Language Switcher

Ad

Ad 01

V2025

ඉන්දික අනුරුද්ධ හැර ගම්පහ පොහොට්ටු මැති ඇමතින් ජනාධිපති හමුවෙයි : ලබන වසරේත් මේ ආණ්ඩුවයි !

ලබන වසරේදී ද මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

තවදුරටත් කල් නොදමා අගෝස්තු මාසයට පෙර මුදල් වියදම් කර සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ දී ද ලබාදෙන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින්ය.

නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මේ සාකච්ඡාව සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයන් සහභාගි ව තිබිණ.

මෙහිදී වූ විශේෂ සිදුවීම නම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ හැර ආණ්ඩුව නියෝජනය කරන හා ආණ්ඩුවට සහාය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී සිටීමය. සිසිර ජයකොඩි, මිලාන් ජයතිලක යන මන්ත්‍රීවරු විදෙස්ගතව සිටින නිසා මෙම රැස්වීමට සහභාගීවූයේ නැත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීවේය,

“1978 දී තමයි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත දෙන්න පටන් ගත්තේ. එතකොට මන්ත්‍රීවරයෙකුට වැඩකටයුතු කරන්න ලැබුනේ රුපියල් ලක්ෂ තුනයි. ගමක් දියුණු කරන්න මුදල් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වැඩකටයුතු තමන්ගේ ප්‍රදේශයේ ආරම්භ කරන්න. මෙහි එකම පරමාර්ථය තමයි ප්‍රාදේශීය මට්ටමින් ගමට යන එක. එදා යන්න බැරි වුනානම් දැන් හොද අවස්ථාවක් ගමට ගිහින් වැඩ කරන්න. කවුරුවත් ගමෙන් ඈත් වෙලා ඉන්න එපා. ගම්පහ ඕනෑම තැනකට යන්න පුළුවන් කාටවත් යන්න බැරි තැනක් නෑ. මුදල් අරගෙන වියදම් කරන්න. අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේ මුදල් දෙන්නම්. එන අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ආණ්ඩුව නැති වෙන්නේ ගමට නොගියොත් තමයි.

ගම්පහ දිස්ත්‍රික්කය අපි ඇති කළේ 1970 වසරේ. එදා ඉදන් කොයි ආණ්ඩුව තිබුණත් විශාල දියුණුවක් ගම්පහට ලැබුණා. අද වැඩිම ජනගහනය ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සිග්‍රයෙන් දියුණු වෙලා තියෙනවා. ඒක කලේ 1978 ඉදන් බලයට පත් වූ ආණ්ඩු හා ආණ්ඩු පාලනය කළ පක්ෂයි. ඒකෙන් ඈත් වෙලා හිටපු මිනිස්සු මුකුත් කළේ නෑ. ඈත් වෙලා හිටපු මිනිස්සු ගම්පහ හැදුවේ නෑ. එහෙම නොවුණානම් අද පොල් රබර් විතරයි තියෙන්නේ. ඒකත් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. සම්බන්ධ වුනේ නැත්නම් මොනවද කළේ. ගම්පහ හදලා තියෙන්නේ මේ පක්ෂ දෙක බැහැලා වැඩ කරපු නිසයි. ඒක කාටත් කියන්න. පක්ෂ දෙකක් එකතු වෙලා කරපු වැඩ කටයුතු වලට හොඳම උදාහරණය තමයි ගම්පහ. අනෙක් අය කියනවා නම් මුකුත් කළේ නෑ කියලා ගම්පහ ඇවිල්ලා බලන්න කියන්න.”