පුවත්
කටුනායක ගුවන් තොටුපළ PCR පරීක්ෂණාගාරය වැහුවේ ඇයි ?
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කළ PCR පරීක්ෂණාගාරය වසා දමා ඇත්තේ හෝටල් නිරෝධායන ගජමිතුරන්ට වාසි සැලසීමටද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 6 ක් , නැත්නම් රුපියල් ලක්ෂ 7000ක් පමණ වියදම් කර ඉදිකර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විවෘත කර පැය 24ක් ඉක්මයන තැන PCR පරීක්ෂණාගාරය වසා දැමුණු බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
මෙම PCR පරීක්ෂණාගාරයේ වැදගත්කම සිහිපත් කළ මන්ත්‍රීවරයා ඒ හරහා විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්නන්ට වගේම විදෙස් සංචාරකයන් පැය කිහිපයක් තුළ පරීක්ෂා කර ගැනීම් සිදුකර ගැනීමට අවස්ථාව තිබූ බවත් පැවසීය.
නමුත් දැන් එය වසා දමා ඇති බැවින් යළිත් හෝටල් නිරෝධායන මාෆියාව ක්‍රියාත්මකවීමක් සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.
එසේම මාධ්‍ය මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලබාදුන් පිළිතුර පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් ඔහු පැවසීය.
අසාද් සාලි මහාධිකරණයට ගෙනෙන්න නියෝගයක් !
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එළැඹෙන 25 වනදා කොළඹ මහාධිකරණය අද (13) නියෝගකර ඇත.
විනිසුරු අමල් රණරාජා විසින් මේ නියෝගය නිකුත්කර ඇත්තේ බන්ධනාගාර බලධාරීන් වෙතයි.
එසේම මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය මාර්තු 09 වැනිදා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් අසාද් සාලිට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබු නඩුව මෝසමක් මගින් කැඳවමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීමකට අනුවය.
මහින්ද පුත් රෝහිත ක්‍රිකට් පිටියට !
අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මේ වන විට කි‍්‍රකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක්රිකට්ඒජ් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අනුව ඉදිරියේ පැවැත්වෙන දේශීය පන්දු වාර 50 එක්දින තරගාවලිය සදහා එක්වීම සඳහා ඔහු මේ වන විට පුහුණුවීම්වලට එක්ව ඇත.
රෝහිත රාජපක්ෂ අද (13) දිනයේ දී කළුතර ක්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් මාසයේ 27 වනදාය.
කන්න රැස්වීම් නැති හේතුව මන්ත්‍රීනි රෝහිණී හෙළිකරයි !
මහ කන්නය දැනටමත් ආරම්භ වී ඇති නමුත්, ලංකාවේ ගොවිබිම්වලින් භාගයකවත් තවම කන්න රැස්වීම් පවත්වා නැතයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.
මහාපරිමාන වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන් ගේ මුලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් තියෙනවා. මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් තවම පවත්තලා නෑ. ආණ්ඩුවේ තීරණ නිසා, රාජ්‍ය නිලධාරීන් ගොවීන් ලඟට යන්න බයයි. නිසා රැස්වීම් තියන්නේ නැතිව මඟහරිනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ රත්තොට පැවති ගොවි සංවිධාන රැස්වීමක් අමතමිනි.
බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියලා රාජ්‍ය ඇමතිකෙනෙක් ඊයේ කියලා තිබුණා. ඒ ඇමති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල් නාශක ඕනි කියලා.
කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු 9 දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න බෑ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නෙවෙයි, අන්තර් ජාලයේ. දේශපාලනයෝ විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ලඟට යන්න බෑ. හැම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, අසරණවෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්.
දැනට වගා කරලා තියෙන බිම්වලට අවශ්‍ය කෘෂි රසායන ටික දෙන්නේ නැතිව ගමක ගොවි රැස්වීමක් තියන්න බෑ. යන යන තැන ගොවියෝ උද්ඝෝෂණ කරන නිසා රාජ්‍ය නිලධාරීන් රැස්වීම්වලට යන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් නිසි මඟ පෙන්වීමක් නැතිව අන්ත අසරණ වෙලා. අහන කිසිම ප්‍රශ්ණයකට උත්තරයක් නෑ. මාතලේ ගොවියෝ රැසක් වී ගොවිතැනින් ඉවත්වෙලා, බතල හදනවා. ඒ බෙහෙත් පොහොර ඕනි නැති නිසා.
අද ඉදලා කාබනික පොහොර බෙදනවා කියලා අණ බෙර ගහනවා. ලංකාවේ සමස්ථ පොහොර අවශ්‍යතාවයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙන්නේ 2% යි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තියෙන්නේ.
– media unit
ඇමති චමල් ගොවියාගේ වගකීම ගොවියාට සිහිපත් කරදෙයි !
රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි.
රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.
ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.
ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය
ගුරු – විදුහල්පති වර්ජනය තවදුරටත්......
ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කළේ ය.
ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව අද තීරණය කරන බවයි.
ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද තීරණය කර ඇත්තේ, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි.
ගුරු, විදුහල්පති සංගම් පැය තුනහමාරකට අධික කාලයක් අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡා කර තිබූ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත් කරගෙන !
හිටපු නාවික හමුදාපති වසන්ත කකරන්නාගොඩට එරෙහි අධි චෝදනා තවදුරටත් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා අද (13) අධිකරණයට දැනුම්දි ඇත.
2008 / 2009 වසරවලදී කොළඹ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සමක් අද දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති ද පෙරේරා ඒ බව අධිකරණයට දැනුම් දී ඇත.
මහ කන්නයට කාබනික පොහොර බෙදීම ඇරඹේ !
එළැඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිකුත් කිරීම අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පවසා ඇති ආකාරයට මෙසේ බෙදා හැරෙන්නේ මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොරය.
දිවයිනපුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත එම කාබනික පොහොර බෙදා හරිනු ඇත.
කාබනික දියර පොහොර දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලදි ගත් බව ද ඔහු සඳහන් කර ඇත.
ඊට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
ගුරුවරුන් වර්ජනය නවත්වන්න ඕන : නැත්නම් මර්දනය කරන්න ඕන - SB
ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.
ජනාධිපති සහ අගමැති සාමකාමීව ප්රශ්නය විසඳීමට උත්සාහ ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් වන අතර තමන්ට එය බාරදුනහොත් වර්ජනය අත්හිටුවා පෙන්වන බවත් පැවසීය.
අගමැති - ගුරු සංගම් සාකච්ජාව එකඟතාවකින් තොරව අවසන් - අවසන් තීරණය හෙට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (12) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාව නිශ්චිත විසඳුමකින් තොරව අවසන් වී ඇති අතර සාකච්ජාවේදී ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට දිනයේදී රැස් වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
කැබිනට් අනුකමිටුව විසින් යෝජනා කර තිබෙන අදියර 03ක් යටතේ යෝජිත වැටුප ලබා දීම වෙනුවට අදියර 02කින් ලබා දීමට අගමැතිවරයා එකඟතාව පළකර ඇත.
ගුරු – විදුහල්පති වැටුම් විෂමතා විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකාරක සභාවේ සමාජිකයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඉන් එක් අදියරයක් යටතේ වන වැටුප් කොටසක් ලබන වසරේ ජනවාරි මාසයේදීත් අනෙක් වැටුප් කොටස දෙවන අදියර වශයෙන් 2023 වසරේ ජනවාරි මාසයේදීත් ලබාදීමටයි අගමැතිවරයා යෝජනා කර තිබෙන්නේ.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ගුරු, විදුහල්පති සංගම් කියා සිටියේ වැටුප් ගැටලුවට රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ දැයි හෙට තීරණය කරන බවයි.
”අපි අපේ එකඟතාවය තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරලා නැහැ. ඒ වගේම අපේ වර්ජනය හෝ වෙත් තීන්දු අපි අවසන් කරලත් නැහැ. අපි මේ ක්‍රියාවලියෙන් ඉස්සරහට යනවා. අපි පැහැදිළිවම ගුරු විදුහල්පති සන්ධානය හැටියට හෙට දවසේ රැස්වෙලා තමයි අපි විදිමත්ව අපේ අදහස මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන්නේ” – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් –
”විශේෂයෙන්ම අපේ ඉල්ලීම මේක එකවර දෙන්න කියන එක.නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් දිගටම අවධාරණය කළා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කරපු කාරණය තමයි අපි එකවර දෙන්න කියද්දි. කිසිසේත්ම මෙවර අයවැය විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා, ඒ වගේම තවදුරටත් මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. කියන එක තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත් කළේ.මේ සියලු කරුණු පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කරලා අපි හෙට දවසේ තීරණය කරනවා අපේ ක්‍රියාමාර්ගවල ඉදිරියේ පිළිබඳ’
– ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ –
ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
”මෙහිදී විදුහල්පති සංගම්, ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලා හිටියා. අගමැතිතුමා දිගින් දිගටම කිව්වේ මේ වෙලාවේ මුදල් නැති නිසා, අදියර තුනක් යටතේ වැටුප් ලබා දෙන්න තමයි. භාණ්ඩාගාර නිලධාරියෙක් ඇවිල්ලා හිටියා. එතුමාත් කිව්වේ මේක මේ වෙලාවේ තියෙන මුදල් දුෂ්කරතාවය නිසා අදියර තුනක් යටතේ දෙනවා කියලා. මේක එක වරම ලබා දෙන්නත් පුළුවන් කියන විශ්වාසය අපිට ආණ්ඩුව පැත්තෙන් තියෙනවා” – ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ –
මේ අතර අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ ආණ්ඩුව විසඳුම ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම ඉලක්කම් ඉදිරියට දමා අපහසුතාවය පවසනවා මිස අනාගත පරම්පරාව පිළිබඳව කිසිදු ආකාරයක ගණනය කිරීමක්, වටිනාකම තක්සේරු කිරීමක් සිදු නොකරන බවයි.
”විසඳුම ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම, මොහොතකදීම ආණ්ඩුව ඉලක්කම් ඉස්සරහට යොදාගෙන බැරිකම අපහසුතාවය කියනවා මිසක්ක, එහෙයින් වැනසී යන විනාශ වී යන අනාගත පරම්පරාව පිළිබඳව කිසිදු ආකාරයක ගණනය කිරීමක්, වටිනාකම තක්සේරු කිරීමක් ආණ්ඩුව විසින් සිද්ධ කරන්නේ නැහැ. ආණ්ඩුවේ මේක සුවිශාල මුදලක් හැටියට, ගණනය කරනවා. හැබැයි සීනි වංචාවෙන්, පොල්තෙල් වංචාවෙන්, වැට් බදු අහිමි කිරීමෙන්, රටට අහිමි වෙච්ච ධනය මේ බිලියන තිහ වගේ සිය ගුණයකින් දහස් ගුණයකින් වැඩියි”
තවත් කොරෝනා මරණ 23 ක් :සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 23 ක් අද (12) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 12 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 11 දෙනා පිරිමි පුද්ගලයින් ය.
මියගිය පිරිස අතර අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 3 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (12) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ලංකාවේ !
දින පහක නිල සංචාරයක් සඳහාකොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (12) දින උදෑසන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සහ වීනා නාරාවන මැතිණිය සමග දුත පිරිස සමගින් දිවයින වෙත පැමිණෙන ලදි.
ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි සහ එම මැතිණිය ඇතලු දුත පිරිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් විසින් මහත් හරසරින් යුතුව එම අවස්ථාවේදි පිලිගත් බවත් වාර්තා වෙයි.
නිදහසෙන් පසු මිනිස්සු හිතුවේ බඩ ගැන මිස රට ගැන නෙවෙයි !
නිදහස ලැබීමෙන් පසු ජනතාව බඩ ගැන සිතමින් සිටියා මිස රට ගැන සිතුවේ නැති බව පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව සඳහන් කර සිටියේ එම පපක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ලෝක ආර්ථිකය මේ වනවිට අර්බුදයක ඇති බවත් ශ්‍රී ලංකාවටද එය බලපාන බවත් පැවසූ ඔහු ලෝක ආර්ථික තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එකක් බවද කියා සිටියේය.
ගෑස් මිල ක්‍රමයට ඉන්ධන මිලත් ඉහළට ? IOC මිල වැඩි කරන්න ඉල්ලයි !
තම බෙදුම්හල් මගින් බෙදාහරින ඉන්ධන වල මිල ඉහළ දැමීම සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඉල්ලීම වී ඇත්තේ , ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 16ක් මිල ඉහළ දැමීමටය.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බව සඳහන් කරමිනි.
මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.
දැන්ම වැඩි කරන්නේ නෑ ලු !
කෙසේ වුවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ඉන්ධන මිල දැන්ම වැඩි නොකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවය.
වාර්තා වන ආකාරයට ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හා ඩොලරය ඉහල යාම නිසා තෙල් සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන බව බලශක්ති අමාත්‍යවරයා එහිදී පවසා ඇති බවත් වාර්තා වෙයි.
ජනාධිපතිවරයා එහිදී පවසා ඇති ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන ලෙසයි.
ගෑස් ක්‍රමයට ඉන්ධන මිලත් !
ඉන්දීය තෙල් සමාගමේ සහ ආණ්ඩුවේ මේ හැසිරීම සිහිපත් කරන්නේ ගෑස් මිල ඉහළ දැමීමට දියත්වූ ක්‍රියාවලියයි.
එහිදී පළමුව රජයේ ලිට්රෝ සමාගම ලෝක වෙළඳ පොළ මිල අනුව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීම නිසා පාඩු බව පැවසීය.
ආණ්ඩුව එහිදී වැදගත් ප්‍රකාශයක් සිදුනොකළ අතර ජනතාව පීඩාවට පත්නොකරන කතා කිහිපයක් අසන්නට ලැබිණ. අනතුරුව ලාෆ් සමාගම ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීය. ආණ්ඩුව එවරත් මුනිවත රැකි අතර පැහැදිලි ප්‍රකාශයක් සිදුකරේ නැත.
ලාෆ් සමාගම ගෑස් බෙදාහැරීම නැවැත්වූ අතර රජයේ ලිට්රෝ පැවසුවේ වෙළඳ පොළ හිඟයක් ඇතිවෙන්න නොදෙන බවය.
නමුත් එය පට්ටපල් බේගලයක් වූ අතර ඇත්තටම නම් වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක් ඇති විය. කොරෝනා අස්සේ ගෑස් පෝලිම් ඇති විය.
අවසානයේ ගෑස් මිල ජනතා දුෂ්කරතා නොතකා ඉහළ දැමිණ.
ඉන්ධන මිල සම්බන්ධයෙන් ද මේ ඇතිවෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයක් විය නොහැකි ද ?
පසුගිය දිනවල ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලූ විට ආණ්ඩුව කියන්නේ දැන්ම ඊට ඉඩ නොදෙන බවයි. කෙසේ වුවත් දැන් ඉන්දීය ඔයිල් සමාගම ත් ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇත.
ඊළඟට සිදුවන්නේ කුමක්ද ?
අනුරුද්ධ ප්රදීප්ගෙන් රතන හිමිට ලියුමක් !
හිතවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියනි,
මම මේ ලිපිය ලියන්නේ "ඔබ වහන්සේගේ වස විස ගොවිතැන ගැන මා එදා කියපු දේවල් හරි නේද?" කියා ඔබ වහන්සේගෙන් අසන්නට ය. එය දැන් ඔබවහන්සේ ලැජ්ජාවට පත්වෙන, අමිහිරි ප්‍රශ්නයක් බව මම දනිමි. නමුත් මෙවැනි විනාශකාරී, මෝඩ වැඩ තවදුරටත් කිසිවෙකු විසින් හෝ නො කරනු පිණිස ඒ කඨෝර ප්රශ්නය ඔබ වහන්සේගෙන් ඇසිය යුතුමය.
මීට වසර දහයකට පමණ පෙර, සම්පූර්ණයෙන්ම කාබනිකව කරන කෘෂිකර්මයක් ගැන විවිධ කතා ඔබ වහන්සේ විසින් මහත් විශ්වාසයෙන් යුතුව කියන්නට වීමත් සමගම එහි ඇති අතාර්කික සහ විහිළු සහගතභාවය මට අවබෝධ විය. ඔබ වහන්සේ ප්‍රියමනාප, ප්‍රසන්න පුද්ගලයෙකි. එසේම කතාවෙන් යම් පුද්ගලයෙකු ව නම්මා ගැනීමෙහි ද දක්ෂයෙකි. එහෙත් ඒ සමගම දැකිය හැකි විශාලතම දුර්වලතාවය වූයේ ඕනෑම විෂයයක් උඩින් අතපත ගෑමට විනා ගැඹුරින් අධ්‍යයනය කිරීමට ඔබ වහන්සේ තුළ වූ කම්මැලිකම සහ අකැමැත්තයි. අවාසනාවට එසේ හදිසියේ හා නොගැඹුරු ව එළැඹෙන නිගමන, මහා සත්‍යයන් සේ සමාජගත කිරීමට ඔබ වහන්සේ බිඳක්වත් පැකිලෙන්නේ නැත. එසේම ඒවා සටන් පාඨ බවට පරිවර්තනය කිරීමටත්, ඒවාට විරුද්ධ වන සියල්ලන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමටත් ඔබ වහන්සේ පියවර ගනී.
නරකම දෙය නම් ඒ සටන් පාඨ සහ එමඟින් ඇතිකරන උද්ඝෝෂණවලින් ඔබවහන්සේට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව විනා ඒවායෙහි අහිතකර සමාජ ආර්ථික හා දේශපාලන බලපෑම් ගැන ඔබ වහන්සේ හිතන්නේවත් නැති වීමයි. කාබනික පොහොර සහ ෂාෆි සිදුවීම යන දෙකේදීමත් දැකිය හැකි වූයේ එම ලක්ෂණයයි.
වස විසෙන් තොර ගොවිතැන යයි ඔබ වහන්සේලා හැඳින්වූ ව්‍යාපෘතියෙහි ඇති අතාර්කිකභාවය සහ විනාශකාරීභාවය ඔබ වහන්සේට තේරුම් කර දීමට ඒ කාලයේ දී මම මහත්සේ වෙහෙසුනා ඔබ වහන්සේට මතක ඇත.
වරක් ඔබ වහන්සේ විසින් මේ පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකට මටද ආරාධනා කරනු ලැබිණ. එහි ප්‍රධාන දේශකයන් වූයේ ඔබවහන්සේ හා චන්න ජයසුමන යි. එහිදී මම චන්නගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි. පළමුවැන්න වූයේ කාබනික ගොවිතැනෙන් ලබාගත හැකි අස්වැන්න, රසායනික පොහොර භාවිතයෙන් ලබාගත හැකි අස්වැන්නෙන් කොපමණ පංගුවක් ද යන්නයි. ඊට ඔහුගේ පිළිතුර වූයේ එය සියයට හැටක් බවත්, නමුත් වෙළඳපොළෙහි කාබනික ආහාරවලට ඇති ඉහළ ඉල්ලුම සහ කාබනික පොහොරට යන පහළ වියදම නිසා ගොවියන්ගේ ආදායම වැඩි වන බවයි. එවිට මම කීවේ කාබනික ආහාරවලට ඇති සාපේක්ෂ වැඩි මිල ප්‍රමාණය දැන් පවත්නා වෙළෙඳපොළ තත්ත්වයන් මතම විනා මුළු කෘෂිකර්මය ම ඒ තත්ත්වයට පත් කළ පසුව බලාපොරොත්තු විය නොහැක්කක් බවයි. එසේම සම්පූර්ණ කෘෂිකර්මය ම කාබනික කළවිට, කාබනික පොහොරවලට ඇති ඉල්ලුම වැඩිවන බැවින් එවිට කාබනික පොහොර මිල අනිවාර්යෙන්ම රසායනික පොහොරවල මිලද ඉක්මවා යන බව මම පැවසුවෙමි.
නමුත් වැදගත්ම ගැටළුව එය නොවේ. නිෂ්පාදනය 40% කින් අඩු වෙනවා යනු සරල දෙයක් නොවේ. ඉතා භයානක දෙයකි. හාල් නිෂ්පාදනයෙන් අප සිටින්නේ 100% තැනය. එනම් හාල් ඉල්ලුමට සරිලන ප්‍රමාණයක්, ඒ පමණක් නිෂ්පාදනය කරන රටක් වශයෙනි. ඒ අනුව හාල් නිෂ්පාදනය 40% කින් අඩු වෙනවා යනු මේ රටේ මිනිසුන් ලක්ෂ අසූවකට තුන් වේලටම සිය ප්‍රධාන අහාරය වන බත අහිමිවීම නොවේදැයි මම චන්න ගෙන් විමසුවෙමි. එනම් ලක්ෂ අසූවක් මිනිසුන්ට තුන්වේලම අහිමි කරන්නක් නොවේ දැයි මම ඇසුවෙමි. ඊට පිළිතුරු දෙන්නට ඔහුට නොහැකි විය. ප්‍රතිඵලය වූයේ ඔබ වහන්සේ කෝපයට පත් වීමත්, නොසන්සුන් වීමත්, එසේම ඊළඟට පැවති කිසිදු එබඳු වැඩසටහනකට මට ආරාධනා නොකිරීමත් ය. කෙසේනමුත් එදා එතැනින් පිටවී එන්නට පෙර, මේ කාබනික ව්‍යාපෘතිය යනු කවදා හෝ ක්‍රියාත්මක කළහොත් මේ රට නිශ්චිතවම සාගතයකට ඇද දමන්නක් බව මා අවසාන වශයෙන් කීවා ඔබවහන්සේට මතක ඇත.
මගේ අනාගත වාඛ්‍යය සත්‍යයක් වෙමින් පැවතීම ගැන මට ඇත්තේ සතුටක් නොව දුකකි. නමුත් පුදුමයට කරුණ වන්නේ ඔබ වහන්සේ ගේ ඒ මහා ව්‍යාපෘතිය මෙබඳු විනාශයක් සහ විහිළුවක් බවට පත්ව තිබියදීත් ඔබ වහන්සේ කිසිදු දුකකින් තොරව ඉතා සැහැල්ලුවෙන් සිටින බව දැනගැනීමට ලැබීම ය.
කර කියා ගැනීමට දෙයක් නොමැතිව, ජීවත් වෙන්නට මගක් නොමැතිව, අසරණ වූ ගොවියෝ කෝපයෙන් සහ වේදනාවෙන් හඬා වැටෙත්දී, ඔබවහන්සේ මොකක්දෝ බෞද්ධ සංගීත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව අහම්බෙන් දුටු වෙමි.
ඔබ වහන්සේ ගේ සංගීත දිවියට සුබ පතමි.
මෙත් සිතින්, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
අනුරුද්ධ ප්‍රදීප් ගේ ෆේස්බුක් ගිනුමෙනි
පළාත් සභා ජන්දය මාර්තුවේ එයි !
පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති වීම රටේ ජනතාවට සහ ප්රජාතන්ත්රවාදයට කරන අසාධාරණයක් බව විදේශ ඇමති ජී එල් පීරිස් පවසයි.
2022 මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, කිසිදු බාහිර බලවේගයක බලපෑම යටතේ මැතිවරණය පැවැත්වෙන්නේ නැති බවත් අමාත්‍යවරයා පවසයි.
වසර දෙකක් තිස්සේ ජනතාවට පළාත් මහජන නියෝජිතයින් හමුවී තම ගැටලු ගැන සාකච්ඡා කිරීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කරන අතර ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ වැඩ සටහන් සංශෝධනය කරමින් රජය පළාත් සභා මැතිවරණය කැඳවන බවත් පැවසීය.
තවද මැතිවරණයක් පැවැත්වීම සඳහා නව පළාත් සභා පනතක් අවශ්‍ය බව නීතිපතිවරයා අවධාරණය කළ බවත් ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පැවසීය.
කොරෝනා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් : ඒත් ගජමිතුරන් නිසා අවධානමක් !
තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (10) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් අද (11) නිකුත්කර ඇත.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13354 දක්වා ඉහළ= යයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර සිටියි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් එහිදී පවසා සිටියේ මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය සැකකරන බවයි.
ගුවන් තොටුපොළේදී සිදුකරන PCR පරීක්ෂණ නවතා දමා බලෙන් වසන්තයක් උදාකරන්න ගොස් කොරෝනා අලුත් රැල්ලක් සාදා ගැනීමේ ලකුණු පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මෙසේද පවසයි.
''PCR පරීක්ෂණ නවත්තලා, බලෙන් වසන්තය කැන්දන්න ගිහින් අපි ලබන ජනවාරියේ විතර අලුත් රැල්ලක් ගෙන්නා ගන්න හදන පාටක් තියෙන්නේ
ගුවන්තොටුපල ON Arrival PCR එක අත්‍යවශ්‍යයි කියමින් හෝටල් නිරෝධායනයට උඩගෙඩි දෙමින් මාර්ගෝපදේශ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශය, හෝටල් මාෆියාවට තිත තියපු ගමන්, ON Arrival PCR අවශ්‍යම නැහැ කියලා මාර්ගෝපදේශ හදපු එක සැක සහිතයි."
මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද?”
"මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද?” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රශ්න කරයි.
එසේම පසුගිය සමයේ ප්‍රසිද්ධ වූ "ආර්ථික ඔස්තාර්ලා අද කෝ ?" යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රශ්න කළ අතර එහිදී ඔහු දැක්වූ අදහස් මෙසේය.
පැයෙන් පැය බඩු මිල වැඩිකරන ආණ්ඩුවක් !
මේ ආණ්ඩුව පැයෙන් පැය බඩු මිල වැඩි කරමින් තිබෙනවා. මේ නිසා ජනතාව දරා ගන්න බැරි පීඩාවකින් ඉන්නේ. රටේ පාලකයෙක්, ආණ්ඩුවක් නැති තත්වයක් තියෙන්නේ. මේ නිසා මෝල් හිමියන් සහ කොම්පැනිකාරයෝ භාණ්ඩ මිල තීරණය කරනවා. යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව අපි දැක්කා. එහිදී එතුමා පැහැදිලිව කීවේ මීට අවුරුදු දෙකකට කලින් රටේ ජනතාවට දුන් පොරොන්දු මතකයි කියලා.
2019 ජනාධිපතිවරණ වේදිකාවේදී පොහොර නිකන් දෙනවා, සහන මිලට බඩු මල්ලක් දෙනවා, ගෑස්වලට රුපියල් 100ක සහනයක් දෙනවා කියා කිව්වා. අනිකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහන පැකේජ් එකක් දෙනවා කියලා වේදිකාවල බෙරිහන් දුන්නා. නමුත් අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා, රුපියල දැන් මස්ත බාල්දු වෙලා. ඩොලර් හිඟයක් ඇති වෙලා. නිෂ්පාදන කඩා වැටිලා වගේම ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ගොවියා මුළුමනින්ම බිමටම වැටිලා. කෘෂි කර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගිහින් හෙට අනිද්දා දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු තිබෙනවා.
මේ ඩොලර් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි !
ආණ්ඩුව දැන් තමන්ගේ පාලනය යටතේ තිබෙන සියල්ල අත්හරිමින් යන්නේ මේ වගේ වාතාවරණයක් තුළයි. මහ බැංකුව ට්‍රිලියන දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට අච්චු ගසා තිබෙනවා. මේ නිසා රටේ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා. බැංකු පොලී අනුපාත වෙනස් වෙනවා. මේ නිසා නැවත වටයකින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා.
නමුත් ලැබෙන වැටුප්, ජනතාවගේ ආදායම් වැඩිවී නැහැ. අනික් පැත්තෙන් එදා ගත් වැටුපම අරගෙන බඩු ගන්න ගියාම එදා ගත් බඩු ටික ගන්න බැහැ. මෙහෙම තියෙද්දී ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල පාලනයන් ඉවත් කළා. මේක ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඩොලර් ප්‍රශ්නයක් නම් හාල් මිල පාලනය ඉවත් කරන්න අවශ්‍ය නැහැ.
කොයි තරම් කටින් බතල කොළ හිටේටත් හාල් මිල තීරණය කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මෝල් හිමියන්. හාල් මිල තීරණය කරන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ කාටවත් බැරි වුණා. අද වෙන කොට ගෑස් කිරිපිටි පාන්පිටි සිමෙන්ති මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ. තව පැත්තකින් පුරාජේරු ගහපු මහින්දානන්ද අලුත්ගමගේලා ඒ අමාත්යංශ්යවල ඉන්න තත්වයක් යටතේම හාල් පිටරටින් ගේනවා. මේ ගේන්නේ කාබනික පෝර දාලා වගා කළ අස්වැන්න නොවෙයි.
මිල ස්ථායිකරණ අරමුදල කෝ ?
ඉන්ධන මිල වැඩිකළ වෙලාවේ පිහිට වූ ස්ථායිකරණ අරමුදල පිළිබඳව ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කොච්චර වැඩි වුණත් අපේ රටේ මිල වැඩි නොකරන්න කටයුතු කිරීමේ රුපියල් කෝටි 20,000ක ස්ථායිකරණ අරමුදලක් පිහිටුවන බව කිව්වා.
අන්තිමට ස්ථායිකරණ අරමුදල කොල්ලකෑවා විතරයි. ජනතාව ණයට තෙල් ගහන්නේ නැහැ. නමුත් දැන් ඒ බර ජනතාව මත පටවලා තියෙන්නේ. ඒ වගේම ඩීසල් රුපියල් 32/-කින් සහ පෙට්‍රල් 14/-කින් වැඩි කරන්න ලෑස්ති වෙනවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති හැටියට පත්වෙන කොට ආණ්ඩුවේ අයම කයිවාරු ගැහුවේ රටේ ආර්ථිකය හදලා අරගෙන සෞභාග්‍ය උදාකර සුරපුරයක් කරන බවයි. බැසිල්ගේ පළවෙනි අයවැයෙන් රටේ ආර්ථිකය කෙලින් හිටවන බවට ඊයේ පෙරේදාත් කයිවාරු ගැහුවා.
හැබැයි අපි දන්න බැසිල් රාජපක්ෂ කියන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනටත් උසාවිවල නඩු තියෙන කෙනෙක්. මනි ලොන්ඩරින්වලට උසාවියේ නඩු තියෙන කෙනෙක් මුදල් ඇමතිකම දරන එකම රට ලංකාවයි. මේක ගිනස් වාර්තාවක්. එහෙව් මුදල් ඇමති කෙනෙක් පත් කළාම අත්‍යාවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල වැඩිවෙලා තියෙන්නේ.
ලිට්‍රො ගෑස් සිලින්ඩරය රුපියල් 1493/-ට තිබුණේ. දැන් 2750/- දක්වා රුපියල්1257 කින් වැඩි කළා. ලාෆ් ගෑස් එක 1947/-කින් වැඩි කළා. සිමෙන්ති රුපියල් 93/-කින් වැඩි කරලා. පාන්පිටි රුපියල් 10කින් වැඩි කරලා. කිරිපිටි කිලෝග්‍රෑම් එක රුපියල් 250/-කින් වැඩි කරලා. ආපනශාලා හිමියෝ ආප්පයක් සහ කිරි තේ එකක් රුපියල් 10කින් වැඩි කරන්න තීරණය කරලා. බත් පැකට් එකක් රුපියල් 10කින්, පාන් රාත්තල රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරලා.
ආර්ථික ඔස්තාර්ලා අද කෝ..?
ගෑස් මිල වැඩි කළාම ආහාරවල මිල ගණන් හැම එකක්ම වැඩි වෙනවා. මේ පිට තියලාම, තෙල් මිලත් වැඩි කළොත් ජනතාව අන්ත ප්‍රපාතයකට වැටෙනවා. ආර්ථික ඔස්තාර්ලා අද කෝ..? තීන්දු කීරණ ගන්නේ වෙනම තැනක. සීනි බදු වංචා කළ හැටි අපට මතකයි. රුපියල් කෝටි 1391ක් සුදු සීනිවලින් වංචා කර තිබෙනවා. රතු සීනිවලින් රුපියල් කෝටි 295ක් සහ වැඩි මිලට මේ කොම්පැනිකාරයන්ගෙන් මේ සීනි මිලදී ගැනීම නිසා සතොසට රුපියල් කෝටි 9ක් පාඩු වෙලා.
සීනි වංචාවෙන් විතරක් රජයට රුපියල් කෝටි 1685ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේ පාඩුව පෙබරවාරි මාසේ 28 දක්වා පමණයි. ඊට පස්සෙත් මෙම පාඩුව දිගටම පැවතුණා. දැන් ඒ පාඩුව රුපියල් කෝටි 4,000කට ආසන්න වෙනවා.
ගෑස් ලිපිට දර දාන්න වෙලා !
මේ ලාභයෙන් 45%ක් විතර අරගෙන තිබෙන්නේ විල්මා කොම්පැනියයි. ඔවුන් අයුතු ලාභ ලබන අතර ජනතාවට තවදුරටත් ජීවත් වෙන්න බැරි තත්වයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතේ 75%ක් විතර ගෙවල්වල පාවිච්චි කරන්නේ ගෑස්. අනික් පළාත්වල ටිකක් වෙනස්. මේ අධික මිල වැඩි කිරීම ජනතාව දරා ගන්නේ කොහොමද? අඩු ආදායම්ලාභීන්ට සහන දෙනවා කියලා බලයට පත්වූ ගෑස් සිලින්ඩරය විතරක් රුපියල් 2750/- ක් වෙනකොට ඒ අය ජීළුත් වෙන්නේ කොහොමද?
අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් ලිපට දාන්න වෙන්නේ දර තමයි. මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ කොම්පැනිකාරයෝ. හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් ආණ්ඩුවක් මොකටද? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද? ජනතාවගේ බදු මුදල්වලින් කැබිනට් එකක් නඩත්තු කරන්නේ අපරාදේ. ආණ්ඩුව දැන් සියලුම අංශවල පාලනය අත්හැරලා තියෙන්නේ. මිල පාලනය, රජයේ දේපළවල අයිතිය, ජනතාව පිළිබඳ වගකීම් යන සියල්ලම අත්හැරලා තියෙන්නේ. මේ නිසා කැබිනට් එකක්, ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ජනතාව පීඩාවට පත්වීමේදී එයින් මුදා ගන්නයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අයින්වෙලා ඉන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පැන්ඩෝරාවල ඩොලර් හංඟමින් ඉන්නේ. පසුගිය කාලයේ කළ හොකම් දූෂණ මිනීමැරුම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කරන්නේ.
ආර්ථිකය ගොඩ ගන්න තියා පවතින තත්වයෙන් පවත්වාගන්නවත් මේ ආණ්ඩුවට බැහැ !
මේ නිසා රටේ පාලනයක් නැහැ. ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ගැන කොච්චර කිව්වත් මහ පොළොවේ එහෙම එකක් නැහැ. ආණ්ඩුවේ පාලනයෙන් තොරව සියලු දේවල් සිද්ධ වෙන බව ජනතාව අත්විඳිමින් ඉන්නවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ හේනේ කුඹුරේ හිටවලා ඉන්න පඹයා බියවද්දලා සත්තු භෝගවලට හානි කරනවා වගේ වැඩක්. මේ නිසා ජනතාව මහත් පීඩාවකට පත්වී ඉන්නේ. ආදායම වැඩි නොවී භාණ්ඩ මිල වැඩිවීමෙන් ජනතාවගේ ආර්ථික බර ඉතාම පීඩාකාරී තත්වයකට පත් වෙනවා. මේ නිසා දැන්වත් ජනතාව පවතින තත්වය හරියට තේරුම් ගන්න ‘ඕනෑ.
ආර්ථිකය ගොඩ ගන්න තියා පවතින තත්වයෙන් පවත්වාගන්නවත් මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා ජනතාව මේ ද්‍රෝහී පාලනයට එරෙහිව පෙළගැසෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ආර්ථිකය කඩා වට්ටවන ආණ්ඩුවට එරෙහිව සහ මේ තත්වය වෙනස් කරන්න පෙළගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු ලබා දෙමින්...
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමින් ඡන්ද ක්‍රමය වෙනස් කරන බව ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන් රටේ ජනතාවවට ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත් නැහැ. ජනාධිපති බලය ගත්තා. ඊට පස්සේ 19 අහෝසි කළා. ඒකාධිපති බලතල තියෙන 20 වෙනි සංශෝධනය සම්මත කර ගත්තා. ජනතාවට සෙතක් වුණාද? එක රටක් එක නීතියක් ක්‍රයාත්මක වෙනවාද? දූෂිතයන්ට මංකොල්ලකාරයින්ට දඬුවම් දුන්නාද? ආර්ථිකය ශක්තිමත් වුණාද? ජනතාවගේ ප්‍රශ්න විසඳුනාද?
ඒ මොකුත් වෙලා නැහැ. ජනාධිපති බලය 2/3 බලය, 20 වෙනි සංශෝධනයේ ඒකාධිපති බලය යන හැමදේම අරගෙන ජනතාවට කිසිම යහපතක් වෙලා නැහැ. පාන් කියා ගන්න බැරිව ඉන්න ජනතාවට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් ඇති ප්‍රතිඵලය මොකක්ද? සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි දැනට ක්‍රියාත්මක වෙන ප්රජාතන්ත්රවාදීම ක්‍රමය. නමුත් අපේ රටේ තියෙන්නේ විකෘත ඡන්ද ක්‍රමයක්. පාර්ලිමේන්තුවට එකක්. පළාත් සභාවලට තව එකක්. ප්‍රාදේශීය සභාවලට තව එකක්. මේ සියල්ල සඳහා එක ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නමුත් එහෙම සාකච්ඡාවක් දැන් නැහැ. ජනතාව ආණ්ඩුව එරෙහිව පෙළගැහෙනවා. ඒ නිසා ආණ්ඩුව දැන් කල්පනා කරනවා ඡන්ද ක්‍රමය ඇතුලේ ගේමක් ගහලා බලයේ ඉන්න පුළුවන්ද කියලා.
Page 397 of 444