"මට වැඩියෙන් ම සතුටක් දැනුණෙ සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ නවයක් ලැබුණු බව දැනගත්ත වෙලාවේ නෙවෙයි, මගේ තාත්තා නිර්දෝශීයි කියලා අධිකරණය තීන්දු කරපු දවසෙයි," බීබීසී සිංහල සේවයට මෙසේ පැවසුවේ, මීට වසර කිහිපයකට පෙර වඳ සැත්කම් චෝදනාවකට ගොදුරු වූ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ වැඩිමල් දියණිය යි.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා A සාමාර්ථ නවයක් ලබා ගැනීම දුර්ලභ සිද්ධියක් නොවුණ ද, මෙහිදී ඇති විශේෂත්වය වන්නේ 2019 වසරේ දී සිය පියාට සමාජයෙන් ද, තමාට පාසලේ ශිෂ්‍යාවන්ගෙන් එල්ලවූ පීඩනය පසෙකලා 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය ජයගැනීමට ඇය සමත්වීම යි.
මොහොමඩ් ෂාෆි ෆාතිමා සෙයිනම් සිංහල භාෂාව සහ සාහිත්‍යය ද ඇතුළුව සියලු විෂයයන්ට A සාමාර්ථ ලබාගෙන ඇති අතර, ඇය ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
"මේ සැරේ සාමාන්‍ය පෙළට මුහුණදුන්න ගොඩක් දෙනෙක් A සාමාර්ථ නවයක් ගත්තත් අද මගේ A නවය ගැන ගොඩක්දෙනෙක් කතා කරන්නේ මම බාධක මැද්දේ - හැමෝම දන්නවා අපේ පවුලට වෙච්ච ප්‍රශ්න, එල්ල වෙච්ච දේවල් - ගොඩක් පීඩාවන්ට මුහුණදීලා තමයි අද මෙතනට ඇවිත් ඉන්නේ. මගේ ජයග්‍රහණය ගැන මං අවංකවම ආඩම්බර වෙනවා. මේ ජයග්‍රහණය මම දකින්නේ වචනයකින් හරි මට උදව් කරපු සමාජයත් එක්ක මම ලබපු ජයග්‍රහණයක් විදිහට යි."
ඇය පැවසූ පරිදි සිය පියාට එල්ල වූ චෝදනා හමුවේ ඇගේ "සමවයසේ ශිෂ්‍යාවන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය මැද ඇයට පාසල් කිහිපයකට මාරු වීමට සිදුවී" තිබිණි.
"කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් ආරම්භ වෙන්නෙ මගේ පාසල් දිවිය. ඊට පස්සෙ කුරුණෑගල මලියදේව බාලිකාව. ඊට පස්සෙ තාත්තාගේ ප්‍රශ්නවලින් පස්සෙ කොළඹ මුස්ලිම් කාන්තා විදුහල. ඊට පස්සෙ කල්මුණේ මහ්මූද් බාලිකා විදුහලට යන්න සිදුවෙනවා. අවසාන වශයෙන් මහනුවර බදියුදීන් මහ්මූද් කාන්තා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ," ඇය පැවසීය.
ඇයට "අමිහිරි අත්දැකීමකට" මුහුණදීමට සිදුවුව ද සෙයිනම් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට දක්වන ගෞරවය අඩු වී නැතැ යි ඇය පැවසුවාය.
"මලියදේවය කියලා කියන්නේ මට මගේ දක්ෂතා එළිදක්වන්න තිබුණ හොඳ තැනක්. ඇත්තටම පාසලට මම චෝදනාවක්වත්, විරුද්ධතාවක්වත් එල්ල කරන්න කිසිසේත්ම කැමති නෑ. මොකද, මම ඉහළින්ම ගරු කරන පාසලක් තමයි මලියදේවය කියන්නේ. ඒත් ඒ කාලෙ හිටිය ශිෂ්‍යාවන්ට පොවල තිබුණ විෂ, සමාජගත කරල තිබුණ දේ නිසා එයාලට ඇති වුණ මානසික තත්ත්වයත් එක්ක මට හිත රිදවීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා."
ඇය සඳහන් කළේ, තමන් පීඩාවට පත්කළ කිසිවෙකු සමග තමන් තුළ "කිසිදු තරහක් නොමැති" බව යි.
"මම අදටත් එයාලා ගැන කිසිම තරහක්වත්, කිසිම චෝදනාවක්වත් එයාලට එල්ල කරන්න කැමතිත් නෑ. මොකද, ඒ තමයි අපේ රටේ ඉහළ තැන්වලින් සමාජගත කරල තිබ්බ විෂ. ඉතින් ඒක එයාලගේ වරදක් විදිහට මම දකින්නෙ නෑ. අදටත් මට වැරදි විදිහට කතා කරපු මගේ හිත රිදවපු අය ගැන කිසිම තරහක් නෑ."
"ළමයින්ගෙ ලෝකෙ විෂ අඩුයි. විෂ තියෙන්නේ වැඩිහිටියන්ගේ ලෝකෙ තමයි. ඒ විෂ සමාජගත කරන්නෙ වැඩිහිටියන් විසින්. ඉස්සෙල්ලාම රටේ ඉහළම තැන් හරියාකාරව හැදුණොත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි, මිනිස්සු තමන්ගේ බලය, තනතුර, පදවිය වෙනුවෙන් ජාතිවාදය කියන අවිය පාවිච්චි කරනවා. අපි හැමෝම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියලා වෙන්වුණාට වැඩක් නෑ. අන්තිමට ඒ ආගම් සියල්ල අත හැරියොත් අපි හැමෝම මිනිස්සු. අපි අදහන්න ඕන මනුෂ්‍යත්වය කියන ආගම. ඒ මනුෂ්‍යත්වය කියන ආගම අදහනකොට කවදාවත් වෙන කෙනෙකුට වැරැද්දක් කරන්න හිතෙන්නෙ නෑ. ඒ නිසා වෙන කෙනෙකුට චෝදනාවක් කරනකොට හිතල බලන්න, තමන්ට ඒ දේ වුණොත් තමන් කොච්චර අසරණ වෙයි ද කියලා."
තමන්ට එල්ල වූ පීඩනය සහ බලපෑම් හමුවේ මානසික මට්ටම පහළ වැටීමට ඉඩ නොදී අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන ගියේ කෙසේ ද? එම ප්‍රශ්නයට ඇය දුන් පිළිතුරයි මේ.
"මේක මම කවදාවත් නොහිතපු දෙයක්. ඒ ඇති වුණ පීඩනය නිසා මම අධ්‍යාපනය ලබපු පාසල මට නැති වුණා. එදිනෙදා මගේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් මට ලැබුණේ නෑ. විශාල පීඩනයක්. තාත්තා ගෙදර නෑ. තාත්තාව නිදහස් කර ගන්න අම්මා වින්ද දුක, එතකොට මල්ලි, නංගි අපේ පවුල සීසීකඩ වුණා. මෙහෙම වෙද්දි පුංචි ළමයෙක් හැටියට මම ගොඩක් හිතින් කඩාගෙන වැටුණා. මගේ අම්මා තාත්තාව බේර ගන්නත් මහන්සි වුණා. ඒ වගේම අපේ වගකීමුත් ඉටු කරන්න ඇය කවදාවත් අමතක කළේ නෑ. ඇය හින්ද තමයි මම හිතන්නෙ මම මනසින් ශක්තිමත් වෙලා ඉන්නෙ."
තමන් මුහුණදුන් අත්දැකීමට වෙනත් දරුවෙකුට හෝ දැරියකට මුහුණදීමට සිදුවුවහොත් මනසින් ශක්තිමත්ව නැගී සිටින්නේ කෙසේදැ යි ඇය පැහැදිලි කළා ය.
"අපේ ජීවිතය කියල කියන්නේ රෝසමල් යහනාවක් නෙවේ. ජීවිතය කියල කියන්නේ අභියෝග පිරුණු දෙයක්. අභියෝග තමයි ජීවිතය ලස්සන කරන්නේ. ගංගාවක් ගලා යන්න ඕනෙ බාධක, හැලහැප්පීම් මැද. එතකොට තමයි ගලන ගඟේ සුන්දරත්වය තියෙන්නේ. වැටෙන තැන් තියෙනවා. ඇඬුවට කමක් නෑ. අපි මානසිකව වැටුණා ම අපට ජීවිතය නැති කරන්න හිතෙනවා. ඒ වුණාට කිසි ම ප්‍රශ්නයක දී ජීවිතය නැතිකර ගැනීම නෙවෙයි එක ම පිළිතුර."
ඇගේ අනාගත අපේක්ෂා මොනවා ද?
බීබීසී සිංහල සේවයට ඇය පවසූ පරිදි ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, උසස් පෙළ විද්‍යා අශයෙන් හදාරා සිය පියාගේ අඩිපාරේ යමින් වෛද්‍යවරියකවීම ය.
ඇය තමන් උගන්නා දේ තමන්ගේ මව්බිමේ වෙසෙන මිනිසුන්ට උපකාරයක් පිණිස භාවිත කිරීමට කැමැත්තෙන් පසුවන්නී ය.
"රට අතඇරලා යන්න ඕන තරම් හිතිලා තියෙනවා ඒ දවස්වල. ඒ වුණාට අද හිතෙනවා අපට වැරදි කරපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම පිළිතුර තමයි, අපි එයාලත් එක්ක එකට ඉන්න එක. මම කැමතියි මගේ රටට සේවයක් කරන්න," ඇය ප්‍රකාශ කළා ය.
වෛද්‍ය ෂාෆිට එල්ල කළ චෝදනා !
2019 මැයි 23 වෙනිදා දිවයින පුවත්පත "තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ" යනුවෙන් පළකර තිබූ ප්‍රධාන පුවතත් සමග ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවිය.
ඒ අනුව, එම වෛද්‍යවරයා 2019 වසරේ මැයි 25 වන දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.
2019 ජූනි මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ වෛද්‍ය ෂාෆිට එරෙහිව එල්ල කර ඇති චෝදනා සනාථ කිරීමට සාක්ෂ්‍ය නොමැති බව ය.
පසුව ඔහු නිර්දෝෂීබව සනාථවූ අතර පසුගිය වසරේ දී හිඟ වැටුප් ද සහිතව යළි සේවයේ පිහිටුවන ලදී.
ඔහු තමන්ට හිමිවූ හිඟ වැටුප් කොරෝනා මර්දනයට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවට ප්‍රකාශයක් කළේ ය.
බීබීසී - සිංහල