Language Switcher

Ad

Ad 01

V2025

ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙන්නේ නැ - පොලිස් ඇමති

ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් යුක්තිය මෙහෙයුම නතර කිරීමට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසිය.

"අප විසින් යුක්තිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ මාස ගණනාවක් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රටේ පවතින වාතාවරණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමින්. ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

 මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ දූ දරුවන් දෙමාපියන් ඇතුළු සෑම ජන කොටසක්ම විශාල කනස්සල්ලකින් පසු උනා. එය කොතරම් උග්‍ර ලෙස ජනතාව පීඩාවට පත් කර තිබෙනවාද යන්න පිළිබඳව මෙම මෙහෙයුම ආරම්භ කරන තුරුම අපට පැහැදිලි අවබෝධයක් පැවතුණේ නැහැ. නමුත් ගෙවුණු මාස දෙකක පමණ කාලය තුළ අපට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ජනතා අදහස්වලින් ජනතාව පීඩනයකට පත්ව සිටියාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. පවුල් කැඩී බිඳී ගොස් දරුවන් අනාථ වී තිබෙනවා. එම තත්වය රට පුරාම පැතිර ගොස් තිබෙනවා.

 මේ පිළිබඳව අවධානය යොමු කරමින් වැඩබලන පොලිස්පතිට සහ විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිට නීච ඉතාමත් තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මා ලබා දුන්නා. එහිදී අපේ විශේෂම අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාලය සම්පූර්ණයෙන්ම අවසන් කර දැමීමටයි. ඒ අනුව රටේ සෑම පළාතකම ජනතාවට දැනෙන වෙනසක් මේ වන විටත් සිදුව තිබෙනවා. එහිදී මතුවන ඕනෑම බාධකයකට මුහුණ දීමට අප සූදානම්.

අප මේ මෙහෙයුම සිදු කරන්නේ රටේ සහ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට. එම නිසා ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් මෙම මෙහෙයුම කිසිසේත්ම නතර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීයව ද යම් යම් පිරිස් අපට බාධා කිරීම ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධානවල අතලොස්සක්, නීතිඥවරු අතලොස්සක් මේ මෙහෙයුම් නතර කිරීමට උත්සාහ දරනවා. වැඩ බලන පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විට නඩු හතකට වඩා පවරා තිබෙනවා. ඒ සෑම නඩුවකින්ම ඉල්ලා සිටින්නේ ඔහු පොලිස්පති තනතුරට පත් නොකරන ලෙසයි.

ඒ සෑම නඩුවක්ම පවරා තිබෙන්නේ එකම කණ්ඩායමක්. සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන මෙවැනි චෝදනාවලට පිළිතුරු ලබා දිය යුත්තේ ජනතාවයි. 100%ක්‌ සම්පූර්ණයෙන් මෙය අවසන් කිරීමට නොහැකි වුවත් ජුනි මාසයට අවසන් වන විට රට තුළ දැවැන්ත වෙනසක් ඇති කිරීමේ ඉලක්කය වැඩ බලන පොලිස්පති ඇතුළු නිලධාරීන් වෙත අප ලබාදී තිබෙනවා.

පාතාලය මැඩ පැවැති මේ මෙහෙයුමද සිදු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේදී ඒ ඒ රටවල පවතින නීති රීති සමග කටයුතු කිරීමට අපට සිදුවනවා. එවැනි අවස්ථාවල දීර්ඝ වශයෙන් එම රටවල අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට අපට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් හතළිස් ගණනක් මේ වන විට සිටිනවා. කොතරම් අපහසු වුවත් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අප සිදු කරනවා. මේ කටයුතු කිරීමේදී අපට මරණ තර්ජන පවා එල්ල වී තිබෙන බව බුද්ධි අංශ වලින්ද තහවුරු කර තිබෙනවා. කොතරම් අපහසු වුවත් ජීවිතය පරදුවට තබා හෝ මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපරිම දායකත්වය මා ලබා දෙනවා.

මේ සඳහා අප විශේෂ අවධානයක් යොමු කළ ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් කිරීම තුළින් ජනතාව සතු තොරතුරු අප වෙත ලබා දීමත් තම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමත් සිදුකර ගැනීම අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. එය මෙම මෙහෙයුමේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විශාල ශක්තියක් වන බව මා විශ්වාස කරනවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ද සම්පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙනවා. ඒ තුළින් රටේ පැවති ඝාතන රැල්ල යම් පමණකට මැඩ පැවැත්වීමට අපට හැකි වී තිබෙනවා.

මේ සියලු ක්‍රියාකාරකම් තුළින් අපට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන්නේ එක් අයෙකු පමණයි. එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. ලෝකයේ කොතැනක සැඟවී හිටියත් පාතාල ක්‍රියාකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අප නතර කරන්නේ නැහැ. කුමන ආකාරයෙන් හෝ රටේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කරන බවට මා පොරොන්දු වනවා."

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

hijhfsdjf