සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා දක්ෂකමක්.
දැන් මේ ඉහත ලැයිස්තුව කියන්නේ නොවෙනස් වන දේවල් නෙවෙයි. කාලෙන් කාලෙට, සන්දර්භයෙන් සන්දර්භයට, සමාජ අවශ්‍යතා වලට සාපේක්ෂව ඒවා වෙනස් වෙනවා. වෙනස් කර ගන්නවා.
එක යුගයක බණ්ඩාරනායක යුගයේ වේට්ටිය ඇන්ද අපේ අප්පච්චි. නමුත් දශකයකට විතර පස්සේ එයා ඒක ටිකක් වෙනස් කරලා සරම කමිසය ඇන්ද පහසුවටත් එක්ක. නමුත් මගේ යුගයට එනකොට මම ඩෙනිම් වලට ආව. ෆැෂන් කරන්න ආස කළා. අප්පච්චි සරම කමිසයේ නැවතුණා. අප්පච්චි රොක් ඇහුවේ නැහැ. ජාතිකාභිමානී ගීත වලට තමයි ආස කළේ. නමුත් මම ආසවෙන් රොක් අහනවා.
ගිල් ඩෙලස් කියනවා වගේ අපේ පරම්පරා දෙක අතරේ (අප්පච්චි සහ මම) පැල්මක් තියනවා (rupture). ඇතැම් දේවල් සම්බන්ද කරන්න පුළුවන් (bridgeable). හැබැයි සමහර දේවල් එහෙම කරන්න බැහැ.
මෙන්න මේ විභේදනය තේරුම් අරගෙන සමාජයක ජීවත් වෙන එකත් දක්ෂකමක්. කුසලතාවක්. නැත්නම් වෙන්නේ තමන් කියන දෙයින් සමාජය රිදවා ගන්න එක. ඒ ඔස්සේ තමන් කියන්න හදන දෙයට වලංගුතාවක් නැතිවෙන එක විතරක් නෙවෙයි ඒ සමාජයේ පවතින්න පවා බැරිවෙන එක.
ලාංකික සමාජය කියන්නේ යම් හර පද්ධතියක් තියන රටක්. ඒකට ඉතිහාසයක් තියනවා. ඒ වගේම ඒ හර පද්ධතිය වැරදි විදියට යොදාගත්ත තැන් පවා ගොඩක් තියනවා. ඒ වගේ අපේ සමාජයේ අගතීනුත් ගොඩක් තියනවා. ඒවා වෙනස් කරගන්න පවා යම් සටනක් කරන්න ඕනි.
නමුත් යම් ශිෂ්ට සම්පන්න සන්දර්භයක් යටතේ අපේ සමාජයේ තවදුරටත් විවේචනාත්මක අදහස් දක්වන්න පුළුවන් රටක්. ඒක අපි පිළිගන්න ඕනි.
ඒ වගේම වෙනස් වෙන්න දහසකුත් එකක් දේවල් අපේ සමාජයේ තියනවා.
හැබැයි මට නම් බැහැ බුදුන් වහන්සේට හෝ සිද්ධාර්ථ ගෞතමයින්ට ''සුද්ධෝදනගේ පොඩි එකා'' කියන්න. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කළ අදහස් මාලාවේ තියන නැවුම්බව. විමුක්ති අන්තර්ගතය. අදටත් වලංගු ප්‍රයෝගික බව. දේශනාකළ ධර්මය තුළ තියන ලෝකයටත් වඩා විශාල බව (larger than world). ඒ නිසා මට එතුමන් ගැන ගෞරවයක් තියනවා. නොනැසෙන ගෞරවයක්.
සමකාලීන දාර්ශනික-මනෝ විශ්ලේෂණ ප්‍රවේශය පවා සකස් වෙන්නේ මේ ආගම් අතරේ පවතින සමාන ලක්ෂණ එක්ක පොදු ගුණාකාරයක් හදාගන්නේ කොහොමද කියන එක පාදක කරගෙන.
ආගම කියන ප්‍රපංචය නිසා ඉතාම ප්‍රතිචාරාත්මක, සංවේදී සහ ඒ නිසාම ඓතිහාසිකව අතිශයින් බරපතළ ඛේදවාචක අත්විඳලා තියන අපි වගේ සමාජයක 'ඇස් රතුවෙන විහිළු' කියන්නේ පරිස්සමෙන් කළයුතු දෙයක්.
මොකද මේ රටේ ඇනස්ලිල, බර්ටිල, ෆ්‍රෙඩීල, අවම වශයෙන් ටෙනිය පවා ඇත්තටම මිනිස්සු හිනස්සල තියනවා. උන්ගෙන් ඉගෙන ගනිල්ලා.
ඉනුත් විශේෂයෙන් විකුණන්න විහිළු කරන වෙලාවක මීට වඩා අපේ සමාජය ගැන සංවේදී වෙන්න. මොකද උඹලා සල්ලි හොයන්න සියල්ල පොළොවේ ගහන යුගයක සමාජය ගැඹුරු අර්ථයෙන් වෙනස් කරන්න හදන ඉතාම කුඩා පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා. උන් මහන්සි වෙනවා. සල්ලි හොයන්න කොච්චර කෙටි මාවත් තිබ්බත් උන් සමාජ පරිකල්පනයක් සහ ෆැන්ටසි එකක් එක්ක ගමන් කරනවා.
නටාෂා, ඇස් රතුවෙන විහිළු පරිස්සමෙන් විකුණන්න. මොකද මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි...
මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි