Language Switcher

Ad

Ad 01

V2025

දෙමුහුන් සූර්යග්‍රහණයක් පිළිබද අනාවැකියක්

අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එයට හේතුව ලෙස මහාචාර්යවරයා පෙන්වා දුන්නේ එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බවයි.

 සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.

සූර්ය ග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න  සඳහන් කර තිබේ.

එම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවේ.

කෙසේ වෙතත්, බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වෙති.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණි.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවනු ඇත.

මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවෙන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය අපට නැරඹිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් කියා සිටියේය.