Language Switcher

Ad

Ad 01

V2025

ක්‍රීඩා ඇමති සීමාව ඉක්මවා ගිහින් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා  විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම ද වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අතුරු තහනම් නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙන බවත් එම නියෝගයේ සඳහන් වුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 05 වන ඉරිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව එම ආයතනය කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු පාලන කමිටුවක්ද පත්කර තිබුණි.

එම අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, අයිරාංගනී පෙරේරා, අර්ජුන රණතුංග, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ සහ එම්. එච්. ජමාල්ඩීන් යන අය නම් කර තිබිණි.

පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව කටයුතු කිරීමට අවකාශ සලසන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මීට පෙර ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබුණා. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණා. බලපෑම් සිදු කළා."

"පසුගිය ඉරිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ගැසට් නිවේදන නිකුත් කළා. එම ගැසට් නිවේදනය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. එක් ගැසට් නිවේදනයක සඳහන් වෙනවා රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව අදාළ ආයතනය අත්හිටුවීමට කටයුතු කළ බව."

"අනෙක් ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය කිරීමේ අරමුණින් අදාළ අත්හිටුවීම සිදු කළ බව. මෙම කරුණු එකිනෙකට පරස්පරයි. මෙවැනි අත්හිටුවීමක් සිදු කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නොතිසි නිකුත් කොට ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කළ යුතුයි. එය තමයි ස්වභාවික යුක්ති ධර්මය."

"එසේ නොකොට යම් ආයතනයක් තහනම් කර ඊට අදාළ විමර්ශන සිදුකිරීම යුක්ති සහගත නැහැ. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය දැන සිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පිළිබඳව සොයාබැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටු පත් කිරීමට කටයුතු කර තිබෙන්නේ."

"මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්තිවලට පටහැනියි."යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම ක්‍රියාව තුළින් විෂයභාර අමාත්‍යවරයා තම බලසීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින 14ක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර මෙම පෙත්සම යළි ලබන 16 වනදා දක්වා කල්තැබුණි.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නොතීසි ද නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

  • ada derana