ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසිය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් කෙරේ.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි වෙළෙඳ කුටි නිරීක්ෂණය කිරීමටද එක් වූ අතර මැණික් කර්මාන්තකරුවන්ගේ ගැටළු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක ද නිරත විය.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස්දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ලෝකය පුරා විවිධ රටවලින් නියෝජිත කණ්ඩායම් අද මෙහි පැමිණ සිටීම සතුටට කරුණක්. ශ්‍රි ලංකාවේ මැණික් සඳහා කේන්ද්‍රස්ථානය වන්නේ මේ බේරුවල ප්‍රදේශයයි. ඒ වගේම බේරුවල ඊට ප්‍රසිද්ධයි. මැණික් කර්මාන්තයේ දියුණුව පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
පසුගිය අයවැය කථාවේදීද මම මැණික් කර්මාන්තය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳ සඳහන් කළා. ඉදිරි මාස දෙක තුළ අප එම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ වැඩකටයුතු සිදු කරනවා. ඒ අනුව මෙරට මැණික් කර්මාන්තයක් ඉතා විශාල දියුණුවක් කරා ගමන් කරනු ඇතියි.
ශ්‍රී ලංකාව සතුව මැණික් පිළිබඳ විශාල විභවයක් තිබෙනවා. ඉයන් ෆ්ලෙමින් මීට කලකට පෙර සඳහන් කර තිබුණා “දියමන්ති සදාකාලිකයි” කියලා. දියමන්ති විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මැණික් ද සදාකාලිකයි. ශ්‍රී ලංකාවේ නිල් මැණික්වලට දිගු කාලීන ඉතිහාසයක් තිබෙනවා.
මීට පෙර කථිකයා සඳහන් කළ ආකාරයට, චීන වෙළෙඳපොළ තවමත් පවතින්නේ එහි ආරම්භයේයි. ඔවුන්ට තවමත් තිබෙන්නේ ෂෙන්ෂෙන් ආභරණ සංගමය පමණයි. මම 1979දී ෂෙන්ෂෙන්වලට යන අවස්ථාවෙදී එහි පැවතුණේ කුඹුරු යායක් පමණයි. නමුත් අද එහි විශාල විවිධත්වයකින් යුත් ආර්ථිකයක් තිබෙනවා.
මීට සමගාමීව අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මැණික් ප්‍රති අපනයනය සහ මැණික් සඳහා අගය එකතු කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම මැණික් මඟින් අපට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම පිළිබඳ සැලසුම් සහගතව කටයුතු කරනවා. අපි මැණික් කර්මාන්තය නවීකරණය කළ යුතුයි.
එසේම මෙම කර්මාන්තය හා බැඳුණු විවිධ ගැටළු තිබෙනවා.
අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයා ගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. ඒසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළයුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි.
තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමා ගැනීම වෙනුවෙන් බදු වලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි.
මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. අපට ඉන්ධන තිබුණේ නැහැ. පොහොර තිබුණේ නැහැ. ආහාර ලබා ගැනීම අසිරු වුණා. පැය 10ක් 12ක් විදුලිය කප්පාදු කෙරුණා. අප දැන් ඒ සියල්ල නැවත ජනතාවට ලබාදී තිබෙනවා. දැන් විදේශ විනිමය තිබෙන නිසා අපට එසේ කිරීමට හැකිවී තිබෙනවා.
මෙම විදේශ විනිමය අප අපනයනයෙන් ලබාගත් ඒවා නොවෙයි. ඒවා අපට ලැබුණේ ලෝක බැංකුව වැනි ආයතන හා සංවිධානවලින්. 2022 ඇමරිකා ආණ්ඩුවෙන් තමයි අපට අවශ්‍ය පොහොර ටික සපයා දුන්නේ. නමුත් අපට හැමදාම මේ ආකාරයට යැපෙන්න බැහැ. හැමදාම රටවල්වලින් ආධාර ඉල්ලන්න බැහැ. අපට අවශ්‍ය විදේශ විනිමය අප උපයාගත යුතුයි. ඒ සඳහා මෙරට ආර්ථිකය සූදානම් කළ යුතුයි.
පොරොන්දු ලබාදීමෙන් මේවා කරන්න බැහැ. විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය අලුත් ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි. එය අපනයන ආර්ථිකයක් විය යුතුයි. මේ කුඩා ප්‍රදේශයෙන් අපට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා එක අතකින් මැණික් කර්මාන්තයෙන් ආදායම් ලැබෙනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ද ආදායම් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. එක් පැත්තකින් බේරුවල, අලුත්ගම සිට ගාල්ල දක්වා ධීවර කර්මාන්තය තිබෙනවා. මෙය ලෝකය සමඟ ගනුදෙණු කරන නගරයක්. ඒ වගේම ලෝකය සමග තරග කරන නගරයක්. අපේ රටේ අනෙක් ප්‍රදේශද මේ අන්දමින් සැලසුම් කළයුතුයි.
අප රටක් ලෙස ඉදිරියට යනවා නම් අපේ උත්සාහයෙන් විදේශ විනිමය උපයාගත යුතුයි. ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල තිබෙන්න ඕන.
මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% - 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා.
අද රටේ සියලු පුරවැසියන් ජීවන වියදම පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා එකතුව රටේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව ඉදිරියට ගියහොත් වසර 02ක් යන විට මෙම තත්ත්වයෙන් නිදහස් වීමට හැකි වන බව මම විශ්වාස කරනවා.
එසේ ගොඩනගන මේ රටේ අනාගතයේ වාසිය හිමි වන්නේ මට නොවෙයි. එම වාසිය ලැබෙන්නේ මෙරට තරුණ ප්‍රජාවටයි. එම තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් හොද ආර්ථිකයක් අපි ඇති කරනවා කියා මම ප්‍රකාශ කරන්න කැමතියි.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක :
මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තයේ නියුතු බොහෝ පිරිසක් අද බදු පිළිබඳ ගැටළුවලට මුහුණ දී සිටිනවා. එම ගැටළු විසඳීම සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස බදු පිළිබඳ කතා කිරීමට හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරයාට. අප බලාපොරොත්තු වෙනවා එතුමා මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න විසදා මැණික් කර්මාන්තය විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට නගා සිටුවනු ඇතියි කියා.
ඇතැමුන් ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් “සූට්” මහගෙන ඉන්නවා. නමුත් මෙම ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම විසදුම් ලබාදිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි.
එදා මේ රට තිබු තත්ත්වය ඔබ කවුරුත් දන්නවා. එදා ඩීසල් තැබුණේ නැහැ. ජනතාව පෙට්‍රල් ෂෙඩ්වල ඇණ කොටා ගත්තා. එම තත්ත්වය අවසන් කළේ ජනාධිපතිතුමා.අපි මේ රට නැවත භාර දෙන්නේ එය හොද තැනකට ගෙන ඒමෙන් පසුවයි .
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල්, “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සභාපති හිල්මි කාසීම්, උපසභාපති රිස්වාන් නයීම් යන මහත්වරුන් ද, විදේශීය තානාපතිවරු, චීන රජයේ නියේජිතයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.