Language Switcher

Ad

Ad 01

V2025

සංස්කෘතිය, සංහිඳියාවේත් සංවර්ධනයේත් පාලමයි - ජනපති

රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය සහ සංස්කෘතිය බවත් වැටී ඇති රට ගොඩනැඟීමට අලුත් බලාපොරොත්තුවකින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු නායකයා ලෙස ජනතාව තෝරාපත් කරගනු ලැබුවේ පොන්නම්බලම් රාමනාදන් මහතා බව සිහිපත් කළ ජනාධිපතිවරයා සිංහල දෙමළ නායක සුසංයෝගකින් රට වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බවද පෙන්වා දුන්නේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහමැදුර” විවෘත කිරීමේ උත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

අපගේ 75 වන නිදහස් සංවත්සරය කොළඹ පමණක් නොව යාපනයේදීත් සමරන්න අපි තීරණය කළා. ඒ වැඩසටහන අප ආරම්භ කරන්නේ මේ සංස්කෘතික මධ්‍යස්ථානයෙන්. මෙය අපට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ලබා දුන් ත්‍යාගයක්. ඒ නිසා එතුමාට සහ ඉන්දීය රජයටත් ස්තූතිය පිරිනැමීම මගේ පළමු කාර්යය වෙනවා. ඉන්දියාවත් ලංකාවත් එක්ව කරන වැඩසටහන්වල එක් ප්‍රධාන අංගයක් තමයි මෙම වැඩසටහන.

මේ ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීමේ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව වගේම විශේෂයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධන වැඩසටහන පිළිබඳවත් අපි සාකච්ඡා කරගෙන යනවා. බලශක්ති ක්ෂේත්‍රය ඉන් ප්‍රධානයි. ඒ වගේම මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් නිදහස් වීමට අපට ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරනවා.

මේ සංස්කෘතික මධ්‍යස්ථානය පොදු මධ්‍යස්ථානයක්. මම සෑම අවස්ථාවකම පවසන පරිදි රටවල් දෙකෙහි සංස්කෘතිය වෙන් කරන්න බෑ. එක කාසියක එක් පැත්තක් ඉන්දියාව, අනෙක් පැත්ත ලංකාව. අපට තිබෙන මෙම එකම සංස්කෘතිය ආරක්ෂා කරගෙන වර්ධනය කළ යුතුයි.

ඒ නිසා මේ මධ්‍යස්ථානය ලබා දීම පිළිබඳ සියලු දෙනා වෙනුවෙන් මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අද සංස්කෘතික අංගවලට සහභාගී වූ හා පසුව සහභාගි වන සියලුදෙනාටත් මම ස්තූතිවන්ත වෙනවා.

අපගේ 75 වන නිදහස යාපනයේ සමරන්න අපි තීරණය කළේ නිදහස් සටනට යාපනයෙන්, අපේ දෙමළ ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුණ නිසයි. ආරුමුග නාවලර් මැතිතුමා ආරම්භ කළ පුනර්ජීවනය පිළිගෙන තමයි ඊට පසු හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා බෞද්ධ පුනර්ජීවනය ආරම්භ කළේ. එතනින් තමයි අපේ පළවෙනි සිංහල නායකත්වය බිහි වුණේ. පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කළා. ඒ ගැන එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.

ශ්‍රී ලාංකිකයන් තෝරාපත් කරගත් පළවෙනි නායකයා පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. 1915 අර්බූද කාලයේදී අපේ සිංහල බෞද්ධ නායකත්වය ආරක්ෂා කර දුන්නේ පොන්නම්බලන් රාමනාදන් මැතිතුමා බව කියන්න කැමතියි.

හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ බර හා සමාන රත්තරන් දෙන්නම් කියල හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ ජීවිතය බේරන්න කියලා එතුමා ආණ්ඩුකාරවරයාට කිව්වා. ඒක අසාර්ථක වුණා. ක්‍රීසි මැතිතුමාත් සමඟ සිංහල බෞද්ධ නායකයින් වෙනුවෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සටන් කළා.

පොන්නම්බලම් අරුනාචලම් ලංකා ජාතික සංගමය ආරම්භ කළා. වෘත්තිය සමිතිවලට නායකත්වය දුන්නා. අවාසනාවකට එතුමා 1924 දි මිය ගියා. ඊට වසරකට පසුව එෆ්.ආර්. සේනානායක මහතා මිය ගියා. ඒ දෙදෙනා ජීවත් වුණා නම් මීට වඩා වෙනස් ඉතිහාසයක් අපේ රටට තිබෙනවා. සිංහල කලාව පිළිබඳව ලෝකය දැනුවත් කළේ ආනන්ද කුමාරස්වාමි මහතාගේ සිංහල කලාව ග්‍රන්ථය. ඒවගේම අරුනාචලම් මහදේව මැතිතුමා මේ රටේ නිදහස වෙනුවෙන් ඉදිරියට පැමිණියා.  ඒ වගේම හින්දු ආගම දියුණු කරන්න, කොළඹ සිවම් කෝවිල ඇති කරන්න, තවත් කෝවිල් ඇතිකිරීමට ඒ පවුලෙන් උදව් උපකාර ලැබුණා. මේ පවුල ලාංකික, සිංහල, බෞද්ධ, ද්‍රවිඩ, හින්දු ආගම් ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබා දුන්නා.

ලාංකිකයින් ලෙස මෙන්ම යාපනයේ ජීවත්වන ජනතාව ලෙසත් අපි සියලුදෙනාම ඒ පවුලට කෘතඥතාව පිරිනැමිය යුතුයි. ඒ වගේම වෛද්‍යලිංගම් තුරෙයිසාමි මැතිතුමා අපිට අමතක කිරීමට බැහැ. නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ දී ඩී.එස්. සේනානායක මැතිතුමාට සහාය ලබාදුන් සී. සුන්දරලිංගම් අමාත්‍යවරයාත් ඒ වගේම සී. සිත්තම්පලම් අමාත්‍යවරයා, නල්ලයියා අමාත්‍යවරයාත් අපි මෙහිදි සිහිපත් කළ යුතුයි.

ඒ වගේම ජී.ජී. පොන්නම්බලම් , චෙල්වනායගම් මැතිතුමත්, එම්. තිරුචෙල්වම් ඇමතිවරයාත් සිහිපත් කළ යුතුයි. මේ නායකයින් තමයි ලංකාව ගොඩනඟන්න අනෙකුත් නායකයින් සමඟ එක්ව කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව යාපනයේදීත් නිදහසේ 75 වන සංවත්සරය සමරන්න රජය තීරණය කළා. අපි දැන් අලුත් ගමනක් යා යුතුයි. එහිදී සියලු ශ්‍රී ලාංකිකයින් එක්විය යුතුයි. සංහිඳියාව ගැන පෙබරවාරි 08 වනදා මම කතා කළා. නැවත ඒ පිළිබඳ මෙතනදි කතා කිරීමට අවශ්‍ය නැහැ. ඒත් සංස්කෘතිය පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය හා සංස්කෘතියයි. ද්‍රවිඩ සංස්කෘතිය මගින් ලාංකීය සංස්කෘතිය පෝෂණය වී තිබෙනවා. ඒ සඳහා තමිල්නාඩුව සහ කේරළයේ සම්බන්ධයක් තිබෙනවා.

විශේෂයෙන් පාණ්ඩ්‍ය විජයධානී රාජධානීවල ඉදලා ජාවකජාති චන්ද්‍රබාහුර් පාලකයාගේ සිට ආර්ය චක්‍රවර්ති රජවරු සමයේත්, සපුමල් බුවනෙකබාහු රජතුමාගේ කාලයේත්, සංගිලි රජතුමාගේ කාලයේත් විශාල සංස්කෘතියක් මේ ප්‍රදේශයේ නිර්මාණය වුණා. නල්ලූර් කෝවිල ඇති කළා. ඒ වගේම සංගිලි රජතුමාගේ විශාල මාළිගාව තිබුණා. කෝට්ටේ රජතුමාට විශාල මාළිගාවක් අවශ්‍යවුනා නම් ඒ මාළිගාව මීටත් වඩා විශාල වනු ඇති බව ඒ අනුව අපට සිතිය හැකියි. .ශ්‍රාවස්ති මහල් සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්පසුව ඉදි කළා.
යාපනයේ ඉතිහාසය ගැන පොත්පත් වගේම වෛද්‍ය පොත් පත් තිබුණා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියැවී තිබු පුස්කොළ පොත් පෘතුගීසින් විසින් ගිනි බත් කළ බව සඳහන් වෙනවා.
ඒ නිසා තමයි මීගපුල්ලෙ ආරච්චි විසින් පෘතුගීසීන්ට විරුද්ධව කැරලි දෙකක් ආරම්භ කළේ. එතුමා අමතක නොකළ යුතුයි. නැවත මේ සංස්කෘතිය ඕලන්ද කාලයේ ඇති වුණා. යාපනය තේසවලාම නීතිය ආරම්භ කෙරුණා. එහිදී නව නීති යාපනය ට ගෙන ආවා. ඕලන්ද කාලයේ දී යාපනය සංස්කෘතික දියුණුවක් තිබුණා . බ්‍රිතාන්‍ය කාලයේ යාපනයේ ආර්ථික දියුණුවක් පැවතුණා.

1840 පළමු පුවත්පත නිකුත් කළා. එමගින් යාපනයේ සාහිත්‍යය දියුණුව ආරම්භ වුණා . නමුත් යුද්ධය එක්ක ඒ සියල්ල විනාශ වුණා . පුස්තකාලය ගිනිතිබ්බා. යාපනය කොටුව විනාශ කළා. නමුත් කෙසේ හෝ යාපනයේත්, කොළඹත් ඒ වගේම ඩයස්පෝරාව ලංකාවේ පිටතත් මේ ද්‍රවිඩ කලාව සහ සංස්කෘතිය ආරක්ෂා කළා.

දැන් නැවත එහි පිබිඳීමක් සිදුව තිබෙනවා. චිත්‍රපටි වගේම යුද්ධය පිළිබඳ භාෂා තුනෙන්ම ලියුවුණු ග්‍රන්ථ තිබෙනවා. ඒ වගේම කලාව දියුණු වී තිබෙනවා. අලුත් කලාවක් සහ සංස්කෘතියක් ගොඩනැඟි තිබෙනවා.

අපි අද සම්ප්‍රදායික ද්‍රවිඩ සංගීතයකට සවන් දෙනවා. ද්‍රවිඩ ගීතවලට ඇහුම්කන් දෙනවා. ඒ වගේම ආර්. රහුමාන්ගේ ගීත සිංහල අයත් අහනවා. සිංහල ගීත ද්‍රවිඩ අයත් අහනවා. අපි අලුත් කලාවක් ඇති කර තිබෙනවා. අපි එය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා මම සංස්කෘතික අමාත්‍යවරයාට කිව්වා ගාල්ලේ තිබෙන සාහිත්‍ය උළෙල වගේ එකක් යාපනයෙත් පවත්වන්න කියලා. ඒ වගේම අලුත් කලාවක් අපි ඇති කරමු. මේ ගමන අපි සියලුදෙනා එකට එකතුවෙලා යමු. වැටුණ රට ගොඩනගන්න අපි සියලුදෙනා එකතු වෙමු.

මේ ස්ථානය තමයි යාපනයේ ද්‍රවිඩ කලා මධ්‍යස්ථානය විය යුත්තේ. ඒ නිසා ඉන්දීය රාජ්‍ය ඇමතිතුමනි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත් දැනුම් දෙන්න අපි මෙම ස්ථානය “සරස්වති මහල්” ලෙස නම් කරන බව. අපි අලුත් බලාපොරොත්තුකින් ඉදිරියට යමු.

 ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වසරේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී දෙවතාවක් යාපනය ට පැමිණියා . උතුරේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා . පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා උතුරේ ප්‍රශ්න විසදීමට ගන්නා පියවර පිළිබඳ පැහැදිලි කළා. 13 වන ව්‍යවස්ථාව සංශෝධනය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා. 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයාට හැකි යැයි සිතා අප සියලුදෙනා එතුමා ට සහයෝගය දුන්නා. එම අර්බුදයෙන් මේ වන විට අප ගොඩඑමින් තිබෙනවා .ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා ට අප සහයෝගය දැක්විය යුතුයි . උතුරේ ජනතාව ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලෙස ජීවත් වෙන්න කැමතියි .

ඉන්දීය රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන් 

අද ඉන්දියාවට සහ ලංකාවට විශේෂ දවසක්. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා.2015 වර්ෂයේ මාර්තු මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලංකාවේ සිදු කළ සංචාරයේදී තමයි මීට මුල්ගල තැබුණේ. අද එහි ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතාව වෙත ලබා දී මට හැකි වී තිබෙනවා. යාපනය ජනතාවගේ සංස්කෘතික කලා කටයුතුවල වර්ධනයක් ඇති කිරීමට මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පිටිවහලක් වනු ඇති.

මම මෙම දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක සිදු කළ සංචාරවලදී නිවාස මෙන්ම යටිතලපහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍යය, කෘෂි කර්මාන්තය වැනි අංශවල දියුණුවට ඉන්දියාව ලබා දී ඇති සහයෝගය දැක ගැනීමට ලැබුණා. දොරෙයිඅප්පා ක්‍රීඩාංගනය, තිරුකේදීස්වරම් කෝවිලත් ඒ අතර වනවා. තවද 2022 ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ ඇමරිකානු ඩොලර් මිලියන 04ක් ලබා දෙමින් සහාය දීමට ඉන්දියාව කටයුතු කළා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍යාධාර ලබා ගැනීමට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉන්දියාව ඒ අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දුන්නා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය තවත් ඉදිරියට ගෙන යමින් උතුරු පළාතේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමුන් 100ක් සඳහා ශිෂ්‍යත්වයක් හඳුන්වා දීමට මෝදී අග්‍රාමාත්‍යවරයාගේ අදහසක් තිබෙන බවත් මෙහිදී පැවසිය යුතුයි.

2047 වසර වන විට ඉන්දියාව නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් සැලසුම් සකස් කර ක්‍රියාවට නංවා තිබෙනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවත් එසේ කර ඇති බව. ඒ ගමන අප දෙරටම සහයෝගයෙන් යනු ඇති බවත් විශ්වාස කරනවා.

ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන්, එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.