ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේය.
භාෂණය හෝ ආගමික නිදහසට මුවාවී කිසිඳු ආගමකට අපහාස කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (05) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුර වික්‍රමනායක මෙසේද පැවසීය
ස්ථාවර රටක් යනුවෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ ආර්ථිකය දියුණු තත්ත්වයකට පැමිණීමයි. නමුත් අප දිගටම ආර්ථික වර්ධනය ගැන කතා කර අවසානයේ දී බංකොලොත් කියන තැනට පත්වී තිබෙනවා. අපට මහා සංස්කෘතියක් උරුම වී තිබුණා. එම සංස්කෘතියට වටිනාකම් ලබා නොදී රුපියල් ශතවලට එම වටිනාකම් ලබා දීම නිසා අද මේ තිබෙන තත්ත්වයට රට වැටී තිබෙනවා.
මේ වන විට අපට උරුම වූ සංස්කෘතියෙන් සහ ආහාර රටාවන්ගෙන් ඉවත්වීම නිසා රෝගී ජාතියක් බවට අප පත් වෙමින් සිටිනවා. රුපියල් ශතවලට මුල්තැන දෙන වටපිටාවක් තුළ ජාති වශයෙන් සහ ආගම් වශයෙන් ගැටුම් නිර්මාණය වීම සුලබ දෙයක්. මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය එතැනට වේගයෙන් පැමිණ තිබෙනවා. රුපියල් ශතවලට තිබෙන ප්‍රමුඛතාව නිසා ආගමික නිදහසට මුවා වෙලා අනෙකුත් ආගම් හෙලා දකින්න පවා ඇතැම් ජනතාව පෙළඹෙමින් සිටිනවා. ආගමික නිදහසට මුවා වෙලා කිසිම ආගමක් පීඩාවට පත් කරන්න, ආගමික සංහිඳියාවට තර්ජනයක් එල්ල කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න අවශ්‍ය නව නීති පද්ධතියක් පැනවීමට අප බලාපොරොත්තු වෙනවා. කිසිම ආගමකට අපහාස කළ නොහැකි ආකාරයට අදාළ නීති පද්ධතියක් සකස් කරනවා වගේම නව පනතක් කෙටුම්පත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
ඉතිහාසයේ අපට අහිමි වූ සංස්කෘතික මිනිසා කරුණු සීයක් යටතේ නැවත නිර්මාණය කිරීමට අමාත්‍යංශයක් හැටියට ශක්තිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයත් ලබා ගන්න අප බලාපොරොත්තු වෙනවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ අමාත්‍ය විදුර වික්‍රමනායක ලබා දුන් පිළිතුරු පහත දැක්වෙයි.
මාධ්‍යවේදියා,
ජාතික උරුමයන් තිබෙන ස්ථාන හා ඒ ආශ්‍රිත ජනතාවගේ ඉඩම් හිමිකම අතර ගැටලු නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
අමාත්‍යවරයා,
පුරාවස්තු පිළිබඳ ගැටලුවේ දී පුරාවස්තු ආඥා පනතට ඉහළින් කිසිවෙකුට කටයුතු කරන්න බැහැ. එම නිසා පුරාවිද්‍යා ආඥා පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා ආඥා පනතේ යම් අඩුපාඩුවක් තිබුණොත් පාර්ලිමේන්තුවට යොමු කර එය සංශෝධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එතෙක් ක්‍රියාත්මක වන්නේ පුරාවිද්‍යා ආඥා පනතයි.
මාධ්‍යවේදියා,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කරන ශාසනික හැඳුනුම්පත මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් ලබා නොදෙන බවට චෝදනාවක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අමාත්‍යවරයා,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත්වී කෙටි කාලයයි. එතුමා මෙම හැඳුනුම්පත ලබා දීමට ඉදිරියේදී කටයුතු කරාවි. නමුත් මෙම හැඳුනුම්පත ලබා දීමේදී මහා නායක ස්වාමින් වහන්සේලාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු වන බව කියන්න කැමතියි.
මාධ්‍යවේදියා,
කුල දරුවන් පැවිදි කිරීමේ වයස් සීමාව පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වෙනවා. බුද්ධ ශාසන ඇමැතිවරයා විදියට මේ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?
අමාත්‍යවරයා,
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභාව මේ පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය තීරණයක් ගෙන තිබෙනවා. එය මහා නායක ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා අවසන් තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදියා ,
මේ දිනවල සමහර ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් බැලුවොත් ශාසනයට අපහාස වන බවක් පෙනෙන්නට තිබෙනවා. ශාසනයට අපහාස කරන මෙම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද?
අමාත්‍යවරයා,
සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම ගුරු ස්වාමීන් වහන්සේ නමක් සිටිනවා. මහා නායක ස්වාමීන් වහන්සේලා ඉන්නවා . එම නිසා විනය විරෝධී ක්‍රියාවන්ට එළැඹෙන හෝ සාසනයට අපහාස වන අයුරින් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මහ නායක වහන්සේලා කටයුතු කළ යුතුයි.
මාධ්‍යවේදියා,
වෙහෙර විහාරස්ථානවල වෙසෙන අලි ඇතුන් සම්බන්ධයෙන් මේ දිනවල කතා බහක් ඇතිවී තිබෙනවා. එම අලි ඇතුන්ට පමුණුවන වද හිංසා පිළිබඳව ඔබ අමාත්‍යාංශයෙන් ගෙන ඇති පියවර කුමක් ද?
අමාත්‍යවරයා,
අපි ගෙදරක සතෙක් ඇති දැඩි කළත් ඔවුන්ට කරුණාව දැක්විය යුතුයි. නමුත් මෙවැනි ගැටලුවක් පැමිණියේ පළවෙනි වතාවටයි. මුතු රාජාගේ සිදුවීමත් එක්ක අපි වෙහෙර විහාරස්ථානවල සිටින අලි ඇතුන් සංගණනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්පසුව එම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට කටයුතු කරනවා.
මාධ්‍යවේදියා,
මුහුද අවට තිබෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කොටස් සංරක්ෂණය කිරීමට අමාත්‍යංශය ගෙන තිබෙන පියවර මොනවාද?
අමාත්‍යවරයා,
නාවික හමුදාපතිතුමා සමඟ සාකච්ඡා කර මුහුද පතුළෙහි තිබෙන පුරාවිද්‍යා වස්තූ එලෙසම තබාගැනීමට සහ එම ස්ථාන සංචාරක ආකර්ෂණයක් ඇති වන ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම අපේ රටින් නෙදර්ලන්තය, එංගලන්තය, ජර්මනිය වැනි රටවලට ගෙන ගොස් තිබෙන පුරාවිද්‍යා පුරාවිද්‍යා වටිනාකමින් යුත් වස්තුන් නැවත ලබා ගැනීමට අමාත්‍යංශයක් හැටියට අපි සාකච්ඡා කර තිබෙනවා. එහිදී නෙදර්ලන්ත රජය ඔවුන් සතුව ශ්‍රී ලාංකික උරුමයන් ලබා දීමට එකඟත්වය පළකර තිබෙනවා. ඒ වගේම එංගලන්තය ද ඔවුන් සතු පුස්කොළ පොත් ලබා දීමටද එකඟතාව පළ කළා. නමුත් මෙ පමණ කාලයක් එංගලන්තය, නෙදර්ලන්තය යන රටවල ආරක්ෂා කර තිබුණු මෙම ශ්‍රී ලංකික උරුමයන් මෙරටට ගෙන ඒමෙන් පසුව එම රටවල පැවැති තත්වයෙන්ම ආරක්ෂා කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා එංගලන්තයේ පුස්කොළ පොත්වල ඩිජිටල් පිටපත් ලබාගැනීමට යෝජනා කර තිබෙනවා.