Language Switcher

Ad

Ad 01

V2025

අපේ සටන අපි දිනුවා !

" මට පක්ෂ දේශපාලනයක් නෑ. මම කරන්නේ මට ලැබුණු වගකීම ඉටුකිරීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා. පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. ජනතාව කියන්නේ 225 ම එපා කියලා. ඒ දේ තේරුම් අරගෙන හැමෝම එකතුවෙලා මේ අර්බුදයෙන් රට ගොඩගමු. "

මේ පසුගිය මාස 8 කට ආසන්න කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කී කතාවක්ය. ජනාධිපති රනිල් එහෙම කිව්වේ, ලංකා ඉතිහාසය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම හුදකළා පුද්ගලයකුගේ කාර්ය භාරයක් නොවන අතර එය සැවොම එකාවන්ව සිදුකරන සාමුහිඛ මැදිහත්වීමක අවශ්‍යතාව පැවති නිසාය. මෙතරම් භයානක ආර්ථික අර්බුදයකට ලක්වූ රටවල ඉරණම කොතරම් ඛේදවාචීද යන්න සම්බන්ධව අවබෝධයක් තිබුණු නිසාය. එහිදී තීරණාත්මක අවශ්‍යතාවක් වූයේ, ශ්‍රී ලංකා රාජ්‍ය නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම නිසා ඇතිවූ ගෝලීය මූල්‍ය සීමා - අවහිරතා ඉවත්කර ගැනීමය. ඒ සඳහා වන යතුර ලබාගන්නට හැකියාව ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යොමුවීම හරහා පමණය. නමුත් එය පහසු කටයුත්තක් නොවේය. මන්ද එක් පසෙකින් අප නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කළ රටක් ය. අනෙක් පසින් මීට පෙරත් මතුවූ ආර්ථික දුෂ්කරතා හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගෙන එහිදී ඇතිකරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධ එකඟතා කඩකර පොළු තැබූ රටක්ද වන නිසාය. අන්න ඒ නිසා, ජනාධිපතිගේ ස්ථාවරය වුණේ, අමාරුම අවස්ථාවේ අපි සේරම එකට සිටගෙන සිටින බවට තහවුරුව ජාත්‍යන්තරයට දෙන්නටය.

කවුරුත් එකතුව මල් වට්ටියට අතගැසීම වැදගත් බව කිව්වේ ඒකටය. ඒ හැර අර්බුදයෙන් රට ගොඩනගන දැක්මක, වැඩපිළිවෙලක හෝ උපාය මාර්ගික ප්‍රවේශයන්ගේ අඩුවක් ජනාධිපති රනිල්ට තිබුණේ නැත. නමුත් මෙරට බොළඳ විපක්ෂය ජනාධිපතිගේ ඒ දියුණු ප්‍රවේශය ගණනකට ගත්තේ නැත. ඉතිහාසයේ මුහුණදුන් දුෂ්කරම අවස්ථාවේ හෝ දේශපාලනයට අදාළ එවැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අත්දැකීමක් අත්හදා බලන්නවත් සිතන තරමටවත් විපක්ෂය නුතනවාදී වූයේ නැත. ඒ නිසාම අලුත් දේශපාලනයක් ඉල්ලා සිටි රටට ඔවුන් උරුම කරේ පරණ ජරාජීර්ණව ගිය දේශපාලනයමය. විපක්ෂය දිගින් දිගටම කියා සිටියේ, ජනාධිපති රනිල්ට ජනවරමක් නෑ කියාය. ජනවරමක් නැති ජනාධිපතිට ජාත්‍යන්තර සහයක් නොලැබෙන බවය. දන්නා කියන හැම පද කස්තිරමක්ම අල්ලමින් විපක්ෂය උත්සාහ කළේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙල අවුල් කරන්නටය.

නමුත් ජනාධිපති රනිල් ඒ කිසිවක් ඉදිරියේ කළබලවෙන්න ගියේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ තමන් විශ්වාස කරන උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමය. එම කටයුත්තේ සාර්ථකත්වය මනාව තහවුරු කරමින් මේ වන විට එහි තීරණාත්මක ලක්ෂයක් වෙත පැමිණීමට මෙරටට හැකියාව ලැබී ඇත.

ඒ බව ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු 14වැනිදා යොමුකළ විවෘත ලිපියේ සඳහන් වන්නේ මේ ආකාරයටය.

"සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස අපි ඉල්ලා සිටි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා විසින් 2023 මාර්තු 20 වන දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන බවට පසුගිය අඟහරුවාදා කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගත්තේ ඉමහත් තෘප්තියකින් සහ අවංක බලාපොරොත්තුවකිනි. ඔබගේ කඩිසරකමට ප්‍රශංසා කිරීමට සහ විශේෂයෙන්ම පැරිස් සමාජයේ ණයහිමියන්ට හා ජපානයට මෙම අවස්ථාවට පැමිණීමට අවශ්‍ය සහයෝගීතාව ලබාදීම සහ IMF නිර්දේශයන්ට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මෙම ප්‍රයත්නයන්ට සහාය වීම ගැන පැරිස් සමාජ ලේකම් කාර්යාලයට ද මම ස්තූතිවන්ත වෙමි.”

මේ සම්බන්ධව වැඩිදුරටත් ලැබී ඇති තොරතුරු වලට අනුව, IMF හි විධායක සභාව මාර්තු 20 රැස්වන අතර අනතුරුව මාර්තු 21 වනදා ලංකාවට අදාළ විස්තීර්ණ ණය පහසුකම සම්මතවීමට අදාළ නිවේදනය නිකුත් වීමට නියමිතය. ඒ කියන්නේ මේ මාර්තුව, IMF විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් කල මැදිහත්වීම දියකරන්න හිතාගෙන විපක්ෂය කල කී සියල්ල හමස් පෙට්ටියටදා මිහිදන් කළ මාසය ලෙස ඉතිහාසයට එක්වන බවය.

නමුත් මෙහිදී කවුරු කවුරුත් අවධානයට ගතයුතු තීරණාත්මක කරුණක් ඇත. ඒ "IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම ලැබීමෙන් පසුව ලංකාවේ ආර්ථික අර්බුදය අවසන්ය" පන්නයේ කිසිඳු මිත්‍යාවකට හසු නොවීමය. සැබවින්ම IMF ලැබුණා කියා හෙට මේ රට කේතුමතී නුවර වන්නේ නැත. අවම වශයෙන් 2018- 2019 තැනටවත් රටේ ආර්ථිකය එක්වරම පත්වන්නේ නැත. එසේ නම් දැන් ප්‍රශ්නය වන්නේ, " නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්කර තිබූ රටකට, IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම ලැබීම ජයග්‍රහණයක් වන්නේ කොහොමද ?" යන්නය.

සැබවින්ම මෙහිදී සිදුවන්නේ "කොහෙත්ම කඩා ඇතුළුවිය නොහැකි දොරක් අබියස, අගුල හැර ගැනීමට යතුරත් අහිමිව සිටි අයෙකුට යතුර හිමිවීම" වැනි දෙයක්ය. ණය හිමියන් වෙත ගෙවීමට ඇති ණය පොලී වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව, නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ රටක් සමඟ, කිසිඳු ගෝලීය මූල්‍ය ආයතනයක් ගනුදෙනු කරන්නේ නැත. ණය හිමිකාර රටවල්ද තමන් වෙතින් ලබාගත් ණය ගෙවීමට හැකි සෑම ක්ෂේත්‍රයක් ඔස්සේම බලපෑම් කරනවා විනා වෙනත් , මුල්‍ය සහයක් ලබාදෙන්නේ නැත. ණය උගුලට හසුවූ රටවල් මිහිමත අපායවල් බවට පත්වන්නේ ඒ නිසාය. කොහොම නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇත්තේ රටක ආර්ථිකය අන්න ඒ තැනට වැටීමට පෙර එම තත්වයෙන් මිදෙන්න අවශ්‍ය සහය ලබාදෙන්නටය. ඒ හැර එම කටයුත්ත කරන වෙනත් ආයතනයක් ලෝකයේ නැත.

නමුත් තේරුම් ගත යුතුව ඇත්තේ IMF සාමාජිකයකු වූ පමණින්, සල්ලි ඉල්ලන ඕන වෙලාවක දෙන බැඳීමක් ඊට නැති බවය. විශේෂයෙන් රටක් බංකොලොත් වූ විට, එම තත්ත්වය ඇතිවීමට හේතුවූ සියලු තත්වයන් සැලකිල්ලට ගෙන එම තත්වයන් වෙනස් කරගන්න ගිවිස ගැනීමෙන් පිට IMF සහය ලැබෙන්නේ නැත. බංකොලොත් වූ රටකට නම් තත්වය ඊටත් වඩා බරපතළය. එහිදී අදාළ රට බංකොලොත් වීමට අදාළ වගකිව යුතු ආර්ථික ප්‍රතිපත්තියේ රැඩිකල් වෙනසක්, ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම අනිවාර්යයක්ය. ඇතැම් විට IMF සමඟ සාකච්ඡා ඇරඹීමට පෙර පවා ඇතැම් ප්‍රතිසංස්කරණ සිදුකර පෙන්වීමටද සිදුවනු ඇත.

අර්බුදය රට වෙලා ගන්නට පෙර ගෝඨාභය පාලනය ආරම්භයේදීම "IMF වෙත ගොස් සහය ඉල්ලා ගන්න" කියා එදා රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේද අන්න ඒ නිසාය. නමුත් ඒ පාලනය ඒ උපදෙස ක්‍රියාවට නැංවුයේ අශ්වයා පළාගිය පසු ඉස්තාලය වසන ආකාරයටය. ඒ නිසාම ගෝඨාභය පාලනය IMF සහය ඉල්ලන විට රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගී තිබුණා පමණක් නොව නිල වශයෙන් බංකොලොත් බවද ප්‍රකාශය පත්කර තිබිණ. IMF මුල්‍ය සහනයක් ලැබීම පවා තිබුණේ දැඩි අවධානමකය. වැඩි ප්‍රතිශතයක් තිබුණේ IMF සහය නොලැබෙන පැත්තටය. එම තත්ත්වය දිගටම පැවතියා නම් , 2023 ජූලිය , 2022 ජූලියට වඩා භයානක වීම අනිවාර්යයක්ය. අද විපක්ෂය ගහන කයිවාරු පම්පෝරි කිසිවක් එදාට වලංගු නොවන අතර, මේ රට ආසියාවේ අමු සොහොනක් වීමට පවා හොඳටම අවස්ථාව තිබිණ. කෙසේ හෝ වේවා විපක්ෂයේ දහසක් අවලාද, බාධා වර්ජන , තර්ජන , අණවින කොඩිවින මැද ජනපති රනිල් ජයග්‍රහණය කළේ ඒ කඩයිමය. ජනාධිපති රනිල් මේ අරගෙන දුන්නේ ලෝකය සමඟ, ගෝලීය මුල්‍ය බලවතුන්, මුල්‍ය ප්‍රවාහ සමඟ ගනුදෙනු කිරීමට නොහැකි ආකාරයට තිබු දොරෙහි අගුල හැර ගැනීමට අවශ්‍ය යතුරය.

නමුත් ඉස්සරහට යන්නේ කොහොමද නොදැන යතුර ගත්තාට වැඩක් නැත. අගුල විවර කරගෙන බලාසිටියාට සංවර්ධනය සිදුවන්නේ නැත. සවර්ධනය අත්පත් කරගන්නට නම් අතට ලැබුණු යතුරරෙන් හරියට වැඩ ගත යුතුය. අතට ලැබුණු යතුරෙන් හොඳටම වැඩක් ගත්ත රටක් සොයා වැඩිදුර යායුතු නැත. අසල්වැසි ඉන්දියාව 1990 පැමිණි ආර්ථික අර්බුදය සමනය කරගෙන ආර්ථිකයේ ලබාගත් පිම්ම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ඒ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සදහා එවකට අගමැති නරසිංහ රාඕ විසින් රාජකාරිය පවරනු ලැබුවේ මන්මෝහන් සිංග් මුදල් අමාත්‍ය ධූරයට පත්කරමින්ය. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ගොස් සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මුල්‍ය පහසුකම මගින් වසර දෙකක් තුල ඉන්දියාවෙහි නව ආර්ථිකයක් බිහි කිරීම සිදුවිය. එතැන් සිට ඉන්දියාව සාර්ථක ගමනක් ගියා පමණක් නොව කලාපයේ බලය තහවුරු කරා මෙන්ම ලෝකයේ බලවතෙක් වීමට අදාළ ගමනද ආරම්භ කළේය. ඉන්දියාව තවමත් යමින් සිටින්නේ ඒ ගමනය.

ඒ සමඟ ග්‍රීසිය සැළකිල්ලට ගැනීම වැදගත් ය. මන්ද ඒ IMF ගියත් ගොඩයාම වෙනුවට වැළලීම බාරගත් රටක් නිසාය. 2010 වන විට එරට ණය දළ දෙශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 127% ව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශක වල බින්දුවටම වැටුණු ග්‍රීසිය රාජ්‍ය ණය කන්දක් තුළ ගිලෙන්න ගත්තේය. ග්‍රීසියත් අවසානයේ ගැලවීම සොයාගෙන යන්නේ IMF වෙත වුවත් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් නිශ්චිත වැඩපිළිවෙලක් තුළ ඉදිරියට යන්න ග්‍රීසිය සමත්වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදුකලේ මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී වහලේ උළු මාරු කර අර්බුදයට විසඳුම් සෙවීමය. ඒ නිසාම IMF වැඩපිළිවෙල ඇතුලේ හරි ගමනක් යන්න ග්‍රීසිය විය. එහි ප්‍රතිඵලය වුයේ ඇත්තේ අභිමානවත් ඉතිහාසයක් තිබුණත්, මරාලයක් බඳු ආර්ථිකයෙන් ගැළවිල්ලක් සොයමින් ලතවෙන්නටය. ග්‍රීසියේ ඒ ලතවීම අදටත් අවසන් නැත.

එසේම IMF වැඩපිළිවෙල තුළ සාර්ථකවීම සහ සංවර්ධනය අත්පත් කර ගැනීම යන කාර්යයේදී රුවන්ඩාවද ආදර්ශයක් ලෙස ගත යුතුම රටක්ය. මීට දශක දෙකකට පමණ පෙර රුවන්ඩාව ගැන කතා කිරීම පවා අප්‍රසන්නය. නමුත් මෑත ඉතිහාසයේ රුවන්ඩාව ප්‍රසිද්ධ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදී අනතුරුව IMF මූල්‍යාධාරය සමඟ ඊට අදාල වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නැගීම නිසා ගොඩ ගිය රටක් ලෙසය. එහි සාර්ථකත්වය කොතරම්ද කියනවා නම්, මේ වන විට එක්සත් ජාතීන්ගේ සරණාගත භාවය ලබන්නන්ගේ නිවහනක් බවට පත්වීමට තරම් ආශිර්වාද ලත් රටක් බවට රුවන්ඩාව පත් ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබු ආකාරයට නම් මේ සතිය තුළ IMF සමඟ ඇතිකරගත් එකඟතා ලියවිල්ල පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වන නිසා කොහොමටත් එය සිදුවිය යුක්තක්මය. ඒ තුළ බලය ඇත්තේ ආණ්ඩුවටය. ඒ නිසා අදාළ ලියවිල්ල සම්මතවීම ගැන වාදයක් සැකයක් නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ රටේ ප්‍රශ්න හමුවේ ඇඳිවත පමණක් නොව දරුපවුල් පවා ඇපේට තියා සූදුකෙළින සූදුඅන්තුවකු බඳු විපක්ෂයේ හැසිරීමය. අනෙකා සූදානම් සියල්ල අහිමි කළ ජීවිතය වුවත් පරදු තැබීම සූදුඅන්තු ස්වභාවයය. IMF නොලැබෙන බව කියා බංකොලොත් බව ඔප්පු කළ විපක්ෂය , IMF සමඟ යන ඉදිරි ගමනේදී මොන අඩව්වක් අල්ලත්දැයි අවධියෙන් සිටිය යුත්තේ ජනතාවය.

සැබවින්ම විපක්ෂයේ සියලු බාධා මධ්‍යයේ වුවත් ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු පියවර විධිමත්ව සහ කඩිනමින් නොගන්න මේ IMF මුල්‍ය සහනය මෙතරම් කඩිනමින් ගන්න ලැබෙන්නේ නැත. ඒ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිය. ජනාධිපතිට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහය දුන් ආණ්ඩුවටද හිමිය. එපමණක් නොව විපක්ෂය මොනවා කිව්වත් ඒ නොතකා ජනාධිපතිවරයා එඩිතරව ගනුලැබූ තීන්දු තීරණ නිහඬව අනුමත කළ , ඒ ගැන විශ්වාසය තැබූ මෙරට නිහඬ බහුතරය නියෝජනය කල ජනතාවටද ඒ ගෞරවය හිමිය. IMF මුල්‍ය පහසුකම අනුමතවීමේ මොහොත" අපේ සටන අපි දිනුවා" වන්නේද අන්න ඒ අර්ථයෙන්ය.

බිල් අයර්ස් නම් විද්වතා කියා ඇත්තේ "සෑම විප්ලවයක්ම ආරම්භයේදී කළ නොහැක්කක් ලෙස පෙනෙන නමුත්, එය සිදුවීම ඇරඹීමෙන් පසුව වැළක්විය නොහැකිය" කියාය.
දැන් තවදුරටත් අතර මැදක් නැත. එක්කෝ ජාත්‍යන්තරයේ උගත් පාඩම් ද ඇසුරෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික විප්ලවය සමඟ ඉදිරියට යාම පිළිගත යුතුව ඇත. නැත්නම් බංකොලොත් විපක්ෂය සමඟ එකතුව නැවතත් ගොඩදැමීම ඇරඹු රට වල දැමීමේ කටයුත්තට එළඹිය හැකිය.

-කුලසිරි ලියනගේ