පරදුව යායේ ගොවීහු කුඹුරට පැමිණියේ යල් කන්නයේ අස්වනු ලැබූ ඉපනැල්ල පෙරළා බිඳ නැවුම් පස පෙරළුණු පිණිසය. ඉල් මහේ ඇදවැටුණු මහ වැසි කුඹුරු ලියැදිවල පිරී පැවතිණි. මාස් කන්නය අස්වද්දනු පිණිස ගොවීහු කුඹුරු යායේ මඩ කළල් කරන්නට පටන් ගත්තේය. ඔවුන්ගේ විලාසයේ තිබුණේ මහ පොළොවටත් නොරිදෙන රිද්මයකි. යායේ අනෙක් කෙළවර දැවැන්ත බැකෝ යන්ත්‍ර මොර දෙමින් මහ පොළොවත් කපා හාරා තුවාල කර මහා පතල් කපන්නට පටන් ගත්තේය. ගිජු ලිහිණියෙකු ට ගොදුරුවූ හාවෙකුගේ අතුණුබහන් ඇද කන්නාක් මෙන් පොළොව අභ්‍යන්තරයේ ඇති මැටි නිධි සමාගමට අයත් බැකෝ යන්ත්‍ර විසින් ගොඩට ඇද ටිපර් රථ වලට පටවනු ලැබිණි. මේ විනාශය දෙස සංවේගයෙන් බලා සිටිනු වෙනුවට සිය මුතුන්මිත්තන්ගෙන් දායාද වශයෙන් ලැබුණු මේ කුඹුරු යායේ මැටි කැනීමට ගොවිහු එක හෙළා සිය විරෝධය ප්‍රකාශ කළේය. මේ මහා පරිසර විනාශයට එරෙහිව උපදේශයේ මැටි කර්මාන්ත කරුවෝත් සිවිල් සංවිධාන පරිසර සංවිධාන හා අකුරැස්ස ගොවි සංවිධාන සමූහයත් එක්ව ගම සුරකින සමගි පවුර නම් සංවිධානයක් ද පිහිටුවා ගනු ලැබීය. සමාගමේ මොර දුන් බැකෝ යන්ත්‍ර ගොලු වූයේ ඉන් පසුවයි. එහෙත් ඒ වන විටත් මැට් කියූබ් පහලොවක මැටි තොග සමාගම විසින් නීති විරෝධීව සිය කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කරගෙන තිබිණි. මැටි කණිනු ලැබූ සමාගම පවසන්නේ කෙසේ හෝ මේ මැටි නිධිය ගොඩට ගැනීමට තමන් කටයුතු කරන බවයි. විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ එය කිරීමට අපේක්ෂා කරන බව ද සමාගමේ නියෝජිතයකු අපට පැවසීය. ඒ අනුව මේ නිහැඬියාව ඔවුන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදය සොයාගන්නා තුරු පමණක් බව පැහැදිලිය.
විකිණීම සහ මිලදී ගැනීම.
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරදුව උතුර දකුණ සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් තුල පිහිටි පරදුව වත්ත බ්‍රිතාන්‍ය සමයේ උක් වගාව සඳහා යොදාගෙන තිබූ කෘෂිකාර්මික භූමියකි. අක්කර 300ක් පමණ ඊට අයත්ව තිබූ බව සඳහන්. ඉන් අක්කර අනූවක් පමණ ගොඩ ඉඩම් වන අතර අනෙක් සියල්ලම මඩ ඉඩම් හෙවත්කුඹුරු ඉඩම් ය. රබර් සහ පොල් වගාවට යොදාගත් අක්කර 90ක කොටස හැරුණු කොට සෙසු සියලු ම කුඹුරු ඉඩම්" අඳය" හෙවත් අඳ ගොවියන් විසින් සරුසාර කරනු ලැබීය. පරදුව උතුර-දකුණ නැගෙනහිර ගොවි පවුල් 400ක් පමණ පරදුව වත්තට අයත් උක්වත්ත යාය ඇතුළු කුඹුරු ඉඩම් සරුසාර කෙත් යායක් ලෙස පවත්වාගෙන එනු ලැබීය. එක් කන්නයක් හෝ අත් නොහැර "අඳය" නිසි පරිදි වතු සමාගමට ලබා දෙමින් ඔවුහු මේ කාර්යයේ නිරත විය. එක්දාස් නවසිය හැත්තෑ දෙකේ ඩී පරදුව වත්ත අයිතිව තිබුණේ මාකර් මරික්කාර් නම් පුද්ගලයකුටය. පසුව ඒ එම් එස් මරික්කාර් එම් ජේ එම් මුබාරක් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනෙකුට මේ ඉඩම් බෙදී ගොස් තිබූ බව සඳහන්. ඉක්බිතිව පරදූව වත්ත සඳහා නීත්‍යානුකූල නොවන ඔප්පුවක් පිළියෙල කර ඇත්තේ ඊට අක්කර 299 ක් රූඩ් 02 ක් පර්චස් 31.49 ක් අයිතිව ඇති බව පෙන්වා දෙමිනි.2021 මාර්තු 10 වන දින සී.පී හෝල්ඩින්ග්ස් (cp holding (pvt) සමාගමට පරදුව වත්ත විකිණීමට පියවර ගෙන ඇත්තේ එම ඉඩම් ප්‍රමාණය ඇතුළත් කරමිනි. අඳය හෙවත් අඳ ගොවීන්ගේ අයිතීන් කුඹුරු පනතේ දක්වා ඇති නිසා පරදුව වත්ත වතු සමාගම සිය අක්කර 299 ට කුඹුරු ඉඩම් අයත් බව ඔප්පුවේ සටහන් කර නැත.
මැටි කැපීමෙන් එළියට ආ රහස්
අඳ ගොවියන්ට නොදන්වා පරදුව වත්ත වැවිලි සමාගම සී පී හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට එරෙහිව පරදුව යායේ ගොවීහු නව සමාගමට "අඳය" දීම නවතා දැමූහ. ඒ 2021 මාර්තු මස දහ වන දින සිටය. එතෙක් වසර 100 කට වැඩි කාලයක් තමන්ගේ මුතුන් මිත්තන් අඳය හෙවත් අස්වැද්දූ කුඹුරු අස්වැන්නෙන් හතරෙන් පංගුවක් පරදුව වත්ත වැවිලි සමාගමට පුදනු ලැබීය. නව සමාගම හෙවත් සී පී හෝල්ඩින්ග්ස් සමාගමට පරවේණිය හෙවත් අඳගොවියන් විසින් ගෙවිය යුතු අස්වනු බද්ද ප්‍රශ්නයක් නොවීය. ඔවුන්ට අවශ්‍යව තිබුනේ සමාගම සතු අයිතිය පෙන්වා අඳ ගොවියන් මේ ඉඩම් වලින් පන්නා දමා මේ සරුසාර කෙත් යායේ පතල් කපා නිල්වලා ද්‍රෝණියේ ඇති බෝල මැටි නිධිය කැණීම ය. සමාගමට මෙසේ මැටි කැණීමට බලපත්‍ර ලැබුණේ කෙසේදැයි ගොවීහු තොරතුරු රැස් කරන්නට විය. දුෂිත ගනුදෙනු එළියට ගලා ආවේය. ඒවා පුදුම සහගතය.
මුලා කිරීමේ සිතියම හමුවීම.
1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත මගින් අක්කර 50ට වැඩි ඉඩම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් රජයට පවරාගැනීම ට කටයුතු කෙරිණ.පනතේ විධිවිධාන වලට අනුව එහි පළමු කොටසේ කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය ඡේදය යටතේ දක්වා ඇත්තේ " මේ පනත ආරම්භ වීමේ දිනයෙහි හා ඉන් පසු යම් තැනැත්තකු විසින් අයිතිව තබාගතහැකි මේ පනතෙහි උපරිමය යනුවෙන් සඳහන් කරනු ලබන වැඩිම කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය (අ ) එම ඉඩම තනිකරම කුඹුරු වලින් සමන්විත නම් අක්කර 25 ක් විය යුතුය. නැතහොත් (ආ ) එම ඉඩම් තනිකරම කුඹුරු වලින් සමන්විත නොවේ නම් අක්කර 50ක් විය යුතුය එහෙත් ඒ අක්කර 50 ට කුඹුරු කිසිවක් අඩංගු වේ නම් ඒ කුඹුරු වල මුළු ප්‍රමාණය(අ ) ඡේදයෙහි නිශ්චිතව සඳහන් කුඹුරු පිළිබඳ උපරිමයට වැඩි නොවිය යුතුය. යන්නය. පනතේ දහ වැනි වගන්තියේ දක්වා ඇත්තේ " මේ පනතෙහි විධිවිධාන යටතේ යම් කෘෂිකාර්මික ඉඩමක අයිතිය වෙනස් වීමෙන් 1958 අංක 1 දරණ කුඹුරු පනත යටතේ අඳය "ගොවීන්ගේ අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් ඇති නොවිය යුතු බවය.
අක්කර හතළිස් නවයක් පෙන්වා අක්කර දෙසිය පනහක් ක් සැඟවීම හෙවත් ග්‍රාම නිලධාරීවරයාගේ උප්පරවැට්ටිය
1972 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතට අනුව පරදුව වත්තට අයිති ඉඩම් ප්‍රමාණයක් ඊට අදාල ඔප්පුවත් සකස් කර දීමේ වගකීම බාරගෙන තිබුනේ ඒවා කට පරදුව උතුර (359) ග්‍රාම නිලධාරී ඩි. වයි. කරුණාදාස මහතාය. මැනීමේ නියෝගය අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මායිම් පෙන්වා දුන්නේ ඔහු විසිනි. ඒ බව මාර 569/302 මූලික පිඹුරේ පැහැදිලිව සටහන් කර ඇත. අක්කර දෙසිය අනු නවයක් හිමිව තිබූ පරදූව වත්ත අක්කර 49 යි රුඩ් 3 පර්චස් 14 කට මැනීම්කටයුතු කර තිබුනේ ඊට කුඹුරු අක්කර හතරක් ද ඇතුළත් බව පෙන්වා දෙමිනි. පරදුව වත්තට අයිති නීත්‍යානුකූල කොටස එයයි.එවකට පරදුව වත්තේ හිමිකරු ලෙස නම් කර තිබුණේ, කොළඹ 3 ගෝල්ෆේස් කෝට් 2හි අංක 26 පදිංචි ඒ එච් මාකන් මාකර් නමැත්තෙකු ය. කැණීම් කටයුතු අවසන් කර ඊට අදාළ පත්තිරු සකස් කර තිබුණේ 1976.11.05 දිනය. මේ මැනීම් කටයුතු සිදු කරද්දී පරදුව වත්තට අයත් නොවන ඔවුන් විසින් භුක්ති විඳි බව පෙන්වා දෙමින් අක්කර 25 ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා දීමට ක්‍රියා කෙරිණි. රජයට පවරා ගත් එම අක්කර 25 න් අක්කර පහ ක් පරදූව ජිනරතන හිමි ට ත් අක්කර හයක් කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් සඳහා අකුරැස්ස ප්‍රාදේශීය සභාවටත් ඉතිරි අක්කර දාහතර පොදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු අමාත්‍ය එච්.ජී සිරිසේන මහතාටත් ලබාදී තිබේ. අමාත්‍යවරයා ලබාගත් අක්කර දාහතරේ පොදු ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වූයේ නැත. අද එම ඉඩම එච් ජී. සිරිසේනගේ පුද්ගලික පොල්වත්ත කි. සියලු කටයුතු අවසානයේ පරදුව වත්තට අක්කර 49 ක නීත්‍යානුකූල ඔප්පුවක් සකස් කරදීමට පරදුව උතුර ග්‍රාම නිලධාරි ඩි. වයි. කරුණාදාස ක්‍රියාකර තිබුණි. සත්‍ය වශයෙන්ම අක්කර දෙසිය අනූ නවයෙන් අක්කර 49ක් පමණක් පෙන්වා දී ග්‍රාම නිලධාරිවරයා කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමග රජය නොමඟ යැවීම ය. අක්කර 250 ක් සඟවා තැබීම ය. මේ අක්කර 250 තුළ පිහිටියේ පරදුව උතුර දකුණ නැගෙනහිර ග්‍රාමසේවා වසම් වල අඳ ගොවියන්ගේ කුඹුරු ඉඩම් ය. පරවේණිය හෙවත් අස්වනු බද්ද ලබා ගනිමින් පරදුව වත්ත සමාගම ඔප්පු රහිතව මේ අක්කර 250 පවත්වාගෙන යාමට කටයුතු කර තිබිණි. ඊට සහාය දුන් ග්‍රාම නිලධාරීවරයාගේ මේ වංචනික ක්‍රියාව වෙනුවෙන් එවකට පරදුව වත්ත පාලනාධිකාරිය ග්‍රාමනිලධාරී ඩී. වයි. කරුණාදාස ට අක්කර දෙකක ඉඩමක් තෑගි කර තිබුණි.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වරයාගේ සමාගමක් විසින් පරදුව වත්ත මිලට ගැනීම.
අකුරැස්ස පරදුව වත්ත සීමාසහිත පරදුව වතු පුද්ගලික සමාගමෙන් 2021 මාර්තු මස දහ වන දින සී පී හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මිලදී ගත් බව 2021.03.23 දිනැති ලිපියෙන් එහි අධ්‍යක්ෂ ජේ. එම්. ජේ. පී. ලියනගේ මාතර දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස් වෙත දැනුම් දී තිබේ. අදාල සමගම රෝයල් සෙරමික් ලංකා පී. එල්. සී හා ලංකා ටයිල්ස් පී. එල්. සී සමාගම් වල උප සමාගමක් බව ද එම ලිපියේ දැක්වේ මේ සමාගම් ජාලය හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාට අයත් ඒවාය.2022.11.12 වන දින මාතර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් එස්. එම්. පී. එස් නිරෝශනි imi/c/n/30u/ball clay/2022/6351 දරන බෝල මැටි අයදුම්පත සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා ඇත්තේ අඳ ගොවියන්ට නොදන්වා කුඹුරු ඉඩම් විකිණීම ක් සම්බන්ධයෙන් 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන ( සංශෝධිත ) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන 2(5) ගන්තිය යටතේ අඳ ගොවි අයිතිවාසිකම් කියාපාන පාර්ශව 45 ක් විසින් පරදුව යායෙ හිටපු සහ දැනට සිටින පාලනාධිකාරියට විරුද්ධව පැමිණිලි 45 ක් තමන් වෙත ලැබී ඇති බවයි. පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තම කාර්යාලයේදී දී සිදු වන බව ද වැඩිදුරටත් දන්වා ඇත.
පාරදූව වත්ත විකිණීම නීති විරෝධී බව පෙන්වා දෙන ගොවිජන සංවර්ධන පනත
2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත තුළින් කුඹුරු ඉඩම් විකිණීම සම්බන්ධයෙන් සුවිශේෂී සීමාවන් පනවා ඇත. පනතේ 2(1) වගන්තිය අනුව කුඹුරු හිමියා විසින් කුඹුරු ඉඩම් විකිණීමට අදහස් කරන්නේ නම් ද පළමුකොටම එම ඉඩමේ අඳ ගොවියෙකු සිටීනම් ද අඳ ගොවියාට ඉඩම් මිල ගනන් සඳහන් කරමින් මිලදී ගැනීමේ අවස්ථාව පිරිනැමිය යුතුය. එම දැන්වීමේ පිටපතක් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන සභාව වෙත ලියා පදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. අයිතිකරු විසින් යෝජනා කරන ලද මිලට අඳ ගොවියා ඉඩම මිලට ගැනීමට කැමති වන්නේ නම් ඔහු විසින් තම කැමැත්ත ඉඩම් හිමියාට සහ ගොවිජන සංවර්ධන සභාවට ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතුය. ඉන් අනතුරුව පැවරුම සම්පූර්ණ කළයුතු කාලය සභාව විසින් තීරණය කරනු ඇත. (2(2) එබදු මිල ගණන් ඉදිරිපත් කිරීමකදී අයිතිකරු විසින් යෝජනා කළ මිල අධිකතර බව අඳ ගොවියා ප්‍රකාශ කර සිටී නම් වෙළෙඳපොල මිල සලකා බැලීමෙන් පසු සභාව විසින් මිල තීරණය කරනු ඇත.2(3)(අ ) එලෙස මිල ගනන් නිශ්චය කරගත් පසු සභාව විසින් නියම කරන කාලයක් තුළ පැවරීම සම්පූර්ණ කළ යුතුය. (2(3)(ආ ) යම් අද ගොවියකු විසින් 2(2),2(3) වගන්ති අනුව ක්‍රියාකිරීම කඩ කර ඇත්නම් එම අද ගොවියා එම කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් අස් කිරීමට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇත. යම් කුඹුරු හිමියකු විසින් පෙරකී විධිවිධාන කඩකර කුඹුරු ඉඩමක් පවරනු ලැබුවේ නම් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් කරනු ලබන පරීක්ෂණයකින් පසුව එකී පැවරීම ශුන්‍ය හා බල රහිත බව කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කල හැකිය. එසේම එම පැවරීම යටතේ එම කුඹුරු ඉඩම් ප්‍රමාණය භුක්තිවිදින තැනැත්තා පනතේ අටවන වගන්තිය අනුව නෙරපා දැමිය හැකිය. (3(5). යම් පැවරීමක් ශූන්‍ය හා බල රහිත බව 3(5) වගන්තිය යටතේ ප්‍රකාශ කරනු ලැබූ විට එම ප්‍රකාශය අදාළ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත ද යොමු කරනු ලැබිය යුතුය.3(6)ගොවිජන සංවර්ධන පනතේ 8 වන වගන්තිය අනුව ගොවිජන සේවා කොමසාරිස් වරයා වෙත යොමු කරන පැමිණිලි විභාග කිරීමට ඔහුට දිසා අධිකරණය සතු බලතල ඇත. පාරදූව වත්ත විකිණීමේදී කුඹුරු පනත හෝ ගොවිජන සංවර්ධන පනත හෝ ඒවායේ සඳහන් විධි විධාන කිසිවක් සම්පූර්ණ කර නැත. ඒ අනුව බැලු බැල්මටම පරදූව වත්ත විකිණීම කළ එම වතු සමාගමත් වත්ත මිලදී ගත් නව සමාගමත් දෙකම අද ගොවියන්ගේ ඉඩම් අයිතියට පයින් ගසා ඇත.
ජනාධිපතිවරයාට පැමිණිලි.
සමාගමට මේ මැටි නිධිය කැණීම තවත් ව්‍යාපාරික කටයුත්තක් වුවත් පරදුව යායේ ගොවීන්ට නම් ඒය තමන්ගේ අනාගත පරම්පරාවේ බඩගින්න පිළිබඳ සැක සංකා මතු කරන්නකි. සමාගම මේ සරුසාර යායේ මැටි ගොඩ දැමීමට පතල් කැණීමෙන් එතෙක් මෙතෙක් තමන්ගේ ගොවිතැන වගා බිම් අහිමි වීම යනු අඳ ගොවීන්ට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය අහිමි වීම මිස අන් යමක් නොවේ. පරදුව ග්‍රාමයේ පවුල් 1100 ක පුද්ගලයන් 5370 ක් ජීවත්වන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තාවල දැක්වේ. පරදුව "වල වෙල " පාරම්පරික මැටි කර්මාන්තයේ නිරත වූ කර්මාන්තකරුවන් මැටි ලබාගත්තේ ද මේ පරදුව යාය ආශ්‍රිතවය. අනාදිමත් කාලයක සිට ඔවුන් මේ කර්මාන්තයේ නිරත වූයේ පරිසර හානියක් නොවන ලෙස මැටි වලවල් නැවත වසා දමමින. මහා පරිමාණ පතල් කැපුවේ නැත. නිල්වලා ගංගා ද්‍රෝණියේ පහළ නිම්නයේ ජීවත්වෙන පරදුව වැසියන් අසාර්ථක නිල්වලා යෝජනා ක්‍රමයෙන් අප්‍රමාණ ගැහැට විඳින්නේ ය. ඉහළ නිම්නයට ඇදවැටෙන සුළු වර්ෂාවකදී පවා ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වේ. කියාඬුව රක්ෂිතයෙන් පටන්ගෙන ගලන නා ගහ දොල ඇල ගලා බසින්නේ ද මේ වත්ත මැදිනි. සරුසාර තෙත් බිමක් වූ පරදුව රකින නිල්වලා ද්‍රෝණියේ පිහිටි බෝල මැටි මහා පරිමාණයෙන් කැණීම් කළ පසුව ප්‍රදේශයේ ළිං ජලය සිඳී යාම හා ගොවිබිම් වියලී යාම ගොවියන්ට කුඹුරු ඉඩම් අහිමි විම කිරි කර්මාන්තයේ නිරත ගොවීන්ට තණ බිම් අහිමි වීම ඇතුළු කෘෂිකාර්මික හා පාරිසරික ගැටලු රැසක් මතුවන බව ගම සුරකින සමගි පවුර නම් සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් මේ විනාශයට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් ලිඛිතවම ඉල්ලා තිබේ. ඊට අමතරව අත්සන් දහසක පෙත්සමක් ජනාධිපතිවරයාට භාර දීමට ද ක්‍රියා කරමින් සිටී.
ගොවියන්ට දැනුම් නොදී මේ කුඹුරු ඉඩම් විකිණීමට අපි විරුද්ධයි...! ඒ. කේ.නෙවිල් කුමාර - සභාපති පරදුව උතුර ගොවි සංවිධානය
" පරදුව වත්ත විකිණීමට කලින් අපි හිතුවේ අපි අඳේට වැඩ කළ කුඹුරු ඉඩම් පරදුව වත්තට අයිතියි කියලා. උක්වත්ත යායේ අක්කර 150 ක් විතර තියෙනවා. සමාගම ට මේවා අයිති නැ. සමාගමට මේ කුඹුරු ඉඩම් වලට ඔප්පු නෑ. අපිට අයිතියක් ඇත්තෙත් නෑ අපිට ඔප්පු නෑ ඒත් අපේ පරම්පරාව ජීවත් වුණේ මේ කුඹුරු ඉඩම් වලින්. මැටි කපන්න දෙන්න බෑ අපි මේකට විරුද්ද යි.
සියලු සංවිධාන ඒකාබද්ද කරගෙන මේ විනාශය ට විරෝධය දක්වනවා. ලශිකා ජයලත් - සමාජ ක්‍රියාකාරී අකුරැස්ස.
"මේක පරදුව වත්තේ කුඹුරු ගොවියන්ට බලපාන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක නිල්වලා ගඟෙන් වතුර බොන ලක්ෂ තුනකට වැඩි ජනතාවට බලපාන ප්‍රශ්නයක්. කළුතර මීටියාගොඩ යන ප්‍රදේශවල මැටි නිධි කැණීම් කරලා කරපු විනාසය නිල්වලා ගංගා ද්‍රෝණියට ගේන්න එපා. සමාගම කියන්නේ මුල් අදියරේ අක්කර 15 ක ගොඩ ඉඩම් වල මැටි කැණීම් කරනවා කියලා ඒ මුල් අදියර පස්සේ තමයි වෙළටත් බහින්නේ.අපි සියලු සංවිධාන ඒකාබද්ධ කරගෙන විනාසයට විරෝධය දක්වනවා.
වගකිවයුතු නිලධාරීන් තීරණ ගත යුතුයි. කුමාරසිරි පතිරණ - පරදුව උතුර ගොවි සංවිධානය.
" මේ පරිසර විනාශයට එරෙහිව වගකිවයුතු නිලධාරීන් නිවැරදි තීරණ ගත යුතුයි. පරදුව කියන්නේ තේ පොල් රබර් කුරුඳු ගම්මිරිස් ආදී අපනයන බෝග සරුවට වැවෙන බිමක් කිරි ගොවීන් මැටි කර්මාන්තකරුවන් කුඹුරු ගොවීන් පවුල් 2000 කට ආසන්නයි. මහා පරිමාණ පතල් කැපීමෙන් යාය විතරක් නෙවෙයි මේ ප්‍රදේශයම මේ ප්‍රශ්නයට ගොදුරු වෙනවා. කුඹුරු ඉඩම් විකුනපු විදියත් වැරදියි ගොවිජන සංවර්ධන පනත ට අනුවගොවිජන සංවර්ධන කොමසාරිස්ට මේ විකිණීම ශූන්‍ය කරන්න පුළුවන්.
මේ පරිසර විනාශය ට එරෙහිව අපි සටන් කරනවා. ජනක හිත්තැටිය ගේ - යාය ගොවි.
" භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන මේ රාජ්‍ය ආයතන සමාගමේ මේ මැටි කැපීමේ ව්‍යාපෘතිය නවතා දැමිය යුතුයි. මේක රටටම බලපාන ප්‍රශ්නයක් සමාගමට ඩොලර් පිපාසය තිබුනට අපිට තියෙන්නේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නයක් මේ කුඹුරු වගා කරලා තමයි අපේ පරම්පරාවම බඩගිනි නිවා ගත්තේ මේක මැටි හාරන්න දෙන්න බෑ මේ විනාශයට එරෙහිව අපි සටන් කරනවා.මොකද මේක අපේ දරුවන්ගේ අනාගතයට බලපාන ප්‍රශ්නයක්.
රතුපස්වල කරපු දේවල් මෙහෙ කරන්න එන්න එපා.නිල්වලා ද්‍රෝණිය වනසන්න ඉඩ දෙන්නේ නෑ.ආර්. කේ අනුර ( විශ්‍රාමික ගුරු ) සභාපති ගම සුරකින සමගි පවුර සංවිධානය
" සමාගමට උවමනා විදියට සමහර රාජ්‍ය ආයතන කටයුතු කරන්න පුළුවන් එහෙම අත්දැකීම් අපට තියෙනවා. මේ ටයිල් සමාගම් පවත්වාගෙන යාමට මැටි කැණීම් කරන්න ඕනේ මේ සරුසාර වෙල් යායවල් වනසල නෙවෙයි. ඒකට සුදුසු බිම් ඔවුන් සොයා ගත යුතුයි. පරදුව මැටි නිදිය තියෙන්නේ නිල්වලා ගඟ ද්‍රෝණියේ. මාතර දිස්ත්‍රික්කයේ සියයට අනුවක් පානීය ජලය සපයා ගන්නේ බලකා වල, කද්දුව, නාදුගල පොම්පාගර වලින් පිරිසිදු කරන නිල්වලා ගඟේ ජලය පරදුවට ඉතාම කිට්ටුවෙන් මේවා තියෙන්නේ මැටි ගොඩ දාන්න පතල් කපන්නේ මේ සංවේදී කලාපයේ එංගලන්තයෙන් කුණු ගෙනාපු ව්‍යාපාරිකයෙක් ගේ සමාගම ක් මේක කරන්නේ ඒ ගෙනාපු කුණු මේ මැටි වල වල් වල පුරවලා මේවා වහලා දාන්නත් පුළුවන් අපි මේකට ඉඩදිය යුතු නෑ. රතුපස්වල කරපු වැඩ මෙහෙ කරන්න එපා.
අඳ ගොවියන්ට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. මුළු ගමම මේකට විරුද්ධයි . ගුණපාල උඩගෙ.- විශ්‍රාමික රාජ්‍ය නිලධාරී, යාය ගොවි.
"සමාගමට පරවේණිය දුන්නේ නෑ කියලා පරදුව වත්තෙ හිටපු වතු අධිකාරී මිල්ලවාන ගොවියන් හතරකට නඩු දැම්මා. ගොවිජන සංවර්ධන පනත ට අනුව අද ගොවියන්ට විරුද්ධව නඩු පැවරිය යුත්තේ ඉඩම් හිමියා විසින් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකු විසින් මිල්ලවාන ට එසේ බලය පවරා නැහැ. ඉඩම් හිමියා මාකර් මරික්කාර් ඔහු ජීවතුන් අතර නැහැ. කොහොම උනත් අපි පෙනී ඉන්නේ අද ගොවියන්ගේ කුඹුරු ඉඩම් කැණීමට එරෙහිව පමණක් නෙවෙයි. මේක රටටම බලපාන පොදු ප්‍රශ්නයක් රට ආහාර හිඟයකට මුහුණ දෙන බව කියලා කුඹුරු යායවල් මැටි කපලා විනාශ කරන්න ඉඩදෙන්න පුලුවන්ද.....?
මම තෑගි ගත්තෙ නෑ.- ඩි. වයි කරුණාදාස - විශ්‍රාමික ග්‍රාම නිලධාරී පරදුව උතුර
ප්‍රශ්න ය - පරදුව වත්ත මැනුම් කටයුතු කරද්දී ඔබ ඊට සහාය දුන්නා ද ඔබට ඒ වෙනුවෙන් පරදුව වත්තෙන් අක්කර දෙකක් තෑගිත් ලැබුණාද..?
" මම තෑගි ගත්තෙ නෑ කවුද කියන්නෙ මම ඒ ඉඩම ගත්තේ මාකර් මරික්කාර් ගෙන් රුපියල් හතලිස් දාහක් ඒකට මම දුන්නා ඔප්පු තිබුණේ නෑ. මම පස්සෙ ඔප්පුවක් හදාගත්තා. වත්ත මනින්න සහය දුන්න කියල කවුද කිව්වේ...? පත්තිරුවේ නම තියෙනවා කිව්වට මම ඒක දැක්කෙ නෑ.. මම තෑගි ගත්තේ නෑ වත්තෙන් අක්කර දෙකක් මට මාකර් මරික්කාර් දුන්නා.
තියෙන සම්පත නැති කරගෙන ඩොලර් ගේන්න මැටි කැපුවම ගොවියන්ටත් ඩොලර් බෙදනවා ද...? ආර්. කේ. චන්ද්‍රසිරි- ලේකම් පරදුව උතුර ගොවි සංවිධානය.
" සමාගම රැස්වීමක් තියලා අපට කිව්වේ රටට ඩොලර් ගෙන මේ ව්‍යාපෘතියට අකුල් හෙලන්න එපා කියලා. ගොවියෝ ඇහුවේ මැටි කපන්න කුඹුරු දුන්නම අපිටත් ඩොලර් බෙදනවා ද කියලා ඒකට සමාගම ට කටඋත්තර නැති උනා. මුලදී පෙන්නන හොඳ මැටි කපා ගෙන යද්දි නැහැ. ඊට පස්සේ එන ප්‍රශ්න වලටත් සමාගම උත්තර දෙන්නෙ නැහැ.
අපිට ජීවත් වෙන්න තියෙන මැටි ටික සමාගම කපාගෙන ගියාම අපි මැටි ගේන්නේ කොහෙන්ද? මැටි කර්මාන්ත ශිල්පිනී ඩබ්ලිව්. එච්. සිරියාවතී - පරදුව දකුණ මැදගොඩ.
" අපේ පරම්පරාවම ජීවත් වුණේ මේ මැටි කර්මාන්තයේන් අවුරුදු සීයකට වැඩි ඉතිහාසයක් අපට තියෙනවා අපි මැටි ගත්තෙ වල වෙල යායෙන්. මැටි ගත්තට පස්සේ අපි ඒ වලවල් එදාම වැහුවා. යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මහා වලවල් කැපුවේ නෑ. සමාගම කරන්නේ බිත්තර දාන කිකිළි මරාගෙන කෑවා වගේ වැඩක් නේ. ඒගොල්ලො පතල් කපල මැටි ඔක්කොම අරගෙන ගියාම අපි ජීවත් වෙන්නෙ කොහොම ද .....
"කෙසේවත් එකග වෙන්න බෑ මේක මහා අපරාධයක්" මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, බමුණුගම ධම්මරතන හිමි - පහුරංවල ශ්‍රී ධර්මරාජ විහාරය
" මේ අඳ ගොවියන්ගේ කරල පැහුනෝත් තමයි මට දානේ ලැබෙන්නේ මේ පන්සල අවට ජීවත් වෙන්නේ මැටි කර්මාන්තයෙන් ජීවත්වෙන අහිංසක පවුල් මේ ගම ගොවි ජනපදයක් මේක වනසන්න ඉඩ දෙන්න බැහැ.. මේ මැටි කැපිල්ලට අපි විරුද්ධයි කෙසේවත් එකඟ වෙන්න බැහැ.
අපි විද්‍යාත්මකව මේ මැටි නිධිය ගොඩට ගන්න කටයුතු කරනවා. ජේෂ්ඨ කළමනාකරු උපදේශක ආචාර්ය පත්මසිරි රණවක - සී. පී. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම
" ඉඩම මිලදී ගැනීමේදී ඉඩම ලබා දුන් සමාගමත් අපිත් අතර අඩුපාඩු තියෙනවා. නමුත් අපි මැටි සාම්පල් ලබා ගත්තේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අවසර ඇතිවයි. මැටි කියන්නේ පොලොව යට තියෙන සම්පතක් ඒක පරදුව වත්තේ අක්කර 100 ක විතර පැතිරිලා තියෙනවා. මේවා රටේ සංවර්ධනයට යොදා ගන්න ධනාත්මකව හිතන්න ඕනේ. පවතින නීතියට එකඟව අපි මේ මැටි නිධිය විද්‍යාත්මකව ගොඩට ගන්න කටයුතු කරනවා.
වත්ත මිලදී ගත්තේ මැටි කපන්න මේක කරන්න අපිට ඉඩ දෙන්න කමල් කුඩාහෙට්ටි - සාමාන්‍යාධිකාරී ලංකා සෙරමික් පී එල් සී
" මුල් අදියරේ අපි කැණීම් කරන්නේ ගොඩ ඉඩම් වල විතරයි නිෂ්පාදන පරීක්ෂාවන් කරන්න ඕනේ නිසා මැටි සාම්පල් අපි ගොඩට ගත්තා. මේ බෝල මැටි නිධිය අක්කර 100 ක විතර පැතිරිලා තියෙනවා මේ වර්ගය කාලයක් තිස්සේ ගලාගෙන ගිහින් ගංගාද්‍රෝණි වල තැන්පත්වලා තියෙනවා. කළුතර මැටි නිධි අවසන් වෙමින් තියෙන්නේ අපි මේ මැටි නිදිය සොයාගත්තේ ටයිල් කර්මාන්තය පවත්වාගෙන යන්න. නමුත් කලින් අත්දැකීම් නිසා අපේ රටේ කිසිවක්කරන්න බෑ රට දියුණු කරන්න හිතෙනවා නම් මේ මැටි නිධිය ගොඩට අරගෙන ඒකට වටිනාකමක් දෙන්න.ඕනේ. අපි අවුරුදු හතලිහක් විතර මේ කර්මාන්තයේ නිරත වෙනවා. පරදුව වත්තේ ගොඩ මඩ ඉඩම් කොටස් දෙකේම මේ බෝල මැටි නිධිය තියෙනවා තවමත් අපි කැනීම් බලපත්‍ර ලබා ගත්තේ නැහැ. ඒ සඳහා ක්‍රියා කරමිනුයි ඉන්නේ කුඹුරු ඉඩම් සම්බන්ධ ව වෙනම ගැටලුවක් තිබෙනවා. ඒ එක වෙන ප්‍රශ්නයක් අපේ නිෂ්පාදන වලින් 5% අපි අපනයනය කරනවා. ඉතිරිය මේ රටට. මැටි කපන්නේ නැතුව මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. ඒක නිසා නිල්වලා ද්‍රෝණියේ මේ මැටි නිධිය ගොඩට ගන්න අපිට ඉඩ දෙන්න. අපි කරගෙන යන විදිය පරික්ෂා කරලා තීරණයක් දෙන්න.
දයා නෙත්තසිංහ