ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා.
අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි.
බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා.
කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්.
නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි