Language Switcher

Ad

Ad 01

V2025

ජනාධිපති ජනතාවට දුන්න සහන ගැන GL අසහනයෙන් !

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසීය.

රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ප්‍රකාශ කළේය.

අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් 2024 අයවැය අද (13) ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ හරහා ජනතාව වෙත ලබාදී ඇති සහන කිහිපයක් පහත දැක්වෙයි .

රජයේ සේවකයන්ට දැනට හිමිවන රුපියල් 7800ක ජීවන වියදම් දිමනාව 2024 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 10,000කින් වැඩි කෙරේ.

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් වැඩි කරන අතර ඒ අනුව 2024දී රුපියල් බිලියන 386ක් විශ්‍රාම වැටුප් සඳහා වෙන් කෙරේ.

දුර බැහැර රාජකාරී සඳහා යන පොලිස් නිලධාරීන්ට සුදුසු ගැලපුම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීම

පසුගිය සමයේ සීමා කිරීම්වලට යටත්ව තිබූ රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය පහසුකම 2024-01-01 සිට පෙර පරිදි ලබාදීමට කටයුතු කෙරේ.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල රුපියල් බිලියන 60ක් වුවත් 2024 වෙනුවෙන් ඒ සඳහා රුපියල් බිලියන 183ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීම.

ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 2500කින් වැඩි කෙරේ.

වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ලබාදෙන මාසික දීමනාව රුපියල් 3000ක් දක්වා වැඩි කෙරේ.

අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීම වෙනුවෙන් මාස 06කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සමාලෝචනයක් සිදු කෙරේ.

අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වන දීමනා සඳහා 2024 දී වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 205ක් දක්වා වැඩි කෙරේ.

ගර්භනී මව්වරුන් වෙත ලබාදෙන රුපියල් 4500ක මාසික දීමනාව ක්‍රමවත්ව ඉදිරියට ගෙන යාමට රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

පසුගිය සමයේ අර්බුදයට මුහුණ දුන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් බිලියන 30ක සහනදායී ණය පහසුකමක්.

පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට එම ගොවි බිම්වල පුර්ණ පුද්ගලික අයිතිය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

නාගරික අඩු ආදායම්ලාභී පවුල් වෙත පොලී පදනම මත ලබාදී ඇති නිවාස වලින් කුලී අය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවන අතර ඔවුන්ට එම නිවාසවල අයිතිය ලබාදීමට පියවර ගැනේ.

වතුකරයේ ජිවත්වන ජනතාවට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමිකර දීමේ ආරම්භක පියවර වෙනුවෙන් රුපියල් බිලියන 4ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

කෙසේ වුවත් ජී එල් පීරිස් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ , බංකොලොත් මහාචාර්යවරයා මිස ජනතාව මේ හමුවේ කිසිදු අසහනයකට පත්නොවන බවය.

ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් වසරකුත් මාස කිහිපයක් ඉක්මයන තැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ රට ආර්ථික ස්ථාවරත්වයක් කරා සාර්ථක ගමනක නිරත වෙන බවට අයවැය සාක්ෂි දරන බවත් ඔහු පැවසීය .