Language Switcher

Ad

Ad 01

V2025

යන්නේ කොහෙද නොදන්නා උද්දච්ච ගැටවරයෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා ඇහුණා. කැමරාවක් ඇල්ලුව ගමන් මෙවැනි නොදන්නා දේවල් සද්දෙ දාලා කියන ගැටයින් පසු ගිය අවුරුද්ද දෙකේ දේශපාලන පක්ෂත් හදාගෙන, විශේෂයෙන් සමාජ මාධ්‍ය පුරා ලොකු කතා කියමින් යනවා.

මේ අඳබාල තරුණයින්ගේ ජනප්‍රිය කතා දෙකක් තියෙනවා. එකක් තමයි “ඔය මහල්ලෝ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනෙ” කියන කතාව. අනෙක තමයි “අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවන්න ඔනෙ” කියන කතාව. ඉස්සෙල්ලා මේ හැට පැනපු කතාවට උත්තර දීලා ඉන්නම්.

රැකියාව කර ගෙන යාමේ ශාරීරික අපහසුතාව නිසා පුද්ගලයින් රැකියාව අත හැර යාම 19 වන සියවස වන විට එංගලන්තයේත් යුරෝපය පුරාමත් නිතර හමුවුන ගැටළුවක් වුනා. ඒ වනවිට ඔවුන්ගේ ශ්‍රම පලදායිතාවත් බොහෝ සේ අඩුව තිබුණා. ඒ පසුබිමෙහි, වයස 70 දී අනිවාර්යෙන් විශ්‍රාම යා යුතුයි කියා 1881 දී ජර්මනියේ රාජ්‍ය නායක ඔටෝ ෆන් බිස්මාක් තීන්දු කෙරුවා. එය පසුව 1916 දී අවුරුදු 65 දක්වා අඩු කෙරුනා. යුරෝපයේ අනෙක් රටවල්ද ඒ වගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් තීන්දු කෙරුවා. එංගලන්තයද 1908 දී “මහළු විය විශ්‍රාම පනත” සම්මත කරමින් විශ්‍රාම යෑමේ වයස 70 කියා තීන්දු කෙරුවා. පසුව 1946 දී “ජාතික රක්ෂණ පනත” සම්මත කරමින් පිරිමින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සහ කාන්තාවන්ගේ අවුරුදු 60 කියා තීන්දු කෙරුවා. ඇමෙරිකාවේද 1935 සමම්ත කෙරුණු “සමාජ රක්ෂණ පනත” මගින් විශ්‍රාම යෑමේ වයස 65 කියා තීන්දු කෙරුවා. ඒ කාලයේ ලොව පුරා හැම රටකම වගේ මේ ප්‍රවනතාව දකින්න ලැබුණා.

මේ වයස් සීමා තීන්දු වුනේ කාරණා දෙකක් මත. එකක් ඒ සමාජයේ සාමාන්‍යයෙන් පිළිගැණුනු ශ්‍රමිකයාගේ ශාරීරික ශක්තිය හා පලදායිතාව අනුව. දෙවැන්න පුරප්පාඩු පුරවා ගැනීමට ඇති විරැකියාවේ සංඛ්‍යා මත. මතක තියා ගත යුතු වැදගත්ම කාරණාව නම් මේ කතා කරන යුගය, කාර්මීකරණය වෙමින් තිබූ නමුත් එය දෑතේ ශ්‍රමය මත නිෂ්පාදනය තීන්දු වූ යුගයක් වූ නිසා, විශ්‍රාමය හැම තිස්සෙම ගණන් හැදුනේ ශ්‍රමිකයාගේ ශාරීරික තත්ත්වය මත මිස, පාලකයාගේ වයස අනුව නොවන බව.

දැන් අප නව සියවස සමග පැමිණ ඇත්තේ ශාරීරික ශ්‍රමය එළෙසින් වැය නොකෙරෙන තාක්ෂණික ලෝකයකටයි. මේ නිෂ්පාදනය යාන්ත්‍රීකරණය වූ යුගයක්. ඒ නිසා ශාරීරික ශක්තිය ගැන ප්‍රශ්න කිරීමක් දැන් නැහැ. දැන් ගණන් හැදෙන්නේ කුසලතා සහ දැනුම අනුවයි. ඒ වගේම මේ අප ඉන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේක්ෂිත ආයු කාලය ඉහළ ගිය නවීන ලෝකයකයි. 1950 දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 52.2 යි. එය 1960 දී අවුරුදු 59.1 යි. දැන් 2023 වන විට අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77.6 ක්. නාගරික මැද පංතියේ වෛද්‍ය පහසුකම් සමග වයස අවුරුදු 90 ඉක්මවන සංඛ්‍යාවත් ටික ටික ඉහළ යනවා.

ඒවගේම තව වැදගත් සාධකයක් තමයි තාක්ෂණිකව දියුණුවන ලෝකයේ අත්දැකීම් හා බුද්ධි වර්ධනය සමග පරිනත වෘත්තිකයින් හමුවන්නේ ගැටවර වයසේ නෙවෙයි. හැට පැන්නට පස්සෙයි. නවීන ලෝකයේ මේ ප්‍රවනාව සමග බොහෝ රටවල විශ්‍රාම යෑමේ අනිවාර්ය වයස් සීමාව එක්කෝ ඉහළ දානවා, නැතිනම් එය අනිවාර්ය නොකරන නිර්දේශිත වයස් සීමාවක් තීන්දු කරනවා. කැනඩාවේ අනිවාර්ය විශ්‍රාම යෑමක් නැහැ. ජාතික විශ්‍රාමික පහසුකම් ලැබීමට සුදුසු කම් ලබන්නේ අවුරුදු 60 දීයි. උපරිම පහසුකම් ලැබෙන්නේ අවුරුදු 65 න් පසු විශ්‍රාම ගිය විටයි. 2023 සිට ඕස්ත්‍රේලියාවේ විශ්‍රාම යෑමේ වයස 67 ක් කෙරුවා. පින්ලන්තයේ වයස අවුරුදු 64 ත් 69 ත් අතර විශ්‍රාම යා හැකියි. 2030 න් පසු විශ්‍රාම යෑමේ වයස් සීමාව ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය අනුව තීන්දු කරන්න සැළසුම්කර තියෙනවා. නෙදර්ලන්තයේ විශ්‍රාම යෑමේ වයස දැන් අවුරුදු 67 ක් වෙනවා. එය අපේක්ෂිත ආයු කාලය අනුව 2028 දී අවුරුදු 67 යි මාස 03 ක් කෙරෙනවා.

අපි විවෘතවන ලෝකය ගැන නොදන්නා ගැටවරයින්ට විශ්‍රාම යෑම ගැන කෙටියෙන් කියනවා නම්, මේ අප ඉන්නේ ඇඟේ හයියෙන් දර පලා මිටි බැඳ විකුණන යුගයේ නෙවෙයි. මේ මොලේ හයියෙන් ප්‍රශ්න විසඳන යුගයක්. ඒ නිසා විශ්‍රාම යන වයසත් ඉහළ යනවා මිස පහළ යන්නේ නැහැ.

ඊළගට රටක ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ තරුණකමට නොවන බව වයස අවුරුදු 44 ක් වුන එංගලන්ත අගමැති රිෂි සුනාක් 2022 ඔක්තෝම්බරයේ සිට මාස 18 කදී කදිමට ඔප්පු කෙරුවා. එයා නායකත්වය ගත්ත බි්‍රතාන්‍ය කොන්සවටිව් පක්ෂය අවුරුදු 180 ට පසු ලැබුව අන්ත පරාජය, පසුගිය ජූලි 04 වන දා ලැබුවා. චීන අසහාය නායක, ජනාධිපති සී ජිංපිං වයස අවුරුදු 71 ක් වෙලා තාම යෝධ රටක යෝධ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයනවා. දකුණු අප්‍රිකාවේ දෙවන වරටත් ජනාධිපති ලෙස පත් කර ගත් සිරිල් රැමෆෝසා ගේ වසය අවුරුදු 72 ක්. බංගලාදේශ අගමැතිනි ශෙයික් හසිනාට දැන් වයස අවුරුදු 76 ක්.

යන්නේ කොහේදැයි නොදන්නා මේ අලුත් ගැටවරයෝ අවුරුදු 75 ක් රට කෑව එවුන් එළවමු කියන එකටත් කෙටියෙන් උත්තර දීලම නවතින්නම්. අවුරුදු 75 ට පෙර නිදහස් ලංකාව පාලනය කරන්න පාර්ලිමේන්තුවට සර්වජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් අද නැහැ. වෙනකක් තියා 1970 පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් ඉන්නේ දෙන්නයි. මහින්ද රාජපක්ෂ සහ වාසුදේව විතරයි. දැන් ඉන්නේ පසුගිය අවුරුදු 45 ක් රට කෑව අය විතරයි.

නිදහසින් පස්සේ 1947 සිට එ.ජා.ප සහ ශ්‍රී.ල.නි.ප ප්‍රධානවූ ම.එ.පෙ ආණ්ඩුව පත් කරන විට, ලංකාවේ විධිමත් අධ්‍යාපනයේ ඉගැන්වීම් කෙරුණු ප්‍රධාන මාධ්‍ය වුනේ ඉංග්‍රීසි භාෂාවයි. කොළඹ සහ පේරාදෙනිය විශ්ව විද්‍යාල වලට ඇතුළු වුනේ කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය වගේ ප්‍රධාන නගර කිහිපයේ තිබුණු ලොකු ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු ළමුන් විතරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඒ නිසා සමාජයේ ප්‍රභූන්ට අයිති අධ්‍යාපනයක් වුනා. බහුතර සිංහල-දෙමළ ජනතාවගේ ළමුන්ට උසස් අධ්‍යාපනයට ගොඩ වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ විෂමතාව ඉවත් කරන්න තමන්ගේ මව් බසින් ඉගෙන ගන්න නෛතිකව අවසර දීලා ගමේ සිංහල-දෙමළ ළමුන්ට උසස් අධ්‍යාපන වරම් දුන්නේ 56 න් පස්සේ පත් වුනු ආණ්ඩු. ඒ දේශපාලකයින්ට පින්සිද්ධ වෙන්නයි තමන් ඉගෙන ගත්තෙ කියලාවත් නොදන්න මේ අලුත් ගැටවරයෝ ඒ දේශපාලකයින් රට කෑවා කියන්නේ මොනවා දැන ගෙනද?

අනෙක මේ අය දැන් අහලවත් නැති වසංගත රෝග, මැලේරියාව, වසූරිය, පෝලියෝව, බරවා රෝගය මේ රටෙන් තුරන් කෙරුණේ 50-60 දසකවල ආණ්ඩු ක්‍රියාත්මක කළ රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නිසයි. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ යුගයේ ලාංකීය රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාව ගැන වෙනත් රටවලට කියනවා. රට කෑවා කියන්නේ ඒ දේශපාලකයින්ටද?

අලුත් ගැටවරයින්ට කියන්නම අවශ්‍ය තවත් වැදගත් කතා කීපයක් තියෙනවා. දැන් ඉන්න මන්ත්‍රීවරුන් දන්නෙත් නැතිව ඇති ඔවුන්ට නිදහස් වාර්ෂික දුම්රිය බලපත්‍ර තියෙන බව. නමුත් 50, 60, 70 දසක වල විශේෂයෙන් උතුරු-නැගනෙහිර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ රාත්‍රී දුම්රියෙන්. ගාල්ලේ මන්ත්‍රී දහනායකත් නිතර රුහුණු කුමාරියේ කොළඹ ආව ඇමතිවරයෙක්. නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් ලංගම බස් එකේ කොළඹ ආව මන්ත්‍රීවරයෙක්. කැස්බෑවේ මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි පිළියන්දල ටවුමේ කයිවාරු ගහගෙන හිටිය, සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් පොල් අතු වහනකොට වහලට නගින මන්ත්‍රීවරයෙක්. එහෙම මන්ත්‍රීවරුන්ද අවුරුදු 75 ක් රට කෑවා කියන්නේ?

මේ අන්තිම රස කතා කීපය. අවුරුදු 05 ක් 1965 සිට එක දිගට ආණ්ඩුවේ වාර්ෂික අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති යූ. බී. වන්නිනායක 1970 මැතිවරණයෙන් තමන්ගේ ආසනයද පරාජයවී, ගෙදර යන්න සූට් කේසයත් අරගෙන පිටකොටු යන බසයක් එනතුරු මේට්ලන්ඩ් පෙදෙසේ ශ්‍රාවස්ථිය ඉදිරිපිට බස් නැවතුම්පළේ සිටගෙන සිටිය වග දන්නවාද? හැම අවුරුද්දකම ලාංකීය නියෝජිතයා වශයෙන් කෘෂිකර්ම ඇමති එම්. ඩී. බණ්ඩා රෝමයේ පැවති ලෝක ආහාර සංවිධානයේ රාජ්‍ය නායක සම්මේලනයට යන්නට පෙර, ඒ කාලය තුල තමන්ගේ නිවසට ලබාදී ඇති නිල දුර කතනය විසන්ධිකර තබන ලෙස දිස්ත්‍රික් විදුලි සංදේශ ඉංජිනේරුවරයාට ලිඛිතව දන්වන බව දන්නවාද? විවේකයක් අවශ්‍යයැයි සිතුණු විට හවසක, 70 පළමු වසරවල මුදල් ඇමති වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කොල්ලුපිටියේ ලිබටි සිනමා ශාලාවේ චිත්‍රපටයක් බැලීමට ප්‍රවේශය පත්‍රය ගැනීම සඳහා පෝලීමේ ඉන්නා බැව් දන්නවාද? ඔහු මුදල් ඇමති වශයෙන්ද ආව ගියේ පෞද්ගලික වියදමින් ඉන්ධන ගසා ගෙන ඔහුගේ පෞද්ගලික වාහනයෙන් බැව් දන්නවාද? ඒ යුගයේ කිසිදු ඇමතිවරයෙක්, කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා හෝ පොලිස් ආරක්ෂාවක් ලබා නොගත් බව දන්නවාද?

නිදහසින් පසු පළමු අවුරුදු 30 ක පමණ කාලයේ ආණ්ඩු, රට සංවර්ධනය කරන්න ඉදිරිපත් කළ ඔවුන්ගේ සැළසුම්වල තිබූ වැරදි දේශපාලන ගණන් හැදීම් ගැන අපි කතා කළ යුතුයි. නමුත් “රට කෑම” පටන් ගන්නේ 1977 න් පසු ජයවර්ධන ජනාධිපති තහවුරු කළ නිදහස් වෙළඳපල ආර්ථිකය සමග බව තරුණ පරම්පරාව දැන සිටිය යුතුයි. එනිසා, අවුරුදු 45 ක් රට කෑව පරම්පරා වලට දැන් ඉන්න අලුත් පරම්පරාවේ හැමෝමත් අයත් වෙනවා. මේ විනාශයට වගකිව යුතු වෙනවා. දේශපාලකයින් අවුරුදු 75 ක් රට කෑවා කියා නිකම් බොරුවට කෑ ගසමින් තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න හදන්නේ නැතුව, ඒ ඇත්ත ඉතිහාසය පිළිගෙන මේ වංචාකාරී, දූෂිත සමස්ථය වෙනස් කරන්න කතා කරමු.

Kusal.jpgකුසල් පෙරේරා
2024 ජූලි 17 වන දින

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.