ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහගේ ගොට්ටෙකු බවටත්, පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඔහු අවධාරණය කරන්නේ මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයක් නොමැති නිසා තමන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බවයි.
තම හෘද සාක්ෂියට අනුව සිදු කරන්නක් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
එය කිසිසේතම පක්ෂයට හෝ රාජපක්ෂලාට එරෙහි වීමක් නොවන බව අවධාරණය කරන ඇමතිවරයා තමන් මේ ප්‍රකාශය කරන්නේ රට ගැන සිතා බවද කියයි.
ඇමති ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිණි.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය කැඳවා තිබූ අතර ඇමතිවරයාගේ උඩුගම්පල කාර්යාලයේදී එය පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයින් සියළු දෙනා සහභාගී වී සිටි අතර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ සහ කටාන පොහොට්ටු සංවිධායක ආනන්ද හරිස්චන්ද්‍ර ද සහභාගී වූහ.
සාකච්ඡාව අතර තුරදී ඇමතිවරයා ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙනත් විකල්පයක් ඇත්නම් යෝජනා කරන්නැයි පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් සියළු දෙනා කීවේ එවැනි විකල්පයක් නොමැති බවයි.
එහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය,
“මම දන්න තරමින් අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න තවම තීරණය කරලා නෑ. ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේ අපේක්ෂකයෙක් විදියට තවම නම් කරලා නෑ. ඒ බව බැසිල් රාජපක්ෂ හා පක්ෂ මහලේකම්වරයා මට පැවසුවා.
මම විශ්වාස කරන විදියට ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ඒ වගේම මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ වෙලාවේ ජාතික අපේක්ෂකයා විදියට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු දෙකකට කලින් රට තිබුණ තැනයි අද රට තියෙන තැනයි සංසන්ඳනය කරලා බලන්න. අපි අද රටක් විදියට ඉතාම හොඳ තැනක ඉන්නවා. මේ අර්බුද ටික සම්පූර්ණයෙන්ම විසඳන්න වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් දිය යුතු බව රටේ ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙනවා.
2015දි මෛත්‍රීපාල සිරිසේනට මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනය ගේන්න. 2019 මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ පත්කර ගන්න ඕන ආර්ථික අර්බුදය ජයගන්නයි.
මම ජනාධිපතිතුමා ගැන කතා කරන කොට සමහරු කියනවා මම පොහොට්ටුව කඩාගෙන යන්න හදනවා කියලා. රාජපක්ෂලට විරැද්ධ වෙනවා කියලා. තව සමහරු කියනවා ප්‍රසන්න රනිල්ගේ ගොට්ටෙක් වෙලා කියලා.
මොකද මම හැමදාම දේශපාලනය කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි. අනිත් අය කයිවාරු ගැහුව්වා. නමුත් අභියෝගය භාර අරගෙන වැඩක් කරලා පෙන්නුවේ වත්මන් ජනාධිපතිවරයා විතරයි. ඒ නිසා ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වෙනවා නම් අපි පක්ෂයක් ලෙස එතුමාට උදවු කරන්න ඕන. මොකද මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ.
මම පක්ෂයට මේ යෝජනාව කරන්නේ රට ගැන හිතලයි. රට ගැන හිතනවා නම් අපි මේ වෙලාවේ ගන්න ඕනේ හොඳම තීන්දුව රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමයි. ඒක පක්ෂය දෙකඩ කිරීමක්වත් රනිල්ට ගොට්ට ඇල්ලීමක්වත් නොවෙයි. රාජපක්ෂලාට විරුද්ධ වීමකුත් නෙමෙයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහට සහාය දෙනකොට අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වෙන්න ඕනේ. එතකොටයි අපිට පක්ෂයේ තැන රැක ගන්න පුළුවන්. ඒ සඳහා පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කරන්න ඕනේ.
මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි. නමුත් එහෙම මතයක් රටේ හදනවා. මේ කඩා වැටීමට රට පාලනය කළ සියදෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ඔවුනුත් අඩුවැඩි වශයෙන් මේ රටේ පාලනයට විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා. අරගලකරුවන්ට බයේ රටක් පාලනය කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට ගමේ බලයක් නැහැ. ඇත්ත ඒකයි. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරණයේදී ගත්තේ ඡන්ද ලක්ෂ පහයි. ඒක සියයට සියයෙන් වැඩි කළත් දිනන්න බැහැ.
– ප්‍රදීප් අනුර කුමාර