ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 68 වියෙහි පසුවිය.
කොට්ටාවේ ආනන්ද විදුහලේ, මහරගම විද්‍යාකර විදුහලේ මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වූ ඒ මහතා තරුණ වියේදීම පත්තර කලාවට එක්වූයේ 1963 වසරේදීය.
සුනිල් මාධව ප්‍රේමතිලක සිය පුවත්පත් කලාව ආරම්භ කලේ ලේක්හවුස් ආයතනයෙනි.
සුනිල් මාධව පසු කලෙක “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය විය. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්. ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, දයාසේන ගුණසිංහ, නාමෙල් වීරමුනි ආදීන්ගේ නිර්මාණවලින් මෙන්ම නවක කවියන්ගෙන් මේ පිටුව පෝෂණය වූහ.
අනතුරුව ඔහු දිවයින පුවත්පතේ ආරම්භයත් සමග ඊට එක්විය. ‘දිවයින‘ පුවත්පතේ අටවැනි පිටුව ගැන ඔහු සිතුවේ ‘මගේ හදවත‘ කියාය.
ජේ. වී. පී. කාරයකු නොවූ ඔහු තරුණ අරගලවලට සහාය දුන්නේය. ඔවුන් වෙනුවෙන් කතා කළේය. ඔහු විකල්ප පත්තරවලට පුරෝගාමි විය. “ලක්මිණ“, “ලක්දිව“, “හිරු“ පුවත්පත්වලින් තම මතය රටට ප්‍රකාශ කළේ තර්ජන, ගර්ජන, මරණ තර්ජන හමුවේය.
සුනිල් මාධව ග්‍රන්ථ කිහිපයක් ම ලියා ඇත. ‘හඬනු මැන නිදහස‘ එංගලන්තයේ සිටින දයා ආනන්ද රණසිංහ එවූ ස්ටීච් බිකෝ රචිත කෘතියක පරිවර්තනයකි.
“සත්‍යවාදියෙකුගේ දිනපොත“ - “අන්ධකාරයේ දරුවා“ - “මිනිසෙක්“ - “ඇමරිකා ඇමරිකා“ - “සැබෑ කවියකුගේ කතාව“ - “ශ්‍රේෂ්ඨයා“ - “ජීවිතය සුන්දරයි“ මේ කෘතීන් ය.
සුනිල් මොහොමඩ් අලිගේ කතාව The Greatest කෘතිය පරිවර්තනය කළේ තම බාල සොහොයුරු සඳුන් රංජන ප්‍රේමතිලක සමඟය.
සිළුමිණ කතුවරයකු ලෙස කටයුතු කල මීමන ප්‍රේමතිලකගේ වැඩිමල් පුතනුවන් වන සුනිල් මාධව විවාහව සිටියේ මාධ්‍යවේදිනියක වන මනෝරා සමගය. සුනිල් මාධව එක්දරු පියෙකි.
දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.