සැමරුමේ සැබෑ සිරිය විඳින්න මෙරට ජනතාවට හැකි විය. එපමණක් නොව ලෝකයාට අප රට ගැන තිබූ විග්‍රහය වෙනස් කරන තැනට රට ඔසවා තබන්නට ද හැකි විය. ඒ කිසිවක් ඓශ්චර්යක් නිසා සිදුවූවක් නොවේය. දේශපාලන කුහකත්වය පසෙක තබා කිවහොත් රට මේ තැනට ඔසවා ගන්නට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නොපමා මැදිහත්වීම නිසාය.
මතු වූ අභියෝගය !
එදා පාලකයන්ට රට පාලනය කරගත නොහැකි තැනට පත්ව තිබූ අවස්ථාවේ, සම්ප්‍රදායික දේශපාලන නායකයන් කිසිවෙකු ඒ මතු වූ අභියෝගය භාර ගත්තේ නැත. විපක්ෂ නායක සජිත් එන්න කියා ගන්න කිව්වත් රට භාරගත්තේ නැත. "රට මට දෙන්න - ගොඩදාන හැටි මම පෙන්වන්නම්" කියා ජවිපෙ නායක අනුර කිව්වේ නැත. අවසානයේ විමසීම ලැබුණේ රනිල්ටය. ඔහු ඒ වන විටත් විපක්ෂයේ සිටි, තනි ආසනයේ මන්ත්‍රීවරයා වුවත්, වගකීම භාරගත්තේය. මෙහිදී වඩාත් සුවිශේෂී කාරණය වන්නේ, පළමුව අගමැති වූ සහ දෙවනුව ජනාධිපති වූ රනිල්ගේ අප්‍රමාද හැසිරීමය. නැතිනම්, ප්‍රමාද නොවී, ගතයුතු තීන්දුව නිශ්චිත මොහොතේ නිවැරදිව ගැනීමය. පළමුව පෝලිම් යුගය අවසන් කර ජනතාව දෛනික ජීවන පැවැත්මට ගෙනගිය ඔහු එකින් එක, පෙළින් පෙළ, රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීය.
එය රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන චරිතයේ සුවිශේෂ ගුණ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඔහු ජනප්‍රියතාවාදය ගැන කිසිදාක විශ්වාසයක් තැබුවේ නැත. ඒ වෙනුවට පූර්ණ කාලීන දේශපාලනඥයකු ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් අවශ්‍යම මොහොතේ විය යුතු දේ , කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ පැහැදිලිව පැවසීය. නිවැරදි දේ පැවසුවා පමණක් නොව ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියේය. දේශපාලන වශයෙන් කොතරම් පසුබෑම් පැමිණියත්, ප්‍රතිපත්ති වෙනස් කරේ නැත. අඛණ්ඩව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. අසත්‍ය කොතරම් දරුණු වටලෑමක් කළත්, අසත්‍ය කොතරම් දරුණු ප්‍රහාරයක නිරත වුවත්, රනිල් වෙනස් වුණේ නැත. ඔහු එවිටත් පසක් කර සිටියේ, " මට ගැහුවට කමක් නෑ, මේ වැඩේ රට, ජනතාව වෙනුවෙන් මේ මොහොතේ කරන්න , කල් දාන්න එපා, ඉක්මන් කරන්න, මොකද එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්" කියාය. ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමේ සිට කොරෝනා වසංගතය අවස්ථාවේත් , එතැන් සිට ලංකා ආර්ථිකය මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය කඩා වැදීමට පෙරත්, රනිල් වික්‍රමසිංහ, කළ කී දෑ වෙනම ගෙන තබා බැලූ කළ, මේ කියන කතා අතිශයෝක්තියක් නොවන බව තේරුම් ගන්න දුෂ්කර නැත.
එහෙමය කියා රනිල්ගේ ආදර්ශය කොයිකත් කඩිමුඩියේ කිරීම යැයි සිතා කවුරුත් වරද්දා ගත යුතු නැත. මෑත දේශපාලන ඉතිහාසයේ ගනු ලැබූ අමනෝඥම දේශපාලන තීන්දුවක් වූ රසායනික පොහොර තහනම අවස්ථාවේ, ඊට අදාළ රනිල්ගේ ප්‍රතිචාරය වූයේ, "ඔය වැඩේ ඔහොම හදිස්සියට කරලා හරියන්නේ නෑ " කියාය. එසේම ඓතිහාසික දේශපාලන කඹයක් ගිල්ලවා සජිත් යොදාගෙන එක්සත් ජාතික පක්ෂය කඩන අවස්ථාවේද රනිල් කිව්වේ, "අපරාදේ සජිත් කලබල වුණේ" කියාය. ඒ අවස්ථා දෙකටම අදාළව රනිල්ගේ කියවීම නිවැරදි බව දැන් හොඳටම තහවුරුව ඇත. ඒ නිසා රනිල් ආදර්ශයක් ලෙස ගත යුතුව ඇත්තේ, කොරහෙත් අත දාගන්න තරම් හදිස්සි වීම නොව, අවශ්‍යම මොහොතේ නිවැරදි දේ කිරීම වෙනුවෙන් කොහෙත්ම ප්‍රමාද නොවිය යුතු බවය.
මේ මොහොතේ ජනාධිපති රනිල් ඉන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ආරාධනය අනුව තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවය. මේ සංචාරය ගැනත් විපක්ෂය කියන්නේ ජනාධිපතිවරයා රටේ මුදල් නාස්ති කරමින් පිටරට මළගෙවල්වලට, වැඩකට නැති උත්සවවලට යන බවය. මීට පෙර ජපානයේ ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාගේ අවමංගල්‍යට සහ දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට යන විටත් විපක්ෂය කිව්වේ ඔය කතාවමය. විපක්ෂයේ ඒ කතා මොනවා වුණත් මේ සහභාගිත්ව හරහා, ජාත්‍යන්තරයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව කෙරෙහි යළි අවධානය යොමු කරගැනීමට සහ ජාත්‍යන්තර සහයෝගය අත්පත් කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි විය. මෙවර බ්‍රිතාන්‍ය සංචාරය අවස්ථාවේ පවා චාල්ස් රජු මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සමඟ එකම මොහොතක කතා බස් කර අදහස් හුවමාරු කරගන්නට ජනාධිපතිට අවස්ථාව ලැබී තිබිණ. ඊට පෙර කාලගුණ සමුළුව අවස්ථාවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඒ සඳහා චාල්ස් රජුගේ පැමිණීම පවා අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පැවසූ ලෝක නායකයා ද රනිල්ය. ඔහු ඒ ආකාරයට මැදිහත්වීම සිදු කළේ එවකට බ්‍රිතාන්‍ය අගමැති චාල්ස් රජුගේ එම සංචාරය අනවශ්‍ය බව පවසා තිබූ පසුබිමකය. කෙසේ නමුත් ගෝලීය දේශගුණ විපර්යාස සඳහා මුහුණදීම මෙන්ම ඒ සඳහා බලපෑම් සහගත මැදිහත්වීමකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව පවතින පුළුල්ම ජාත්‍යන්තර සංවිධානය ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයට ඇති හැකියාව මේ වන විට ජාත්‍යන්තර දේශපාලනයේ අවධානයට පාත්‍රව ඇති කරුණක් වී තිබේ.
මුල්‍ය අරමුදලේ සහය ලැබීම නිසා අනෙක් පසින් මේ වන විට රට පවතින්නේ ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල් කර ගැනීමේ අත්‍යවශ්‍ය මොහොතකය. එහිලා සුපුරුදු බලවත් රටවල් සමඟ මෙන්ම අලුතෙන් නැඟී එන අප්‍රිකාව ද කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය. බ්‍රිතාන්‍ය සංචාරය අවස්ථාවේ රුවන්ඩා මෙන්ම ඝානා යන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා අලුත් කරගන්න ජනපති රනිල් ක්‍රියාත්මක වුණේද ඒ අනුවය. මේ ක්‍රමය මීට පෙර මෙරට පාලකයන් අත්හදා හෝ බලා නොමැති අලුත් ක්‍රමයක්ය. නමුත් කොරෝනා වසංගත පශ්චාත් ගෝලීය හැඩගැස්ම තුළ සහ ගෝලීය ආර්ථික අවපාත හමුවේ මතුව ඇති නව ප්‍රවණතා ජනාධිපති රනිල් විසින් රට සරු කරන්න , රටට අර්ථයක් දෙන ආකාරයට යොදාගන්නේ ඒ ආකාරයටය.
එහි ප්‍රතිඵල අදටත් ලැබී ඇත. මේ වන විටත් මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියත්මක විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන අරමුදලේ සහය ප්‍රකාශය වී හමාරය. ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පුළුල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන සඳහා අරමුදල් සැපයීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත්තේ ද ඒ අනුවය. එහිදී ආර්ථික පරිවර්තනය, වර්ධනය හා තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ආර්ථික අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 03 මත පදනම්ව ලෝක බැංකුව විසින් සහය ලබාදීමට නියමිතය. එසේම ශ්‍රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ද ලෝක බැංකුවේ සහය හිමිව ඇත. ඒ සමඟ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එසේම යළි ජපානය මෙරට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස තවත් රාජ්‍ය ගණනාවක් මේ වන විටත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වන සාකච්ඡා ආරම්භ කර ඇත.
නිවැරදි තීන්දුව
මේ සියල්ල හිමිවන්නේ ජනපති රනිල් නිවැරදි තීන්දුව අප්‍රමාදව ගෙන කටයුතු කළ නිසාය. එපමණක් නොව, ඉතිහාසයේ අවශ්‍ය මොහොතේ ගත යුතු නිවැරදි තීන්දු නොගැනීම විසින් සෑම ක්ෂේත්‍රයකම සිදු වූ බිඳ වැටීම, කඩා වැටීම මේ සමඟ නැවත ගොඩගැනීමේ ඓතිහාසික කර්තව්‍ය ද මේ මොහොතේ රට හමුවේ ඇත. නැතිනම් රට නවතින්න නියමිත 2022 ටත් අන්ත තැනකය.
ඒ තරම් වගකීම් සහගත මේ පසුබිමේ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සිහිපත් කරන්නේ කුමක්ද ? ඒ නම් හඳට පොලු ගැසූ ග්‍රාම්‍ය මැට්ටන් මිස අනෙකෙකු නොවේය. රනිල් වික්‍රමසිංහ පාලන බලය ගැනීමෙන් පසුව රනිල් රාජපක්ෂ බවට බෞතීස්ම කළ මොහොතේ පටන් විපක්ෂයේ හැසිරීම එබඳුම ය. ලැබෙන සුළු මොහොතේ විපක්ෂය සතුටු වන්නේ, තමන් ගහපු පොලුවලට හඳ බිම වැටුණා කියාය. අනතුරුව ඔවුන් හඳේ රස කියන්න කට අරින්න සූදානම් වන විටම, යළිත් හඳ අහසේ දිස් වන අතර, තවමත් ඉතිරිව ඇත්තේ, "හඳ බිම දැම්මා" කියා, විපක්ෂය අනුභව කළේම "වසුරු" බව ඒ කටවල් වලින්ම කියන්නට නොහැකිවූ පමාව පමණය.
එනිසා දැන්වත් විපක්ෂයට ඇත්තේ අප්‍රමාදව තීන්දුවක් ගෙන රට ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට සහය දීමය. තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ කඳවුරේ ජනාධිපති නොව, ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට ගොඩනගන අභියෝගය භාරගත්, ඒ වගකීම මේ මොහොතේත් නොපිරිහෙළා ඉටුකරන නායකයා බව විපක්ෂය පිළිගත යුතුව ඇත. ඉතිහාසය වීරයන් නම් කරන්නේ බලය සඳහා සිදු කළ සැහැසිකම් හෝ ට්‍රැජි කොමඩි ඇසුරෙන් නොවේය. බලය පිණිස මරාගත් චූලෝදර මහෝදර නාග සහෝදරයන්ගේ ගැටුම සමතයට පත්කරන්න බුදුන් පවා වැඩිය බව අප අසා ඇත. නමුත් ඉතිහාසය විසින් සදාතනික දේවත්වයට ඔසවා තැබුවේ, නාගයන් සමඟ එතෙක් පැවති ගැටුම් සියල්ල පසෙක තබා, නාගයන් සමීපයට ගොස් බුදුන් පිළිගෙන, සමනොළ ගිරි මස්ථකයේ සිරිපතුල තබවන්න නොපමාව කටයුතු කළ "සුමන සමන්" දේව වංශිකයාවය. ඒ හැර බලයට මරාගත්ත නාග සහෝදරයන් ඉතිහාසය "දේවත්වයට" පත්කළේ නැත. වර්තමානය අප කෙලෙස ලියා ගත්තත් විනිශ්චය ඉතිහාසය සතුය.
එවැනි පසුබිමක ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැඟීම සඳහා සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසී අවිද්‍යාවේ අඳුර දුරු කර ශ්‍රී ලංකාව පුනරුද මාවතට යොමු කිරීමට විපක්ෂය දායක විය යුතු නැද්ද ? විපක්ෂයේ පමණක් නොව අප සැමගේ වගකීම එය නොවේද ? ඒ වෙනුවෙන් වන ප්‍රමාදය කාගේ වුවත් එය පසුතැවිල්ලට හේතුවක් නොවනු ඇතිද ?
එස්. එම්. ලියනගේ
(2023-05-08 දිනමිණ)