කළු එන්නෙම සුදු ඇඳගෙන !
තමන්ගේ "සුද" ගැන දෙගිඩියාවක් ඇති චරිත, හිත හදාගන්නේම අනෙකා කොච්චර "කළු"ද පෙන්වමින්ය. එහෙම චරිත වලට ඇත්ත නැත්ත අදාළ නැත. සමාජ යුක්තියත් සාධාරණත්වයත් අදාළ නැත. වගකීම හෝ වගවීමත් අදාළ නැත. උගත් නූගත් ප්‍රශ්නයක්ද ඒ චරිත වලට නැත. ඒ නිසාම දූෂණය වැනි වචන පවා දූෂණය කිරීම මෙවැනි චරිත වලට සුළු දෙයක්ය. පොඩි සාහිත්‍ය හැඩයක් දුන්නොත්, "කළු එන්නෙම සුදු ඇඳගෙන" කියන්නේ එහෙම චරිත වලටය.
රාජපක්ෂවරුන් නිසා පාර්ලිමේන්තු ගිය සමහරුන්ටත් ඒ න්‍යායට වැඩ කරන්න සිදුව ඇත. විශේෂයෙන් රාජපක්ෂවරුන් නිසා පාර්ලිමේන්තු ගිය , නමුත් රාජපක්ෂ නැව ගිළෙන මොහොතේ එළියට පැන ස්වාධීන සළුපිලි පොරවාගත් උදවියට, මදි නොකියන්න සුදු පිරියම් කරගන්න බලකෙරී ඇත. ඒ වෙනුවෙන් හාත්පස වැඩි වැඩියෙන් කළු කරන්න සිදුව ඇත. ඒ ගැන තැන තැන කස පුපුරණ අතර ඒ කියන්නේ, මෙවැනි චරිත වල පෙරහරක් ළඟ ළඟම එන බවය.
චරිතගේ කස හඬ
අන්න එහෙම කසපාරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ,'මහාචාර්ය' චරිත හේරත් මහනුවරදී ගැසුවේය. ඒ ගෑස් ආනයනයේදී රිපියල් බිලියන 1.3 ක් ගසා කා ඇති බව කියමින්ය.
මේ කතාව කොහෙත්ම අලුත් කතාවක්ද නොවේය. මේ කතාව මීට පෙර සිවිල් - දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කරේ තියාගෙන අදින්න ගොස් අත්හැර දැමුවක්ය. ඒ දිනවල මේ චෝදනාව කතා බහකට ලක් වෙද්දි පාර්ලිමේන්තු කෝප් කමිටුවද ඒ ගැන අවධානය යොමුකළා අපට මතකය.
ඒ කෝප් කමිටුවේ සභාපතිවරයා වූයේද මහාචාර්ය මන්ත්‍රී චරිත හේරත්ය. ඒ අනුව මෙම ගනුදෙනුව සිදුවූ ආකාරය ගැන ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් ඔහු සතුය. මෙතැන ගසා කෑමක් සිදු වුණාද නැද්ද ? කියන කාරණය ඉතා හොඳින් ඔහු දන්නා බවට සැකයක් නැත.
කෝප් කමිටුවේ නිර්දේශය
කෙසේ හෝ වේවා මන්ත්‍රී චරිත හේරත් සභාපති ධුරය දැරූ කෝප් කමිටුවේ ජූලි 5 හෝ ඊට ආසන්න දිනක නිර්දේශය වූයේද "siam (සියම්) නම් තායිලන්ත ගෑස් සමාගමෙන් ඇ.ඩො 96ක මිලට ගෑස් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (term tender) අහෝසි කර ඇ.ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො.ලක්ෂයක් OQ Trading (ඕකිව් ට්‍රේඩිං) නම් ඕමාන සමාගමකින් මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක්" සිදුකරන ලෙසය.
ඒ අනුව පරීක්ෂණය සිදුකිරීම විගණකාධිපතිගේ කාර්යයක්ය. කෙසේ වුවත් ඩොලර් 96 ට ගන්න තිබුන දේ ඩොලර් 129ට ගත්තාම පාඩුවක් වන බව කියන්න සරල ගණිත දැනුම හොඳටම ප්‍රමාණවත්ය. නමුත් ප්‍රශ්නය ඇත්තේ , ගසා කෑමක් ගැන කියා, මෙසේ වැඩි මිළකට ගෑස් ටෙන්ඩරය දුන්නේ මොකටද යන්න ගැන වන සත්‍ය කාරණා යටපත් කර දැමීමය. හිටපු කෝප් කමිටු සභාපති ලෙස චරිත මන්ත්‍රීවරයා ගසා කෑමක් ගැන කියා වහන්න උත්සාහ කරන්නේ අන්න ඒ ඇත්තය.
ගෑස් ගනුදෙනුව මුල සිට අගට !
මෙකී ගෑස් ටෙන්ඩරය ගැන කතාව ඇරඹෙන්නේ 2022 ජනවාරියේය. ඒ 2022/23 වසර වල මාස 12 ක දීර්ග කාලයකට ගෑස් සැපයුම වෙනුවෙන් ජාත්‍යන්තර ගෑස් සැපයුම්කරුවන්ගෙන් මිල ගනන් කැඳවීම වෙනුවෙන් කළ නිවේදනයක් ලෙසය. එහිදී එල්පීජී ගෑස් ප්‍රවාහන නෞකා ගාස්තු ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් යටතේ ටෙන්ඩරය 2022 ජනවාරි 09 වන දින ප්‍රසිද්ධ කර ඇත. එහි මිල ගණන් කැඳවීමේ අවසන් දිනය ලෙස සඳහන් වුණේ මාර්තු 16 වන දිනය.
ලිට්රෝ සමාගම පවසන ආකාරයට පහත සඳහන් සැපයුම්කරුවන් අදාල මිල ගණන් ඉදිරිපත් කර ඇත.
1. Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 96 ක්,
2. O Q trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 129 ක්,
3. BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව ඇමරිකානු ඩොලර් 148 ක්.
2022 මාර්තු 16 වනදා මේ ලංසු විවෘත කිරීම සිදු කළ අතර අදාල තාක්ෂණික කරුණු තවදුරටත් සොයා බැලීමෙන් පසුව ප්‍රසම්පාදන කමිටුව අඩුම ලංසුව ඉදිරිපත් කළ සියම් සමාගමට ටෙන්ඩරය ලබා දීමට තීන්දු කර ඇත. ඒ අප්‍රේල් 26 වනදාය.
ඒ අනුව සියම් සමාගමේ එකඟතාව වන්නේ , දින 30 ක ණය සහන කාලයක් යටතේ කොළඹ සහ හම්බන්තොට වරායන්ට මෙම ගෑස් තොග මැයි මාසයේ සිට අඛණ්ඩව ලබා දීමය.
නමුත් මෙහිදී ලිට්‍රෝ සමාගම මුහුණ දුන් ගැටළුවක් විය. ඒ මෙම ගෑස් තොගය වෙනුවෙන් වන ණයවර ලිපි විවෘත කර ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වීමය.
ගිවිසුමට අනුව අත්තිකාරම් මුදලක් ලෙස ඩොලර් මිලියන 37.5ක ගෙවිය යුතුව තිබු අතර ඒ ණයවර ලිපියක් හරහාය. එහෙත් ලිට්‍රෝ සමාගමට ඒ හැකියාව ඒ මොහොතේ තිබුණේ නැත. මහ බැංකුව ,භාණ්ඩාගාරය ද ඒ් ලබා දීමේ නොහැකියාව පැහැදිළිව ප්‍රකාශ කර තිබිණි. ඒ මොන දුෂ්කරතාව තිබුණත් අදාළ ණයවර ලිපිය අප්‍රේල් 30 වන විට සම්පූර්ණ කළ යුතුව තිබිණ.
මේ මොහොතේ රට තිබුණේ ගෑස් පමණක් නොව, ඉන්ධන, ආහාර , පොහොර , ඖෂධ ආදී ආනයන කිසිවක් කරගත නොහැකි තත්ත්වයකය.
අර්බුදයයි අරගලයයි !
,අමතක නොකළ යුතු සහ කිහිපවතාවක් සිහිපත් කළත් වැඩි නැති අතිශය වැදගත් කරුණ වන්නේ, මේ ගනුදෙනුව වන්නේ , රට තුළ දේශපාලන වියවුලකට පාර කැපූ ජන අරගලය පැවැති කාලයේ යන්නයි.
මාර්තු 31 හිටපු ජනාධිපති ගෝඨාභය ගේ මිරිහාන නිවස අසළින් ආරම්භ කෙරුණු කරළිකාරී ජනතා නැගිටීම අප්‍රේල් 09 වනදා මෙරට ප්‍රධාන රාජ්‍ය මර්මස්ථානයක් වූ ජනාධිපති කාර්යාලයේ gate zero වසා දමා දිග්ගැස්සෙන අරගලයකට පිවිස තිබිණ.
මේ තත්වය ඉබේ ඇතිවූවක් නොවන අතර ඉන්ධන, ගෑස්, ආහාර, ඖෂධ හිඟතාවය නිසාම ඇතිවූ දැඩි ජනතා පීඩනය පුපුරායාමක් විය.
පහළ පාංතිකයාගේ සිට ඉහළ මධ්‍යම පාංතිකයා දක්වා සියලු දෙනා ඊටත් පෙර සිට මාස ගණනක් සිටියේ, ඉන්ධන සග ගෑස් පෝලිම් වලය. පළමුව පෝලිමේ සිට ගෑස් ඉල්ලා සිදුකළ උද්ඝෝෂණය පසුව පෝලිමෙන් පිටට ආවේය. ඒ ගෑස් ඒජන්සි වටකර ගෑස් ඉල්ලමින්ය. අනතුරුව ගෑස් ඒජන්සි වල දොර යතුරු බිඳ ඒ තුළට කඩා වැදෙන තැනට තත්ත්වය බරපතළ විය. විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ සියලු නගර තිබුණේ, ගෑස් නැතුව අවිලෙමින්ය.
තරු පංතියේ හෝටලයේ සිට වීදියේ කඩල කරත්තය දක්වා එහි බලපෑම එල්ලවිය. ඒ විතරක් නොව ආදාහනාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකිව මෘතශරීරාගාර තුළ මෘත දේහ ගොඩගැසී ඕජස් ගලන තැනට රටම පත්ව තිබිණ.
මේ තත්ත්වය හමුවේ රජය මුහුණදුන් අභියෝගය වුයේ ගෑස් සැපයීම කෙසේ හෝ ආරම්භ කිරීමය. ගෘහස්ථ පරිභෝජනයේ සිට අත්‍යවශ්‍ය සේවා දක්වා කඩිනම් ගෑස් සැපයුමක් සිදුකිරීමය.
සල්ලිත් නෑ ගෑසුත් නෑ
එහෙත් විදෙස් සංචිත මුළුමනින්ම පාහේ හිඳුණු තත්ත්වය හමුවේ මේ අභියෝගය ජයගන්න නම්, එක්කෝ විදෙස් ණය ආධාරයක් අවශ්‍යය. නැත්නම් සැපයුම්කාර සමාගම වෙතින් සහනයක් ලැබිය යුතුය.
ඒ පසුබිමේ රජය සියම් සමාගම සමඟට ඩොලර් 96 බැගින් වන මෙට්‍රික් ටොන් 280,000 ක ගෑස් ටෙන්ඩරය ලබා දීමට අනුමත කළ නමුත් එම සමාගම ඉල්ලා සිටින ලෙස ණයවර ලිපි විවෘත්ත කරගැනීමේ හැකියාව රජයට තිබුණේ නැත.
ඒ අනුව රජයට එක් පසෙකින් අනුමත කළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහෙත් රටේ හදිසි ගෑස් අවශ්‍යතාවය යම් තරමකට හෝ සපුරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මකවීමටත් සිදුවිය. මේ හමුවේ රජය තීරණය කර සිටියේ, කෙටිකාලීන හදිසි මිලදී ගැනීමක් වෙනුවෙන් යොමුවීමය. එහිදීද අපේක්ෂිත ඉලක්කයට යන්න නම් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 පමණ සපයා ගැනීමට රජයට බලකෙරී තිබිණ.
නැවත වරක් හදිසි මිලදී ගැනීමක් වෙනුවෙන් සැපයුම්කරුවන් සලකා බැලීම සිදුවන්නේ එහිදීය. මුලිකව සති දෙකට ප්‍රමාණවත් මෙට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ලබා ගැනීම රජයේ අරමුණ විය. අඩුම ලංසු ලබා දුන් සමාගම් දෙකෙන් ලංසු කැඳවීමක් සිදු කරනු ලැබුවේ ඒ අනුවය.
එහි දී සියම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එක ඩොලර් 112 කට සැපයීමට මිල ගණන් ලබා දුන් අතර දෙවැනියට අඩු ලංසුවක් තැබූ OQ Trading නම් ඕමාන සමාගම පෙර ලංසු තැබූ ඩොලර් 129 මිලටම හදිසි මිලදී ගැනිම වෙනුවෙන්ද ලංසු තබා තිබිණ.
අසහනයෙන් සහනයට
එහෙත් එම තත්වයන් යටතේද සියම් සමාගමට ලබා දීමේ හැකියාව තිබුණේ ගෑස් මෙට්‍රික් ටොන් 6,600 ක් පමණි. ඒ බව අදාළ සමාගම ලිට්රෝ සමාගම දැනුවත් කර තිබිණ. ඒ අනුව සියාම් සැපයීම ප්‍රමාණවත් වන්නේ දින හතරකට හෝ පහකට පමණය. එපමණක් නොව ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින 10 ක තරම් කාලයක් මෙම ගෑස් සැපයූම වෙනුවෙන් එම සමාගම කාලයද ඉල්ලා තිබිණ.
මැයි මස 11 වන විට , මෙට්‍රික් ටොන් 15,000 ක මුලික ගෑස් තොගය සහ මාස හතරක හදිසි ටෙන්ඩරය ඕමාන සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය නිකුත් කරන්නේද ඒ අනුවය.
මාස හතරකට සෑහෙන ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 100,000 ය, මාසයකට මෙ.ටොන් 25,000 ගනනේ ලබා දිය හැකි බව ඕමාන සමාගමේ එකඟතාව විය.
ඊට අදාල කෙටි කාලීන ගිවිසුම ජුනි 15 වෙනිදා කැබිනට් අනුමැතියට යටත්ව අත්සන් කරඇත. ඒ සමග සියම් සමාගම සමඟ මුලින්ම එකඟතාව දැක්වූ ටෙන්ඩරය අවලංගු කිරීමත් කැබිනට් මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය.
එසේම තවත් විශේෂ කරුණක් මෙහිදී ඉස්මතු කළ යුතුව ඇත. ඒ මුදල් ගෙවීමේදී ඕමාන සමාගම වෙතින් ලැබුණු සහනයය.
අත්තිකරම් නොමැතිව, රුපියල් වලින් ගෙවීම් ආදී විකල්ප ක්‍රම ඇතුලත් ක්‍රමවේදයක් ජුනි 07 වන විටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත්ව තිබිණි.
ඒ අනුව මේ දක්වා වන ගනුදෙනුව රජයේ හෝ ලිට්‍රෝ සමාගමේ හුදු අත්තනොමතිකත්වයක් හෝ සැකසහිත ගනුදෙනුවක් ලෙස ගත හැකි කිසිවක් නැත.
මේ ගනුදෙනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ පුර්ණ දැනුවත් භාවය හා අනුමැතියට යටත්ව රජය පිළිගත් ප්‍රසම්පාදන පිළිවෙත අනුව සිදුවූවක්ය.
ලිට්‍රෝ වගකීමෙන් වගවීමට !
එහිදී රජය තීන්දු කරන්නේ මේ ටෙන්ඩරය වෙනුවෙන් ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක් සහ ලිට්‍රෝ සමාගම සපයා ගත් මිලියන 20 සමඟ ඩොලර් මිලියන් 90 වැය කිරීමටය. ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ව මේ වෙනුවෙන් වැය කිරීම තුළම මේ ගනුදෙනුව තුළ කිසිදු අයතා කටයුත්තක් වීමේ ඉඩකඩක් නැත. මන්ද ලෝක බැංකු පිරිවිතර එතරම් බලවත් නිසාය. සතයට ගණන් පෙන්නුවේ නැත්නම් වැඩ වරදින නිසාය. අවම වශයෙන් සැකසහිත කරුණක් හෝ තිබුණා නම් මීට සති දෙකකට පෙර ලිට්රෝ සමාගම සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රශ්න කෙරෙන්නේය. නමුත් එවැන්නක් සිදුවුයේ නැත.
ඒ චරිත මන්ත්‍රීවරයා පෙන්වන සරල ගණිතය ඔවුන් නොදන්නා නිසාද ? නැත.
මෙම සමාගම් දෙක අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 පමණය. එහෙත් එම පාඩුව දරාගෙන හෝ අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම එම අවස්ථාවේදී වැදගත් බව ලිට්‍රෝ සමාගම තීරණය කර තිබිණ. ඒ තුල වූයේ රටේ පැවති තත්ත්වය කළමනාකරණය කර ගැනීම බවත්, එසේ නොවන්න ගෑස් හිඟය සිවිල් තත්ත්වයක් දක්වා වුවත් යාමේ අවධානමක් පැවති බවත් තේරුම් ගන්න නොහැකිවීම මොළය මේරීම සම්බන්ධව ප්‍රශ්නයක්ය.
එසේම රාජ්‍ය මට්ටමින් හෝ ඊට අනුබද්ධ සමාගම් ලෙස මෙවැනි ගනුදෙනු පවත්වන නෛතික ක්‍රියාවලියක් ඇත. ඒ හා බැඳුනු අණ පනත්, චක්‍ර ලේඛ ආදියත් ඇත.
එපමණක් නොව, රටක හදිසි තත්වයකට මුහුණ දී තිබිය දී පවතින ක්‍රමවේදයන් නොතකා කටයුතු කිරීමේ හැකියවන්ද විවෘතය. එහිදී රජයට යම් ක්‍රියාවලියක් අනුමත කර ක්‍රියාත්මක කළ හැකිය.
දැන් ප්‍රශ්නය වන්නේ, මහාචාර්ය මන්ත්‍රීතුමා ඉහත ගනුදෙනුවේ මෙකී පැහැදිලිකිරීම් කිසිවක් ගැන දැනුවත් නැද්ද යන්නය. ඇත්ත නම් කෝප් සභාපති ලෙස ඔහු මේ ගැන හොඳටම දැනුවත් බවය. එසේ නම් මේ නගන චෝදනාව කුමක්ද ?
දැන් රටේ ගෑස් පෝලිම් නැත. ඉදිරි මාස කිහිපයටත් අඛණ්ඩ සැපයීමත් සහතික කර ඇත. එපමණක් නොව අවස්ථා කිහිපයකදී ගෑස් සිලින්ඩරයේ මිලත් අඩුකරමින් ඇත.මහාචාර්ය මන්ත්‍රීතුමාගේ ඇත්ත ප්‍රශ්නය එතනය.
ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා නැගීසිටීමකින් පාලකයන් පන්නා දැමුවේ පසුගිය අප්‍රේල් මාසයෙ සිට මාස 4ක පමණ කාලයක් ඇවිලී ගිය කැරලිකාරිත්වය නිසාය.
කවුද කළු ?
ජනතාවගේ පීඩාවන් අවම කර, අරාජික වෙමින් තිබු රට සමාන්‍යකරණයට ලක් කිරීමේ වගකීමට එදා බය නැතුව උරදුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසය. ආරම්භක අවස්ථාවේ සිට ඒ හැකියාව තහවුරු කළ නිසාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමේ සුක්කානම විධායක ජනාධිපති ලෙස ඔහුටම පැවරිණ.
දැන් යමින් සිටින්නේ ඒ සුබ ගමනය. කවුරුත් අත ගැසිය යුතු මේ මල් වට්ටියට ගෑස් ටෙන්ඩරයක් ගැන බොරු බිල්ලකු මවා කරන මේ බාල දේශපාලනය නම් ගෑවෙන්න දිය යුතු නැත.
මේ ගනුදෙනුව පාඩුවක් බව ඇත්තය. නමුත් ඒ් හදිසි අවස්ථාවක් වෙනුවෙන් ගත් කෙටි කාලීන පියවරක් මෙන්ම අන් කළ හැකි කිසිවක්ම නොතිබූ නිසා බවත් ඇත්තය. එතැන වංචාවක්, ගසා කෑමක් සිදුව නැති බවත් ඇත්තය.
රටේ ආර්ථිකය බිංදුවට වැටී රට ලෝකය පුරා ආධාර ණය ඉල්ලා යන ජාත්‍යන්තර හිඟන්නෙක් කිරීමේ දේශපාලන ව්‍යාපෘති වල මහ මොළකරුවන් වූ චරිත හේරත් වැනි උදවිය, මේ කියන ඇත්ත ඇති සැටියෙන් කියන්න බය මොකද කියා ඇසිය යුතුව ඇත. කෙටියෙන්ම නම් රට මෙතැනට වැටෙන කල් චරිතලා මොකද කළේ කියා ඇසිය යුතුය. ඔහොම ප්‍රශ්න කප්පරක් ඇසිය හැකිය. එහෙත් ඒ ප්‍රශ්න එක්ක උත්තරත් සාරාංශ ගත කර මෙහෙමත් ලියන්න පුළුවන.
තමන්ගේ "සුද" ගැන දෙගිඩියාවක් ඇති චරිත, හිත හදාගන්නේම අනෙකා කොච්චර "කළු"ද පෙන්වමින්ය. එහෙම චරිත වලට ඇත්ත නැත්ත අදාළ නැත. සමාජ යුක්තිය සාධාරණත්වය අදාළ නැත. වගකීම හෝ වගවීමත් අදාළ නැත. උගත් නූගත් ප්‍රශ්නයක්ද ඒ චරිත වලට නැත. ඒ නිසාම දූෂණය වැනි වචන පවා දූෂණය කිරීම මෙවැනි චරිත වලට සුළු දෙයක්ය. පොඩි සාහිත්‍ය හැඩයක් දුන්නොත්, "කළු එන්නෙම සුදු ඇඳගෙන" කියන්නේ එහෙම චරිත වලටය.
@ කල්ප අනුත්තර ලියනගේ