හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් නෞකාවක අති උත්කර්ෂවත් සාදයක් සංවිධානය කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි .
නිවේදනයක් නිකුත්කරමින් වරාය අධිකාරිය මේ බව සඳහන් කරන අතර එහි සඳහන් වන්නේ එය කොළඹ වරායේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් පමණක් බවයි .
වරාය සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමේ අරමුණින් වරාය අධිකාරිය අභ්‍යන්තර හා පිටත වරායේ විවිධ රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් සහ මාධ්‍යවේදීන් සඳහා මෙවැනි නිරීක්ෂණ චාරිකා සංවිධානය කරන බවද වරාය අධිකාරිය නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර ජැටිය, JCT පර්යන්තය සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම නැරඹීම සඳහා, ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ ප්‍රියංකර ජයරත්න යන අයගේ ඉල්ලීම පරිදි, වරාය අධිකාරිය මැති ඇමතිවරුන් පිරිසක් සඳහා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කළ බවයි.
එසේම මාධ්‍ය වාර්තා වල සඳහන් වූ ආකාරයට ආහාර හෝ වෙනත් කිසිවක් සඳහා තමන් කිසිදු වියදමක් දරා නොමැති බවත් නිවේදනයේ දැක්වෙයි .
වරාය අධිකාරිය මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .
කෙසේ වුවත් වරාය වෘත්තීය සමිති චෝදනා කර සිටින්නේ වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ පෙරේදා (09) සිදුකළ මෙම නාවික සංචාරය සම්බන්ධයෙන් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඊයේ (10) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මෙසේ චෝදනා කරනු ලැබිණ .
එහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර, එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යයට නිකුත් කෙරිණ .
කෙසේ වුවත් මෙම ආන්දෝලනාත්මක සාදය සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ බවට ආරංචි මාර්ග සඳහන් කරන අතර , නව වර්ෂය ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බව එහි සඳහන් ව ඇති බවත් දැනගන්නට ඇත .
එසේම මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති වරායේ වැලි ඉවත් කරන යාත්‍රා ද්විත්වය යොදාගනිමින් බවත් වාර්තා වෙයි .