Language Switcher

Ad

Ad 01

V2025

කෙහෙලියට ඇප නෑ !

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අධිකරණය නියෝග නිකුත්කර ඇත .

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (15) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ නීතිඥයා වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ය.

එසේම එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවද ඔහු පැවසීය .

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

"මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි... ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්."

"ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ."

"ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ."

එසේ කී ජනාධිපති නීතීඥවරයා අදාළ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවක පුද්ගලයෙකු නිදාගත යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අතර ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

"කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ"

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 6 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දින අධිකරණයට ඉදිරිපත් නොකෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දුන්නේ රෝගී තත්ත්වයක් මත සැකකාර හිටපු අමාත්‍යවරයාව අද දින අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අතර පෙබරවාරි 22 වැනිදා වනවිට ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් දා සිට මේ දක්වා සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දැක්වූවාය.

"ස්වාමිනී, මෙම නඩුවේ 8 වැනි සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමුවීම සඳහා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා ඇතැයි විමර්ශනයේදී තවදුරටත්‍ තහවුරු වෙමින් තිබෙනවා. 2022 සැප්තැම්බර් 26 වැනිදා ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවේ රට තුළ ඖෂධ 182ක හිඟයක් පවතින බවත්, සති දෙකක් තුළ එම හිඟය නොපියවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඖෂධ 182ක් කිව්වාට ඒ කුමන ඖෂධදැයි කිසිඳු ලේඛනයක සඳහන් වෙලා නැහැ. ස්වාමීනි ඊට පසුදිනම මෙම නඩුවේ 6 වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඖෂධ වර්ග 285ක් සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අභිලාෂ කැඳවා තිබෙනවා. එහෙත් ස්වාමිනී එයින් ප්‍රසම්පාදනය ක්‍රියාවලියට යොමුකර ඇත්තේ ඖෂධ 229කට අදාළව පමණයි. එකී ඖෂධ සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය සිදුකරන අවස්ථාව වනවිටත් ඖෂධ 19ක් හැර සෙසු ඒවා සියල්ලටම අදාළව ප්‍රමාණවත් තොග මෙරට තුළ පැවතී තිබෙනවා. ස්වාමීනී, ඉතිරි ඖෂධ 19න් 9ක් සම්බන්ධයෙන් අද වනතුරුත් ප්‍රසම්පාදනයක් සිදුව නැහැ. ප්‍රසම්පාදනය සිදුකළ ඖෂධ 10ට අදාළව ඖෂධ ලැබී ඇත්තේ මාස 3කට පසුවයි. එබැවින් ස්වාමීනි ඉතා පැහැදිලිව පෙනී යනවා නොතිබූ ඖෂධ හිඟයක් මවා පාමින් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවට යොමුකර ඇත්තේම රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 2ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට චේතනාන්විතව ආධාර අනුබල දීම සඳහා බව."

මෙහිදී ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරුට මුදල් ගෙවා ඇති ආකාරය සම්බන්ධයෙන්ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විශේෂ අනාවරණයක් සිදුකළාය.

"ස්වාමීනි, ඉන්දීය ණය යෝජනා ක්‍රමයට යොමුවෙනවානම් අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුත්තේ එම මුදල් යෝජනා ක්‍රමයට. නමුත් ස්වාමීනි මෙහි සිදුව ඇති වංචාව පැහැදිලිව පෙනී යන කරුණත් තමයි ඊට මුදල් ගෙවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ. මුදල් ගෙවූ වැය ශීර්ෂය ලෙස සඳහන් වන්නේ ඔක්සිජන් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමක් ලෙසයි."

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කර සිටියේ ව්‍යාජ ලෙස හිඟයක් මවාපාන ලද ඖෂධ 182 පිළිබඳ සටහන් වූ ගැසට් පත්‍රයට අදාළව ගොනුව පවත්වාගෙන යන ලද්දේ කවුරුන් යටතේද යන්නයි.

ඊට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

"ස්වාමීනි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යටතේ මෙම ගොනුව පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් ඔහුගෙන් මේ ගැන ඇහුවම ඔහු ඊට අදාළ කිසිදු සත්‍ය ලේඛනයක් නොමැති බව සඳහන් කර තිබෙනවා. ඔහු විමර්ශන
නිලධාරීන්ට දී තිබෙන්නේ ෆොටෝකොපි පමණයි. අපිටත් ප්‍රශ්නයක් කිසිම සත්‍ය ලේඛනයක් නැතිව කොහොමද කැබිනට් පත්‍රිකාවට ඖෂධ හිඟයි කියලා යොමුකළේ කියලා."