V2025

පුවත්

මර්දනයට එරෙහි වර්ජනය දැඩි වෙයි : කොතලාවල පනතට එරෙහි සටන අදත්

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා තවදුටත් ක්‍රියාත්මක වේ.

නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති නමුත් දිනපතා රටපුරා විවිධ ස්ථානවල විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය වෙමින් තිබේ.

කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (12) පස්වරුවේ පැවැත්විණි.

මේ අතර,  මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙන ගුරු වෘත්තීය සමිති නායකයින් නිදහස් කිරීම, අධ්‍යාපන ගැටලු සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකිරීම, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදුව ඇතුළු කරුණු මුල් කරගෙන ගුරු සහ විදුහල්පතිවරු අද සිට (12) ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය විසදුම් ලැබෙන තුරු තව දුරටත් ක්‍රියාත්මක බව එම වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  පවසයි.

මෙම වර්ජනය නිසා රට පුරා සියලු මාර්ගගත ඉගැන්වීම් නැවතී ඇති බවත් කොළඹ ඇතුලු සියලුම ප්‍රධාන පෙළේ පාසල් හා උතුරු නැගෙනහිර ඇතුලු සියලුම ප්‍රදේශවල මාර්ගගත ඉගැන්වීම් මේ වන විට මුලුමනින්ම නතර කර ඇති බවද ආණ්ඩුව තවදුරටත් ඇහුම්කන් නොදී මර්දනකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් මෙම වර්ජනය දියත් කර ඇති බවත් ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය.

අගමැති කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නරඹයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය-2021ආරම්භක දිනය වූ ඊයේ (10) රාත්‍රියේ "මංගල පෙරහර" නැරඹීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  එක්ව සිටියේය.

කතරගම ඇසළ මංගල්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස වාර්ෂිකව පවත්වන පෙරහර මංගල්‍යය සුවිශේෂී සම්ප්‍රදායන් හා චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සංවිධානය වෙයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයකින් තොරව සංවිධානය වේ.

මංගල පෙරහර පැවැත්වෙන අවස්ථාවට රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමි සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන යන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

jpg

hl 1856680327

=

තවත් වසම් කිහිපයක් LOCKDOWN

දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොළඹ, අම්පාර, මහනුවර  සහ යාපනය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 3ක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.

b7941202 isolation 2021 07 11 page 001

ගුරු - විදුහල්පතිවරුන්ට ආණ්ඩුව කළේ බරපතල අපහාසයක් : හෙට සිට සිසුන්ට ඔන්ලයින් නෑ

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ ක්‍රියාවලිය හෙට සිට සිදු කරන බව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් ප්‍රකාශ කරන ලදී.

=ගුරු විදුහල්පති සංවිධාන 14ක එකමුතුවෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු මේ පිළිබද ප්‍රකාශ කළහ.

මේ අතර, මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසූවේ වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වුවද සිසුන්ට ඉගැන්වීම් කටයුතු ඔන්ලයින් හරහා සිදු කිරීමට එක් ගුරුවරයෙකු සිටියද ප්‍රමාණවත් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ උප ලේකම් රසිකා හදපාන්ගොඩ අද පැවති මාධ්‍ය හමුවේදී දැඩි ලෙස විරෝ්ධය පළ කරන ලදී.

මේ අතර නිරෝධායන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති නිවේදනය උල්ලංඝනය කරමින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

මුලිතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව අදහස් පළ කළේ ය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්,

0ce49a43 new project 2021 07 11t224100.001

අපි දැක්කා ශ්‍රී ලංකා නීතිඥ සංගමය බරපතල පැහැදිලි කිරීමක් කරලා තිබුණා. එහෙනම් දැන් අපිව තියන් ඉන්නේ ඇයි. මේක සම්පූර්ණයෙන් වැරද්දක් .ඒ නිසා අපි කියනවා වහාම අපිව නිදහස් කරන්න කියලා

මේ අතර පසුගිය 07වැනිදා අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත මුදා හැර මේ වනවිට පල්ලේකැලේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින දුමින්ද නාගමුව  ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,

92889a7f whatsapp image 2021 07 11 at 19.18.23 1

දැන් මේ පැහැර ගැනීමට දවස් 04 ක් වෙනවා. අද උදෑසන අපිට පී.සි.ආර්. පරීක්ෂණ සියල්ල දුන්නා .එම වාර්තාවල අපි 06 දෙනාගේම කොවිඩ් නෙගෙටිව් කියලා තියෙනවා. ඒකට අනුව දැන් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව සෞඛ්‍ය හේතුවක් කියලා අපිව තියාගන්න උත්සාහ කරනවා නම් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව මේ විදිහට තියාගෙන ඉන්න. මේක පැහැදිලිව ආණ්ඩුව ගෙනයමින් ඉන්න ජනතා විරෝධි වැඩපිළිවෙළට ජනතාව පෙළ ගැසෙන එක නතර කිරීමක්.=

විමලේ ගේ සහ උදයගේ තවත් කෑලි ගැලවෙයි !

කැබිනට් අමාත්‍යවරුන් වන කර්මාන්ත ඇමති වීරවංස සහ බලශක්ති ඇමති ගම්මන්පිලගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

එලෙස ඉවත් කරනු ලබන විෂය පථයන්ට නව අමාත්‍යංශ ඇති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් ලබා දීම සඳහා යොදාගනු ඇතැයි ද එම පුවත්පත වැඩිදුරටත් පවසයි.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත්වීමත් සමඟ ආණ්ඩුවේ ඉදිරි මෙහෙයුම් කටයුතු සියල්ල ඔහු හරහා සිදු කිරීම වෙනුවෙන් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව පැවසේ. ඒ අනුව එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව වාර්තා වේ.

බුද්ධිමතුන් ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කරන්නේ නෑ - ජොන්ස්ටන්

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ කොළඹ පැවති උත්සව සභාවක් අමතමින්ය.

‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා." යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවුවත් අමාත්‍යවරයා මේ බුද්ධිමත් බව මනින නිර්ණායකය සඳහන් කරේ නැත.

ගුරු වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි !

ආණ්ඩුවේ තීන්දුවලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී දඬුවමක් සේ නිරෝධායනට යොමු කිරීමට විරෝධය පළකරමින් හෙට (12) දින සිට මාර්ග ගත ක්‍රමයට (online) සිදු කරනු ලබන ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ ගුරු වෘත්තීය සමිති පවසයි.

එම වෘත්තීය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වූ සිය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව සිටින බවත් ඔවුන් සඳහන් කරයි.

පොලිසිය නීති විරෝධී පැහැරගැනීම්වල - කරූ

අධිකරණ නියෝගවලට පිටින් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන සිටින සියළුම වෘත්තීය සමිති හා ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස හිටපු කතානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය අවධාරණය කරයි.
 
 ජෝසප් ස්ටාලින් වැනි අය අන්තර්ජාතික ගෞරවයට පත් වෘත්තීය සමිති නායකයින් බවත් අධිකරණය මගින් ඇප ලබා දී මුදාහරින ලද පිරිසක් අධිකරණ භූමිය තුළදීම පොලිස් අත්අඩංගුවට ගෙන බලහතුකාරයෙන් රැගෙන යනවා නම් එය නීතිවිරෝධී පැහැරගෙන යෑමක් මිස වෙන කිසිවක්ම විය නොහැකි බවත් ඔහු පවසයි. 
 
හිටපු කතානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය මෙසේ අදහස් දක්වා සිටියේ  අද (11)  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක් අමතමින්ය. 
 
"අද අපේ රටේ මේ දේවල් සිද්ධ වෙන්නේ මහ දවාලයේය. විශාල ජනතාවක් ඉදිරිපිටයි. රටේ උත්තරීතර අධිකරණ භූමිය තුළයි. මේ තත්ත්වය මේ විදියට වර්ධනය වුවහොත් විනිශ්ච ආසනය ඉදිරියේ සිටින පුද්ගලයන් පවා පොලීසිය මගින් පැහැරගෙන යන තත්ත්වයක් උදාවිය හැකිය. රටේ නීතියට ඒ තරමටම අවමන් කරමින් තිබෙනවා. මේ අතිශය භයානක තත්ත්වයක්. මෑත ඉතිහාසයේදී ලෝකයේ පහළ වූ බිහිසුණුම ඒකාධිපතියා ලෙස සැලකෙන හිට්ලර්ගේ පාලන සමයේදී හා උගන්ඩාව එක් කාලයකදී පාලනය කළ  ඉඩි අමීන්ගේ පාලනය යුගයේදී මෙවැනි දේ සිදුවුණා." යනුවෙන්ද එහිදී ඔහු පැවසීය.
 
හිටපු කතානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
රටක් ලෙස ඉතාමත් අඳුරු දිශාවකට ගමන් කරමින් සිටින අවස්ථාවක් !
 
අද අප මෙම මාධ්‍ය හමුව සිදු කරන්නේ රටක් ලෙස අප ඉතාමත් අඳුරු දිශාවකට ගමන් කරමින් සිටින අවස්ථාවකය. ජනතාව මර්දනය කිරීමේ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ වී තිබෙනවා.  රටේ ආර්ථිකය බංකොලොත් වෙමින් පවතිනවා. ජනතාවගේ පැවැත්ම අන් කවරදාකටවත් වඩා අවිනිශ්චිත භාවයකට පත් කර තිබෙනවා. වෙන එකක් තබා, තමන් පෙළෙමින් පවතින පීඩාව ගැන කියන්නට පවා නිදහසක් අද ඔවුන්ට නැත. ආණ්ඩුවේ අසමත් බව, නොහැකියාව ජනතාවගේ පිටින් යවමින් තිබෙනවා. අද මේ රට මිනිස් නිදහස තුට්ටුවකටවත් ගණන් නොගන්නා තත්ත්වයකට ඇද දමා තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගන්නවා වෙනුවට එම වසංගතයට මුවා වෙමින්, එය ආශිර්වාදයක් කරගනිමින් අද රජය ජනතාව මර්දනය කරමින් තිබෙනවා. එය ඉතා වේදනාකාරී තත්වයක්. ඒ අනුව ජනතාව එකාවන්ව නැඟී සිට මෙම අනතුර පරාජයට පත් කළ යුතුය. අද අප ලබා දෙන ප්‍රමුඛ පණිවුඩය එයයි.
ඕනෑම රජයක් අසමත් වන විට ඊට ප්‍රතිචාර දක්වන්නේ ජනතාව මර්දනය කිරීමෙනුයි !

ගොවි ජනතාවට අද දහසක් ප්‍රශ්න තිබෙනවා. වැඩ කරන ජනතාව එදිනෙදා ජීවිකාව කර ගන්න තබා ජීවත් විය නොහැකි තත්ත්වයකට අසරණ කරලා. තරුණ පරපුරට අනාගතය ගැන කිසිදු විශ්වාසයක් නැති කරලා. නිදහසින් පසු අප රැක ගත් වටිනාම දායාදයක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව විනාශ මුඛයට ගෙන යමින් පවතිනවා. මේවා රටේ දැවෙන ප්‍රශ්න බවට පත්වෙලා. ඒ නිසා ජනතාව ඊට එරෙහිව පාරට බහින තත්ත්වයකට යොමු වෙලා. එහෙත් මේ රටේ පාලකයන් ඒවාට නිසි විසඳුම් ලබාදෙනවා වෙනුවට ජනතාව මර්දනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ලෝකයේ ඕනෑම රජයක් අසමත් වන විට ඊට ප්‍රතිචාර දක්වන්නේ ජනතාව මර්දනය කිරීමෙනුයි. අවාසනාවකට අද අපේ රටත් එවැනි තත්ත්වයකට පත්වෙලා.
තරුණ කාන්තාවන්ගේ ඇඳිවත පවා ඉරා දමමින් පොලීසිය විසින් කුදලාගෙන ගිය ආකාරය නින්දනීයයි !

වගා කරන්නට පොහොර ඉල්ලන ගොවියන්, ගොවි නායකයන් අද බලහත්කාරයෙන් කුදලගෙන යනවා. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරන්නට පෙරට එන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ට පොලිස් මර්දනය මුදාහරිමින් තිබෙනවා. එවැනි තත්ත්වයන් රාශියක්ම පසුගියදා අප දුටුවා. රජය ඒවාට පිළිතුරු දෙමින් සිටින්නේ කෙසේද? අපේ සංස්කෘතිය තුළ චීවරයට දක්වන්නේ විශාල ගෞරවයක්.

අප දුටු ඡායාරූප අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇදගෙන ගියේ කුණු මාළු කෑල්ලක් ගෙන යන ආකාරයටය. වැඩිහිටි කාන්තාවන්ට සැලකුවේ ඉතා නින්දා නින්දා සහගත ආකාරයට. මේ රටේ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. එහිදී ජෝසප් ස්ටාලින් මහතා බලහත්කාරයෙන් රැගෙන ගිය ආකාරය ඔබ දකින්නට ඇති. තරුණ කාන්තාවන්ගේ ඇඳිවත පවා ඉරා දමමින් පොලීසිය විසින් කුදලාගෙන ගිය ආකාරය නින්දනීයයි. නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දේ සිදු විය නොහැකිය. එය වඩාත්ම බරපතළ වන්නේ ඒ සියලු ක්‍රියාවන් අනීතිකව, නීතියට පටහැනිව සිදු කරමින් තිබෙන නිසයි.
නිරෝධායන රෙගුලාසි රෝග මර්දනය වෙනුවට ජනතාවගේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීමට යොදා ගනිමින් තිබෙනවා !

අප දන්නා අන්දමට යම් චෝදනාවකට අදාළව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලයක් තිබෙනවා. එවැන්නක් සිදු විය යුත්තේ රටේ පවතින නීතියට අනුකූලවයි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන රෙගුලාසි පවා අවභාවිතා කරමින්, රෝග මර්දනය සඳහා එය යොදා ගන්නවා වෙනුවට ජනතාවගේ කතා කිරීමේ අයිතිය මර්දනය කිරීම දක්වා එය යොදා ගනිමින් තිබෙනවා.  නිරෝධායන නීතිය අවභාවිතා කරන්නට පොලීසියට කිසිදු බලයක් නැත. 
 විශේෂයෙන්ම අධිකරණය මගින් ඇප ලබා දී මුදාහරින ලද පිරිසක් අධිකරණ භූමිය තුළදීම පොලිස් අත්අඩංගුවට ගෙන බලහතුකාරයෙන් රැගෙන යනවා නම් එය නීතිවිරෝධී පැහැරගෙන යෑමක් මිස වෙන කිසිවක්ම විය නොහැකිය. අද අපේ රටේ මේ දේවල් සිද්ධ වෙන්නේ මහ දවාලයේය. විශාල ජනතාවක් ඉදිරිපිටයි. රටේ උත්තරීතර අධිකරණ භූමිය තුළයි. මේ තත්ත්වය මේ විදියට වර්ධනය වුවහොත් විනිශ්ච ආසනය ඉදිරියේ සිටින පුද්ගලයන් පවා පොලීසිය මගින් පැහැරගෙන යන තත්ත්වයක් උදාවිය හැකිය. රටේ නීතියට ඒ තරමටම අවමන් කරමින් තිබෙනවා. මේ අතිශය භයානක තත්ත්වයක්. 
මෑත ඉතිහාසයේදී ලෝකයේ පහළ වූ බිහිසුණුම ඒකාධිපතියා ලෙස සැලකෙන හිට්ලර්ගේ පාලන සමයේදී හා උගන්ඩාව එක් කාලයකදී පාලනය කළ  ඉඩි අමීන්ගේ පාලනය යුගයේදී මෙවැනි දේ සිදුවුණා. ඒ නිසා මේ ගැන අන් සියල්ලන්ටම වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ රටේ නීති ප්‍රජාවය.  අධිකරණයයි. මෙය සිදුවන ආකාරයට අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට ඇති ප්‍රයෝජනය කුමක්ද? 
එවැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉතුරු වේවිද? මෙය අතිශය භයානක ප්‍රවණතාවයක්.  වහා පරාජය කළ යුතු තත්ත්වයක්. එසේ නොවුවහොත් මේ රටේ අනාගතය තව බොහෝ සේ අඳුරු විය හැකියි. ඛේදනීය විය හැකියි. භයංකර විය හැකියි. ඒ බව මේ රටේ පුරවැසියන්ද ඇතුළු වගකීමක් ඇති, රට ගැන කැක්කුමක් ඇති සියලුම දෙනා තේරුම් ගත යුතුව ඇතැයි  අප විශ්වාස කරනවා. ඒ අනුව අධිකරණ නියෝග වලට පිටින් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවාගෙන සිටින සියළුම වෘත්තීය සමිති හා ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස අප ඉල්ලා සිටිනවා. ජෝසප් ස්ටාලින් වැනි අය අන්තර්ජාතික ගෞරවයට පත් වෘත්තීය සමිති නායකයින්.
සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිදු කරන මර්දනයක් !

ඒ වගේම අද මේ රටේ මෙවැනි දේවල් සිදුවන්නේ හුදු අහම්භයකින් නොවන බවද අප තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා මෙය සැලැස්මකට අනුව ක්‍රමානුකූලව සිදු කරන මර්දනයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එහි අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටෙන් තුරන් කිරීම මිස වෙන කිසිවක් නොවේ. මහජන පරමාධිපත්‍ය බලය පාගා දමමින් ඒකාධිපති අත්තනෝමතික රාජ්‍යයක් ගොඩ නැගීම එහි අවසන් ප්‍රතිඵලයයි.
අද වන විට මේ රටේ මැතිවරණ කොමිෂන් සභාව තුළ සිදු වෙමින් දේවල් දිහා බලන විට එවැනි අනතුරක් දකින්නට තිබෙනවා. නිදහසින් පසු අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකාශනය වී ඇති ආකාරයට දෙස බලන විට ඇතැම් කාලවලදී ඇතැම් අඩුපාඩු දකින්නට තිබුණත් නිදහස් මැතිවරණ ක්‍රමය දවසින් දවස ශක්තිමත් වුණා. නිදහස් මැතිවරණ පිළිබඳව ජනතාවක් තුළ දවසින් දවස විශ්වාසය තහවුරු වුණා. එය සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයටම ආශිර්වාදක් වුණා. නමුත් අද වන විට සිදුවෙමින් පවතින්නේ කුමක්ද? 
විශේෂයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට මාරක ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එය ආරම්භ වූයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන්, ඔවුන්ගේ කාර්යාලීය සේවකයන්ද ඇතුළුව දේශපාලන ගැත්තන් මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කර එවීමත් සමගයි. එහි ඇති අනතුර අප පුන පුනා පෙන්වා දී තිබෙනවා. නමුත් අවාසනාවකට මේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ පවා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත. ඒ ගැන අප තුළත් කණගාටුවක් තිබෙනවා.  නමුත් දැන්වත් මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුය. බොහෝ ස්වාධීන කොමිෂන් සභාවලට ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීන් පත්කර තිබෙනවා මෙය ඉතා භයානක ප්‍රවණතාවයක්.
නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමක් !

අපට වාර්තා වන අන්දමට මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකටම ස්ථාන මාරුවීම් ලබා දෙමින් තිබෙනවා. ඔවුන් ඒ මගින් සිදු කරන්නට යන්නේ නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමයි. තමන්ට රිසි, තමන්ගේ උවමනාවන් අනුව ක්‍රියා කරන පිරිසක් අතට සමස්ථ මැතිවරණ කොමිසන් සභාවම පත් කරවීමයි. අවසානයේ නිදහස් සහ සාධාරණ නොවන මැතිවරණ පවත්වමින් එකම පුද්ගල කණ්ඩායමකට සදාකාලිකවම බලය අත්පත් කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ ගැන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ අවධානයට යොමු කළ යුතුයි. ඒ වගේම නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් කෙරෙහි කැපවීමකින් ක්‍රියාකරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මේ ගැන බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුවහොත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම  නැතිව යා හැකියි. ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සිහිනයක් බවට පත් විය හැකිය. ජනතා පරාමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කර ඇති අකුරුවලට පමණක් සීමා විය හැකියි. මෙය දැවැන්ත අනතුරක්. කරුණාකර ජනතාවගේ නාමයෙන් මේ ගැන අවධානයට යොමු කරන්න. සියලුම පටු අරමුණුවලින් බැහැර වී මේ රටේ සියලුම දේශපාලන බලවේග මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන්න, එක්සත් වන්න. අද දවසේ අපගේ ප්‍රධානතම ආයාචනය වන්නේ  එයයි. 
අපි රජයට කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න එපා.

 

පොලිසියේ බලහත්කාරී ක්‍රියාවට : වෛද්‍ය සංගම් විරෝධය !

පොලීසිය විසින් දඬුවම් ලෙස විවිධ පුද්ගලයන් නීති විරෝධී සහ බලහත්කාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරනු ලැබීම ගැටළු සහගත බව සඳහන් කරමින් වෛද්‍ය සංගම් පවා ඊට විරෝධය දැක්වීම අරඹා තිබේ.

මේ බව සඳහන් කරමින් පොලිපති වෙත ලිපියක් යොමුකිරීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර ඇත.

පසුගිය දිනයකදී ද උද්ඝෝෂකයින් පිරිසක් නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව විරෝධය පල කරණ අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් මින් ඉදිරියට #නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිනව බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.

පොලිස්පතිතුමනි,

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී, බලහත්කාරී= ලෙස දඬුවමක් ලෙස #නිරෝධායනය කිරීම සම්බන්ධව.

#කොවිඩ් වසංගතය පාලනයට අදාලව #නිරෝධායනය යනු සෞඛ්‍යය නිර්දේශ මත සිදුකළ යුතු වසංගත මර්ධන ක්‍රියාවලියකි. #නිරෝධායනය පිළිබඳව බලතල පැවරී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට ය.

පුද්ගලයන් #නිරෝධායනය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් 2020. 11. 16 දිනට EPID/400/2019/n-CoV/Guidelines අංක දරණ චක්‍රලේඛයේ පැහැදිලිව උපදෙස් ලබා දී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ #නිරෝධායනය පිළිබඳව මාර්ගෝපදේශ අනුව ද ඉහත චක්‍රලේඛය අනුව ද කිසියම් පුද්ගලයෙකු #නිරෝධායනට ලක් කල හැකි අවස්ථා දෙකක් ඇත.

  1. #කොවිඩ් ආසාධිතයෙකු ගේ ආශ්‍රීතයෙකු වීම,

  2. #කොවිඩ් වසංගතය සමාජය ව්‍යාප්තිය දක්වා පැතිරුණු රටකින්/ ප්‍රදේශයකින් රට තුළට/ එසේ නොවන ප්‍රදේශයකට ඇතුළු වීම.

ඉහත කාරණා වලට අදාල පුද්ගලයන් නිරෝධායන කිරීමේ බලතල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය අංශ වෙත පවරා ඇත.

නමුත් පසුගිය කාලය පුරාම පොලීසිය විසින් දඬුවම් ලෙස විවිධ පුද්ගලයන් නීති විරෝධී සහ බලහත්කාරී නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරනු ලැබීම ගැටළු සහගතය. පසුගිය දිනයකදී ද උද්ඝෝෂකයින් පිරිසක් ඒ ආකාරයට නීති විරෝධී ලෙස නිරෝධායනය සඳහා යොමු කිරීම පිළිබඳව අප සංගමයේ විරෝධය පල කරණ අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් මින් ඉදිරියට #නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට, වෛද්‍ය ජයන්ත

බණ්ඩාර ලේකම්,

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

කුලුණු මත අධිවේගය චීනට : රාජපක්ෂලාගේ අලුත් BOT සෙල්ලම !

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් වෙත ලබා දී ඇත්තේ විවෘත තරඟකාරි ටෙන්ඩර් කැඳවීමකින් නොවන බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වූයේ ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්ඩබ්ලිව්ආර් ප්‍රේමසිරිගෙන් ‘අනිද්දා’ කළ ප්‍රශ්න කිරීමේදීය. අනිද්දා ඔහුගෙන් විමසුවේ අනෙකුත් මහා පරිමාණ මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමේ ලියවිලි මහාමාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇතත් මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කිසිඳු විස්තරයක් එම වෙබ් අඩවිවල සඳහන් නොවන බැවින් මෙය චීන සමාගමේ ස්වේච්ඡා යෝජනාවක් අනුව ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතියක්ද යන්න හා ඒ සම්බන්ධයෙන් ලංසු ක්‍රියාවලියක් සිදුකළ බව කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන හෙයින් එම ස්වේච්ඡා යෝජනාවට එරෙහි යෝජනා කැඳවූවාද යන්නය. එයට පිළිතුරු දෙමින් ඔහු කීවේ විවෘත යෝජනා කැඳවීමක් නොකළද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ලැබුණ යෝජනා 6ක් සලකා බැලීමෙන් පසු මෙම තෝරා ගැනීම සිදුකර ඇති බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ම චීන සමාගමෙන් ස්වේච්ඡා යෝජනාවක් ලැබී ඇති බව මීට පෙර ඔහු මාධ්‍ය කළ විමසීමකදී පිළිගෙන තිබුණා නේදැයි විමසීමේදී ඔහු කීවේ එම යෝජනාව ඉවත් කළ බවත් මේ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයට පසුව ලැබුන යෝජනාවක් බවය.

පසුගිය මැයි 24 දින කැබිනට් මණ්ඩල යෝජනාවේ මේ පිළිබඳ සඳහන් වන්නේ මේ ආකාරයටය. ‘අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකොට පවත්වාගෙන ගොස් පවරාදීමේ(BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මහාමාර්ග ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි’.

කැබිනට් මණ්ඩල තීරණයේ එසේ සඳහන් වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් සීමා පැනවීම නිසා 2020 අප්‍රේල් 08 දින කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වා නැති අතර එම දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වූ බවට කැබිනට් මණ්ඩල තීන්දු ප්‍රකාශයට පත්කරන රජයේ නිල වෙබ් අඩවි වන news.lk” cabinetoffice සහ dgi.gov.lk යන වෙබ් අඩවිවලද කිසිදු කැබිනට් මණ්ඩල තීරණයක් නැත.

මෙම කැබිනට් තීරණයේ ඇති අදහස ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්නට නැති බව, අප කළ විමසීමකදී හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අශෝක පීරිස් මහතා පැවසීය. ඔහු පැහැදිලි කරන්නේ කැබිනට් මණ්ඩල සාකච්ඡා කමිටුවක් පත්කරන්නේ තනි යෝජනාවක් සලකා බැලීමට බවය. ටෙන්ඩර් ක්‍රියාවලියක් නොවන යෝජනා කිහිපයක් තිබේ නම් ඒ සඳහා තාක්ෂණික කමිටුවක් මෙන්ම තේරීමේ කමිටුවක්ද තිබිය යුතු බවය.

කුලුනු මතින් ඉදිවෙන මෙම අධිවේගී මාර්ගය චීන සමාගමේ අයිතියට වසර කීයක කාලයකට ලබා දෙනවාදැයි කළ විමසීමේදී ප්‍රේමසිරි මහතා පැවසූවේ එය වසර 15ක කාලයකට බවයි. එම මාර්ගයේ ගාස්තු අය කරන්නේ චීන සමාගමදැයි කළ විමසීමේ දී ඔහු කීවේ එය කරන්නේ අපි (ශ්‍රී ලංකාව) බවය. එසේනම් එම සමාගම ආයෝජන මුදල සොයා ගන්නේ කෙසේදැයි කළ විමසීමේදී මාස 6කට වාරිකය බැගින් එම මුදල ගෙවන බව ඔහු කීය. ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන්නට කටයුතු කරන බවය.

මේ නම් රාජපක්ෂවරුන් පමණක් දන්නා අමුතුම BOT ක්‍රමයකි. ආයෝජකයා සිය ආයෝජනය හා ලාභය සොයා ගැනීම වෙනුවෙන් ඉදිකිරීමෙන් පසු නිශ්චිත වසර ගණනක් ඔපරේට් හෙවත් ක්‍රියාත්මක කරන්නේ නැත. ක්‍රියාත්මක කරන්නේ හෙවත් අධිවේගයෙන් මුදල් අය කරන්නේ අපය. එසේ වුවද ණයක් ගැනීමක් ලෙස වාරිකවලින් අප ණය ගෙවීමට නියමිතය. BOT ව්‍යාපෘති සඳහා වත්මන් හොඳම උදාහරණය කොළඹ දකුණු චීන වරායය. එය ඔවුන් සිය ආයෝජනය හා ලාභය ලබාගෙන ආපසු අපට ලබා දෙන්නේ අවුරුදු 35ක කාලයකින්ය.

චීන සමාගමට ලබාදී ඇති මෙම කුලුනු මතින් දිවෙන මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය මුලින් සැලසුම් කර තිබුණි. කිලෝමීටර් 6.9ක් වූ පළමු අදියර නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වාත් කිලෝමීටර් 10.4කින් යුත් දෙවන අදියර රාජගිරිය සිට අතුරුගිරිය දක්වාත් විය. පළමු අදියරට රුපියල් බිලියන 46ක් හා දෙවන අදියරට රුපියල් බිලියන 61.8ක් වශයෙන් රුපියල් බිලියන 107.8ක් වැය වන බව ඒ සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර ඇති සැලසුමේ දැක්වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය දේශීය හා විදේශීය මූලාශවලින් මූල්‍ය සහාය ලබාගෙන සිදුකරන බවද එහි සඳහන්ය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කරනවා යැයි කියන නිවේදනය තුළ මේ සඳහා සමාගම් ඉදිරිපත් කළ සවිස්තර යෝජනාත්, ඔවුන්ට එසේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා බලපෑ දැනුම් දීම ලැබුණේ කාගෙන්ද යන තොරතුරුත් ඇතුළත් වුවහොත් මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන අපට හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.

මන්ද මෙම ව්‍යාපෘතියටම අදාල 2021 ජනවාරි 21 කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වන්නේ වෙන දෙයක් බැවිනි. ‘ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් ඉදිකිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ඇත. ඒ අනුව ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ (BOT) පදනම මත 100%ක විදේශ අරමුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි’ යන්න එහි සඳහන් වේ.

ඒ අනුව එම යෝජනා කැඳවීම අප්‍රසිද්ධියේ රහසිගතව කළ හැකි එකක් නොවේ. ප්‍රසිද්ධියේ කළ යුතු එකක්ය.

එහෙත් එය එසේ සිදුවූ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නැත. ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුවේ මේ අලුත් BOT සෙල්ලම තවදුරටත් සාකච්ඡා කරන්නට තරම් කුතුහලය දනවන එකකි. මන්ද සාමාන්‍ය මිලදී ගැනීම්වලදී රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද සිදුකරන එකම පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් වෙනස් පුද්ගලයින් හෝ ආයතන නමින් මිල ගණන් කිහිපයක් ලබා ගැනීම වාගේ සෙල්ලමක් මෙහිදීද සිදුවී ඇති බවට සාධාරණ සැකයක් ඇති වන බැවින්ය.

ලසන්ත රුහුණගේ

අනිද්දා පුවත්පත

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට 150$ ක ණයක්

මෙරට එන්නත්කරණ කටයුතු සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල  සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් විසින් අත්සන් තබා ඇත.

එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් සඳහා අදාළ ණය මුදල් යොදා ගැනීමට අපේක්ෂිතයි.

දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ඇරඹේ

"දොරින් දොරට" කප්රුක ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ගේ ප්‍රධානත්වයෙන් අද (10) ආරම්භ කෙරුණි.

වැඩසටහන ආරම්භ කෙරුණේ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදීය.

මේ හරහා පොල් ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3,600ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාවයි.

මෙම ජාතික වැඩසටහන සංවිධානය කරන්නේ, වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්වයි.

කාබනික පොහොර යොදා ගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක් ජනාධිපතිතුමා එහිදී නිරීක්ෂණය කළේය.

අනතුරුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණි ජනාධිපතිතුමා පොල් නිෂ්පාදන සහ පොල් කිරි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වන උපදේශනාගාරය නැරඹුවේය.

“දොරින් දොරට කප්රුක”ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරිණි.

රසායනික පොහොර ගෙන්වීමට තීන්දුවක් නැහැ - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් වෙනස්කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

Screenshot 2021 07 10 at 10.53.32

මේ අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජය වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති ඇමතිවරුන් හමු වී සාකච්ඡා කළ බවය.

එහිදි විවිධ අදහස් තර්ක සහ ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත් වු බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ සියල්ල සමබරව සමාලෝචනය කර වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ගය සැලසුම් කිරීමට ඇවැසි අනුකමිටු 05ක් පත් කළ බවත් හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට එම සාකච්ඡාවල දී කිසිදු යෝජනාවක් නොවුන බවය.

රූපවාහිනිය හා ගුවන් විදුලිය අවබෝධතා ගිවිසුමක

හරවත් මාධ්‍ය සංස්කෘතිකයක් රටට හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තැබිණ.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

මේ වසර ආරම්භයේදී අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී එම ආයතන සියල්ල එක්ව වෙළෙඳපොළ ඇතුළු අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත් බව පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව එක් එක් ආයතනයන්හි අනන්‍යතාව රැකගනිමින් මෙම වැඩපිළිවෙල නිසි සැළැසුමක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

නව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන  විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජගත් පී. විජේවීර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ,ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ (මූල්‍ය) නීතිඥ ජනක රණතුංග ,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් මාධ්‍යවේදී ඉන්දික පොල්කොටුව යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූ අතර අදාළ ගිවිසුම යටතේ ක්‍රියාත්මක පළමු වැඩසටහන "නොමියෙන මිනිසුන්" නැමැති වැඩසටහනය.

ප්‍රවීණ ගායක එච්.ආර්.ජෝතිපාල මහතාගේ තිස් හතර වෙනි ගුණ සැමරුසම වෙනුවෙන් මෙහි පළමු වැඩසටහන සකස් කෙරිණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වෙනස් වෙයි

දැනට පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ තිබේ,

ඒ අනුව,

අවමංගල්‍යයකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50කි.

මංගල උත්සව සඳහා අවසර පවතින නමුත්, ශාලාවේ ආසන සංඛ්‍යාවෙන් 25% ක් හෝ සහභාගි විය හැකි උපරිම පිරිස 150කි.

පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර දී ඇත.

කර්මාන්ත ශාලා එනම්, ඇඟළුම් හා අනෙකුත් කර්මාන්ත විවෘතව පවතී.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

sanchara 10

වාණිජ බැංකු ණයවර ලිපි විවෘත කිරීම නවත්වලා - මංගල

වාණිජ බැංකු විසින් ණයවර ලිපි විවෘත කිරීම නතර කර ඇති බවත් ඩොලර් හිඟයට පිළියම මේකද යනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රශ්න කරයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව ප්‍රශ්න කර සිටින්නේ අද (09) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර මේ වන විට ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දොරකොඩ ඇති බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් කිරීම නවත්වලා !

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි. සමහර වාණිජ බැංකු ණයවර ලිපි සඳහා අයදුම් පත් භාර ගන්නා නමුත් ණයවර ලිපි නිකුත් කිරීම දිනෙන් දින කල් දමන බව ද වාර්තා වෙයි.

රාජ්‍ය බැංකු විසින් රජයට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කරන අතර දේශීය කර්මාන්ත සඳහාත්, අපනයන පාදක කර්මාන්ත සඳහාත් අමුද්‍රව්‍ය හෝ අමතර කොටස් ආනයනය කිරීම සඳහා වානිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම ශ්‍රී ලංකා ආර්ථිකය ආගාධය කරා ගෙනයාමක් බව සඳහන් කළ යුතුය.

2020 මැද භාගයේ සිට රජය විසින් දිගින් දිගටම ආනයනයන් සීමා කිරීමත් විදේශ විනිමය සීමා කිරීමත් මෙම රජයේ ප්‍රතිපත්තිවල පොදු ලක්ෂණයක් විය.

මෙම ගැටළුව සඳහා ස්ථීර විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරි මාස තුන තුළ රට පුරා විශාල භාණ්ඩ හිඟයක් ඇති වීමත් නිෂ්පාදන කර්මාන්තශාලා අඩපණ වීමෙන් අපනයනය භාණ්ඩ කලට වෙලාවට නැව්ගත කිරීමට නොහැකි වීම විදේශ විනිමය සංචිතය කෙරෙහි තව දුරටත් දැඩි බලපෑමක් ඇති කරනු ඇත.

විදෙස් අධ්‍යාපනය ලබන දරුවෙකුට සල්ලි යවන්නත් බැරි තත්ත්වයක් !

සරලව කිවහොත් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය ඩොලර් 10,000 ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීම සඳහා විදුලි හුවමාරු (Telegraphic Transfer) පණිවිඩයක් යැවීමට පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කිරීම පුදුමය දනවන කරුණකි.

ඒ අතර විදේශයන් හි අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා විදේශ මුදල් ප්‍රේෂණය කිරීමද සමහර බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම දෙමව්පියන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය රජය බලයට පත්වී වැඩ ඇරඹීමත් සමගම 2020 ජූලි 16 දින අංක 2184/21 ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 175 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමේදී දින 90 සහ දින 180 වේ ණය සීමාවන් යටතේ පමණක් ණයවර ලිපි විවෘත කිරීමට මුදල් ඇමතිවරයා විසින් නියෝග කළ අතර භාණ්ඩ වර්ග රාශියක් මෙරටට ආනනය කිරීම තහනම් කරනු ලැබුවේද වර්ථමාන මුදල් ඇමතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනයන් මඟිනි.

මහ බැංකුව නිහඬයි !

අප ඉහත කී ණයවර ලිපි විවෘත කිරීම සඳහා කරන ලද නියෝගය අනුව ණය පදනම යටතේ (Usance Letters of Credit) ණයවර ලිපි විවෘත කිරීමේ නියෝගය නැවත කැඳවා බැංකුවලට අවශ්‍ය නම් ක්ෂණික නැතහොත් දුටුවන ණයවර ලිපි (Sight Letters of Credit) විවෘත කිරීමට පසුගිය දා වාණිජ බැංකුවලට බලය දුන්නත් වාණිජ බැංකුවල විදේශ විනිමය සංචිත නොමැති නිසා තම ගණුදෙනු කරුවන්ගේ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රතික්ෂේප කරන අතරම ඉතා හොඳ ගණුදෙනු කරුවන් හට ඉදිරි දින 90 හෝ 120 හෝ 180 දින කීපය තුළ ගෙවන ආකාරයට ණයවර ලිපි සුළු ප්‍රමාණයක් විවෘත කරනු ලබන බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවද මේ සම්බන්ධයෙන් අනුගමණය කරන්නේ නිහඬ පිළිවෙතකි.

කිසිවක් කර කියාගත නොහැකිව මේ සඳහා එක් විසඳුමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විණිජ බැංකුවලට සහ අනෙකුත් මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇත.

රජයට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය ලබා ගැනීමට නොහැකි අවස්ථාවක වාණිජ බැංකුවලට ඒ කාර්යය කළ හැකිද යන්න පිළිබඳ තීරණය කිරීමට කලක් ගත වනු ඇත.

ගජ මිතුරු සත්කාර !

තවද පසුගිය මාස 18 ක කාලයක් තුළ දී බිත්ති සහ බිමට අතුරණ ටයිල් වර්ග නානකාමර සෞඛ්‍යාරක්ෂිත උපකරණ, ටයර්, මෝටර් වාහන, පොහොර, කෘෂි රසායන ආදී භාණ්ඩ රාශියක් ආනයනය තහනම් කර තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට කෝටිපතියන් වීමේ අවස්ථාව ලබාදුන් බව රටම දන්නා කරුණකි.

ඉන් නොනැවතී සීනි, පාම් තෙල් මෝටර් වාහන අමතර කොටස් ආනයනය බලපත්‍ර ක්‍රමයට නතුරකර විදේශ විනිමය ඉතිරි කර ගැනීමට උත්සාහ කළත් අද ඒ සියල්ල ව්‍යාර්ථ වී ඇත.

2019 අග භාගයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මේ රට භාර දෙන අවස්ථාවේ එනම් 2019 වර්ෂයේදී රජයේ ආදායම රුපියල් බිලියන 1895 ක් විය. මෙම රජය බලයට පත් වූ විගස හුදු දේශපාලන වාසිය සඳහාත් ඔවුන්ගේ ව්‍යාපාරික සගයන් පිනවීම සඳහාත් රුපියල් බිලියන 600 ක් එනම් සමස්ථ ආදායමෙන් තුනෙන් එකක් පමණ බදු සහන ලබා දීම මෙම අර්බුදයට ශ්‍රී ලංකාව පත්කරන ලද මූලික හා ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය යුතුය.

දැනුමක් පළපුරුද්දක් නැති ඇමතිලා සහ නිලධාරීන් !

ක්‍රමානුකූලව හැඩ ගැසෙමින් තිබූ ආර්ථික මර්මස්ථාන පාලනය කිරීම සඳහා පළපුරුද්දක් නොමැති නිලධාරීන් සහ දැනුමක් නොමැති ඇමතිවරුන් පත් කෙරුණි. කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්ති අතර ගැටුම්කාරී තත්වයන් ඇතිවීම නිසා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවතී.

මෙම රජය බලයට පත් වූ දා සිට දිනෙන් දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකා ණය ශ්‍රේණිය පහළ දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ණය ලබා ගැනීමේ හැකියාව හැකිලී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන අප රට කෙරෙහි තබා තිබුණ විශ්වාසය පදනම් කරගෙන රටටත් බැංකු පද්ධතියටත් ලබා දී තිබූ ඉහළ ශ්‍රේණිගත කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අප රට කෙරෙහි තිබූ විශ්වාසය නිසාත් ලෝකයේ ඕනෑම බැංකුවක් අපගේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගන්නා ලදී. එහෙත් වර්ථමාන රජය බලයට පත් වී කෙටි කාලයක් තුලදී එම විශ්වාසය කඩවීම තුළ රටේ සහ බැංකු පද්ධතියේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම’ (Sovereign Credit Ratings) දර්ශකයන් CCC කාණ්ඩය දක්වා පහත දැමුණි.

විදේශ ණය ගෙවීමට මෙම රජයට නොහැකිය යන පදනම මත අප රටේ බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීම ජාත්‍යන්තර බැංකු මගින් ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති බව වාර්තා වීම නිසා තහවුරු කරන ලද (Confirmed Letters of Credit) ණයවර ලිපි පමණක් ජාත්‍යන්තර බැංකු විසින් ඉල්ලා සිටීම නිසා මෙරට ව්‍යාපාරික ප්‍රජාව ඉමහත් අපහසුතාවයන්ට පත්ව ඇති බවද සාකච්ඡාවට භාජනය වෙමින් පවතී.

මාස 18 ප්‍රතිඵලය !

මේ අර්බුද සියල්ල වර්ථමාන රජය විසින් පසුගිය මාස 18 කාලයක් තුළදී තමන් විසින්ම නිර්මාණය කරගන්නා (Man-made crisis) ලද ඒවාය.

අපගේ යහපාලන රජයට මාස හයක පාලන කාලයක් ඉතිරිව තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නව ආර්ථික දර්ශනයක් මෙරටට හඳුන්වා දීමටය.

ඒ සියල්ල අද සිහිනයක් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නව රජයට මේ රට භාර දෙන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.6 ක් වූ අතර මාස 18 ක් තුළ එය ඩොලර් බිලියන 4.0 දක්වා අඩුවී ඇති බව විවිධ වාර්තාවල දැක්වේ.

විදේශ විනිමය සංචිතයන් පවත්වාගෙන යනු ලබන්නේ එහි අර්ථයෙන්ම ආනයනය අපනයනය පදනම් වූ රටක ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග, ආහාර ද්‍රව්‍ය, බලශක්තිය සඳහා අවශ්‍ය වන බොර තෙල්, ඛණිජ තෙල් යනාදිය ආනයනය කිරීම සඳහා වූ තැන්පතුවක් වශයෙනි.

එහෙත් එම සංචිත දීර්ඝ කාලයකට පෙර ඔබගේ රජයන් යටතේ ලබා ගත් කෙටි කාලීන විදේශ ණය සහ ඔබගේ පසුගිය ආසන්නතම පාලන කාලය තුළ ලබා ගත් කෙටි කාලීන ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නිදහස් කර ගැනීමට යොදා ගැනීම නිසා අද වන විට අපේ රට ද යුරෝපයේ ග්‍රීසියක් ලෙසද ලතින් ඇමෙරිකාවේ වෙනිසියුලාවේ තත්වයටද පහත වැටෙන උපනතියක් පෙන්නුම් කරයි.

මෙම මාසයේ රජය විසින් ගෙවීමට ඇති ජාත්‍යන්තර ස්වෛරී ඇපකර නිකුත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පාලන බලයේ සිටි 2011 වසරේදීය.

2011 ජූලි 25 දින 5.875% කට අලෙවි කරන ලද ඩොලර් බිලියනයක් 2021 ජූලි 07 වන දින ගෙවිය යුතුය. මෙම ඩොලර් බිලියන අපගේ විදේශ විනිමය සංචිතයෙන් ගෙවීමෙන් අනතුරුව එහි ශේෂය ඩොලර් බිලියන 3 කට අඩු වනු ඇත.මෙයට අමතරව මෙම වර්ෂය තුලදී තවත් බිලියන 2 ක් පමණ තවත් ණය ගෙවීමට ද ඇති බවත් වාර්තා වෙයි.

තවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් ආනයනයට ගෙවිය යුතු පිටත හිඟහිටි බිල් වශයෙන් ඩොලර් බිලියන 1.3 ක් ද ඇතැතිව පවතින බව වාර්තා වෙයි.

පසුගිය සිකුරාදා වන විට බොහෝ වාණිජ බැංකු ණයවර ලිපි අයදුම්පත් ඉදිරිපත් කළ ගණුදෙනු කරුවන්ට පවසා ඇත්තේ ඔවුන්ගේ එම ණයවර ලිපි විවෘත කිරීමට නම් අවම වශයෙන් ණයවර ලිපියේ වටිනාකමින් 50% ක ප්‍රමාණයක් සඳහා විදේශ මුදල් බැංකුවේ තැන්පත් කරන ලෙසයි.

අර්බුදය තවම දොරකඩ !

අද වන විට ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දොරකඩටම පැමිණ ඇත.

වාණිජ බැංකු විසින් දිගින් දිගටම ණයවර ලිපි විවෘත නොකිරීම නිසා ඉදිරි මාස තුනක් පමණ වන විට ආහාර, ඖෂධ, අමතර කොටස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වී රට තුළ අසහනකාරී තත්වයක් නිර්මාණය වනවා ඇත. මෙවැනි තත්වයක් රට තුළ නිර්මාණය වුවහොත් මෙම රජයට එම වගකීමෙන් ගැලවිය නොහැකිය.

රසායනික පොහොර සහ කෘෂි රාසයනික ද්‍රව්‍ය නොමැති කමින් අස්වැන්න අඩු වී ආහාර හිඟයක් රට තුළ ඇති වී වෙළඳපොළට පැමිණෙන සීමිත භාණ්ඩවල මිල අහස උසට ඉහළ යනු ඇත.

අපි තවමත් ප්‍රමාද නොමැත.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා කළ යුතු ආර්ථික විද්‍යාත්මක විසඳුම් බොහෝය.

ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර උපදෙස් ගෙන මෙරට ආර්ථිකය නිවැරදි මඟට යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර තවදුරටත් අප රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් නොකර පුහු සංවර්ධන වැඩසටහන් නවතා දමා පුද්ගලයින් කිහිප දෙනෙකු ගැන විශ්වාසය නොතබා රටක් ලෙස මේ ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා කටයුතු කරන මෙන් සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය

2021.07.09

බැසිල්ට දුන්න 3ක් : යළිත් මහින්දට !

අගමැති මහින්ද රාජපක්ෂගේ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ විෂය කොටස් සංශෝධනය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත.

නිකුත් කෙරුණු නව ගැසට් නිවේදනයට අනුව, මුදල් අමාත්‍යාංශ විෂය පථයට අයත්ව තිබූ බෞද්ධ පුනරුද අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊයේ (08) ස්ථාපිත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කරන අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ලැබේ.

පොලිස් මර්දනයට එරෙහිව : සජබ අධිකරණය හමුවට !

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලීසිය ගන්නා ක්‍රියාමාර්ගය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වෙන වෙනම එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිරෝධායන පනත යටතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන අතර ඒ තුළින් උද්ඝෝෂණ තහනම් කර තිබෙන බවය.

මේ නිරෝධායන මාර්ගෝපදේශ උපයෝගී කරගනිමින් පොලීසිය විසින් සාමකාමී උද්ඝෝෂණ දිගින් දිගටම මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන පෙත්සම්කරුවන් ඊට සහභාගි වන පුද්ගලයින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකරන බවත් සඳහන් කළේය.

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නමැති මූලික අයිතිය උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මව්රට

Page 434 of 444